ශ්‍රී ලංකාවේ පාලක සභාගය බිඳ වැටී ඇති මුත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරයි

[මෙය Sri Lanka’s ruling coalition crumbles, but president refuses to resign යන මැයෙන් අප්‍රේල් 06 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, ඖෂධ සහ විදුලිය හිඟය නිසා පුලුල් වන ආන්ඩු විරෝධී උද්ඝෝෂන මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා ආන්ඩුව දරා සිටින්නේ පාර්ලිමේන්තුවේ අස්ථාවර, තුනී බහුතරයකි. වැඩ කරන ජනතාවට ජීවත් වීමට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීම සඳහා පැය ගනන් දිගු පෝලිම්වල රැඳී සිටීමට බල කෙරී ඇත. දැනටමත් අධික මිල ගනන් තව තවත් ඉහල යමින් පවතී.

ජනාධිපතිගේ සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ හැර මුලු කැබිනට් මන්ඩලයම ඉල්ලා අස්වීමත් සමඟ ඊයේ පාර්ලිමේන්තු සැසිවාරය කැඳවනු ලැබීය. නව කැබිනට් මන්ඩලයකට සහභාගී වන ලෙස ජනාධිපති රාජපක්ෂ සඳුදා විරුද්ධ පක්ෂවලට ආයාචනා කල නමුත් සමගි ජන බලවේගය (සජබ), දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ්) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන ප්‍රධාන විරුද්ධ පක්ෂ තුන විසින් එය එකහෙලාම ප්‍රතික්ෂේප කරන ලදී.

ජනාධිපතිවරයාට සහ ආන්ඩුවට ඉල්ලා අස්විය යුතු යැයි බල කරන මහජන විරෝධතාවල පීඩනය යටතේ පාලක සභාගය බිඳ වැටෙමින් තිබේ. ආන්ඩුවෙන් ඉවත් වී 'ස්වාධීන' ලෙස අසුන් ගැනීමට, ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායම් සහ සුලු සභාග පක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී තම තීරනය ප්‍රකාශ කලහ.

මේවාට රාජපක්ෂගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් 12 දෙනෙක් ද, කුඩා පක්ෂ දහයකින් 16 දෙනෙක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් (ශ්‍රීලනිප) 14 දෙනෙක් ද, වතුකරය පදනම් කරගත් ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් දෙදෙනෙක් ද ඇතුලත් වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අවම වශයෙන් ඊයේ වන විට ආසන 225 කින් යුත් පාර්ලිමේන්තුවේ ආන්ඩුවට හිමිව ඇත්තේ ආසන 114 ක් පමනි.

අප්‍රේල් 4 වෙනිදා, හැටන් නගරයේ ආන්ඩු විරෝධී උද්ඝෝෂනයක් [ලෝසවෙඅ මාධ්‍ය]

ජනාධිපති රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම සඳහා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අමු අමුවේ ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි ඕනෑම පක්ෂයක් මීලඟ ආන්ඩුව ලෙස දිවුරුම් දීමට ඉදිරිපත් වන ලෙස ඇරයුම් කරයි. මෙම පිරිනැමීම විරුද්ධ පක්ෂවලට කරන මංමුලා සහගත සහ නරුම ආරාධනයකි. විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ, ඕනෑම අවස්ථාවක ආන්ඩුව නෙරපා දැමීම ඇතුලු දැවැන්ත බලතල රාජපක්ෂ සතු ය.

