දෙමල ජාතික සන්ධානය චීන-විරෝධී උද්ඝෝෂනයට සහයෝගය ගොනු කරයි

[මෙය Tamil National Alliance in Sri Lanka ramps up support for anti-China campaign මැයෙන් 2022 ජනවාරි 24දා පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ලංකාවේ ප්‍රධාන දෙමල පාර්ලිමේන්තු පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (දෙජාස), පසුගිය නොවැම්බරයේ දී සිය නියෝජිත කන්ඩායමක් වොෂින්ටනයට කල සංචාරයෙන් පසු ව, එක්සත් ජනපදය විසින් මෙහෙයවෙන චීන-විරෝධී උද්ඝෝෂනයට සම්බන්ධවීම උත්සන්න කරමින් සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් නායකත්වය දුන් එම නියෝජිත කන්ඩායම, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් මුනගැසුනි.

එම රැස්වීම සඳහා මවා පෙන්වූ හේතුව වූයේ, 2009 දී අවසන් වූ ලංකාවේ දිග්ගැස්සුනු වාර්ගික යුද්ධයෙන් ඉස්මතු වූ “මානව හිමිකම්” හා “සංහිඳියාව” අරබයා වොෂින්ටනයේ උත්සුකය යි. එහෙත් එහි සැබෑ හේතුව වූයේ, බෙයිජිනය සමග සිය සබඳතා බිඳ දමා, වොෂින්ටනයේ භූ-මූලෝපායික අවශ්‍යතාවන්ට පූර්න පිටුබලය දෙන ලෙස රාජපක්ෂ ආන්ඩුව මත යොදන පීඩනය තීව්‍ර කිරීම යි.

දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් (ඡායාරූපය සඳහා ස්තුතිය: ට්විටර්@masumanthira)

අනෙකුත් දෙමල පක්ෂ හා මාධ්‍ය විසින්ද ප්‍රතිරාවය කරනු ලැබෙමින් තිබෙන දෙජාසහි නවතම චීනය හෙලාදැකීම්, ද මෝනිං වෙබ් අඩවිය සමග ජනවාරි 8දා සුමන්දිරන් කල දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් තුල ඉදිරිපත් කරනු ලැබිනි. ලංකාව තුල චීනයේ ව්‍යාපෘති හා ආයෝජන සූදානම පිලිබඳ ව විමසූ විට, දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඍජු ව ම මෙසේ ප්‍රකාශ කලේ ය: “චීන්නුන් උතුරට හා නැගෙනහිරට සාදරයෙන් පිලිගැනෙන්නේ නැහැ.”

සුමන්දිරන්ගේ මෙම අදහස් වනාහි, දෙසැම්බර් මැද දී උතුරේ යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවලට චීන තානාපති කී ෂෙන්හොං කල දෙදින සංචාරයකට ප්‍රතිචාර දැක්වීමක් විය. එම සංචාරයේ අරමුන වූයේ චීන ආයෝජන සඳහා පවතින අවස්ථාවන් සොයා බැලීමයි. සාමාන්‍ය සිද්ධියක් ලෙස පොදුවේ සලකනු ලැබෙන සංචාරයකට දෙජාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එවන් ප්‍රකෝපකාරී ආකාරයකින් ප්‍රතික්‍රියා කිරීම, මෙම කලාපය තුල එක් පසෙක එක්සත් ජනපදය හා ඉන්දියාවත්, අනෙක් පස චීනයත් අතර ඉහල යමින් පවතින භූ-දේශපාලනික ආතතීන් හුවා දක්වයි.

දෙජාසහි “දේශපාලනික කටයුතු”, “චීනයට ආගන්තුක වන මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වන” නිසා, උතුරට හා නැගෙනහිරට චීනයේ මැදිහත් වීමට තමන් විරුද්ධ වන බව සුමන්දිරන් කීවේ ය. එම ප්‍රදේශයේ චීන ආනුභාවය, දේශපාලන අයිතීන් සඳහා “ප්‍රගතියට බාධාවක් වනු ඇත” යි ඔහු ප්‍රකාශ කලේ ය.

