ආන්ඩු විරෝධී ජනතා නැගිටීම මධ්‍යයේ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති කුමක් කරන්නේ ද?

[මෙය What are Sri Lanka’s trade unions doing amid the mass anti-government upsurge? මැයෙන් 2022 අප්‍රේල් 15 වැනි දින පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ මහා ව්‍යාපාරික, සිංහල ස්වෝත්තමවාදී ආන්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවටත් බල කිරීම සඳහා කම්කරුවන්, තරුනයින් හා පීඩිත ජනතාව දිවයින පුරා වීදි බැස සිටියි. අතිවිශාල දුෂ්කරතාවන්ට මුහුන දී සිටින ඔවුහු, දැවැන්ත මිල ඉහල යාම, ආහාර, ඖෂධ, ඉන්ධන සහ පිසින ගෑස් හිඟයට වහා සහන ලබා දෙන ලෙසත් දෛනික විදුලි කප්පාදුව නතර කරන ලෙසත් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකා ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවට තරුන ජනතාව මහනුවරදී උද්ඝෝෂනය කරති [WSWS Media]

සමාජ විරෝධයේ මෙම දැවැන්ත පිපිරීම රාජපක්ෂ තන්ත‍්‍රය සහ සමස්ත පාලක පන්තිය කම්පනයට පත් කර ඇත. අනෙකුත් රටවල මෙන්ම, විනාශකාරී ගෝලීය COVID-19 වසංගතය සහ යුක්රේනය පිලිබඳ රුසියාවට එරෙහි ඇමරිකානු-නේටෝ යුද්ධය රටෙහි ආර්ථිකය අවුල් කර ඇති අතර, වත්කම් පිම්බුනු ධනේශ්වර ප්‍රභූව හා කම්කරු පන්තිය ද ග්‍රාමීය පීඩිතයින් ද අතර දැනටමත් ඇති දැඩි පරතරය ගැඹුරු කර ඇත.

මන්ත‍්‍රීවරුන් දුසිම් තුනකට වැඩි පිරිසක් විපක්ෂයට යාමෙන් පසු ආන්ඩුව, දැන් බලයේ රැඳී සිටීම සඳහා පොර අල්ලමින් සිටී.

ආන්ඩුව මේ සතියේ විදේශ නය ගෙවීම් “තාවකාලිකව” පැහැර හරින බව නිවේදනය කල අතර, ඇප පිට නයක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද ම්ලේච්ඡ කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. මෙම කප්පාදු වැඩසටහනට ඇතුලත් වන්නේ: ආදායම ඉහල නැඟීම සහ එකතු කල අගය මත බදු; ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම; වෙලඳපල තීරනය කරන ලද නම්‍යශීලී විනිමය අනුපාතයක් ස්ථාපිත කිරීම; රාජ්‍ය මූල්‍ය හිඟය කපා හැරීම (එනම් සමාජ වියදම් කප්පාදු කිරීම), පුද්ගලීකරනය, සංස්ථාපිත කිරීම සහ කොන්ත්‍රාත් දීම හරහා රාජ්‍ය අංශය 'ප්‍රතිව්‍යුහගත කිරීම'ය. මෙම පියවර මගින් රැකියා අතුගා දමනු ඇත, වැටුප් කපා හැර වෙනත් ආකාරයකින් වැඩ කරන ජනතාවගේ සමාජ අයිතීන් පාගා දමනු ඇත.

ආන්ඩුවේ සහ සමස්ත පාලක පන්තියේ මෙම පන්ති යුද ප‍්‍රහාරයට විරුද්ධ වන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට කම්කරුවෝ දැන් මුහුන දී සිටිති.

කම්කරු පන්තිය සිය කාර්මික හා දේශපාලන බලය බලමුලු ගැන්වීම වැලැක්වීමට සහ එය ධනවාදයට හා පාර්ලිමේන්තු දේශපාලනයට ගැට ගැසීමට ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන වෘත්තීය සමිති කල හැකි සෑම දෙයක්ම කරති.

හරියටම 2019 නොවැම්බරයේ මැතිවරනයෙන් රාජපක්ෂ ජනාධිපති වීමට පෙර පැවති බලගතු වැඩ වර්ජන රැල්ලක් ඇතුලු පන්ති අරගලය වෘත්තීය සමිති විසින් යටපත් කර ඇති නිසා, ආන්ඩු විරෝධී මහජන විරෝධතා සම්පූර්නයෙන්ම පුපුරා ගියේ විරුද්ධ පක්ෂ වලට සේ ම වෘත්තීය සමිතිවලට ද පිටින් ය.

