ශ්‍රී ලංකාව විදුලි කප්පාදුවෙන් සහ ඉන්ධන හිඟයෙන් ඇලලී යයි

[මෙය Sri Lanka engulfed by power cuts and fuel shortages යන මැයෙන් පෙබරවාරි 26 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායක් වන ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) පසුගිය සතියේ දිවයින පුරා විදුලිය කපා හැරීම ආරම්භ කල අතර, ඊයේ (25) සිය දෛනික කප්පාදුව පැය 5 යි විනාඩි 15 දක්වා දීර්ඝ කලේය.

උපයෝගිතා සේවා අධීක්‍ෂනය කරන රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ සති අන්තයේ විදුලි කප්පාදුව දිවා කාලයේ පැය තුනකට සීමා කරන බවයි. කෙසේ වෙතත්, ලංවිම ට විදුලිබල උත්පාදනය සඳහා ප්‍රමානවත් තෙල් සැපයුමක් නොලැබෙන්නේ නම්, ඉදිරි සතියේදී තත්වය වඩාත් දරුනු විය හැකි බව එය පෙන්වා දුන්නේය.

උග්‍රවන නය සහ විදේශ මුදල් අර්බුදය හේතුවෙන් දිවයින ඉන්ධන හිඟයකට මුහුන දී සිටී. බලශක්ති උත්පාදන බලාගාර කිහිපයක් නැවතී ඇත, ඇතැම් බලාගාර අඩු ධාරිතාවයකින් ක්‍රියාත්මක වේ. වියලි කාලගුනික තත්ත්වයන් නිසා අඩු වූ ජල මට්ටම් හේතුවෙන් රටේ ජල විදුලි බලාගාරවලට ද අහිතකර බලපෑම් එල්ල වී තිබේ.

කොලඹ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පෝලිමේ කොටසක් [මූලාශ්‍රය: ෆේස්බුක්]

පසුගිය මාස කිහිපය තුල විදුලිය කැපීම් මෙන්ම ඛනිජ තෙල් හිඟය නිතර සිදු වූ අතර, මිලියන සංඛ්‍යාත ජනතාවගේ දෛනික කටයුතු සහ ඔවුන්ගේ ජීවනෝපාය අඩාල වීමත් සමඟ අර්බුදය වඩාත් දරුනු මුහුනුවරක් ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය, විශේෂයෙන්ම ඩීසල් හිඟය, ඉන්ධන බෙදා හැරීමේ ස්ථානවලින් පිටත දිගු පෝලිම්වලට තුඩු දෙන අතර එය ප්‍රවාහනයට බලපායි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩල ආරංචි මාර්ග ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ පවිත්‍රාගාරවල විදුලිය විසන්ධි වීම සහ විකල්ප විදුලි සැපයුමක් නොමැතිකම හේතුවෙන් ජල සැපයුමට බලපෑම් එල්ල විය හැකි බවයි.

විදේශ විනිමය ඉපැයීම් ඉහල නැංවීම සඳහා දැවෙන අවශ්‍යතාවයෙන් පසුවන ආන්ඩුව අපනයන සැකසුම් නිදහස් වෙලඳ කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇත. මහා ව්‍යාපාරික භීතීය, ශ්‍රී ලංකා කොටස් වෙලඳපොලේ තියුනු ලෙස පහත වැටීමෙන් පිලිබිඹු වී තිබේ. පෙබරවාරි 23 දා කොටස් වෙලඳපොල එහි විශාලතම පහත වැටීමකට ලක්වූයේ රුපියල් බිලියන 700 ක කොටස් අගයන් අතුගා දමමිනි.