උතුර හා නැගෙනහිර “දකුනු චීන මුහුද තුල පිහිටා නැති” බවත්, නමුත් ඉන්දියානු වෙරලට සමීප බැවින් “චීනයේ යුක්තියුක්ත ආරක්ෂක උත්සුකයන් නො වන” බවත් පැවසු ඔහු “...උතුර හා නැගෙනහිර තුල චීනයට අවකාශ ලබා දීම ඉන්දියාවට හතුරු වන ක්‍රියාවක්” වනු ඇති බව කියා සිටියේය.

සුමන්දිරන්ගේ දෙඩවිලි, චීනයට එරෙහි ව වොෂින්ටනයේ හා දිල්ලියේ ආක්‍රමනශීලී ප්‍රචාරය පුනරුච්ඡාරනය කිරීමකි. “ප්‍රජාතන්ත්‍රවාදය” හා චීනයේ “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” ගැන එක්සත් ජනපදය ව්‍යාජ ලෙස අඳෝනා නගන්නේ, සංක්‍රමනිකයන් මර්දනය කිරීම ඇතුලු එය විසින් කරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මැඩීම කුහක ලෙස සඟවමිනි.

දකුනු චීන මුහුද ගැන සුමන්දිරන්ගේ සඳහන් කිරීම, චීනයට එරෙහි ව එක්සත් ජනපදය මෙහෙයවන ප්‍රධානම ප්‍රකෝපකරනයක් ප්‍රතිරාවය කිරීමකි. බෙයිජිනයේ “නීති-විරෝධීව” දකුනු චීන මුහුදට හිමිකම් කියන්නේ යයි එය හෙලා දකින් එක්සත් ජනපදය, “නාවික ගමනාගමනයේ නිදහස” යන ව්‍යාජ නිමිත්ත ඉදිරිපත් කරමින් චීනය විසින් පාලනය කරන දූපත් වටා පිහිටි මුහුදු කලාපයන්ට එක්සත් ජනපද යුද නැව් යවයි.

එක්සත් ජනපදයේ යුද අපරාධ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාර මෙන් ම, කාෂ්මීරය හා අනෙකුත් ප්‍රාන්ත තුල මෝදි ආන්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා එය මුස්ලිම්-විරෝධී ප්‍රචාර ඇවිලවීම, සුමන්දිරන් ගනනකට නොගනියි .

උතුර හා නැගෙනහිර තුල චීනය ඉදිරිපත්වීම් පිලිබඳ ඉන්දියාවේ ඊනියා ආරක්ෂක උත්සුකතා යනු, ඉන්දියාව සිය පිලිකන්න ලෙස සලකන කලාපය තුල චීනයේ බලපෑම කෙරෙහි එය දීර්ඝ කාලීන ව දක්වන විරුද්ධත්වයේ කොටසකි.

සිය බල අභිලාෂයන් අත්කර ගැනීම සඳහා, එක්සත් ජනපදය නායකත්වය දෙන චතුර්-පාර්ශවික මිලිටරි සන්ධානයට (ක්වොඩ්) ඕස්ට්‍රේලියාව හා ජපානය සමගින් ඒකාබද්ධ වන ඉන්දියාව, චීනයට එරෙහි පෙරමුනු රාජ්‍යයක් බවට පත් ව ඇත. චීනයේ පැත්තෙන් බෙයිජිනය මෙම පියවරයන්ට ප්‍රතිරෝධය දැක්වීමට උත්සාහ දරා ඇත්තේ, අනෙකුත් දකුනු ආසියානු රටවල් සමග තමන්ගේ ම සබඳතා ගොඩනගා ගැනීමට ප්‍රයත්න දරමිනි.

