වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමේ ආන්ඩුවේ මිනීමරු වැඩපිලිවෙලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහාය දෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) සැප්තැම්බර් 9 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමට ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලට සිය සහයෝගය ප්‍රකාශ කලේය. එහිදී වෛද්‍ය හංසමාල් වීරසූරිය සඳහන් කලේ එන්නත්කරනය සිදු කරගතහොත් හැකි ඉක්මනින් හත්වන ශ්‍රේනියෙන් ඉහල පන්ති හෝ “ආරක්ෂිත වටපිටාවකින් යුතුව විවෘත කල හැකි” බවයි.

2021 අගෝස්තු 4 වෙනි බදාදා ජෝර්ජියා හි මැක්ඩොනව් හි ටුසාහාවෝ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් ශාලාවේ ඇවිද යති. (ඒපී ඡායාරූපය / බ්‍රයන් ඇන්ඩර්සන්)

පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සඳහන් කර සිටියේ ආන්ඩුව පාසල් විවෘත කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි. ඒ යටතේ පලමුවෙන් 200 කට අඩු ලමුන් සංඛ්‍යාවක් සහිත පාසල් 5,000 ක් විවෘත කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇත. මෙය ලමුන්ගේ සහ දෙමාපියන්ගේ ජීවිත කොවිඩ්-19 වසංගතයට ගොදුරු කරවීමේ මිනීමරු පියවරකි.

අවුරුදු එක හමාරකට වැඩි කාලයක් පාසල් වසා දමා තිබෙන නිසා, එන්නත්කරනය මගින් පාසල් විවෘත කරගැනීම සහ එම වයස් කාන්ඩවල ලමුන්ගේ “මරන, රෝග ව්‍යාප්තිය” අඩු කර ගත හැකි බව වීරසූරිය වැඩි දුරටත් සඳහන් කලේය.

පාසල් වසා දැමීම හේතුවෙන් ලමුන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම පිලිබඳව, ආන්ඩුව, වෘත්තිය සමිති සහ ධනපති මාධ්‍ය හෙලන කිඹුල් කඳුලු පිටුපස ලමුන්ගේ අධ්‍යාපනය පිලිබඳ කිසිදු උත්සුකයක් නොමැත. ඔවුන් සැලකිලිමත් වන්නේ, මහධනපතියන්ගේ ලාභ උත්පාදනය අබාධිතව සහ අඛන්ඩව ඉදිරියට ගෙනයාම සඳහා හැකි ඉක්මනින් සමස්ත ආර්ථිකය විවෘත කර ගැනීමේ කොටසක් ලෙස කෙසේ හෝ පාසල් යලි ආරම්භ කර ගැනීම ගැනයි. ලමුන් පාසල් වෙතට ගෙන්වා ගතහොත්, ඔවුනගේ දෙමාපියන් කම්හල් සහ වැඩබිම් වෙත ගෙන්වා ගැනීම පහසු වෙතැයි ඔවුහු ගනන් බලති.

මෙය අතිශයින්ම මිනීමරු ප්‍රතිවිපාක ගෙනෙන පිලිවෙතකි. යුරෝපය, ඇමරිකාව ඇතුලුව ලෝකය පුරාම වසංගතයේ මෑත කාලීන වේගවත් පැතිරීමට හේතුව වී ඇත්තේ පාසල් විවෘත කිරීමයි. එහි ප්‍රතිපලයක් ලෙස ලෝකය පුරා දෛනික ආසාදිතයින් සංඛ්‍යාාව 515,000 ක දෛනික සාමාන්‍යයක පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යුරෝපය තුල දෙසැම්බර් 1 වනදා වන විට තවත් 236,000 ක් කොවිඩ් හේතුවෙන් මරනයට පත්විය හැක.

මෙසේ ආසාදන ඉහල යන්නේ ලමුන් විශාල වශයෙන් වෛරසයට ගොදුරු කරමිනි. සැප්තැම්බර් 02 වනදා වන විට 251,781 ලමුන් ඇමරිකාව තුල පමනක් ආසාදනයට ලක්වී ඇත. මෙය ඊට මාසයකට පෙර පැවති ලමුන්ගේ ආසාදන සංඛ්‍යාව පස් ගුනයකින් ඉහල යෑමක් වන අතර, මීට මූලිකම හේතුව වී ඇත්තේ පාසල් විවෘත කිරිමයි.

මෙම වර්ධනයන් මගින්, ලමුන් අතර වසංගතය නොපැතිරෙන බවටත්, හුදෙක් එන්නත්කරනය, සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් පිලිපැදීමෙන් ලමුන් සහ මහජනතාව අතර වසංගතය පැතිරීම ප්‍රශස්ත අයුරින් සීමා කල හැකිය යන කුතර්කයන්හි පල්ල ගලවා දමා ඇත.

පාසල් වසා දමා තිබියදී පවා අගෝස්තු මැද වන විට ලංකාව තුල ලමුන් 14 දෙනෙක් මියගොස් 45,000 ක් වෙෙරසයට ගොදුරු වී ඇති බව විශේෂඥ ලමා වෙෙද්‍ය දීපාල් පෙරේරා මාධ්‍යයට ප්‍රකාශ කරන ලදී. පාසල් විවෘත කිරීම මෙම තත්වයේ වැඩි වර්ධනයකට කොන්දේසි සපයනු ඇත.

