විදුලි බල සහ සෞඛ්‍ය සේවක වැඩවර්ජන තහනම් කරමින් ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය මහජන සේවා නියෝගයක් පනවයි

බදාදා රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදුලිබල සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි වැඩ වර්ජන තහනම් කරමින්, එම සේවා අත්‍යවශ්‍ය මහජන සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේය.

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 2021 නොවැම්බර් 3 වන දින ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක (ලෝසවෙඅ මාධ්‍ය)

රුදුරු අත්‍යවශ්‍ය මහජන සේවා පනත (අමසේප) යටතේ නිකුත් කරන ලද මෙම නියෝගයේ ක්ෂනික අරමුන වූයේ බදාදා මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලි බල මන්ඩල (ලංවිම) සේවකයන් විසින් සැලසුම් කරන ලද වැඩ වර්ජනය තහනම් කිරීමයි. ප්‍රධාන ආයතනයක් වන මෙයට 26,000 කට අධික ශ්‍රම බලකායක් ඇත.

මෙම වර්ජනය කැඳවා තිබුනේ ලංකා විදුලිබල මන්ඩල ඉංජිනේරු සංගමය (ලංවිමඉසං) සහ ලංකා විදුලිබල මන්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානය (ලංවිමඑවෘසසං) විසිනි.

අමසේප නියෝගයට අනුව, සේවයට නොපැමිනෙන, මෙම නම් කරන ලද ආයතනවල ඕනෑම සේවකයෙකු, 'මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ කෙටි නඩු විභාගයකින් පසුව, වරදකරු' බවට පත්වීමේ සහ වසර දෙකේ සිට පහ දක්වා “දැඩි සිරදඬුවම්වලට” සහ/හෝ රුපියල් 2,000 ත් 5,000 ත් අතර දඩයකට හෝ ඒ දෙකටම මුහුන දෙයි.

තවද, වරදකරුවන් වූ අයගේ 'චංචල සහ නිශ්චල දේපල' රජයට අත්පත් කර ගත හැකි අතර ඔහුගේ හෝ ඇයගේ නම, 'වෘත්තීන් හෝ රැකියා සඳහා පවත්වාගෙන යනු ලබන ඕනෑම ලේඛනයකින් ඉවත් කල හැකිය.' ඕනෑම පුද්ගලයෙකු, 'ශාරීරික ක්‍රියාවකින් හෝ කිසියම් කථාවකින් හෝ ලේඛනයකින්' රැකියාවට නොපැමිනීම සඳහා 'වෙනත් ඕනෑම පුද්ගලයෙකු උසිගැන්වීම, පොලඹවීම හෝ දිරිමත් කිරීම' වරදකි.

තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව 'පුනර්ජනනීය බලශක්ති අංශයේ' ආයෝජනය කිරීමට හැකිවන පරිදි 2009 ලංවිම පනතට සංශෝධන යෝජනා කරන පනත් කෙටුම්පතට එරෙහිව වෘත්තීය සමිති මෙම වර්ජනය කැඳවා ඇත. විදුලි ඒකකයේ අඩුම මිලට ටෙන්ඩර් ඉදිරිපත් කිරීම මත ආයෝජන අවස්ථාව ලබා දෙන බවට වන ප්‍රධාන ඡේදයක් සංශෝධනය මගින් ඉවත් කෙරේ.

තරඟකාරී ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව, රටේ සුලං සහ සූර්ය බලශක්ති සම්පත්, අදානි සමූහයට (ඇමරිකානු ඩොලර් වලින් ගෙවයි) පැවරීම පනතේ අරමුන බව වෘත්තීය සමිති පැවසීය. ප්‍රතිසංස්කරන මුවාවෙන් ලංවිම පෞද්ගලීකරනය කරා ගෙනයාම නවතා ලංවිම සභාපති ධූරයට “නොකැලැල් චරිතයක්” ඇති සුදුසු වෘත්තිකයකු පත් කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

කෙසේ වෙතත්, වෘත්තීය සමිති මර්දනකාරී නියෝගයට යටත් වී වැඩවර්ජනය නතර කලහ. ඉංජිනේරු සංගමයේ නායකයා පැවසුවේ, ජනාධිපතිවරයා ඔවුන් කැඳවා, පනත් කෙටුම්පත පිලිබඳ කාරක සභා විවාදයේදී ඔවුන්ගේ ඉල්ලීම් පිලිබඳව සලකා බලන බවට පොරොන්දු වූ බවයි. පාර්ලිමේන්තුවේදී පනත සම්මත වුවහොත්, 'වහාම ක්‍රියාත්මක වන පරිදි අපගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නැවත ආරම්භ කිරීමට අපි පසුබට නොවෙමු' යයි සංගමය ප්‍රකාශ කලේය.

