ව්‍යාජ-වාම නායකයා අධිභාර බද්දෙන් ධනපතියන් ආරක්ෂා කිරීමේ ව්‍යායාමයක යෙදෙයි

ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ රාජපක්ෂ ආන්ඩුව විසින් යෝජිත අධිභාර බද්දෙන් ධනපති සමාගම් ආරක්ෂා කිරීමේ ව්‍යායාමයක යෙදී සිටී. ඔහු එය කරන්නේ අධිභාර බද්දෙන් කම්කරුවන් ආරක්ෂා ' කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ කඩතුරාවකට වසන් වී ගෙනය.

පෙබරවාරි 19 වෙනිදා සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශයක් කරමින්, 'ලොකු සමාගම්වලින් බදු අයකරනවා කිව්වට කම්කරුවන්ගෙ ප්‍රසාද දීමනාවෙන් තමයි මේ බද්ද ගෙවන්න වෙලා තියෙන්නේ' යැයි කියා සිටි ජයගොඩ ඒ සමගම ආන්ඩුවට යෝජනා කලේ වැඩි ලාභයක් ලබන සමාගම්වලින් අධිභාර බද්ද අය කිරීම වෙනුවට, බදු ගෙවීම පැහැර හැර ඇති සමාගම් වලින් නොගෙවූ බදු අයකර ගැනීමට ප්‍රමුඛත්වයක් දෙන ලෙසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ (මූලාශ්‍රය: ෆේස්බුක්)

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් මෙම අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. රුපියල් මිලියන 2000 ආදායමක් ලබන සමාගම් සහ පුද්ගලයන්ගෙන් සියයට 25 ක අධිභාර බද්දක් අය කිරීම පනත මගින් යෝජනා කර තිබේ. මෙම පනතෙන් කම්කරුවන්ට එල්ල වන මුලික ප්‍රහාරය වන්නේ ඔවුන්ගේ විශ්‍රාමික අරමුදල් එම බද්දට යටත් කර තිබීමයි.

අධිභාර බදු පනත ක්‍රියාවට දැමෙන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුකුලවය. එහි සමාගම් යන අර්ථ නිරුපනයට කම්කරුවන්ගේ අර්ථසාධක, සේවක භාරකාර, විශ්‍රාම වැටුප්, විශ්‍රාම පාරිතෝෂික ඇතුලු විශ්‍රාම අරමුදල් සියල්ල අන්තර්ගත කෙරී ඇත. ඒ අනුව රුපියල් මිලියන 2000 වැඩි කවර හෝ විශ්‍රාම අරමුදලක් මත මෙම බද්ද පැනවෙයි.

ජයගොඩ යෝජනා කරන පරිදි ධනපති සමාගම් වලින් අධිභාර බද්ද අය නොකිරීමෙන් කම්කරු-පීඩිත මහජනතාවන්ට වන සෙතක් නොමැති බව ඉතිහාසය යලියලිත් දෙස් දෙයි. 1977 බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ අන්ඩුව විසින් ක්‍රියාවට දැමුනු විවෘත ආර්ථික පිලිවෙත යටතේ ආයෝජකයන්ට සහ ධනපති සමාගම් වලට බදු සහන සහ වරප්‍රසාද ප්‍රදානය කෙරුනේ එමගින් ජාතික ආර්ථිකය වර්ධනය වී කම්කරු පන්තියට සහ මහජනතාවට ආර්ථික සහන ලැබෙන බවට ප්‍රකාශ කරමිනි. එහෙත් සිදු වුයේ එහි අනෙක් පැත්ත ය.

එම පිලිවෙත් යටතේ ධනපතියන් වඩ වඩා ලාභය තරකරගත් අතර ඔවුන් කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කලේ සහ කරන්නේ වැටුප් හා සමාජ සහන කප්පාදුව, රැකියා අහෝසි කිරීම හා වැඩ වේගවත් කිරීම තුලින් නිෂ්පාදන පිරිවැය අවම කිරීමෙන් සහ නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම මගින් උපරිම ලාභයක් මිරිකා ගැනීමේ පිලිවෙතකි.

රාජපක්ෂ ආන්ඩුව කෘෂිකර්ම, ධීවර සහ සත්ව නිෂ්පාදන අංශ 2020 වර්ෂයේ සිට වසර 5 කට බදුවලින් නිදහස් කල අතර ඩොලර් මිලියන 10 ය වැඩි කෘෂි අංශයේ උපායමාර්ගික ආයෝජන සඳහා තොරතුරු තාක්ෂන අංශය, කිරි නිෂ්පාදන, රෙදි පිලි, සංචාරක සහ අපනයන කර්මාන්ත සඳහා බදු සහන ලබා දුනි. එමෙන් ම, නිෂ්පාදන අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරනන සහ ඍජු සහ වක්‍ර අපනනයනකරුවන් භාවිතා කරන මෙවලම් සඳහා බදු ඉවත් කලේය.

