වරාය වැඩ වර්ජනය පාවාදුන් සමිති කෙරෙහි කම්කරුවෝ විරෝධය පල කරති

ජනාධිපති රාජපක්ෂගේ පොදුජන පෙරමුනේ ආධාරකරුවන් විසින් පොලීසියේ පූර්න අනුගහය යටතේ මැයි 09 දා ගෝල්‌ෆේස් හිදී සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට දී සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කල ම්ලේච්ඡ මැර ප්‍රහාරයට එරෙහි ව කම්කරුවන් අතර පැන නැගි දැවැන්ත විරෝධය හමුවේ, වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (වෘසසම) එදින සවස කැඳවන ලද දීප ව්‍යාප්ත මහ වැඩ වර්ජනයට කොලඹ වරායේ කම්කරුවෝ ද දහස් ගනනින් සහභාගි වූහ.

9දා සවස සමිති විසින් මෙම වර්ජනය කැඳවූයේ , ආන්ඩුවේ මැර ප්‍රහාරවලට එරෙහි ව සමිතිවලට පිටින්, ක්ෂනික ව, ජාතික රෝහල සහ තැපැල් දෙපාර්තමේන්තුව ඇතුලු ස්ථානවල කම්කරුවන් වර්ජන හා විරෝධතා ක්‍රියාවන්ට අවතීර්න වූ තතු යටතේ ය.

ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස ද, ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟය වහා අවසන් කොට ඒවායේ මිල පහත හෙලන ලෙසද බල කරමින් පැන නැගි මහජන විරෝධතා ව්‍යාපාරය ආරම්භවූ දා සිට සති ගනනාවක් නිහඬ ව සිටි සමිති, එක් දින මහා වැඩ වර්ජන දෙකක් – අප්‍රේල් 28 සහ මැයි 6 දා – කැඳවූයේ ද කම්කරුවන් වෙතින් වැඩුනු බලගතු පීඩනය මධ්‍යයේ ය.

වෘත්තීය සමිතිවල නොමග යැවීම් පැවතිය දී ම, 2021 ජූලි මාසයේ දී, වරාය පෞද්ගලීකරනයට එරෙහි ව කම්කරුවෝ දහස් ගනනින් සහභාගී වෙමින් විරෝධතා පැවැත් වූහ.

එම වර්ජන තනි දිනයන්ට සීමා කල වෘත්තීය සමිති, මැයි 11 දා සිට අඛන්ඩ මහා වැඩ වර්ජනයක් සහ හර්තාලයක් සදහා කලින් කර තිබූ කැඳවුම ද ඉවත් කර ගත්හ. 9 දා මැර ප්‍රහාරය සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් කලේ සමිතිවල මෙම ද්‍රෝහී භූමිකාවයි.

9 දා ආරම්භ කල වර්ජනය ජනාධිපති රාජපක්ෂ ඉවත්ව යනතුරු අඛන්ඩ ව ඉදිරියට ගෙන යන බව වරාය වෘත්තීය සමිති සන්ධානය ආරම්භයේදී කියා සිටි නමුත්, මැයි 11 දින දවල් 12.00 වනවිට වෘත්තීය සමිති නායකයෝ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරනය කලහ. වෘසසම ද එදින සවස දීප ව්‍යාප්ත වර්ජනය අත් හලහ.

වර්ජනය හේතුවෙන්, 'ප්‍රාදේශීය ප්‍රතිනැව්ගත කිරීමේ සියලුම පර්යන්තවල' වැඩකටයුතු 'ඇනහිටි' බව ද, 'වරාය නාවික සේවය' මුලුමනින්ම පාහේ නතර වූ බව ද කන්ටේනර් නිවිස් වෙබ් අඩවිය වාර්තා කලේය.

