එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාවේ දෙමල නායකයන් සමග සාකච්ඡා පවත්වයි

[මෙය 2021 දෙසැම්බර් 11 වැනි දින US State Department holds talks with Sri Lankan Tamil leaders යන මැයෙන් පලවූ ලිපියේ පරිවර්තනයයි.]

එම්. ඒ. සුමන්දිරන් (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

පසුගිය මාසයේ සිදු වූ සුවිශේෂී සිදුවීමක් ලෙස, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, වොෂින්ටනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම පිනිස, එක්සත් ජනපද-ගැති ලංකාවේ දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) නියෝජිත පිරිසකට ආරාධනා කලේ ය.

ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ සිට මෙහෙයවෙන තවත් අධිරාජ්‍ය-ගැති නඩයක් වන, ගෝලීය දෙමල සංසදයේ (ගෝදෙස) නියෝජිත කන්ඩායමකට ද මෙම සාකච්ඡා සඳහා ආරාධනා කරනු ලැබිනි.

දෙජාස නියෝජිත කන්ඩායමට, එහි ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන්, ප්‍රමුඛ පෙලේ නීතිඥ කේ. කනග්-ඊස්වරන් හා මහාචාර්ය නිර්මලා චන්ද්‍රදාසන් ද ගෝදෙස නියෝජිත කන්ඩායමට, ඊ. වී. කේ. එස්. ඉලන්ගෝවන්, සුරේන් සුරේන්දිරන් හා තවත් දෙදෙනෙක් ද ඇතුලත් වූ හ.

දකුනු හා මධ්‍යම ආසියා කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඇතුලු ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද නිලධාරීහු මෙම රැස්වීමට සහභාගි වූහ.

නොවැම්බර් 15 සිට 22 දක්වා වොෂින්ටනයේ රැඳී සිටි කාලය තුල, දෙජාස හා ගෝදෙස නියෝජිතයෝ කොංග්‍රස් විදෙස් කටයුතු කමිටුවේ හා සෙනෙට් විදෙස් සබඳතා කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ද හමු වූ හ. නිව් යෝක්හි දී ඔවුහු, අනෙකුත් අයට අමතර ව, එක්සත් ජනපදය, නෝර්වේ, අයර්ලන්ත සමූහාන්ඩුව යන රටවල එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡා කල හ.

මෙම සාකච්ඡා සඳහා ප්‍රසිද්ධ ආවරනය වූයේ, ලංකාව තුල “මානව හිමිකම්” කාරනා හා “සංහිඳියාව” සඳහා වොෂින්ටනය දෙන සහයෝගය යි. සංහිඳියාව යන්නෙන් අදහස් වන්නේ, දෙමල බහුතරයක් ජීවත් වන රටෙහි උතුර හා නැගෙනහිර තුල දෙමල ප්‍රභූවට බලය බෙදා හැරීම යි.

එහෙත්, සැබෑ අභිප්‍රායය වූයේ, චීනය සමග සබඳතා බිඳ දමා, එක්සත් ජනපදයේ භූ-මූලෝපායික අවශ්‍යතා සමග මුලුමනින් පෙලගැසෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට පීඩනය යෙදීම යි.

එක්සත් ජනපද නිලධාරීන් සැබෑවට ම සාකච්ඡා කලේ කවරක් ද හා දෙමල නායකයන් ඔවුන්ට දන්වා සිටියේ කවරක් ද යන්න පිලිබඳ වාර්තා හිඟ ය.

සහකාර ලේකම් ලූ දෙජාස හා ගෝදෙස නියෝජිතයන් සමග හමුවේ දී මෙසේ කී බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ට්විටර් පනිවුඩයක් සටහන් කලේ ය: “ලංකාව තුල එක්සත් ජනපද විදෙස් පිලිවෙතේ දී කේන්ද්‍රීය වන්නේ මානව හිමිකම් ය... කල් පවත්නා සාමයක් හා ඔවුන්ගේ රටෙහි අනාගතය තීන්දු කිරීමට සම්පූර්න හඬක් දීමේ දී, එක්සත් ජනපදය ලංකාවේ දෙමල ජනයා සමග එක් වේ.”

“දෙමල ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වෙනුවෙන්” හා “වගවීම හා සාධාරනත්වය වෙනුවෙන්” පෙනී සිටින නිසා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය (යූඑන්එච්ආර්සී) වෙත එක්සත් ජනපදය පෙරලා පැමිනීම වැදගත් බව, නොවැම්බර් 27දා ද හින්දු පුවත්පතට සුමන්දිරන් කීවේ ය.

