ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් 30,000ක් අප්‍රමානවත් කොවිඩ්-19 ආරක්ෂන පියවරයන්ට එරෙහි ව විරෝධය දක්වති

රට පුරා ඉහල යන ආසාදන හා මරන මධ්‍යයේ වර්ධිත කොවිඩ්-19 ආරක්ෂන පියවරයන් වර්ධනය කරන ලෙස ඉල්ලා, ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී අත්‍යවශ්‍ය මහජන සේවා නීති නොතකමින්, ලංකාවේ රාජ්‍ය අංශ සෞඛ්‍ය සේවකයෝ 30,000ක් පමන සැප්තැම්බර් 22දා ජාතික පරිමාන විරෝධතාවක කෑම පැයේදී නිරත වූ හ.

එයට සහභාගි වූ සෞඛ්‍ය සේවකයන් අතරට, හෙදියන්, අතුරු වෛද්‍ය සේවකයන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, උපස්ථායකයින් හා කාර්යාල කාර්ය මන්ඩලය ඇතුලත් විය. ආන්ඩුව තමන්ගේ ඉල්ලීම් පිලිබඳව අවධානය යොමු නොකරන්නේ නම්, සැප්තැම්බර් 27දා පැය පහක වැඩ වර්ජනයක් පවත්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති නිවේදනය කර තිබේ.

විරෝධතාවේ යෙදෙන කලුබෝවිල රෝහලේ හෙදියෝ (මූලාශ්‍රය: රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ෆේස්බුක් පිටුව)

මැයි මස අවසානයේ දී ආන්ඩුව විසින් අත්‍යවශ්‍ය සේවා යයි ප්‍රකාශ කරන ලද බොහෝ රාජ්‍ය අංශවලින් එකක් වන්නේ මහජන සෞඛ්‍ය අංශය යි. කාර්මික ක්‍රියාවකට සහභාගි වන, එවන් ක්‍රියාවකට “අනුබල දෙන” හෝ “පොලඹවන” ඕනෑ ම කම්කරුවෙකුට දීර්ඝ සිර දඬුවම් හා විශාල දඩ සමගින් රුදුරු දඬුවම් මෙම නීතිය යටතේ පනවනු ලැබිය හැක. වැඩ වර්ජන තහනම් කිරීම, කම්කරුවන් නෙරපා හැරීම හා අත්අඩංගුවට ගැනීම දක්වා විස්තීර්න කල හැකි හදිසි තත්ත්වයක් ද අගෝස්තු 30දා ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශයට පත් කලේ ය.

ලංකාව තුල රාජ්‍ය රෝහල් 1,103ක් පමන තිබේ. ඊයේ පැවති උද්ඝෝෂනයට කොලඹ ජාතික රෝහලේ සහ උතුරු හා දකුනු කොලඹ ශික්ෂන රෝහල්වල කම්කරුවන් ඇතුලු මේ සියලු රෝහල්වල කම්කරුවෝ සම්බන්ධ වූ හ. කරාපිටිය, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය, බදුල්ල, මඩකලපුව, මහනුවර හා පේරාදෙනිය යන රෝහල්වල කම්කරුවෝද එයට සහභාගි වූ හ. මාතෘ හා ලමා රෝහල් ද හදිසි හා දැඩි සත්කාර ඒකක සහ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්තානද ඊට සහභාගි වූයේ නැත.

සෞඛ්‍ය අංශවල වෘත්තීය සමිති 44ක ලිහිල් සන්ධානයක් වන සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති එකමුතුව විසින් දිවා ආහාර කාලයේ කල විරෝධතාව කැඳවන ලදී. විරෝධතාවට සහභාගි වූ අය අතරට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, වෛද්‍ය රසායනාගාර තාක්ෂනඥ සන්ධානය, ජනරජ සෞඛ්‍ය සේවක සමිතිය, ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන සමස්ත ලංකා සෞඛ්‍ය කම්කරු සමිතිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සමිතිය යන ඒවායේ සාමාජිකයෝ අයත් වූ හ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන තන්ත්‍රයට සම්බන්ධ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය උද්ඝෝෂනයට සම්බන්ධ වූයේ නැත.

දිවා ආහාර කාල විරෝධතාවේ යෙදෙන මහනුවර රෝහලේ කම්කරුවෝ (මූලාශ්‍රය: රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ෆේස්බුක් පිටුව)

පසුගිය මාස තුන පුරා ගෙවන ලද රුපියල් 7,500 විශේෂ දීමනාව අඛන්ඩ ව ගෙවන ලෙස ද කොරෝනා වෛරසය විසින් ඇති කරන ලද අධික වැඩබර පැටවී ඇති සේවකයන්ට විශේෂ නිවාඩු ලබා දෙන ලෙස ද සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලා සිටිති. වැඩට වාර්තා කිරීම හා ආපසු යාම සඳහා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් මෙන් ම හොඳ සේවා කොන්දේසි හා යථා පරිදි පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) සම්පාදනය කිරීම ද සෞඛ්‍ය කම්කරුවන්ට අවශ්‍ය ය.

