වර්ජනය පාවාදුන් ද්‍රෝහී සමිති වලින් බිඳී ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ අවශ්‍යතාවය ගැන ගුරුවරු සාකච්ඡා කරති

මාස තුනකටත් වැඩි කාලයක් මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත් වී වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා 250,000 ට අධික ගුරුවරු ගෙන ගිය වර්ජනය, ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නිලධරය විසින් පසුගිය දා නිර්ලජ්ජිත ලෙස පාවාදුනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) නායකත්වය දෙන ගුරු සිසු දෙමාපිය සුරක්ෂිතතා කමිටුව වර්ජනයේ මුල සිටම පෙන්වා දුන් පරිදි, ආන්ඩුවේ රාජ්‍ය මර්දනය පරාජය කරමින් ගුරු අරගලය පෙරට ගත හැක්කේ, වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගොඩනගන ක්‍රියාකාරී කම්ටු වටා අවශේෂ කම්කරු පන්තිය ගොනුකර ගනිමින් ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන අරගලයක් ඉදිරියට ගැනීමෙන් පමනක් ය යන්න, මෙම පාවා දීමෙන් බලගතු ලෙස සනාථ වී ඇත.

කම්කරු පන්තියේ එවන් ස්වාධීන දේශපාලන මැදිහත්වීමකට මුලුමනින්ම හතුරු ලංකා ගුරු සංගමය (ලංගුස), ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමය (ලගුසේස), ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) මෙහෙයවන ඒකාබද්ධ ගුරු සේවා සංගමය (ඒගුසේස) ප්‍රමුඛ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, ධනපති ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යන බංකොලොත් වැඩපිලිවෙල ඔස්සේ ගුරුවරුන් මෙහෙයවූහ. වර්ජනය පාවාදීම එම වැඩපිලිවෙලේ තාර්කික ප්‍රතිඵලය යි.

ආන්ඩුව ලබන ජනවාරියේ දී ලබා දෙන බවට පොරොන්දු වී ඇති වැටුප් වැඩි වීම, සමිති නිලධරයේ පලමු ඉල්ලීම වූ “සුබෝධිනී කමිටු වාර්තාව“ මගින් යෝජනා වූ වැටුප් පරිමානයන්ගෙන් දහයෙන් එකක් තරම් සොච්චමකි. ආන්ඩුවේ පොරොන්දුව ඉටු කලහොත්, පලමු ශ්‍රේනියේ ගුරුවරයෙකුගේ මාසික වැටුප වැඩිවන්නේ රුපියල් 3,850 කිනි. තුන්වන ශ්‍රේනියේ ආධුනික ගුරුවරයෙකුගේ වැටුප් වැඩිවීම රුපියල් 1,250 ක් පමනි.

ගුරුවරු සමග කිසිදු සාකච්ඡාවකින් තොරව වර්ජනය නතර කල සමිති නිලධරය මේ මස 25 දා සිට පාසල්වලට වාර්තා කරන්නැයි ගුරුවරුන්ට නිවේදනය කලේ ය. තම පාවාදීම වසන් කර ගැනීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදෙන සමිති නිලධරය 21, 22 යන දෙදින තුල වර්ජනයක් කැඳවුම් කර තිබුනි. ඊට අමතරව ඊයේ පාසල් වේලාවෙන් පසු කොලඹ කොටුව දුම්‍රියපල ඉදිරිපිටත් ප්‍රාදේශීයව තවත් නගර කිහිපයකත් විරෝධතා සංවිධානය කලෝය. ඉදිරි අය-වැය තෙක් එවැනි විරෝධතා පවත්වන බව ඔවුහු පවසති.

රාජ්‍ය මර්දනය සහ සමිතිවල පාවාදීම නොතකා මෙම විරෝධතාවන්ට සහභාගි වූ ගුරුවරු තම සටන ඉදිරියට ගෙනයාමට ඇති අධිෂ්ඨානය යලිත් වරක් පෙන්වූහ.

මෙම පසුබිම තුල ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පසුගිය දින කිහිපය පුරා සමිතිවල පාවා දීමට එරෙහිව ගුරු අරගලය පෙරට ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය පිලිබඳව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගුරුවරු සමග සාකච්ඡා කලහ.

නුවර ප්‍රදේශයේ ගුරුවරයෙකු වන සමරතුංග, 'ගුරු වෘත්තීය සමිති කල පාවාදීම තුල සෑම අංශයකම කම්කරු පන්තියට ලොකු පාඩමක් තියෙනවා' යයි ප්‍රකාශ කලේ ය. වසංගතය මැද දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපන ලබා දීමට හා ගුරුවරුන්ට ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කිරීමට සරිලන වැටුප් ලබා දීමට ආන්ඩුව “සල්ලි නෑ“ යයි ප්‍රකාශ කරන විට ඉන් පැහැදිලි වන්නේ ආන්ඩුවේ හා ධනපති ක්‍රමයේ පරිපූර්න නො හැකියාව යයි සමරතුංග කියා සිටියේ ය.

