සෞඛ්‍ය සේවකයන් දහස් ගනනක් වැඩ වර්ජනය කරති

[මෙහි පලවන්නේ Thousands of health workers strike in Sri Lanka යන මැයෙන් 2021 සැප්තැම්බර් 29දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

පසුගිය තෙමස තුල ගෙවන ලද, වසංගතයට සම්බන්ධිත රුපියල් 7,500 මාසික දීමනාව කපා දැමීමේ ආන්ඩුවේ තීරනයට විරෝධය පෑම සඳහා, යුද්ධයෙන් විනාශ වූ උතුර හා නැගෙනහිර ඇතුලු රෝහල් 1,000කට අධික සංඛ්‍යාවක සෞඛ්‍ය සේවකයන් 90,000ක් පමන සඳුදා පැය පහක වැඩ වර්ජනයක නිරත වූ හ.

කොවිඩ්-19 ව්‍යසනය විසින් ජනනය කරන ලද වැඩ කන්දරාවෙහි නිරත අයට විශේෂ නිවාඩු ලබා දීම, ඔවුන්ගේ වැඩපොලවල් වෙත හා ආපසු ආරක්ෂිත ප්‍රවාහනය සහ සුදුසු පුද්ගල ආරක්ෂක උපකරන (පීපීඊ) සැපයීම, සෞඛ්‍ය කම්කරුවන්ගේ අනෙකුත් ප්‍රධාන ඉල්ලීම් අතරට ඇතුලත් විය. එම කරුනු අරබයා ම, සෞඛ්‍ය සේවකයෝ සැප්තැම්බර් 22දා දිවා ආහාර කාලය තුල ජාතික විරෝධතාවක් පැවැත්වූ හ.

ගම්පොල රෝහලේ පිකට් උද්ඝෝෂනයේ යෙදෙන හෙද හෙදියෝ (ලෝසවෙඅ)

සමස්ත රාජ්‍ය අංශ සේවකයන් ම පාහේ ආවරනය කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වැඩ වර්ජන තහනම් කිරීම සඳහා පනවන ලද විෂඝෝර “අත්‍යවශ්‍ය සේවා නීතිය” නො තකා, හෙද-හෙදියෝ, අතුරු වෛද්‍ය සේවකයෝ, පවුල් සෞඛ්‍ය සේවිකාවෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, උපස්ථායකයෝ හා කාර්යාල කාර්ය මන්ඩල සඳුදා පැවති වැඩ වර්ජනයට සම්බන්ධ වූ හ.

අත්‍යවශ්‍ය සේවා නියෝගවලට අනුව, කාර්මික ක්‍රියාවන්හි නිරත වන හෝ එවන් ක්‍රියාවන් “ප්‍රේරනය කරන” හෝ “පොලඹවන” ඕනෑ ම කම්කරුවෙකු දීර්ඝ සිර දඬුවම්වලට හා විශාල දඩවලට යටත් කරනු ලැබිය හැක. හාල් හා සීනි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයට මුහුන දීමේ කඩතුරාව යටතේ, අගෝස්තු 30දා රාජපක්ෂ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කල අතර, එය වැඩ වර්ජන තහනම් කිරීමට සහ කම්කරුවන් නෙරපීම හා අත්අඩංගුවට ගැනීම දක්වා විස්තීර්න කරනු ලැබිය හැක.

2021 සැප්තැම්බර් 27 වැනි දින සෞඛ්‍ය වැඩවර්ජනය - විරෝධතාවේ යෙදෙන කයිට්ස් රෝහලේ සෞඛ්‍ය සේවකයෝ [ලෝසවෙඅ]