කොවිඩ්-19 වසංගතයෙන් ලෝක ධනවාදයේ අර්බුදය තීව්‍රවීමත් එහි කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්තියේ ආර්ථික අර්බුදය ගැඹුරුවීමේ කොන්දේසි යටතේ කම්කරු පන්තියේ වියදමින් ඉන් ගොඩ ඒම සඳහා, රාජපක්ෂ ආන්ඩුවේ අනුග්‍රහය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව, කම්කරුවන් ට එරෙහි ප්‍රහාරයන් පසුගිය දෙවසර තුල ඉහල මට්ටමකට නංවා ඇත.

පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැටුප සියයට 50 ට කප්පාදු කෙරුන අතර ප්‍රසාද දීමනා හා අතිකාල දීමනා ද කපා දැමුනි. කම්කරුවන් ලක්ෂ 5 කට පමන රැකියා අහිමි විය. ආන්ඩුවෙන් බදු සහන, බදු විරාම සහ රුපියල් බිලියන ගනනින් මුල්‍ය සහන සම්පාදනය කෙරුන කොන්දේසි යටත් ධනපති හාම්පුතුන් කම්කරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ එවන් පිලිවෙතකි.

කම්කරුවන් මත මෙම ප්‍රහාර එල්ල කිරීමෙන් ධනපතියන් ලාභ තර කර ගන්නා අතර වැඩ කරන ජනතාව ඇතුලු සමාජයේ බහුතරයක් මුහුන දී සිටින්නේ පුලුල් වන සමාජ අසමානතාවය, විරැකියාව හා උග්‍රවන දරිද්‍රතාවයේ කොන්දේසි වලටය.

ජයගොඩ හුවා දක්වන ආකාරයට අධිභාර බද්ද හුදෙක් ප්‍රාදේශීය සභා ඡන්දය සඳහා ආන්ඩුවට මුදල් සොයා ගැනීමේ එකක් නොව, එය රාජපක්ෂ ආන්ඩුව මුහුනදෙන මුල්‍ය සහ ආර්ථික අර්බුදයෙන් ගොඩයාමට දැරෙන මංමුලා සහගත ප්‍රයත්නයේ කොටසකි. කම්කරුවන්ගේ විශ්‍රාම අරමුදල් මත අධිභාර බද්ද පැනවෙන අතර ධනපතියන් සඳහා බදු සහන දීමේ බලය මුදල් ඇමතිට පනතින් හිමිව ඇත.

ජයගොඩ මෙම ප්‍රකාශය කල දිනයේම විපක්ෂ සමගි ජන බලවේගයේ (සජබ) පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාධ්‍යයට කල ප්‍රකාශයක දී මෙසේ සඳහන් කර ඇත. 'ඒ බද්ද කොහොම ද ඒකට්ටිය(සමාගම්) ගෙවන්නේ. ඒ කට්ටියගෙ සේප්පුවල බැංකු වල සල්ලි නැහැ ගෙවන්න(!). ඒ කට්ටිය බැංකුවකින් නයක් ගන්න ඕන. එතකොට ඔවුන්ගෙ අදහසක් තිබ්බ නම් ඔවුන්ගෙ ආයතනය තව දුරටත් පුලුල් කරන්න, සේවකයන් බඳවා ගන්න ඒක කරන්න බැරි වෙනවා. මේ කට්ටියට බලා පොරොත්තුවක් තිබ්බ නම් සේවකයන් ට බෝනස් එකක් ගෙවන්න, ඒකත් කරන්න බැරිවෙනවා.”

මහ ධනපතියන්ට බදු සහන ලබාදීම වෙනුවෙන් ව්‍යාජ-වාම පෙසප යේ පුබුදු ජයගොඩ, ධනපති සජබ යේ ද සිල්වා සමග එකපෙලට සිට ගෙන සිටී. ධනපති ක්‍රමයේ අර්බුදය වඩාත් ගැඹුරු වෙත්ම, එහි ව්‍යාජ-වාම ආරක්ෂකයන් ඉතා විවෘතවම ධනපති ලාභ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම ජාත්‍යන්තර ප්‍රපංචයකි.

කම්කරු-පීඩිත මහජනතාවට සහන සැලසිය හැක්කේ, ජයගොඩ සහ ද සිල්වා කියන පරිදි ධනපතියන් බදු මුදල් වලින් නිදහස් කිරීම හා ඔවුන්ට බදු සහන සැලසීම නොව, ඊට විපරීතව ජනතාවගේ බහුතරය සඳහා බදු අඩු කිරීම සහ බදු බර ධනපතියන් මත පැටවීම ඇතුලු ප්‍රගතිශීලී ආදායම් බදු ක්‍රමයක් ක්‍රියාවට දැමීම තුලින් සමාජ සමානතාවය සහ ධනය රැඩිකල් ලෙස යලි බෙදා හැරීමක් සහ සියලුම ප්‍රධාන සංගත වල ලාභ මත අයකරන බදු තීව්‍ර ලෙස ඉහල දැමීමකි.

කම්කරු පන්තිය ප්‍රමුඛ ජනතාවගේ අතිමහත් බහුතරය මත අර්බුදයේ බර පටවන ධනේශ්වර බදු ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ සංක්‍රමන ඉල්ලීම් විය යුත්තේ එයයි.

Loading