අගමැති වැඩකරන ජනතාවගෙන් තව තවත් කැපකිරීම් ඉල්ලයි

[මෙය Sri Lankan prime minister demands more sacrifice from working people මැයෙන් 2022 මැයි 17 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජාතිය අමතා කල විශේෂ කථාවකදී අගමැති රනිල් වික්‍රමසිංහ, රට මුහුන දී සිටින දරුනු ආර්ථික තත්ත්වය ගැන නොවලහා කරුනු දැක්වීය. 'ඉදිරි මාස දෙක සියලු පුරවැසියන්ගේ ජීවිතයේ වඩාත්ම දුෂ්කර කාලය' බවට ඔහු අනතුරු ඇඟවූ අතර ජනතාව 'යම් කැපකිරීම් සඳහා සූදානම් විය යුතු' බව අවධාරනය කලේ ය.

රනිල් වික්‍රමසිංහ (මූලාශ්‍රය-එක්සත් ජාතික පක්ෂයේ මුහුනු පොත) [Photo: United National Party Facebook]

නව අගමැතිට සහය දැක්වීමේ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත අද (17), පාර්ලිමේන්තු සැසිවාරයට පෙරාතුව වික්‍රමසිංහ ඊයේ පස්වරුවේදී මේ ප්‍රකාශය කලේ ය. පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු පත් කරනු ලැබුවේ පෙර නොවූ විරූ ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය.

ජනාධිපතිගේ සොයුරු මහින්ද රාජපක්ෂ මැයි 9දා අගමැතිකමෙන් ඉල්ලා අස්විය. ඒ, වැඩකරන ජනතාව මුහුනපා සිටින සමාජ ව්‍යසනය නිමා කරන ලෙසට බල කරමින් රාජපක්ෂවරුන් දෙදෙනාම ඉවත් විය යුතුයයි කියා සිටින සති ගනනක් පවතින විරෝධතා හා වැඩවර්ජන වලින් පසුවය. අත්‍යවශ්‍ය භාන්ඩ වන ආහාර, ඉන්ධන හා බෙහෙත් මිල අහස උසට නැඟෙමින් ඇත. උග්‍ර හිගයන් දිගු පෝලිම් ඇති කර තිබෙන අතර දිනපතාම දිගු වේලාවක් විදුලි බලය කපාහරිනු ලැබේ.

ශ්‍රී ලංකාව තුල මෙම කැලඹිලි සහගත තත්වය, ලොව පුරා ආන්ඩුවල සාපරාධී 'පැතිරයාමට ඉඩ දෙන්න' යන වසංගත ප්‍රතිපත්තිය විසින් නිෂ්පාදිත, දැන් යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ කුලීකාර යුද්ධයෙන් උග්‍ර අතට හැරී ඇති, ධනවාදයේ ගෝලීය අර්බුදයේ විශේෂිත තියුනු ප්‍රකාශනයකි.

සංචාරක කර්මාන්තය කඩා වැටී ඇති අතර, විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂන වසරින් වසර සියයට 61 න් පහත වැටී ඇති අතර යුක්‍රේනයේ සහ රුසියාවේ ප්‍රධාන වෙලඳපොලවල් වෙත තේ අපනයනය සිඳී ගොස් ඇත. රටේ මහ බැංකුව ඩොලර් බිලියන 51කට වඩා වැඩි විශාල විදේශ නය ගෙවීම තාවකාලික ව පැහැර හැර ඇත. විදේශ විනිමය නොමැතිකම නිසා ඉන්ධන, බෙහෙත් ද්‍රව්‍ය, මූලික ආහාර ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ගැනීමට නොහැකි වී ඇත.

ජාමූඅ හා නයහිමියන් සමග සාකච්ඡා පැවැත්වෙන බැවින් වික්‍රමසිංහගේ පත්වීම, පාලක පන්තියට කාලය මිලට ගැනීමේ මංමුලා සහගත ලන්සුවකි. ඊයේ ඔහුගේ කතාවේ අරමුන වූයේ, ආන්ඩුව ඔවුන්ට අවශ්‍ය වන දැඩි කප්පාදු පියවර ගන්නා බව ඒත්තු ගැන්වීම සහ වැඩකරන ජනතාව ජාතිය වෙනුවෙන් 'කැප' කරන තැනට ඇද දැමීමයි.

