ඉදිරිදර්ශන

භයානක නව ප්‍රභේද නැවැත්වීම සඳහා කොවිඩ්-19 මුලිනුපුටා දැමිය යුතු ය

[මෙය 2021 නොවැම්බර් 27වැනි දින COVID-19 must be eradicated to stop dangerous new variants යන මැයෙන් පල වූ ලිපියේ පරිවර්තනයයි.]

සිකුරාදා (26), ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස) කොවිඩ්-19 හි නව ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීය, ඔමික්‍රෝන් ලෙස නම් කරන ලද එය, අනෙකුත් ප්‍රභේදවලට වඩා වේගයෙන් පැතිරෙන අතර වඩාත් මාරාන්තික සහ එන්නත් වලට ප්‍රතිරෝධී වේ.

2020 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන විසින් ලබා ගත් මෙම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ රූපයෙන් පෙන්නුම් කරන්නේ නව කොරෝනා සාර්ස්-කොවිඩ්-2 වෛරසය යි [අනුග්‍රහය: ඒපී හරහා NIAID-RML] [AP Photo/NIAID-RML]

මෙම නව කොවිඩ්-19 ප්‍රභේදය මතුවීම, රෝගය පැතිරීම නැවැත්වීමට අවශ්‍ය අගුලු දැමීම් සහ අනෙකුත් තීරනාත්මක මහජන සෞඛ්‍ය පියවරයන්ට විරුද්ධව එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ධනේශ්වර ආන්ඩු විසින් පෙරමුන ගෙන ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්තියේ විනාශකාරී හෙලිදරව්වකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ ප්‍රමුඛ විද්‍යාඥයින් නැවත නැවතත් අනතුරු අඟවා ඇති පරිදි, කොවිඩ්-19 තුරන් කිරීම සහ මුලිනුපුටා දැමීමකින් තොරව, නව සහ වඩාත් භයානක ප්‍රභේදයන් පරිනාමය වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි.

මෙම වසරේ අගෝස්තු 20 දා ලෝසවෙඅ මෙසේ ලිවීය, “යථාර්ථය නම්, වෛරසය ව්‍යාප්ත වන තාක් කල්, එය සමස්ත මානව වර්ගයාට ම තර්ජනයක් වන නව, වැඩියෙන් බෝවන, මාරාන්තික සහ එන්නත්වලට ඔරොත්තු දෙන ප්‍රභේද බවට විකෘති වෙමින් පවතිනු ඇත. එය ලෝක පරිමානයෙන් තුරන් නොකලහොත්, කොවිඩ්-19 හි ගිනි අඟුරු නොකඩවා දැවෙමින් වෛරසය අලුතින් හදිසියේ ඇවිල යාමට කොන්දේසි නිර්මානය කරනු ඇත.”

විනාශකාරී ප්‍රතිවිපාක සහිතව මෙම අනතුරු ඇඟවීම් සනාථ වී ඇත.

ඔමික්‍රෝන් ප්‍රභේදය, මෙතෙක් අනාවරය වී ඇති ඕනෑම ප්‍රභේදයකට වඩා දැඩි ලෙස විකෘති වී ඇති අතර, පෙර නොවූ විරූ වේගයකින් අනෙකුත් ප්‍රභේදයන් ප්‍රතිස්ථාපනය කරමින් දකුනු අප්‍රිකාව පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇත.

පරිගනක ජීව විද්‍යාඥ ට්‍රෙවර් බෙඩ්ෆෝර්ඩ් විසින් නිර්මානය කරන ලද කොවිඩ්-19 හි විකෘති වල රූප සටහනෙහි ඔමික්‍රෝන් ප්‍රභේදය රතු පැහැයෙන් සලකුනු කර ඇත.

සිකුරාදා (26), යුරෝපීය රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය, යුරෝපය පුරා “ඩෙල්ටා ප්‍රභේදය නැවත හිස ඔසවන තත්වයක් තුල, ඔමික්‍රෝන් ප්‍රභේදය (#OmicronVariant) ආරම්භ වීමේ සහ තවදුරටත් ව්‍යාප්ත වීමේ බලපෑම ඉතා ඉහල විය හැකිය” යනුවෙන් අනතුරු ඇඟවීය. එය නිගමනය කලේ, “යුරෝපා සංගමය/යුරෝපා ආර්ථික කලාපය... සඳහා වන සමස්ත අවදානම් මට්ටම තක්සේරු කර ඇත්තේ ඉහල සිට ඉතා ඉහල ලෙසට ය.”