දින ගනනාවක් කැපී පෙනෙන පරිදි නිශ්ශබ්දව සිටීමෙන් පසුව, ' ගෝටා ගෝ හෝම්! (ගෝටා ගෙදර යනු!)' විරෝධතා උග්‍රවීමත් සමඟ වෘත්තීය සමිති දැන් ක්‍රියාත්මක වන උද්ඝෝෂන වලට සහාය දෙන බව කියා සිටිති. එහෙත් ඔවුන් එසේ කරන්නේ ඒවා පාලනය කිරීම සහ ධනේශ්වර පාලනයට අභියෝගයක් ලෙස වැඩි වර්ධනය වීම වැලැක්වීමේ අරමුනින් පමනි.

ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පසුගිය දින හත තිස්සේ ම, කොලඹ නගරයේ දස දහස් ගනනක් සහභාගී වූ විරෝධතාවට සහය පලකරමින් අප්‍රේල් 16 සෙනසුරාදා පා ගමනක් පවත්වන බව වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව (වෘසබස) ඊයේ නිවේදනය කලේය.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු අරගල මධ්‍යස්ථානය මෙන්ම ලංකා ගුරු සංගමය (ලගුස), ලංකා වෙලඳ හා පොදු සේවක සංගමය (සීඑම්යු) සහ ලංකා බැංකු සේවක සංගමය, ධීවර කන්ඩායම්, සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු වෘත්තීය සමිති තිස්හතරක් වෘසබස එකතුව ට අනුබද්ධ ව සිටී.

වෘසබස සිය පා ගමනේ ප්‍රධාන සටන් පාඨය ලෙස තෝරාගෙන ඇත්තේ “ජන මතයට හිස නමනු! අකාර්යක්ෂම ආන්ඩුව ගෙදර යනු!” යන්නයි.

වෛරයට පාත්‍ර වූ රාජපක්ෂ පාලනයට ප්‍රතිපක්ෂ ව පිහිටු විය යුතු ආන්ඩුවේ සංයුතිය හෝ පන්ති ස්වභාවය ගැන වෘසබස කිසිවක් නොකියයි. එහෙත් තවත් ධනපති ආන්ඩුවකට පාර කැපීමට ඔවුන්ට අවශ්‍ය බව රහසක් නොවේ. ඇත්ත වශයෙන්ම, වෘසබස විසින් වත්මන් ආන්ඩුව 'අකාර්යක්ෂම' ලෙස ප්‍රකාශ කිරීම ප්‍රතිරාවය කරන්නේ, තවත් ජාමූඅ කප්පාදු වටයක් ක්‍රියාත්මක කිරීමට කලින් එකඟ නොවීම ඇතුලුව, ආර්ථිකය 'වැරදි කලමනාකරනය' සම්බන්ධයෙන් රාජපක්ෂ හෙලා දැක ඇති ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) ය.

'ජනතාවගේ දැවෙන සමාජ-ආර්ථික ගැටලු' විසඳීම සඳහා 'කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රායෝගික හා විද්‍යාත්මක වැඩපිලිවෙලක්' සැකසීමෙහිලා බුද්ධිමතුන්ට සහ වෘත්තිකයන්ට එය සමග සම්බන්ධ වන ලෙස වෘසබස විසින් අප්‍රේල් 4දා ප්‍රකාශයක් නිකුත් කලේ ය. එය පැහැදිලි කරන මෙම වැඩපිලිවෙල, කම්කරු පන්තිය හා පීඩිත ජනතාව ඔවුන්ගේ පන්ති අවශ්‍යතාවලට අනුරූප වන විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් බලමුලු ගැන්වීමට යොමු නොකරනු ඇත. ඒ වෙනුවට එය, අර්බුදකාරී ධනවාදයේ සීමාවන් තුල සහ දේශපාලන සංස්ථාපිතයේ අඛන්ඩ ආධිපත්‍යය යටතේ 'හැකි' දෙයකින් ආරම්භ වී අවසන් වනු ඇත.

මෙම වැඩසටහන මත පදනම්ව, 'ජනතාවගේ පැත්තේ සිට කෙටි කාලීන විසඳුම් ගෙන ඒම සඳහා පාලකයින්ට බලපෑම් කිරීමට' සහ 'ජනහිතකාමී ව්‍යවස්ථාවක්' සකස් කිරීමට පියවර ගන්නා බව වෘසබස ප්‍රකාශය පැහැදිලි කලේ ය. එය සියලු වෘත්තීය සමිති වලින්, වෘත්තීය කන්ඩායම් වලින් සහ සිවිල් සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ, 'මෙම වැඩපිලිවෙල යථාර්ථයක් කර ගැනීම සඳහා පාට හා පක්ෂ භේදයකින් තොරව එකතු වන ලෙසයි.'

