පෙසප ආධාරකරුවෙකුට පිලිතුරක්

පහතින් දැක්වෙන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) මාර්තු 01 දා පලකෙරුනු, 'ව්‍යාජ-වාම නායකයා අධිභාර බද්දෙන් ධනපතියන් ආරක්ෂා කිරීමේ ව්‍යායාමයක යෙදෙයි' යන හිසින් යුත් ලිපිය සම්බන්ධයෙන්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) සාමාජිකයෙකු හෝ හිතවතෙකු විය හැකි ඉරේෂ් චතුරංග නමැත්තා එදිනම සසප ෆේස්බුක් පිටුවේ කල සැඳහුම ට පිලිතුරකි.

චතුරංග මෙසේ පවසයි: “මෙතන ජයගොඩ සහෝදරයා කියන්නේ අධිභාර බද්ද කම්කරුවන් මත පටවනවා කියලනේ. ඔයාලා කියන්නෙත් ඒකමනේ. අනික ජයගොඩ සහෝදරයා යෝජනා කරන්නේ ධනකුවේර සමාගම්වලින් අය නොකර ගත් බදු තියෙන ඒවා අයකරන්න කියලනේ”.

කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල මත අධිභාර බද්දක් පැනවීමට රාජපක්ෂ ආන්ඩුව ගෙනඇති පියවර සම්බන්ධයෙන් පෙසප සහ සසප යන දෙපාර්ශ්වය දක්වන විරුද්ධත්වයේ රූපික සමානත්වය පමනක් සැලකිල්ලට ගෙන, දෙපාර්ශ්වයේ ආස්ථානයන් සමාන වෙතැයි චතුරංග නිගමනය කරයි.

පලමුකොටම මෙම රූපික තර්කන ක්‍රමයේ පවත්නා ග්‍රාම්‍යත්වය පෙන්වා දීමට කැමැත්තෙමු. ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී විප්ලවවාදියෙකු වන ලියොන් ට්‍රොට්ස්කි, 'මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා' නම් වූ තම කෘතිය තුල කල පැහැදිලි කිරීමක් මේ සඳහා ඉතා උචිත ප්‍රවේශයක් සමිපාදනය කරතැයි අපි විශ්වාස කරමු. ට්‍රොට්ස්කි මෙසේ පවසයි: 'සරල සංවාක්‍ය තර්කනය -ඇරිස්ටෝටලියානු තර්ක ක්‍රමය- ඇරඹෙනුයේ 'A' = 'A' යන ප්‍රස්තූතයෙනි. ප්‍රායෝගික මානුෂ ක්‍රියාවන් හා ප්‍රාථමික සාමාන්‍යකරනයන් රාශියකටම මෙම උපග්‍රහනය සිද්ධාන්තයක් ලෙස පිලිගැනේ. එහෙත් යථාර්ථයෙහි නම් 'A', 'A' ට සමාන නොවේ. අප මෙම අකුරු දෙක, කාචයක් යටින් තබා නිරීක්ෂනය කලොත් එය ඔප්පු කිරීම පහසුය. ඒවා එකිනෙකට බෙහෙවින් වෙනස් වෙයි.'

පෙසප සහ සසප ආස්ථානයන් අතර පවත්නා ප්‍රගාඪ වෙනස්කම් සමීපව අධ්‍යනය කරනුවස්, ඒවා කම්කරු පංතික කාචයෙන් නිරීක්ෂනය කරමු.

පෙබරවාරි 19 වෙනිදා සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති සේවයට ජයගොඩ කල ප්‍රකාශය මෙසේය: 'ලොකු සමාගම්වලින් බදු අයකරනවා කිව්වට අවසානෙදි කම්කරුවන්ගේ ප්‍රසාද දීමනාවෙන් තමයි මේ බද්ද ගෙවන්න වෙලා තියෙන්නේ. දැන් මේ වැඩි ලාබ ලැබූ සමාගම් වලින් බදු අය කරන්නත් කලින් රජය විසින් ප්‍රමුඛත්වය ලබා දියයුතු එකක් තියෙනව. මෙතෙක් කල් බදු පැහැර හැරී අයගෙන් බදු අය කරගන්න. පොදුවේ ගත්තට පස්සේ 2021 වසරත් ඇතුල් වුනාට පස්සේ රුපියල් කෝටි 60,000 ක් විතර මුදලක් තියෙනවා අයකල යුතු, නමුත් අය නොකල බදු මුදල්. ඒ බදු මුදල් ටික අය කිරීමට ප්‍රමුඛත්වයක් දිය යුතුව තියෙනවා.'

ජයගොඩ, ධනපති අර්ථ ශාස්ත්‍රඥයෙකු ලෙස, රටේ බදු ප්‍රතිපත්තිය මෙසේ වියයුතුයැයි රාජපක්ෂ ආන්ඩුවට උපදෙස් දෙයි. 'ලොකු සමාගම්වලින් බදු අයකරනවා කිව්වට අවසානෙදි කම්කරුවන්ගේ ප්‍රසාද දීමනාවෙන් තමයි මේ බද්ද ගෙවන්න වෙලා තියෙන්නේ' යැයි ඔහු කියනවිට එහි අර්ථය වනුයේ, කම්කරුවන්ගේ 'ප්‍රසාද දීමනා (බෝනස්)' කැපීයන බැවින් 'ලොකු සමාගම්වලින්' බදු අය නොකල යුතුය යන්න හැර අන් යමක් නොවේ.