ලෝසෞස ප්‍රකාශ කලේ, නව ප්‍රභේදය “නැවත ආසාදනය වීමේ වැඩි අවදානමක්” ඇති කරන බවත්, එය “දකුනු අප්‍රිකාවේ සියලුම පලාත්වල පාහේ” වැඩිවෙමින් පවතින බවත්ය. මෙම ප්‍රභේදය, “ආසාදනයේ පෙර වැඩිවීම් වලට වඩා වේගවත් බව හඳුනාගෙන ඇත, මෙම ප්‍රභේදයට පරිනාමීය වාසියක් තිබිය හැකි බව අදහස් කෙරේ.”

“නව ප්‍රභේදයක් = නව වසංගතයක්” වන බව, දශක දෙකකට ආසන්න කාලයක් වසංගත රෝග අධ්‍යයනය කරමින් සිටින සංකීර්න පද්ධති භෞතික විද්‍යාඥයකු වන ආචාර්ය යානීර් බාර්-යම් ලිවීය. “අද අප දන්නා ආසාදන දින කිහිපයක සිට සති දෙකක් දක්වා ඉහත දී සිදු වූ ඒවා ය. අද සිදු වූ ආසාදන දැනගත හැක්කේ මෙතැන් සිට දින කිහිපයක සිට සති දෙකක් දක්වා කල් ගතවූ විට පමනි.” නව ප්‍රභේදය, මුල් ප්‍රභේදයට වඩා බෝවීම අතින් හය ගුනයක් බවත් අට ගුනයකින් මාරාන්තික බවත් ඔහු ගනනය කර ඇත.

රෝගය කෙතරම් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත්ද යන්න සැලකිල්ලට ගනිමින් විද්‍යාඥයන් අනතුරු ඇඟවූයේ එය ලොව පුරා රටවල පවතින බවට සැකයක් නැති බවයි. වෛරස් විද්‍යාඥ ඇන්ජෙලා රස්මුසන් පැවසුවේ “බෙල්ජියමේ බොහෝ දුරට ප්‍රජා සම්ප්‍රේෂනය පැවතීමෙන් ඇඟවෙන්නේ වෙනත් තැන්වල ද ප්‍රජා සම්ප්‍රේෂනය තිබිය හැකි බවයි.”

ඔමික්‍රෝන් ප්‍රභේදයේ මතුවීම සිදු වන්නේ කොවිඩ්-19 හි ඩෙල්ටා ප්‍රභේදය ව්‍යසනකාරී ලෙස ශීත සෘතුවේදී වැඩිවීමක පසුබිමෙහි ය. ලොව පුරා, මාසයක් තුල රෝගීන් සංඛ්‍යාව සියයට 40 කින් ඉහල ගොස් තිබේ. ජර්මනියේ, දින හතක සාමාන්‍ය රෝගීන් ගනන 55,000 දක්වා ලඟා වී ඇති අතර එය මෙතෙක් වාර්තා වූ ඉහලම මට්ටම මෙන් දෙගුනයකටත් වඩා වැඩිය.

එක්සත් ජනපදයේ, සෑම දිනකම පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මිය යන අතර, එන්නත් තිබියදීත්, මිචිගන්, මිනසෝටා සහ අනෙකුත් ප්‍රාන්ත වාර්තාගත ඉහලම මට්ටම් කරා ලඟා වී තිබේ.

බයිඩන්, සඳුදා (22) කතා කරමින් නිවේදනය කලේ දකුනු අප්‍රිකානු රටවලින් ගමන් සීමා කිරීම් හැර නව ප්‍රභේදයට ප්‍රතිචාර වශයෙන් කිසිදු පියවරක් නොගන්නා බවයි. ඔහු ප්‍රකාශ කලේ, “අප දිගටම මෙහෙයවනු ලබන්නේ විද්‍යාව සහ මගේ වෛද්‍ය කන්ඩායම දෙන උපදෙස් වලිනි.” යනුවෙනි.

