ලංකාවේ වැඩ වර්ජිත කම්කරුවන් සඳහා ඉදිරි මාවත

පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්වූ මහා වැඩ වර්ජනයකින් අනතුරු ව, හෙට පැවැත්වෙන එක් දින මහා වැඩ වර්ජනයට ලංකාවේ මිලියන සංඛ්‍යාත කම්කරුවෝ සහභාගි වෙති.

2022 අප්‍රේල් 20දා කොලඹ දී පැවති විරෝධතාවක් අතර ආන්ඩුවට එරෙහි සටන් පාඨ හඬ නගන ආන්ඩුවේ විවිධ ආයතන නියෝජනය කරන ලාංකිකයෝ (ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

සිකුරාදා පැවැත්වෙන්නේ “හර්තාලයක්” (මහා වැඩ වර්ජනයක් සමගින් ව්‍යාපාර වසා දැමීම්) බව නිවේදනය කර ඇති වෘත්තීය සමිති, එයට සහයෝගය දෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා ඇත. කැකෑරෙන මහජන කෝපය ශමනය කිරීමට ප්‍රයත්න දරන වෘත්තීය සමිති මැයි 11 දිනට තවත් වැඩ වර්ජනයක් කැඳවීමට නියමිතය.

සමස්ත කම්කරු පන්තිය ම අලලා ගනු ඇති මෙම වැඩ වර්ජනවලට, ගම්බද හා නාගරික දුගීන් මෙන් ම කුඩා ව්‍යාපාරිකයන් ඇතුලු පීඩිත ජන කන්ඩායම් එක් වනු ඇත.

මිලියන ගනන් ජනයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස ද රාජපක්ෂ තන්ත්‍රය හා සමස්ත පාලක පන්තිය විසින් ඔවුන් මත කඩාපාත් කරමින් තිබෙන සමාජ ව්‍යසනය අවසානයකට ගෙන එන ලෙස ද බලකර සිටිති.

ලංකාව තුල කම්කරු පන්තියේ මැදිහත් වීම අර්ථභාරී මෙන්ම සුභදායි වර්ධනයකි. එය වනාහි සුඩානය, ඉරානය, පේරු රාජ්‍යය, තුර්කිය හා ඉන්දියාව ඇතුලුව භූගෝලය සිසාරා හමායමින් තිබෙන පන්ති අරගලවල කොටසකි.

අහස උසට නගිමින් පවතින උද්ධමනය සහ වැටුප් හා රැකියා කප්පාදුව සමගින් ඔවුන්ගේ ජීවන කොන්දේසි මතට එල්ල කරන ප්‍රහාරවලට එරෙහි ව, මේ සියලු රටවල කම්කරුවෝ අවි ඔසවා සිටිති. කෝවිඩ්-19 වසංගතය විසින් අවුලුවා ඇති ධනවාදයේ ලෝක අර්බුදය, යුක්‍රේනය මැදි කරගෙන එක්සත් ජනපද-නැටෝ සන්ධානය රුසියාවට එරෙහි ව වක්‍රව ගෙන යන යුද්ධයත් සමග නව ඉහලකට පුපුරුවා දමා තිබේ.

දිවයින පුරා ආරම්භ වී අඛන්ඩ ව පැවතීගෙන යන ආන්ඩුවට එරෙහි විරෝධතාවන් ඉස්මත්තේ ලංකාව තුල කම්කරු පන්තිය අරගලයට ප්‍රවිෂ්ට වී සිටී. මෙම මහජන ව්‍යාපාරය, රාජපක්ෂ ආන්ඩුව පමනක් නො ව, ධනපති ක්‍රමයේ තීරනාත්මක මුක්කුවක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ඇතුලු සමස්ත පාලක සංස්ථාපිතය ම, අරටුවට ම සොලවා දමා ඇත.