වෙනත් වචන වලින් කිවහොත් යෝජනා කරනු ලබන්නේ, ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂ වෙත නැඹුරු වූ සහ බොහෝ විට සෘජුවම ඒවා ද ඇතුළු, මහජන පෙරමුනු වර්ගයේ බහු පන්ති ව්‍යාපාරයකි. එය පදනම් වනු ඇත්තේ, ගෝලීය පරිමානයේ පද්ධතිමය අර්බුදයක ගිලී සිටින, ප්‍රතිගාමිත්වය වමනය කරන සහ ගෝලීය මිලිටරි ගිනිදැල් තුල මනුෂ්‍ය වර්ගයා ගිල ගැනීමට තර්ජනය කරන ධනවාදය ප්‍රතිසංස්කරනය කල හැකි බවට වන මිත්‍යාව මතය. එවැනි ව්‍යාපාරයක්, කම්කරු පන්තිය දේශපාලන සංස්ථාපිතයට ගැටගැසීමට, පන්ති අරගලය මර්දනය කිරීමට මෙන්ම, අද වෘත්තීය සමිති තරයේ ඒකාබද්ධ වී ඇති ධනේශ්වර පාලනය තහවුරු කිරීමට යොදා ගනු ඇත.

වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්යස්ථානය (වෘසසම) යනුවෙන් දෙවන වෘත්තීය සමිති පෙරමුනක් ද ඇත. කෙසේ වෙතත්, එහි දේශපාලනය ද මූලික වශයෙන් ඊට වඩා වෙනස් නොවේ. වෘසසම ට වෘත්තීය සමිති දුසිම් හතරකට වඩා එකතු වී ඇත. ඒවායින් සමහරක් මත විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) දේශපාලනිකව ආධිපත්‍යය දරන අතර අනෙක් ඒවා ජවිපෙ වටා කරක් ගසන ස්වාධීන වෘත්තීය සමිති වේ.

අප්‍රේල් 8දා, වෘසසම විසින් දැනට ක්‍රියාත්මක වන ආන්ඩු විරෝධී උද්ඝෝෂනයට සහය දැක්වීම සඳහා විරෝධතා සහ රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ එක්දින සංකේත වැඩ වර්ජනයකට අනුග්‍රහය දැක්වීය. වත්මන් අර්බුදය විසඳීමට අප්‍රේල් 18 දක්වා රාජපක්ෂ ආන්ඩුවට කල් දෙන බව එය පවසා තිබේ.

පසුගිය සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවකදී, වෘසසම සමග පෙලගැසී ඇති සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ (සෞවෘස) සභාපති, විරෝධතාවලට අප්‍රේල් 18 වන විට 'සාධාරන විසඳුමක්' දීමට ආන්ඩුව අපොහොසත් වන්නේ නම්, ' ජනතා අරගලය සමග එක් වෙමින් [සහ] දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කරමින්, සියලු වෘත්තීය සමිති විසින් මෙම අරගලය ඉදිරියට ගෙන යාමට තීරනය කර ඇත' යයි පැවසීය.

වෘසසම වෘත්තීය සමිති විසින් මහා වැඩවර්ජනයකට තර්ජනය කරන්නේ, දේශපාලන සංස්ථාපිතයට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සහ දේශීය හා ගෝලීය මහා ව්‍යාපාරිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ වියදමින් ආර්ථික අර්බුදය විසඳීම අරමුනු කරගත් පියවර සඳහා අරගලය තුල නොවේ. තියුනු ලෙස ඛාදනය වන තම ජීවන තත්වයන් ආරක්ෂා කිරීමට සහ ආන්ඩුවේ පුද්ගලීකරන ධාවනයට එරෙහි වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින රැඩිකල් විරුද්ධත්වයකට නොව වෘත්තීය සමිති උත්සාහ කරන්නේ, වඩ වඩාත් රැඩිකලීකරනය වූ ව්‍යාපාරය මත සිය පාලනය තබා ගැනීමට ය. අදාල දෙවන අරමුන වන්නේ, ආන්ඩුව හා අනෙකුත් විරුද්ධ පක්ෂ සමග ජවිපෙ දමන උපාමාරුවලට කම්කරු පන්තිය ගැටගසා ගැනීමයි.

