සමගි ජන බලවේගය රාජපක්ෂ ආන්ඩුවට එරෙහි මහජන කෝපය ගසා කෑමට මාන බලයි

[මෙය Sri Lanka’s parliamentary opposition attempt to exploit popular anger against Rajapakse government මැයෙන් 2022 මාර්තු 22 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ), පසුගිය සතියේ කොලඹ දී විරෝධතා රැලියක් පැවැත්වී ය. එය වනාහි, ජීවන හා සමාජ කොන්දේසිවලට ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයන්ට විරුද්ධ ව නැගෙන මහජන කෝපය ගසාකා, දේශපාලන විකල්පයක් ලෙස තමන් ම ඉස්මත්තට දමා ගැනීමට සජබ දරන ප්‍රයත්නයන්ගේ කොටසක් විය.

කොලඹ සජබ විරෝධතාවේ කොටසක් (ඡායාරූපය: ෆේස්බුක්/මලයාගා කුරුවි)

හැල්මේ ඉහල යන උද්ධමනයට, පිසින ගෑස්, ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයට, දීර්ඝ කර ඇති දෛනික විදුලිබල කප්පාදුවලට ප්‍රතිචාර ලෙස මෑත සති කිහිපයේ දී පලල් කැලඹිලි හා කම්කරු-පන්තික අරගල නැගෙමින් පවතී. මිලියන ගනන් ජනයාගේ සාමාන්‍ය ජීවිතය මුලුමනින් ම කඩාකප්පල් කරමින්, ගෑස් හා ඉන්ධන හිඟය, දිවයිනේ සෑම කොටසක ම දීර්ඝ පෝලිම් පැවතීම සාමාන්‍ය දෙයක් බවට පත් කර තිබේ. හිඟයන් හා ඉහල මිල ගනන් නිසා කොලඹ ප්‍රදේශයන් තුල ස්වයං-සිද්ධ විරෝධතා පුපුරා ගොස් ඇත.

සජබ යනු දීර්ඝ-කාලීන ව ස්ථාපිත දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මන්ත්‍රීන් බහුතර කන්ඩායමක් ඉන් බිඳී 2020 මුල දී තනාගන්නා ලද දක්ෂිනාංශික ධනේශ්වර පක්ෂයකි. ඔවුන්ගේ වර්තමාන දේශපාලන මවාපෑම කවරක් වුවත්, සජබ නායකයන් පැවති එජාප ආන්ඩුවල සාමාජිකයන් ව සිට ඇත්තේ, ඒවායේ ව්‍යාපාර-ගැති පිලිවෙත්වලට සහ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ජීවන කොන්දේසිවලට හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට ඒවා එල්ල කල ප්‍රහාරයන්ට පිටුබලය දෙමිනි.

සමහර තක්සේරු කිරීම්වලට අනුව, පසුගිය අඟහරුවාදා (මාර්තු 15) පැවති විරෝධතාවට, සජබ සාමාජිකයන් හා ආධාරකරුවන් මෙන් ම කුඩා කඩ හිමියන් වැනි පහල මධ්‍යම-පන්තික කොටස් ඇතුලු ව 20,000ක් පමන සම්බන්ධ වූ හ. ඊට සහභාගි වූ අනෙකුත් අය අතරට, මුස්ලිම් ප්‍රජාගනවාදී පක්ෂයක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සහ සජබ සමග මැතිවරන සන්ධානයක සිටිමින් වතු කම්කරුවන් අතර පදනම් වන ජාතික කම්කරු සමිතියේ හා ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුනේ නායකයෝ ඇතුලත් වූහ. වතු කම්කරුවෝ එයට සම්බන්ධ නො වූ හ.

රට විනාශ කිරීම ගැන ආන්ඩුවට චෝදනා කල සජබ දේශපාලකයෝ හා නිලධරයෝ, නැගෙන ජීවන වියදම හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය හෙලා දකින සටන්පාඨ සහිත පුවරු සම්පාදනය කල හ. “යනු, ගෝඨා ගෙදර යනු!” යනුවෙන් ඔවුහු හඬ තැලූ හ.

