ආන්ඩුව හා ගුරු සමිති අතර සූදානම් කෙරෙන ගනුදෙනුව ප්‍රතික්ෂේප කරමු! ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් වැටුප් සටන පෙරට ගෙන යමු!

වැඩි වැටුප් ඉල්ලා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මාස දෙකකට ආසන්න කාලයක් පුරා ගෙනයන වර්ජනය තීරනාත්මක සන්ධිස්ථානයකට ගෙන එමින්, ගුරු වැටුප් සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කල “කැබිනට් අනුකමිටුවේ වාර්තාව මත”, ආන්ඩුව පසුගිය සතියේ තම තීන්දුව ප්‍රකාශයට පත් කලේය.

ඒ අනුව පලමු ශ්‍රේනියේ ගුරුවරුන් සඳහා ඉල්ලා සිටි රුපියල් 31,000 ක මාසික වැටුප් වැඩිවීම වෙනුවට ආන්ඩුව යෝජනා කරන්නේ රුපියල් 11,000 ක වැඩිවීමක් පමනි. 3-1 ශ්‍රේනියේ ගුරුවරයෙකුගේ මාසික වැටුප් වැඩිවීම රුපියල් 5000 කි. අනෙකුත් ශ්‍රේනි වලට සිදුවන වැඩිවීම්ද ඒ හා සමානුපාතිකව කප්පාදු කෙරී ඇත.

යෝජිත වැඩිවීම්ද ක්‍රියාත්මක වන්නේ අදියර හතරකිනි. ඒ අනුව, නොවැම්බර් අයවැයෙන්, පලමු ශ්‍රේනියට සහ 3-1 ශ්‍රේනියට වැටුප් වැඩි වන්නේ පිලිවෙලින් රුපියල් 2750 කින් සහ රුපියල් 1250 කින් පමනි.

2021 අප්‍රේල් 05 බදුල්ල නගරයේ දී ගුරුවරු පැවැත් වූ විරෝධතාවක්

පිම්මේ ඉහල යන ජීවන වියදමට අලගු තැබීමටවත් නොසෑහෙන මෙම සොච්චම් වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කරමින්, තම ඉල්ලීම් ලැබෙනතෙක් සටන් කිරීමේ අධිෂ්ඨානයෙන් ගුරුවරුන් සිටින බව, සමාජ මාධ්‍ය තුල ඔවුන් පල කරන සටහන් මගින් ප්‍රකාශයට පත්වෙයි.

මෙම තතු යටතේ, ගුරු-විදුහල්පති සමිතිවල නායකත්වය යටතේ මෙම සටන ඉදිරියට ගෙන යා හැකිද? එය ඉදිරියට ගෙනයාමේ ශක්‍ය වැඩපිලිවෙලක් ඔවුන්ට තිබේද? එසේ නොවේනම් කල යුත්තේ කුමක්ද? යන කරුනු ගැන බැරෑරුම් අවධානයක් යොමු කලයුතු ලක්ෂ්‍යයකට අපි පැමින සිටින්නෙමු.

“රට” බරපතල ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින බැවින්, ගුරුවරුන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම “මේ මොහොතේ” ඉටුකල නොහැකි බව ආන්ඩුව දිගින් දිගටම කියා සිටියේය. එයට ප්‍රතිචාර දක්වමින්, “රට” ආර්ථික අර්බුදයක ගිලී ඇතිබව තමුන් ද පිලිගන්නා බව කියාසිටි සමිති, ඔවුන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම “ප්‍රතිපත්තියක් ලෙස” පිලිගෙන එය අදියර කීපයකින් ක්‍රියාත්මක කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියහ.

ලංකා ගුරු සංගමය, ජනතා විමුක්ති පෙරමුනෙන් පාලනය කරන ලංකා ගුරු සේවා සංගමය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ එක්සත් ගුරු සේවා සංගමය ඇතුලු වෘත්තීය සමිති විසින් තනාදුන් එම පිටියේ ක්‍රීඩා කරන ආන්ඩුව, ගුරුවරුන්ගේ වැටුප් ඉල්ලීම් “ප්‍රතිපත්තියක් ලෙස” පිලිගන්නා බවත්, තම කැබිනෙට්ටුව යෝජනා කරන වැටුප් වැඩිවීම අදියර හතරකින් ක්‍රියාත්මක කරන බවත් කියා සිටී.