වැඩවර්ජනය සම්බන්ධයෙන් ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමය 'ගැඹුරු කනස්සල්ලක්' පලකල බවත්, 'රටේ ආර්ථිකයේ මර්මස්ථානය වන කොලඹ වරාය ක්‍රියාත්මක වන බව සහතික කරමින් නැවත රැකියාවට ගොස් මෙහෙයුම් ආරම්භ කරන ලෙස වෘත්තීය සමිති වලින් සහ කම්කරුවන්ගෙන් එම සංගමය ඉල්ලා සිටි බවත් කන්ටේනර් නිව්ස් තව දුරටත් කියා සිටියේ ය.

මෙම ව්‍යාපාරික උත්සුකයන් මත වර්ජනය පාවාදුන් වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය, මැයි 18 දා නිකුත් කල පත්‍රිකාවකින් මෙසේ කියා සිටී: “අරගලය විසින් ඉල්ලා සිටින නව දේශපාලනික ආර්ථික සංස්කෘතිය සඳහා ඉඩකඩ සපයමින් අරගලයට සම්බන්ධ වූ වෘත්තීය සමිති හා පාලනාධිකාරිය මැදිහත්ව ඒකාබද්ධ කමිටුවක් සකස් කිරීමටත්, නව සංස්කෘතිය වරාය තුල ස්ථාපිත කිරීමටත් ක්‍රියා කරන' බව එහි සඳහන් වෙයි.

මෙම 'නව සංස්කෘතිය' යනු, උපරිම ශ්‍රම සූරා කෑමට කම්කරුවන් යටත්කොට, වරාය අධිකාරියේ සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ මට්ටම් රැක දීමට පාලනාධිකාරිය සහ වෘත්තීය සමිති එක්ව වැඩ කිරීමයි. මෙම කාර්යයේ කොටසක් ලෙස, මැයි 11 දා වර්ජනය අත්හිටුවමින් කල පාවා දීම සම්බන්ධයෙන් වරාය කම්කරුවන් අතර ඇත්තේ බලගතු විරෝධයකි.

නාවික ඉංජිනේරු කොට්ඨාසයේ කම්කරුවෙක් වෘත්තීය සමිති විසින් කරන ලද මෙම පවාදීම මෙසේ විවේචනය කලේය:“උද්ඝෝෂකයන්ට පහරදීමත් සමග, ආන්ඩුව පලවාහැරීම සඳහා අඛන්ඩ වර්ජනයක් කිරීම සදහායි කම්කරුවන් එලියට බැස්සෙ. වරායේ වැඩ ඇනහිට නැව් ගමනා ගමනය නතර වෙන බව කම්කරුවන් සටන ආරම්භ කරනකොට දන්නවා. එවිට ආන්ඩුවට කම්කරුවන්ගෙ ශක්තිය දැනෙනවා. රජය අපහසු තත්වයට පත්වන විටම වෘත්තීය සමිති වර්ජනය අත්හැරීමට අපි විරුද්ධයි.'

ගාලු මුවදොර විරෝධතාවට නායකත්වය දෙන කොටස් සම්බන්ධයෙන් ඔහු මෙසේ කීවේය: 'ඔවුන්ගෙ සටන සාධාරනයි නමුත් ආන්ඩුව පලවා හැරීමෙන් පසු කවුද පාලන බලය ගන්නෙ යන ප්‍රශ්නයට ඔවුන් නිශ්ශබ්දයි. ඔවුන්ට වැඩ පිලිවෙලක් නැහැ.”

කොලඹ වරායේ නාවික අංශයේ තවත් කම්කරුවෙක් මෙසේ කියා සිටියේය: ” මැයි 9 වනදා ගෝල්ෆේස් විරෝධතාකරුවන්ට පහරදීමට එරෙහිව කම්කරුවන් බොහොමයක් සටනට එක්වූයේ ආන්ඩුව පලවා හැරීමේ අරගලයට සහයෝගය දෙමින්. කම්කරුවන් වෘත්තීය සමිති නොතකා සටනට එක් වුනා. සටනට වරාය කම්කරුවන් ඒකාබද්ද කිරීමට වෘත්තීය සමිති වලට සිද්ධ වුනේ එම තත්වය නිසයි.'

