රාජපක්ෂ ආන්ඩුවේ මැරයින්ගේ හා රාජ්‍ය හමුදාවල ප්‍රහාරයන්ගෙන් ජීවිත හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගැනීම සඳහා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!

ගාලු මුවදොර පිටිය වාඩිලාගෙන සිටින නිරායුධ ආන්ඩු විරෝධී විරෝධතාකරුවන්ට, පාලක පොදු ජන පෙරමුනේ මැරයින් 9 වැනි දා සඳුදා එල්ල කල සාහසික ප්‍රහාරය, සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි සේ හෙලා දකින අතර, වැඩකරන ජනතාවගේ ජීවිත හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කිරීම පිනිස ස්වාධීනව මැදිහත්වන ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

අරලියගහ මන්දිරයෙන් එවූ සංවිධානාත්මක මැරයන් ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ ඉදිකිරීම් විනාස කරමින් [Facebook] [Photo: ෆේස්බුක්]

තමන් මුහුන දී සිටින, කිසිසේත් ම ඉවසිය නොහැකි කොන්දේසි – මූලිකව ම අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිගකම හා ඒවායේ මිල අහස උසට නැගීම, දිනපතා පැය ගනන් පවතින විදුලි කප්පාදු වැනි සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරී ඇති ආන්ඩුවේ උග්‍ර ප්‍රහාර – හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින්, කම්කරුවන්, තරුනයන් සහ ගම්බද දුගීන් ඇතුලු මහජනතාව අඛන්ඩ විරෝධතා අරගලයට අවතීර්නවී සිටියහ. 9දා මැර ප්‍රහාරය මගින් අතිශය බලගතු ලෙස එලිමහනට ගෙනවිත් ඇත්තේ, මෙම අරගලයේදී මහජනතාව මුහුන දෙන බරපතල අන්තරායාකාරී තත්වය යි. එම තතු යටතේ තම ආරක්ෂාවත්, ආහාර ඇතුලු ජන ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් සැපයුමත් සහතික කරගැනීම පිනිස, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක අවශ්‍යතාව, පෙරනූවිරූ අයුරින් පැහැදිලිවී පවතී.

මේ සඳහා සටන් වැදීමට ස්වකීය ස්වාධීන ක්‍රියාකාරී කමිටු සෑම කම්හලකම, වැඩපොලකම, වත්තකම සහ නිවහන් ප්‍රදේශයකම පිහිටුවන ලෙස, සසප කම්කරුවන්ගෙන් ද ගම්බද හා නාගරික පීඩිතයින්ගෙන් ද ඉල්ලා සිටී. සෞඛ්‍ය සේවකයින්, වතු කම්කරුවන්, ගුරුවරු, කලාකරුවන් සහ සංක්‍රමන කම්කරුවන් අතර එවන් ක්‍රියාකාරී කමිටු දැනටමත් ගොඩ නගා ඇති සසප, ඒවා පුලුල් කිරීමටත් එවන් කමිටු රටපුරා ගොඩනැගීමටත්, කම්කරුවන් ප්‍රමුඛ පීඩිත ජනයා ගන්නා පියවරයන්ට සිය පූර්න දේශපාලන සහහෝගය සහතික කර සිටී.

අත්‍යවශ්‍ය සේවා සහතික කරගැනීමටත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගැනීමටත් ගොඩනගන මෙම ක්‍රියාකාරී කමිටු ජාලයට අනුබද්ධිතව, අරගලයට පිවිසෙන ජනතාව ආන්ඩුවේ මැර ප්‍රහාරවලින් ආරක්ෂා වීමට, ආරක්ෂක කමිටු හා ආරක්ෂක භට කන්ඩායම් පිහිටුවා ගත යුතු යැයි සසප අවධාරනය කර සිටී. පොලීසිය, මැරයන්ට ගාලු මුවදොර විරෝධතා භූමියට කඩා වැදී නිදැල්ලේ සිය ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී බලා සිටිමින්, මැරයන් සමග සහයෝගීව කටයුතු කල ආකාරයෙන් යලිත් සනාථ වී ඇත්තේ, ධනපති රාජ්‍යයේ කොටසක් වන හමුදා හා පොලීසිවලින් කම්කරු පන්තියට, තරුනයන්ට හා ගම්බදු දුගීන්ට කිසිදු ආරක්ෂාවක් නොලැබේ ය යන කාරනය යි. ධනපති පාලනය හා දේපල රැකීමට බැඳී ඇති මෙම හමුදා හා පොලිස් බලකායන්ගේ සැබෑ ක්‍රියාකලාපය, රඹුක්කන දී නිරායුධ විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරයක් එල්ල කොට චමින්ද ලක්ෂාන් නමැති කම්කරුවකු ඝාතනය කොට, තවත් දුසිම් ගනනාවකට තුවාල සිදු කිරීම මගින් තවදුරටත් පැහැදිලි කෙරී ඇත.

