වී සඳහා සාධාරන මිලක් නො ලැබීම කෙරෙහි ගොවීන් අතර බරපතල විරෝධයක් වැඩෙයි

වී සඳහා සාධාරන මිලක් නො ලැබීම කෙරෙහි ගම්බද දුගී ගොවීන් අතර බරපතල විරෝධයක් වර්ධනය වෙමින් ඇත. ආන්ඩුව දැනට වී කිලෝවක් සඳහා නියම කර තිබෙන සහතික මිල නොසෑහෙන බවත් නිෂ්පාදන වියදමට සරිලන මිලක් නො ලැබෙන්නේ නම් තමන් සතුව පවතින වී නොවිකුනන බව ද, එලඹෙන මහ කන්නයේ වී වගා කිරීමෙන් වැලකී සිටින බව ද ගොවීහු කියති.

ආන්ඩුව දැනට නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55 ක් සහ සම්බා කිලෝවක් සඳහා රුපියල් 52 ක සහතික මිලක් නියම කර තිබේ. යෝජිත මිල ගනන් කෙරෙහි ගොවීන්ගේ විරුද්ධත්වය නිසා සම්බා කිලෝවකට රුපියල් 60 ක් සහ කීරී සම්බා කිලෝවකට රුපියල් 70 ක් වන සේ මිල සංශෝධනයක් කැබිනෙට්ටුවට ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගම පසුගිය සතියේ මාධ්‍යට පවසා තිබුනි.

එහෙත් ගොවීන් පවසන්නේ නිෂ්පාදන වියදම සහ ජීවන වියදම බෙහෙවින් ඉහල ගොස් ඇති හෙයින් එම මිල ගනන් කිසිසේත් ප්‍රමානවත් නොවන බවයි. අවම වශයෙන් නාඩු, සම්බා සහ කීරී සම්බා කිලෝවක් සඳහා පිලිවෙලින් රුපියල් 65 ක්, 75 ක් සහ 90 ක් ඔවුහු ඉල්ලා සිටිති. ආන්ඩුව මෙම මිල ගනන් වලට එකඟ නොවන්නේ නම් “පුලුල් උද්ඝෝෂන” වලට එලඹෙන බව ගොවි සංගම් කියති.

වී ගොවීන් අතර වර්ධනය වන මෙම විරෝධය තම නිෂ්පාදනවලට සාධාරන මිලක් නොලැබීම, රසායනික පොහොර තහංචිය, ජීවන වියදම බෙහෙවින් ඉහලයාම, දරිද්‍රතාවය, විරැකියාව හා ඉඩම් හිඟය ඇතුලු නො විසඳී හා උග්‍රවෙමින් පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් සමස්තයක් ලෙස ගම්බද දුගී ගොවි ජනයා තුල ධනපති පන්ති පාලනය කෙරෙහි පුලුල්ව වැඩෙන විරෝධයේ කොටසකි. සියලු දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ගැට ගසා ගැනීම සඳහා ගොවිතැනෙහි යෙදෙන ගොවීහු වෙලඳපොල මත ඒකාධිකාරය පවත්වාගෙන යන මහා පරිමාන වී මෝල් හිමියන්ගේ සහ පුද්ගලික කෘෂි ව්‍යාපාරිකයන්ගේ රුදුරු ගසාකෑමට ද ගොදුරු වී සිටිති.

වී ගොවීන් මුහුන දෙන මෙම ප්‍රශ්න සම්බන්ධව මහියංගනය දෙහිඅත්තකන්ඩියේ ගින්නොරුවේ පදිංචි ගොවියෙකු වන ටි. එම්. කරුනාරත්න මෙසේ පැවසීය: “ආන්ඩුවේ සහතික මිල සෑහෙන්නේ නැහැ. කොහොම වුනත් ආන්ඩුව ඔය කියන මිලට ගන්නේ ගොවියන්ගේ වී වලින් සුලු කොටසක්. ඒ නිසා පුද්ගලික වෙලෙන්දෝ ගොවියන් ව ගසා කනවා. මේ යලකන්නේ පුද්ගලික වෙලෙන්දෝ නාඩු කිලෝවක් ගත්තේ රුපියල් 50 ට සම්බා කිලෝවක් 45 ට. වී කිලෝවක් සඳහා නිෂ්පාදන වියදම පමනක් රුපියල් 45 ට වැඩියි' ඔහු සඳහන් කලේ ය.