ශ්‍රී ලංකාවේ වතුකරයේ දරුවන් උපකාරක පන්තියක ඉටිපන්දම් එලියෙන් ඉගෙන ගනිමින්. [මූලාශ්‍රය: ආර්.ජේ. කිරුෂ්නා ෆේස්බුක්]

බ්‍රහස්පතින්දා ඩේලි මිරර් පුවත්පතේ “හිස් භාන්ඩාගාරය, විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය සහ ප්‍රලාපයන්” යන මාතෘකාවෙන් යුත් කතුවැකියක් ප්‍රකාශ කලේ, “ඉන්ධන, අපගේ ප්‍රධාන ආහාරය සඳහා සහල් සහ ඖෂධ වැනි රට යැපෙන මූලික ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විකල්ප නොමැතිව සිටින” බවයි. මෙම අනතුරු ඇඟවීමෙන් පිලිබිඹු කලේ, අර්බුදය තවත් කම්කරු පන්ති වර්ජන හා විරෝධතා රැල්ලක් ජනනය කරනු ඇති බවට පාලක ප්‍රභූවේ කොටස් අතර වැඩෙන නොසන්සුන්තාවය යි.

අධික ලෙස නය වී සිටින ලංවිමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් (සීපීසී) ඩීසල් මිලදී ගැනීමට මුදල් නැතුවා මෙන්ම කොලඹ වරායේ දැනටමත් නැංගුරම් ලා ඇති නැව් වල ඇති තෙල් සඳහා ගෙවීමට මුදල් නොමැත.

ව්‍යසනකාරී තත්වය පිලිබඳ උග්‍ර වන මහජන කෝපයට මුහුන දී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 'මූල්‍ය තත්වය' ගැන සාකච්ඡා කිරීම සඳහා අඟහරුවාදා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

මාධ්‍ය කිසිදු විස්තරයක් නිකුත් කර නැතත් එක් කැබිනට් අමාත්‍යවරයෙක් පැවසුවේ තෙල් සැපයුම්කරුවන්ට ගෙවීමට හැකි වන පරිදි රුපියල් බිලියන 80 ක් (ඩොලර් මිලියන 395 ක්) භාන්ඩාගාරය විසින් සීපීසී වෙත ලබා දෙන බවයි. කෙසේ වෙතත්, මෙම මුදල සතියක ඉන්ධන සැපයුම් සඳහා පමනක් සෑහේ. තෙල් සමග, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කන්ටේනර් 1,500 ක් පමන කොලඹ වරායේ සිරවී ඇත්තේ ඒවාට ගෙවීමට විදේශ මුදල් නොමැතිකම නිසාය.

ආහාර සහ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් බිලියනයක නය මුදලක් සඳහා ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ සතියේ අගභාගයේ නවදිල්ලියට යාමට නියමිතව තිබුනි. සංචාරය ප්‍රමාද වී ඇති බව මාධ්‍ය වාර්තා කල නමුත් වෙනත් තොරතුරු ලබා දී නොමැත.

ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මේ සතියේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කලේ, ඉන්දීය නය මාර්ගයකින් ලැබෙන ඩොලර් මිලියන 500 ඇතුලුව ඉදිරි මාස තුන තුල තෙල් ආනයනය සඳහා ගෙවීමට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1,285 ක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත්, මෙම මුදල් අප්‍රේල් දක්වා ලබා ගත නොහැක.

එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ප‍්‍රකෝපකරනයන්ට ප‍්‍රතිචාර වශයෙන් රුසියාව විසින් ‍බ්‍රහස්පතින්දා යුක්‍රේනය ආක්‍රමනය කිරීමත් සමග කොලඹ ආන්ඩුව මුහුන දී සිටින නය අර්බුදය, තෙල් මිල ඉහල යෑමකින් තව දුරටත් බැට කනු ඇත.

වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස 2020 දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් නාටකාකාර ලෙස පහත වැටුනු අතර සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමක් සහ අපනයන හා ප්‍රේෂනවල දැඩි පහත වැටීමක් දක්නට ලැබුනි. ආනයන වියදම් ඉහල ගොස් ඇති අතර කොලඹ ආන්ඩුව මුහුන දෙන ප්‍රධාන ගැටලුව වන්නේ දැවැන්ත විදේශ නය ආපසු ගෙවීමයි.

පසුගිය මාසයේ මුදල් ඇමති රාජපක්ෂ ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ ආන්ඩුව විදේශ නය පැහැර හැරීමක් වැලැක්වීමට “සියලු විකල්ප උත්සාහයන් ක්‍රියාවට දමමින් සිටින” බව ය; මේ වසරේ පමනක් ඩොලර් බිලියන 6.9 ක් ගෙවීමට සිදුව ඇති බවද ඔහු හෙලිදරව් කලේය.