කම්කරු පන්තියේ වැඩෙන විරුද්ධත්වය සමග දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයක් මධ්‍යයේ, වැඩවර්ජනය පුපුරා යාම කම්කරු පන්තියේ අනෙකුත් කොටස් ආකර්ෂනය කරගනු ඇතැයි රාජපක්ෂ බිය විය. අප්‍රේල් මස මුල සිට ආන්ඩුවට එරෙහිව මහජන විරෝධතා පැන නැගුනි. මිලියන ගනනක් කම්කරුවෝ අප්‍රේල් 28 සහ මැයි 6 යන දිනවල එක්දින වැඩවර්ජනවලට සම්බන්ධ වූහ. ඔවුන් ඉල්ලා සිටින්නේ අධික උද්ධමනය, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ දීර්ඝ විදුලි කප්පාදු අවසන් කරන ලෙසත්, ජනාධිපති රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙසත් ය.

රාජපක්ෂ වර්ජනයට එරෙහිව මර්දන නීතිය ක්‍රියාත්මක කරන අතරේ, ඇත්ත වශයෙන්ම ඔවුන් මෙතෙක් කර ඇති පරදි, වැඩවර්ජනය යටපත් කිරීමට වෘත්තීය සමිතිවල සහාය ද පැතීය. අතීතයේ අත්දැක ඇති පරිදි රාජපක්ෂගේ 'පොරොන්දුවෙහි' කිසිදු වැදගැම්මක් නැත.

ඒ අතරම, විදුලිබල මන්ඩලයේ කලමනාකාරීත්වයේ ඉල්ලීම මත, බදාදා කොලඹ දිසා අධිකරනය විසින්, 'වර්ජනයේ නියැලීම හේතුවෙන්, පොදු මහජනතාවට විදුලිය සැපයීමට බාධා කිරීමෙන්' ලංවිමඉසං වලක්වාලන වාරන නියෝගයක් නිකුත් කරන ලදී.

වෘත්තීය සමිති නායකයින් අධිකරනය ඉදිරියේ පෙනී සිටිය යුතු ජුනි 22 දක්වා වාරන නියෝගය වලංගු වේ. මෙම නියෝගය, ඇත්ත වශයෙන්ම, වැඩ වර්ජනය මත පනවන ලද අධිකරනමය තහනමකි. අධිකරන නියෝගය නොසලකා හැරීම අධිකරනයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකි අතර දඬුවම් ද ලැබිය හැක.

අමසේප සහ අධිකරන නියෝගයට මුවා වී මෙම සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන වැඩි ඡන්දයෙන් සම්මත විය. සමගි ජන බලවේගය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඇතුලු එකදු විරුද්ධ පක්ෂයක් හෝ අත්‍යවශ්‍ය මහජන සේවා නියෝගයට විරුද්ධ වූයේ නැත.

සජබ නායක මන්ත්‍රීවරයෙකු පනතට සංශෝධනයක් ඉදිරිපත් කල අතර එය පරාජයට පත් විය. මෙයින් පෙනී යන්නේ ආන්ඩුවේ සංශෝධනය සම්බන්ධයෙන් සජබ සතුව ඇත්තේ උපායික වෙනසක් පමනක් බවයි. ජනතා විමුක්ති පෙරමුන නිෂ්ඵල විරුද්ධත්වයක් පෑවේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ආන්ඩුව 'වෘත්තීය සමිති ත්‍රස්තවාදයට හිස නොනමන' බවයි. ඔහු ඇත්තටම අදහස් කලේ ලංවිම සේවකයන් ගැන මිස, ඒ වන විටත් වර්ජනය නතර කර ඇති වෘත්තීය සමිති නිලධාරීන් නොවේ. බිය ගැන්වීමේ උද්ඝෝෂනයක යෙදුන ඔහු 'කඩාකප්පල්කාරී ක්‍රියා' සිදුවෙමින් පවතින බව පවසමින්, ජලවිදුලි උත්පාදනය සඳහා භාවිතා කරන ජලාශ සඳහා ආරක්ෂක අංශවල ආරක්ෂාව ද ඉල්ලා සිටියේය.

