අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහල යාම හේතුවෙන් ශ්‍රී ලාංකික කම්කරුවන්ට සහ දුප්පතුන්ට පහර වදියි

[මෙය Sri Lankanworkers and poor hit by escalating costs of essential items යන මැයෙන් 2021 ඔක්තෝබර් 1 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

රටේ ප්‍රධාන ආහාරය වන සහල් සඳහා මිල පාලනය පැනවීමේ සැප්තැම්බර් 2 රජයේ ගැසට් නිවේදනය, ශ්‍රී ලංකා කැබිනට් මන්ඩලය විසින් සැප්තැම්බර් 27දා ඉවත් කර ගන්නා ලදී. මෙම තීරනය හේතුවෙන්, විශාල සහල් මෝල් ව්‍යාපාරිකයින්ට කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 115 ක (ඩොලර් 0.5 ක) මිල වැඩි වීමක් හෙවත්, පහලම ශ්‍රේනියේ නාඩු සහල් සඳහා සියයට 17 ක සහ සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 145 ක්, එනම් සියයට 37 ක වැඩිවීමක් ප්‍රකාශ කිරීමට මාර්ගය විවෘත විය.

මෙම වැඩිවීම් සහ අනෙකුත් ප්‍රධාන ආහාර සහ අත්‍යවශ්‍ය දෑ සඳහා වන අධික මිල, දැනටමත් ලංකාවේ අධික ජීවන වියදම තවත් ඉහල නංවන අතර, පවතින කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ පොරබදමින් සිටින කම්කරුවන්ට සහ දුප්පතුන්ට දැඩි ලෙස බලපායි. ශ්‍රී ලංකාවේ පරීක්ෂන රේට්ටු අඩු වෙමින් පැවතුනද, කොවිඩ්-19 මිලියන භාගයකට වැඩි පිරිසකට ආසාදනය වී, 13,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කර තිබේ.

කිරි සහ ගෑස් ආනයනය කරන්නන් දැන් තම නිෂ්පාදන සඳහා විශාල මිල ඉහල නැංවීමක් ලබා දෙන ලෙස ආන්ඩුවට බලපෑම් කරමින් සිටිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 800 කින් හෙවත් සියයට 54 කින් සහ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 කින් හෙවත් සියයට 37 කින් වැඩි කිරීමට ය. විරෝධතා පුපුරා යෑමට බිය වී සිටින කැබිනට් මන්ඩලය මෙම මිල වැඩි කිරීම් පිලිබඳ සම්පූර්න තීරනයක් ගැනීම කල් දමා තිබේ, එමඟින් භාන්ඩ හිඟය ඇති වන අතර කළු කඩ වෙලඳාම ඉහල යනු ඇත.

බඩු මිල ඉහල යාම් [ලෝසවෙඅ]

පරිප්පු, කහ, මිරිස්, ටින් මාළු, ළූනු, මුං ඇට සහ හාල්මැස්සන් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය මාස 12 තුල අඛන්ඩව ඉහල ගොස් ඇති අතර එය සියයට 25 සිට 150 දක්වා ඉහල යාමකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ, සහල්, සීනි සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේවල හිඟය සහ මිල ඉහල යාම අවසන් කිරීමත්, අගෝස්තු 30 දා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් අතර කිසිදු සම්බන්ධයක් නැති බව මිල පාලනය ඉවත් කිරීමට කොලඹ ගත් තීරනයෙන් පැහැදිලි වේ.

සමාජවාදී සමානතා පක්ෂය සැප්තැම්බර් 11 දා අනතුරු ඇඟවූයේ: 'හදිසි නීති වල සැබෑ ඉලක්කය වන්නේ, රටේ ආර්ථික අර්බුදයේ බර සෘජුවම පටවා ඇති හෙයින්, දැඩි දුෂ්කරතාවන්ට මුහුන දෙන කම්කරු පන්තිය සහ ගම්බද ජනතාව ය.'

ආන්ඩුවේ ක්‍රියාමාර්ග මගින් හෙලිදරව් කරන්නේ එය, කම්කරු පන්තියේ, ගොවීන්ගේ සහ අනෙකුත් පීඩිත ජනතාවගේ ජීවිත නොව, මහා ව්‍යාපාර සහ එහි අධික ලාභ ආරක්ෂා කිරීමේ උපකරනයක් බවයි.

මේ වන විට විදේශ මුදල් හිඟකම හේතුවෙන් පරිප්පු, සීනි, සුදුළූනු, හාල්මැස්සන්, ටින් මාළු සහ කිරිපිටි වැනි අත්‍යවශ්‍ය ආහාර බහාලුම් 800 ක් වරායේ අවහිර කර ඇත. ආන්ඩුවේ පීඩනය යටතේ මහ බැංකුව දැන් නිවේදනය කර ඇත්තේ මෙම භාන්ඩ නිදහස් කිරීම සඳහා අවශ්‍ය එක්සත් ජනපද ඩොලර් ලබා දෙන බවයි.

