ලංකාව තුල සැබෑ කොවිඩ් ආසාදන සංඛ්‍යාව නිල ගනනයන්ට වඩා ඉතා ඉහල බව පර්යේෂනයකින් හෙලි කෙරේ

ආන්ඩුවේ නිල දත්ත මගින් ලංකාවේ කොවිඩ්-19 වසංගතයේ සැබෑ පැතිරීම “අවතක්සේරු” කෙරී ඇති බව නොවැම්බර් 12 වනදා වෛද්‍ය විශේෂඥයන් කන්ඩායමක් විසින් නිකුත් කල පර්යේෂන පත්‍රිකාවකින් අනාවරනය විය. ඊට අනුව පීසීආර් පරීක්ෂන වලින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව 9.59 ගුනයකින් වැඩිය.

පර්යේෂනය සිදු කර තිබුනේ ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ පිලිගත් වෛද්‍ය විශේෂඥයන් කන්ඩායමක් විසිනි. එයට කොරෝනා වසංගතය පිලිබඳ පර්යේෂන සම්බන්ධයෙන් ප්‍රකට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර, එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය නිලීකා මලවිගේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ග්‍රැහැම් ඔග් ඇතුලු පර්යේෂකයන් 23 දෙනෙක් සහභාගී වී ඇත.

මහචාර්ය නිලීකා මලවිගේ

මෙම දත්ත පෙන්වා දෙනුයේ ලංකාව තුල රාජපක්ෂ ආන්ඩුව විසින් ගෙන යන “කොවිඩ් සමග ජීවත් වීමේ” මිනීමරු වැඩපිලිවෙලේ මානව පිරිවැය රජයේ නිල වාර්තා වලට වඩා බොහෝ ව්‍යසනකාරී බවයි. අනෙක් අතට මෙම පර්යේෂනයේ නිගමන, ආන්ඩුව පීසීආර් පරීක්ෂන පහල දමමින් වසංගතය පාලනය වූ බව මවා පෙන්වීමට දරන උත්සාහයට එරෙහි චෝදනා පත්‍රයකි.

එන්නත්කරනයට පෙර, 2021 ජනවාරි මාසය තුල සිදු කල මෙම පර්යේෂනයට යොදාගෙන තිබුනේ ලංකාවේ වඩාත්ම ජනගහනය අධික කොලඹ අගනගරයේ සිටින වයස අවුරුදු 10 – 86 අතර පුද්ගලයින් 2,547 කි. පර්යේෂනයට සාම්පල එක් රැස් කර තිබුනේ ජනාකීර්න ස්ථාන වන නිවාස සහ සාප්පු සංකීර්න, එලවලු සහ මාලු වෙලඳසල් සහ කාර්යාල සංකීර්න තුලිනි. වඩා වැදගත්ම කාරනාව වනුයේ, පර්යේෂනයට යොදාගත් පිරිස කොවිඩ් වෛරසයට නිරාවරනය වූ බවට මීට පෙර හඳුනා ගෙන නොතිබීම සහ ඔවුන් කිසිදු රෝග ලක්ෂනයක් පෙන්වා නොතිබීමයි.

පර්යේෂනය සඳහා යොදාගෙන තිබුනේ සීරෝප්‍රෙවලන්ස් (seroprevalence) අධ්‍යනයන් ඔස්සේ සිදු කෙරෙන සීරෝසර්වේ (serosurvey) ක්‍රමවේදයයි. මෙහිදී සිදු කෙරෙන්නේ පුද්ගලයින්ගෙන් රුධිර සාම්පල තුල නිශ්චිත රෝගයට අදාල ව්‍යාධීජනකයෙකුට (උදා-කොවිඩ් 19 වෛරසය) එරෙහි ප්‍රතිදේහ තිබේදැයි පරීක්ෂා කිරීමයි. මෙම ප්‍රතිදේහ නිපදවෙන්නේ, කිසියම් ව්‍යාධිජනකයෙකු ශරීරයකට ඇතුල් වූ පසු ඊට එරෙහිව එකී ශරීරය විසින්ම ප්‍රතිශක්ති ක්‍රියාදාමය හරහා සටන් කිරීමේදීය. ඒ අනුව යම් පුද්ගලයෙකුගේ සිරුරේ අදාල ප්‍රතිදේහ පැවතීම, එම පුද්ගලයාට අදාල ව්‍යාධිජනකයා ආසාදනය වූ බවට දර්ශකයකි.

