ඉදිරිදර්ශන

2022 මැයි දින දේශනය

නැටෝ-රුසියානු යුද්ධය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ කර්තව්‍යයෝ

මැයි 1 දින (ශ්‍රී ලංකාවේ මැයි 2 අලුයම) පැවැති 2022 ජාත්‍යන්තර මැයි දිනයේ ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාව මෙහි පලකරමු. නෝර්ත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපතිවරයා ද, එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපතිවරයා ද වෙයි. මෙම ලිපිය The NATO-Russia war and the tasks of the international working class යන මැයෙන් මැයි 1 වන දින ඉංග්‍රීසි බසින් පල කෙරුනි.

මේ වසරේ මැයි දිනය පැවැත්වෙන්නේ අසාමාන්‍ය තතු යටතේ ය. ලෝකය පවතින්නේ මෙම ග්‍රහයා මතින් ජීවය මුලිනුපුටා දැමීමට තර්ජනය කරන න්‍යෂ්ටික ලෝක යුද්ධයක ප්‍රපාත මුවවිටෙහිය. 2022 මැයි දිනයේ අභියෝගය වන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත් භාවයේ මෙම උත්සවකාරී සැමරුම, නැටෝ-රුසියානු යුද්ධය න්‍යෂ්ටික ගැටුමක් කරා අපරාධකාරී හා ඔලමොට්ටල ආකාරයෙන් උත්සන්න කිරීම නවතා ලන හා යුද්ධය මුලුමනින් නැවැත්වීමට බල කෙරෙන ලෝකවාසීන්ගේ පුලුල් ගෝලීය මහජන ව්‍යාපාරයක ආරම්භය බවට පත් කර ගැනීමයි.

මෙම ව්‍යාපාරයේ වර්ධනය හා ජයග්‍රහනය සඳහා, යුද්ධයේ හේතූන් පිලිබඳව ද, එය සේවය කරන අවශ්‍යතාවන් කවරේ ද යන්න පිලිබඳව ද පැහැදිලි වැටහීමක් අවශ්‍ය කෙරේ.

සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, රුසියාව සමඟ ගැටුම අවුස්සා ගැනීම සම්බන්ධයෙන් එජ හා යුරෝපානු අධිරාජ්‍යවාදය හෙලා දකී. මේ වූ කලී යුක්‍රේනයේ හෝ, ලෝකයේ අන් කිසි තැනක හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කෙරෙන යුද්ධයක් නොවේ. එය, ලෝකය අලුතින් බෙදා ගැනීම, එනම්, ලෝක ගෝලයේ ද්‍රව්‍යමය සම්පත් අලුතින් වෙන් කර ගැනීමක්, අරමුනු කර සිදු කෙරෙන යුද්ධයකි.

රුසියාව එජ අධිරාජ්‍යවාදයේ ඉලක්කයක් බවට පත්ව ඇත්තේ පුටින්ගේ තන්ත්‍රයේ ඒකාධිපති ස්වභාවය නිසා නොවේ. පලමුවෙන්ම ඊට හේතු වී ඇත්තේ, චීනය සමඟ යුද වැදීම සඳහා කෙරෙන සූදානම්වීම් මත කේන්ද්‍රගත වී ඇති ලෝක ගෝලීය ආධිපත්‍යය සඳහා දැරෙන එක්සත් ජනපදයේ ප්‍රයත්නය සමඟ ගැටෙන රුසියානු ධනේශ්වරයේ උත්සුකයන් පුටින් තන්ත්‍රය විසින් ආරක්ෂා කරනු ලැබීමයි; දෙවනුව, රුසියානු දේශසීමා තුල පිහිටා ඇති අතිමහත් භූමි ප්‍රදේශය, තමන්ගේ පාලනය යටතට ගැනීමට එක්සත් ජනපදය අධිෂ්ඨාන කොට ගෙන සිටින අප්‍රමාන වටිනාකමකින් හා මූලෝපායාත්මක වැදගත්කමකින් යුත් අමුද්‍රව්‍ය, ලෝහ හා ඛනිජ - ඉන් සුලු කොටසක් හෝ නම් වශයෙන් සඳහන් කරන්නේ නම්, රත්රන්, ප්ලැටිනම්, පැලෙඩියම්, තුත්තනාගම් (සින්ක්), බොක්සයිට්, නිකල්, රසදිය, මැංගනීස්, ක්‍රෝමියම්, යුරේනියම්, යකඩ නිධි, කෝබෝල්ට් හා ඉරිඩියම් - සම්පත්වල ප්‍රභවස්ථානය වෙයි.

එක්සත් ජනපදය සමඟ එක් වී සිටින අනෙකුත් ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්හු ද, එපරිද්දෙන්ම, තමන්ගේම ප්‍රතිගාමී ආර්ථික හා භූ දේශපාලනික උත්සුකයන් හඹා යමින් හිඳිති. 1941 හා 1945 අතරතුර සෝවියට් සංගමයට එරෙහිව මූලෝත්පාටක යුද්ධයක් පවත්වා ගෙන ගිය ජර්මානු අධිරාජ්‍යවාදයට, නැවත යුද අවි රැස් කිරීම සඳහා නාසි තන්ත්‍රය බිඳ වැටුනු තැන් පටන් කවදා හෝ ගෙන ගිය දැවැන්තතම උද්ඝෝෂනය සඳහා යුක්‍රේනයේ ගැටුම විසින් අවස්ථාව සලසනු ලැබ ඇත. සෑමවිටම සිදු වූ පරිදි, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ඇමරිකාවේ නායකත්වයෙන් යුත් යුද්ධයකට සහභාගී වීමට ලොල් ව සිටියි. යුද්ධයේ මංකොල්ලය බෙදා ගැනීමේ දී වඩාත් වාසිදායක කොටසක් ලබා ගැනීමට එක්සත් ජනපදය සමඟ තමන් පවත්වා ගෙන යන 'විශේෂ සම්බන්ධය' ඉවහල් වේයැයි ඔවුහු අපේක්ෂා කරති. කෙතෙක් අදිමදි කිරීම් සහිතව වුව රුසියාවට එරෙහි ඇමරිකානු යුද්ධයට එකඟවීම මගින් ප්‍රංශ අධිරාජ්‍යවාදීහු, අප්‍රිකාව තුල ප්‍රංශ මෙහෙයුම්වලට එක්සත් ජනපදය අත නොපොවනු ඇතැයි අපේක්ෂා කරති. නැටෝවේ වඩාත් අඩු බලයක් ඇති රටවල් පවා එජ නායකත්වයෙන් යුත් යුද්ධය තමන් විසින් අනුමත කරනු ලැබීම සඳහා ප්‍රති දීමනා ලැබෙතැයි අපේක්ෂා කරති. උදාහරනයක් ලෙස පෝලන්තයට, ල්විව් යනු එක් කලෙක ල්වොව් නම් පෝලන්ත නගරය වූ බව අමතක වී නැත.

ස්වෛරී ජාතියක් ලෙස ඉදින් යුක්‍රේනය නැටෝවට එක්වීම තෝරා ගන්නේ නම් එසේ කිරීමට ඔවුන්ට ඇති ශුද්ධ වූ අයිතිය පිලිබඳ එක්සත් ජනපදයේ ආයාචනය සම්බන්ධයෙන් කියන්නේ නම්, තම ජාතික ආරක්ෂාව සම්බන්ධ උත්සුකයන් ඇමරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස දකිනු ලබන කවර හෝ රටක් සඳහා එම අයිතිය අදාල වන බවක් වොෂින්ටනය පිලි ගන්නේ නැත. යුක්‍රේනය තුල අර්බුදය දිග හැරෙමින් පවත්නා අවස්ථාවේ පවා, ඇමරිකාවේ බටහිර වෙරල තීරයට සැතපුම් 6,000 ක් ඔබ්බේ පවත්නා සොලොමන් දූපත් චීනය සමඟ ආරක්ෂක සම්බන්ධතාවයකට එලඹීම නැවැත්වීමට යුදමය ක්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජනපදය තර්ජනය කරමින් සිටී.

