රාජ්‍ය සේවකයින්ගේ රටපුරා වැඩවර්ජනය ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යයි ඉල්ලා සිටී

[මෙය Nation-wide strike of Sri Lankan public employees demands president’s resignation යන මැයෙන් 2022 අප්‍රේල් 12 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවත් භාන්ඩ හිඟයට හා දැවැන්ත මිල ඉහල දැමීමට විරුද්ධ වන ලෙසත් ඉල්ලා ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය සේවකයින් පසුගිය සිකුරාදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ විරෝධතා පැවැත්වීය. මෙම විරෝධතාවයට ලක්ෂ පහක පමන පිරිසක් සහභාගී වූ බව වෘත්තීය සමිති පෙරමුන ප්‍රකාශ කලේය.

රාජ්‍ය පරිපාලන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ සේවකයින් ඊට සම්බන්ධ වූහ. අනුරාධපුර, පොලොන්නරුව, රත්නපුර, මොනරාගල, මහනුවර, මාතර, කුරුනෑගල, කොලඹ ඇතුලු දිස්ත්‍රික්ක ගනනාවක විරෝධතා පැවැත්විනි.

රාජ්‍ය අංශයේ කම්කරුවන් අප්‍රේල් 8 වැනි දින මහනුවරදී පාගමනක් පවත්වයි [ඡායාරූපය: ෆේස්බුක්-සංවර්ධන නිලධාරී සේවා සංගමය]

රටපුරා ආන්ඩු විරෝධී උද්ඝෝෂනවලින් පසුව සිදුවූ මෙම වැඩවර්ජනය සුවිශේෂී වැදගත්කමක් දරයි. එය පෙන්නුම් කරන්නේ කම්කරු පන්තිය රාජපක්ෂ පාලනය පලවා හැරීමේ අරගලයට සහය දෙන බවයි.

විරෝධතා ව්‍යාපාරය දෙවන සතියට පිවිස ඇත. කම්කරුවන්, ගෘහනියන්, විශ්වවිද්‍යාල සහ පාසල් සිසුන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිනපතා විරෝධතා සහ පාගමන් පවත්වති. ඔවුන් මෙහෙයවනු ලබන්නේ නොඉවසිය හැකි සමාජ තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර මගිනි. අහස උසට නැඟෙන උද්ධමනය, ඉන්ධන සහ අනෙකුත් මූලික භාන්ඩ හිඟය සහ විදුලිය ඇනහිටීම් වලින් මිලියන ගනනක් දිනපතා පීඩා විඳිති.

සිකුරාදා බොහෝ රාජ්‍ය අංශයේ සේවකයින් අතින් ලියන ලද පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කීහ: ජනාධිපති ගෙදර යනු! අපි ආන්ඩුව එලවමු! ජාතිවාදයට ඉඩ නොදෙනු! බඩු මිල වැඩි කිරීම සහ භාන්ඩ හිඟය නවත්වු!

සිකුරාදා විරෝධතාව කැඳවනු ලැබුවේ වෘත්තීය සමිති දුසිම් හතරක එකතුවක් වන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (ටීයූසීසී) විසිනි. ඇතැම් වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරනු ලබන අතර තවත් සමහරක් ස්වාධීන ලෙස පෙනී සිටියි.

රාජ්‍ය අංශයේ සේවකයින් රත්නපුර කුරුවිටදී විරෝධතාවයේ යෙදෙමින් [ඡායාරූපය: ෆේස්බුක්-සංවර්ධන නිලධාරී සේවා සංගමය]

ආන්ඩු විරෝධී උද්ඝෝෂනවලට සම්බන්ධ වන ලෙස තම සාමාජිකයින්ගෙන් පුලුල්ව පැතිරුනු බලපෑම් මධ්‍යයේ වර්ජනය කැඳවීමට වෘත්තීය සමිති වලට සිදු විය. කෙසේ වෙතත්, ටීයූසීසීය, ක්‍රියාදාමය සීමා කිරීමට කල හැකි සෑම දෙයක්ම කලේය. ඇතැම් සේවකයන් වර්ජනයට කැඳවූ අතර තවත් සේවකයන්ට රජයට එරෙහි විරෝධය දැක්වීම සඳහා අත්වල කලු පටි පැලඳ සිටින ලෙස ඉල්ලා සිටින ලදී.