“ශ්‍රී ලංකාව ස්වෛරී බැඳුම්කර ගෙවීම් පැහැර හැරීමේ අද්දර සිටි” බවට අනතුරු අඟවන තවත් ලිපියක් පෙබරවාරි 8 දා එම පුවත්පත පල කලේය. මුලු විදේශ නය ඩොලර් බිලියන 45 න් ඩොලර් බිලියන 15 ක්, බොහෝ දුරට ඩොලර් වලින් නම් කරන ලද බැඳුම්කර ඇති බව එය සඳහන් කලේය. ශ්‍රී ලංකා ආන්ඩුව ස්වෛරී බැඳුම්කර හරහා නය ගැනීම ආරම්භ කලේ මීට දශකයකට පමන පෙරය.

පසුගිය දෙවසර තුල රාජපක්ෂ ආන්ඩුව උත්සන්න වන ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ස්වෛරී බැඳුම්කර සහ අතමාරු ගිවිසුම් හරහා සිය නය වැඩි කර ගනිමිනි. මේ සියල්ල කෙටි කාලීන විධිවිධාන වූ අතර, ඒවා මූල්‍ය ගැටලු තවත් ගැඹුරු කර ඇත.

විශාල ලාබ නෙලාගත් මහා ව්‍යාපාරිකයන්ට මුදල් ලබා දීම සඳහා, රුපියල් ට්‍රිලියන 1.2 ක පමන මුදලක් මුද්‍රනය කරමින් අඩු පොලී අනුපාත පවත්වා ගෙන යාමට කොලඹ ආන්ඩුව යොමු වී ඇත. මේ සියල්ල නිසා රුපියල තියුනු ලෙස අවප්‍රමානය වී ඇත. නිල වශයෙන්, එක්සත් ජනපද ඩොලරයක් සඳහා රුපියල් 202 ක් වැය වේ, එය වසරකට පෙර රුපියල් 187 ක් විය. කෙසේ වෙතත්, නිල නොවන අනුපාතය ඩොලරයක් සඳහා රුපියල් 260 ක් වන අතර එය සියයට 40 කට ආසන්න අවප්‍රමානයකි.

පැහැදිලි වන කාරනය නම්, ලොව අනෙක් ආන්ඩු මෙන්ම වසංගතය කෙරෙහි රාජපක්ෂ තන්ත‍්‍රයේ සාපරාධී ප‍්‍රතිචාරය ද, ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීමේ එහි උත්සාහයන් වේගවත් කිරීම බවයි. විකල්පය “වෛරසය සමඟ ජීවත්වීම” බව ප්‍රකාශ කර ඇති රාජපක්ෂ, සීමිත සීමා කිරීම් පවා ඉවත් කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඉතා අඩු පරීක්ෂන සංඛ්‍යාවක් තිබියදීත්, පෙබරවාරි 23 වන දින, දෛනික කොවිඩ්-19 ආසාදන 1,300 කට වඩා වැඩි විය. දෛනික මරන සංඛ්‍යාව 30 ක් පමන වේ. දිවයින තුල ඔමික්‍රෝන් හමුවීමෙන් අනතුරුව මේ වන විට මුලු කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 650,000 ඉක්මවා නැගුනු අතර 16,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

රාජපක්ෂ මිල ඉහල දැමීමේ නව වටයක් සැලසුම් කරයි. සීපීසී විසින් දෙසැම්බර් මාසයේදී තෙල් මිල සියයට 10 කින් වැඩි කල අතර කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරන මාධ්‍ය වෙත පැවසුවේ “නුදුරු අනාගතයේ” තව දුරටත් එය ඉහල යනු ඇති බවයි. විදුලිබල මන්ඩලය සහ ජල සම්පාදන මන්ඩලය ද මිල වැඩි කිරීමට සැලසුම් කරමින් සිටියි.