ජවිපෙ මෙන්ම, ජවිපෙ මූලිකත්වය දරන වෘත්තීය සමිති ද ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව ඉල්ලා අස්වීමෙන් පසු විරුද්ධ පක්ෂ මත පදනම් වූ 'අන්තර්කාලීන ආන්ඩුවක්' පිහිටුවන ලෙස ඉල්ලා සිටිති. 'කොල්ලකෑමෙන්, දූෂනයෙන් හා වංචාවෙන් තොර' වෘත්තිකයන්ගෙන් සමන්විත නව ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා ඔවුන් අලුත් මැතිවරනයක් ඉල්ලා සිටියි. මෙය තවත් ධනපති ආන්ඩුවක් මිස අන් කිසිවක් නොවේ. 'සහාය' සඳහා ජාමූඅ හි ගෝලීය ප්‍රාග්ධනයේ පිසාචයන් වෙත එලඹීම ප්‍රතික්ෂේප කිරීම ගැන ජවිපෙ කිසිවක් නොපැවසීම සැලකිය යුතු ය.

ඉහල යන ජීවන වියදම සම්බන්ධයෙන් කම්කරුවන් අතර වැඩෙන නොසන්සුන්තාව පිලිබඳව නිදහස් වෙලඳ කලාපයේ හාම්පුතුන් මෑතකදී අනතුරු ඇඟවීය. කෙසේ වෙතත්, වෘත්තීය සමිති ඒ පිලිබඳව සම්පූර්නයෙන්ම නිහඬය. ඒ අතරම, නිදහස් වෙලඳ කලාප සහ පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ඇන්ටන් මාකස්, රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව පවතින විරෝධතාව 'අසංවිධානාත්මක, විනය විරෝධී සහ ප්‍රචන්ඩ' ලෙස හඳුන්වමින් හෙලා දැක තිබේ. ආන්ඩු විරෝධී මහජන නැගිටීම සහ තම අයිතීන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවට කම්කරුවන්ගේ වැඩෙන ඉල්ලීම නිසා පාලක පන්තිය මෙන්ම වෘත්තීය සමිති ද භීතියට පත්ව සිටිති.

අධ්‍යාපනය, සෞඛ්‍යය, රාජ්‍ය පරිපාලනය, දුම්රිය, වරාය, ඛනිජ තෙල් සහ විදුලිබල යන රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සටන්කාමී වැඩවර්ජන සහ විරෝධතා රැල්ලක් පසුගිය වසර දෙක තුල දක්නට ලැබුනි. වතු කම්කරුවන්ගේ පාර්ශවයෙන් අඛන්ඩ අරගල ද නිදහස් වෙලඳ කලාපවල වැඩ වර්ජන හා විරෝධතා ද හටගෙන තිබුනි..

අවශ්‍යයෙන්ම වෘත්තීය සමිති, මෙම අරගල හුදකලා කර පාවා දී ඇති අතර, අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීමේ තල්ලුව සමග ඉදිරියට යාමට රාජපක්ෂ ආන්ඩුවට හැකියාව ලබාදී ඇත. ඒ අතරම, ලාභය පෙරමුනට ගන්නා වසංගත ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ දී වෘත්තීය සමිති ආන්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කර ඇත

පසුගිය වසරේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් 250,000ක් පමන දින 100කට වැඩි කාලයක් වැඩ වර්ජනයක නිරත වූ අතර එහිදී, අධ්‍යාපන සේවකයින් ඉල්ලා සිටි මුදලින් තුනෙන් එකකට සමාන වැටුප් වැඩිවීමක් සඳහා ආන්ඩුව ඉදිරිපත් කල විසඳුම වෘත්තීය සමිති විසින් පිලිගත්තා පමනි. වර්ජනය ආරම්භයේදීම, ලගුස සහ ජවිපෙ අනුබද්ධ ගුරු සේවා සංගම් ඇතුළු ඊට සම්බන්ධ ප්‍රධාන වෘත්තීය සමිතිවල නායකයින්, අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදී කියා සිටියේ, රට 'ආර්ථික අර්බුදයක' පවතින බව ඔවුන්ට 'තේරෙන' බවයි.

සෞඛ්‍ය සේවක අරගලය පාවා දුන් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ නායක රවී කුමුදේශ් පසුගිය මාසයේ කල මාධ්‍ය ප්‍රකාශය ද ඉතා වැදගත් ය. තම ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන ලෙස සංගමයට බලපෑම් කරන සාමාජිකයින් 'කලමනාකරනය' සඳහා වෘත්තීය සමිති සීමිත වැඩවර්ජන සහ විරෝධතා කැඳවා ඇති බව ඔහු පිලිගත්තේය.