ටීයූසීසීය විරෝධතාව කැඳවූයේ, ආන්ඩුව නෙරපා හැරීම සඳහා කම්කරුවන්ගේ සැබෑ අරගලයක් සංවිධානය කිරීමට නොව, කම්කරුවන්ගේ කෝපය වෙනතකට යොමු කිරීමට සහ එවැනි ව්‍යාපාරයක වර්ධනය වැලැක්වීම සඳහා ය.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් කොලඹදී ගෝරනාඩු කලේ: “ආන්ඩුව යා යුතුයි!” කෙසේ වෙතත්, එම හුස්මටම, එය 'යමෙකුට විශ්වාස කල හැකි සහ පාර්ලිමේන්තුව මත පදනම්ව පාලනය කල හැකි' ආන්ඩුවක් මගින් ප්‍රතිස්ථාපනය කල යුතු බව ඔහු පැවසීය. ආන්ඩුව ඉල්ලා අස් නොවන්නේ නම්, වෘත්තීය සමිතිය 'අලුත් අවුරුද්දෙන් පසු පාරට පැමින ජනතා අරගලයට එක්වන' බවට ඔහු අනතුරු ඇඟවීය.

ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වයෙන් යුත් අන්තර් සමාගම් කම්කරු සංගමයේ වසන්ත සමරසිංහ, 'ගෙදර යනු, මිනිසුන්ට ඔවුන්ගේ අභිමතය පරිදි පාලනයක් තෝරා ගැනීමට අවස්ථාවක් දෙනු' යනුවෙන් කුමුදේශ්ගේ වචන ප්‍රතිරාවය කලේය. ඔහු අනතුරු ඇඟවීය: 'ආන්ඩුව ඉවත් නොවන්නේ නම්, අලුත් අවුරුද්දෙන් පසු කම්කරු පන්තිය අරගලයට එනු ඇත.'

මෙම ප්‍රකාශ ව්‍යාජයකි. ධනේශ්වර ගැති වෘත්තීය සමිති උත්සාහ කරන්නේ රාජපක්ෂට ප්‍රගතිශීලී විකල්පයක් ලෙස ජනතා විමුක්ති පෙරමුන වැනි අපකීර්තිමත් විරුද්ධ පක්ෂ ප්‍රවර්ධනය කරමින් කෝපය පිට වීමට ඉඩ හැරීමට ය. ධනේශ්වර ක‍්‍රමය තුල වැඩකරන ජනතාව මුහුන දෙන දැවැන්ත සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් නැත.

පසුගිය දෙවසර තුල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කම්කරුවන් අතර අරගල මාලාවක් පැන නැගී ඇත. සෑම අවස්ථාවකදීම, වෘත්තීය සමිති—ටීයූසීසී හි සමහරක් ද ඇතුලුව—කියා සිටියේ, පීඩනය රාජපක්ෂ ආන්ඩුවට සහන සැලසීමට බල කෙරෙනු ඇති බවයි. ආන්ඩුව ඔවුන්ගේ වැටුප් ඉල්ලීම් අමු අමුවේ ප්‍රතික්ෂේප කල විට, වෘත්තීය සමිති නිලධාරීහු එය මූල්‍ය අර්බුදයක් බව වටහාගෙන වැඩවර්ජන නවතා දැමූ බව ප්‍රකාශ කලහ.

කොලඹ ලිප්ටන් වටරවුමේ වැඩ වර්ජනය කරන රාජ්‍ය අංශයේ සේවකයින් [ඡායාරූපය: ෆේස්බුක්-සංවර්ධන නිලධාරී සේවා සංගමය]

සිකුරාදා විරෝධතාවලදී සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින්, පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට කම්කරු පන්තියට සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කල පක්ෂයේ නවතම ප්‍රකාශයේ පත්‍රිකා බෙදා හැරීය. ලෝසවෙඅ වෙත කතා කල කම්කරුවෝ රාජපක්ෂ ආන්ඩුව හෙලා දුටු අතර වෘත්තීය සමිති හා විරුද්ධ පක්ෂ කෙරෙහි ඔවුන්ගේ සැකය සහ කෝපය පල කලහ.