හෙට දින පැවැත්වෙන මහා වැඩ වර්ජනය පිලිබඳ වෘත්තීය සමිතිවල සෑම සටන්කාමී මවාපෑමක් ම කරමින්, කම්කරු පන්තියේ වැඩෙන වැඩ වර්ජන ව්‍යාපාරයට තිරිංගයක් දැමීමට මංමුලා සහගත ලෙස උත්සාහ කරති.

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ නායක රවී කුමුදේශ් මෙසේ ප්‍රකාශ කලේ ය: “අපි ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස මැයි 6 තෙක් කල් දුන්නා, ආන්ඩුව මහජනයාට ඇහුම් කන් දෙන්නේ නැති නම්, අපි හර්තාලයකට යනවා.”

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටැලින් මෙසේ හඬ තැලුවේය: “ආන්ඩුව ඉවත් වීමට කැමති නැති නම්, එයට පයින් ගසා පන්නා දැමීමට අපට සිද්ද වේවි.”

එහෙත්, මෙම හිස් මොරගෑම්වලට පිටුපසින් වෘත්තීය සමිති තල්ලුව දෙමින් සිටින දේශපාලන වැඩපිලිවෙල කුමක් ද?

කම්කරු පන්තිය පාර්ලිමේන්තු දේශපාලනයේ ආවෘත අන්තයටත්, ධනපති විරුද්ධ පක්ෂවල අත් යටටත්, අපසරනය කිරීමට සියලු වෘත්තීය සමිති උත්සාහ දරමින් සිටිති.

මැයි 1දා ජාතික වෘත්තීය සමිති පෙරමුන හා මහජන සංවිධාන නිකුත් කල ප්‍රකාශය තුල, එහි ප්‍රධාන ඉල්ලීම් පහත සඳහන් පරිදි ලැයිස්තු ගත කෙරුනි: “සමස්ථ රටවැසියන්ගේම දැඩි අප්‍රසාදයට ලක්ව ඇති ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමගින් වර්තමාන රජය ඉල්ලා අස්වනු ; නිශ්චිත කාල සීමාවක් සඳහා අන්තර් කාලීන රජයක් පත් කිරීමට ඉඩ සලසනු;

ඉතා කුඩා අමාත්‍ය මන්ඩලයක් පත්කර රටතුල නිර්මානය වී ඇති බරපතල ගැටලු සඳහා ක්ෂනිකව විසඳුම් ලබා දීමට කටයුතු කර රටතුල දේශපාලන ස්ථාවරත්වය ඇති කරනු; විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව තුලින් ක්‍රියාත්මක කරනු; නිශ්චිත කාල සීමාවක් තුල මහජන මතය තුල රජයක් පිහිටුවීමට හැකිවන පරිදි මැතිවරනයක් පවත්වනු,

සිකුරාදා මහා වැඩ වර්ජනය කැඳවුම් කරන අනෙකුත් වෘත්තීය සමිති පෙරමුනවන වෘත්තීය සමිති සම්බන්ධීකරන කමිටුව ද එම පදනම මත ම උද්ඝෝෂනයේ යෙදෙමින් සිටී.

මෙම ඉල්ලීම්වල තේරුම කුමක් ද?

එය වනාහි, විරුද්ධ පක්ෂවල තේරී පත් නො වූ අන්තර්වාර ආන්ඩුවකින් මුලුමනින් ම අපකීර්තිමත් රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කොට, ඉන්පසු මැතිවරනයක් පැවැත්වීම යි. අන්තර්වාර පාලන තන්ත්‍රයක අභිප්‍රායය ඇති තරම් පැහැදිලි ය: එනම්, “දේශපාලන ස්ථාවරත්වය” ස්ථාපිත කිරීම හෙවත්, වෙනත් වචනවලින් කියතොත්, මහා වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාපාරය ධනපති පාලනය ස්ථාවර කල හැකි පරිදි මර්දනය කිරීම යි.