මෙය බොරුවකි. අනුගමනය කර ඇත්තේ විද්‍යාඥයින්ගේ උපදෙස් නොව—ඔහුගේ ප්‍රතිපත්ති වසංගතයේ යලි පිබිදීමකට තුඩු දෙනු ඇතැයි අනතුරු අඟවමින් තිබුනි—වෝල් වීදියේ ලාභ අවශ්‍යතාය.

‘කොවිඩ් හොට්ස්පොට් ඔෆ් මිචිගන්’ හි සංඛ්‍යාලේඛනවලට අනුව, ඔහුට පෙර ට්‍රම්ප් මෙන්, බයිඩන් ද අනුයන දේශීය ප්‍රතිපත්තිය වූයේ, පැතිර යාමේ වඩාත්ම වැදගත් මූලාශ්‍රය වන පාසල් නැවත විවෘත කිරීමයි. ගිම්හානයේදී, බයිඩන් පරිපාලනය මහජනතාවගෙන් මුහුනු ආවරන පැලඳ නොසිටින ලෙස ඉල්ලා සිටි අතර, දරුවන්ට කොවිඩ්-19 ආසාදනය හෝ සම්ප්‍රේෂනය නොවේ යන බොරුව ප්‍රවර්ධනය කලේය.

ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් ෆැසිස්ට් දක්ෂිනාංශය, ජාත්‍යන්තරව ඔහුගේ සගයන් සමඟ එක්ව, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අත්හරින ලෙස ඉල්ලා තිබේ. ඔවුහු කුමන්ත්‍රන න්‍යායන් ප්‍රවර්ධනය කරමින්, වසංගතය නැවැත්වීමේ සටනේ තීරනාත්මක සංරචකයක් වන එන්නත්කරනය අපකීර්තියට පත් කිරීමට උත්සාහ කරති.

අන්ත දක්ෂිනාංශය සමඟ ඔවුන්ගේ වෙනස්කම් කුමක් වුවත්, බයිඩන් සහ ප්‍රමානවත් නොවන අවමකිරීමේ ක්‍රියාමාර්ගවල අනෙකුත් යෝජකයින් වඩාත් අත්‍යවශ්‍ය ප්‍රශ්නයට එකඟ වෙති: එනම්, සංගත හා මූල්‍ය ප්‍රභූවේ ධනයට බාධා කරන කිසිදු පියවරක් ගත නොහැකිය යන්නයි. වසංගතය එන්නත් කිරීමෙන් පමනක් නැවැත්විය හැකි බවට ඔවුන්ගේ සාපරාධී සහ විද්‍යාත්මක නොවන ප්‍රකාශය ඔමික්‍රෝන් ප්‍රභේදය මතුවීමත් සමඟ හෙලිදරව් වී ඇත.

ඇමරිකානු සමාජයේ ආධිපත්‍යය දරන මූල්‍ය කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන එක්සත් ජනපද ප්‍රධාන පුවත්පත්, ඔමික්‍රෝන් ප්‍රභේදයේ මතුවීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ මහජන සෞඛ්‍ය පියවරයන්ට එරෙහි ව්‍යාපාරයක් සමඟිනි. වෝල් ස්ට්‍රීට් ජර්නලය ලියා ඇත්තේ “ඇමරිකානුවන් සහ සෙසු ලෝකය සදාකාලිකව විකෘති වන වෛරසයක් සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතු” බවයි. “ලොකුම අන්තරාය වන්නේ ආන්ඩුවේ අගුලු දැමීම් ය.”

වොෂින්ටන් පෝස්ට් හි ප්‍රකාශයට පත් කල මෙගන් මැක්ආර්ඩිගේ තීරු ලිපියක ශීර්ෂය මෙසේ විය, “එක්සත් ජනපදය අගුලු දැමීම්වලට යොමු නොවී ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආරක්ෂා විය යුතුය.”