මැයි 9 වැනි දා ගෝල්ෆේස් පිට්ටනියේ විරෝධතාවට එල්ල කෙරුනු මැර ප්‍රහාරයට විරෝධය පල කරමින් පාගමනක් ඇරඹූ මහනුවර සෞඛ්‍ය සේවකයෝ [WSWS]

එමෙන් ම සිය ආරක්ෂාව සහ මූලික අවශ්‍යතා සහතික කරගැනීම පිනිස, තමන්ට රුදුරු ප්‍රහාර එල්ල කරන ආන්ඩුවට එරෙහිව සටන් වැදීමේ දී කම්කරු පන්තියට වෘත්තීය සමිති කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි ය. මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භයේ පටන් ද සමිති ක්‍රියා කලේ, කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීමක් වැලැක්වීමට යි. සති ගනනාවක් නිහඬව සිට පසු ව විරෝධතා සහ එක් දින මහා වැඩ වර්ජන දෙකක් – අප්‍රේල් 28 සහ මැයි 6 දා – කැඳවීමට සමිතිවලට බලකෙරුනේ කම්කරුවන් වෙතින් වැඩුනු බලගතු පීඩනය මධ්‍යයේ ය. එමෙන් ම එම ක්‍රියාවන් එක් දින වර්ජනවලට සීමා කල වෘත්තීය සමිති, මැයි 11 දා සිට අඛන්ඩ මහා වැඩ වර්ජනයක් සහ හර්තාලයක් සදහා තමන් කලින් කර තිබූ කැඳවුම ද ඉවත් කරගෙන, විරෝධතා ව්‍යාපාරය තලා දැමීමේ මැර ප්‍රහාර සූදානම් කිරීම පිනිස ආන්ඩුවේ අත ශක්තිමත් කලේ ය. දැන් සමිති විසින්, 9දා සවස සිට අඛන්ඩ මහා වර්ජනයක් කැදවා ඇත්තේ ද, ආන්ඩුවේ මැර ප්‍රහාරවලට එරෙහිව සමිතිවලට පිටින්, ක්ෂනිකව, ජාතික රෝහල සහ තැපැල් දෙපාර්තමේන්තුව ඇතුලු ස්ථානවල කම්කරුවන් වර්ජන හා විරෝධතා ක්‍රියාවන්ට අවතීර්න වූ තතු යටතේ ය.

කම්කරුවන්, තරුනයින් හා දුගී ජනතාව මුහුන දෙන නොඉවසිය හැකි සමාජ කොන්දේසි කවර ධනපති ආන්ඩුවක් යටතේ වුව ද ඉවත්ව යනු නැත. ආන්ඩුව මෙන්ම, ධනපති පන්තියේ සියලු පක්ෂ, ජනතා විමුක්ති පෙරමුන හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුලුව, එකඟතාව පලකර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ කරනු ලැබ ඇති විෂකුරු ජනතා විරෝධී කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට ය. එහෙයින් මහජනතාවට තමන්ගේ ජීවන හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ධනපති ක්‍රමයට එරෙහි ව අරගලයකට එලැඹීම අනිවාර්ය කෙරී පවතී. එම අරගලයට ගතවන කාලය කෙටි වනු ඇත්තේ, කම්කරු පන්තියේ නායකත්වය යටතේ තමන් ඇති කරගන්නා දේශපාලන හා ප්‍රායෝගික සූදානම මත ය. මෙය තවදුරටත් අවධාරනය කරන්නේ, ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම හදිසි කටයුත්තක් ය යන්න යි.

ක්‍රියාකාරී කමිටු යනු කම්කරුවන් හා දුගීන් ප්‍රජාතන්ත්‍රීය ලෙස, සියලු වාර්ගික හා භාෂා භේදවලින් තොරව මහජනතාව ධනපති ක්‍රමයට එරෙහිව තම එකමුතුව තහවුරු කරගන්නා සංවිධාන රූපයකි. එය, ධනපති පාලනයට විකල්ප ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපිත කරගැනීම ඉලක්කය කරගනී. එවැනි ප්‍රගතිශීලි දේශපාලන ඉදිරිදර්ශනයකින් මග පෙන්වනු නොලැබූ විට, ජනකන්ඩායම් 9දා රාත්‍රී කාලයේ අයාලේ යමින් සිදුකලාක් වැනි පුද්ගලික දේපල විනාශකිරීම් ආන්ඩුවේ හා ප්‍රතිගාමිත්වයේ අත ශක්තිමත් කිරීමට තුඩු දෙනු ඇත.

