ලංකාවේ දෙමල පක්ෂ ඇමරිකාවේ අනුග්‍රහය ලබන මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට පිටුබලය දීම ගැන සාකච්ඡා කරති

[මෙහි පලවන්නේ Sri Lankan Tamil parties discuss backing the US sponsored UNHRC resolution යන මැයෙන් 2021 සැප්තැම්බර් 13දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට (යූඑන්එච්ආර්සී) එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවට සහයෝගය දීම හා කොලඹ ආන්ඩුව සමග බලය බෙදාගැනීමේ එකඟතාවකට මැදිහත් වීම ගැන සාකච්ඡා කිරීම සඳහා, ලංකාවේ දෙමල ජාතිකවාදී පක්ෂ අගෝස්තු 22දා මුන ගැසුනි.

මාර්තු මාසයේ සම්මත කරන ලද යූඑන්එච්ආර්සී යෝජනාව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි 30-අවුරුදු වාර්ගික යුද්ධයේ දී සිදුකරන ලද, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ විමර්ශනයක් සඳහා කැඳවුම් කරයි.

දෙමල ජාතික සන්ධානයට (දෙජාස) නායකත්වය දෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි විසින් ආරම්භකත්වය ගත් පසුගිය මාසයේ පැවති රැස්වීමට, දෙජාස හවුල්කරුවෙකු වන දෙමල ඊලම් විමුක්ති සංවිධානය, ඊලම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුන, දෙමල මහජන සන්ධානය හා දෙමල ජාතිකවාදී පක්ෂය සහභාගි වූ හ.

-2009 ජනවාරි යුද්ධය සමයේ පලායන දෙමල පවුල් (මූලාශ්‍රය: විකිමීඩියා)

සහභාගිවූවෝ කරුනු හතරක් අරබයා රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීමට එකඟ වූ හ: එනම්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) ඉවත් කිරීම; දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම; උතුරු හා නැගෙනහිර පලාත්වල ඉඩම් අත්පත් කරගැනීම් අවසන් කිරීම; සහ 13වන ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින් ම ක්‍රියාවට දැමීම සඳහා කොලඹ හා නව දිල්ලිය මත පීඩනය යෙදීම යන කරුනු ය.

එල්ටීටීඊය ඇතුලු දෙමල කන්ඩායම්, ඒ සමගම කම්කරු පන්තිය හා ලංකාවේ ආන්ඩුවේ වෙනත් ඕනෑ ම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදා ගැනීම සඳහා, 1979 දී පීටීඒ බලාත්මක කරන ලදී. විෂඝෝර පීටීඒ යටතේ අල්ලා ගන්නා ලද දෙමල දේශපාලන සිරකරුවන් දුසිම් ගනනක් ද මෑත මාසවල දී අත්අඩංගුවට ගන්නා ලද මුස්ලිම් නායකයන් හා ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද තවමත් බන්ධනාගාරගත කොට සිටිති.

එල්ටීටීඊය නිරායුධ කිරීම ද උතුරේ හා නැගෙනහිරේ දෙමල ප්‍රභූවට සීමිත බලතල ප්‍රදානය කිරීම ද පිනිස 1987 ජූලි මාසයේ අත්සන් කල ඉන්දු-ලංකා ගිවිසුමෙන් 13වන සංශෝධනය ඉස්මතු විය. දෙමල ධනේශ්වරය සමග කිසිදු ආකාරයක බලය බෙදාගැනීමකට හතුරු වී ඇති අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු, මෙම සංශෝධනය මුලුමනින් ක්‍රියාත්මක කර නැත.

ඉඩම් අත්පත් කරගැනීම අවසානයකට ගෙන ඒම සඳහා කරන ඉල්ලීම, යුද්ධය සමයේ සහ 2009 එල්ටීටීඊයේ පරාජයෙන් පසුව ගෙවී ගිය දශකය තුල මිලිටරිය විසින් බලෙන් අල්ලාගත් ඉඩම් නිදහස් කිරීමට කරන ඉල්ලීමකි. මෙම දේපොලවලින් සමහරක්, මිලිටරියේ ආර්ථික ක්‍රියාකාරකම්වලට සහ මිලිටරි කඳවුරු සඳහා යොදාගනිමින් තිබේ. දෙමල ජනයා ජීවත්වන ප්‍රදේශවල ප්‍රකෝපකාරී ලෙස බෞද්ධ පන්සල් ද ස්ථාපිත කොට තිබේ.