ඒ අනුව සාම්පල පරීක්ෂාවේදී කොවිඩ්-19 වෛරසයට එරෙහි ප්‍රතිදේහ පැවතීම එම පුද්ගලයා මීට පෙර වෛරසයට ආසාදනය වී ඇති බවට සාක්ෂියකි. පර්යේෂනය තුල සීරෝප්‍රෙවලන්ස් මගින් සිදු කර ඇත්තේ අදාල ජනගහනය තුල කොවිඩ්-19ට එරෙහි ප්‍රතිදේහ සහිත පුද්ගලයින්ගේ ප්‍රතිශතය සෙවීමයි. ඒ ඔස්සේ සිදු කරන සීරෝසර්වේ මගින් අදාල ජනගහනයේ මීට පෙර වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගනන සෙවිය හැක.

මෙම ක්‍රියාවලියේ වැදගත්කම අවධාරනය කරන පර්යේෂකයන්, සිය කාර්යයේ අරමුන “SARS-CoV-2(කොවිඩ් 19) පැතිරීමේ සැබෑ පරිමාව තේරුම් ගැනීම” බව පවසයි. කොවිඩ්-19 ට අදාල පරීක්ෂන සීමා කිරීම ආදී කරුනු නිසා ආසාදිතයින් බවට තහවුරු නොවූ නමුත් වෛරසය ශරීර ගතවූ පුද්ගලයින්ද මෙය හරහා හඳුනාගැනීමට අවස්ථාව හිමිවෙයි.

පර්යේෂනය මගින් සීරෝපොසිටිවිටි (ප්‍රතිදේහ හමුවූ) අගය සහ පීසීආර් පරීක්ෂන රේට්ටුව අතර සන්සන්දනයක් හරහා සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව සහ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව අතර ඇති වෙනස තක්සේරු කර ඇත.

වයස් කාන්ඩ අනුව ගත්කල, 10-20 වයස් කාන්ඩය ඉහලම සීරෝපොසිටිවිටි අගය වාර්තා කරයි. එය සියයට 34.03 කි. නමුත් එම කාන්ඩයේ තහවුරු වූ පීසීආර් රේට්ටුව සියයට 9.84ක් වන අතර, එය වයස් කාන්ඩ අතර තෙවන ස්ථානයට අඩුම පීසීආර් රේට්ටුවයි. අඩුම පීසීආර් රේට්ටුව තහවුරු වී ඇත්තේ 70ට ඉහල වයස් කාන්ඩය තුලය. එය සියයට 4.09 කි. නමුත් එම කාන්ඩය තුල සීරෝපොසිටිවිටි අගය සියයට 17.18 කි. 61 – 70 කාන්ඩයේ සීරෝපොසිටිවිටි අගය 30.38 ක් වුවද පීසීආර් රේට්ටුව 8.98කි.

සීරෝපොසිටිවිටි අගය සහ පීසීආර් තහවුරු වූ රේට්ටුව ආසන්න වශයෙන් හෝ සමාන වී ඇත්තේ වයස අවුරුදු 21–30 සහ 31–40 ත් අතර කාන්ඩ තුලය. අවුරුදු 21–30 අතර එම අගයන් පිලිවෙලින් සියයට 18.53 ක් සහ 19.57 කි. අවුරුදු 31–40 අතර කාන්ඩය තුල එම අගයන් පිලිවෙලින් 22.56 සහ 20.07 කි.

සියලුම වයස් කාන්ඩ තුල සීරෝපොසිටිවිටි අගය සියයට 24.46 ක ඉහල අගයකි. ඒ අනුව පුද්ගලයින් 138,276 ක් ආසාදනය වී ඇති බවට සමීක්ෂනය ඇස්තමේන්තුගත කර ඇති නමුත් පීසීආර් මගින් හමුවී ඇත්තේ 14,416 කි. ඒ අනුව සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව නිල වාර්තා වලට වඩා ආසන්න වශයෙන් දස ගුනයකින් ඉහලය.

සැබෑ ආසාදිතයින් සහ තහවුරු වූ ආසාදිතයින් අතර විශාල පරතරයක් ඇති වීමට හේතුව කුමක්ද? කිසිදු කුතර්කයකට ඉඩ නොතබා වාර්තාව මෙසේ සඳහන් කරයි: “අහඹු පීසීආර් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ සේවයෙහි නිරත ජනගහනය තුල වීම සහ නිවෙස් තුලට සීමා වූවන් අතර ඒවා අඩු රේට්ටුවකින් සිදු කිරීම හේතුවෙන් මෙය පුදුමයක් නොවේ.” මෙම විශාල පරතරයට හේතුව පීසීආර් පරීක්ෂනවල ආන්තික සීමිත භාවයයි.