වැඩකරන ජනතාව මත තව දුරටත් බර පටවනවා හැරෙන්නට විරුද්ධ පක්ෂ කිසිවකට අර්බුදයට විසඳුමක් නොමැති බව ඔවුන්ගේ සියලු කියුම් කෙරුම් වලින් ජනාධිපතිවරයාට වැටහේ. ඔවුන් සියල්ලෝම අන්තිමය දක්වා ධනේශ්වර ක‍්‍රමය ආරක්ෂා කරති, එනම් බහුතරයකගේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවලට වඩා විශාල විදේශ නය මත සංගත ලාභ හා ආපසු ගෙවීම් තැබීමයි. ආන්ඩුව පිලිබඳ සජබ හි විවේචනය නම්, එය ඉක්මනින් ජාමූඅහි ඇපදීමක් ඉල්ලා සිටිය යුතුව තිබූ බවයි—වෙනත් වචන වලින් කිවහොත්, තව තවත් වඩාත් කප්පාදු ඉල්ලා සිටිය යුතුව තිබූ බවයි.

අලුතින් පත් වූ මුදල් ඇමති අලි සබ්රි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගලගේ ඉල්ලා අස්වීම්වලින් ආන්ඩුවේ දැවැන්ත දේශපාලන අර්බුදය ප්‍රකාශයට පත් විය. සඳුදා, සබ්‍රි ද ඇතුලු තවත් තුන් දෙනෙකුගෙන් යුතු වූ සැකිලි කැබිනට් මන්ඩලයක් පත් කර පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් සබ්රි ඉල්ලා අස් විය.

ජාමූඅහි ඇපදීමේ නය පැකේජයක් සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා මේ සතියේ වොෂින්ටනයට යාමට නියමිත ව සිටි බැසිල් රාජපක්ෂ ඉවත් කරනු ලබමින් ජනාධිපතිගේ පුද්ගලික නීතිඥයා වූ සබ්රි මුදල් ඇමති ලෙස වැඩ භාර ගත්තේය. අවුල්සහගත වූ මුදල් අමාත්‍යාංශයේ මෙන්ම, මහ බැංකුවේ ද ආන්ඩුකාරවරයා සඳුදා ඉල්ලා අස්වීම රටේ ගැඹුරු ආර්ථික අර්බුදය පිලිබඳ මිනුමක් වේ.

රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස ඉල්ලන අප්‍රේල් 4 වැනිදා මහනුවර පා ගමනක් [ලෝසවෙඅ මාධ්‍ය]

වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 දීපව්‍යාප්තව පැතිරීමට ඉඩ සලසන ප්‍රතිපත්තියක් රජය අනුයයි. යුක්‍රේනයේ රුසියාවට එරෙහි ව එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය විසින් නිෂ්පාදනය කරන ලද ගෝලීය ව්‍යාකූලත්වයට පසු ආර්ථික අර්බුදය නාටකාකාර ලෙස උත්සන්න විය.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත අඩුවීම යන්නෙන් අදහස් කරන්නේ අත්‍යවශ්‍ය භාන්ඩ ආනයනය සඳහා ගෙවීමට මුදල් නොමැති බවයි. රට නය පැහැරහැරීම අද්දර ය. උග්‍රවන අර්බුදය හේතුවෙන් රටේ කොටස් හා බැඳුම්කර වෙලඳපොලවල් පැකිලෙමින් තිබේ. අප්‍රේ‍ල් 4 වැනිදා, මේ වසරේ සියලු කොටස් මිල දර්ශකය සියයට 32.5 කින් පහත වැටුනි. බ්ලූම්බර්ග් ලේබල් කලේ, කොලඹ කොටස් වෙලෙඳපොල රුසියාවට පසු ව දෙවැනි නරක ම කාර්ය සාධනය ලෙස ය.

ඊයේ පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සහ සභානායක දිනේෂ් ගුනවර්ධන විපක්ෂයට අභියෝග කලේ තමන්ට බහුතරය ඇති බව පෙන්වා දෙන ලෙසත් තමන්ට ආන්ඩුවක් පිහිටුවිය හැකි බව ජනාධිපතිවරයාට දන්වන ලෙසත්‍ ය. එහෙත් එවැන්නක් සිදු නොවී ය.