ධනපති ක්‍රමය, මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට තමන්ට පවතින පූර්න අසමත්භාවය එලිදරව් කර තිබෙන තතු යටතේ, ඒවා සංවිධානය කිරීමේ කාර්යභාරය කම්කරු පන්තියේ නායකත්වය යටතේ ගොඩනැගෙන ක්‍රියාකාරී කමිටු ජාලය මගින් භාරගනු හැකි ය.

දුගී ගොවීන්ගේ ජීවිකාවට අත්‍යවශ්‍ය වගාකටයුතු සඳහා පොහොර බෙදා හැරීම, පලදාව වෙලඳපොලට යොමුකිරීම, ගබඩා පහසුකම් සැපයීම හා මිල ගනන් තීන්දු කිරීම යනාදිය, ගම්බදව පිහිටුවා ගන්නා ක්‍රියාකාරී කමිටු මගින් සිදුකල හැකි ය.

මහජනතාව මුහුන දෙන සෑම ප්‍රශ්නයකටම විසඳුම් සඳහා ක්‍රියාකාරී කමිටු සටන් වදී. අප්‍රේල් 7දා සසප මහජනතාව වෙත නිකුත් කල ප්‍රකාශනයේ ඒවා පෙලගස්වා ඇත්තේ පහත පරිදිය:

මහජනයාගේ දැවෙන අවශ්‍යතාවන්ට ආමන්ත්‍රනය කිරීම සඳහා, ක්‍රියාකාරී කමිටුවල වැඩකටයුතුවලට ජීවය සැපයීම පිනිස, අපි පහත දැක්වෙන ක්‍රියා මාර්ගය යෝජනා කරමු:
  • මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

ධනපති පන්තිය, යෝධ ලාභ කඳුගසා ගැනීම සඳහා නිෂ්පාදන මාධ්‍යවල හා බෙදාහැරීමේ තම අයිතිය ගසාකයි. සිය අවශ්‍යතා සම්පාදනය කරගැනීමට කම්කරු පන්තියට පවතින එක ම මාවත වන්නේ, ධනපතියෙන් අතින් ඒවා උදුරාගෙන, වර්තමාන පීඩාව හා කාලකන්නිකම අවසන් කිරීම සඳහා යොදාගත හැකි ආකාරයට සම්පත් ඒකාග්‍ර කර ගැනීමයි.

  • සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන අයිඑම්එෆ් හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

රාජපක්ෂ ආන්ඩුව එහි කටුක කප්පාදු පියවරයන් පිලිබඳ ව නිදහසට කරුන ලෙස දක්වන්නේ, ගෝලීය බැංකු වෙත බිලියන ගනන් ඩොලර් ආපසු ගෙවීමේ අවශ්‍යතාවයට ය. විරුද්ධ පක්ෂ ද මෙයට එකඟ වෙති. මේ වසරේ දී ජාත්‍යන්තර බැංකුවල පෙට්ටගම් වෙත එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ගෙවීම වෙනුවට, වැඩකරන ජනයාට අවශ්‍ය ආහාර, ඉන්ධන, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ සඳහා ගෙවීමට එම මුදල් යොදාගත යුතු ය.

  • බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

ලෝක අසමානතා දත්ත ගොනුවට (World Inequality Database) අනුව, 2021 දී ලංකාවේ සමාජයේ ඉහල ම ධනවත් සියයට 10 දිවයිනේ ධනයෙන් සියයට 63.8ක යෝධ ප්‍රමානයක් අත්කර ගෙනසිටි අතර, පහල සියයට 50 සතුව තිබුනේ යන්තම් සියයට 4.3ක් පමනි. කම්කරු පන්තිය විසින් නිර්මිත මෙම දැවැන්ත ධනය අත්පත් කරගෙන, සමාජ අවශ්‍යතාවේ පදනම මත බෙදාහරිනු ලැබිය යුතු ය.

  • දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

තම තියුනු ආර්ථික ගැටලුවලින් එලියට මාවතක් සම්පාදනය කිරීම මගින්, පීඩිත ගම්බද ජනයා සහ සිය අත්‍යවශ්‍ය උවමනාකම් ඉටු කර ගැනීමට අසමත්ව සිටින, ඉහල නය බරින්, වියදම් අධික සැපයුම් හා මිල ගනන් හේතුවෙන් පීඩනයට පත් ව සිටින, කුඩාව්‍යපාර හිමියන් ආකර්ශනය වන ධ්‍රැවයක් බවට කම්කරු පන්තිය පත්වනු ඇත.

  • ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිතව සියලු දෙනාට රැකියා සහතික කරනු! ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

අයිඑම්එෆ් හා ජාත්‍යන්තර බැංකුකරුවන් සාර්ථක වුවහොත්, රැකියා විනාශ කිරීමේ සුලිකුනාටුවක් පැමිනෙනු ඇත. දැනට මත් ඉසිලිය නොහැකි උද්ධමනය වැටුප් ගිල දමයි. වසර ගනනාවක් තිස්සේ සිදු වී ඇති පරිදි රැකියා, වැටුප් හා සේවා කොන්දේසි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වෘත්තීය සමිතිවල හස්තයේ තිබීමට ඉඩ හැරියහොත්, ඒවා තව දුරටත් විනාශභාග් වනු ඇත.

ශ්‍රී ලංකාව තුල සටන් වදින කම්කරුවෝ, පොදු පන්ති හතුරන්ට විරුද්ධව, ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග පොදු අරගලයකට මුහුන දෙති. ලොව පුරා නැගෙන පන්ති අරගල රැල්ල, ශ්‍රී ලංකාවේ කම්කරුවන්ට, විභව සගයන් ද සෑම තැනක ම කම්හල්, වැඩපොලවල් හා කාර්යාල තුල සහයෝගී පදනම් ද සම්පාදනය කරයි. ධනවාදය අවසානයකට ගෙන ඒම සඳහා, ගෝලීය සංගත, බැංකු හා මූල්‍ය ආයතනවල ආර්ථික ආධිපත්‍යයට එරෙහි ජාත්‍යන්තර ව සම්බන්ධීකෘත අරගලයක් බවට මෙය වර්ධනය කල හැකි ය. මේ සඳහා ලංකාවේ ගොඩනැගෙන ක්‍රියාකාරී කමිටු, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් දැනටමත් කැඳවුම් කරනු ලැබ ඇති, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයට ඒකාබද්ධව සටන් වදිනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය අනතුරු ඇඟවිමක් ද නිකුත් කරයි. 1948 නාමික නිදහසේ පටන් පැවති එහි පූර්වාගමීන් මෙන්, රාජපක්ෂ පාලන තන්ත්‍රය සහ එහි වර්ගවාදී සගයන්, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීම සඳහා වන මංමුලා සහගත උත්සාහයේ දී වාර්ගික ප්‍රකෝපකරනයන් සහ සිංහල ස්වෝත්තමවාදී හලා හල විෂ පැතිරීම කරා යොමු වනු ඇත. එහෙත්, සියලු කම්කරුවෝ හා දුගීන් මුහුනදී ඇත්තේ, එක ම විනාශකාරී ආර්ථික අර්බුදයකට ය. සියලු ආකාරවල ජාතිකවාදයන් හා වර්ගෝත්තමවාදයන් ප්‍රතික්ෂේප කිරීම, ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ එකමුතුව ගොඩනැගීමේ දී අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවට සමාජවාදී විප්ලවයක් අවශ්‍ය වේ. ඒ සඳහා විප්ලවවාදී නායකත්වයක් අත්‍යවශ්‍ය ය. පසුගිය ශතවර්ෂයේ සමස්ත ඉතිහාසය ම ප්‍රදර්ශනය කර ඇත්තේ, විප්ලවවාදී පක්ෂයකින් තොර වූ විට, කම්කරු පන්තියේ වඩාත් ම සටන්කාමී හා අධිෂ්ටානවත් අරගල පවා අනිවාර්යයෙන් පරාජය වී, ප්‍රතිවිප්ලවයට හා රුදුරු මර්දනයට මාවත විවෘත කරන බවයි.

මෙම ක්‍රියා මාර්ගය සමග එකඟ වන කම්කරුවන්ගෙන් හා තරුනයන්ගෙන්, සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ, ඊට බැඳී එය කම්කරු පන්තියේ මහජන පක්ෂය ලෙස ගොඩනගන ලෙස යි.

Loading