මෙම තතු තුල රවෛනිසද ඇතුලු ආන්ඩුවේ කොටස් ද මෙම පිලිවෙත ක්‍රියාවට දැමීමට කැඳවා ඇත්තේ අවිද්‍යාවයි. වීරසූරිය සඳහන් කල පරිදි එන්නත මගින් රෝගය පැතිරීම අඩු කිරීම ප්‍රෝඩාවකි. කීර්තිමත් වසංගත රෝග විශේෂඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කල දේශනයක දී සඳහන් කලේ එන්නත මගින් “උගුරට ප්‍රතිශක්තිය”නොලැබෙන බැවින් රෝග ව්‍යාප්තිය සිදු විය හැකි බව යි.

එමෙන්ම මාධ්‍යයට කාන්දුවූ ඇමරිකානු රෝග පාලන මධ්‍යස්ථානයේ (සීඩීසී) වාර්තාවකට අනුව, එන්නත් කරන ලද හා නොකරන ලද පුද්ගලයන් මගින් වෙෙරසය පැතිරීම එක සමානව සිදුවේ. කාන්දුවූ වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ මහජන සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේදයන්, එනම් අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන සහ පාසල් වසා දැමීම ඇතුලු දැඩි සංචරන සීමාවන්, වෛරසය පැතිරීම අවම කිරීමේ ලා අනිවාර්ය බවයි.

එන්නත මගින් මරන සම්පූර්නයෙන් නොවලක්වන අතර එයට කල හැක්කේ මරන අඩු කිරීම හා රෝගය මගින් ඇති කරන කායික අපහසුතා අඩු කිරීමයි. මෙම තතු පෙන්නුම් කරන්නේ එන්නත්කරනයට සමගාමීව, මුව ආවරන පැලඳීම හා අත් සේදීම වැනි ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේදයන් සඳහා පහසුකම් සම්පාදනය කරන අතර, අත්‍යාවශ්‍ය නොවන කම්හල් සහ පාසල් වසා දැමීම තීරනාත්මක බවයි.

ධනපති ආන්ඩු වල සහ ව්‍යාජ-විශේෂඥයන්ගේ කුතර්ක වලට ප්‍රතිකූලව ලමුන් ඉතා අවදානම් ඛාන්ඩයකි. තවමත් ඔවුන් බහුතරයට එන්නත් ලබා දී නැත. වෙෙරසය ආසාදනය වූ ලමුන් බහුවිධ ඉන්ද්‍රිය ප්‍රදාහය හා දීර්ඝ කොවිඩ් ආදී තත්ව වලින් ජීවිත කාලයම විඳවනු ඇත. මින් ඇතැම් ඒවා මාරාන්තිකය.

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිත දරුවන්ගෙන් සියයට 10 ත් 15 ත් අතර ප්‍රතිශතයක් දීර්ඝ කාලීනව පීඩා විඳියි. ද ලැන්සෙට් වෛද්‍ය සඟරාවට අනුව කොවිඩ් ආසාදනය වීමෙන් බුද්ධි මට්ටම ( IQ) 2-7 දක්වා අඩුවිය හැක. සියයට 7 ක අඩු වීමක් අංශභාග තත්ත්වයට වඩා දරුනු වේ. තවද බහුවිධ ඉන්ද්‍රිය ප්‍රදාහයට ලක්වූ ලමුන් 1,000 ක ගෙන් 750 ක් තරම් බහුතරය එම තත්ත්වයට පත්වී ඇත්තේ රෝග ලක්ෂන නොපෙන්වා හෝ මඳ වශයෙන් රෝග ලක්ෂන පෙන්වා බව අධ්‍යයන වාර්තා හෙලිකර යි. මෙම රෝගීන්ගෙන් සියයට 75 කට ම හදිසි සත්කාර අවශ්‍ය වේ.

ආන්ඩුවේ පාසල් විවෘත කිරීමේ වැඩපිලිවෙල වෛද්‍ය විශේෂඥයන්ගේ විරෝධයට ලක්ව ඇත. ලංකාවේ වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය 15 වනදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ පාසල් ලමුන් එන්නත්කරනය සහ නැවත පාසල් විවෘත කිරීම “ප්‍රවේසමින්” කල යුතු බවයි. පාසල් විවෘත කලහොත් එය “පාසල් පොකුරු” ඇති කරමින් “මීලඟ රැල්ලකට” මග පෑදිය හැකි බවට එය වැඩි දුරටත් අනතුරු ඇඟවූයේය.

වසංගතය මධ්‍යයේ පාසල් විවෘත කිරීමේ මෙම සැලසුම් ගලා එන්නේ, ධනපති ආන්ඩු අනුයන, මහජනතාව “වසංගතය සමග ජීවත් කරවීමේ” මිනීමරු පිලිවෙතිනි. දැන් ඔවුන් ලමුන්ගේ ජීවිත ධනපතියන්ගේ ලාභ සඳහා බිල්ලට දීමට සූදානම් කරමින් සිටිති.

රාජපක්ෂ ආන්ඩුවට ගැති වෘත්තීය සමිතියක් වන රවෛනිස, ආරම්භයේ පටන්ම මහජනතාව වෛරසයට ගොදුරු කිරීමේ වැඩපිලිවෙලට සහයෝගය දුනි. අනෙකුත් වෘත්තීය සමිති ද මේ හා සමානය. ධනපති ක්‍රමයට අත්‍යන්තයෙන් බැඳී ඇති මෙම සමිති, කම්කරු පන්තියට එරෙහි ධනපති උපකරන බවට පත්ව බොහෝ කල් ය.

Loading