තමන්ගේ නැති වූ 'සෝවියට් අධිරාජ්‍යය' ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුනින්, ආක්‍රමනශීලී රුසියාවක් දේශපාලනිකව නිර්දෝෂී යුක්‍රේනයකට එරෙහිව 'කුපිත කිරීම් කිසිවකින් තොරව' දියත් කල ආක්‍රමනයකට නැටෝව ප්‍රතිචාර දක්වමින් සිටින්නේය යන කියාපෑම් වූ කලී හුදු ගජබින්න ඇද බෑමකි. යුද්ධය පිලිබඳ වෛෂයික අධ්‍යයනයක් මඟින්, 2022 පෙබරවාරි 24 දින සිදු කල රුසියාවේ ආක්‍රමනය නැටෝවේ නිර්දය ප්‍රසාරනයට දැක්වූ මංමුලා සහගත ප්‍රතිචාරයක් බව පැහැදිලිව පෙන්වා දෙනු ලැබෙනු ඇත. පසුගිය මාස දෙක තුල යුද්ධයේ වර්ධනය විසින් පැහැදිලිව පෙන්නුම් කරනු ලැබ ඇත්තේ, එක්සත් ජනපදය හා නැටෝව, අසොව් බලකායේ නව-නාසිවාදී කොටස් සමඟ සමීපව කටයුතු කරමින්, රුසියාවට එරෙහිව වක්‍ර යුද්ධයක් පවත්වා ගෙන යාම සඳහා යුක්‍රේන හමුදා සන්නද්ධ කර පුහුනු කල බවයි.

නැටෝවේ රුසියාවට එරෙහි දැවැන්ත බලමුලු ගැන්වීම, ආක්‍රමනයට එරෙහිව සිදු කල කල්තබා නොදුටු, සැලසුම් නොකල හා ක්ෂනිකව නිර්මානය වූ ප්‍රතිචාරයකැයි හැඟවීමට තැත් කිරීම, දේශපාලන අඳ බාලයන් සඳහා ප්‍රබන්ධ කරන ලද සුරංගනා කතාවකි. මෙය වූ කලී, එක්සත් ජනපදයට හා නැටෝවට අවශ්‍ය වූ, ඔවුන් විසින් සැලසුම් කරන ලද, සූදානම් කරන ලද හා කුපිත කරවන ලද යුද්ධයකි. 2004-2005 කාලයේ මුල් 'තැඹිලි වර්න විප්ලවයේ' සිට, සහ විශේෂයෙන් 2014 දී රුසියානු හිතවාදී යනුකොවිච් ආන්ඩුව බිඳ දැමීමට ඔබාමා පාලනය විසින් සංවිධානය කරන ලද මේඩ්න් කුමන්ත්‍රනයේ සිට, එක්සත් ජනපදය රුසියාව සමඟ යුද්ධය සඳහා ගමන් මඟක් සකසමින් සිට ඇත.

එක්සත් ජනපදය හා නැටෝව යුද්ධය සඳහා සැලසුම් කලේ හෝ එය කුපිත කලේ හෝ නැතැයි යන නරුම කියාපෑම ජාත්‍යන්තර කමිටුව විසින් නැවත නැවතත් කරන ලද අනතුරු හැඟවීම් මගින් වඩාත්ම බලගතු ආකාරයෙන් ප්‍රතික්ෂේප කෙරේ. 2014 දී ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සංවිධානය කල ප්‍රථම ඔන්ලයින් මැයි දින රැලියේ දී, එනම්, මේඩ්න් කුමන්ත්‍රනයෙන් යන්තම් මාස කිහිපයකට පසුව, අපි මෙසේ අනතුරු හැඟවීමු: 'යුක්‍රේන අර්බුදය කීව්හි කුමන්ත්‍රනයක් මෙහෙයවීම හරහා එක්සත් ජනපදය හා ජර්මනිය විසින් හිතාමතා අවුලුවන ලද්දකි. මෙම කුමන්ත්‍රනයේ අරමුන වූයේ, යුක්‍රේනය එජ හා ජර්මානු අධිරාජ්‍යවාද ඍජු පාලනය යටතේ ස්ථානගත කරන තන්ත්‍රයක් බලයට ගෙන ඒමයි. මෙම කුමන්ත්‍රනය රුසියාව සමඟ ගැටුමක් කරා මඟ හෙලි කරනු ඇති බව වොෂින්ටනයේ හා බර්ලිනයේ කුමන්ත්‍රනකරුවෝ වටහා ගෙන සිටියෝය. සත්තකින්ම, ගැටුමක් මඟ හරවා ගැනීම සඳහා යත්න දැරීමට බෙහෙවින් පටහැනි ලෙස, සිය දිගදුර යන භූ දේශපාලන උත්සුකයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රුසියාව සමඟ ගැටුමක් අවශ්‍යයැයි ජර්මනිය හා එක්සත් ජනපදය යන රාජ්‍ය දෙකම විශ්වාස කරති.'

අදින් හරියටම හය වසරකට පෙර, 2016 මැයි දින රැලියේ දී, ලෝක ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපදයේ ප්‍රයත්නය, එය රුසියාව හා චීනය සමඟ යුද්ධයක් කරා වූ මාවතක පිහිටුවන බවට අපි අනතුරු හැඟවීමු. අපි මෙසේ කීවෙමු:

චීනය මූලෝපායික ලෙස හුදෙකලා කිරීම සඳහා අවශ්‍ය කෙරෙන්නේ, හුදෙක් ආසියානු-පැසිෆික් හා ඉන්දියානු සාගර කලාපවල ඇමරිකානු පාලනය පමනක් නොවන බව පෙන්ටගනයේ හා සීඅයිඒ සංවිධානයේ මූලෝපායඥයන්ගෙන් සැලකිය යුතු කොටසක් විශ්වාස කරති. ජාත්‍යන්තර භූ දේශපාලනය සම්බන්ධ පාඨ ග්‍රන්ථවල 'ලෝක දිවයින' ලෙස ලක්ෂනනය කෙරෙන යුරේසියාවේ ද එක්සත් ජනපදය ආධිපත්‍යය දැරිය යුතුය. එක්සත් ජනපදය හා රුසියාව අතර වැඩෙන ගැටුමට යටින් දිවෙන මූලෝපායික අරමුන වන්නේ එයයි.

ජාත්‍යන්තර සබඳතා, ඉදින් 1930 ගනන්වල අග භාගයේ දෙවැනි ලෝක යුද්ධය අද්දර දී ඒවා පැවැති ආතතික මට්ටම් දැනටමත් ඉක්මවා නැත්නම්, ඊට සමාන හෝ ආතතික මට්ටමකට ලඟා වී ඇත. ජර්මනිය හා ජපානය ද ඇතුලත් ව සියලු ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්හු සිය යුදමය කැපවීම් ඉහල නංවමින් සිටිති. එක්සත් ජනපදය, චීනය හා රුසියාව අතර ගැටුමක් න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම දක්වා පරිවර්තනය විය හැකිය යන්න දැනටමත් ඒත්තු ගැනෙමින් පවතියි. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ දේශපාලන හා මිලිටරි නායකයන් වේවා, බීජිංහි හා මොස්කව්හි ඔවුන්ගේ බියපත් ප්‍රතිමල්ලවයන් වේවා, කිසි දා න්‍යෂ්ටික යුද්ධයේ සර්ව-විනාශක ප්‍රතිවිපාකවල අවදානම ගනු නැතැයි උපකල්පනය කිරීම බරපතලම දෝෂයක් වනු ඇත.

