ශ්‍රී ලංකාව වැඩෙන නය හා උද්ධමන අර්බුදයෙහි කේන්ද්‍රයේ පවතී

[මෙය Sri Lanka at centre of growing debt and inflation crisis මැයෙන් 2022 අප්‍රේල් 9 වැනි දා පලවූ ලිපියේ පරිවර්තනයයි.]

වර්තමානයේ පැවැත්වෙන පෙලපාලි හා විරෝධතාවලින් ඇලලී ගිය ශ්‍රී ලංකාව, දැන් අඩු ආදායම් සහිත රටවල් මාලාවක් හරහා හමා යන නය කුනාටුවක කේන්ද්‍රයෙහි පවතී. ධනපති ආන්ඩු, බැංකු, මූල්‍ය ආයතන හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) මිලියන ගනන් ජනයාගේ මස් රාත්තල ඉල්ලමින්, එම ජනයාට සමාජ ව්‍යසනයක් ගෙන එමින් පවතී.

2022 අප්‍රේල් 7 බ්‍රහස්පතින්දා කොලඹ දී භූමිතෙල් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් පැය ගනනක් අසාර්ථක ලෙස ගත කිරීමෙන් පසුව ඉන්ධන පිරවුම් හලක බලා සිටින ලාංකිකයෝ (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන)

කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ නියෝජක යුද්ධයෙන් ගලා එන ආහාර ද්‍රව්‍ය, ඛනිජ තෙල්, ඉන්ධන හා පිසින තෙල් වර්ගවල මිල ගනන් පුපුරනසුලු මට්ටම්වලට නැගීම හේතුවෙන්, වසර ගනනක් තිස්සේ ගොඩනැගුනු මෙම අර්බුදය දැන් නව ඉහලකට ලඟා වී ඇත.

ඊයේ (අප්‍රේල් 8), මාර්තු මාසය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර මිල දර්ශකය, වසරකට පෙර පැවති මට්ටමේ සිට සියයට 34කින් ඉහල යමින්, නව වාර්තාගත මට්ටමකට ලඟා වී තිබූ බව එය නිවේදනය කලේ ය. මෙම දර්ශකය පෙබරවාරි මාසයට වඩා සියයට 12.6කින් වැඩි ය. එක්සත් ජාතීන් මෙය විස්තර කලේ “යෝධ පිම්මක්” ලෙස යි.

එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් බැංකුවේ නායකත්වය යටතේ, ඉහල යන උද්ධමනයට ප්‍රතිචාර ලෙස, ලොව පුර මහ බැංකු එලඹෙන මාසවල දී පොලී අනුපාත තියුනු ලෙස ඉහල දැමීම විසින්, මෙම අර්බුදය තව දුර තීව්‍ර වීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ විදෙස් මුදල් සංචිත ඇද වැටෙමින් පවතින්නේ, ඩොලර් බිලියන 8.6ක් යයි තක්සේරු කෙරී ඇති මේ වසරේ දී ආපසු ගෙවීමට නියමිත නය කිසිවක් එයට ගෙවීමේ හැකියාව පිලිබඳ ව සැක මතු වෙද්දී ය. ලංකාවේ විදෙස් මුදල් සංචිත ප්‍රමානය මාර්තුවේ දී ඩොලර් බිලියන 1.93 දක්වා අඩු වී ඇතැයි බ්‍රහස්පතින්දා මහ බැංකුව වාර්තා කල අතර, එය පෙබරවාරි මාසයේ පැවති ඩොලර් බිලියන 2.3 සිට සියයට 16ක ඇද වැටීමකි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය, පසුගිය දශකය පුරා වර්ධනය වී ඇති ගෝලීය ක්‍රියාදාමයක තියුනු ම ප්‍රකාශනය යි. ජනවාරිය අවසානයේ දී බ්‍රිතාන්‍යයේ පදනම් වන ජුබිලී ඩෙට් කැම්පේන් (ජුබිලී නය සංවිධානය) විසින් නිකුත් කල වාර්තාවක්, 2010 සිට 2021 දක්වා සංවර්ධනය වන රටවල නය ගෙවීම් සියයට 120කින් වැඩි වූ බව තක්සේරු කලේ ය. 2010 දී ආන්ඩුවේ ආදායමෙන් සියයට 6.8ක් වූ ආන්ඩුවේ සාමාන්‍ය බාහිර නය ප්‍රමානය, 2021 දී සියයට 14.3ක් විය.