එදා වේල සපයා ගැනීමේ, බෙහෙත් මිලට ගැනීමේ හෝ වැඩට යාමට ගමන් ගාස්තු ගෙවා ගැනීමේ අරගලයක නියුතු මිලියන ගනනක් කම්කරුවන්ට හෝ දුප්පතුන්ට වික්‍රමසිංහ කිසිදු සහනයක් ලබා දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු අවධාරනය කලේ, ඔහු ගැනීමට අදහස් කරන දැඩි පියවර යුක්ති යුක්ත කරන, ආර්ථික අර්බුදයේ ගැඹුර ය.

2019 නොවැම්බරයේදී, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 7.5 ක් වූ නමුත්, “අද, ඩොලර් මිලියනයක් සොයා ගැනීම භාන්ඩාගාරයට අභියෝගයක්… පෝලිම් ලිහිල් කිරීමට, අපි ඊලඟ දිනවල දල වශයෙන් ඩොලර් මිලියන 75 ක් සොයා ගත යුතු බව ඔහු පැවසීය.

“මේ වන විට අපට පෙට්‍රල් තොග ඇත්තේ එක් දිනකට පමනයි” යනුවෙන් ඔහු අනතුරු ඇඟෙව්වේය. ඉරිදා ඩීසල් නැවක් පැමිනි අතර, ඉදිරි දිනවලදී තවත් අවශ්‍ය වනු ඇත. “විදුලියෙන් හතරෙන් එකක් නිෂ්පාදනය කරන්නේ තෙල් වලින්. ඒ නිසා දෛනික විදුලිය කපා හැරීම් දිනකට පැය 15 දක්වා වැඩි වීමට ඉඩ තිබෙනවා.” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

' බරපතල සැලකිල්ලක් යොමු කල යුතුව ඇති තවත් කාරනයක් නම්,ඖෂධ නොමැතිකමයි' වික්‍රමසිංහ පැවසීය. “හෘද රෝග සඳහා අවශ්‍ය ඖෂධ මෙන්ම ශල්‍ය උපකරන ඇතුලු ඖෂධ රැසක දැඩි හිඟයක් පවතිනවා. ඖෂධ, වෛද්‍ය උපකරන සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන්නන්ට මාස හතරක් තිස්සේ මුදල් ගෙවා නැත.

හෙලිදරව්කාරී ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ, ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුනා දැමීමේ තම අභිප්‍රාය ප්‍රකාශ කල අතර, පසුව සඳහන් කලේ, විකිනීමෙන් වුවත් විශාල පාඩුවක් ගෙවීමට සිදුවන බවයි. “මෙය කිසි දිනක ගුවන් යානයක අඩිය ගසාවත් නැති මේ රටේ දුප්පත් මිනිසුන්ට පවා දැරීමට සිදුවන පාඩුවක් බව ඔබ දැන සිටිය යුතුය” යැයි ඔහු පැවසී ය.

මෙම ප්‍රකාශය, ධනවත් සංගත ප්‍රභූවේ ප්‍රයෝජනය සඳහා දරන ලද දැවැන්ත නය ගෙවමින්, ධනේශ්වර අර්බුදයේ බර උසුලන්නට කම්කරු ජනතාවට බල කෙරෙන බව විවෘතව තහවුරු කිරීමකි. රජයේ සහනාධාර තවදුරටත් දැරිය නොහැකි බව පවසමින්, ඉන්ධන සහ විදුලිය සඳහා තවදුරටත් විශාල මිල ඉහල දැමීම් ද අගමැති පුරෝකථනය කලේ ය.