එක් වසරක ඇවෑමෙන් 2017 මැයි දින රැලියේ දී අපි, අනාගත මිලිටරි ගැටුමක දී න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමේ ශක්‍යතාවය පිලිබඳව එජ මූලෝපායඥයන් අතර පැවැත්වූ සාකච්ඡා කෙරේ අවධානය කැඳවීමු. (එහිදී සාකච්ඡාවට බඳුන් වූ) අත්‍යවශ්‍ය ලෙස න්‍යෂ්ටික ආයුධ භාවිතයට තුඩු දෙන්නා වූ විවිධ මූලෝපායය අපි උපුටා දැක්වීමු. 1) න්‍යෂ්ටික නොවන ප්‍රතිමල්ලවයෙකුට එරෙහිව න්‍යෂ්ටික බලය යොදා ගැනීම. 2) පෙරලා පහරට පහර දීමට සතුරු රටට ඇති හැකියාව මුලිනුපුටා දැමීම අරමුනු කර ගත් ප්‍රථම ප්‍රහාරයක්; 3) විරුද්ධවාදියෙකුට පසුබැසීමට බල කෙරෙන පරිදි, න්‍යෂ්ටික යුද්ධායුධ භාවිතා කිරීමට තර්ජනය කිරීම; 4) සීමිත න්‍යෂ්ටික යුද්ධයක් දියත් කිරීම. අපි මෙසේ ඇසීමු:

මෙම මූලෝපායය සැකසූ උන්මත්තකයෝ කවරහු ද? මෙම මූලෝපායයන්ගෙන් එකකුදු සලකා බැලීමට ඇති කැමැත්ත පවා, උන්මත්තකභාවයේ සලකුනක් වෙයි. න්‍යෂ්ටික ආයුධ භාවිතය අසංඛේය ප්‍රතිවිපාක දන්වනු ඇත. මෙම කරුන, පාලක පන්තීන් යුද්ධය කරා පිවිසීමට බාධාවක් වනු ඇති ද? විසිවන සියවසේ සමස්ත ඉතිහාසය, විශේෂයෙන් ම විසි එක් වන සියවසේ මුල් 17 වසරේ අත්දැකීම් තර්ක කරන්නේ එවැනි අපේක්ෂා සහගත උපකල්පනයකට එරෙහිව ය. කම්කරු පන්තියේ දේශපාලන මූලෝපායය පදනම් විය යුත්තේ යථාර්ථය මත විනා ස්වයං-මුලාකාරී අපේක්ෂාවන් මත නොවේ.

තවත් එකම එක උපුටා දැක්වීමක්: එක්සත් ජනපදය තුල උත්සන්න වෙමින් පැවැති දේශපාලන අර්බුදයේ තතු යටතේ 2019 මැයි දින රැලියේ දී අපි මෙසේ කීවෙමු:

දේශීය පිලිවෙත තුල ව්‍යවස්ථානුකූල ප්‍රතිමානයන් උල්ලංඝනය කිරීම ද, විදේශ පිලිවෙත තුල මැර ක්‍රමවේදයන් යොදා ගැනීම ද අවසාන විග්‍රහයේ දී මුල් බැස ඇත්තේ ධනේශ්වර ක්‍රමයේ අර්බුදය තුල ය. යුරෝපයේ හා ආසියාවේ ප්‍රතිවාදීන්ගේ භූ දේශපාලනික හා ආර්ථික අභියෝග හමුවේ ස්වකීය ගෝලීය ආධිපත්‍යයික ස්ථානය රැක ගැනීම සඳහා එක්සත් ජනපදය දරන මංමුලා සහගත ප්‍රයත්නයන්ට, නොනවතින හා උත්සන්න වෙමින් පවත්නා යුදමය තත්ත්වයක් පැවතීම අවශ්‍යය.

මෙම සාහසික ප්‍රතිපත්තිය ට්‍රම්ප් ඇතිව හෝ ඔහු නොමැතිව හෝ පවතිනු ඇත. සත්තකින්ම, ඩිමොක්‍රටික් පක්ෂය යලිත් ධවල මන්දිරය සියතට ගැනීමට සමත් වුවහොත් ලෝක යුද්ධයක අන්තරායය වඩාත් වැඩිවීමට ඉඩ ඇතැයි යන සැකය, එම පක්ෂය ග්‍රහනයට ගෙන සිටින රුසියානු-විරෝධී සන්නිය විසින් යුක්තියුක්ත කෙරෙයි.

සිදුවීම් විසින් අපේ අනතුරු හැඟවීම් සනාථ කරනු ලැබ ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයේ බිහිසුනු තර්කනයේ දිග හැරීම හා එහි ප්‍රතිවිපාක නැවැත්වීමට ධනේශ්වර ක්‍රමයට එරෙහි කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයට හැර අන් කවරෙකුට හෝ නොහැක. එජ-නැටෝ අධිරාජ්‍යවාදය පිලිබඳ අපේ හෙලාදැකීම පමනක් නොව, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම පිලිබඳ අපේ ආකල්පය ද යටින් පවතින්නේ මෙම ඉදිරි දර්ශනයයි.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ ආස්ථානයෙන් සැලකු කල, නැටෝව සිදුකරමින් සිටින යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවය විසින්, යුක්‍රේනය ආක්‍රමනය කිරීමට රුසියාව ගත් තීරනය සාධාරනීකරනය නොකෙරේ. ජාත්‍යන්තර කමිටුව එම ආක්‍රමනය දේශපාලන ප්‍රතිගාමීත්වය ලෙස හෙලා දකී. ආක්‍රමනය සඳහා පුටින් ආන්ඩුව ගත් තීරනය, දූෂිත කීව් ආන්ඩුවේ පිලිවෙත්වලට කිසියම් හෝ අයුරකින් වගකිව යුතු නැති නිර්දෝෂී යුක්‍රේනියානුවන් දහස් ගනනක් මරා දමා හෝ තුවාල සිදු කොට, රුසියානු හා යුක්‍රේනියානු කම්කරු පන්ති බෙදා වෙන් කොට, වොෂින්ටන් ඩී.සී.හි හා (සීඅයිඒ මූලස්ථානය පිහිටි) වර්ජිනියාවේ ලැන්ග්ලිහි අධිරාජ්‍යවාදී මූලෝපායයඥයන්ගේ අතට වාසිය ලබා දී ඇත. තව ද එය, දැවැන්ත ලෙස යලි සන්නද්ධ වීමේ අවස්ථාව ජර්මානු අධිරාජ්‍යවාදයට ලබා දී ඇත.

දැන් රුසියාව පොරබදන අන්තරායයන්, අවසාන විග්‍රහයේ දී, 1991 දී ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසුරුවා හැරීමේ හා එහි ධනවාදය පුනස්ථාපනය කිරීමේ ප්‍රතිවිපාක වේ. 1917 ඔක්තෝබර් විප්ලවයට මඟ පෙන්වූ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලධර්ම ස්ටැලින්වාදීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ ප්‍රතිඵලය වූ සෝවියට් සංගමයේ විනාශය පදනම් වූයේ, සෝවියට් නිලධරය විසින් දැඩි උද්‍යෝගයෙන් වැලඳ ගෙන සිටි විනාශකාරී ලෙස සදොස් සංකල්ප තුනක් මතය.

ඉන් ප්‍රථම එක වූයේ ධනේශ්වර ක්‍රමය ප්‍රතිස්ථාපනය කිරීම රුසියාව තුල ශීඝ්‍ර සශ්‍රීකත්වයකට හේතුභූත වනු ඇත යන්නයි. දෙවැන්න නම්, නිලධරවාදී තන්ත්‍රය විසුරුවා හැරීම මඟින් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය සුපුෂ්පිත වනු ඇතැයි සිතීමයි. තෙවැන්න, ධනේශ්වර රුසියාව සිය විප්ලවවාදී උරුමය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය ලෙස ජාතීන්ගේ ප්‍රමෝදමත් සහෝදරත්වයක් තුලට සාමකාමී ලෙස සමෝධානය වීමට ඔවුන්ට හැකිවනු ඇති බවයි. මෙම මායාකාරී අපේක්ෂාවන් යථාර්ථය විසින් සුනුවිසුනු කරනු ලැබ ඇත.