“ගුරුවරු ඇතුලු කම්කරුවො මුහුන දෙන ප්‍රශ්න පැන නගින්නේ අතලොස්සක් ධනපතියන් සඳහා නිෂ්පාදනය කරන ධනේෂ්වර ක්‍රමයේ ලෝක පරිමාන අර්බූදය තුලින් ය කියන අවබෝධය අපටත්, අනෙක් කම්කරුවන්ටත් අවශ්‍යයි. ආන්ඩුවේ ප්‍රහාර වලින් බැටකන සමස්ත කම්කරු පංතියේ ඒකාබද්ධ අරගලයක් ලෙස අපේ සටන සංවිධානය කිරීම ගුරු සංගම් ඇතුලු අනෙකුත් ක්ෂේත්‍රවල සමිති මගහැරිය නිසා දවස් 100ක වර්ජනයකින් පස්සෙ අපි අයෙත් මුලට ඇවිල්ල වගේ දැනෙන්නෙ. නැවත එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා අපි ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් අරගලය අපේ අතට ගෙන මෙහයවන්න පටන් ගැනීම අවශ්‍යයයි“ යනුවෙන් සමරතුංග වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ගනනාවක් සන්ධානයක් ලෙස මෙවර වර්ජනය දියත් කිරීමත් ගුරුවරු “ජවයකින්“ වර්ජනයට සම්බන්ධ වීමත් හේතුවෙන් “වෘත්තීය සමිති වල අතීත වාර්තාව මොනව වුනත්, මම හිතුවා ගුරුවරුන්ට මෙවර සමිති නායකයන්ව තල්ලු කරගෙන ඉස්සරහට යන්න පුලුවන් වෙයි කියලා“ යනුවෙන් කලුතර ප්‍රදේශයේ ගුරුවරයෙක් ප්‍රකාශ කලේ ය.

'ඒත් හුදු ජවයෙන් සහ අධිෂ්ඨානයෙන් ජයග්‍රහනය අත්කර ගන්න බැරිබව මේ වර්ජනයෙන් මට වැටහුනා. ඒ සඳහා නිරවද්‍ය ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවට සසප කල අවධාරනය මෙහිදී සනාථ වෙලා තියෙනවා.'

ධනේශ්වර ක්‍රමයේ පෙර නොවූ විරූ අර්බූදය යටතේ ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් ඉල්ලීම් දිනා ගත හැකිය යන වෘත්තීය සමිති වැඩපිලිවෙලේ බංකොලොත්කම පිලිබඳව සසප කල පැහැදිලි කිරීම් ගැන තමා “සැකයෙන්“ බැලූ නමුත්, 'ලංකාවේ ගුරුවරුන් ලෙස වර්ජනයෙන් අප ලද අත්දැකීම්' සහ 'අනෙකුත් රටවල කම්කරුවන්ගේ අත්දැකීම්' මගින් එම සැකය දුරුවෙන බව ඔහු තවදුරටත් කියා සිටියේ ය.

වසර 24 ක් පුරා ගුරු සමිති විසින් තම වැටුප් අරගලය ආන්ඩුවට බලපෑම් දැමීමේ වැඩපිලිවෙල තුල සිරකොට යලි යලිත් පාවාදුන් ආකාරය විස්තර කල ඔහු, තම අරගල සම්බන්ධව තීන්දු තීරන ගැනීමේ ප්‍රජාතන්ත්‍ර අයිතිය මුලුමනින්ම අහිමි කෙරුනු වෘත්තීය සමිති වලට විපරීතව, එම අයිතිය තහවුරු කෙරෙන ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවක් කලුතර ප්‍රදේශයේ ගොඩනැගීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇතැයි අවසානයේ දී සඳහන් කලේ ය.

තමා ඇතුලු ගුරුවරුන් මාර්ගගත ඉගැන්වීම් වර්ජනයේ නිරතව සිටියදී “ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා“ යැයි චෝදනා කරමින් ආන්ඩුව හා ධනපති මාධ්‍ය ගුරුවරුන්ට එරෙහිව අවශේෂ මහජනයා උසිගන්වමින් එය රාජ්‍ය මර්දනයක් දක්වා ඉදිරියට ගෙන යද්දී ගුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා අවශේෂ කම්කරුවන් බලමුලු ගැන්වීමට සසප ගෙනගිය උද්ඝෝෂනය අගය කරමින් ගම්පහ ප්‍රදේශයේ ගුරුවරයෙක් සාකච්ඡාවට අවතීර්න විය.