2022 දී නිල හා පුද්ගලික අංශයේ නය දෙන්නන් වෙත අඩු ආදායම් ලබන රටවල් ඩොලර් බිලියන 35ක් ගෙවිය යුතු ව ඇති බව ලෝක බැංකුව ජනවාරියේ දී තක්සේරු කල අතර, එය පෙර වසරට සාපෙක්ෂ ව ඩොලර් බිලියන 10.9ක වැඩි වීමක් හා 2020 පටන් සියයට 45ක නැගීමකි.

යන්තම් මාස දෙකකට පෙර මෙම තක්සේරු කිරීම් නිකුත් කරන ලද තැන් පටන්, යුක්‍රේනයේ යුද්ධය විසින් උද්ධමනය වැඩි දුර ඔසවා තැබීම හේතුවෙන්, මෙම රටවල මූල්‍ය තත්ත්වය නාටකාකාර ලෙස වඩාත් නරක අතට හැරී ඇත.

2020 අප්‍රේල් මාසයේ දී ජී20 ජාතීන් කන්ඩායම හඳුන්වා දුන් නය සේවා නැවැත්වීමේ ආරම්භකත්වය (ඩීඑස්එස්අයි), පසුගිය දෙසැම්බරයේ දී අවසන් කරනු ලැබීම නිසා නය අර්බුදය තීව්‍ර කරනු ලැබ තිබේ. ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ වචනවලට අනුව, ඩීඑස්එස්අයි යනු “උපහාසාත්මක ප්‍රබන්ධයක්” බව සනාථ වී ඇත.

නය කල් දැමීම තුලින් ඩොලර් බිලියන 20ක නය නොගෙවා සිටිීමකට එය ඉලක්ක කල ද සහනය ඩොලර් බිලියන 12.7ක් පමනක් වූ අතරි, මේ වසරේ දී ගෙවීම යලි ආරම්භ කිරීමට හා කල් දැමීම යටතේ අත්හිටවූ නය ගෙවීමට එම රටවලට සිදු වී තිබේ.

වානිජ බැංකු, භාන්ඩ වෙලෙන්ඳන් හා බැඳුම්කර හිමියන් ඩීඑස්එස්අයි වෙතින් විශාලතම වාසිය ලබාගත් අතර, ඔවුන්ට ඩොලර් බිලියන 14.9ක් ලැබුනේ නියමිත මුදලෙන් යන්තම් සියයට 0.2ක් නොහොත් ඩොලර් මිලියන 24ක් පමනක් අත්හිටුවෙද්දී ය. ඩීඑස්එස්අයි “සාරභූත ලෙස පුද්ගලික නය දෙන්නන් ගලවා ගැනීමේ සැලසුමක් බවට පත් වී ඇත” යි, ජුබිලීහි ප්‍රතිපත්ති ප්‍රධානියා වන ටිම් ජෝන්ස් කීවේ ය.

“(ලෝකයේ විශාලතම වත්කම් කලමනාකරන සමාගම වන) බ්ලැක්රොක් වැනි පුද්ගලික නය දෙන ආයතන වෙත, සැම්බියාව වැනි නය බරිතවී සිටින රටවලට ඔවුන්ගේ ම ජනගහනයේ යහපත විනාශ කිරීමේ වියදමින් ගෙවීම් සිදු කිරීමට බලකෙරෙනු ලබමින් පවතින” බව මේ මස මුල දී නිකුත් කරන ලද බ්‍රෙට්න් වුඩ්ස් ව්‍යාපෘතියේ විශ්ලේෂනයක් නිරීක්ෂනය කලේ ය.

එක්සත් ජනපදය චීනයට එරෙහි ව දෙන තල්ලුවේ කොටසක් ලෙස, ගොඩනැගෙන නය අර්බුදය සඳහා චීනයට වරද පැටවීමේ නැගෙන උද්ඝෝෂනයක් පැවතීගෙන යමින් තිබේ.