අධිභාර බද්ද සම්බන්ධයෙන් ජයගොඩ ගේ ආස්ථානය සහ දක්ෂිනාංශික සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ ආස්ථානය එකිනෙකට පෑහෙන ආකාරය බලන්න. ඔහු මෙසේ කියයි: 'ඔවුන්ගෙ (මහ සමාගම්වල )අදහසක් තිබ්බ නම් ඔවුන්ගෙ ආයතනය තව දුරටත් පුලුල් කරන්න, සේවකයන් බඳවා ගන්න ඒක කරන්න බැරි වෙනවා. මේ කට්ටියට බලා පොරොත්තුවක් තිබ්බ නම් සේවකයන්ට බෝනස් එකක් ගෙවන්න, ඒකත් කරන්න බැරිවෙනවා.”

බෝනස් ආරක්ෂා කිරීමේ සහ නව රැකියා උත්පාදනය කිරීමේ කඩතුරාව යටතේ, මහා සමාගම් අධිභාරයෙන් නිදහස් කිරීමට පෙසප සහ සජබ ඉදිරිපත් කරන මෙම තර්කයන්ගේ අවසාන අරමුන එම සමාගම්වල ලාභ ආරක්ෂා කරදීමයි. කෝවිඩ් වසංගතය කඩතුරාව කර ගනිමින්, කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා දැවැන්ත පරිමානයෙන් කපා දැමූ මෙම මහා සමාගම් වාර්තාගත ආකාරයෙන් ලාභ සමුච්ඡය කරගනු ලැබුවේ මෙම පක්ෂවල සහ වෘත්තීය සමිතිවල සහයෝගයෙනි.

ජයගොඩ ගේ සහ ද සිල්වාගේ ආස්ථාන එලෙස එකිනෙකට පෑහීම අහම්බයක් හෝ පුදුමයට කාරනාවක් නොවේ. මාක්ස්වාදී හෝ සමාජවාදී පක්ෂයක් නොවන පෙසප ඉඳහිට සමාජවාදය ගැන කතා කලද, එය සාක්ෂාත් කිරීම අවිනිශ්චිත අනාගතයකට පවරයි. නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය සහ ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය, මිනිසාගේ පරම නිෂ්පාදන ආර්ථික ක්‍රමය ලෙස සලකන පෙසප, එම සමාජ ක්‍රමය තුල ඒ හෝ මේ ප්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටී.

එහි කොටසක් ලෙස මහධනපතියන්ගෙන් අයවියයුතු රුපියල් කෝටි 60,000 ක බදු වහා අයකර ගතයුතුයැයි ඔවුහු පාලකයන්ට උපදෙස් දෙති. නමුත්, මේ සා පරිමාන දැවැන්ත බදු මුදල් සම්භාරයක් නොගෙවා පැහැර හැරීමට මහධනපතියන්ට ඉඩ ලැබී ඇත්තේ ඇයිද යන්න පෙසප නොකියයි. ධනපති රාජ්‍යයේ සහ එය හසුරුවන ධනපති ආන්ඩුවල ප්‍රමුඛ කාර්යභාරය වනුයේ, කවර වියදමකින් වුව, ධනපති පංතියේ ලාභ අවශ්‍යතා ආරක්ෂාකර දීම යි. බදු අයකර නොගැනීම යටින් පවත්නා යතා හේතුව එයයි.

ධනපති රාජ්‍යයට සහ ධනපති ක්‍රමයට පෙසප කෙතරම් තදින් බැඳී ඇත්ද යත්, කම්කරු-පීඩිත මහජනතාව මුහුනදෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉන් පිටත විසඳුමක් ගැන සිතීමටවත් එයට නොහැක. සමගි ජන බලවේගයේ ප්‍රචාරක මාධ්‍යයක් වන ලීඩර් යූටියුබ් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ජයගොඩ මෑතකදී මෙසේ කියා සිටියේය: 'කවුරු හරි වැටුප් වැඩි කරන්න කියල අරගල කරනවා නම් (පෙසප) අරගලය ඇතුලට ගිහිල්ලා සහය දෙන ගමන්, ඒ අරගලය ඇතුලේ ඉන්න ගමන් -ගුරුවරුන්ගේ අරගලයේ දී කලේ- දේශපාලන අරගලයක් කරනවා. ඕක හරි යන්නෙ නෑ. වැටුප් වැඩි කරන්න කියලා ඔහොම කියලා වැටුප් වැඩි වෙන්නේ කොහොමද? සල්ලි අච්චු ගහල ද වැටුප් වැඩි කරන්නේ? අනික් මිනිස්සු මත බදු ගහල ද වැටුප් වැඩි කරන්නේ? කොහොමද මෙතන ප්‍රශ්න බේරන්නේ කියලා දේශපාලන අරගලයකුත් තියෙනවා”

කුමක්ද මේ 'දේශපාලන අරගලය'? එය කිනම් ක්‍රියාමාර්ගයක් මත පාදක වූ අරගලයක් ද?