ආන්ඩුවේ යෝජනාවට ගුරුවරුන් අතරින් මතු වූ විරෝධය හමුවේ, සමිති දැන් කියා සිටින්නේ, ආන්ඩුව යෝජනා කල වැටුප් වැඩි කිරීම එක්වර ලබාදිය යුතු බවයි. මෙය, ගුරුවරුන්ගේ මුල් වැටුප් ඉල්ලීම අත්හැර, ආන්ඩුවේ වැටුප් වැඩී කිරීමේ පොරොන්දුව වැලැඳ ගනිමින්, වර්ජනය අවසානයකට ගෙන ඒමට සමිති සූදානම් වෙමින් සිටින බව පෙන්නුම් කෙරෙන පැහැදිලි සංඥාවකි.

ආන්ඩුව මෙම සොච්චම හෝ දෙන බව ප්‍රකාශයට පත්කලේ, ගුරු සටන නතර කිරීම සඳහා” සමිති වලට එය “ජයග්‍රහනයන්” ලෙස යොදාගත හැකි වෙතැයි ගනන් බලමිනි. නමුත්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අතර පැනනැගි විරෝධය හමුවේ, සමිති වලට එය කල නොහැකි විය. ජනාධිපති රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස සමිති නායකයන් දැන් ආයාචනා කරන්නේ, ඔවුන්ගෙන් ලබා ගන්නා කුමන හෝ ව්‍යාජ පොරොන්දුවක් ජයග්‍රහනයක් ලෙස හුවා දක්වා සටන නිමාවකට ගෙන ඒමටයි.

එසේ නොහැකිවුවහොත්, විසඳුමක් නොමැතිව වර්ජනය ඉදිරියට යාමට ඉඩදී, ආන්ඩුව සහ ධනපති මාධ්‍ය එක්ව ගෙනයන ප්‍රතිගාමී උද්ඝෝෂනයේ පීඩනයෙන් ගුරුවරුන් හෙම්බත් කොට වර්ජනය දියකර හැරීම හැර අන් විකල්පයක් සමිති වලට නැත.

දැරිය නොහැකි ජීවන වියදම සහ වැඩ කන්දරාව හේතුවෙන් ගුරුවරුන් අතර වැඩී ඇති කෝපය, රාජපක්ෂ ආන්ඩුව වසංගතය සම්බන්ධයෙන් අනුයන මිනීමරු පිලිවෙත මගින් වඩාත් උත්සන්න කෙරී, පුපුරායන මට්ටමකට ලඟා වෙමින් පැවතියදී, එම කෝපය තම අතයට හසුරුවා ගැනීමේ අරමුනෙන්, සමිති නිලධරය මෙම වර්ජනය කැඳවීමට පියවර ගත්හ.

නමුත්, වර්ජනය මෙතෙක් දුරදිග යතැයි සමිති නායකයෝ කිසිසේත් නොසිතූහ. වසර 24 ක් පුරා මෙම වැටුප් ඉල්ලීම මත ගුරුවරුන් කල සෑම සටනකදීම කල පරිද්දෙන්, ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දුවක් මත මෙම සටන ද ඉක්මනින්ම අවසානයකට ගෙන යා හැකි වෙතැයි සමිති නායකයන් ගනන් බැලුව ද, කරනු දෙකක් නිසා මෙතෙක් ඔවුනට එය ඉටුකරගත නොහැකිව ඇත.

දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එවන් සොච්චම් වැඩිවීමක් සහිත පොරොන්දුවක් පිලිගැනීමට කිසිසේත් සූදානම් නොමැති වීම ඉන් පලමුවැන්න යි.

දෙවැන්න, වසංගතයෙන් උග්‍ර කෙරුනු ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුවෙන්, දැනට යෝජනා කෙරී ඇති සොච්චම හෝ ඉක්මවා යන “පොරොන්දුවක්” ලබා ගැනීමට සමිති වලට නොහැකි වීමයි. ගුරුවරුන්ට කෙරෙන අවම වැටුප් වැඩි කිරීමක් මගින් පවා අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන් ද වැටුප් සටන් වලට දිරි ගන්වනු ඇතැයි ආන්ඩුව ගනන් බලයි.

මෙම තතු තුල, ආන්ඩුව වර්ජනය නතර කිරීම සඳහා ගුරුවරුන් මත යොදන පීඩනය සෑම අතින්ම වැඩිකර තිබේ. නොවැම්බර් අයවැයෙන් වැටුප් වැඩි කරන තෙක් සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සඳහා දෙන බවට පොරොන්දු වූ රුපියල් 5000 මාසික දීමනාව, වැඩ වර්ජනයේ නිරත වන ගුරුවරුන්ට ලබා නොදෙන බවට ආන්ඩුව පසුගිය දා තර්ජනය කලේය.