පාවා දුන් විප්ලවය (The Revolution Betrayed) නම් සිය 1936 ග්‍රන්ථය තුල ට්‍රොට්ස්කි දීප්තිමත් ලෙස විස්තාරනය කල අනතුරු හැඟවීම් සනාථ වී ඇත. ධනේශ්වර පුනස්ථාපනයේ ප්‍රතිඵල වී ඇත්තේ, රුසියානු ජනගහනයේ විශාල කොටස් දරිද්‍රතාවයේ පතුලටම වැටීම, නිලධාරීවාදී තන්ත්‍රය ඒකාධිපති කතිපයාධිපත්‍යයික පාලනයකින් විස්ථාපනය වීම හා රුසියාව අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පාලනය කෙරෙන අර්ධ යටත්විජිත කැබැලිති රාජ්‍ය සමූහයක් බවට බිඳ දැමීමේ සමීපස්ථ තර්ජනයයි.

රුසියාව පොර බදමින් සිටින අන්තරායයන්ට පිලිතුරු ලෙස යුක්‍රේනය ආක්‍රමනය කිරීමෙන්, හා දැන් නැටෝවේ ප්‍රකෝපකරනයන්ට න්‍යෂ්ටික අවි වලින් ප්‍රතිචාර දක්වන බවට තර්ජනය කිරීමෙන් ද ඔබ්බෙහි වූ පිලිතුරක් සොයා ගැනීමට පුටින් තන්ත්‍රයට නොහැකි වීම යන කරුනම, ධනේශ්වර පුනස්ථාපනයේ තන්ත්‍රයෙහි දේශපාලන බංකොලොත් භාවයට සාක්ෂ්‍ය දරයි. කම්කරු රාජ්‍යයේ ජනසතු දේපල ක්‍රමානුකූලව කොල්ලකෑමෙන් සිය ධනය රැස් කර ගත් රුසියානු ධනේශ්වර කතිපයාධිපත්‍යය සෝවියට් සංගමයේ සමාජ හා දේශපාලන පදනම්වල පැවැති ප්‍රගතිශීලී වූ සියල්ල ප්‍රතික්ෂේප කලෝය.

1917 දී පෙරලා දැමීමට පූර්වයෙන් සාර්වාදී තන්ත්‍රය විසින් කෲර ලෙස මර්දනය කරන ලද ජාතීන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට බෝල්ෂෙවික් තන්ත්‍රය ක්‍රියාකිරීම 2022 පෙබරවාරි 21 වන දින පැවැත්වූ සිය දේශනය තුල පුටින් නිශ්චිත ලෙස හා කර්කශ ලෙස හෙලා දුටුවේ අහම්බයකින් වීමට කිසිදු ඉඩක් නැත. සෝවියට් යුක්‍රේනයක් නිර්මානය වීම 'බෝල්ෂෙවික් පිලීවෙතේ ප්‍රතිඵලයක්' බවත්, 'එය 'ව්ලැඩිමීර් ලෙනින්ගේ යුක්‍රේනය' ලෙස නියමාකාරයෙන් හැඳින්විය හැකි' බවත් සඳහන් කල ඔහු, 'ලෙනින් එහි නිර්මාපකයා හා සැලසුම්කරුවා වීයැ'යි සඳහන් කලේය.

ව්ලැඩිමීර් ලෙනින්

ඔව්, ලෙනින් සෝවියට් යුක්‍රේනයේ නිර්මාපකයා විය. පීඩිත ජාතීන්ගේ, හා විශේෂයෙන් යුක්‍රේනයේ, අයිතිවාසිකම් බෝල්ෂෙවික්වරුන් විසින් ආරක්ෂා කරනු ලැබීම, ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිතිව පැවැති සිවිල් යුද්ධයේ දී ට්‍රොට්ස්කි නායකත්වය දුන් රතු හමුදාවේ ජයග්‍රහනයේ ප්‍රමුඛ සාධකයක් විය. සෝවියට් සංගමයේ නිලධරවාදී පරිහානි ක්‍රියාවලිය එහි මුල්ම ප්‍රකාශනය අත්පත් කර ගත්තේ රුසියානු-නොවන ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ ලෙනින්ගේ පිලිවෙතට යටින් වල කැපීම ලෙස බව සඳහන් කිරීම මඟහැර යාමට පුටින් ප්‍රවේශම් විය.

යුක්‍රේනය සම්බන්ධ තීරනාත්මක විෂයය විශේෂයෙන්ම ආමන්ත්‍රනය කල, 1919 දී ට්‍රොට්ස්කි විසින් කෙටුම්පත් කෙරුනු ලේඛනයක මෙම මූලධර්ම වඩාත්ම ව්‍යක්ත ලෙස විස්තාරනය කර තිබින. ප්‍රතිගාමී ධනපති ජාතිකවාදීන්ට කිසිදු සහනයක් ලබා නොදෙමින්ම ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: 'යුක්‍රේනියානු සංස්කෘතිය ... ශතවර්ෂ ගනනාවක් මුලුල්ලේ සාර්වාදය විසින් හා සූරාකන පන්තීන් විසින් මර්දනය කරනු ලැබ පැවතියේය යන කරුන සැලකිල්ලට ගනිමින්, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, යුක්‍රේනියානු භාෂාවේ හා සංස්කෘතියේ නිදහස් වර්ධනයට ඇති සියලු බාධක ඉවත් කිරීම සඳහා සෑම ආකාරයකින්ම ආධාර කිරීම සියලු පක්ෂ සාමාජිකයන්ට අනිවාර්ය වගකීමක් බවට පත් කරයි.'

සමාජවාදයේ හා ඔක්තෝබර් විප්ලවයේ උරුමයෙහි කර්කශ සතුරෙකු වන පුටින්, යුක්‍රේන කම්කරු පන්තියට කවර ආකාරයක හෝ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රගතිශීලී ආයාචනයක් කිරීමෙහි ලා අසමත් ය. ඒ වෙනුවට ඔහු කැඳවා සිටින්නේ සාර්වාදයේ හා ස්ටැලින්වාදී මහා රුසියානු ස්වෝත්තමවාදයේ ප්‍රතිගාමී උරුමයයි.

පුටින්ගේ යුක්‍රේන ආක්‍රමනයට හතරවැනි ජාත්‍යන්තරයේ විරුද්ධත්වය පදනම් වන්නේ ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් අනුයන ලද පිලිවෙත් ආරක්ෂා කිරීම මතය. එහෙත් එම පිලිවෙත් ආරක්ෂා කිරීම සඳහා එජ හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ ප්‍රතිගාමී කූටෝපායයන්ට නිර්දය විරුද්ධත්වයක් දැක්වීම අවශ්‍ය කෙරේ.

ආසන්නයේ පවතින න්‍යෂ්ටික තුන්වැනි ලෝක යුද්ධයක අන්තරාය වූ කලී, සෝවියට් සංගමය විසුරුවා හැරීම පසුපස ආ සමාජ-ආර්ථික හා දේශපාලන ප්‍රතිගාමීත්වයේ ද, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ ද ගෝලීය රල වේගයෙහි කුලු ගැන්වීමයි.

පසුගිය සතියේ කීව්හි මාවත් දිගේ ඇවිද යන අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් අපේක්ෂා භංගත්වයේ තානයකින් නිවේදනය කලේ, 21 වන සියවසේ යුද්ධය යනු 'අභූතයක්' බවයි. ගුටෙරස් මහතාට මෙම දාර්ශනික අන්තර්ඥානය පහල වූයේ යුක්‍රේනයේ සංචාරය කිරීමෙන් පසුව පමනක් නම්, පසුගිය 22 වසර තුල ඔහු සැඟවී සිටියේ කොහේදැයි යමෙකු මවිත වනු ඇත. තවමත් තුරුනු මේ සියවස මෙතෙක් කලකට මොහොතක සාමයක් හෝ ලබා නැත. ඇත්තෙන්ම, පසුගිය තිස් වසර අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයේ අවසානයක් නැති හා පාලනය කල නොහැකි වියරුවට සාක්ෂ්‍ය දරයි. එම ප්‍රචන්ඩත්වය අවුලුවන ප්‍රමුඛයෝ ධවල මන්දිරයේ නිවැසියෝ වූහ.