“තවත් අගුලු දැමීමේ පිරිවැය අධික වනු ඇත,” මැක්ආර්ඩි ප්‍රකාශ කලේය, “ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ ඔපියොයිඩ් අධි මාත්‍රාවන්ගේ සිට කුඩා ව්‍යාපාර අසාර්ථක වීම සහ පාසල් පසුබෑම දක්වා… අපි අපගේ ප්‍රතිපත්ති වඩාත් තෝරා බේරා ගත යුතු අතර, දෛනික ජීවිතයට බාධා කරන කොවිඩ් විරෝධී පියවරයන් හැකි තරම් අඩුවෙන් තෝරා ගත යුතුය.”

මෙම ප්‍රතිවිපාක—සමාජ සම්පත් බලමුලු ගැන්වීම හරහා මේ සියල්ල වැලැක්විය හැකිය—මිලියන සංඛ්‍යාත ජනයාගේ මරන සමග සසඳන්නේ කෙසේද? මැක්ආර්ඩි, පෝස්ට් සහ සමස්ත පාලක පන්තිය සැබවින්ම අදහස් කරන්නේ කොටස් වෙලඳපොලවල අඛන්ඩ නැගීමකට තර්ජනයක් වන කිසිදු පියවරක් ගත නොහැකි බවයි.

වොෂින්ටන් පෝස්ට්, වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ අනෙකුත් මාධ්‍යවලට, කොවිඩ්-19 ඉබේ ම පහව යාම හෝ උන බවට පත්වීම ගැන හෝ ගොරහැඩි ලෙස කතා කල හැකි නමුත් මෙය සැබෑ ජීවිතය වන අතර රෝගය ඔවුන්ගේ බොරු ගැන තැකීමක් නොකරයි.

කම්කරුවන් ඔවුන්ගේ ප්‍රතිචාරය පදනම් කර ගත යුත්තේ පාලක පන්තියේ මුලා වූ සහ තමන්ටම සේවය කරන බොරු මත නොව, වසංගතයේ විද්‍යාත්මක යථාර්ථය මත ය.

එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය, තුරන් කිරීමේ සහ මුලිනුපුටා දැමීමේ උපාය මාර්ගයක් මත පදනම්ව, වසංගතය නැවැත්වීම සඳහා තීරනාත්මක හදිසි පියවර ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටිය යුතුය; මැදිහත් විය යුතු ය. මේ සඳහා අවශ්‍ය වන්නේ:

  • රෝගය පාලනය වන තුරු අත්‍යවශ්‍ය නොවන සියලුම නිෂ්පාදන වහාම නතර කල යුතුය. සියලුම කම්කරුවන්ට දුරස්ථ වැඩ සඳහා සියයට 100 ක වැටුපක් ලැබිය යුතුය, නැතහොත් දුරස්ථ වැඩ කිරීමට නොහැකි වූ විට, අහිමි වූ ආදායමට සම්පූර්නයෙන්ම වන්දි ගෙවිය යුතුය.
  • අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන නැවැත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් අහිමි වී ගිය සියලුම ස්වයං රැකියාවන්හි නියුතු වෙලඳුන් සහ වෙලෙන්දියන්, කොන්ත්‍රාත්කරුවන් සහ කුඩා ව්‍යාපාර හිමියන්ට අහිමි වූ සියලු ඉපැයීම් සඳහා පූර්න වන්දි ලැබිය යුතුය.
  • සියලුම පුද්ගල අධ්‍යාපනය වහාම අත්හිටුවා, එය දුරස්ථ උපදෙස් මගින් ප්‍රතිස්ථාපනය කල යුතුය. සෑම දරුවෙකුටම සහ නව යොවුන් වියේ දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේම නවීන ලැප්ටොප් පරිගනකයක් සහ අධිවේගී අන්තර්ජාල සේවාවක්, ආරක්ෂිත, ඉඩකඩ සහිත සහ සුවපහසු ඉගෙනුම් පරිසරයක් නිවස තුල සපයාදීම සහතික කිරීම සඳහා ඩොලර් බිලියන ගනනක් වෙන් කල යුතුය.
  • මහජන සෞඛ්‍ය පද්ධතිය විශාල වශයෙන් පුළුල් කර මහජන සෞඛ්‍ය සම්බන්ධීකාරකවරුන් දහස් ගනනක් බඳවා ගත යුතුය. රෝගයට ගොදුරු වූ හෝ එයට නිරාවරනය වූ සෑම කෙනෙකුටම මහජන සෞඛ්‍ය කාර්ය මන්ඩලය, හෙදියන් සහ වෛද්‍යවරුන් වෙත ක්ෂනික හා කාලෝචිත ප්‍රවේශයක් තිබිය යුතු අතර ඔවුන්ගේ රෝග ලක්ෂන නිරීක්ෂනය කර, අන් අයට ආසාදනය නොවන පරිද්දෙන් ආරක්ෂිතව නිරෝධායනය වීමට ඔවුන්ට උපකාර කල යුතුය.
  • ගෝලීය එන්නත් වැඩසටහනක් නිර්මානය කිරීම සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක් වෙන් කල යුතු ය. මුළු ලෝකයම ආරක්ෂා කිරීමේ විධිනියෝගයක් සහිතව එන්නත් බෙදා හැරීම විද්‍යාඥයින් සහ මහජන සෞඛ්‍ය විශේෂඥයින් විසින් පරිපාලනය කල යුතුය.

