රාජපක්ෂ ආන්ඩුව පලවා හරිනු! විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකරනු! අන්තර්වාර පාලන තන්ත්‍ර එපා! ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු! කුසගින්නට - ජාමුඅ කප්පාදුවට එරෙහිවනු! කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා සියල්ලන්ට අහාර, ඉන්ධන සහ බෙහෙත් සුරක්ෂිත කරගැනීමේ සමාජවාදී ක්‍රියා මාර්ගයට සටන් කරමු!

පීඩක ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව පන්නා දැමීමේ අරගලය සඳහා හෙට දින රට පුරා එක් දින මහා වැඩ වර්ජනයකට එලඹෙන දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සමඟ සමාජවාදී සමානතා පක්ෂය (සසප) එකට සිටී. ඔවුන් සම්බන්ධ වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ආන්ඩුවට අස්වන ලෙස බලකරමින් රටපුරා පැන නැගී ඇති ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ පලල් අරගලය සමගයි. අද අරගලයට වරාය, විදුලිය, තැපැල්, දුම්රිය, තෙල්, බැංකු, වතු, රාජ්‍ය සේවයේ, ගුරු වෘත්තියේ සියලු සේවකයෝ පෙලගැසෙති.

කිසිසේත් දරා ගත නොහැකි අයුරින් ඉහල යන බඩු මිල හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සියලු වැඩ කරන ජනයා, ගොවි ජනයාද ඇතුලුව, මුහුන දෙන්නේ අතිශයින්ම දරුනු ව්‍යසනයකටයි. බඩු මිල එක රැයින් දෙගුන තෙගුන කරමින් ජන ජීවිතය පිලිබඳව කිසිම තැකීමක් නොකරන රාජපක්ෂ ආන්ඩුව මහජන නැගිටීම් මැඩීම සඳහා පොලිසිය හා මිලිටරිය යෙදවීමේ පියවර ගනිමින් සිටි. රඹුක්කනදී ඉන්ධන ඉල්ලා සිටි මහජනයාගේ උද්ඝෝෂනයට මරනීය ප්‍රහාර‍ එල්ල කර චාමින්ද ලක්ෂාන් ඝාතනය කිරීම ආන්ඩුව ඊට එරෙහි ව නැගී ඇති ව්‍යාපාර ලෙයින් මැඩීමට සුදානම් බව පෙන්නුම් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති ධූරයේ සියලු බලතල යොදා ගනිමින් මෙම රුදුරු මර්දනය දිගේලි කර ඇත්තේ මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) නයක් ලබාගැනීමේ බැගෑපත් සාකච්ඡා වලදී අනවා ඇති නියෝග වැඩකරන ජනයා මත පැටවීම සඳහා ය. දැනට ම රාජ්‍ය අංශයේ වියදම් රුදුරු ලෙස කැපීමට ක්‍රියා කර ඇති ආන්ඩුව ගෑස්මිල දෙගුන කර විදුලි බිල නැංවීමට වැඩ කරමින් සිටියි. මේවා පිටුපසින් මහ ජනයා මත බඩු මිල තවත් ඉහල යන බදු පැටවීමේ, පුද්ගලිකරනයේ, රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කැපීමේ නියෝග සුදානම් වෙයි.

පසුගිය වසර දෙක තිස්සේ පැවතී ඉදිරියට යන කොවිඩ්-19 වසංගතයෙන් මෙන්ම දැන් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා නේටෝව අත දමා යුක්‍රේනය තුලින් රුසියාවට එරෙහි ව ගෙන යන යුදමය ක්‍රියා ගෝලීය ආර්ථික අර්බුදය උත්සන්න කර ඇත. ලංකාව තුල පැන නැගී පවතින්නේ එහි ආන්තික ප්‍රකාශනයකි.

හෙට දින වර්ජනයට එලඹෙන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් මුහුන දී සිටින්නේ මෙම ප්‍රහාර පරාජය කිරීමේ දේශපාලන ප්‍රශ්නයටයි. එමෙන්ම දැන් සති තුනකට ආසන්න කාලයක් ගෝල්ෆේස් පිටියේ හා රටපුරා උද්ඝෝෂනයේ යෙදෙන ජනයා මේ ප්‍රශ්නවලට ම මුහුන දී සිටිති.

එහෙත්, වෘත්තීය සමිති හෙට දින වර්ජනයට කැඳවා ඇති කම්කරුවන් අතට දී ඇති සටන් පාටය 'මිනීමරු ජන පීඩක ආන්ඩුව පන්නමු! ජන අරගලය දිනවමු!' යන්නයි. ඉන්පසු කුමක්ද යන්න ගැන කට පියාගෙන සිටිමින් මේ සමිති ඇත්ත වශයෙන් සහයෝගය දෙන්නේ සමගි ජන බලවේගය (සජබ) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) යෝජනා කරන 'අන්තර්වාර පාලනයක්' සහ ඉන් පසුව මහා මැතිවරනයකට ගොස් ආන්ඩුවක් තැනීමේ ප්‍රතිගාමී වැඩපිලිවෙලටයි.
ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප), එහි සමිති සහ ශිෂ්‍ය සංවිධාන මෙම වෘත්තිය සමිති සමග එකට සිටියි.