ගුටෙරස්ගේ පරිකථනය, යුක්‍රේනයේ යුද්ධය ඊට පූර්වයෙන් සිදු වූ සියලු සිදුවීම්වලින් වෙන් කිරීම පිලිබඳ නිදර්ශනයක් සපයයි. පසුගිය දශක තුන තුල ඇමරිකානු හා නැටෝ යුද්ධ කිසිදා සිදු නොවූ සේ ය. යුක්‍රේනයේ ප්‍රචන්ඩත්වය හා ජීවිත විනාශය ජනමාධ්‍යවලින් ඉදිරිපත් කෙරෙන්නේ නූතන පූර්වාදර්ශයක් නැති සංත්‍රාසයක් ලෙස ය. කියා සිටින පරිදි, රුසියානුවන් විසින් සිදු කෙරෙන අපරාධ කෙතරම් ආන්තික ස්වභාවයේ ඒවා ද යත්, ඒවා සැසඳිය හැක්කේ නාසීන්ගේ කෲරකම් සමඟ පමනෙකි. යුක්‍රේනය ආක්‍රමනය කිරීම, යුද අපරාධ අධිකරනයක් පිහිටුවා ව්ලැඩිමීර් පුටින්ට නඩු පැවරීමට නොඅඩු පියවර අවශ්‍ය කෙරෙන, ජනඝාතක ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. පුටින් ඉවත් කිරීම - එනම්, රුසියාවේ ආන්ඩුව මාරු කිරීම - සඳහා ජනාධිපති බයිඩන් කර ඇති කැඳවීම සාධාරනීකරනය කිරීම සඳහා ඔහු ජනඝාතනය පිලිබඳ චෝදනාවේ පිලිසරන පතා ඇත.

එපමනක් නොව රුසියාවට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරය, රුසියානු ජනතාව සාපරාධීකරනය දක්වා දීර්ඝ කර ඇත. රුසියානු ලේඛකයින්, සංගීතඥයින්, මලල ක්‍රීඩකයින්, විද්‍යාඥයින් පමනක් නොව, රුසියානු සංස්කෘතියේ ලෝක ඓතිහාසික ජයග්‍රහන පවා සාමූහික දඬුවම් සඳහා ඉලක්ක කර ඇත. මෙම දරුනු ප්‍රහාරය එල්ල වී ඇත්තේ, රුසියාව කෙරෙහි අන්ධ වෛරය ප්‍රවර්ධනය කිරීමට හා පූර්න යුද්ධයක් සඳහා අවශ්‍ය උමතු පරිසරය නිර්මානය කිරීමට ය. මෙය ප්‍රචලිත ප්‍රචාරක උපක්‍රමයකි, එය එහි නූතන ස්වරූපයෙන් පලමු ලෝක යුද්ධයේ නිමැවුමකි. 1933 තරම් ඈත අතීතයේ ඉතිහාසඥ රොබට් හැස්වෙල් ලුට්ස් විසින් විස්තර කරන ලද පරිදි එහි අරමුන, 'අලුත් ආශාවන් ඇති කිරීම, කන්ඩායම් මෝහනය කිරීම, ප්‍රති ප්‍රචාරනය හුදෙකලා කිරීම, තෝරාගත් සහ පක්ෂග්‍රාහී තොරතුරුවලින් මහජනතාව තෘප්තිමත් කිරීම.”

මෙම ක්‍රමෝපායන් වැඩි වර්ධනය කිරීම එක්සත් ජනපදය තුල මුල්බැස ඇති අතර, එහි වඩාත්ම පුලුල් යොදාගැනීම, 2002-2003 දී බුෂ් පරිපාලනය විසින් ඉරාකය සතුව 'ජන ඝාතක අවි' ඇති බවට මුලුමනින්ම ගොතන ලද ප්‍රකාශයයි. 2003 දී කොලොම්බියා ජර්නලිසම් රිවීව් පැහැදිලි කල පරිදි, මෙම ව්‍යාපාරයේ සඵලතාවය බොහෝ දුරට රඳා පවතින්නේ, සදාම් හුසේන් විසින් ඇමරිකාවට එල්ල කරන ලද තර්ජනය පිලිබඳ සෑම වංචනික පරිපාලන ප්‍රකාශයක්ම අවිවේචනාත්මකව පුනරුච්චාරනය කල කීකරු ජන මාධ්‍යය මත ය.

රුසියානු හමුදාවට ආරෝපනය කරන ලද සියලුම නිශ්චිත අපරාධ සත්‍ය වූයේ වුව ද - තවමත්, බුචා හිංසනය පිලිබඳ චෝදනා විශ්වාස කල හැකි පරිදි සනාථ වී නොතිබුන ද - එක්සත් ජනපදය විසින් පසුගිය වසර 30 පුරා ගෙන ගිය යුද්ධවල දී සිදු කරන ලද ලේඛනගත අපරාධවල මානයන් වෙත ලඟා වීමටවත් පටන් ගන්නේ නැත.

එක්සත් ජනපදය 1991 සිට ඉරාකය, සෝමාලියාව, සර්බියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව සහ සුඩානය යන රටවලට බෝම්බ හෙලා හෝ ආක්‍රමනය කර ඇත. මෙය සම්පූර්න ලැයිස්තුවක් නොවන නමුත් මෙම ආක්‍රමනවල ප්‍රතිඵලයක් ලෙස මිලියන කිහිපයක ජනතාවක් මියගොස් ඇත.

'ජන සංහාරය' පිලිබඳ    ක්‍රියාවලිය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නින්දිත ඉලක්කවල අර්ථය සමඟ ඇමරිකානු මාධ්‍ය, වචනයේ සැබෑ අර්ථය බොඳ කරන සෙල්ලමක යෙදී සිටියි. එහෙත් එම වචනය භාවිතා කිරීමට අවශ්‍ය නම්, එය පසුගිය දශක තුනක කාලය පමනක් ගත්ත ද මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ ඇමරිකානු මැදිහත්වීම්වල ප්‍රතිවිපාකවලට යෙදිය හැකිය. බිඩන් පුටින් හෙලා දකින්නේ හේග්හි අධිකරනයට ඇද ගෙන යා යුතු යුද අපරාධකරුවෙකු ලෙස ය. සමහර විට එසේ විය හැකිය. නමුත් එක්සත් ජනපදය විසින් සිදු කරන ලද අපරාධ පිලිබඳ ලේඛනගත වාර්තාව මත පදනම්ව, පුටින් සමඟ එහි සිටිය යුතු බොහෝ ඇමරිකානු ජනාධිපතිවරු සහ ඉහල රාජ්‍ය නිලධාරීහු සිටිති.

රුසියාවට එරෙහි නේටෝවේ යුද්ධය යුක්‍රේනයට එරෙහි ප්‍රකෝප නොකල ආක්‍රමනයට ප්‍රතිචාරයක් යැයි පැවසීම එකම ප්‍රබන්ධය නොවේ. පසුගිය බ්‍රහස්පතින්දා ධවල මන්දිරයේදී ඔහුගේ නවතම ප්‍රකාශයන්හිදී බයිඩන් පැවසුවේ, “යුක්‍රේනයේ නිදහස සඳහා වන අරගලයට සහය දැක්වීම සඳහා” තවත් ඩොලර් බිලියන 33ක් වෙන් කරන ලෙස තමන් කොංග්‍රසයෙන් ඉල්ලා සිටි බවයි. නමුත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය 2020 වාර්තාවේ යුක්‍රේනයේ “නිදහසේ” තත්වය විස්තර කලේ මෙලෙස ය:

සැලකිය යුතු මානව හිමිකම් ගැටලු වලට නීති විරෝධී හෝ අත්තනෝමතික ඝාතනය; වධහිංසා පැමිනවීම සහ නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් විසින් රැඳවියන්ට කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත ලෙස සැලකීම හෝ බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල දරුනු සහ ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන්; අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම; අධිකරනයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න ඇතුලත් වේ.