මේ වසරේ දී ආපසු ගෙවීමට නියමිත නයවලින් සියයට 47ක් පුද්ගලික නය දෙන්නන්ට, සියයට 27ක් බහු-පාර්ශවික ආයතනවලට, සියයට 12ක් චීනයට හා සියයට 14ක් අනෙකුත් ආන්ඩුවලට බව, ජුබිලී ආයතනය වාර්තා කලේ ය. චීන නය ජාමූඅ හා අනෙකුත් බහු-ජාතික නය දෙන්නන්ගේ කොන්දේසි සමග ගැලපෙන හෝ ඊටත් වඩා හොඳ ඒවා විය.

ඊනියා නය ප්‍රතිව්‍යුහකරනය යටතේ නය අර්බුදයට විසඳුමක් නැත. මුදල්වලින් බොහොමයක් ඵලදායී ආයෝජනවලට හෝ සමාජීය වියදම්වලට නො යොදවා අතීත නය හිමියන්ට ගෙවීමට යොදවමින්, එවැනි ඕනෑ ම පියවරයන් යොදාගනු ලබනු ඇත්තේ අතීතයේ දී මෙන් මහජනයා මත වැඩි දුර කප්පාදු පියවරයන් පැටවීමට ය.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය, නය ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ සහ බැංකු හා සුපිරි ධනවතුන්ගේ ධනය අස්වාමික කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කොට ඇත්තේ, අර්බුදය විසඳීමේ ක්ෂනික පලමු පියවරක් ලෙස හා පොදු අරගලයක් තුල අනෙකුත් රටවල කම්කරු පන්තිය වෙතට හැරීමක් සඳහා ය.

මෙම දිශානතිය වර්ධනය කිරීම සඳහා වන කොන්දේසි - කෝටි සංඛ්‍යාත ජනයා කුසගින්නට ඇද දමමින් ඔවුන්ගේ ගෙල සිරකරන මූල්‍ය බූවල්ලන්ට එරෙහි ඒකාබද්ධ ගෝලීය අරගලයක් දියත් කිරීමට කොන්දේසි- පසුගිය සති කිහිපය තුල ලොව පුරා පුපුරා ගොස් ඇති වැඩ වර්ජන හා විරෝධතා විසින් නිර්මානය කරනු ලැබ ඇත.

මෙම වර්ධනයන් එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ කොටස් හරහා බියෙන් සලිත වීමේ මනෝගතියක් ජනනය කර තිබේ.

යුක්‍රේන යුද්ධයෙන් ගලා එන “දරුනු ගෝලීය ආහාර සුරක්ෂිතතා අර්බුදය” “එක්සත් ජනපදයට මූලෝපායික ව වැදගත් වන කලාප අස්ථාවර කරමින් මිලියන ගනන් ජනයා කුසගින්නට තල්ලු කිරීමට” තර්ජනය කරමින් සිටින බව, සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ සාමාජිකයෝ මේ සතියේ ජනාධිපති බයිඩන්ට ලිපියක් යවමින් අනතුරු ඇඟවී ය.

එහෙත්, ආහාර අර්බුදය දුරු කිරීමට එක්සත් ජනපදයෙන් සහයෝගය නො ලැබෙනු ඇත. හිඟයන් දුරු කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් කටයුතු කරමින් සිටිද්දී, ඔවුන් ගැටලුවලට තල්ලු කෙරෙමින් පවතින බව පොලිටිකෝ වාර්තා කලේ ය. නියඟයේ හා “කැනඩාව ඇතුලු ධාන්‍ය අතිරික්තයන් පවතින ආන්ඩු ඔවුන්ගේ සැපයුම්වලින් ඕනෑවට වැඩි ප්‍රමානයක් නිදහස් කිරීමට අදිමදි කරන තතුවල” ප්‍රතිඵලයක් ලෙස, එක්සත් ජනපදය තුල ද ඇතුලුව තිරිඟු පිටි සංචිත සාමාන්‍ය ප්‍රමානයට වඩා අඩුවෙමින් පවතී.

වෙනත් වචනවලින් කියතොත්, ප්‍රධාන බලයන්ගේ එන්නත් ජාතිකවාදය කෝවිඩ් එන්නත්වල ගෝලීය බෙදාහැරීම වැලැක්වූ පරිදි ම, ආහාර අර්බුදයේ දී ද දුගී රටවලට ලැබෙනු ඇත්තේ ඒ හා සමාන සැලකීමකි.