කෙටියෙන් රැස්වීම ඇමතූ සජබ නායක සහ 2019 මැතිවරනයේ එජාප ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස, ජනාධිපතිවරනයක් පවත්වන්නැයි කැඳවුම් කලේ ය. ඔහු වාචාල ලෙස මෙසේ ප්‍රකාශ කලේ ය: “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, අගමැති මහින්ද රාජපක්ෂට හා මුදල් ඇමති බැසිල් රාජපක්ෂට මේ රට හදන්න බැරි නම්, රට අපට භාර දෙන්න. අපි රට හදලා පෙන්වන්නම්.”

තමන් ආර්ථිකය “ගොඩ නැගීමට” සැලසුම් කරන්නේ කෙසේදැයි ප්‍රේමදාස විස්තර කලේ නැත. නම් නො කල මැද පෙරදිග රටවල්, තමන් නායකත්වය දෙන ආන්ඩුවක් සඳහා, අත්තිකාරම් ගෙවීම්වලින් තොර ව වසර දෙකකට තෙල් සම්පාදනය කිරීමට පොරොන්දු වී තිබේ ය යන තකතීරු ප්‍රකාශය ඔහු ඇදබෑවේ ය.

මීට සති දෙකකට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධායක මඩුල්ල, ප්‍රධාන කප්පාදු පියවරයන් සඳහා කැඳවුම් කරමින්, ලංකාවේ ආර්ථිකය පිලිබඳ වාර්තාවක් නිකුත් කලේ ය. සජබ කොලඹ රැලිය පවත්වන අතරතුර, රාජපක්ෂ මුනගැසුනු ජ්‍යෙෂ්ඨ ජාමූඅ නිලධාරීහු රටෙහි තියුනු ආර්ථික අර්බුදයේ සමස්ත බර වැඩකරන ජනයා මත පටවන ආකාරය පිලිබඳව සාකච්ඡා කරමින් සිටියහ.

රුපියල අවප්‍රමානය කිරීම, බදු ඉහල දැමීම, සහනාධාර කප්පාදු කිරීම, රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරනය හා වානිජකරනය සහ ඉන්ධන හා විදුලිබල මිල ගනන් ඉහල දැමීම විධායක මඩුල්ලේ යෝජනාවලට ඇතුලත් විය.

මාධ්‍ය විසින් සාකච්ඡා පවත්වන ලද ප්‍රේමදාස හෝ අන් කිසිදු සජබ නායකයෙක් ජාමූඅ යෝජනා ගැන වචනයක් වත් කීවේ නැත. 2019 ජනාධිපතිවරනයේ දී හා 2020 ජාතික මැතිවරනයේ දී ප්‍රේමදාස ඉදිරිපත් කල ආර්ථික වැඩපිලිවෙල, රාජපක්ෂගේ පක්ෂයෙහි වැඩපිලිවෙලින් මූලික වසයෙන් වෙනස් නො වී ය.

අපනයන හා විදෙස් ප්‍රේෂන තියුනු ලෙස කඩාවැටීමට ද සංචාරක ආදායම ඇදවැටීමට ද තුඩු දෙමින් කෝවිඩ්-19 වසංගතය ලංකාවේ ආර්ථිකයට බරපතල ලෙස බලපෑ අතර, එය ඍන ආර්ථික වර්ධනයකට හා විදෙස් නය ගෙවීම පැහැර හැරීමේ ඉඩ ප්‍රස්තාවට හේතු වී ඇත.

ආන්ඩුව හා අනෙකුත් ධනපති පක්ෂ මෙන් සජබ ද කලින්, ජාමූඅ “සහයෝගය” ලබා ගන්නා ලෙස රාජපක්ෂ ආන්ඩුවට කැඳවුම් කලේ ය. පසුගිය අගෝස්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රේමදාස මෙසේ කීවේ ය: “වහා ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස්, අපි දැන් මුහුන දෙන ආර්ථික කලබැගෑනියෙන් ගැලවීමට ඔවුන්ගේ උදවු ලබා ගන්නා ලෙස අපි ආන්ඩුවට යෝජනා කරනවා.”

සජබ රැලියෙන් යන්තම් දිනකට පසුව, ජාතිය අමතා කතා කල ජනාධිපති රාජපක්ෂ, තමන් ජාමූඅ සමග වැඩකිරීමට තීරනය කර ඇතැයි කීවේ ය. ජ්‍යෙෂ්ඨ සජබ නායක හර්ෂ ද සිල්වා මෙසේ ප්‍රකාශ කරමින් එයට ප්‍රතිචාර දැක්වී ය. “ඒක (ජාමූඅන් සහයෝගය පැතීම) හොඳ දෙයක්, ඒත් ප්‍රශ්නය කලින් හඳුනා ගත්තා නම්, මේ වෙනකන් ජාමූඅ සමග සාකච්ඡා පරක්කු කලේ ඇයි?”