දක්ෂිනාංශික සමගි ජන බලවේගය සහ සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යන විරුද්ධ පක්ෂවල මෙන් ම මහ ව්‍යාපාරික සංගත කන්ඩායම්වල ඉල්ලීම් සමග වෘත්තීය සමිතිවල ඉල්ලීම් මුලුමනින්ම පාහේ සමාන වේ. මහ ව්‍යාපාරිකය මෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) හා විදේශීය ආයෝජකයන් විසින් ඉල්ලා සිටින්නේ, ද “දේශපාලන ස්ථාවරත්වය” යි.

ආන්ඩුවේ මෙන් ම විපක්ෂයේ කිසිදු පාර්ලිමේන්තු පක්ෂයකට, දැනට ක්‍රියාත්මක කෙරමින් පවතින කප්පාදු වැඩපිලිවෙලට වෙනස් වූ කිසිදු විකල්පයක් නැත. ජාමූඅ වෙතින් හදිසි ඇප නයක් ලබාගැනීමට ආන්ඩුව දරන උත්සාහයට කිසිදු පක්ෂයක් විරුද්ධ වී නැතිවාක් මෙන්ම, එවන් නයක් අනිවාර්යයෙන් ම තවතවත් කප්පාදු කිරීම්වලට තුඩුදෙනු ඇති බව පැහැදිලි කිරීමටද ඉදිරිපත්ව නැත. සජබ හා ජවිපෙ යන පක්ෂ දෙකට ම වෙලඳපොල-ගැති ප්‍රතිව්‍යුහකරනයන් ක්‍රියාවට දැමීමේ අතීත වාර්තාවක් තිබේ.

දැන් සූදානම් කරනු ලබමින් පවතින්නේ, වැඩකරන ජනයාට වඩාත් රුදුරු සමාජීය ව්‍යසනයකි. ජාමූඅ සමග සාකච්ඡාවලින් සති දෙකකට පසුව, ඇප නයට ගෙවන වන්දිය ලෙස සාකච්ඡා කෙරෙමින් පවතින්නේ කවරක් ද යන්න විස්තර කරමින්, මුදල් අමාත්‍යාංශය මැයි 2දා ප්‍රකාශයක් නිකුත් කලේ ය.

“අධ්‍යාපනය, සෞඛ්‍යාරක්ෂනය, පොදු ප්‍රවාහනය හා සේවා බෙදාහැරීම් වැනි අංශවලට අයෝජන” අවශ්‍ය වන තතු තුල, දුර දිග යන පුද්ගලීකරන න්‍යාය පත්‍රයක් තිබෙන බව එය පැහැදිලි කලේ ය. “ඵලදායී නො වන ආන්ඩුවේ සහනාධාර හා ආධාර ලබා දීමේ සංස්කෘතියක් තව දුරටත් ශක්‍ය නො වේ” යි ප්‍රකාශය ඍජුව ප්‍රකාශ කලේ, මිල සහනාධාර, සුභසාධන ගෙවීම් හා සමාජ සේවාවන් තව දුර කප්පාදු කිරීම හෝ මුලුමනින් ම අහෝසි කරදැමීම සිදුවන බව ඉඟි කරමිනි.

(ඡායාරූපය: ෆේස්බුක්)මුදල් ඇමති අලි සබ්රි

බදාදා පාර්ලිමේන්තුවේ දී කතා කල මුදල් ඇමති අලි සබ්රි, රටෙහි විදෙස් සංචිත ප්‍රමානය එක්සත් ජනපද ඩොලර් මිලියන 50 තරම් අඩියට වැටී ඇති බව කියමින් මෙසේ එකතු කලේ ය: “මෙම ප්‍රශ්න වසර දෙකකින් විසඳිය හැකිදැයි මම දන්නේ නැහැ.” විශාල බදු ඉහල දැමීම් පනවනු ඇති බව ඔහු පැහැදිලි කලේ මෙසේය: “හම්බ කරන ජනයා යම් මුදලක් බෙදාහදා ගත යුතුයි, එහෙම නැත්නම් සමාජය බිඳ වැටේවි. එලඹෙන අවුරුදු දෙක-තුන කාලය පුරා බදු ආදායම සියයට 15කින් පමන වැඩිකල යුතුව තිබෙනවා.”