ස්වාධීන ආර්ථික ඇස්තමේන්තු වලට අනුව නිල වාර්ෂික ආහාර උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී සියයට 11 ක් පමන වූවත්, සැබෑ අනුපාතය සියයට 30 ඉක්මවයි. සහල්, කිරි නිෂ්පාදන සහ ගෑස් මිලෙහි නවතම වැඩිවීම, සේවක වැටුප් වල සැබෑ වටිනාකම තවදුරටත් ඛාදනය කරන අතර කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ වර්ජන සහ අනෙකුත් සමාජ අරගල තවදුරටත් උත්සන්න කරනු ඇත.

වැඩි වැටුප් ඉල්ලමින් ගුරුවරු 250,000 ක් මාස තුනක් තිස්සේ මාර්ගගත ඉගෙනුම් වර්ජනය අඛන්ඩව කරගෙන යති. වසංගතය හා සම්බන්ධ විශේෂ දීමනාවක් කප්පාදු කිරීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විරෝධය පල කරමින් සැප්තැම්බර් 27දා රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයින් 90,000 ක් වැඩ වර්ජනය කලහ. දෛනික වැටුප රුපියල් 250 ක පමන සොච්චම් වැඩි වීමකින් පසු විශාල ව්‍යාපාරික වතුවල ඉහල දමා ඇති කොඳු කැඩෙන නිෂ්පාදන ඉල්ලීම් සම්බන්ධයෙන් වතු කම්කරුවන් ද විරෝධතාවල නිරත වී තිබේ.

වසංගතය ආරම්භ වූ දා සිට, නිදහස් වෙලඳ කලාපවල ලක්ෂ ගනන් අඩු වැටුප් ලබන, ප්‍රධාන වශයෙන් ඇඟලුම්, රබර් සහ ඉලෙක්ට්‍රොනික උපකරන වැනි නිෂ්පාදන සේවකයින් ද වැටුප් කප්පාදු කිරීම්, වැඩ අත්හිටුවීම් සහ වැඩ වැඩි කිරීම් වලින් පීඩා වින්දහ. සංචාරකයින්ගේ පැමිනීමේ නාටකාකාර පහත වැටීම හේතුවෙන් සංචාරක අංශයේ සේවකයින් මිලියන භාගයක් පමන සේවයෙන් පහ කර ඇත. විදේශ මුදල් සංචිත තවදුරටත් පහත වැටීම වැලැක්වීම සඳහා රජය විසින් වාහන සහ වෙනත් විදේශීය නිෂ්පාදිත භාන්ඩ සඳහා ආනයනය තහනම් කිරීමෙන් පසු දහස් ගනන් ආනයන අංශයේ සේවකයින් ද රැකියා විරහිත බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විටත් වැඩි වෙමින් පවතින අයවැය හිඟය සහ නය ආපසු ගෙවීම අඩපන වෙමින් තිබියදී, කොරෝනා වෛයිරස් වසංගතය මෙම අර්බුදය බෙහෙවින් නරක අතට හරවා තිබේ. සැප්තැම්බර් 16 මූඩී වාර්තාවට අනුව, ශ‍්‍රී ලංකාවට 2025 වන තෙක් වසරකට ඩොලර් බිලියන 4 සිට 5 දක්වා වාර්ෂික නය ආපසු ගෙවීමට සිදුවේ. අගෝස්තු මස අවසානයේදී විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3 ක් පමනක් වන අතර, ආන්ඩුවේ ප්‍රමුඛතාවය වූයේ ජාත්‍යන්තර නය පැහැර හැරීමක් වලක්වා ගැනීම යි.

පසුගිය වසරේ මුල් භාගයේ සිට රුපියල සියයට 27 කින් ප්‍රභල ලෙස අවප්‍රමානය වී ඇති අතර, මුද්‍රිත මුදල් තොග සියයට 35 කින්, එනම් රුපියල් ට්‍රිලියන 2.8 කින් (ඩොලර් බිලියන 14) ඉහල ගොස් තිබේ. වාර්තා වන අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12 ක් පමන වන අතර එය අඛන්ඩව වැඩි වෙමින් පවතී.

දිගින් දිගටම සිදුවන මෙම සමාජ ප්‍රහාර වලින් කම්කරුවන් සහ දුප්පතුන් පීඩාවට පත්වන විට, ආන්ඩුවේ විවිධ හිතවතුන් සහ විශාල ව්‍යාපාර දැවැන්ත ලාභ නෙලා ගනිති. බලයට පත්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බොහෝ සංගත බදු සියයට 15 හා 24 දක්වා ප්‍රමානයන්ට තියුනු ලෙස අඩු කලේය. පසුගිය ව්‍යාපාරික කාර්තුවේදී—2021 අප්‍රේල් සිට ජූනි දක්වා—ඉහල පෙලේ සමාගම් 9 ක් රුපියල් බිලියන 364 ක (ඩොලර් බිලියන 1.82) ඉපැයීම් ගොඩ ගසාගත් අතර, සාමුහික ශුද්ධ ලාභය ලෙස රුපියල් බිලියන 21 ක් (ඩොලර් මිලියන 105 ක්) සාක්කුවේ දමා ගත්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන, ශ්‍රී ලංකාවේ මෑතකදී පත් කරන ලද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, රජයේ සේවකයින්ට ලබා දෙන 'අනවශ්‍ය දීමනා' නැවැත්වීමට සහ 'මුදල් ඉතිරි කිරීමට' කටයුතු කරන ලෙස ආන්ඩුවේ අමාත්‍යංශවලට උපදෙස් දී තිබේ.