ධනපති ප්‍රහාර වලින් බැටකන සෞඛ්‍ය, අධ්‍යාපන, වරාය, විදුලිබල සහ වතු ආදී සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් ඒකාබද්ධ කරගත් අරගලයක් පෙරට ගැනීමේ අවශ්‍යතාවය අනුමත කරමින් ඔහු ප්‍රකාශ කලේ 'නමුත් වෘත්තීය සමිති එලෙස කම්කරුවෝ ඒකාබද්ධ කරලා සටන් කරනවා, සටන් ජයග්‍රහනය කරනවා මගේ ජීවිත කාලය තුල දී දැක නොමැති' බවයි.

එවන් ඒකාබද්ධ අරගලයකට අනෙකුත් අංශවල කම්කරුවන් යොමු නො කිරීමට සමිති නායකයන් දැනුවත්ව වගබලා ගන්නේ, එවන් ආරම්භකත්වයක් ආන්ඩුවට හා සමස්ත ධනේෂ්වර ක්‍රමයට විරුද්ධ කම්කරු පන්තියේ පලල් පෙරලිකාරීත්වයක් අවුලුවාලනු ඇතැයි යන භීතිය හේතුවෙන් බව සුරක්ෂිතතා කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ. ලෝක සමාජවාදී වෙඩ් අඩවියේ විශ්ලේෂන කියවීමටත්, ගුරු සිසු දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ සාකච්ඡා වලට සම්බන්ධ වීමටත් ඔහු සිය කැමැත්ත පල කලේ ය.

විදුහල්පතිවරයෙකු වන ගුනවර්ධන ගුරු සමිති ගුරුවරුන්ට යෝජනා කර ඇති ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව කතා කලේ ය. “රාජ්‍ය උත්සව බෑ, අධ්‍යාපන කාර්යාලවලින් එන නියෝග පිලිපදින්න එපා, ලමයින්ගෙ හැඳුනුම්පත්වල කටයුතු කරන්න බෑ මේ ආදි වශයෙන් ලැයිස්තුවක් සමිති විසින් විදුහල්පතිවරුන්ට එවලා තියෙනවා. අපි හුදෙකලාවෙලා මේ සියලු දෙවල් කරන්නේ කොහොම දැ“ යි ගුනවර්ධන ප්‍රශ්න කලේ ය.

ආන්ඩුවේ මර්දනයට හා ප්‍රහාරවලට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට තනියම මුහුන දෙන්න බෑ“ යයි ප්‍රකාශ කල ඔහු අවශේෂ කම්කරු පන්තිය සමග ඒකාබද්ධව අරගලයක් දියත් කිරීමේ වෛෂයික කොන්දේසි ගැන මෙසේ පැහැදිලි කලේ ය. “මාස තුනකට පෙර අරගලය ආරම්භ කරනකොට පැවැති වාතාවරනය නෙවෙයි අද තියෙන්නේ. හෑම භාන්ඩයකම මිල කීප ගුනයකින් ඉහල ගිහින්. වැටුප් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය සෑම අංශයකම කම්කරුවන්ට තියෙනවා“.

හම්බන්තොට ප්‍රදේශයේ ගුරුවරියක් මෙසේ කියා සිටියාය: “වසංගතය මැද පාසල් විවෘත කිරීම ඉතාම අන්තරායදායකයි. ඇත්තටම මේ ගුරු සංගම් එකක්වත් මේ අන්තරාය පිලිබඳව කතා කරන්නේ නෑ. ඔවුන් තමයි සියලු පන්ති විවෘත කරන්න, විභාග තියන්න දැන් ආන්ඩුවට යෝජනා කරන්නේ.“

දරුවන්ගේ ජීවිත අන්තරායේ හෙලමින් වසංගතය මැද පාසල් විවෘත කිරීමට එරෙහිවත්, වසංගතය මැඩ පවත්වන තුරු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා සෑම දරුවෙකුටම නොමිලේ පරිගනක හා අධිවේගී අන්තර්ජාල පහසුකම් සම්පාදනය කිරීම සඳහා කම්කරු පන්තියේ පොදු අරගලයක් පෙරට ගැනීමේ අවශ්‍යතාවය සුරක්ෂිතතා කමිටු සාමාජිකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කලහ.

බ්‍රිතාන්‍යයේ මවක හා එරට ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකාවක වන ලීසා ඩයස් විසින් වසංගතය මැද පාසල් විවෘත කිරීමට එරෙහිව ගෙන යන අරගලය හා ඊට ජාත්‍යන්තරව ලැබී තිබෙන සහයෝගය පිලිබඳ උදාහරනය ගෙනඑමින්, ධනපති ක්‍රමයට තදින්ම බැඳී ගත් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් හරහා ලෝක සමාජවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් වැදීමට පවතින විභව ශක්‍යතාවයන් ගැන සුරක්ෂිතතා කමිටු සාමාජිකයෝ දීර්ඝ ලෙස පැහැදිලි කලහ.

Loading