දශක ගනනාවක් තිස්සේ උතුර හා නැගෙනහිර වාඩිලාගෙන සිටින මිලිටරියේ මෙම මර්දනීය ක්‍රියාවන්ට විරුද්ධව දෙමල මහජනයා අතර ඇත්තේ පලල් ව පැතිරුනු කැකෑරෙන කෝපයකි.

අනුප්‍රාප්තික කොලඹ පාලන තන්ත්‍රයන් මෙන් ම, මිලිටරිය හා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කන්ඩායම් මත පදනම් වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ද දෙමල ප්‍රභූවට කිසිදු සහනයක් දීමට විරුද්ධ වෙයි. ඒ සමග ම එය, කම්කරු පන්තිය බෙදීම සඳහා, දෙමල-විරෝධී ප්‍රචාරනය යොදාගනී.

දෙමල ප්‍රභූව යූඑන්එච්ආර්සී යෝජනාව කුහක ලෙස යොදාගනිමින් සිටින්නේ, දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවට, සහන පතා කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීම පිනිස ය. මෙම න්‍යාය පත්‍රය සමග පෙලගැසෙන දෙමල පක්ෂ, තමන්ගේ ම භූ-දේශපාලනික අවශ්‍යතා වැඩි දුර ඉදිරියට දැමීම පිනිස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා දෙමල ජාතිකයන් මර්දනය කිරීම ගසා කමින් සිටින එක්සත් ජනපදයට හා අනෙකුත් ප්‍රධාන බලයන්ට, දේශපාලන සහයෝගය සම්පාදනය කරමින් සිටිති.

පසුගිය මාසයේ පැවති දෙමල පක්ෂවල රැස්වීම, “ස්ථීරසාර ව සිටීමටත්, ජාත්‍යන්තර පීඩනයෙන් මිදීමට ආන්ඩුවට කිසිදු අවකාශයක් නොදීමටත්” තීරනය කල බව, යාපනයේ පලවන අන්තර්ජාල ප්‍රකාශනයක් වන එලනාඩු වාර්තා කලේ ය. මෙම රැස්වීම පැවැත්වූයේ, කොලඹ සිටින එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙජාස නායකයන් සමග අඩු වසයෙන් සාකච්ඡා දෙකක් පැවැත්වීමෙන් අනතුරු ව ය.

කොලඹ සිටින එක්සත් ජනපද තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස්, ජූලි 16දා දෙජාස නායක ආර්. සම්බන්දන් හා අනෙකුත් පක්ෂ නිලධාරීන්, සම්බන්දන්ගේ නිවසේ දී හමුවූවා ය. “දෙමල ජනයාගේ දුක්ගැනවිලි” විසඳීමේ දී කොලඹ ආන්ඩුවල වංකභාවය පිලිබඳ ව තමන් තානාපතිනියට පැමිනිලි කල බවත්, “විසඳුමක් සම්පාදනය කිරීම සඳහා ඍජු ව මැදිහත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන්” ඉල්ලා සිටි බවත්, සම්බන්දන් මාධ්‍යට සඳහන් කලේය.

අගෝස්තු 15දා පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක දී, දෙජාස ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සමග “දේශපාලන සංහිඳියාව” පිලිබඳ සාකච්ඡා ද ටෙප්ලිට්ස් විසින් පැවැත්වූවා ය. කැබිනට් ඇමති ජී. එල්. පීරිස්ට ද මෙම සාකච්ඡාවට ආරාධනා කරන ලද්දේ, ඔහු විදේශ ඇමති ධුරයට පත්කිරීමට දින පහකට පෙර ය.