ජාමූඅ විධානය කරමින් සිටින්නේ, දැනට මත් කඩාවැටෙමින් පවතින මහජන සෞඛ්‍යය, ලමුන්ගේ අධ්‍යාපනය හා අනෙකුත් සියලු සේවාවන්ට, කම්කරුවන් හා දුගීන් ඔවුන්ගේ සොච්චම් වැටුප්වලින් ගෙවීමට බලකල යුතු බව යි. ඒ අතර ම රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදු කරනු ඇත. කෙටියෙන් කියතොත් කම්කරුවන් හා දුගීන් ඛා‌දනය වෙමින් පවතින ධනවාදයේ අඛන්ඩ පැවැත්ම සඳහා කැපකිරීම් කල යුතු ය.

දැනට මත් පවතින රුදුරු සමාජ අර්බුදයක් ඉස්මත්තේ පැමිනෙන එවන් කප්පාදු පියවරයන්, ප්‍රජාතන්ත්‍රවාදී ව ක්‍රියාවට දැමිය නො හැකි බව, විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති ඇතුලු සමස්ත දේශපාලන සංස්ථාපිතය දනී. රාජපක්ෂ ආන්ඩුව වේවා, එය විස්ථාපනය කරමින් පැමිනෙන ඕනෑ ම ධනපති ආන්ඩුවක් වේවා, විරෝධතා හා වැඩ වර්ජනවලට විරුද්ධ ව යොදාගැනීම පිනිස, තිරයෙන් පිටුපස සිට ආරක්ෂක හමුදාවන් සූදානම් කෙරෙමින් පවතී. දැනට මත්, රඹුක්කන දී අනතුරු ඇඟවීමකින් තොර ව වෙඩි තැබූ පොලීසිය, චාමින්ද ලක්ෂාන් ඝාතනය කොට තවත් පිරිසකට තුවා සිදු කලේ ය.

අප්‍රේල් 20දා කොලඹ දී විරෝධතාවේ යෙදෙන රාජ්‍ය අංශ කම්කරුවෝ (ඡායාරූපය: ලෝසවෙඅ)

වෘත්තීය සමිති සාපරාධී දේශපාලන භූමිකාවක් ඉටුකරමින් සිටිති. ඔවුන් වැඩ වර්ජන කැඳවනු ලබන්නේ, කම්කරුවන් මුහුන දෙන සමාජ හා ආර්ථික අර්බුදය විසඳීම වෙනුවට, කෝපය වාෂ්ප කර දමමින්, කම්කරු පන්තිය මතට ගැඹුරු ප්‍රහාර සූදානම් කරන දේශපාලන සංස්ථාපිතයට කාලය ලබා දීමට ය. “අන්තර්වාර පාලන තන්ත්‍රයක්” හා මැතිවරනයක් කම්කරුවන් මුහුන දෙන සමාජ ව්‍යසනය අවසන් කරනු ඇතැයි කම්කරුවන් ව රැවටීමට ඒවා උත්සාහ දරමින් සිටිති.

කම්කරු පන්තියට සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගත හැකි එක ම මාවත වන්නේ, එහි හදිසි පන්ති අවශ්‍යතා ඉටු කරන ක්‍රියා මාර්ගයක -වෙනත් වචනවලින් කියතොත් සමාජවාදී ක්‍රියා මාර්ගයක - පදනම මත සිය ස්වාධීන ශක්තිය බලමුලු ගන්වා ගැනීමෙන් බව, සමාජවාදී සමානතා පක්ෂය (සසප) කියා සිටී.