වෙනත් වචනවලින් කියතොත්, ආන්ඩුව ජාමූඅ කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කල යුතු ව තිබුනේ බොහෝ කාලයකට පෙර ය. මහජනයා දැන් මුහුන දෙමින් සිටින නරක අතට හැරෙන තත්ත්වය පිලිබඳ සජබයේ ව්‍යාජ අනුකම්පාව පිලිබඳ ව තවත් කතා කුමට ද?

වර්තමාන අර්බුදයේ දී ඕනෑ ම පක්ෂයක් පිලිබඳ මිනුමක් වන්නේ, කෝවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් එහි ආස්ථානය යි.

අනෙකුත් විරුද්ධ පක්ෂ මෙන් සජබ ද අර්බුදය ආන්ඩුව විසින් “දුෂ්පාලනය කරනු ලැබීම” පිලිබඳ එහි නො පැහැදිලි විවේචනය තිබියදී, ආර්ථිකය අනාරක්ෂිත ලෙස යලි විවෘත කිරීම ඇතුලු ව කොලඹ ආන්ඩුව වසංගතයට දැක්වූ සාපරාධී ප්‍රතිචාරයට, මුලුමනින් පිටුබලය දුන්නේ ය.

රාජපක්ෂ ආන්ඩුවේ මෙන් ම, ප්‍රේමදාසගේ හා සබජයේ සැබෑ උත්සුකතාව වන්නේ, මහජනයා මුහුන දෙමින් සිටින දුෂ්කර තත්ත්වය පිලිබඳව නො ව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන වැඩ වර්ජන හා විරෝධතා ධනපති පාලනයට අභියෝග කරනු ඇතැයි යන්න කෙරෙහි ය.

සෞඛ්‍ය කම්කරුවන්, ගුරුවරුන් හා අනෙකුත් රාජ්‍ය අංශ කම්කරුවන් දසදහස් ගනනකගේ අරගල වෘත්තීය සමිති විසින් පාවා දෙනු ලැබ ඇත. කොලඹ ආන්ඩුව මුහුන දෙමින් සිටින ආර්ථික අර්බුදය පිලිබඳව තමන් “අවබෝධ කරගෙන ඇති” බව වෘත්තීය සමිති නායකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

වැඩෙමින් පවතින සමාජ කැලඹීමට රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ මිලිටරිය වෙතට හැරීම හා පොලිස් රාජ්‍ය පියවරයන් යොදා ගැනීම යි. රාජ්‍ය යාන්ත්‍රනය මිලිටරීකරනය කිරීමට සජබ විරුද්ධ වන්නේ නැත. ලංකාවේ අන් සෑම ධනේශ්වර පක්ෂයක් මෙන් එය ද ලංකාවේ දේශපාලන කටයුතුවල දී තීරනාත්මක සාධකයක් වී ඇති මිලිටරිය මත පදනම් වේ.

ලංකාවට “මැතිවරනවලින් ඔබ්බට යන තේරී පත් වන ආඥාදායකත්වයක් අවශ්‍ය යි...මම මැතිවරන අහක දැමිය යුතු යයි යෝජනා කරන්නේ නැහැ, ඒත් එක්සත් රාජධානියේ මාගරට් තැචර්ගේ පරිපාලනයට සමාන ප්‍රවිෂ්ටයක් තිබිය යුතු යයි යෝජනා කරනවා. බියෙන් තොර ව කල යුතු දෙය කල නිසා තැචර් මහත්මියට “යකඩ ගැහැනිය” කියා කීවා” යි ජනවාරියේ දී කොලඹ පැවති සම්මන්ත්‍රනයක් අමතමින් ප්‍රේමදාස කීවේ ය.

තැචර් ආන්ඩුව හා එහි කම්කරු පන්තියට එරෙහි පන්ති-යුද වැඩපිලිවෙල ප්‍රේමදාස විසින් විවෘත ව උත්කර්ෂයට නැංවීම අවධාරනය කරන්නේ, රාජපක්ෂ පාලන තන්ත්‍රය සමග මූලික වෙනස්කම් නොමැති සජබ, ධනපති පාලනය රැකීමට අවශ්‍ය සියලු දේ කරනු ඇති බව යි.

Loading