වාර්තාවේ “බරපතල දූෂන ක්‍රියා; කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පිලිබඳ විමර්ශනය සහ වගවීම නොමැතිකම; ප්‍රචන්ඩත්වය හෝ ප්‍රචන්ඩත්වයේ තර්ජන යුදෙව්-විරෝධය විසින් පෙලඹවීම; ආබාධ සහිත පුද්ගලයින්, වාර්ගික සුලුතර කන්ඩායම්වල සාමාජිකයින් සහ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික හෝ අන්තර් ලිංගික පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ප්‍රචන්ඩත්වය හෝ ප්‍රචන්ඩත්වයේ තර්ජන සම්බන්ධ අපරාධ; සහ නරකම ආකාරයෙන් යොදා ගන්නා ලමා ශ්‍රමයේ පැවැත්ම”.

යුක්‍රේන ආන්ඩුව, 'අපයෝජනයන් සිදු කල බොහෝ නිලධාරීන්ට නඩු පැවරීමට හෝ දඬුවම් කිරීමට ප්‍රමානවත් පියවර ගැනීමට අපොහොසත් වූ අතර එහි ප්‍රතිපල වශයෙන් දන්ඩමුක්තියේ වාතාවරනයක් ඇති විය. මානව හිමිකම් කන්ඩායම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයේ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලදැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ විමර්ශනවල සැලකිය යුතු අඩුපාඩු සටහන් කර ඇත” යයි වාර්තාව පැමිනිලි කරයි.

යුක්‍රේන ආන්ඩුව කොමියුනිස්ට් පක්ෂය සහ තවත් බොහෝ දේශපාලන සංවිධාන තහනම් කර ඇති අතර රුසියානු භාෂාව භාවිතය මර්දනය කිරීමේ අරමුනින් නීති ද සම්මත කර ඇත.මෙම 'අඩුපාඩු' දැන් යුක්‍රේනයේ 'අත්දැකීම් අඩු ප්‍රජාතන්ත්‍රවාදය' සහ එහි ජනාධිපති වොලොඩිමියර් සෙලන්ස්කි උත්කර්ෂයට නංවන මාධ්‍ය විසින් තවදුරටත් වාර්තා නොකෙරේ. එහෙත් මෑතක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බටහිර බැංකු, යුක්‍රේනය මත දැඩි මූල්‍ය කප්පාදු වැඩපිලිවෙලක් පටවමින්, දූෂිත ආන්ඩුවක නායකයා ලෙස සෙලෙන්ස්කි දැඩි ලෙස හෙලා දුටුවේ ය. ප්‍රකෝටිපතියන් අතලොස්සකගේ පාලනයක් බව ප්‍රකට කරුනක් වුව ද රුසියානු කතිපයාධිකාරීන් හෙලාදැකීමේ දී සීමා රහිත බිඩෙන්, යුක්‍රේනයේ ඔවුන්ගේ සගයන් සම්බන්ධයෙන් ගෞරවනීය නිශ්ශබ්දතාවයක් පවත්වයි.

එහෙත් රුසියාවට එරෙහි යුද්ධයේ දී නේටෝව, කුලී වැයික්කියක් ලෙස යුක්‍රේනය භාවිතා කිරීම නීත්‍යානුකූල කිරීම සඳහා යොදා ගන්නා සියලු බොරු සහ ව්‍යාජ ආඛ්‍යාන අතුරින් වඩාත්ම ද්‍රෝහී සහ දේශපාලනික වශයෙන් හෙලිදරව්කාරී වන්නේ, දෙවන ලෝක සංග්‍රාමය අවධියේදී පෝලන්ත ජාතිකයන් සහ යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ යුක්‍රේනයේ ෆැසිස්ට් ජාතිකවාදයේ තුච්ඡ ඉතිහාසය වසන් කරන ඒවාය.

දෙවන ලෝක සංග්‍රාමයේදී යුක්‍රේන ජාතිකවාදීන්ගේ සංවිධානය (යුජාස) මෙහෙයවූ සමූහ මිනීමරුවා වූ ස්ටෙපාන් බන්ඩෙරා ලබ්ධික චරිතයක තත්ත්වයට ඔසවා තැබීම ගැන මාධ්‍ය නිහඬය. තැඹිලි පැහැ(ඔරේන්ජ්) විප්ලවයෙන් පසු වික්ටර් යුෂ්චෙන්කෝ ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ බන්ඩෙරා සහ යුජාස එහි සන්නද්ධ අංශය වන යුක්‍රේන කැරලිකාර හමුදාවේ සාමාජිකයින්, ජාතික වීරයන් ලෙස උත්කර්ෂයට නැංවීම ආරම්භ විය. 2014 න් පසු, ජනඝාතක ජාතිකවාදයේ මෙම ෆැසිස්ට් හා උමතු යුදෙව් විරෝධී වීරයන් හෑල්ලූවට ලක් කිරීම අපරාධයක් බවට පත් විය.

අන්ත දක්ෂිනාංශික පක්ෂවල ආධාරකරුවෝ, 2019 ජනවාරි 1 වන දින යුක්‍රේනයේ කියෙව්හි පැවති රැලියකදී විදුලි පන්දම් සහ ස්ටෙපාන් බන්ඩෙරාගේ රුව සහිත බැනරයක් රැගෙන යති. බැනරයේ ලියා ඇත්තේ ' කාලය පැමින ඇති අදහසක් කිසිවකට නැවැත්විය නොහැක ' යනුවෙනි. (AP ඒපී ඡායාරූපය/ එෆ්‍රම් ලූකාට්ස්කි ) [AP Photo/Efrem Lukatsky]

අසෝව් බලඇනියේ වඩාත්ම කුප්‍රකට අංඟය වන, වර්තමාන යුක්‍රේන හමුදාවේ සන්නද්ධ ෆැසිස්ට් ඒකක නීත්‍යානුකූල කිරීම සඳහා අත්‍යවශ්‍ය දෘෂ්ටිවාදී පදනම ලෙස ඉතිහාසය මුසාකරනය කිරීම සේවය කරයි. 2014 සිට ජීවිත 14,000කට වඩා බිලිගත් නැගෙනහිර යුක්‍රේනයේ ලේ වැකි සිවිල් යුද්ධයේ දී, ඇසොව් බලඇනිය ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත. එහි බලපෑම යුක්‍රේනයට පමනක් සීමාවී නැත. ඇසොව්හි ක්‍රියාකාරකම් අධ්‍යයනය කල එක් විශේෂඥයෙකු විසින් පැහැදිලි කරන ලද පරිදි, “එය ලොව පුරා අනෙකුත් අන්ත දක්ෂිනාංශික ව්‍යාපාර සඳහා ආදර්ශයක් සහ ආශ්වාදයක් ලෙස සේවය කර ඇති සහ දිගටම සේවය කරන ව්‍යාපාරයකි. ප්‍රචන්ඩත්වය වැලඳ ගැනීම පිලිබඳ එහි දෙපිටකාට්ටු සහ වඩ වඩාත් බලගතු අන්තර් ජාතික අන්ත දක්ෂිනාංශයක කොටසක් වීමේ එහි අභිලාෂයන්, එය යුක්‍රේනයේ දේශසීමාවෙන් ඔබ්බට ද තර්ජනයක් බවට පත් කරයි”.

