ගුරුවරුන්ට එරෙහි ආන්ඩුවේ මර්දනය ශිෂ්‍යයෝ සහ දෙමාපියෝ හෙලා දකිති

වැඩි වැටුප් ඉල්ලා රජයේ පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ගෙන යන ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය බිඳ දැමීම සඳහා රාජපක්ෂ ආන්ඩුව දියත්කොට ඇති පොලිස්-රාජ්‍ය මර්දනය වඩාත් තීව්‍ර කෙරෙමින් පවතී. එහි මෑතම පියවර වන්නේ, වර්ජනයේ නිරත ගුරුවරුන් විසින් ඔන්ලයින් ඉගැන්වීම්වල යෙදී සිටින්නේ යයි කියන ගුරුවරුන්ට “මරන තර්ජන“ එල්ල කර ඇති බවට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් ගුරුවරුන් දඬු ගැසීමට පොලීසිය ආරම්භකොට ඇති වැඩපිලිවෙලයි.

ආන්ඩුව තම පන්දම්කාර වෘත්තීය සමිතියක් වන පොදු ජන අධ්‍යාපන සේවකයන්ගේ සංගමයේ (පොඅසේස) නායකයන් කීප දෙනෙකු මෙම ව්‍යාජ පැමිනිලි ඉදිරිපත් කිරීමට යොදාගෙන ඇත. ඒ යටතේ පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ක්‍රියාකාරිනියක වන ශ්‍රීනි නිලීකා අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කලේ ය. චූදිතයන් ඔවුන්ට එරෙහි චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම දඩයම සැලසුම් කරමින් මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර කල විසකුරු ප්‍රකාශය සමස්ත කම්කරු පන්තියට කල අනතුරු ඇඟවීමකි. “ත්‍රස්තවාදය මතු වීමේ හේතු සාධාරන වුවත් නැති වූවත් ඉන් මහජනයාට තර්ජනය වූ නිසා අපි ත්‍රස්තවාදය විනාශ කලා. ගුරුවරුන්ගේ අරගලයේ හේතු සාධාරන වුවත් නැතැත් ඉන් ලමයින් බැටකන නිසා අපි වර්ජනය සාධාරනීකරනය කරන්නේ නැහැ“ යයි වීරසේකර ප්‍රකාශ කලේ ය.

වීරසේකර ගුරුවරුන්ට මෙසේ තර්ජනය කරන්නේ, ආන්ඩුව විසින් රුදුරු මර්දන බලතල මාලාවක් සහිත හදිසි නීතිය හා රාජ්‍ය සේවයේ බහුතරයක් ක්ෂේත්‍රයන් වලට අත්‍යාවශ්‍ය සේවා නියෝග බලාත්මක කර තිබෙන තත්වයක් යටතේ ය. අගෝස්ත්‍ර 20 දා ජාතිය අමතා කල කතාවේ දී “වර්ජන සහ උද්ඝෝෂන කිරීමෙන් රට අරාජික නොකරන“ ලෙස ජනාධිපති රාජපක්ෂ කම්කරුවන්ට අනතුරු ඇඟවූවේය.

ගුරුවරුන්ට එරෙහිව වර්ධනය කෙරෙන මෙම රාජ්‍ය දඩයමට එරෙහි වෙමින්, ගුරු අරගලය වටා අවශේෂ කම්කරු පන්තියේ සහාය ගොනු කිරීම සඳහා සටන් වැද සිටින ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුව ඒ සඳහා ගුරුවරුන්, ශිෂ්‍යයන් හා දෙමාපියන් අතර සාකච්ඡාවක් වර්ධනය කරමින් සිටී.

'ගුරු වර්ජනයේ ක්‍රියාකාරීන්ට එරෙහිව ආන්ඩුව උසිගන්වා ඇති පොලිස් දඩයම නතර කරනු!' යන හිසින් අප කමිටුව මේ මස 15 දා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල ප්‍රකාශය මෙම සාකච්ඡාවන් හි දී කේන්ද්‍රීයව සාකච්ඡාවට ගැනුනි.

එම සාකච්ඡාවකදී බස්නාහිර පලාතේ විදුහල්පතිවරයෙකු වන එම සාකච්ඡාවකදී බස්නාහිර පලාතේ විදුහල්පතිවරයෙකු වන ලියනගේ මෙසේ පැවසීය: “වීරසේකරගේ මේ තර්ජනය සමස්ත කම්කරු පන්තියට එරෙහිවයි. වෘත්තීය අරගල ත්‍රස්තවාදී ව්‍යාපාර ලෙස හංවඩු ගහන ආන්ඩුව ඊට පස්සෙ කරනු ඇත්තේ කුමක් ද? යුද්ධයේ ක්‍රමෝපායන් යොදා මැඩීමයි. ලෝක ධනේෂ්වර ක්‍රමයේ අර්බූදය යටතේ ලෝකය පුරා පාලක පන්තීන් මිලිටරි ආඥාදායකත්වයක් කරා මාරු වෙමින් සිටින බවට සමාජවාදී සමානතා පක්ෂය (සසප) කල අනතුරු ඇඟවීම් දැන් හොඳින් සනාථ වෙනවා. දැන් කල යුත්තේ කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමයි. සසප ඉදිරිපත් කරන කම්කරු පන්තියේ ක්‍රියාකාරී කමිටු වැඩපිලිවෙලත් එක්ක මම එකඟ යි.”