විපක්‍ෂ නායක ද වන, සජබ නායක සජිත් ප්‍රේමදාසගේ වාචාල කතාවකදී ජනාධිපතිවරයාගෙන් සහ සමස්ත රජයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියේය. “විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට කාලය පැමින තිබෙනවා. අපි මෙම අවස්ථාව භාවිතා කරමු,” ඔහු ප්‍රකාශ කලේය. එහෙත් ප්‍රේමදාස හෝ අනෙකුත් විපක්ෂයේ නායකයන් ආර්ථික හා සමාජ අර්බුදය විසඳීමට කුමක් කරන්නේ දැයි විස්තර කලේ නැත.

අප්‍රේල් 5 වන දින දකුනේ බලපිටිය රෝහලේ සෞඛ්‍ය සේවකයින් විරෝධතාවයේ [ලෝසවෙඅ මාධ්‍ය]

'විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම' සඳහා ප්‍රේමදාසගේ කැඳවීම අත්තනෝමතික ජනාධිපති බලතල අවසන් කිරීම සඳහා මහජන මනෝගතියට ආයාචනා කිරීමේ කූට උපක්‍රමයකි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කල යුතු යැයි විරුද්ධ පක්ෂ පුරුද්දක් ලෙස ඉල්ලා සිටින නමුත් බලයේ සිටින විට එය වෙනස් කිරීමට සුලු හෝ කිසිවක් කර නැත. ප්‍රේමදාස නිලයේ සිටියහොත් සජබ ආරම්භ කරන කප්පාදු න්‍යාය පත්‍රය සැඟවීමට හෝ තනි නිශ්චිත පියවරක් ගෙනහැර දැක්වීමට අපොහොසත් විය.

විධායක ජනාධිපති ක්‍රමය සරලව වෙනස් කිරීම හෝ අලුත්වැඩියා කිරීම නොව එය අහෝසි කල යුතුය. ආන්ඩු පිහිටුවීමට හෝ නෙරපා හැරීමට පමනක් නොව, අමාත්‍යාංශ තමන්ටම උදුරා ගැනීමටත්, ආඥාවන් මගින් පාලනය ගෙන යාමට රාජපක්ෂට විශාල බලතල තිබේ. ඔහු දැනට ශ්‍රී ලංකාවේ දැවැන්ත මිලිටරි යාන්ත්‍රනයේ පමනක් නොව, පොලිසියේ ද පාලන බලය සහිත ආරක්ෂක ඇමති ය.

සජබ යනු 1978 දී විධායක ජනාධිපති ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කල දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය බහුතරයයි. කම්කරු පන්තියට එරෙහිව රාජ්‍ය යන්ත‍්‍රය සහ ආරක්ෂක හමුදා මෙහෙයවීමේ ලීවරය ලෙස වත්මන් තත්වය මෙන් අර්බුදකාරී කාලවලදී පාලක පන්තියට සේවය කල විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කිසිදු අභිප්‍රායක් සජබ හෝ අනෙකුත් විරුද්ධ පක්ෂ කිසිවකට නැත.

ඕනෑම මොහොතක යලි පැනවිය හැකි හදිසි නීතිය රාජපක්ෂ ඊයේ අවසන් කලේය. ප්‍රධාන රාජ්‍ය අංශයන්හි වැඩ වර්ජන තහනම් කිරීමේ හැකියාව ඇතුලු ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියරව ගනනාවක් තවමත් ඔහු සතුව ඇත. තමාට අවශ්‍ය පරිදි විසුරුවා හැරිය හැකි විපක්ෂයේ ආන්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන අතරම, ඔහු නිසැකවම තමන්ට සමීපතම හමුදා ප්‍රධානීන් සමඟ සමීප සාකච්ඡාවල නිරත වෙමින් සිටී.