ලිපිකරුවෙක් වන ජානක පැවසුවේ: “ජීවන වියදම කලමනාකරනය කරගන්න අමාරුයි. උද්ධමනය වේගයෙන් ඉහල යනවා. දැන් එය සියයට 18 කි. රුපියලේ අගය කඩා වැටිලා. මේ පාලක රැල එලවා දැමිය යුතුයි. ඒ නිසයි මම මේ විරෝධතාවයට ආවේ. මම කිසිම ධනපති පක්ෂයකට ඡන්දය දුන්නේ නැහැ. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සහිත විකල්ප ආන්ඩුවක් ජනතාවට අවශ්‍යයි.”

මහියංගනය රෝහලේ රසායනාගාර කාර්මික ශිල්පියෙක් පැවසුවේ: “ඇත්ත වශයෙන්ම මිල සීඝ්‍රයෙන් ඉහල යන නිසා සෑම දෙයකටම වියදම් කපා හැරිය යුතු වෙලා. මට දුවලා දෙන්නෙක් ඉන්නවා, අපේ පවුල කන්නේ එක වේලයි.” ආන්ඩුව අතිකාල දීමනා කපා හැර ඇති බැවින් පැය 250 ක අතිකාල වැඩ කලත් ගෙවන්නේ පැය 80 කට පමනක් බවද හෙතෙම පැවසීය.

“වැඩිවෙන ජීවන වියදමට හෝ වැටුප් ප්‍රශ්නවලට එරෙහිව ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති සූදානම් නැහැ. ඔවුන් ධනේශ්වර පක්ෂ සමග වැඩ කරමින් කම්කරුවන්ගේ අරගල පාවා දීමට කුමන්ත්‍රනය කරමින් ඉන්නෙ. ඔබ කී පරිදි වෘත්තීය සමිති කාර්මික පොලිසිය ලෙස නම් කිරීම ඇත්තෙන්ම ගැලපෙනවා.

“ආන්ඩුව කියනවා විශාල නයක් ගෙවන්න තියෙනවා කියලා, නමුත් ජනතාව ඒ නය ගන්න කියලා කිව්වෙත් නැහැ, එය අපි වෙනුවෙන් වියදම් කලෙත් නැහැ.”

සංවර්ධන නිලධාරියෙකු වන සක්තික සත්කුමාර ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: “මහජනතාවගේ ජීවන හා සේවා කොන්දේසි මත මෙතරම් දැවැන්ත ප්‍රහාරයක් මධ්‍යයේ එක්දින සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීම ගැන මම සෑහීමකට පත් වෙන්නෙ නෑ. මේ වන විට රට තුල වර්ධනය වන අර්බුදය හමුවේ, කම්කරු පන්තියේ අඛන්ඩ මහා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබිය යුතුයි.

“නමුත් වෘත්තීය සමිති කිසිවක් එවැනි අරගලයක් ඉල්ලා සිටින්නේ නෑ. හේතුව කම්කරුවන් එකමුතු වුනොත් පන්තියක් විදියට තමන් කොච්චර බලවත්ද කියලා දැනගන්නවා. එහෙම වුනොත් වෘත්තීය සමිතිවලට කම්කරුවන් තමන්ගේ පාලනය යටතේ තියාගන්න බැරි වෙනවා.

“ඇත්ත වශයෙන්ම, කම්කරු පන්තිය අරගලයට අවතීර්න වෙමින් ආන්ඩුවට සැබෑ අභියෝගයක් කිරීම වලක්වන්නේ වෘත්තීය සමිති. ඉදිරියේදී ආන්ඩුව තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට නංවන විට, දැඩි ලෙස පහර කෑමට ලක්වන්නේ රජයේ සේවකයන්‍. මම හිතන්නේ කම්කරුවන් දේශපාලනිකව නිරායුධ නම් ඔවුන්ට ඒ ප්‍රහාරයට මුහුන දෙන්න බැරි වේවි. කම්කරුවන් ඔවුන්ගේම ස්වාධීන සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතුය.”

Loading