කුරුනෑගල ප්‍රදේශයේ ගුරුවරයෙකු කියා සිටියේ ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම්, ගුරුවරුන්ගේ තොරතුරු එකතු කිරීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව යොමු කරමින් ආන්ඩුව වර්ධනය කරන මෙම මර්දනය, හදිසි නීති බලතල ක්‍රියාවට යොදවා වර්ජන තහනම් කිරීම දක්වා ගෙන යෑමේ අන්තරායක් පවතින බවයි. “ගුරුවරුන්ට පාසල් විවෘත කලාම පාසල් යෑම අනිවාර්ය කරන්න පුලුවන්. අනෙක් අතින් හදිසි නීති බලතල ඉතිහාසයේ සෑම අවස්ථාවක දීම භාවිතා කරලා තියෙන්නේ කම්කරු පන්තියට විරුද්ධවයි. නැතුව රට සංවර්ධනය කරන්න, මහජන සේවා සපයන්න නෙමේ“ යනුවෙන් ඔහු ප්‍රකාශ කලේ ය.

ගුරු සහ විදුහල්පති සමිති ඇතුලුව සෑම අංශයකම වෘත්තීය සමිති කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව සූදානම් කරන පන්ති යුද්ධයේ ප්‍රහාර සම්බන්ධයෙන් කම්කරු පන්තිය අඳුරේ තැබීමට සෑම අයුරින්ම වැඩට බැස තිබේ. ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයේ (ලගුසේස) ලේකම් මහින්ද ජයසිංහ, ධනපති රාජ්‍ය යටතේ තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වී ඇතැයි යන මිත්‍යාවන් වපුරමින්, වෘත්තීය සමිති ආඥා පනතින් හා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වෘත්තීය අරගලයක් කිරීමට “ශුද්ධ වූ අයිතියක්“ ඇතැයි ද “ආන්ඩුවට ඊට ඉහලින් යා නොහැකි“ යයි ද ප්‍රකාශ කර තිබේ.

ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ (ඒගුසේස) සංජීව බන්ඩාර සරත් වීරසේකරගේ තර්ජනය ඔහුගේ පුද්ගලික මුග්දත්වයකට ලඝු කරයි.

2007 දී, එනම් එල්ටීටීඊය සමග යුද්ධය පැවති සමයේ, වැඩි වැටුප් ඉල්ලා පැන නැගි ගුරු වර්ජනයක දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ “යුද්ධය නතර කොට වැටුප් වැඩි කරන්න දැයි කියන්නේ“ යනුවෙන් මෙම සමිති නායකයන්ගෙන් ඍජුව විමසද්දී ඊට යටත් වෙමින් යුද්ධය ගෙන යෑමටත්, වැටුප් ඇතුලු කම්කරුවන්ගේ අයිතීන් තලා දැමීමටත් මෙම සමිති සහයෝගය දුන් ආකාරය ක්‍රියාකාරී කමිටු සාමාජිකයෝ සාකච්ඡාවේ දී සිහිපත් කලහ.

වැඩිදුරටත් අදහස් දැක් වූ කුරුනෑගල ගුරුවරයා මෙසේ සඳහන් කලේ ය: “ලමයින්ටත් ඉගෙනගැනීමේ අයිතියක් තියෙනවා. නමුත් ආන්ඩුව වසංගතය පැතිරීමට ඉඩ ඇරලා ඒ අයිතිය නැති කලා. ඒ වගේම වසංගතය මැද ඉගැන්වීමට අවශ්‍ය පරිගනක, අන්තර්ජාල පහසුකම් ලබා දීම වගේම අපේ වැටුප් වැඩි කිරීමත් ප්‍රතික්ෂේප කරලා දැන් මර්දනය දියත් කරනවා. එවන් තත්වයක් තුල ව්‍යවස්ථාවෙන් ලැබුන ශුද්ධ වු අයිතිය ගැන කතා කිරීම විහිලුවක්“ යැයි කියා සිටියේ ය.

“රටේ විදේශ විනිමය සංචිත බින්දුවට ලඟා වී ඇති අර්බූදයකට ආන්ඩුව මුහුන දී සිටිනවා“ යයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කල ප්‍රකාශය හා වසංගතය මගින් තවත් ගැඹුරු කෙරෙන ලංකාවේ නය අර්බූදයේ බර මහජනයා මත පැටවීමේ ආන්ඩුවේ සැලසුම් පිලිබඳව ද ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෝ ගුරුවරු සමග සාකච්ඡා කලහ.