වික්‍රමසිංහ සිය කථාව අවසන් කලේ “මෙම කරුනු අප්‍රසන්න සහ භයානක” නමුත් “දුෂ්කර කාලය” කෙටි වන බවත්, සියලු දෙනාම එකට එකතු වුවහොත් ඉදිරියේ යහපත් අනාගතයක් පවතින බවත් ප්‍රකාශ කරමිනි. ඔහු භයානක හා දුෂ්කර මාවතක ගමන් කිරීමට සූදානම්, ජාතියේ විරුවෙකු ලෙස තෙමේම පින්තාරු කර ගත්තේ ය.

අද පාර්ලිමේන්තු ඡන්දය සඳහා බහුතරයක් එකතු කර ගැනීමේ මංමුලා සහගත ප්‍රයත්නයක යෙදී සිටින වික්‍රමසිංහ, ආන්ඩු සහ විපක්ෂ නායකයන් සමඟ සංවෘත දොරටු සාකච්ඡා පවත්වමින්, එක්සත් ජනපදයේ, ජපානයේ සහ චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා කරමින් සිය පලමු දින කිහිපය කාර්යාලයේ ගත කර ඇත.

මොන තරම් වංචාවක් ද! වික්‍රමසිංහ පත්කරනු ලැබුවේ, මහ ව්‍යාපාරිකයින්, ජාමූඅ හා විදෙස් නය හිමියන් පිනවීමේ අරමුනෙනි. අගමැති ලෙස පෙර අවස්ථා පහ තුල, වෙලඳපොල ගැති ප්‍රතිව්‍යුහකරන පැනවීම හා ඇමරිකානු හිතවත් නැඹුරුව පිලිබඳව ඔහු කුප්‍රකටය. ඔහුගේ පත්වීම ගැන කොලඹ ඇමරිකානු තානාපති සතුට පල කලේ ය.

වික්‍රමසිංහ තනතුරේ සිය මුල් දවස් කිහිපය ගත කලේ, ඇමරිකානු, ජපාන හා චීන තානාපති වරුන් සමඟ ද , අද පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයේදී බහුතරයක් ගොනුකර ගන්නට මංමුලාසහගතව කෙරුන ආන්ඩුවේ හා විපක්ෂයේ අය සමඟ තිරය පිටුපස සාකච්ඡා කරමිනි.

ආසන 225කින් යුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) එකම නියෝජිතයා ඔහු වීම මගින් ඔහුට කිසිදු මහජන සහයෝගයක් නොමැති බව සලකුනු කරයි. එක්සත් ජාතික පක්ෂය 2020 දී දෙකඩ වූ අතර එහි සාමාජිකයන් බහුතරයක්, දැන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පිහිටුවා ගත්හ.සජබ වික‍්‍රමසිංහ ආන්ඩුවක් සඳහා සුදුසු පරිදි සහය දෙන බව පෙන්නුම් කර ඇති නමුත් එහි කැබිනට් මන්ඩලයට ඇතුල් වීම ප‍්‍රතික්ෂේප කර ඇත. ඊයේ වන විට වික්‍රමසිංහගේ කැබිනට් මන්ඩලයට පත් කර තිබුනේ ඇමතිවරුන් හතර දෙනෙකු පමනි. සියලු සාමාජිකයින් ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ට අයත් විය.

වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගත්ත ද, ඔහුගේ ආන්ඩුව වැඩකරන ජනතාව මත නොඉවසිය හැකි නව බර පැටවීමට උත්සාහ කරද්දී අර්බුදයෙන් අර්බුදයට ඇද වැටෙනු නොවැලැක්විය හැකිය. ගාලුමුවදොර පිටියේ ආන්ඩු විරෝධී උද්ඝෝෂන තවදුරටත් ක්‍රියාත්මක වේ. දේශපාලන සංස්ථාපිතය තුල ගෙන යන උපාමාරු පිලිබඳ වඩා පුලුල් අවිශ්වාසය පිලිබිඹු කරමින් විරෝධතා නායකයින්, වික‍්‍රමසිංහගේ පත්වීමට විරුද්ධ වී ඇත.