විශේෂ දීමනා, වැටුප් වැඩිකිරීම් හා වර්ධිත ආරක්ෂක පියවරයන් ඉල්ලා, ජුනි හා ජූලි මාසවල දී සෞඛ්‍ය සේවකයෝ දහස් ගනනක් බලගතු විරෝධතා හා අනෙකුත් කාර්මික ක්‍රියා දියත් කල හ. පිලිවෙලින් සෞඛ්‍ය සේවකයන් 20,000ක් හා 50,000ක් සහභාගි වූ විරෝධතා ජුනි 4 හා 11 දිනවල පවත්වන ලදී.

ජූලි 1-2 දිනවල “අසනීප නිවාඩු” වාර්තා කල දෙදින උද්ඝෝෂනයක් 30,000ට අධික හෙදියන් විසින් දියත් කරනු ලැබී ය. ඉන් දින තුනකට පසුව, ජූලි 5දා 25,000ට අධික පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා සේවකයෝ අඛන්ඩ වැඩ වර්ජනයක් ඇරඹූහ. ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු මාලාවක් පිලිගත් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මෙම කාර්මික ක්‍රියා නවතා දමන ලදී.

මෙම අරගල පාවා දුන් වෘත්තීය සමිති රාජ්‍ය අංශයේ සෞඛ්‍ය මධ්‍යස්තානවල අනතුරුදායක හා අගතියට පත්වන කොන්දේසි අරබයා සෞඛ්‍ය කම්කරුවන් අතර ඉහල යන කෝපයට ප්‍රතිචාර ලෙස, ඊයේ පැවති විරෝධතා කැඳවූ හ.

විරෝධතාවේ යෙදෙන පේරාදෙනිය රෝහල් කම්කරුවෝ (මූලාශ්‍රය: රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ෆේස්බුක් පිටුව)

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් ආරම්භ කරන ලද සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, “සෞඛ්‍ය කම්කරු සහෝදර සහෝදරියනි! අරගලය අපේ අතට ගෙන මෙහෙයවමු!” නමැති ප්‍රකාශයක් බෙදාහරිමින් ඊයේ පැවති විරෝධතාවන්ට මැදිහත් විය. ප්‍රකාශයෙන් උපුටාගත් කොටස් පහත දැක්වේ.

****

  • වසංගතය විසින් ගැඹුරු කර ඇති දුෂ්කර වැඩ කොන්දේසි මධ්‍යයේ, විශේෂ මාසික දීමනා අඛන්ඩ ව සම්පාදනය කිරීම, විශේෂ නිවාඩු හා අපගේ ම සෞඛ්‍යාරක්ෂනය තහවුරු කිරීම සඳහා දැවෙන අවශ්‍යතාවක් පවතී.
  • බොහෝ වාට්ටුවලට පීපීඊ සපයන්නේ අවශ්‍ය ප්‍රමානයෙන් තුනෙන් එකකි. ඒ නිසා ම නැවත නැවත පාවිච්චි කල නොහැකි මෙම ඇඳුම් සෝදා නැවත පාවිච්චි කිරීමට බලකෙරී ඇත. ඒ හේතුවෙන් ජීවිත අනතුර ද මතු කකෙරේ.. අප ආසාදනය වන්නේ අපේම නොසැලකිල්ලෙන් බව පවසන සෞඛ්‍ය බලධාරීහුඅප හැසිරිය යුත්තේ කෙසේද යන්න පිලිබඳ චක්‍රලේඛ නිරන්තරව නිකුත් කරති!
  • දැනට ආන්ඩුව පවත්වා ගෙන යන සීමීත අගුලු දැමීම තුල ප්‍රවාහන පහසුකම් කිසිත් නොමැතිවීම සෞඛ්‍ය සේවකයන් වන අප මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්නයකි. අප අතරින් සමහර අයට දිනකට රුපියල් 500 ත් 750 ත් අතර මුදලක් ප්‍රවාහන කටයුතු සඳහා වියදම් කිරීමට සිදු වී ඇත. අනෙකුත් සමහර කම්කරුවන්ට ඔවුන්ගේ වැටුපෙන් විශාල මුදලක් බෝඩිම් ගාස්තු හා කෑම බීම සපයා ගැනීම සඳහා වැය කිරීමට සිදුව ඇත.
  • එමෙන් ම ආසාදනය වන සෞඛ්‍ය සේවකයින්, ආසාදනය වී දින 10 කින් පසු වැඩට ගෙන්වීම සහ රෝග ලක්ෂන නොමැති සේවකයින් දිගට ම වැඩෙහි යෙදවීම ආන්ඩුව දිගටම කරගෙන යයි. මෙමගින්, නිරෝගී සේවකයින්ට මෙන් ම, ඔවුන්ගෙන් සත්කාර ලබන රෝගීන්ට මරනීය ප්‍රතිවිපාක ජනිත කෙරී ඇත. නිල සංඛ්‍යාලේඛන වහංගු කර තිබුන ද, අවම වශයෙන් 6,000ක් පමන සෞඛ්‍ය සේවක සේවිකාවන් මේවන විට ආසාදනය වී සමහරුන් මරනයට පත් වී ඇත. අප පවුල්වල සාමාජිකයන් ආසාදනය වීම් ඉහල යන අතර සමහරුන් මරනයට ද පත් වී තිබේ.