“මානව හිමිකම් මත පදනම් වන දේශපාලනික අයිතීන් සඳහා” සටන් වදිනවා යයි දෙජාස කරන කියාපෑම අමු කෙප්පයකි. මෙම ධනපති පක්ෂයේ උත්සුකය වන්නේ, දෙමල කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොව, එක්සත් ජනපදය හා ඉන්දියාව ද ඒවායේ භූ-දේශපාලනික න්‍යාය පත්‍රය ද නිහීන ලෙස වැලඳ ගැනීම මගින්, දෙමල ප්‍රභූව සඳහා වරප්‍රසාද සුරක්ෂිත කරගැනීම යි.

මිලිටරිය දෙමල සිවිල් වැසියන් ලක්ෂ ගනනක් මරා දැමුනු, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි කොලඹ පාලනයේ 30-අවුරුදු යුද්ධයට, එක්සත් ජනපදය හා ඉන්දියාව අනුමැතිය දුන් හ. යුද අපරාධ හා ගනන් නැති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන උත්සුකතා ඉස්මතු කිරීම වොෂින්ටනය විසින් අරඹන ලද්දේ, 2009 මැයි මාසයේ අවසන් වූ ලේවැකි ගැටුමේ අන්තිම මාස කිහිපයේ දී පමනි.

මානව හිමිකම් සමග කිසිදු සම්බන්ධයක් නො තිබූ මෙම උත්සුකතාවන්, එක්සත් ජනපදය විසින් යොදා ගන්නා ලද්දේ, බෙයිජිනයෙන් ඈත් වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට පීඩනය යෙදීම පිනිස ය. මේ අරමුන සහිත ව, වොෂින්ටනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) දී යෝජනා කිහිපයකට ම අනුග්‍රහය දුන්නේ ය. මෙම හා අනෙකුත් උපාමාරු අසාර්ථක වූ තැන, මහින්ද රාජපක්ෂ තනතුරින් ඉවත් කොට, 2015 දී එක්සත් ජනපද-ගැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස ස්ථාපිත කිරීම සඳහා තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමීමට වොෂින්ටනය කටයුතු කලේ ය.

මහින්ද රාජපක්ෂගේ බාල සහෝදර ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බරයේ දී ජනාධිපති ලෙස පත් වුනු විට හා මූල්‍ය අර්බුදයෙන් පෙලෙන ඔහුගේ ආන්ඩුව ආධාර පතා යලිත් බෙයිජිනය වෙත හැරුනු විට, එක්සත් ජනපදය, ඉන්දියාව හා අනෙකුත් ප්‍රධාන බලවත්තු සිය “මානව හිමිකම්” උද්ඝෝෂනය යලි ඇරඹූ හ. යුද අපරාධ පිලිබඳ විමර්ශනයක් කැඳවුම් කරන තවත් යූඑන්එච්ආර්සී යෝජනාවකට වොෂින්ටනය පිටුබලය දුන් අතර, එය 2021 මාර්තු සැසියේ දී සම්මත විය. දෙජාස හා අනෙකුත් දෙමල පක්ෂ එක්සත් ජනපදයේ පියවරයන්ට සහයෝගය දුන් හ.

“උතුර හා නැගෙනහිර තුල බලය බෙදාහැරීමක් සැලසුම් කිරීමට ඉන්දියාවට හැකි නම්...කලාපය තුල චීනයේ මැදිහත් වීම වැලැක්වීමට එයට හැකි වනු ඇත” යි, තමිල්නාඩුවේ පලවන පුදිය තලයිමුරෙයි රූපවාහිනී නාලිකාව සමග දෙසැම්බර් 27දා පැවති සම්මුඛ සාකච්ඡාවක දී සුමන්දිරන් ප්‍රකාශ කලේ ය.