මෙම අගයන් 2021 ජනවාරි මාසය තුල ලංකාවේ සිදු කෙරුනු පීසීආර් පරීක්ෂන සමග සංසන්දනය කෙරුනු කල සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගැනීම අපහසු නොවේ. එම කාලය තුල දෛනික පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව පැවතුනේ 15,000 ක සාමාන්‍යයේය. දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 800 ක පමන පැවතී ඇත. නමුත් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය වූයේ දිනකට පීසීආර් පරීක්ෂන 40,000 කි. ආන්ඩුව කටයුතු කලේ එම නිර්දේශ මුලුමනින්ම නොතකා හරිමිනි.

සොච්චම් පීසීආර් පරීක්ෂන සංඛ්‍යාව හරහා ආසාදිතයින්ගෙන් බහුතරයක් හඳුනා නොගෙන ඇති බව ඉන් පැහැදිලි වේ. මේ වන විට සිදු කෙරෙන්නේ දෛනික පීසීආර් පරීක්ෂන 7000 ක් පමනය. එය ජනවාරි මාසයේ අගයෙන් භාගයකි. ඒ අනුව දෛනික නිල ආසාදන සංඛ්‍යාවේ සාමාන්‍යය වන 700 මට්ටම ඉක්මවා සැබෑ ආසාදිතයින් සිටින බවට උපකල්පනය කල හැක.

කොලඹ මහ නගර සභාවේ ප්‍රදේශ හයක (D1, D2A, D2B, D3, D4, D5) සෙරෝපොසිටිවිටි අගයන්ගේ විචලනය වීම් වලට, අදාල ප්‍රදේශ වල ජන ඝනත්වය, නිවාස වල කොන්දේසි හේතු වී ඇති ආකාරය කෙරෙහි වාර්තාව අවධානය යොමු කරයි.

කොලඹ මහ නගර සීමාවේ ඇති ජනාකීර්න D2A, D2B, D3 ප්‍රදේශ වල සීරෝප්‍රෙවෙලන්ස් අගයන් සියයට 26.2 – 39 ත් අතර ඉහල අගයකි. ඉන් එපිට ඇති ජනඝනත්වය අඩු D4 ප්‍රදේශයේ එම අගය සියයට 3.33 කි. වාර්තාවට අනුව අගයන්ගේ වෙනස්වීම “ජන ඝනත්වය සහ එම ප්‍රදේශ වල නිවාස වල කොන්දේසි වල පිලිබිඹුවකි”. ඉහල සීරෝප්‍රෙවෙලන්ස් අගයක් එනම් වෛරසයේ ඉහල පැතිරීමක් සහිත ප්‍රදේශ “තදබදයකින් යුතු සහ දුර්වල නිවාස කොන්දේසි” සහිත ඒවා බව වාර්තාව පවසයි.

වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, D1 ප්‍රදේශයේ ඇතැම් ස්ථාන වල ඉහල පීසීආර් රේට්ටුවක් තිබුනද සීරෝප්‍රෙවෙලන්ස් අගය සියයට 14.76 ක් දක්වා සීමා කිරීමට හැකියාව ලැබී ඇත්තේ එය ඉක්මනින් “හුදෙකලා කිරීම” නිසා බවයි. එය මතු කරන්නේ වසංගතය පාලනය කිරීමෙහි ලා මහජන සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් වල අත්‍යාවශ්‍ය භාවයයි.

කෙසේ වෙතත් ලෝකය පුරාම ධනපති ආන්ඩු මෙම මහජන සෞඛ්‍ය ආරක්ෂන පිලිවෙත් ඉවත ලමින් සිටී. විද්‍යාඥයින් විවිධ පර්යේෂනයන් හරහා තමන්ගේ විද්‍යාත්මක ඥානය යොදාගනිමින් වසංගතය පාලනය කල හැකි ක්‍රමවේදයන් සහ ඒවා ඉවත ලෑමේ ප්‍රතිවිපාක පෙන්වා දෙමින් සිටින නමුත් ලාභය මත පාදක වී ඇති ධනපති ක්‍රමයට ඒවා බීරී අලින්ට කෙරෙන වීනා වාදනයකි.