අපේ ඉල්ලීම් දිනා ගැනීමේ සටන ජයග්‍රහනය දක්වා ගෙන යාමේ දැඩි අධිෂ්ඨානයක් අප සතු වුව ද, අතීත අරගලවලින් පෙන්වා දෙන පරිදි, ජයග්‍රහනය සඳහා අධිෂ්ටානය පමනක් ප්‍රමානවත් නො වේ. මෙම සටනේ දී අප මුහුන දී සිටින යතා අභියෝග හඳුනා ගැනීමත්, එම අභියෝග ජයගත හැකි විද්‍යාත්මක වැඩපිලිවෙලක් මත අපේ සටන පාදක කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන් ම අනෙකුත් ක්ෂේත්‍රයන්හි සෑම කම්කරු සටනක දී ම ආන්ඩුව කියා සිටින්නේ, රට මුහුන දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ, කම්කරු ඉල්ලිම් කිසිවක් ඉටුකල නොහැකි බවයි. වැඩි වැටුප් ඉල්ලා 250,000 කට අධික ගුරුවරුන් ගෙනයන වර්ජනය දැන් තුන්වන මාසයට එලඹී තිබෙන්නේ, ආන්ඩුව එම ඉල්ලීම දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යංශ ඇතුලු සෑම රාජ්‍ය ආයතනයකම වියදම් කපා හරින ලෙස සහ නව බඳවා ගැනීම් නතර කරන ලෙස මුදල් අමාත්‍යංශය පසුගිය දා විධානය කලේ ය.

මෙම තතු තුල වෘත්තීය සමිති යලි යලිත් සිදු කරමින් සිටින්නේ, ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික අර්බුදයේ බර තම සාමාජිකයන් මත පැටවීම කල හැක්කේ කෙසේද යන්න පිලිබඳව ආන්ඩුව සමඟ කූඨ ගනුදෙනු වලට යාම හා උපදෙස් දීමයි.

මූලික වැටුපෙන් සියයට 78 ක විශේෂ මාසික දීමනාවක් වසංගත සමය තුල ලබාදෙන ලෙස ඉල්ලා ජූනි 11 දා වර්ජනයට පිවිසි සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය, රුපියල් 7,500 ක් දක්වා කප්පාදු කෙරුනු සහ මාස තුනකට පමනක් සීමා කෙරුනු මාසික දීමනාවකට යටත්කොට පාවා දීමට ‘සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව’ කටයුතු කලේය. වෘත්තීය සමිති ආන්ඩුවේ කප්පාදු කල දීමනාවන් පිලිගැනීම නිසා, අපේ මූලික ඉල්ලීම් යලි යලිත් ඉදිරිපත් කිරීමට දැන් අපට බල කෙරී තිබේ.

ගුරු සංගම් ද, වර්ජනයේ යෙදී සිටින තම සාමාජිකයන්‌ගේ කැමැත්තට පිටින්, මුල් වැටුප් ඉල්ලීම තුනෙන් පංගුවකට කප්පාදු කෙරුනා වූ ද ඔවුන්ගේ සාමාජිකයන්ගේ කැමැත්තෙන් තොර වූ ද ආන්ඩුව විසින් යෝජිත ගනුදෙනුවකට කැස කවති.

ඒ අතර ම, දැන් තම යුක්ති යුක්ත අයිතීන් අරබයා අරගලයන්ට පිවිසෙන කම්කරුවන් මත කඩා පැනීම සූදානම් කිරීම ආන්ඩුව විසින් තීව්‍ර කරමින් සිටී. පසුගිය මැයි මාසයේ දී, බොහෝ රාජ්‍ය ආයතන ආවරනය කරමින්, “අත්‍යවශ්‍ය මහජන සේවා පනත” පැනවීමට එය ක්‍රියා කලේ ය. මෙම ආඥාව යටතේ, කාර්මික ක්‍රියා තහනම් කර ඒවා “උල්ලංඝනය කිරීමට” දරුනු දඬුවම් පනවනු ලැබ ඇත.