ජනාධිපති රාජපක්ෂ විරෝධතාවන්හි ප්‍රධාන ඉල්ලීම වන තමන් බලයෙන් ඉවත්වීම, එකහෙලාම ප්‍රතික්ෂේප කර ඇති අතර, ආන්ඩුව නෙරපා හැරීම සහ පොලිස්-රාජ්‍ය පියවර ගැනීම ඇතුලු පුලුල් බලතල තමන් සතු කර ගෙන ඇත. මැයි 5දා දිවයින පුරා මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ මහා වැඩවර්ජනයෙන් ඉක්බිතිව, ඔහු ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට ප්‍රචන්ඩ ප්‍රහාරයක් දියත් කිරීමට තම සොහොයුරා දිරිගන්වමින්, රටපුරා හදිසි නීතිය පැනවීය, ඉන්පසු එම නැඟිටීම ගසා කමින් ඇඳිරි නීතිය පැනවූ අතර හමුදාව පාරට ගෙන්වීය.

ලෝසවෙඅ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සභාපති විජේ ඩයස්, වැඩකරන ජනතාව රටේ නාමයෙන් නිමක් නැති පරිත්‍යාග මාලාවක් කිරීම සඳහා කැඳවමින්, අගමැති වික්‍රමසිංහ කල ඉල්ලීම හෙලා දුටුවේ ය.

සසප සභාපති විජේ ඩයස් [ලොසවෙඅ මාධ්‍ය]

“ව්‍යාජ නිදහසක නාමයෙන්, පසුගිය වසර 74 පුරා වෙනස් ධනපති ආන්ඩු යටතේ,සුදුමැලි වන තෙක් ලාංකීය ජනතාවගේ ලේ උරා බොන ලද ශ්‍රී ලංකාවේ දේශීය ධනපති කූඩැල්ලන් ද ජාත්‍යන්තර බැංකුකරුවන් ද වෙනුවෙන් කරනු ලබන වික්‍රමසිංහගේ ආයාචනය ප්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය, සිංහල, දෙමල සහ මුස්ලිම් යන සියලුම ප්‍රජාවන්ගේ කම්කරු පන්තියෙන්, ග්‍රාමීය දුගීන්ගෙන් හා තරුනයන්ගෙන් තරයේ ඉල්ලා සිටී.

“විරෝධතා දක්වන කම්කරුවන්, සුලු ගොවීන් සහ තරුනයන් මහජන විරෝධතා සහ එක්දින මහා වැඩවර්ජන වලට එලඹෙමින් වීදි කරා අවතීර්න වූ විට ඔවුන්ට දැකගත හැකි වුනේ තමන් අපේක්ෂා කල දෙයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයකි. ඔවුන්ට අවශ්‍ය වූයේ ධනේශ්වර ලාභ පද්ධතිය යටතේ දරාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති ඉන්ධන, ගෑස්, කිරිපිටි හිඟය සහ අධික මිල ගනන් සහ විදුලිය ඇනහිටීම අවසන් කිරීමයි.

“ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ ව්‍යාජ මිත්‍යාවන් පතුරවමින් ද එමඟින් මහජන අරගලයේ ජයග්‍රහනය දැනුවත්ව අවහිර කරමින් ද ධනේශ්වර පාලනය දිගටම පවත්වාගෙන යාමට උපකාරීව ඇත්තේ, ද්‍රෝහිකම් පිලිබඳ දිගු ඉතිහාසයක් ඇති වෘත්තීය සමිති සහ ඔවුන්ගේ ව්‍යාජ වාම සගයන් ය.

“ඊට ප්‍රතිවිරුද්ධව සසප, ආරම්භයේ සිටම, වෘත්තීය සමිතිවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, කම්කරු පන්තියට තම අවශ්‍යතා සඳහා සටන් කර ජයග්‍රහනය කල හැකි සංයුක්ත ඉල්ලීම් ඉදිරිපත් කරමින් පීඩිත ජනතාව තමන් පිටුපස පෙලගස්වා ගතහැකි පරිදි, කරුනු කාරනා තමන්ගේ අතට ගන්නා ලෙස කම්කරු පන්තියෙන් ඉල්ලා ඇත. ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට මෙය පදනම දමනු ඇත.

'වැඩකරන ජනතාවගේ අභිලාෂයන් යථාර්ථවත් කරන එකම විසඳුම මෙයයි.'

Loading