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (ජීඑන්ඕයූ), වෛද්‍ය රසායනාගාර තාක්ෂනඥ සන්ධානය, ජනරාජ සෞඛ්‍ය සේවක සමිතිය සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දෙන සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සමිතිය ඇතුලත් සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති 44ක ලිහිල් සන්ධානයක් වන සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති එකමුතුව (එච්එස්‍යූසී) විසින් මෙම වැඩ වර්ජනය කැඳවන ලදී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (පීඑස්‍යූඑන්‍යූ) වැඩ වර්ජනයට සහභාගි වූයේ නැත. මෙම වෘත්තීය සමිති දෙක ම රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමට උදව් කල හ. එහෙත්, සමිතිවල තීරනය ප්‍රතික්ෂේප කල එම සමිතිවල සාමාජිකයෝ, දිවා ආහාර කාලයේ විරෝධතාවන්ට සම්බන්ධ වූයේ, ඒකාබද්ධ අරගලයකට පවතින වැඩෙන සහයෝගය ප්‍රදර්ශනය කරමිනි.

කොරෝනා වෛරස් අගුලු දැමීමේ කාලය තුල පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නො වන නිසා, අතිරේක ප්‍රවාහන වියදම් දැරීම පිනිස සෞඛ්‍ය කම්කරුවන්ට ප්‍රදානය කොට තිබූ “රුපියල් 7,500 දීමනාව ආන්ඩුව විසින් කපා දමා” තිබුනු බව, ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජීඑන්ඕයූ නායක සමන් රත්නප්‍රිය ප්‍රකාශ කලේ, සෞඛ්‍ය කම්කරුවන්ගේ ගැටලු ගැන ව්‍යාජ උත්සුකයක් මවාපාමිනි.

කොලඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවේ යෙදෙන්නන් (ලෝසවෙඅ)

රත්නප්‍රිය කතා කලේ හරියට ඔහු සිහිමුර්ඡාවට පත් ව සිට මේ දැන් සිහිය ලැබූවාක් මෙනි. සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය ජුනි 11දා ආරම්භ කලේ, මූලික වැටුපෙන් සියයට 78ක විශේෂ දීමනාවක් ඉල්ලමිනි. එහෙත්, යන්තම් රුපියල් 7,500ක දීමනාවක් මාස තුනක් යන තෙක් ගෙවීමට ආන්ඩුව කල යෝජනාව පිලිගනිමින්, වෘත්තීය සමිති නායකයෝ, ඔවුන් යලි යලිත් කර ඇති ලෙස, එම අරගලය පාවාදුන් හ.

සත්‍ය වසයෙන් ම කම්කරුවන් පෙරලා සටන් කලේ, වෘත්තීය සමිති ආන්ඩුවේ අඩුකල දීමනාව පිලිගැනීම නිසා ය. විශේෂ දීමනා, වැටුප් වැඩි කිරීම් හා වැඩිදියුනු කරන ලද සෞඛ්‍යාරක්ෂක පියවරවල් ඉල්ලමින්, සෞඛ්‍ය සේවකයන් දහස් ගනනක් බලගතු විරෝධතාවන් හා අනෙකුත් ක්‍රියාවන්ට ජුනි හා ජූලි මාසවල දී පිලිපන් හ. පිලිවෙලින් සෞඛ්‍ය සේවකයන් 20,000ක හා 50,000ක සහභාගිත්වයෙන් ජුනි 4 හා 11 දිනවල විරෝධතා පවත්වන ලදී.

30,000ට අධික හෙදියෝ, ජූලි 1-2 දිනවල දෙදිනක “ලෙඩ නිවාඩු” උද්ඝෝෂනයක් පැවැත්වූ හ. ඉන් තෙදිනකට පසුව, ජූලි 5දා, 25,000ට අධික අතුරු වෛද්‍ය හා පරිපූරක සේවා කම්කරුවෝ අඛන්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කල හ. ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු මාලාවක් පිලිගනිමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම ක්‍රියාවන් නවතා දැමූ හ.

වෘත්තීය සමිති විසින් පසුගිය සතියේ විරෝධතාව හා සඳුදා වැඩ වර්ජනය කැඳවනු ලැබුවේ, වසංගතය හේතුවෙන් රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි පවතින අන්තරායකාරී හා නරක අතට හැරෙන කොන්දේසි අරබයා සෞඛ්‍ය කම්කරුවන් අතර වර්ධනය වන කෝපය නිසා පමනක් ම වී ය.