යූඑස්ඒඩ්හි නායක නිලධාරිනියක් වන සාරා චාල්ස් කොංග්‍රස් උපකමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින් මෙසේ පැවසුවා ය: “දරිද්‍රතාව, කුසගින්න හා මන්‌දපෝෂනය මත වර්තමාන අර්බුදයෙහි බලපෑම්, 2007-2009 ගෝලීය ආහාර අර්බුදය හා ඉන්පසුව පැමිනි සිවිල් කැලඹීම සමයේ පැවති බලපෑම්වලට වඩා බරපතල විය හැක්කේ, 2007 -2009 අර්බුදය ශක්තිමත් ආර්ථික වර්ධනයක කාලපරිච්ඡේදයකින් පසුව පැමිනියද කෝවිඩ්-19 වසංගතය පැනනැගි තැන් සිට ගත වූ වසරවල් වඩ වඩා ගැඹුරු ගෝලීය ආර්ථික පසුපෑමක් විසින් විලක්ෂනය කර ඇති බැවිනි.”

යේමනයේ ඒඩන් නගරය තුල පාන් ගෙඩියක මිල පෙබරවාරි 25 හා මාර්තු 3 අතර කාලයේ සියයට 62කින් ඉහල ගිය බව ඇය සටහන් කලා ය. ලෙබනනයේ, දේශීය ආහාර උද්ධමනය සියයට 483ට ලඟා වී තිබුනි.

දකුනු අප්‍රිකාව “ඇදී යන ප්‍රචන්ඩ අස්ථාවරත්වයේ අවදියකට එලැඹ තිබීමේ හැකියාව පවතී” යයි අනතුරු ඇඟවීම් පලවෙද්දී, 2018 පටන් එරට තුල වාර්ෂික විරෝධතා 1,000ට අධික සංඛ්‍යාවක් දක්වා දෙගුනයකින් වැඩි වී තිබුනි.

බ්‍රහස්පතින්දා බීබීසී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, යුරේසියා ගෲප් චින්තන තටාකයේ අධ්‍යක්ෂ ඩැනියල් කර්නර්ගෙන්, 2019 අවසානයේ හටගත්තා වූ වර්ගයේ සමාජ පිපිරීම් රැල්ලක් ලතින් ඇමරිකාවේ ඇති විය හැකිදැයි විමසනු ලැබී ය.

ඔහු මෙසේ පිලිතුරු දුනි: “ඔව්, 2019 දී බොහෝ ස්ථානවල විශාල අතෘප්තියක් අපට දැකගැනීමට ලැබුනා, වසංගතය එම ගැටලුවට නැවතීමේ තිතක් තැබූ බව සත්‍යය යි. එහෙත් එය හුදෙක් අත්හිටුවීමක් පමනක් වූ අතර, දැන් තත්ත්වය වඩා පුපුරනසුලු යි.”

පාලක කවයන් තුල පවතින භීතීන් සම්පින්ඩනය කරමින්, ජර්මනියේ ෆ්‍රෙඩ්රික් ආයතනයේ වාර්තාවක් මෙසේ සඳහන් කලේ ය: “ප්‍රන්ස විප්ලවයේ දවස්වල දී කියනු ලැබුවාක් මෙන්, මහජනයාට පාන් නැතිනම්, බලයේ සිටින්නන්ට විනාශයක තර්ජනය එල්ල වේ.”

අර්බුදය දුගී රටවලට පමනක් සීමා වී නැත. බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව ඇතුලු ප්‍රධාන ආර්ථිකයන්ගේ කම්කරුවෝ, ප්‍රචන්ඩ උද්ධමනයක මුව විට වැටුප් ඉහල දැමීම් සුරක්ෂිත කරගැනීමේ ක්‍රියා ආරම්භ කිරීමට පටන් ගනිමින් සිටින අතර, එම උද්ධමනය ආදායම්වලට “‌ෙඑතිහාසික කම්පනයක්” ගෙන එනු ඇතැයි එංගලන්ත බැංකුවේ අධිපති ඇන්ඩෲ බේලි කියා ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කැඳවනු ලබන මේ වසරේ මැයි දින රැලියේ කේන්ද්‍රයෙහි පවතිනු ඇත්තේ, මෙම ගෝලීය ව්‍යාපාරය ඒකාබද්ධ කිරීම හා එය සමාජවාදී ඉදිරි දර්ශනයකින් සන්නද්ධ කිරීමේ සටනයි.

Loading