අවශ්‍ය පොහොර සහන මිලට දෙන බව කිව්වත් යල කන්නයට තමන්ට ලැබුනේ යූරියා පොහොර කිලෝ 100 ක් සහ අනෙකුත් පොහොර කිලෝ 75 ක් පමනක් බව ඔහු පැවසීය. කුඹුරු හෙක්ටයාරයක් වගා කිරීම සඳහා රුපියල් 100,000 ට ආසන්න මුදලක් වැය වන බව ඔහු කීවේය. පවුලේ ශ්‍රමය පමනක් යොදාගෙන වගා කිරීමේ දී වියදම ඒ මට්ටමට අඩුකර ගත හැකිවුවත් කුලී ශ්‍රමිකයන් යොදවා ගත හොත් වියදම 1,50,000 ක් පමන වන බව ද ඔහු පෙන්වා දුන්නේය. 'අස්වැන්න අඩු නිසා වියදම ගියහම රුපියල් 50,000 ක වත් ලාබයක් නැහැ. ඊලඟ කන්න වගා කරලා අස්වනු ගන්නකන් ජීවත් වෙන්න ඕන ඒ මුදලෙන්. බඩුමිල ඉහලයාමත් එක්ක ඒ මුදල කොහොමත් සෑහෙන්නේ නැහැ' යි ඔහු පැවසීය.

කුඹුරුවලට අවශ්‍ය ජලය ප්‍රමානවත් ලෙස නොලැබෙන නමුත්, අතුරු ඇලවේලි නඩත්තුව සඳහා රුපියල් 250 ක් සහ ප්‍රධාන ඇලවේලි සඳහා රුපියල් 1,500 ක් කන්නයකට ගොවීන් විසින් ගෙවිය යුතු බව ඔහු කීවේ ය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදන ලෙස ආන්ඩුව කියා සිටිය ද කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගොවීන්ට සොයා ගත නොහැකි බව ද ඔහු පැවසීය.

ගොවිතැනට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන නිසියාකාර ලබා ගැනීමට නොහැකි වීමෙන් වෙනදා ලබා ගන්නා අස්වැන්නෙන් බාගයක් වත් ලබා ගත නොහැකි වූ බව, වලව වැව වම් ඉවුර ගොවිජනපදයේ ගොවියෙකු වන අජිත කුමාර සඳහන් කලේ ය. 'නිසි විදියට පොහොර සහ කෘෂි රසායන යෙදුවොත් හෙක්ටයාරයකින් වී කිලෝ 6,000 ක් .පමන ගන්න පුලුවන්. වැඩි මිලට පොහොර ගන්න බැරිවුන ගොවීන්ගේ අස්වැන්න කිලෝ 2000 ට පමන අඩුවුනා. රජයේ සහතික මිල කිලෝවකට රුපියල් 50 ක් වුනත් ඒ ගනනට ගන්නේ තෙතමනය සියයට 14 ක් හෝ ඊට අඩුවෙන් තිබුනොත් පමනයි. පුද්ගලික වෙලෙන්දෝ තෙතමනය සියයට 17 ක් තිබුන වී මිල දී ගත්ත. නමුත් කිලෝවකට ගෙව්වේ රුපියල් 48 යි.'

ආන්ඩුව අලුත් සහතික මිල ප්‍රකාශ කරන විට තම පලාතේ ගොවීන්ගෙන් සියයට අනූවක් විතර වී විකුනා අවසන්ව තිබූ බවත්, වී අලෙවි මන්ඩලය කුඹුරට ඇවිත් වී මිල දී ගන්නා බව පැවසූ නමුත් එවැන්නක් සිදු නොවූ බවත් ඔහු පැවසීය. 'ගොවියෝ ප්‍රවාහන වියදම් දරාගෙන ගබඩාවලට ගෙනියන්න ඕනා. පුද්ගලික වෙලෙන්දෝ කුඹුරට ඇවිල්ලා වී මිල දී ගන්න නිසා ගොවීන්ට අමතර ප්‍රවාහන වියදමක් නැහැ. ඒ නිසා රුපියලක් දෙකක් අඩුවෙන් වුනත් ඔවුන්ට වී දෙන්න ගොවියෝ පෙලඹෙන” බව අජිත කුමාර තවදුරටත් පැවසීය.

ගොවිතැන සඳහා යන වියදම් සෑම අතකින්ම වැඩිවී තිබෙන බව ඔහු සඳහන් කලේ ය. හෙක්ටයාරයක සී සෑමට කලින් ගෙවූ මුදල රුපියල් 22,000 ක් වුනත් පසුගිය කන්නයේ එය රුපියල් 30,000 ක් වූ බවත් රුපියල් 1,500 ක් වූ කම්කරුවෙකුගේ දෛනිකවැටුප රුපියල් 2,000 ක් වූ බවත් ඔහු පැවසීය. 'බිත්තර වී කිලෝවක් රුපියල් 80 ක් 90 ක් වෙනවා. හෙක්ටයාරයකින් වී කිලෝ 6,000 ක උපරිම අස්වැන්නක් ගත්තත් වියදම ගියහම අතට ලැබෙන්නේ රුපියල් 125,000 ක් විතර. මාස හයක් පවුලේ සියලුම වියදම් දරා ගන්න වෙන්නේ ඒ මුදලින්' බව ද ඔහු සඳහන් කලේ ය.