පසුගිය වසරේ ජූනි මාසයේ සිට, බොහෝ රාජ්‍ය අංශ ආයතනවල කාර්මික ක්‍රියාවන් සාපරාධී කිරීම සඳහා අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ බලතල ජනාධිපති රාජපක්ෂ යලි යලිත් පනවා ඇත. මෙම කුරිරු නීතිය ගැන වෘත්තීය සමිති සම්පූර්නයෙන්ම නිහඬව සිටිති. මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කෙරෙහි සිය නොතැකීම පෙන්නුම් කරමින්, ආන්ඩු විරෝධී උද්ඝෝෂන මර්දනය කිරීමට රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය භාවිතා කිරීම පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වැඩිමහල් සහෝදරයා වන අගමැති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද තර්ජන ද ඔවුන් හෙලා දැක නැත. අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය විවේචනය කරන්නේ වුව ද වෘත්තීය සමිති, දශක ගනනාවක් තිස්සේ තහවුරු වී ඇති සංස්ථාපිත පක්ෂ සමඟ ගනුදෙනු කරන අතර, එය අහෝසි කර සමාජවාදී ආකාරයට ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීමේ සටන ධනේශ්වර සංස්ථාපිතයට එරෙහිව සහ ඒ සඳහා දේශපාලනිකව ජනතාව බලමුලු ගැන්වීම සඳහා ලීවරයක් බවට පත් කිරීමට කිසිදු අදහසක් ඔවුන්ට ඇත්තේ ද නැත.

වත්මන් ගෝලීය ධනේශ්වර අර්බුදය තුල වැඩකරන ජනතාවට, ආන්ඩුවට සහ ධනේශ්වර පන්තියට බලපෑම් කිරීමෙන් හෝ ආයාචනා කිරීමෙන් තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට හෝ සිය මූලික අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමට නොහැක. ඒ වෙනුවට ඔවුන් කප්පාදුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහිව, සැමට යහපත් රැකියා, ආහාර, ඉන්ධන සහ ඖෂධ සුරක්ෂිත කිරීම! යන සමාජවාදී ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සඳහා වන අරගලයේ දී ඔවුන්ගේ ස්වාධීන පන්ති ශක්තිය බලමුලු ගැන්විය යුතු ය. .

සිය පන්ති ශක්තිය බලමුලු ගැන්වීම සඳහා කම්කරු පන්තිය, ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවල හුස්ම හිර කරන දේශපාලන හා සංවිධානාත්මක පාලනයෙන් මිදිය යුතු අතර, කම්කරු පන්ති අරගලයේ සැබෑ සංවිධාන ගොඩනැගිය යුතුය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සහ වෘත්තීය සමිතිවලින් සහ සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව සෑම වැඩපලකම, කම්හලකම සහ කම්කරු පන්තියේ නිවහන් ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ඉල්ලා සිටින්නේ එබැවිනි.

මෙම ක්‍රියාකාරී කමිටු ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා අරගලය සංවිධානය කරනු ඇත. ජන ජීවිතයට අවශ්‍ය සියලුම අත්‍යාවශ්‍ය භාන්ඩ සහ අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම මත කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම මෙයට ඇතුලත් ය. දුප්පත් ගොවීන්ගේ නය අවලංගු කිරීම; සුපිරි ධනවතුන්ගේ බැංකු, විශාල වතු, ප්‍රධාන සමාගම් සහ ධන සම්පත් ජනසතු කිරීමෙන් ඒවා සියලු වැඩ කරන ජනතාවට යහපත් ජීවන සහ සමාජ කොන්දේසි සැපයීමට හරවා යැවිය හැකිය.

නැගී එන ක්‍රියාකාරී කමිටු ජාලය, ධනපතියන් සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් විසින් ප්‍රචාරය කරන ලද ස්වෝත්තමවාදී සහ වර්ගවාදී දහ ජරාව ප්‍රතික්ෂේප කරමින්, ග්‍රාමීය දුප්පතුන් හා තරුනයින් සඳහා පෙලගැස්වීමේ ලක්ෂ්‍යයක් ලෙස සේවය කරනු ඇති අතර, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් එක්සත් කරනු ඇත..

ක්‍රියාකාරී කමිටුවල අධිකාරිය වර්ධනය වන විට, ඉහත සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට පදනම සපයන කම්කරු පන්ති දේශපාලන බලයේ අවයව බවට එය පත් වනු ඇත. මෙම අරගලයේ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ අත්‍යාවශ්‍ය සගයා වන්නේ ලොව පුරා සිටින ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් ය.

මෙම වැඩපිලිවෙලට එකඟ වන සියලුම කම්කරුවන් හා තරුනයින් කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩ නැගිය යුතුය.

Loading