අනෙකුත් දෙමල පක්ෂ ද චීන-විරෝධී උද්ඝෝෂනයට එකතු වී ඇත. “ලෝකයේ පොලිස්කාරයා බවට වෙනස් වීමට” චීනය උත්සාහ දරමින් සිටින බව මෑතක දී ප්‍රකාශ කල ඊලම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුනේ (ඊපීආර්එල්එෆ්) නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, එල්ටීටීඊයට එරෙහි කොලඹ පාලනයේ යුද්ධයට චීනය දුන් සහයෝගය ගැන සඳහන් කලේ ය.

“යුද්ධය සමයේ දී යෝධ මිලිටරි ප්‍රවර්ධන පහසුකම් හා යුද යානා සම්පාදනය කිරීම මගින්, චීනය ලංකාව සිය ප්‍රධානතම නයගැති රට බවට පත් කරගෙන ඇත” යි ඔහු ප්‍රකාශ කල අතර, කොලඹ ආන්ඩුවට එරෙහි එක්සත් ජනපදයේ පිටුබලය ලබන යූඑන්එච්ආර්සී යෝජනාවට විරුද්ධ වීම ගැන බෙයිජිනය විවේචනය කලේ ය.

දෙජාස මෙන් ඊපීආර්එල්එෆ් ද සිවිල් යුද්ධයට එක්සත් ජනපදය හා ඉන්දියාව දුන් සහයෝගය කුහක ලෙස සඟවයි.

මීට දෙවැනි නො වන දෙමල ජාතික මහජන පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා දෙමල මහජන සන්ධානයේ නායක සී. වී. විග්නේස්වරන් ද චීන-විරෝධී හා ඉන්දියානු-ගැති උද්ඝෝෂනය වැලඳගෙන ඇත. මෙම ධනපති පක්ෂ අතර කවර උපාමාරුමය වෙනස්කම් පැවතිය ද ඒ සියලු පක්ෂ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ හා ඉන්දියාවේ අවශ්‍යතාවන්ට සේවය කරති.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් (ෆේස්බුක්)

සුමන්දිරන්ගේ චෝදනාවන්ට හා චීන-විරෝධී උද්ඝෝෂනයට ප්‍රතිචාර දැක්වූ චීන තානාපති කී ෂෙන්හොං, උතුරට ඔහු කල සංචාරය “ආර්ථික ආයෝජනවලට සම්බන්ධ” බව හා “ඉන්දියාවට එරෙහි ව නො වන” බව, ජනවාරි 9දා කොලඹ පැවති මාධ්‍ය සාකච්චාවක දී කීවේ ය. “යාපනය යනු ශ්‍රී ලංකාවේ උතුරේ නගරයක්. එය වෙනත් කිසිදු රටක දකුනේ පිහිටි නගරයක් නෙවෙයි” යි ඔහු කෙලින්ම කියා සිටියේය.

මෙම වර්ධනයන් වැඩි දුරටත් අවධාරනය කරන්නේ, කලාපය තුල ගැඹුරු වෙමින් පවතින භූ-දේශපාලනික ප්‍රතිමල්ලතාව හා වොෂින්ටනයේ හා නව දිල්ලියේ විධානයන් සමග ලංකාව පෙලගස්වා ගැනීමට දරන දැඩි උත්සාහයන් ය. ඒවායින්, දෙමල ජාතිකවාදී පක්ෂවල අධිරාජ්‍යවාදී-ගැති පිරිහීම ද න්‍යෂ්ටික ව සන්නද්ධ බලයන් අතර විනාශකාරී මිලිටරි ගැටුමක අන්තරාය ද ප්‍රකාශයට පත්වෙයි.

දෙමල මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීමට හැක්කේ මෙම ධනපති සංවිධාන හරහා නො වේ; ඊට ප්‍රතිකුලාව, පීඩිත ජනයාට නායකත්වය දෙමින්, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා ජාත්‍යන්තරවාදී යුද-විරෝධී ක්‍රියාමාර්ගයක් මත පදනම් වෙමින් සටන් කරන සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් හරහා පමනි. මෙම ඉදිරි දර්ශනයට සටන් වදින එක ම සංවිධානය වන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි.

Loading