ඒ සමගම, අරගලය තුල ක්‍රියාකාරී ගුරුවරුන්ට එරෙහි දඩයම වඩාත් තීව්‍රකර තිබේ. ගුරු-විදුහල්පති වැටුප් සටනේදී, “මහජන රැස්වීම්, පෙලපාලි හා උද්ඝෝෂන පැවැත්වූ ස්ථාන සහ දින, ඒවා සංවිධානය කල පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන්” පිලිබඳ වාර්තාවක් හැකි ඉක්මනින් සපයන ලෙස පොලීසිය සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුටම දන්වා ඇත.

ගුරුවරුන් බියවද්දා වර්ජනය බිඳීමට දරන ප්‍රයත්නයට සමගාමීව, ආන්ඩුව ගුරුවරුන්ට එරෙහිව අවශේෂ මහජනතාව උසිගැන්වීමේ ව්‍යාපාරයක් ද දියත්කර ඇත. ගුරු උද්ඝෝෂන හේතුවෙන් වසංගත ව්‍යාප්තිය වේගවත් කල බවට ද, ඔන්ලයින් ඉගැන්වීම් වලින් ඉවත්ව දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන බවට ද, රට ආර්ථික වශයෙන් දුෂ්කර අවස්ථාවකට මුහුන දී සිටියදී තම බඩවියත ගැන පමනක් සිතමින් “මස් රාත්තලම” ඉල්ලා සිටින බවට ද ආන්ඩුවේ මැතිඇමතිවරුන් ගුරුවරුන්ට චෝදනා කරති. ධනපති මාධ්‍ය විසින් ද මීට පූර්න සහාය ලබාදෙමින් සිටිති.

මෙම පසුබිම තුල තම සටන ඉදිරියට ගෙනයාමට අධිෂ්ඨානය පමනක් ප්‍රමානවත් නොවන බවත්, එය ශක්‍ය දේශපාලනික වැඩපිලිවෙලක් මත පාදක වියයුතු බවත්, ගුරුවරුන් වටහාගත යුතුවෙයි. තම සටන ද ඇතුලත් ජාත්‍යන්තර කම්කරු පංතික අරගල වල අත්‍යවශ්‍ය පාඩම් උකහා ගැනීමෙන් තොරව එවන් වැඩපිලිවෙලක් වර්ධනය කල නොහැක.

වැඩි වැටුප් ඉල්ලා ලංකාවේ ගුරුවරුන් ද, වසංගතය මධ්‍යයේ පාසැල් විවෘත කිරීමට එරෙහිව එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ගුරුවරුන් ද, යහපත් සේවා කොන්දේසි සහ වැඩි වැටුප් ඉල්ලා ලොවපුරා සෞඛ්‍ය කම්කරුවන් ද ගෙයන අරගල වල අත්දැකීම වන්නේ, ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීමේ උද්ඝෝෂන, විරෝධතා සහ වැඩවර්ජන මගින් තම ඉල්ලීම් කිසිවක් සාක්ෂාත් කල නොහැකි බව යි.

ධනපති ආන්ඩුවල සහ ධනපති හාම්පුතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රතිගාමී උපකරන බවට ලොවපුරා වෘත්තීය සමිති පරිවර්තනය වී ඇති බවත්, එම සමිති මගින් තම අවශ්‍යතා කිසිවක් නියෝජනය නොකෙරෙන බවත් ලොවපුරා කම්කරුවෝ ඒ සමගම අත්දකිමින් සිටිති.

වසංගතය ව්‍යසනකාරීව පැතිරෙද්දී රාජපක්ෂ ආන්ඩුව ආර්ථිකයේ සියලු අංග විවෘත කරමින් කම්කරුවන් වැඩට දක්කන විට, හාම්පුතුන් සහ ආන්ඩුව එක්ව කම්කරුවන්ගේ රැකියා වැටුප් කපා දමන විට වෘත්තීය සමිති ඒවාට මුලුමනින්ම දායක විය. එපමනක් නොව, රාජ්‍ය අංශයේ මිලියනයකට අධික කම්කරුවන් අලලා රුදුරු “අත්‍යවශ්‍ය මහජන සේවා” නියෝගය පනවා ඇතත් ගුරු සමිති ඇතුලු වෘත්තීය සමිති ඊට නිහඬව සහාය දෙති.