ඔහු මෙසේ ද කීවේ ය: “පලාත් වෙත ප්‍රමානවත් ලෙස බලය බෙදීමකින් තොර ව, දෙමල බහුතරය ජීවත් වන උතුර හා නැගෙනහිර තුල සිංහල ජනයා පදිංචි කිරීම මගින් එහි ජනසංඛ්‍යානය වෙනස් කිරීමේ (ආන්ඩුවෙහි) යෝධ සැලසුම අපට පිලිගන්න බැහැ.”

ගෝදෙස නිකුත් කල ඒ හා සමාන ප්‍රකාශයක්, එක්සත් ජනපදයේ හා යූඑන්එච්ආර්සීයේ “අඛන්ඩ නායකත්වය” සඳහා ආයාචනා කලේ ය.

“කල් පවත්නා සාමයක්” සොයා දෙමල ජනයා යන ගමනට එක්සත් ජනපදය සහයෝගය දෙන්නේ ය යන ලූගේ කියාපෑම අත්‍යන්තයෙන් ව්‍යාජ ය. ඒ හා සමාන ව, එක්සත් ජනපදය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කප්පිත්තෙක් යයි දෙජාස හා ගෝදෙස කරන කියාපෑම් හාස්‍යජනක ය.

අංක එකේ යුද අපරාධකාරයා වන වොෂින්ටනය, භූගෝලය පුරා ගනන් නැති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම්වලට වගකිව යුතු ය. එක්සත් ජනපදය තුල, අනුප්‍රාප්තික පරිපාලනයන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට පහර දී ඇත්තේ, සංක්‍රමනිකයන් ම්ලේච්ඡ ලෙස මඩිමිනි. බයිඩන් පරිපාලනය මෙම ප්‍රහාර අඛන්ඩ ව ඉදිරියට ගෙන යමින් සිටී.

එක්සත් ජනපදයේ භූ-දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා ඉදිරියට දැමීමේ ආයුධයක් ලෙස, එය අන් රටවල් තුල “මානව හිමිකම්” යොදා ගනිමින් සිටී. ෂිංජියෑං පලාතේ වාර්ගික උයිගර්ස්වරුන් ව “සමූලඝාතනයට” ලක් කරනවා යයි එය ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන චීනයේ දී මෙන්, වොෂින්ටනය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සරල ව නිෂ්පාදනය කරයි.

ලංකාවේ දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ වූ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වොෂින්ටනය විසින් ගසා කයි. මහින්දගේ සහෝදරයා වන වර්තමාන ජනාධිපති ගෝඨාභය, ආරක්ෂක ලේකම් ලෙස මෙම මෙහෙයුම් අධීක්ෂනය කලේ ය.

බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව, අවුරුදු 30ක් පමන ගෙන ගිය ලේවැකි යුද්ධය 2009 මැයි මාසයේ දී අවසන් වූයේ, යටත් වුනු එල්ටීටීඊ නායකයන් ද ඇතුලු ව අවම වසයෙන් සිවිල් වැසියන් 40,000ක් මරා දමමිනි. දෙමල වැසියන් 300,000ක් පමන, මිලිටරිය විසින් අධීක්ෂනය කෙරුනු වව්නියාවේ කඳවුරු තුලට ගාල් කරන ලදී. හමුදාවට යටත් වීමෙන් පසුව අතුරුදන් වුනු, තරුන මිනිසුන් සිය ගනනක් පිලිබඳ තොරතුරු සපයන්නැයි, දෙමල මහජනයා කොලඹ ආන්ඩුවෙන් තවමත් ඉල්ලා සිටිති.

වොෂින්ටනය මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලනයට හා යුද්ධයට පිටුබලය දුන්නේ ය. ප්‍රධාන ආයුධ සපයන්නා ලෙස හා කොලඹ පාලනයේ මූල්‍ය සහකාරක මූලාශ්‍රය ලෙස බෙයිජිනය ඉස්මතු වීමෙන් පසුව පමනක්, ගැටුමෙහි අවසන් මාස කිහිපය තුල මානව හිමිකම් උත්සුකයන් මතු කිරීම එය විසින් ඇරඹී ය.

චීනයෙහි නැගී ඒම පිලිබඳ උත්සුක වූ එක්සත් ජනපදය, බෙයිජිනය රාජ්‍යතාන්ත්‍රික ව හුදකලා කිරීමටත්, එය මිලිටරිමය වසයෙන් වටලෑමටත්, “ආසියාවට හැරීමේ” පිලිවෙත වර්ධනය කලේ ය. චීනය සමග රාජපක්ෂ පාලනයේ සබඳතාවන්ට වොෂින්ටනය අත්‍යන්තයෙන් හතුරු විය. එක්සත් ජනපද න්‍යාය පත්‍රයට සහයෝගය දෙන ලෙස කොලඹ පාලනය මත පීඩනය යෙදීම සඳහා, එය යූඑන්එච්ආර්සී යුද අපරාධ යෝජනා කිහිපයකට ම අනුග්‍රහය දුන්නේ ය.