නිල සංඛ්‍යා ලේඛන ප්‍රසිද්ධ කර නැතත්, මේ දක්වා අඩු තරමින් සෞඛ්‍ය සේවකයන් 6,000ක් වත් ආසාදනය වී ඇති අතර, කිහිප දෙනෙක් මිය ගොස් තිබේ. ඔවුන්ගේ පවුල් සාමාජිකයන් අතර ආසාදන ද ඉහල යමින් පවතින අතර, ඉන් සමහරක් ද මිය ගොස් ඇත.

බොහෝ රෝහල් වාට්ටු සලකන කල, පීපීඊ සපයමින් පවතින්නේ අවශ්‍ය ප්‍රමානයෙන් තුනෙන් පංගුවක් පමනි. සෝදා වියලා ගත් ඇඳුම් යලි යලිත් භාවිතා කිරීමට සෞඛ්‍ය කම්කරුවන්ට බල කෙරේ. ආන්ඩුවේ සීමිත අගුලු දැමීමේ කාලසීමාව තුල ප්‍රවාහන පහසුකම් නොමැති නිසා, ප්‍රවාහනය වෙනුවෙන් දෛනික ව රුපියල් 500ත් 750ත් අතර මුදලක් වැය කිරීමට ඔවුන්ට බල කෙරී ඇත.

සියලුම කම්කරුවන්ගේ කොන්දේසි දුෂ්කර වුවත්, රටෙහි ආර්ථික අර්බුදය ගෙනහැර දක්වමින්, සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන්ගේ ඉල්ලීම් අඛන්ඩ ව ප්‍රතික්ෂේප කිරීමට ආන්ඩුව ක්‍රියා කරයි.

ඉහල වැටුප් ඉල්ලමින් ගුරුවරුන් 250,000ක් දියත් කර ඇති වැඩ වර්ජන ක්‍රියා මාර්ගය, දැන් එහි තුන්වැනි මාසයට එලඹ ඇත. ආන්ඩුව ගුරුවරුන්ට එරෙහි ව සූදානම් කරමින් පවතින මර්දනය, සෞඛ්‍ය කම්කරුවන් ද ඇතුලු සියලු කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. වැඩ වර්ජනයේ යෙදෙන ගුරුවරුන් “ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගසමින්, මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර “අපි ත්‍රස්තවාදය පරාජය කල ආකාරයට” ගුරුවරුන්ගේ වැඩ වර්ජනය “මර්දනය කරන” බවට තර්ජනය කර ඇත.

ගම්පොල රෝහලේ පිකට් උද්ඝෝෂනයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් කොටසක් (ලෝසවෙඅ)

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත්, සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය කෙරෙහි පාලක පන්තියේ හතුරුකම ප්‍රකාශ කලේ ය. කොරෝනා වෛරසය යලි මතුවීමට කම්කරුවන් වගකිව යුතු බවට ඔහු චෝදනා කලේ ය. “අපි දැන් සිටින්නේ වසංගතය යම් පමනකට පාලනයකට ගෙන ඇති කාලයකැ” යි ඔහු කීවේ ය. “අවසන් වතාවට මෙම වසංගත පාලනය ඇදවැටෙනු අප දුටුවේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සමග. එවන් තත්ත්වයක් යලි ඇතිවීම වැලැක්වීම පිනිස වගකීමකින් යුතු ව සංවිධායකයින් හා සහභාගිවන්නන් ක්‍රියා කල යුතු යි.”

සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන ආරම්භකත්වය හා මග පෙන්වීම යටතේ ස්ථාපිත කරන ලද සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ (එච්ඩබ්ලිව්ඒසී) සාමාජිකයෝ, “සෞඛ්‍ය කම්කරු සහෝදර සහෝදරියනි! ඉල්ලීම් දිනාගැනීමේ අරගලය අපේ අතට ගෙන මෙහෙයහවමු!” නමැති ප්‍රකාශයක් බෙදා හරිමින්, මහනුවර ජාතික රෝහලේ, ගම්පොල මූලික රෝහලේ හා මහරගම පිලිකා රෝහලේ වැඩ වර්ජිත සෞඛ්‍ය කම්කරුවන් අතර මැදිහත් වූ හ.