විපක්ෂයේ හා ආන්ඩුවේ සිටින සියලු ධනපති පක්ෂවල අන්තර්වාර ආන්ඩුවක හා ඉන්පසු බලයට එන ආන්ඩුවක වැඩපිලිවෙල වනු ඇත්තේ කුමක් ද? එය වනාහි ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට කැපවී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුර්ග කප්පාදු වැඩපිලිවෙලයි. එවන් පාලන තන්ත්‍රවලට, රාජපක්ෂ පාලනය මෙන්ම රුදුරු ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ගය ක්‍රියාවට දමනු විනා වෙනත් විකල්පයක් නැත.

මෙම සියලු ධනපති පක්ෂවල නායකයන් සියල්ලෝ ම අතීතයේ ජාමූඅ වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට හා වැඩකරන ජනයාගේ අයිතීන් උදුරා ගැනීමට කැපවීමේ වාර්තාවකට හිමිකම් කියති.

දින ගනනාවක කල් බැලීමකින් පසු වෘත්තීය සමිති ආන්ඩුව පැන්නීමේ අරගලයට එන බව ප්‍රකාශ කොට අද දින වර්ජනය හා තවත් ක්‍රියා කැඳවා ඇත. ආන්ඩුවේ හා ධනපති පන්තියේ ප්‍රහාරවලට එරෙහි ව උසුලාගතනොහැකි ජීවන වියදමට, භාන්ඩ හිඟයට, හා මර්දනයට එරෙහි ව සටන් කිරීමේ වුවමනාව කම්කරුවන් අතර කැකෑරෙන තත්වයක මේ සමිති අරගලය කැඳවා ඇත්තේ එම විරුද්ධත්වය අවමංගත කොට දැමීමටයි. පසුගිය අවුරුද්දේ පැන නැගුනු අරගල වලදී මේ සියලු සමිති කම්කරු ඉල්ලීම් පාවා දී ඇත. මේ සියලු සමිතිවල නම් ඉදිරිපත් කිරීමට මේ පත්‍රිකාව ඉඩ මදි ය.

පසුගිය අවුරුද්දේ දින සියයක වර්ජනය පාවාදුන් ගුරු සමිති ඒ අතරින් කැපී පෙනේ. පාවා දීමට අන් සියලු සමිති සහයෝගය දුනි. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනය ප්‍රකාශකලේ තමන් වර්ජන කැඳවන්නේ සාමාජිකයන්ගේ සටන්කාමිත්වය කලමනාකරනය කිරීමට බවයි. ලංකා කම්කරු සංගමය ඇතුලු සමිති වතුකරයේ කම්කරුවන්ගේ වැටුප් අරගලය එක දිගට පාවා දුන්හ.

අන්තර්වාර පාලනයක මර උගුල පිලිගැනීමට කම්කරු පන්තියට නොහැක. ඊට ඇත්තේ වෙනත්ම විකල්ප ක්‍රියා මාර්ගයකි. ධනපති ක්‍රමය තුල කම්කරුවන්ට හා දුගීන්ට විසඳුමක් නැත.

ගෝල්පේස් හි සති තුනකට ආසන්නව අරගලයක යෙදෙන ජනයාට 'ගෝටා ගෝ හෝම්' සටන් පාටයෙන් එපිටට යා නොහැකිව ඇත. ඊට නායකත්වය දෙන කන්ඩායම් ද අන්තර් කාලින ආන්ඩුවකට අයචානා කරයි!

අරගලයට පැමින සිටින කම්කරුවන් මෙම ජනයාට ද නායකත්වය දෙමින් ඉදිරියට ඒම අවශ්‍ය වේ. එය කල හැක්කේ කෙසේද? සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ වෘත්තීය සමිතිවලින් හා ධනපති පක්ෂ වලින් ස්වාධීනව තමන්ගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගන්නා ලෙසයි. මේ සඳහා රට පුරා කම්හල්, වැඩපොලවල්, වතු හා කම්කරු-පන්තික නිවහන් ප්‍රදේශවල එම කමිටු ගොඩ නගා ගැනීම අවශ්‍යය. ඒ් සඳහා සමාජවාදී සමානතා පක්ෂය පූර්න සහය දීමට සූදානම්ව සිටියි.

රාජපක්ෂ ආන්ඩුව මෙන් ම විරුද්ධ පක්ෂද ඉදිරියට ගෙන යාමට උත්සාහ දරන ලේ වැකි කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව, මහ ධනපති ආයෝජකයන්ගේ දැවැන්ත ලාභවලට ඉහලින් මානව අවශ්‍යතා තබා ක්‍රියාකාරී වීමේ වැඩපිලිවෙලක් අපි ඉදිරිපත් කරමු.