කොලඹ සිටින ඉන්දියානු නියෝජිත ගෝපාල් බාග්ලේ ද කිහිප වතාවක් මුනගැසී ඇති දෙජාස නායකයන් සමග තමන් පවත්වන සාකච්ඡා ගැන, එක්සත් ජනපදය ඉන්දියාවට මුලුමනින් ම දැනුම් දී ඇත. චීනයට එරෙහි යුද්ධයක් සඳහා වොෂින්ටනයේ මිලිටරි සූදානම්වීම් සමග පෙලගැසී සිටින ඉන්දියාව, දකුනු ආසියානු කලාපය තුල චීන බලපෑමට හතුරු ය.

කොලඹ පාලනය “දෙමල ජනයා මුහුන දෙන ගැටලුවලට විසඳුමක් ඉදිරිපත් කල යුතු” බවත්, “එම විසඳුම් අධ්‍යයනය කොට අනුමත කරන” මැදිහත්කරුවෙක් වසයෙන් එක්සත් ජනපදය සිටිය යුතු බවත්, සුමන්දිරන් අගෝස්තු 30දා යාපනයේ මාධ්‍ය ට පැවසුවේ ය.

අද දින ආරම්භ වීමට නියමිත මීලඟ යූඑන්එච්ආර්සී රැස්වීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ විමර්ශන සඳහා එය සම්මත කර තිබෙන යෝජනාව “ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමර්ශනය” කරනු ඇත. යුද අපරාධ පිලිබඳ වගකිව යුත්තන්ට එරෙහි ව චෝදනා ගොනු කිරීම සඳහා සාක්ෂි රැස්කරන ලෙස, යූඑන්එච්ආර්සී කොමසාරිස් මිචෙල් බැචලේ සාමාජික රාජ්‍යයන්ට කැඳවුම් කර ඇත.

2009 මැයි මාසයේ අවසන් වූ කොලඹ ආන්ඩුවේ එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසන් මාස කිහිපය තුල, මිලිටරිය විසින් දෙමල සිවිල් වැසියන් 40,000ක් සංහාරයට ලක්කරන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කරයි. යටත් වූ එල්ටීටීඊ කේඩර්වරුන් සියගනනක් සරල ව අතුරුදන් වූයේ, යටත් වෙමින් සිටි එල්ටීටීඊ නායකයන් ද මරා දමනු ලැබීය.

ජාත්‍යන්තර ව සිදු කරන ගනන් නැති යුද අපරාධ සඳහා වගකිව යුතු එක්සත් ජනපදයට හා අනෙකුත් ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ට, ශ්‍රී ලංකාව තුල මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන කිසිත් උත්සුකයක් නැත. වොෂින්ටනය මෙම අපරාධ යොදා ගනිමින් සිටින්නේ, රාජපක්ෂ ආන්ඩුවට එය බෙයිජිනය සමග පවත්වාගෙන යන සබඳතා බිඳ දමන ලෙස “පෙලඹවීම” පිනිස ය.

වසංගතය විසින් ගැඹුරු කරන ලද ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දෙන මුදල් හිඟයෙන් පෙලෙන කොලඹ පාලනය, බෙයිජිනයෙන් ලැබෙන ආයෝජන හා නය මත වඩ වඩා රැඳී සිටී. චීන අරමුදලින් ගොඩනැගු හෙක්ටාර 269ක කොලඹ වරාය නගර ව්‍යාපෘතිය කොලඹ පාලනය විසින් අප්‍රේල් මාසයේ දී විවෘත කලේ ය. චීනය මෙම කොලඹ වරාය නගර ව්‍යාපෘතිය සලකන්නේ, ඉන්දියානු හා පැසිෆික් සාගර තුල බෙයිජිනයේ වෙලඳ මාර්වලට එක්සත් ජනපදයෙන් අනාගතයේ දී එන තර්ජනවලට ප්‍රතිමුඛව ක්‍රියා කිරීමට සූදානම් කෙරෙන එක් තීරුවක් එක් මාවතක් ව්‍යාපෘතියේ වැදගත් අංගයක් ලෙස ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව තමන්ට මූල්‍ය සහයෝගය හා යුදායුධ සම්පාදනය කල බෙයිජිනය සමග පවත්වාගෙන ගිය සමීප සබඳතාවන්ට වොෂින්ටනය විරුද්ධ විය. බෙයිජිනයෙන් දුරස්ථ වන ලෙස කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීමේ උත්සාහයක් ලෙස, වොෂින්ටනය යූඑන්එච්ආර්සීහි දී “මානව හිමිකම්” හා “යුද අපරාධ” යෝජනා මාලාවකට ආරම්භකත්වය ගත්තේ ය.