2015 දී මහින්ද රාජපක්ෂ ඉවත් කොට, ඔහු වෙනුවට එක්සත් ජනපද-ගැති මෛත්‍රීපාල සිරිසේන පත්කිරීම සඳහා, එක්සත් ජනපදය නව දිල්ලියේ ද සහාය සහිත ව තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමුවේ ය. සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ, එතැන් පටන් රටෙහි විදෙස් පිලිවෙත වොෂින්ටනය දෙසට මාරු කලේ ය.

2019 නොවැම්බරයේ දී ගෝඨාභය රාජපක්ෂ බලයට ආ තැන් පටන්, ඔහු බෙයිජිනය සමග සබඳතා අලුත් කරගැනීම පිලිබඳ ව වොෂින්ටනය තම උත්සුකයන් ප්‍රකාශයට පත්කොට ඇත. ගෝලීය කොවිඩ්-19 වසංගතය විසින් ප්‍රේරනය කරන ලද ආර්ථික අර්බුදයකට මුහුන දෙන රාජපක්ෂ තන්ත්‍රය, චීනයෙන් වඩ වඩා නය හා ආයෝජන ලබා ගැනීමට උත්සාහ දරා තිබේ.

මේ වසරේ අප්‍රේල් මාසයේ දී, කොලඹ වරාය අසල පිලිසැකසූ ඉඩමක් මත, බෙයිජිනයේ නයක් සමගින් චීන ගොඩනැගිලි සමාගමක් විසින් ගොඩනගනු ලබන කොලඹ වරාය නගර ව්‍යාපෘතිය (සීපීසී) ආරම්භ කිරීමට රාජපක්ෂ ක්‍රියා කලේ ය.

එක්සත් ජනපදය නායකත්වය දෙන මිලිටරි බාධා කිරීම් හමුවේ දී, ඉන්දියානු සාගරය හරහා තම ආනයන හා අපනයනවල නිදහස් චලනය තහවුරු කිරීම පිනිස වන මූලෝපායික සැලැස්මක් අඩංගු කරගන්නා මෙම ව්‍යාපෘතිය, බෙයිජිනයේ එක් තීරුවක් එක් මාවතක් (බීආර්අයි) මූලෝපායෙහි කොටසකි.

බෙයිජිනය සමග වන සබඳතා බිඳින ලෙස, එක්සත් ජනපදය රාජපක්ෂ මත තීව්‍ර කරන පීඩනයේ කොටසක් වසයෙන්, එවකට රාජ්‍ය ලේකම් වූ මයික් පොම්පියෝ පසුගිය වසරේ කොලඹට පැමින, බෙයිජිනයෙන් ඈත් වන ලෙස ලංකාවේ ආන්ඩුවට ප්‍රසිද්ධියේ විධාන කලේ ය.

වොෂින්ටනය තම ව්‍යාජ “මානව හිමිකම්” උද්ඝෝෂනය මේ වසරේ දී යලි ආරම්භ කලේ ය. එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය හා තවත් රටවල් කිහිපයකින් සමන්විත “මධ්‍ය කන්ඩායමක්” විසින් යූඑන්එච්ආර්සී වෙත භාර දෙන ලද යෝජනාවකට වොෂින්ටනය පිටුබලය දුන්නේ ය. වරදට පැටලී සිටින අයට චෝදනා නැගීම සඳහා භාවිතා කරනු ලැබිය හැකි, ලංකාව තුල යුද අපරාධ පිලිබඳ සාක්ෂි එකතු කිරීම සඳහා, එමගින් මාවත විවෘත කරයි.

ලංකාව මත එක්සත් ජනපදයේ පීඩනය යෙදෙනුයේ, යුද ආතතීන් ඉහල නංවමින්, බයිඩන් පරිපාලනය රුසියාවට හා චීනයට එරෙහි ව ප්‍රකෝපකාරී ක්‍රියාවන්වල නිරතව සිටියදී ය. ඉන්දු-පැසිෆික් කලාපය තුල “නාවික නිදහස” උල්ලංඝනය කිරීම, තායිවානයට තර්ජනය කිරීම හා මානව හිමිකම් මර්දනය කිරීම ගැන එය කුහක ලෙස චීනයට චෝදනා කරයි.

යුද ආතතීන්ගේ ගින්නට තෙල් දැමීම මගින්, වසංගතයේ යෝධ විනාශය කෙරෙහි රට තුල වර්ධනය වන කම්කරු-පන්තික ප්‍රතිරෝධය අපසරනය කිරීමට, වොෂින්ටනය උත්සාහ දරමින් සිටී.