“ආන්ඩුවේ සොච්චම් වැටුප් වැඩිවීමකින් අපේ ප්‍රශ්න විස‌ඳ ගන්න බෑ. මුදල් ඇමති කියන විදිහට රාජ්‍ය අංශයේ නව බඳවා ගැනීම්, ඉදි කිරීම් නතර කරනවා කියන්නේ නිදහස් අධ්‍යාපනයත් තව තවත් කප්පාදු වෙනවා කියන එකයි. නව ගුරුවරු බඳවා ගන්නේ නෑ, පාසල් නඩත්තුව මුලුමනින්ම දෙමාපියෝ මත පැටවේවි“ යනුවෙන් ඉහත ගුරුවරයා ඊට ප්‍රතිචාර දැක්වී ය.

“සෑම අංශයකම කම්කරුවෝ අරගලයට ඇවිත් ඉද්දි, ගොවි ජනයා සටනට ඇවිත් ඉද්දි වෘත්තීය සමිති මේ අරගල හුදකලා කරනවා. ඒ හුදකලාව බිඳින්න ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක වැඩපිලිවෙල අපි ඉදිරියට ගෙන යා යුතුයි “ යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

විශ්‍රාමික තාක්ෂනික නිලධාරියකු වන, ගම්පොල ප්‍රේමදාස මෙසේ ප්‍රකාශ කලේ ය: “ගුරුවරුන්ගෙ වැටුප් අරගලය සාධාරන යි. ගුරු අරගලය මර්දනයට ඇමති වීරසේකර කියන ත්‍රස්තවාදී කතාව හරි ම භයානකයි. ඒක අලුත් හැරීමක්. මේවට තව දුරටත් නිහඬ වෙලා හරියන් නෑ. ගුරුවරු දෙමාපියෝ පෙරට එන්න ඕනා“.

පොදු ජන අධ්‍යාපන සේවකයන්ගේ සංගමයේ හඳපාන්ගොඩගේ ප්‍රෝඩාකාරී ප්‍රකාශ හෙලාදුටු ඔහු “ආන්ඩුව තමයි ෆැක්ටරි ඇරගෙන වසංගතය ව්‍යාප්ත කෙරුවේ. සංචරන සීමා ප්‍රෝඩාවක් විතරයි. හෙට අනිද්දට පාසල් ආරම්භ කලාම බලාගන්න පුලුවන් ආයෙ රැල්ලක් හැදෙන හැටි“ යනුවෙන් ප්‍රකාශ කලේ ය.

හලාවත ප්‍රදේශයේ උසස් පෙල විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙක් ඔවුන්ගේ අධ්‍යාපනය ඇන හිටීම හා විභාග ප්‍රමාදය පිලිබඳව කනගාටුවෙන් කතා කලේ ය. “අපිට උසස් පෙලක් කියලා දෙයක් තිබුනේම නෑ. ගුරුවරුන්ට වැටුප් වැඩි කල යුතුයි. ඒවගේම ඔවුන්ට දැන් මේ ගෙන යන මර්දනයට මම විරුද්ධයි. ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න පටන් ගත්තත් අපිට ගොඩක් ලමයිට සිග්නල් නැති ප්‍රශ්නය ආවා. ඒ නිසා මම නම් කැමති වසංගතය පාලනය කරල ඉක්මනට පාසල් විවෘත කරනවාට“ යයි ඔහු පැවසීය.

වසංගත තත්වයක් මධ්‍යයේ අත්‍යාවශ්‍ය නිෂ්පාදන සහ පාසල් වසා දැමීම තුලින් සමාජ සංචරනය දැඩිලෙස සීමා කිරීමේ අවශ්‍යතාවය පිලිබඳව ගෙන ගිය සාකච්ඡාවේ දී ලෝකය පුරාම ආන්ඩු මහ ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් කම්හල් හා පාසල් විවෘත කිරීමේ සාපරාධී පිලිවෙත හෙලා දකිමින් ඔහු මෙසේ පැවසීය:

“ඇමරිකාවේ මේ වන විට කුඩා දරුවෝ මිය යනවා. ඒත් පාසල් විවෘත කරලා තියෙනවා. ලංකාවෙත් යලි පාසල් විවෘත කෙරුවොත් වෙන්නේ ඒ දේමයි.”

“යුද්ධ කාලයේ දී හදිසි නීතිය ප්‍රකාශ කරලා තියෙද්දී මහජනයාට ගොඩක් අමාරු තත්වයක් ආවා කියලා මම අහලා තියෙනවා. සම්පූර්න මිලිටරි පාලනයක් කියන්නේ අන්තීම දරුනු තත්වයක්. කම්කරුවෝ තරුනයෝ ලෝක පරිමානයෙන් එකතු වෙලා සමාජවාදයට සටන් කිරීම අවශ්‍යයි“ යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ය.

“ගුරුවරුන්ටත් පඩි වැඩි විය යුතු යි. දැන් හැමෝටම ජීවත් වෙන්න බෑ. මම ගුරුවරුන්ට එරෙහිව ගෙන යන මර්දනයට විරුද්ධ' යැයි උසස් පෙල ශිෂ්‍යයෙකුගේ මවක් ප්‍රකාශ කලාය.

Loading