එම ක්‍රියාමාර්ගය නම්:

  • මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා! බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

ධනපති පන්තිය, යෝධ ලාභ කඳුගසා ගැනීම සඳහා නිෂ්පාදන මාධ්‍යවල හා බෙදාහැරීමේ තම අයිතිය ගසා කයි. සිය අත්‍යවශ්‍ය අවශ්‍යතා සම්පාදනය කරගැනීමට කම්කරු පන්තියට පවතින එක ම මාවත වන්නේ, ධනපතියන් අතින් ඒවා උදුරාගෙන, වර්තමාන පීඩාව හා කාලකන්නිකම අවසන් කිරීම සඳහා යොදාගත හැකි ආකාරයට සම්පත් ඒකාග්‍ර කර ගැනීමයි.

  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

මේ වසරේ දී ජාත්‍යන්තර බැංකුවල පෙට්ටගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ගෙවීම වෙනුවට, වැඩකරන ජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ගෙවීමට එම මුදල් යොදාගත යුතු ය.

  • බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

ලෝක අසමානතා දත්ත ගොනුවට (World Inequality Database) අනුව, 2021 දී ලංකාවේ සමාජයේ ඉහල ම ධනවත් සියයට 10 දිවයිනේ ධනයෙන් සියයට 63.8ක යෝධ ප්‍රමානයක් අත්කර ගෙනසිටි අතර, පහල සියයට 50 සතුව තිබුනේ යන්තම් සියයට 4.3ක් පමනි. කම්කරු පන්තිය විසින් නිර්මිත මෙම දැවැන්ත ධනය අත්පත් කරගෙන, සමාජ අවශ්‍යතාවේ පදනම මත බෙදාහරිනු ලැබිය යුතු ය.

  • දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

තම තියුනු ආර්ථික ගැටලුවලින් එලියට මාවතක් සම්පාදනය කිරීම මගින්, පීඩිත ගම්බද ජනයා සහ සිය අත්‍යවශ්‍ය උවමනා කම් ඉටු කර ගැනීමට අසමත් සිටින ඉහල නය බරින්, වියදම් අධික සැපයුම් හා මිල ගනන් හේතුවෙන් පීඩනයට පත් ව සිටින කුඩාව්‍යපාර හිමියන් ආකර්ශනය වන ධ්‍රැවයක් බවට කම්කරු පන්තිය පත්වනු ඇත.

  • ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

ජාමූඅ හා ජාත්‍යන්තර බැංකුකරුවන් සාර්ථක වුවහොත්, රැකියා විනාශ කිරීමේ සුලිකුනාටුවක් පැමිනෙනු ඇත. දැනට මත් ඉසිලිය නො හැකි උද්ධමනය වැටුප් ගිල දමයි. වසර ගනනාවක් තිස්සේ සිදු වී ඇති පරිදි රැකියා, වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වෘත්තීය සමිතිවල හස්තයේ තිබීමට ඉඩ හැරියහොත් ඒවා තව දුරටත් විනාශභාග් වනු ඇත.

ඉහත කි ක්‍රියාමාර්ගය සඳහා සටනට ක්‍රියාකාරී කමිටු ජාලයක් වර්ධනය කිරීම හරහා, කම්කරු පන්තිය අතට බලය ගෙන, සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කිරීම පිනිස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සංවිධානාත්මක පදනම් සම්පාදනය කරනු ඇත.

කම්කරුවන් හා දුගීන් මුහුනපා සිටින්නේ ජාත්‍යන්තර අර්බුදයකින් පැන නංවා ඇති විනාශකාරිත්වයකටයි . ඊට එරෙහි ව සටන් කිරීමේ දී ලංකාවේ කම්කරුවන්ගේ මිතුරා වන්නේ, එක හා සමාන ප්‍රහාරවලට එරෙහි ව අරගලයට එලඹ සිටින ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එහි සමීපත ම සගයා වන්නේ ඉන්දියාවේ හා දකුනු ආසියාවේ කම්කරුවන්‍ ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අරම්භකත්වය දී ඇති කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය සමග එක්වීමෙන් ගෝලීය සංගත, බැංකු හා මූල්‍ය ආයතනවල ආර්ථික ආධිපත්‍යයට එරෙහි ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත අරගලයක් බවට ලංකාවේ කම්කරුවන්ගේ අරගලය වර්ධනය කල හැකි ය.

මෙම ක්‍රියාමාර්ගය මත සටන් වැදීමට සසප සමඟ සම්බන්ධ වීමට පහත දුරකථන අංකය අමතන්න නැතහොත් කෙටි පනිවිඩයක් ඒවන්න. 0773562327

සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංවිධානය කරන අධිරාජ්‍යවාදී යුද්ධයට, ගෝලීය වසංගතයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ (ලංකා වෙලාවෙන් මැයි 2 ඉරිදා අලුයම 12.30ට පැවැත්වෙන) ඔන්ලයින් මැයි දින රැලියට දැන්ම පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වන්න.

Loading