ලංකාව මත යොදන පීඩනය වැඩි කරමින්, එක්සත් ජනපද කොංග්‍රස් විදෙස් කටයුතු කමිටුවේ සභාපති ග්‍රෙගරි ඩබ්ලිව්. මීක්ස් හා එහි ඉහල පෙලේ සාමාජික මයිකල් මැක්කෝල්, ශ්‍රී ලංකාව සම්බන්ධ තම ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දෙන ලෙස එක්සත් ජනපද පරිපාලනයෙන් ඉල්ලා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට ලිපියක් යැවී ය. “එක්සත් ජනපද-ශ්‍රී ලංකා සබඳතාව, එක්සත් ජනපදයේ විදෙස් පිලිවෙතට හා ඉන්දු-පැසිෆික් කලාපය තුල ජාතික ආරක්ෂක අවශ්‍යතාවන්ට තීරනාත්මක වේ” යැයි ලිපිය සඳහන් කලේ ය.

වොෂින්ටනය, චීනයට එරෙහි එහි ප්‍රධාන මූලෝපායික හවුල්කරුවෙකු වන ඉන්දියාව සමග, සිය ප්‍රයත්නයන් සම්බන්ධීකරනය කරයි. “වොෂින්ටනය අප ඔවුන් සමග පැවැත්වූ සාකච්ඡාවන් ගැන නව දිල්ලිය දැනුවත් කර තිබෙනවා” යි සුමන්දිරන් ද හින්දු වෙත කීවේ ය.

ලොව පුරා එක්සත් ජනපදයෙහි සාපරාධී වාර්තාව ගැන ඉතා හොඳින් දැනුවත් දෙජාසට හා ගෝදෙසට, දෙමල ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ගැන උත්සුකයක් නැත. යථාර්ථයේ දී, ඔවුහු චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම්වීම්වලට සහයෝගය දෙති.

තම බෙදුම්වාදී ක්‍රියා මාර්ගයට සහයෝගය ඉල්ලා එක්සත් ජනපදයට ආයාචනා කල එල්ටීටීඊයේ හොරනෑව ලෙස, දෙජාස කලින් ක්‍රියා කලේ ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධය අවසන් වූ විට, වොෂින්ටනයේ ව්‍යාජ මානව හිමිකම් උද්ඝෝෂනය සමග දෙජාස සම්බන්ධ වූයේ, එක්සත් ජනපදය සමග සමීප සබඳතා වගා දිගා කරගනිමිනි. වොෂින්ටනය අනුග්‍රහය දුන් 2015 තන්ත්‍ර-මාරු මෙහෙයුමට දෙජාස පිටුබලය දුන්නේ ය.

අධිරාජ්‍යවාදයේ කේවට්ටයන් ලෙස ක්‍රියා කරමින් සිටින දෙජාස හා ගෝදෙස, එක්සත් ජනපදයේ අවශ්‍යතාවන්ට සේවය කරමින්, දෙමල ප්‍රභූව සඳහා වරප්‍රසාද ලබා ගැනීමේ දී සුලුතරයන් ලෙස එහි සහයෝගයේ පිහිට පතති. පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයේ කොටසක් ලෙස, සිංහල, දෙමල හා මුස්ලිම් වාර්ගික රේඛා කපාගෙන වැඩෙන කම්කරු අරගල කෙරෙහි, රාජපක්ෂ තන්ත්‍රය මෙන් ඔවුහු ද මාරාන්තික භීතියකින් පසු වෙති.

දැනට මත් තන්ත්‍ර-මාරු මෙහෙයුමකට බඳුන් වී සිටින රාජපක්ෂ, ගැඹුරු වන එක්සත් ජනපද පීඩනයෙහි ගම්‍යයන් ගැන දනී. මෑත මාස කිහිපයේ දී, එක්සත් ජනපදයෙන් වඩා වැඩි ආයෝජනයන්ට ආරාධනා කරමින්, වොෂින්ටනය සැනසීමට කොලඹ පාලනය උත්සාහ දරා තිබේ.

ඉන්දියාව සමග සබඳතා ප්‍රතිස්ථාපනය කරගැනීමට ද කොලඹ පාලනය උත්සාහ දරමින් සිටී. පසුගිය සතියේ දී, කොලඹ ආන්ඩුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ නව දිල්ලියට යැවුවේ, ආයෝජන ඇතුලු සමීප සබඳතා ලුහුබඳිමිනි.

මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ, ගෝලීය භූ-දේශපාලනික ආතතීන්ගේ අභිවර්ධිත අවධිය හා එම ආතතීන් ලංකාවේ දේශපාලන අර්බුදය මත ඇති කරන තියුනු බලපෑම යි.

ධනපති පන්තියේ සෑම කන්ඩායමකින් ම බිඳී වෙන්විය යුතු ලංකාවේ කම්කරු පන්තිය, තම ස්වාධීන අවශ්‍යතා, එනම්, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලාම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් වැදීම පිනිස, වාර්ගික රේඛා කපාගෙන එහි ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු විය යුතු ය.

Loading