මෙම ඉහල යෑම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල තව දුරටත් ඉහල දමනු ඇති අතර වැඩකරන ජනතාව මත පටවා ඇති දැනටමත් දරාගත නොහැකි බර තවත් නරක අතට හරවනු ඇත. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ජනවාරි මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 16.8 දක්වා ඉහල ගොස් ඇති අතර එය දෙසැම්බර් මාසයේදී සියයට 14 ක් විය. ආහාර උද්ධමනය පසුගිය මාසයේ සියයට 24.4 දක්වා ඉහල ගියේය.

සංස්ථාපිත පාර්ලිමේන්තු පක්ෂ මේ වන විට තවත් නය සඳහා වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) වෙත යා යුතු දැයි විවාද කරමින් සිටී. ඛනිජ තෙල් අමාත්‍ය ගම්මන්පිල මාධ්‍ය වෙත පැවසුවේ “කැබිනට් ඇමතිවරු වැඩි දෙනෙක් ජාමූඅ ගනුදෙනුවකට එකඟ” බවයි.

එක්සත් ජනපද ගැති එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) විසින් වාචාල ලෙස ආන්ඩුව විවේචනය කරන්නේ ජාමූඅ, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු සියලුම ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන්ගෙන් සහය ලබා ගැනීම සඳහා තර්ක කරමිනි.

විකල්ප ශ්‍රී ලංකා ආන්ඩුවක් ලෙස තමන්ව ප්‍රවර්ධනය කරගන්නා විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන, 'බරපතල ආර්ථික අර්බුදය ජය ගැනීමට' රාජපක්ෂ පරිපාලනයට සහාය වීමට ඉදිරිපත් වී ඇත.

මීලඟ වටයේ සමාජ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා කම්කරුවන්ට බල කෙරෙනු ඇත. පසුගිය වසරේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් වැඩි වැටුප් සහ යහපත් කොන්දේසි ඉල්ලා කාර්මික ක්‍රියාමාර්ග ගනිමින් විරෝධතා දැක්වූහ.

පෙබරවාරි 7 වැනිදා සිට සෞඛ්‍ය සේවකයින් 65,000 කට අධික පිරිසක් අඛන්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කලහ. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය විසින් දින නවයකට පසු මෙය නවතා දමන ලද මුත් සෞඛ්‍ය සේවකයින්ගේ වැඩෙන කෝපයට මුහුන දී, ලබන සතියේ දින දෙකක වැඩ වර්ජනයක් කැඳවීමට සම්මේලනයට බල කෙරී ඇත.

උත්සන්න වන ආර්ථික අර්බුදය සහ වර්ධනය වෙමින් පවතින පන්ති අරගල ගැන නොසන්සුන් වූ රාජපක්ෂ ආන්ඩුව මේ සතියේ සෞඛ්‍ය සේවා සහ විදුලිබල සේවකයින්ට එරෙහි අත්‍යාවශ්‍ය මහජන සේවා පනත තවත් දින 10 කින් දීර්ඝ කලේය. ඒ සමගම, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට ලබන සතියේ පැවැත්වීමට නියමිත වැඩ නැවැත්වීමද ඇතුලත් වන ලෙස, වැඩවර්ජනවලට සහභාගි වීම තහනම් කරමින් කොලඹ දිසා අධිකරනය විසින් පනවා තිබූ තහනම දීර්ඝ කලේය.

උග්‍රවන, ආන්ඩුවේ හා මහා ව්‍යාපාරික ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීමට කම්කරු පන්තිය වහා සූදානම් විය යුතුය. මේ සඳහා, වෘත්තීය සමිතිවල පාවාදීම්වලින් දේශපාලන පාඩම් උකහා ගැනීම සහ මෙම අරගලය සංවිධානය කිරීම සඳහා සෑම වැඩබිමකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.

මෙම කමිටු වෘත්තීය සමිතිවලින් ස්වාධීන විය යුතු අතර, සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරමින් සහ බැංකු, මහා ව්‍යාපාර සහ මහා වතු, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරමින් ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙලක් මත දිවයින පුරා හා ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීමට සටන් කල යුතුය. මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කරන එකම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂයයි.

Loading