වරායට නැව් නොපැමිනෙන බැවින් එය ජනජීවිතයට බලපාන බව පවසා වෘත්තීය සමිති 'ආන්ඩුව බේරා ගැනීම සදහා සටන පාවා දුන්' බවත්, එයට තමා 'තරයේම විරුද්ධ” බවත් ඔහු පැවසීය.

'කොලඹ වරාය ඇනහිටීම ඉන්දියාවට බන්ග්ලාදේශයට ප්‍රධානකොටම බල පානවා. ඉන්දියාවේ කම්කරුවන්ගේ සහය ලංකාවෙ වරාය කම්කරුවන්ට ලබා ගැනීමට සිදු වෙනවා. ඉන්දියාවේ කම්කරුවන් සමග ලංකාවෙ කම්කරුවන්ගෙ එකමුතුකම තහවුරු නොකර සටන ජය ගන්න බැහැ. එසේ ඒකාබද්ධ කල හැක්කේ ජාත්‍යන්තර වැඩපිලිවලකින් බවට සමාජවාදී සමානතා පක්ෂය ඉදිරිපත් කරන අදහසට මම මුලුමනින්ම එකඟයි.'

වරායේ වෘත්තීය සමිති සන්ධානය අවම වශයෙන් කොලඹ වරාය තුල පුද්ගලීකරනයට යටත්ව ඇති දකුනු ආසියා ගේට්වේ පර්යන්තයේ (එස්ඒජීටී) හෝ කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (සීඅයිසීටී) කම්කරුවන් සටනට එකාබද්ධ කිරීමට කිසිදු සූදානමක් නොමැතිබව ඔහු කීවේය.

වෘත්තීය සමිතිවලින් ස්වාධීනව වරාය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගියයුතු බවත්, කම්කරුවන් සංවිධානය විය යුත්තේ සමාජවාදී වැඩපිලිවෙලක් යටතේ බවත් ඔහු කීවේය.

මැයි 10 දින සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය පෙන්වාදුන් පරිදි,

'9දා මැර ප්‍රහාරය මගින් අතිශය බලගතු ලෙස එලිමහනට ගෙනවිත් ඇත්තේ, මෙම අරගලයේදී මහජනතාව මුහුන දෙන බරපතල අන්තරායාකාරී තත්වය යි. එම තතු යටතේ තම ආරක්ෂාවත්, ආහාර ඇතුලු ජන ජීවිතයට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් සැපයුමත් සහතික කරගැනීම පිනිස, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක අවශ්‍යතාව, පෙර නොවූ විරූ අයුරින් පැහැදිලිවී පවතී.'

'මේ සඳහා සටන් වැදීමට ස්වකීය ස්වාධීන ක්‍රියාකාරී කමිටු සෑම කම්හලකම, වැඩපොලකම, වත්තකම සහ නිවහන් ප්‍රදේශයකම පිහිටුවන ලෙස, සසප කම්කරුවන්ගෙන් ද ගම්බද හා නාගරික පීඩිතයින්ගෙන් ද ඉල්ලා සිටී. සෞඛ්‍ය සේවකයින්, වතු කම්කරුවන්, ගුරුවරු, කලාකරුවන් සහ සංක්‍රමන කම්කරුවන් අතර එවන් ක්‍රියාකාරී කමිටු දැනටමත් ගොඩ නගා ඇති සසප, ඒවා පුලුල් කිරීමටත් එවන් කමිටු රටපුරා ගොඩනැගීමටත්, කම්කරුවන් ප්‍රමුඛ පීඩිත ජනයා ගන්නා පියවරයන්ට සිය පූර්න දේශපාලන සහහෝගය සහතික කර සිටී.'

Loading