ගොවීන් මුහුන දෙන මෙම ගැටලු පසුගිය දශක කිහිපය තුල බලයට පැමිනි ආන්ඩු විසින් ක්‍රියාවට දැමු ආර්ථික කප්පාදු පිලිවෙත්වල ප්‍රතිපලයකි. අපනයන ආදේශක භාන්ඩ නිෂ්පාදනයේ කොටසක් ලෙස වී ඇතුලු කෘෂි නිෂ්පාදන සඳහා රජය මගින් සහන සැලසීමේ පිලිවෙතක් 1950- 60 දශක වල බලයට පත් වූ ආන්ඩු අනුගමනය කලහ. නමුත් 1977 බලයට පත්වූ ජේ. ආර් ජයවර්ධනගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් ආරම්භ කරනු ලැබ අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ක්‍රියාවට දමනු ලැබූ, පුද්ගලීකරනය සහ රාජ්‍ය වියදම් කප්පාදු කිරීමේ පිලිවෙත්වල කොටසක් ලෙස ගොවිජනතාවට යම් සහනයක් සැලසුනු ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වී අලවි මන්ඩලය වැනි ආයතන නිෂ්ක්‍රීය කෙරුන අතර ගොවි ජනයා සම්බන්ධයෙන් ක්‍රියාවට දැමුනු පොහොර සහනාධාරය ඇතුලු සමාජ සහන ක්‍රමානුකුලව කප්පාදු කෙරිනි.

කොරෝනා වසංගතය විසින් ගැඹුරු කෙරුන ආර්ථික අර්බුදය යටතේ රාජපක්ෂ ආන්ඩුව විසින් මෙම සහන මුලුමනින් ම අහෝසි කිරීමට පියවර ගනිමින් සිටී. රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම ක්‍රියාවට දැමුනේ ද ගොවීන්ගේ සහ මහජනතාවගේ සෞඛ්‍යය ගැන රාජපක්ෂ ආන්ඩුවට ඇති කවර හෝ කැක්කුමක් නිසා නොව, එය මුහුන දී තිබෙන විදේශ විනිමය හිඟය සහ දැවැන්ත රාජ්‍ය නය බරින් ගොඩ ඒමේ මංමුලා සහගත පියවරක් ලෙසය.

ආන්ඩුවේ රසායනික පොහොර තහනමට විරුද්ධව දිවයින පුරා ගොවීහු දස දහස් ගනනක් පසුගිය මාසවල උද්ඝෝෂනයේ යෙදුනාහ. ඒවා පිටු පසින් පොහොර සහ කෘෂි රසායන ගෙන්වන සමාගම්, සහ විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සිටින බව පවසමින් හා නිරෝධායන නීති කඩකරන බවට චෝදනා කරමින් රාජපක්ෂ ආන්ඩුව එම උද්ඝෝෂන මර්දනය කලේ ය.

ශ්‍රී ලංකාවේ ගම්බද දුගී ගොවීන්ගේ අරගල, කොරෝනා වසංගතය විසින් ගැඹුරු කෙරී ඇති ආර්ථික අර්බුදයේ බර තමන් මත පැටවීම සඳහා එල්ල කෙරෙන ප්‍රහාරවලට විරුද්ධව ශ්‍රී ලංකාව තුලත් ජාත්‍යන්තරවත් වර්ධනය වන කම්කරු-පීඩිත ජනයාගේ සමාජ අරගල වල කොටසකි. දේශීය සහ විදේශීය ආයෝජකයන්ට කෘෂි කර්මාන්තය තුලට කඩා වැදීමට ඉඩ සලසන අගමැති නරේන්ද්‍ර මෝදී ගේ ආන්ඩුවට විරුද්ධව ඉන්දියාවේ ලක්ෂ ගනනක් ගොවීහු මාස හයකට වැඩි කාලයක් අඛන්ඩ සහ අධිෂ්ඨානශීලී අරගලයක යෙදී සිටිති.

ධනපති පන්ති පාලනය විසින් ගොවීන් මත පතිත කර තිබෙන ව්‍යසනයට රාජපක්ෂ ආන්ඩුව මෙන් ම වග කිවයුතු සජබ සහ ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ ගොවීන්ගේ උද්ඝෝෂන මුදුනට පැනගෙන සිටින්නේ ආන්ඩුවට එරෙහිව ගොවීන් අතර වැඩෙන විරෝධය තම ප්‍රතිගාමී දේශපාලන උවමනාවන් වෙනුවෙන් ගසා කෑමට මිස ගොවීන්ගේ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමේ කවර හෝ උවමනාවකින් නොවේ.

Loading