අප්‍රේල් 5, ගාල්ලේ, ජනාධිපති රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කිරීම සඳහා කම්කරුවන්ගේ සහ තරුනයින්ගේ පාගමනක් [ලෝසවෙඅ මාධ්‍ය]

ප්‍රචන්ඩත්වයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පසුබට නොවන බවට ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න ඊයේ විරෝධතාකරුවන්ට සියුම් තර්ජනයක් නිකුත් කලේය. සමහර විරෝධතාකරුවන් 'සංවිධානාත්මකව ප්‍රචන්ඩ විරෝධතාවල නියැලෙමින් රාජ්‍ය හා පෞද්ගලික දේපලවලට හානි කරමින් ප්‍රධාන මාර්ගවල සහ පොදු ස්ථානවල ජනතාවගේ එදිනෙදා ජීවිතයට බාධා කරන' බවට ඔහු චෝදනා කලේය.

මෙම ප්‍රකාශයන්, රට පුරා පවතින විරෝධතා මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදා බලමුලු ගැන්වීම සඳහා ඕනෑම කඩතුරාවක් ගසාකෑමට වත්මන් පාලනය සූදානම් බවට අනතුරු ඇඟවීමකි. 2019 ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකාව බේරා ගැනීමට අවශ්‍ය ප්‍රබලයා යැයි කියාගත් රාජපක්ෂ, හිටපු සහ සේවයේ නියුතු ජෙනරාල්වරුන් ප්‍රධාන පරිපාලන තනතුරුවලට පත් කර ඇති අතර, ඒකාධිපති පාලන ක්‍රම පැනවීමේ බලය ද අත තබා ගෙන සිටී.

විරෝධතාවල කේන්ද්‍රීය ඉල්ලීම වන්නේ රාජපක්ෂ ඉල්ලා අස්විය යුතු බවයි. ගෝඨා යා යුතු බවට ප්‍රශ්නයක් නැත! නමුත් ඔහු වෙනුවට පත් කල යුත්තේ කවුද සහ කුමන ආන්ඩුවද? මහා ව්‍යාපාරිකයන්ගේ, සුපිරි ධනවතුන්ගේ, විදේශීය ආයෝජකයින්ගේ සහ සියල්ලටත් වඩා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ ඔප්පු කල වාර්තාවක් ඇති—විරුද්ධ පක්ෂ හෝ පක්ෂවල හවුලක් වැනි කිසිවක් කෙරෙහි විශ්වාසය තැබිය නොහැක.

සමාජවාදී සමානතා පක්ෂය මෙම විරෝධතා ව්‍යාපාරයට මැදිහත් වන අතර පසුගිය දෙවසර පුරා නැගී එන වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාපාර ද්‍රෝහී ලෙස පාවා දී ඇති සියලුම සංස්ථාපිත පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීන ව ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එම පදනම මත පමනක්ම කම්කරු පන්තියට තමන්ගේම පන්ති ඉල්ලීම් සහ සමාජ අර්බුදයට විසඳුම් කරා ඉදිරියට යාමට හැකි අතර ග්‍රාමීය ජනතාව සහ නාගරික දුගීන් මුහුන දෙන සමාජ දුක්ඛිත තත්වයෙන් මිදීමට මාර්ගයක් සැපයිය හැකිය.

සෑම කම්හලකම, වැඩපලකම සහ කම්කරු පන්තියේ තදාසන්න ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවීම, ධනවත් සුලු පිරිසකගේ ලාභය නොව, බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලීම සහ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන කැඳවීම ඉදිරියට ගෙන යාමේ පදනම සාදයි. එවන් ඉදිරිදර්ශනයක් සඳහා වන අරගලයට අවශ්‍යව ඇත්තේ දකුනු ආසියාව, මැද පෙරදිග සහ අප්‍රිකාව පුරා මෙන්ම එක්සත් ජනපදය ඇතුලු දියුනු ධනේශ්වර රටවල දැනටමත් අරගලයකට තල්ලු වෙමින් සිටින, සමාන දැවෙන අවශ්‍යතාවලට මුහුන දෙන ලොව පුරා කම්කරුවන් වෙත හැරීමයි.

Loading