කොලඹ වරාය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සීපීසී) සහ ලංකා විදුලිබල මන්ඩලය (සීඊබී) වැනි රාජ්‍ය ආයතන පෞද්ගලීකරනය කිරීමට ආන්ඩුව පියවර ගනිමින් සිටී. සැප්තැම්බර් 17 දා එය එක්සත් ජනපදය පදනම් කරගත් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කල අතර එමඟින් ඔවුන් කොලඹ අසල කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටසක් මිලදී ගනු ඇත. කොලඹ වරායේ බටහිර ජැටිය පෞද්ගලීකරනය කර අක්කර 13 ක ඉඩමක් චීන සමාගමකට විකුනා ඇත.

2020 අගෝස්තු මාසයේදී, පෞද්ගලීකරනයට එරෙහිව කොලඹ වරාය සේවකයින් විරෝධය පල කරති. (ඡායාරූපය: ලෝසවෙඅ මාධ්‍ය)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරනය කිරීම සඳහා ලංකාවේ ඛනිජ තෙල් සැපයුම සහ බෙදා හැරීම ආවරනය වන පරිදි නීති සම්පාදනය කරමින් සිටින අතර ඉන්දියාවෙන් ඛනිජ තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 500 ක නයක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පහසුකම් ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වේ. ආන්ඩුව විසින් කොලඹ නගරයේ ප්‍රධාන දේපල වෙලඳාම් කිරීමේ ක්‍රියාවලියක ද නියැලී සිටී.

ඒ සමඟම ජනාධිපති රාජපක්ෂ සිය පරිපාලනය මිලිටරිකරනය කරමින් මිලිටරිය හා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී බලවේග මත පදනම් වූ ජනාධිපති ඒකාධිපති පාලනයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටී. රාජ්‍ය අංශයේ බොහෝ කෙෂත්‍රයන්ගේ වැඩ වර්ජන තහනම් කරමින් රුදුරු අත්‍යවශ්‍ය සේවා පනතක් පනවා ඇති අතර හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත, හමුදා ජෙනරාල්වරුන් රජයේ ප්‍රධාන අමාත්‍යාංශවල ස්ථාන ගත කර ඇත, දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකම හමුදාව සූදානම්ව තබා ඇත.

කම්කරු පන්තියට එරෙහිව එල්ල කෙරෙන මෙම පියවරයන්ට එක්සත් ජනපද-හිතවාදී එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ඉන් බිඳී ගිය සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) දෙමල ජාතික සන්ධානය සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ඇතුළු සියලු විරුද්ධ පක්ෂවල සහාය ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයිඑම්එෆ්) ආධාර ලබා දෙන ලෙස ආන්ඩුවෙන් ඉල්ලීමක් කරන ලෙස සජබ සහ එජාප ය ආන්ඩුවට බල කර සිටී. ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු පියවර නිර්දය ලෙස පැනවීමෙන් පසු, 2019 සහ 2020 ජනාධිපතිවරනයේදී සහ මහමැතිවරනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ පැවති එජාප ආන්ඩුව පරාජයට පත් විය. ජවිපෙ සහ ඉන් බෙදුනු කන්ඩායමක් වන පෙසප තර්ජනය කරන්නේ දූෂනය මැඩලීමෙන් ධනවාදය ප්‍රතිසංස්කරනය කල හැකි බවයි.

දූෂනය මැඩපැවැත්වීමෙන් ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීමට හෝ අර්බුදය ජය ගැනීමට නොහැකි බව පැහැදිලි කරන එකම දේශපාලන සංවිධානය සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. කම්කරු පන්තිය හා දුප්පතුන් සඳහා ඇති ඉදිරි ගමන පදනම් විය යුත්තේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත පමන ය.

සැප්තැම්බර් 10 සසප නිවේදනය මෙසේ ප්‍රකාශ කලේ ය: 'රාජපක්ෂ ආන්ඩුවේ ක්‍රියාවන් ධනවාදයේ ගෝලීය අර්බුදය සමඟ සම්පුර්නයෙන්ම බැඳී ඇති අතර එය පරාජය කල හැක්කේ ධනේශ්වර පන්තිය අස්වාමික කිරීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවෙන් සටන් කිරීමෙන් පමනි. කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ විශාල වතු, ප්‍රධාන සමාගම් සහ බැංකු ජනසතු කල යුතු අතර විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුය. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු හා ගොවි ආන්ඩුවක් බලයට පත් කල යුතුය.”

Loading