එවැනි ප්‍රතිගාමී බලවේග සමග සන්ධානගතව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි නේටෝ සහචරයින් ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයක අද්දරට ගෙන යමින් සිටිති. බයිඩන් පරිපාලනය ක්‍රියා කරන්නේ සාපරාධී උමතු හැසිරීම් වලට තුඩු දෙන නොසැලකිලිමත් මට්ටමකිනි. සීතල යුද්ධය පුරාවට එක්සත් ජනපදය හා සෝවියට් සංගමය අතර සන්නද්ධ ගැටුමක් විනාශකාරී න්‍යෂ්ටික ගැටුමක් දක්වා වැඩී යාමේ හැකියාවෙන් යුක්ත බවත්, එබැවින් එය වැලැක්විය යුතු බවත් අවිවාදිත සත්‍යයක් ලෙස පිලි ගැනුනි. 1962 කියුබානු මිසයිල අර්බුදය අතරතුර, ජනාධිපති කෙනඩිට පැවති ඉමහත් බිය වූයේ, වොෂින්ටනයේ සහ මොස්කව්හි නායකයින් විසින් විරුද්ධවාදියාගේ අභිප්‍රාය වැරදි ලෙස කියවීම න්‍යෂ්ටික යුද්ධයකට තුඩු දිය හැකි බවයි. බයිඩන් පරිපාලනය, ලන්ඩනයේ සහ බර්ලිනයේ එහි සගයන් ගැන සඳහන් නොකලත්, එම අනතුර ගැන මුලුමනින්ම නොතකා හැර ඇති බවක් පෙනෙන්නට තිබේ.

බයිඩන් විසින් ඉදිරිපත්කර ඇති අදහස් පැහැදිලි පරස්පරතා වලින් යුක්තය. එක්සත් ජනපදය සහ රුසියාව අතර මිලිටරි ගැටුමක් තුන්වන ලෝක යුද්ධයට තුඩු දිය හැකි බව බයිඩන් ප්‍රකාශ කලේ සති කිහිපයකට පෙරය. නමුත් දැන් ඔහු යුක්‍රේනයට ආයුධ යවමින් සෘජු ගැටුම් ඇතිවීමේ සම්භාවිතාව වැඩි කරයි. රුසියානු සොල්දාදුවන්ට එරෙහිව භාවිතා කිරීම සඳහා යුක්‍රේනයට මාරක ආයුධ සපයන රටවලට සෘජුවම පහර දීමට දේශපාලන හා මිලිටරි සලකා බැලීම් මත පදනම්ව පුටින්ට බලකෙරෙන තත්වයක් ගැන සිතීම අපහසු නැත. රුසියාව නේටෝ රටකට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ නම් සහ සිදුවිය හැකි පරිද්දෙන්, එම ක්‍රියාවලියේදී ඇමරිකානු හමුදාවන්ට පහර දෙන්නේ නම්, බයිඩන් පරිපාලනය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

එක් අතකින්, න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිලිබඳ පුටින්ගේ තර්ජන හුදු මංමුලා සහගත ප්‍රකාශනයක් ලෙස බයිඩන්බැහැර කරයි. නමුත් එය හරියටම න්‍යෂ්ටික අවි අතට ගැනීමේ අනතුර වැඩි කරන මංමුලා සහගත හැඟීමකි. කෙසේ වෙතත් බයිඩන්, මෙයින් කනස්සල්ලට පත් නොවන බව පෙනේ. එක්සත් ජනපදය සමඟ යුද්ධයක යෙදී සිටින බවට පුටින්ගේ විශ්වාසය මත ක්‍රියා කල හැකි යයි ඔහු කනස්සල්ලට පත්වන්නේ දැයි ඔහුගෙන් කෙලින්ම ඇසූ විට, “ඔවුන් කරන ඕනෑම දෙයකට අපි සූදානම්” යන පිලිතුරෙන් බයිඩන් ප්‍රශ්නය මඟ හැරියේය.

මෙයින් අදහස් කල හැක්කේ, නේටෝව සහ රුසියාව අතර යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වැඩී යාමේ හැකියාව ඇති බව එක්සත් ජනපදය පිලිගන්නා බව පමනි. එහෙත් බයිඩන් හෝ නේටෝ රටවල වෙනත් නායකයෙකු මෙම අනතුර පැහැදිලිව පිලිගෙන හෝ න්‍යෂ්ටික යුද්ධයක ප්‍රතිවිපාක මොනවාදැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත.

රුසියාවට එරෙහි ඇමරිකානු-නේටෝ යුද්ධයේ විභව විනාශකාරී ප්‍රතිවිපාක හිතාමතාම වසන් කිරීම, ඓතිහාසික වශයෙන් අතිදැවැන්ත අපරාධයකි.

යුද්ධයේ අන්තරාය අවතක්සේරු කිරීමට නැතිනම් නොසලකා හැරීමට සාමාන්‍ය නැඹුරුවක් ඇත. න්‍යෂ්ටික යුද්ධයේ ප්‍රතිවිපාක ඉතා බිහිසුනු බැවින්, එය සිදුවීමට ඉඩ දෙන්නේ උමතු වූවන් පමනක් බව බොහෝ අය උපකල්පනය කරති. 'හේතුව' අවසානයේ පැවතිය යුතුය.

එහෙත් 20 වැනි සියවසේ සහ 21 වැනි පලමු දශක දෙකේ සමස්ත ඉතිහාසයම, එවැනි ස්වයං සහතික වීමේ උදාසීනත්වයට එරෙහිව සාක්ෂි දරයි. මිලියන ගනනක් වින්දිතයින් සමඟ පලමු හා දෙවන ලෝක යුද්ධ සිදු විය. යුද්ධය පුපුරා යාම පුද්ගලයන්ගේ උමතු භාවයේ නිෂ්පාදනයක් නොව, ධනවාදයේ මාරාන්තික ප්‍රතිවිරෝධතාවල ප්‍රතිඵලයකි.

21 වැනි සියවසේ යුද්ධය විකාරයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් පවසයි. එහෙත් මෙම “විකාර” වෙනත් “විකාර” රාශියකට නොබිඳිය හැකි ලෙස බැඳී ඇත: පන්ති සමාජයේ විකාර, නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික හිමිකාරිත්වයේ විකාර සහගත බව, බිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවයෙන් ද සාගින්නෙන් ද පෙලෙන අතර, ලෝක ජනගහනයෙන් සුලු ප්‍රතිශතයක් තුල අදහාගත නොහැකි ධනය සංකේන්ද්‍රනය වීමේ විකාර සහගත බව, ග්‍රහලෝකයේ පරිසරය ක්‍රමානුකූලව විනාශ කිරීමේ විකාරය සහ සියල්ලටම වඩා ලොකුම විකාරය: මනුෂ්‍යත්වය ගෝත්‍රික වශයෙන් ජාතික රාජ්‍යවලට බෙදීමත්, සමාජය පාලනය කරන ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරයේ ඕනෑ එපාකම් සඳහා නිමක් නැති හා අනවශ්‍ය ගැටුම් අවුලුවාලීම සඳහා පමනක් සේවය කිරීමත් ය ඒ.

ආසන්න වශයෙන් මිලියන 20ක ජීවිත බිලිගත් SARS-CoV-2 වෛරසය තුරන් කිරීම සඳහා ලෝකයේ බලවත්ම ආන්ඩු, සුප්‍රසිද්ධ සහ අවශ්‍ය මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කිරීම හා තමන් විශ්වාස කරන්නේ, වසංගතයට විසඳුම නොසලකා හැරීම යයි සැලකීම සරලවම “විකාරයක්” නොවේද?

නමුත් වසංගතයට විනාශකාරී ප්‍රතිචාරය දැක්වීමට නායකත්වය දුන් එම නායකයෝම දැන්, තුන්වන ලෝක යුද්ධයට තුඩු දෙන තීරන ගනිමින් සිටිති.