පසුගිය මාසයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ හා මිල පාලනයන් පැනවීමේ කඩතුරාව යටතේ, රට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ආන්ඩුව කටයුතු කලේ ය. සියලු කම්කරු අරගලවලට විරුද්ධ ව මෙම විෂඝෝර නීතිය විස්තීර්න කරනු ලැබිය හැක.

සෞඛ්‍ය අංශයේ සමිති ඇතුලු වෘත්තීය සමිති, මෙම මර්දනීය නීති විසින් ඉදිරියට දමන අන්තරායන් කම්කරු ජනයාගෙන් සඟවමින් සිටිති. මෙම පියවරයන් අනුමත කරන අයුරින් ඒවා පිලිබඳ ව වෘත්තීය සමිති මුලුමනින් ම නිහඬ ව සිටින්නේ, ඔවුන් ආන්ඩුව හා ධනපති ක්‍රමය ආරක්ෂා කරන නිසාවෙනි.

එහි ජාත්‍යන්තර සගයන් මෙන් රාජපක්ෂ ආන්ඩුව ද ආඥාදායක පාලන රූප කරා හැරී ඇත්තේ, ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාවගේ උරමත පැටවීමටත්, ඔවුන්ගේ අරගල හැකි රුදුරු ම ආකාරයෙන් මැඩීම පිනිසත් ය.

මෙම තතු තුල, ධනපති පාලනයන්ට පීඩනය දැමීම මගින් කම්කරුවන්ට ඔවුන්ගේ ඉල්ලීම් දිනාගත නො හැක. අපේ අයිතීන් සඳහා අරගලය අපගේ ම අතට ගත යුත්තේ එබැවිනි. රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල වෘත්තීය සමිති වලින් ස්වාධීනව සෞඛ්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය ය. ඒවායේ සාමාජිකයන් විසින් මෙම කමිටු ප්‍රජාතන්ත්‍රවාදී ව පාලනය කරනු ඇත. සමහර රෝහල් තුල අපි දැනට මත් එවන් කමිටු බිහිකර ඇති අතර, ඒවා සියලු රෝහල් තුලට විස්තාරනය කිරීම අවශ්‍ය වේ.

මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා අප දේශපාලනික ව සූදානම් විය යුතු ය. ආර්ථික අර්බුදයේ බර අප මත පැටවීමට අධිෂ්ටානවත් ව සිටින ආන්ඩුවේ හා ධනපති පන්තියේ පිලිවෙත් පරාජය කිරීමෙන් තොර ව, අපට අපගේ ඉල්ලීම් ජයගත නො හැක. ඔවුන්ගේ අර්බුදයට අප වගකිව යුතු නැත. මානව ජීවිතවලට ඉහලින් ලාභ පිහිටුවන සමාජ පර්යාය අවසන් කරන විකල්ප ක්‍රියා මාර්ගයක් සඳහා අප සටන් වැදිය යුතු ය.

එවන් ඉදිරි දර්ශනයකට අත්‍යන්තයෙන් හතුරු වෘත්තීය සමිති, ඒවායේ සාමාජිකයන්ගේ වැඩෙන සටන්කාමීත්වය වාෂ්ප කිරීමටත්, ආන්ඩුවට පීඩනය යෙදිය හැකි ය යන කියාපෑම් පිටුපස එය ගාල් කිරීමටත්, වර්තමාන විරෝධතාවන් කැඳවුම් කර ඇත.

ශ්‍රේනි භේද කපාගෙන සියලු සෞඛ්‍ය සේවකයන් එකමුතු කිරීම සංවිධානය කරන අතර ම, අප මෙන් පොදු ගැටලුවලට මුහුන දෙන අනෙකුත් සියලු කම්කරුවන් කරා ලඟා විය යුතු ය. ගුරුවරුන්ගේ අරගලය සඳහා අපි අපගේ සහයෝගය ක්ෂනික ව විස්තාරනය කල යුතු වෙමු.

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව මෙවන් ස්වාධීන කම්කරු සංවිධාන හා එවන් කමිටුවල ජාලයක් ගොඩනගන ලෙස සෞඛ්‍ය හා අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන්ට කැඳවුම් කරයි. ලොව පුරා රටවල කම්කරුවන් ඒකාබද්ධ කරමින් ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමේ අරගලයට අපි සහයෝගය දිය යුතු වෙමු.

Loading