වෘත්තීය සමිති වැඩ වර්ජනය නිවේදනය කිරීම හැර වෙනත් කිසිවක් කර නැති බවත්, අරගලය ආරම්භ කොට ඇත්තේ කම්කරුවන් විසින් ම බවත්, මහනුවර රෝහලේ සායනික කම්කරුවෙක් කියා සිටියේ ය. “කාලෙන් කාලෙට අරගල නවත්වනවාට මම විරුද්ධයි. අපට හොරෙන් තීන්දු ගැනීමට වෘත්තීය සමිතිවලට තව දුරටත් ඉඩදිය නො හැකි යි.”

වැඩ නැවැත්වීමට සහභාගි නො වූ ගම්පොල රෝහලේ වැඩ කරන පීඑස්‍යූඑන්‍යූ සාමාජික හෙදියක්, වැඩ වර්ජනයේ ඉල්ලීම් සමග තමන් එකඟ බව හා එය සමග සම්බන්ධ වීමට අවශ්‍ය වූ බව කීවත්, වෘත්තීය සමිති නායකත්වය විරුද්ධ වේ යයි සිතා අඩිය පස්සට ගත් බව කීවා ය.

වෘත්තීය සමිති විසින් ඉදිරියට දමන ආකාරයට, ආන්ඩු මත පීඩනය යෙදීමෙන් සිය මූලික ඉල්ලීම් ජයග්‍රහනය කල නො හැකි බව, ලොව පුරා කම්කරුවන් අත්දකිමින් සිටින්නේ යයි එච්ඩබ්ලිව්ඒසී ප්‍රකාශය කීවේ ය. ඒ වෙනුවට, වසංගතය විසින් තීව්‍ර කරන ලද ආර්ථික අර්බුදයේ බර වඩ වඩා පටවමින් සිටින ආන්ඩු, ආඥාදායක පාලන රූප කරා මාරු වෙමින් සිටිති.

“මෙම තතු තුල, අපගේ අරගලය ඉදිරියට ගෙනයාම සඳහා, ධනේශ්වර ආන්ඩුවලට හා ධනපති ක්‍රමයට අභියෝග කරන දේශපාලන ක්‍රියා මාර්ගයක් අවශ්‍ය වෙයි. ධනපති ක්‍රමයට තදින් බැඳී සිටින වෘත්තීය සමිති, එවන් අරගලයකට මුලුමනින් ම හතුරු ය...

“එම නිසා, සෞඛ්‍ය කම්කරුවන් වන අපි, රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු වෙමු. කම්කරුවන් අතර ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා හරහා තීන්දු ගනු ලබන එවන් කමිටු හරහා අරගලය අපේ අතට ගතයුතු ය.

“විවිධාකාර ශ්‍රේනි භේද කපාගෙන සෞඛ්‍ය සේවය තුල සංවිධානය කල යුතු මෙම අරගලය, ඉහල ජීවන වියදම හා වසංගතය විසින් පහර දෙනු ලබන කම්කරු පන්තියේ සියලු කොටස් වෙතට ගෙන යා යුතු ය. විශේෂයෙන් ම, සෞඛ්‍ය කම්කරුවන්ගේ අරගලය දැනට පැවතීගෙන යන ගුරුවරුන්ගේ අරගලය සමග ඒකාබද්ධ කල යුතු ය.

“සිය වැඩපොලවල එවන් ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව සෞඛ්‍ය අංශයේ හා අනෙකුත් අංශවල සියලු කම්කරුවන්ට ආරාධනා කරයි. අපි මෙම කමිටුවල ජාලයක් ගොඩනැගිය යුතු වෙමු. අනෙකුත් රටවල කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සමග සම්බන්ධ වෙමින්, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට අපි සටන් කරමු.”

Loading