පාසැල් යලි ආරම්භ කරමින් ලමා ජීවිත වසංගතයට බිලිදෙන එක්සත් ජනපද බයිඩන් පරිපාලනයේ මිනීමරු පිලිවෙත වෙනුවෙන්, ඇමරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන් විවෘතවම උද්ඝෝෂනයේ යෙදී සිටී. වෙයින්ගාර්ටන් මෙන්ම, ලංකාවේ ගුරු සමිති සියල්ලම, ජනාධිපති රාජපක්ෂ වසංගතය මධ්‍යයේ පාසැල් විවෘත කලවිට එයට තම සහයෝගය පල කලහ.

මෙම අත්දැකීම් සහ පාඩම් වල නිගමනය වනුයේ, ගුරුවරුන් ඇතුලු සියලු කම්කරුවන්ට තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට නව වැඩපිලිවෙලක් සහ නව සංවිධාන රූපයක් අවශ්‍ය බවයි.

ගුරු වැටුප් කප්පාදුව ඇතුලු සියලු ප්‍රහාරයන්හි මූලය ගෝලීය ධනේශ්වර අර්බුදයයි. එබැවින් එම ප්‍රහාරයන්ට එරෙහි සටන, ධනපති ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන සටනකි. කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන සටනක් වන එයට මෙම සමිති සපුරා එරෙහිය. ගුරුවරුන් තම අරගලය තවදුරටත් ඔවුන් අත පැවතීමට ඉඩ නොදී එය වහාම තම අතට ගත යුතුය. ඒ සඳහා, වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ නව සංවිධාන රූපයන් ලෙස, ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කම්ටු ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙයි. අප කම්ටුව ඒ සඳහා පූර්වාදර්ශයක් වෙයි.

සෑම පාසලක් ආශ්‍රිතවම එවන් කම්ටු ගොඩ නැගීමට පෙරට එන ලෙසත්, එම කමිටු වටා නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කර ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙලෙන දෙමාපියන්, සිසුන් සහ අවශේෂ කම්කරු-පීඩිත මහජනතාව රැලිකර ගැනීමට සටන් වදින ලෙසත්, අපි සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු. ආන්ඩුවේ මර්දනයෙන් සහ ප්‍රතිගාමී උද්ඝෝෂනයෙන් ගුරුවරුන්ගේ වැටුප් අරගලය ආරක්ෂා කිරීම සඳහා අවශේෂ කම්කරුවන්ගේ සහාය ගොනුකර ගැනීමට ද, මෙම කම්ටුව සටන් වැදිය යුතුය.

“ගුරුවරුන්ගේ වැටුප් අරගලය ජය ගන්නේ කෙසේද?” යන හිසින්, 2021 ජූලි 25 දා අප කමිටුව නිකුත් කල ප්‍රකාශයේ ගුරුවරුන්ගේ අරගලය පාදක කරගත යුතු ඉල්ලීම් මෙසේ ඉදිරිපත් කලෙමු:

  • ජීවන වියදමට අනුව සැකසෙන පරිදි ගුරුවරයෙකුගේ අවම මාසික වැටුප රුපියල් 60,000 ක් කරනු!
  • සෑම ගුරුවරයෙකුටම පූර්න විශ්‍රාම වැටුපක් සහතික කරනු!
  • මහජන අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10 ක් වෙන් කරනු!
  • සියලුම ගුරුවරුන්ට සහ සිසුන්ට පරිගනක සහ ඔන්ලයින් පහසුකම් නොමිලේ ලබා දෙනු!
  • අඩු පොලී අනුපාත යටතේ ප්‍රමානවත් නිවාස නය පහසුකම් සම්පාදනය කරනු!

අපි එහිදී මෙසේද කීවෙමු:

අප අවධාරනය කරන්නේ, පුද්ගලික දේපොල සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය තුල මෙම යුක්තියුක්ත ඉල්ලීම් සාක්ෂාත් කල නොහැකිබවයි. එය කල හැක්කේ, සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවියන්ගේ ආන්ඩුවකින්, රාජපක්ෂ ආන්ඩුව ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ධනේශ්වර පන්ති පාලනය විස්ථාපනය කිරීමෙනි. එය ලෝක ධනවාදය සහ ධනේශ්වර ලාබ පද්ධතිය අහෝසි කරන්නා වූ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ අත්‍යන්ත කොටසකි.

කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනගමින් මෙම අරගලය ඉදිරියට ගෙනයාම සඳහා ගුරු-සිසු සුරක්ෂිතතා කමිටුව සමග එක්වන ලෙස අපි සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading