ත්‍රස්තවාදය විනාශ කල අයුරින් ගුරු වර්ජනය මර්දනය කරන බවට මහජන ආරක්ෂක ඇමති තර්ජනය කරයි

තෙවන මාසයට එලඹී ඇති රජයේ පාසල් ගුරුවරුන්ගේ වර්ජනයට එරෙහි රුදුරු ප්‍රහාරයක් පිලිබඳව සංඥා කරමින්, [එල්ටීටීඊ] ත්‍රස්තවාදය විනාශ කල අයුරින් ගුරු අරගලය මර්දනය කරන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පසුගිය සිකුරාදා මාධ්‍යයට පැවසුවේය.

“ත්‍රස්තවාදය නිර්මානය වීමේ හේතු සාධාරන වුවත්, අසාධාරන වුවත් අපි එය විනාශ කලා. එමෙන්ම මේ ගුරුවරුන්ගේ වර්ජනයට හේතු සාධාරන වුවත්, අසාධාරන වුවත් එයින් දරුවන් බැටකන නිසා අපි වර්ජනය සාධාරනීකරනය කරන්නේ නැහැ” යනුවෙන් එහිදී පැවසූ වීරසේකර වර්ජනයේ නිරත ගුරුවරුන් අපරාධකරුවන් ලෙස හංවඩු ගසමින් ඔවුන්ට එරෙහි පුලුල් දඩයමකට පදනම දැම්මේය.

දෙලක්ෂ පනස්දහසකට ආසන්න ගුරුවරුන්, යහපත් වැටුප් වෙනුවෙන් නියැලී සිටින අරගලය සම්බන්ධයෙන් වීරසේකරගේ නරුම අර්ථ නිරූපනය වූයේ, එය “කාගේ හෝ බල කිරීමකට මිස ගුරුවරුන්ගේ ස්වකැමැත්තෙන් සිදු නොවන්නක්” බවයි.

පොලීසිය භාර ඇමති ලෙස වීරසේකරගේ මෙම කඩා පැනීම ගුරු අරගලය මර්දනය කිරීම සම්බන්ධයෙන් සමස්ත ආන්ඩුවේම ඉදිරි පියවරයන් හි රුදුරු ස්වභාවය සම්බන්ධ පෙර ඇඟවුමකි. ඔහු මෙම තර්ජනය කරන්නේ, අගෝස්තු 20 වනදා ජාතිය අමතා කල කතාවේදී “වර්ජන සහ උද්ඝෝෂන කිරීමෙන් රට අරාජික නොකරන” ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් අනතුරු අඟවා ඇති සන්දර්භයකයි.

රාජපක්ෂ ආන්ඩුව “ත්‍රස්තවාදය විනාශ කිරීම” සඳහා යොදාගත් අත්තනෝමතිකව අත් අඩංගුවට ගැනීම්, රඳවාගෙන ප්‍රශ්නකිරීම් සහ අතුරුදහන් කිරීම් ඇතුලු පොලිස්-මිලිටරි විධික්‍රම ගුරු අරගලය තලාදැමීම සඳහා යොදාගැනීමට ආන්ඩුව නොපැකිලෙන බව වීරසේකරගේ ප්‍රකාශවල ගම්‍යයයි.

ඔහුගේ සෘජු නියෝගයෙන් දැනටමත් එම මර්දනකාරී ප්‍රහාරය දියත්කර තිබේ. ඒ අනුව දින දෙකකට පෙරාතුව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ක්‍රියාකාරිනියක වන ශ්‍රීනි නිලීකා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට ගෙන්වා පැය පහකට වැඩි කලයක් රඳවා තබාගෙන ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

වර්ජනයට සම්බන්ධ නොවන ගුරුවරු කන්ඩායමකට දුරකතනයෙන් තර්ජනය කර ඇති බවට පොලිසිය ඔවුන්ට චෝදනා කරයි. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ඔවුන් පවසන්නේ අරගලයට සහාය ඉල්ලා ගුරුවරුන් වෙත ලබාදුන් ඇමතුම් කිහිපයක් මත පදනම්ව පොලිසිය තමන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

වීරසේකර පවසන පරිදි, සැප්තැම්බර් 16 වනදා දිවයිනේ ප්‍රධාන පාසල් වල ගුරුවරු රැසක් ඔහු හමුවී වර්ජනය මෙහෙයවන පිරිස් ඔන්ලයින් අධ්‍යාපනයේ නොයෙදෙන ලෙස ඔවුන්ට “මරන තර්ජන” එල්ල කරන බව පැමිනිලි කර ඇත. එම ඇමතුම් ලබාදුන් අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස තමා ඒ මොහොතේම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට අනකල බව වීරසේකර පවසයි.

මෙම සැලසුම් ගත ප්‍රහාරයට නිමිත්ත කරගත් පැමිනිලි පොදුවේ ගුරුවරුන් අතරින් එල්ල වූ ඒවා නොවේ. ආන්ඩුවේ ප්‍රහාරය සූදානම් කිරීමේ කොටසක් ලෙස එම පැමිනිලි ඉදිරිපත් කරනු ලැබුවේ ගුරුවරුන්ගේ අරගලයට විරුද්ධව විසකුරු ප්‍රකාශ නිකුත් කරමින් හොරිකඩකමේ යෙදී සිටින පාලක පොදුජන පෙරෙමුනේ අත්ගෙඩියක් වන පොදු ජන අධ්‍යාපන සේවක සංගමය (පොජඅසේස) විසිනි.

වීරසේකරගේ ප්‍රකාශයන් ප්‍රතිරාවය කරමින් එදිනම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡවකදී පොඅසේස සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ පැවසුවේ, “ගුරු සංගම් නායකයින් කියාගන්නා ත්‍රස්තවාදීන්ව නතර කලයුතු බව ආන්ඩුවට දැඩිව කියා සිටින” බවයි.

ඇමතිගේ නියෝගයට අනුව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර ඇත්තේ ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත ගුරුවරුන්ට එවැනි තර්ජන සිදුවන්නේ නම් 119 දුරකතන අංකයට හෝ ලඟම පොලිස් ස්ථානයට පැමිනිලි කරන ලෙසයි. ගුරු අරගලයේ නිරතවන්නන් සහ එය සංවිධානය කිරීම සඳහා ඉදිරිපත්වන්නන් බියවැද්දීම එවැනි නිවේදනයක අරමුනයි.

අගෝස්තු 04 දා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති ගුරු උද්ඝෝෂනයක් නිම වී නිවෙස් බලා යමින් සිටි ගුරුවරුන් හා ගුරුවරියන් 44 දෙනෙකු නිරෝධායන නීති කඩ කිරීම, මාර්ග අවහිර කිරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගනිමින් ආන්ඩුව තම බියවැද්දීම් ඇරඹුවේය. මේ සිද්ධියෙන් පසුවත මහනුවර ගුරුවරුන් 26 දෙනෙකු හා මාතර ගුරුවරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම් වාර්තා විය.

අත්අඩංගුවට ගනු ලැබූ ගුරුවරුන්ගෙන් කීප දෙනෙක්- අගෝස්තු 5 වැනි දා ඇප මත නිදහස් කරනු ලැබීමෙන් අනතුරු ව

පසුගිය මාසවල රටපුරා පැවති ගුරු විරෝධතා කොවිඩ්-19 වසංගත ව්‍යාප්තියට හේතු වී ඇතැයි යන බොරු චෝදනාවක් ගුරුවරුන් මත පටවා, ආන්ඩුව එම ප්‍රහාර ඉදිරියට ගෙන ගියේය. ඒ යටතේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව, පොලිස් ස්ථාන හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති ලිපියකින් ගුරු විරෝධතා සංවිධානය කල පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් සහ විරෝධතා පැවැත්වූ ස්ථාන පිලිබඳව තොරතුරු සපයන ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම වර්ජනයේ කොටසක් ලෙස මෙවර උසස්පෙල සහ පහ වසර ශිෂ්‍යත්ව විභාහ සඳහා පෙනී සිටින සිසුන්ගේ අයදුම්පත් යොමු කිරීමෙන් වැලකී සිටින විදුහල්පතිවරුන්ගේ නම් ලැයිස්තු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හරහා ගෙන්වාගෙන ආන්ඩුව බලහත්කාරයෙන් ඔවුන් ලවා අයදුම්පත් පිලියෙල කරවා ඇත.

ආන්ඩුව මේ සියලු ප්‍රහාරයන් දියත් කරන්නේ ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් එක දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින අතරතුරේය. වර්ජනය නතර කර සේවයට වාර්තා කරන්නේ නම් මාස දෙකක් සඳහා ලබාදෙන බවට ආන්ඩුව විසින් පොරොන්දු වූ රුපියල් 5000ක දීමනාව සැප්තැම්බර් වැටුපට එකතු කිරීම අත්හිටුවමින් ආන්ඩුව යලිත් යලිත් වර්ජනය අතහරින ලෙස ගුරුවරුන්ට බල කරමින් සිටියි.

වසංගතයේ අන්තරාය නොතකා පාසල් විවෘත කිරීම සඳහා ආන්ඩුවේ සූදානම ප්‍රකාශයට පත්කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලමුන් දෙසියයට අඩු පාසල් වල ප්‍රාථමික ශ්‍රේනි ඇරඹීම සඳහා වන උපදෙස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබා දී ඇත. මේ යටතේ ගුරුවරුන්ගේ වර්ජනය බිඳීම සඳහා ආන්ඩුව ගෙනයන වැඩකටයුතු වඩාත් තීව්‍ර කෙරෙනු ඇත.

අරගලවලට හේතු “සාධාරන වුවත්” ඒවා මර්දනය කරන බවට වීරසේකර කරන ප්‍රකාශය සමස්ත කම්කරු පන්තියටම කෙරෙන අනතුරු ඇඟවීමකි. තම අතිකාල දීමනා කැපීමට එරෙහිව ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන් අතර වර්ධනය වන විරෝධතා සහ අයහපත් රැකියා කොන්දේසි වලට එරෙහි සෞඛ්‍ය කම්කරුවන්ගේ වර්ජන ඇතුලුව වැඩෙමින් පවත්නා පංති අරගල රැල්ල රුදුරුම ආකාරයෙන් තලා දැමීමට රාජපක්ෂ ආන්ඩුව තීන්දුකොට ඇති බව එහි ගම්‍යයයි.

වසංගතයෙන් කම්කරු-පීඩිත මහජනතාව මුදා ගැනීම සාපරාධී ලෙස නොතකා හැරීම සහ තියුනුවන ආර්ථික අර්බුදයේ බර තමන් මත පැටවීම සම්බන්ධයෙන් ආන්ඩුවට එරෙහිව මහජන කෝපය නැගෙමින් තිබේ. රටෙහි වර්ධනය වන හදිසි සෞඛ්‍ය තත්වයට මුහුන දීමට හැකි වන පරිදි මහජන සෞඛ්‍ය පද්ධතිය ගොඩනැගීම අතහැර දමා ඇති ආන්ඩුව සිය ආදායම් පහලයාම සහ විදේශ සංචිත සිඳීයාමට මුහුන දීමට සූදානම් වන්නේ ආන්ඩුවේ වියදම් කැපීම, එනම් රජයේ රැකියාවලට නව බඳවාගැනීම්, වැටුප්, අතිකාල, සුබසාධන සහ අනෙකුත් සියලු දීමනා කප්පාදුවකිනි.

මෙම ප්‍රහාරයන් ට එරෙහිව වැඩෙන කම්කරු පංතික අරගල මාලාව තලා දැමීම සඳහා මිලිටරිය මත පාදක ආඥාදායකත්වයක් වෙතට ජනාධිපති රාජපක්ෂ වේගයෙන් මාරු වෙමින් සිටී. අගෝස්තු 30 වනදා ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි නීතිය එම ආඥාදායක සැලසුම් වල ඉහලම තුඩකි. මීට පෙර රාජපක්ෂ විසින් පනවා ඇති, පසුගිය සතියේ යලි අලුත් කරන ලද අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පනත මගින් මුලු රාජ්‍ය අංශයේම පාහේ, නැතිනම් කම්කරුවන් මිලියනයකට ආසන්න ප්‍රමානයක වැඩ වර්ජන තහනම් කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් අංශවල වෘත්තීය සමිති මෙම වැඩෙන අන්තරාය කම්කරුවන්ගෙන් වසන් කරමින් සිටිති. සමිති නායකයින් ගුරු අරගලයට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරය පිලිබඳව කරන ප්‍රකාශවල, මෙම හදිසි නීති තත්වය පිලිබඳව වචනයක් හෝ සඳහන් නොකිරීමට ප්‍රවේශම් සහගත වෙති.