ජනාධිපති බයිඩන්, අගමැති ජොන්සන්, ජනාධිපති මැක්‍රොන්, චාන්සලර් ෂෝල්ස් සහ ඒ පිලිබඳව ගත් කල ජනාධිපති පුටින්, ඔවුන්ගේ පෞද්ගලික සාකච්ඡාවලදී, ලෝක යුද්ධයක් සමාජ ව්‍යසනයකට තුඩු දෙන බව    පිලිගනිති. නමුත් 20 වන සියවසේදී, පලමු හා දෙවන ලෝක යුද්ධවලට තම රටවල් ඇද දැමූ අය ද ගෝලීය ගැටුමේ ප්‍රතිවිපාක ගැන බිය වූහ. තම ක්‍රියාවන් විපත්තියකට තුඩු දිය හැකි බව හිට්ලර් පවා තේරුම් ගෙන සිටියේ ය. නමුත් එය ඔවුන් නතර කලේ නැත. අවසානයේදී ඔවුන් නිගමනය කලේ, යුද්ධයේ මාර්ගයෙන් පමනක්ම , විසඳිය නොහැකි දේශපාලන හා සමාජ ආර්ථික අර්බුදවලින් මිදීමට හැකි බව ය.

අද පවතින තත්ත්වය මෙයයි. ලෝක ධනේශ්වර ක්‍රමය සංකීර්න, සාමකාමී විසඳුම් නොමැති, සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිවිරෝධතා වලින් පීඩාවට පත්ව ඇත. එහි අධිපතිවාදී ගෝලීය තත්වය අහිමි වීම, එහි ආර්ථිකයේ අසීමිත පරිහානිය සහ දේශීය දේශපාලන ආයතනවල සහ සමාජ සමතුලිතතාවයේ දුරදිග ගිය බිඳවැටීමකට සමගාමීව එක්සත් ජනපදය, ලෝක ධනේශ්වර සුලි කුනාටුවෙහි පුපුරන සුලු කේන්ද්‍රස්ථානය ලෙස ඊට මුහුන දෙයි.

ආර්ථීක කඩාවැටීමක අන්තරායෙන් සහ කම්කරු පන්තියේ වැඩෙන සමාජ රැඩිකල්කරනයක සලකුනු නිසා බිය පත් පාලක පන්තිය යුද්ධය දකින්නේ, ප්‍රගාඪ ලෙස බෙදීගිය රටක් යුද්ධයට විසි කිරීමේ මාධ්‍යය හරහා අභ්‍යන්තර ආතතීන් පිටතට හරවා යවා, කෘත්‍රිමව 'ඒකාබද්ධ' කල හැකිය කියා ය.

එහෙත් යුද්ධයට යොමුවීම, එක්සත් ජනපදයේ මෙන්ම ලොව පුරා ද අර්බුදය තීව්‍ර කරනු ඇත. දැනටමත් යුද්ධයේ ප්‍රතිවිපාක, උද්ධමනය සහ ජීවිතයට තර්ජනයක් වන ආහාර සහ අනෙකුත් ජීවන අවශ්‍යතා කප්පාදුව තුල දැනෙමින් තිබේ. මෙම කොන්දේසි මහජන වැඩ වර්ජන හා පෙලපාලි අවුලුවා ඇත.

ලෝක යුද්ධයක තර්ජනය ගෙන එන ප්‍රතිවිරෝධතා, ලෝක සමාජවාදී විප්ලවය සඳහා ද කොන්දේසි නිර්මානය කරයි. කම්කරු පන්තිය මුහුන දෙන අභියෝගය මෙසේ ය: ලෝක යුද්ධයට තුඩු දෙන හා ඒවාට වල කපන සහ දුර්වල කරන එම ප්‍රතිවිරෝධයන්ම, විප්ලවයට තුඩු දෙන වෛෂයික ප්‍රවනතා ශක්තිමත් කර වේගවත් කරන බවයි.

යුද්ධයට එරෙහි අරගලයේ පදනම කම්කරු පන්තියේ ව්‍යාපාරයයි. යුද්ධය නැවැත්වීමටත්, ධනවාදය අවසන් කිරීමටත්, ජාතික දේශසීමා බිඳ දැමීමටත්, ලෝක සමාජවාදී සමාජයක් ගොඩනැගීමටත් හැකි මහා සමාජ බලවේගය එයයි.

ලියොන් ට්‍රොට්ස්කි

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ සහ කන්ඩායම් ජාතික රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වන සියලු ස්වෝත්තමවාදී ඉල්ලීම් ප්‍රතික්ෂේප කරති. 1934 දී ලියූ ලියොන් ට්‍රොට්ස්කිගේ ජාත්‍යන්තරවාදී මූලධර්ම අපි ආරක්ෂා කරමු:

“ජාතික ආරක්ෂාව දේශනා කරන 'සමාජවාදියා' දිරාපත් වන ධනවාදය සඳහා පමනක් සේවය සපයන සුලු ධනේශ්වර ප්‍රතිගාමීයෙකි., යුද සිතියම නොව පන්ති අරගලයේ සිතියම අනුගමනය කල හැක්කේ, යුද සමයේදී ජාතික රාජ්‍යයට බැඳී නොසිට සාම කාලය තුල ජාතික රාජ්‍යයට එරෙහිව අශමනීය යුද්ධයක් ප්‍රකාශ කර ඇති එම පක්ෂයට පමනි”.

අධිරාජ්‍යවාදී රාජ්‍යයේ වෛෂයික ප්‍රතිගාමී භූමිකාව සම්පූර්නයෙන් අවබෝධ කර ගැනීමෙන් පමනක් නිර්ධන පංතියේ පෙරටු බලඇනියට, සියලු වර්ගවල සමාජ දේශප්‍රේමයෙන් ගැලවී ගත හැකිය. මෙයින් අදහස් කරන්නේ, “ජාතික ආරක්ෂාව” පිලිබඳ දෘෂ්ටිවාදයෙන් සහ ප්‍රතිපත්තියෙන් සැබෑ බිඳීමක් සිදුවිය හැක්කේ ජාත්‍යන්තර නිර්ධන පංති විප්ලවයේ ආස්ථානයෙන් පමනක් බවයි.

එබැවින් කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ, යුද්ධය කරා වන අධිරාජ්‍යවාදී තල්ලුවට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. අදූරදර්ශී උත්සන්නිය නැවැත්විය යුතුය. යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීම සඳහා කම්කරු පන්තියේ ශක්තිය බලමුලු ගැන්විය යුතුය.

ජාත්‍යන්තර කමිටුව රුසියාවේ සහ යුක්‍රේනයේ ධෛර්ය සම්පන්න සහ පන්ති සවිඥානික කම්කරුවන්ට විශේෂ ආයාචනයක් කරයි. ඔබේ ධනේශ්වර ආන්ඩුවල ප්‍රතිගාමී ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්න. මෙම බිහිසුනු යුද්ධයට පාර කපා ඇති ධනේශ්වර පුනස්ථාපනයේ සමස්ත ව්‍යාපෘතියම ප්‍රතික්ෂේප කරන්න.

වරක් ඔබේ රටවල වැඩ කරන ජනතාව තුල ආස්වාදය ඇති කල මාක්ස්වාදයේ සහ බොල්ෂෙවික්වාදයේ සම්ප්‍රදායන් වෙත. යලි හැරෙන්න. එම සම්ප්‍රදායන් තවමත් ජනතාවගේ විඥානය තුල ජීවත්වන බවත් ඒවා සාමූහික කි්‍රයාකාරිත්වය තුල යලි හිස එසවීම ස්ථිර බවත් අපි දනිමු.

ජාත්‍යන්තර කම්කරු පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කල යුතුය. සියලු දේශපාලන කර්තව්‍යයන් අතුරින් වඩාත්ම තීරනාත්මක වන්නේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමයි. මෙම ඉදිරිදර්ශනයට එකඟ වන සහ මෙම සටන ගෙන යාමට සූදානම් සියලු දෙනාට අපගේ සාමාජිකත්වයට එක්වන ලෙස අපි ආරාධනා කරමු.

Loading