කම්හල්, වැඩපොලවල්, වතු සහ කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශ යනා දී සෑම තැනක ම, ඔබේ පන්ති අවශ්‍යතා සඳහා සටන් කිරීමට වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙස අපි කම්කරුවන් ව දිරිමත් කරමු.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට, හදිසි නීතිය, අත්‍යවශ්‍ය මහජන සේවා පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුලු සියලු මර්දන රෙගුලාසි සමගින් විධායක ජනාධිපති ක්‍රමය වහා ම අහෝසි කරන ලෙස සසප ඉල්ලා සිටී.

වේගයෙන් ඉහල මිල ගනන්වලට, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයන්ට හා අධික වන හාමතට ධනපති ක්‍රමය ඇතුලත වැඩකරන ජනයාට විසඳුමක් නැත.

කම්කරු පන්තියට එහි ක්‍රියාකාරී කමිටු හරහා දේශපාලන අරගලයක් දියත් කිරීමේ පදනම ලෙස සසප පහත දැක්වෙන ඉල්ලීම් යෝජනා කරයි:

සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හා මහජන ජීවිතවලට තීරනාත්මක වන අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගනු!

බැංකු, මහා සංගත, විශාල වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරනු!

ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

දුගී ගොවීන්ගේ හා කුඩා-ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන් සඳහා පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර ප්‍රතිස්ථාපනය කරනු!

ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සමගින් සියල්ලන්ට රැකියා සහතික කරනු! ජීවන වියදම අනුව ඉහල යන වැටුප්!

සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු!

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම හා සිය සමාජ අයිතීන් සඳහා සටන් කිරීම මගින්, එක හා සමාන ප්‍රහාරවලින් බැටකන ගම්බද ජනයා තමන්ගේ පාර්ශවයට දිනාගැනීම කම්කරු පන්තිය විසින් අරඹනු ඇත.

අන්තර්වාර පාලන තන්ත්‍රයක් හා ධනවාදය ආරක්ෂා කිරීමට වෘත්තීය සමිති ගෙන යන උද්ඝෝෂනයට විරුද්ධ ව, ලාභ පද්ධතිය විප්ලවීය ලෙස පෙරලා දමා, සමාජය සමාජවාදී පදනමක ප්‍රතිසංවිධානය කිරීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් සසප පෙනී සිටී.

මේ දේශපාලන අරගලයේ දී, තමන් හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙන හා දැන් අරගලයට පිවිසෙමින් සිටින ලොව පුරා සිය පන්ති සහෝදර සහෝදරියන් වෙතට ලංකාවේ කම්කරුවන් හැරීම අවශ්‍ය ය. කම්කරුවන් මුහුන දෙන ගෝලීය ධනවාදය විසින් නිර්මිත අර්බුදයට කිසිදු රටක් තුල ජාතික විසඳුම් නැත.

ක්‍රියාකාරී කමිටුවල ජාලයක් ගොඩනගන ලෙසත්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දියත් කරන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කජාක්‍රිකස) හරහා අනෙකුත් රටවල කම්කරුවන් සමග එම ජාලය සම්බන්ධීකරනය කරන ලෙසත්, සසප කම්කරුවන් ව උනන්දු කරන්නේ එබැවිනි.

කම්කරු පන්තිය මුහුන දෙන කර්තව්‍යයන්ගේත්, කම්කරු පන්තියේ දේශපාලන සටන සසප විදාරනය කරන සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියා මාර්ගය පදනම් කිරීමේත්, හදිසි භාවයට පසුගිය මාසය සාක්ෂි දරයි. එවන් අරගලයකට විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය ය. ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය කරන කම්කරුවන්ට සසප අමතන ලෙස අපි ඉල්ලමු. සියල්ලට ඉහලින් සසපට බැඳී එය මහජන පක්ෂයක් ලෙස ගොඩනගන ලෙස අපි ඔබට කැඳවුම් කරමු.

වැඩිදුර කියවන්න

Loading