“කොවිඩ් සමග ජීවත් වීමේ' මෙම මිනීමරු පිලිවෙත් ගලා එන්නේ ධනපති ලාභෝත්පාදනය අඛන්ඩව පවත්වාගෙනයාමේ අවශ්‍යතාවයෙනි. මෙම අවශ්‍යතාවයෙන් පෙලෙන ධනපති ආන්ඩු කම්කරුවන් වැඩට ගෙන්වීම සඳහා වසංගතය පාලනය වී ඇති බව ව්‍යාජ ආකාරයෙන් පෙන්වීමට පීසීආර් පරීක්ෂන පහල දමයි. ඊට අනුපූරක ලෙස මහජන සෞඛ්‍ය ආරක්ෂන සීමා ඉවත ලයි.

ධනපති ආන්ඩුවල මෙම ක්‍රමවේදය ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 ජූනි මාසයේදී සූත්‍රගත කලේ මෙසේය: “කුඩා පරීක්ෂන සංඛ්‍යාවකින් අප ආසාදිතයින් සුලු සංඛ්‍යාවක් පෙන්වනු ඇත”. ආසාදනයන් මගින් මිලියන සංඛ්‍යාත මහජනතාව මරනයට හෝ දීර්ඝ-කොවිඩ් තත්වයන්ට පත් කරන වෛරසයක් සම්බන්ධයෙන් ධනපති පාලක පන්තියේ තැකීම එබඳුය.

මෙසේ හඳුනා නොගත් ආසාදිතයින් රෝගය සම්ප්‍රේෂනයට කෙසේ දායක වී ඇත්ද? සහ එය ඔවුන්ගේ ජීවිත කෙරෙහි කෙසේ බලපෑ ඇත්ද? යන්න කෙරෙහි පර්යේෂනයේ විෂය පථය යොමු නොවූවත් එය විශාල බලපෑමක් ඇති කරනු ඇති බව නිසැකය. දීර්ඝ කොවිඩ් වැනි තත්වයන් සම්බන්ධයෙන් කෙරෙන එවැනි අධ්‍යනයන් වසංගතයේ සැබෑ බලපෑම තක්සේරු කිරීමෙහි ලා වැදගත් ය.

“පැතිරීමේ සැබෑ පරිමාව හඳුනාගැනීමේ ලා සීරෝප්‍රෙවෙලන්ස් අධ්‍යනයන් ගේ වැදගත්කම' පෙන්වාදෙමින් වාර්තාව නිමා කෙරෙන්නේ තවත් මෙවන් අධ්‍යයනයන් සඳහා ආරාධනා කරමිනි. කෙසේ වෙතත් වසංගතය සාමාන්‍යකරනය කරමින් සිටින පාලක පන්තියකට මේවා ඉහිලුම් නොදෙයි. දශක ගනනක කප්පාදුව හේතුවෙන් ලංකාව තුල එවන් පර්යේෂන සඳහා පවතින පහසුකම් පවා සීමා කෙරී ඇත.

ලංකාවේ ධනපති ආන්ඩු වල ඉහත කී පිලිවෙත් වල මානව පිරිවැය මෙසේය: මේ වන විට නිල ආසාදන සංඛ්‍යාව 563,267 ක් වන අතර මරන 14,328 කි. පර්යේෂනයට අනුව සැබෑ සංඛ්‍යාවන් එමෙන් කීප ගුනයක් වනු ඇත. මහජනතාව මුහුන දෙන ප්‍රශ්නය වී ඇත්තේ මෙම ව්‍යසනයට තිත තබන්නේ කෙසේද? යන්නයි. ආන්ඩුවල පිලිවෙත් වල ප්‍රතිඵලයක් ලෙස වඩා විනාශකාරී ඔමික්‍රෝන් වැනි වෛරස ප්‍රභේද මතුවී ඇති තතු තුල මෙම ප්‍රශ්නය තීරනාත්මකය.

අයවැය හරහා සෞඛ්‍යයට වෙන් කෙරෙන ප්‍රතිපාදන බිලියන හයකින් සහ කොවිඩ් අතිරේක අරමුදලද බිලියන 18 සිට 12 දක්වා කපා හැරීම තුල මෙය වඩාත් ඉහලින් ප්‍රකාශයට පත්වෙයි. වාර්තාවේ නිගමනයන් හැටියට ඉදිරිපත් කෙරෙන පීසීආර් පරීක්ෂන ඉහල දැමීම සහ පර්යේෂන ඉහල නැංවීම ආදී කාරනා ධනපති ක්‍රමයේ මෙම පිලිවෙත් සමග ඍජුව ගැටේ.

මෙම ව්‍යසනයට තිත තැබිය හැක්කේ වසංගතය මුලිනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙනි. නමුත් එය කල හැක්කේ, එවන් ක්‍රියාමාර්ගයකට එරෙහිව සිටින ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් තුලින් පමනකි.

Loading