'සල්ලි අච්චු ගහල ද වැටුප් වැඩි කරන්නේ? අනික් මිනිස්සු මත බදු ගහල ද වැටුප් වැඩි කරන්නේ?' ආදී වශයෙන් පෙසප ‌තම දේශපාලන අරගලයේදී මතු කරන ප්‍රශ්න කිසිවක්, ධනපති ක්‍රමයෙන් පිටත විසඳුමක් කෙරෙහි කම්කරුවන්ගේ විඥානය යොමු නොකරයි. ඒ වෙනුවට ධනේශ්වර සමාජ ප්‍රතිසංස්කරන හරහා තවදුරටත් තම ප්‍රශ්න වලට විසඳුම් සොයාගතහැකි වෙතැයි යන මිත්‍යාව තුල කම්කරු පංතිය සිර කරයි.

ගෝලීය ධනවාදය පද්ධතිමය බිඳ වැටීමක් තුලින් ගමන් කරමින් මරලතෝනිදෙන මෙම යුගයේ ධනේශ්වර සමාජ ප්‍රතිසංස්කරන වලට කවර හෝ ඉඩක් නොමැත. 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේ දී එය පාදක වූ 'ධනවාදයේ මරලතෝනිය' කෘතියේ පැහැදිලි කෙරෙන අයුරු, 'ධනවාදයේ පරිහානියේ යුගය තුල', 'ක්‍රමානුකූල සමාජ ප්‍රතිසංස්කරන ගැන හෝ මහජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම ගැන කවර හෝ කතිකාවක්' පැවතිය නොහැක. කම්කරු පංතියේ කවර හෝ බැරෑරුම් ඉල්ලීමක් අනිවාර්යයෙන්ම, ධනපති දේපොල සම්බන්ධතාවන්ගේ සහ ධනපති රාජ්‍යයේ සීමාවන් ඉක්මවා යනු ඇත.

'ධනවාදයේ මරලතෝනිය' මෙසේ පවසයි: 'හතරවන ජාත්‍යන්තරයේ මූලෝපායික කර්තව්‍යය පවතින්නේ ධනවාදය ප්‍රතිසංස්කරනය කිරීම තුල නොව එය පෙරලා දැමීම තුලය. එහි දේශපාලන අරමුන වනුයේ ධනේශ්වරය අස්වාමික කිරීම සඳහා නිර්ධන පංතිය විසින් බලය අත්පත් කර ගැනීමයි.'

මෙම අරමුන සාක්ෂාත් කර ගැනීමේදී, 'දෛනික අරගලයේ ඉල්ලීම් සහ විප්ලවයේ සමාජවාදී වැඩපිලිවෙල අතර පාලමක් සොයා ගැනීම' සඳහා මහජනතාවට උපකාර කරනුවස්, 'ධනේශ්වර තන්ත්‍රයේ පදනමටම එරෙහිව, විවෘතව හා තීරනාත්මකව යොමු කෙරෙන සංක්‍රමන ඉල්ලීම් පද්ධතියක්' ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම පාලම, නිර්ධන පංතිය විසින් බලය අත්පත් කර ගත යුතුය යන අවසාන නිගමනයට මග පාදයි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සෑම කම්කරු පංතික අරගලයකටම මැදිහත් වනුයේ ඉහත වැඩපිලිවෙල මතය.

ඒ අනුව, අර්ථ සාධක අරමුදල මත ආන්ඩුව පැනවීමට යන අධිභාර බද්දට එරෙහිව සසප සටන් වදින්නේ, 'මහ ධනපතියන්ගේ ලාභ ඉහල යන ප්‍රතිශයට අනුකුලව ඔවුන් මත පැනවෙන බදු ප්‍රතිශතය ඉහල දමනු!', 'කම්කරුවන්ගෙන් සහ පීඩිතයන්ගෙන් අය කෙරෙන සියලු බදු කපා දමනු!', 'කම්කරු අර්ථ සාධක අරමුදල අධිභාර බද්දෙන් නිදහස් කරනු!', 'පාඩු ලබන බව කියමින් බදු වංචා කරන ධනපතියන්ගේ ගනන් හිලව් පොත් විවෘත කරනු!' යන ඉල්ලීම් ඉදිරිපත් කරමිනි.

මෙම ඉල්ලීම් ධනපති ක්‍රමය තුල කිසිවිටෙකත් සාක්ෂාත් කරගත නොහැකි බවත්, ඒ සඳහා තමා විසින් බලය අත්පත් කර ගත යුතු බවත් කම්කරු පංතිය අවබෝධ කරගනු ඇත.

මේ අර්ථයෙන් ගත්කල ආන්ඩුවේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පෙසප සහ සසප ආස්ථානයන් සපුරා ප්‍රතිවිරුද්ධ ය. පෙසප ආස්ථානය ප්‍රතිසංස්කරනවාදී වන අතර, සසප ආස්ථානය විප්ලවවාදී වෙයි.

Loading