මෙම හදිසි වැඩසටහන සඳහා සම්පත් පවතී. වසංගතය ආරම්භයේ සිට, එක්සත් ජනපද ප්‍රකෝටිපතියන් සියයට 60කට වඩා ධනවත් වී ඇති අතර, ඔවුන්ගේ ධනය ෆෙඩරල් සංචිතයෙන් ලැබෙන දැවැන්ත අත්පිට මුදල් දීමනා මගින් වර්ධනය විය. එලොන් මස්ක්ගේ ධනය පමනක් 2020 ආරම්භයේ ඩොලර් බිලියන 30 සිට දැන් ඩොලර් බිලියන 300 දක්වා වැඩි වී තිබේ.

පාලක පන්තියේ සමස්ත ප්‍රතිපත්තියම ගොඩනගා ඇත්තේ බොරු කන්දක් මත ය. වසංගතයේ ආරම්භක මතුවීමේ සිට වර්තමානය දක්වා සෑම අවස්ථාවකදීම, තර්ජනයේ යථාර්ථය සහ ගත යුතු පියවර ප්‍රතික්ෂේප කරමින් පාලක පන්තිය සිය මිනීමරු පියවරයන් සාධාරනීකරනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ, කොවිඩ්-19 වසංගතය පිලිබඳ ගෝලීය කම්කරු පරීක්ෂනය ආරම්භ කර ඇත. සිදුවී ඇති දේ සහ කල යුතු දේ පිලිබඳ අවබෝධයක් කම්කරු පන්තිය තුල වර්ධනය කිරීමේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස, පසුගිය දෙවසර පුරා ආන්ඩු සහ මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කරන ලද සියලු බොරු විමර්ශනය කර, ප්‍රතික්ෂේප කරනු ඇත. ලෝසවෙඅ දැනටමත් කම්කරුවන්ගෙන් හා විද්‍යාඥයින්ගෙන් සාක්ෂි ලබා ගැනීම අරඹා ඇත.

පරීක්‍ෂනය, සෑම සේවා ස්ථානයකම සහ අසල්වැසි ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හරහා ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීන බලවේගයක් ලෙස සංවිධානය කිරීමට හා බලමුලු ගැන්වීමට සම්බන්ධ කල යුතුය. ගෝලීය තුරන් කිරීමේ සහ මුලිනුපුටා දැමීමේ උපාය මාර්ගයක් ඉල්ලා සිටීමේ දැවැන්ත සමාජ හා දේශපාලන ව්‍යාපාරයකින් පිටත ප්‍රතිපත්තිවල වෙනසක් සාක්ෂාත් නොවනු ඇත.

කම්කරු පන්තිය තුල ව්‍යාපාරයක් වර්ධනය කිරීම, සමස්ත පාලක පන්තිය හා ධනේශ්වර පද්ධතිය සමග ගැටුමක අවශ්‍යතාවය මතු කරයි. සංගත හා මූල්‍ය කතිපයාධිකාරයේ පිලිවෙත ව්‍යසනයක් නිර්මානය කර ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමාජවාදය සඳහා සටන් කල යුතුය.

Loading