වර්ජනය මෙහෙයවන ප්‍රධාන වෘත්තීය සමිතියක් වන, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) මෙහෙයවන ලංකා ගුරු සේවා සංගමයේ (ලගුසේස) ලේකම් මහින්ද ජයසිංහ ඊයේ කැඳවන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ, රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ වෘත්තීය සමිති ආඥා පනතෙන්, වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලීම ඕනෑම සේවකයෙකුගේ “ශුද්ධ අයිතිවාසිකමක්” ලෙස පිලිගන්නා බැවින් ආන්ඩුවට ඊට ඉහලින් යා නොහැකි බවයි. “මේක පොලිස් රාජ්‍යයක් නොවේ, මේක හමුදා රාජ්‍යයක් නොවේ, මේක තවමත් ප්‍රජාතාන්ත්‍රික ජනරජයක්.” යනුවෙන් ඔහු පැවසුවේ කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ධනපති නීතියේ රැකවරනය යටතේ ආරක්ෂිත යැයි මිත්‍යාවක් වපුරමිනි.

'ජනාධිපතිවරයාගේ මර්දනීය හදිසි නීතිය විරුද්ධ වනු' යන මැයෙන් සමාජවාදී සමානතා පක්ෂය නිකුත්කරන ලද ප්‍රකාශයේ අවධාරනය කෙරෙන පරිදි ඉතිහාසය පුරා ලංකාවේ ආන්ඩු ධනපති පාලනයට තර්ජනයක් වෙමින් සමාජ හා දේශපාලන කැලඹිලි පැනනැගුනු විට, ඒවා ලේ වැකි අන්දමින් තලා දැමීමට පවතින සියලු නීති වලට ඉහලින් හදිසි නීතිය යොදාගෙන ඇත. ආන්ඩුව මෙවර හදිසි නීතිය පනවා ඇත්තේ, වසංගතයෙන් උග්‍ර කෙරුනු, පෙරනොවූවිරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ය.

කම්කරු පංතිය ඉදිරියේ මතුව පවත්නා මෙම බරපතල අන්තරායන් සහ අභියෝගයන් වසන් කරන වෘත්තීය සමිති, කම්කරුවන් දේශපාලනිකව නිරායුධ කොට, ධනපති ප්‍රහාර පරාජය කිරීමේ ශක්‍ය ක්‍රියා මාර්ගයකින් ඔවුන් වලකාලයි.

වෘත්තීය සමිති මවාපාන අන්දමට ධනපති නීතියේ හෝ එහි පදනම යටතේ පවතින කිසිඳු සංවිධානයක පිහිටෙන් ආන්ඩුවේ ප්‍රහාරයට ගුරු අරගලය ගොදුරුවීම වලකාලිය නොහැක. සසප දේශපාලන නායකත්වයෙන් පිහිටුවා ඇති ගුරු-සිසු-දෙමාපිය ක්‍රියකාරී කමිටුවේ මෑත ප්‍රකාශය තුල සඳහන් කල පරිදි 'ආන්ඩුවේ මෙම ප්‍රහාර නැවත නැවතත් ගුරුවරුන් ඇතුලු කම්කරු පන්තිය ඉදිරියේ මතු කර ඇත්තේ වෘත්තීය සමිතිවලින් බිඳී ගනිමින් රාජපක්ෂ ආන්ඩුවටත්, සමස්ත ධනේශ්වර පද්ධතියටත් එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන හා ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් සංවිධානය කිරීමේ දැවෙන අවශ්‍යතාවයයි.'

Loading