එය අසාර්ථක වූ තැන, මහින්ද රාජපක්ෂ ඉවත් කොට, ඔහුගේ තැනට එක්සත් ජනපද-ගැති මෛත්‍රීපාල සිරිසේන පත් කල තන්ත්‍ර-මාරු මෙහෙයුමක් වොෂින්ටනය විසින් ක්‍රියාවට දැමි ය. දෙජාස ඇතුලු දෙමල පක්ෂ, එක්සත් ජනපද ආරම්භකත්වය ගත් මානව හිමිකම් යෝජනාවලට හා ඉන්පසු තන්ත්‍ර-මාරු මෙහෙයුමට පිටුබලය දුන් හ.

අධිරාජ්‍යවාදී බලයන් හා ඉන්දියාව සමග උපාමාරු දමන අතරම දෙජාස නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග රැස්වීම් සඳහා උත්සාහ දරා ඇත. කාලයිකාතීර් නමැති දෙමල පුවත්පත, සුමන්දිරන් රාජපක්ෂ සමග අගෝස්තු 23දා අප්‍රසිද්ධව සාකච්ඡාවක් පැවැත්වූ බව වාර්තා කල ද විස්තර සම්පාදනය කලේ නැත.

පසුගිය මාස දෙකේ වර්ධනයන් තහවුරු කරන්නේ, දෙජාස හා අනෙකුත් දෙමල පක්ෂ, එක්සත් ජනපදයට හා අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන්ට ඔවුන්ට හැකි ඕනෑ ම සහයෝගයක් සම්පාදනය කිරීමට සූදානම් බව යි. එසේ කිරීම මගින්, ඔවුහු චීනයට එරෙහි එක්සත් ජනපදයේ යුද සූදානම්වලට පිටුබලය දෙමින් සිටිති.

සිය කොලඹ සගයන් මෙන් දෙමල ප්‍රභූව ද සියලු වාර්ගික හා ආගමික රේඛා කපාගෙන වර්ධනය වන ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ අරගල කෙරෙහි භීතියට පත්ව සිටී. උතුරින් හා නැගෙනහිරින් මිලිටරිය ඉවත් කරගන්නා ලෙස එය කලින් කල ඉල්ලීම් බොහෝ කාලයකට පෙර ම ඉවත් කරගත්තේ ය. රාජපක්ෂගේ මර්දනීය රාජ්ය අංශ වැඩ වර්ජන තහනම් හා අනෙකුත් ප්‍රජාතන්ත්‍ර -විරෝධී පියවරයන් ගැන ඔවුහු කිසිවක් කියා නැත.

අධිරාජ්‍යවාදී බලයන් වෙත දෙමල පක්ෂවල හැරීමට විරුද්ධ ව, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා දෙමල කම්කරුවන් ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර කම්කරුවන් සමග ඒකාබද්ධ විය යුතු ය. දිවයින පුරා වර්ධනය වන පන්ති අරගල එවන් එකමුතුවක් සඳහා පසුබිම සූදානම් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන, ධනපති පාලනය හා 1948 ලංකාවේ නාමික නිදහස තුල රෝපනය වී පවතින වාර්ගික වෙනස්කම් පෙරලා දැමීමේ අරගලය සමග බැඳී තිබේ. ජනාධිපතිගේ ආඥාදායකත්වයක් දෙසට වේගයෙන් ගමන් කරන රාජපක්ෂ පාලනය, කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමේ මැදිහත්වීම් උත්සන්න කරමින් සිටී.

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂය ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා කැඳවුම් කරයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් ඉදිරිපත් කරන ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සමග මෙය නො වෙන්කල හැකි ලෙස බැඳී තිබේ.

Loading