2009 දී පනවන ලද පවත්නා විදුලිබල පනත මගින් පුද්ගලික සමාගම්, සමූපකාර සහ පලාත් පාලන ආයතනවලට විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂනය සහ බෙදා හැරීම යන සෑම අංශයකින්ම රජයට අයත් ලංකා විදුලිබල මන්ඩලය (ලංවිම) සමඟ තරඟ කිරීමට මග පෑදීය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා ජාත්‍යන්තර ආයෝජකයින් ඇතුලු පෞද්ගලික ආයෝජනවලට ඉඩ සලසන මෙම ලංවිම පනතේ සංශෝධන පනත් කෙටුම්පත, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ අවසානයේදී පුද්ගලීකරනය කිරීමේ, වැඩපිලිවෙලේ කොටසකි. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) දිගුකාලීන ඉල්ලීමකි.

ජාමූඅ කප්පාදු වට්ටෝරුව ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති රාජපක්ෂ පසුගිය මාසයේ අගමැති ලෙස පත් කලේ, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වූ, එක්සත් ජනපද-ගැති රනිල් වික්‍රමසිංහ ය. රජය සතු පාඩු ලබන ව්‍යාපාර දරාගත නොහැකි බවත් ඒවා පෞද්ගලීකරනය කල යුතු බවත් වික්‍රමසිංහ පුන පුනා ප්‍රකාශ කරයි. මේ වසරේ පලමු කාර්තුවේ විදුලිබල මන්ඩලයේ පාඩුව රුපියල් බිලියන 65 ක් බව ඊයේ මාධ්‍ය විසින් උලුප්පා පෙන්වන ලදී.

විදුලි බිලද වැඩි කිරීමට නියමිතය. ලංවිම කලමනාකාරීත්වය එය සියයට 300 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත. එවැනි වැඩිවීමක් කම්කරුවන්ට සහ දුප්පතුන්ට තවත් බරක් එකතු කරනු ඇත.

ලංකා විදුලිබල මන්ඩල එක්සත් වෘත්තීය සමිති සන්ධානය (ලංවිමඑවෘසසං) නායක රන්ජන් ජයලාල් (ලෝසවෙඅ මාධ්‍ය)

සංශෝධන පනත් කෙටුම්පත පිලිබඳ වෘත්තීය සමිතිවල විවේචන කුහක ය. ලංවිමඑවෘසසං නායක සහ ජවිපෙ මධ්‍යම කාරක සභික රන්ජන් ජයලාල් ඊයේ වැඩවර්ජනය අවසන් කරන බව නිවේදනය කරමින් මෙසේ පැවසීය: “මෙම පනත මගින් මෙම අංශයේ ඒකාධිකාරය හිමිකර ගැනීමට ඉඩ දෙන්නේ ඉන්දියානු අදානි සමාගමට පමනි. තරඟකාරී ටෙන්ඩර් කැඳවීමේ පටිපාටියක් තිබේ නම් දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට ද මැදිහත් විය හැකිය.'

මෙයින් අදහස් වන්නේ, විදුලිබල අංශයේ ආයෝජකයින්ගේ 'තරගකාරී ලංසු තැබීමට' වෘත්තීය සමිති විරුද්ධ නොවන බවයි. වැඩවර්ජනය කැඳවීමට ඔවුන් තල්ලුවූයේ, ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙලට එරෙහි කම්කරුවන්ගේ විරෝධය අපසරනය කිරීමට පමනි.

පසුගිය වසරේ රාජපක්ෂ ආන්ඩුව රජයට අයත් වෙස්ට් කෝස්ට් සමාගම පාලනය කරන කෙරවලපිටිය එල්එන්ජී බලාගාරයේ කොටස් වලින් සියයට 40 ක් එක්සත් ජනපදය පදනම් කරගත් 'නිව් ෆෝට්‍රස් එනර්ජි' සමාගමට විකුනා දැමීමට පියවර ගත්තේය. වෘත්තීය සමිති, කම්කරුවන්ගේ විරෝධය පීලි පැන්නවීමට විරෝධතා කැඳවූ අතර ආන්ඩුවේ තීරනය ආපසු හැරවීමට අධිකරනයට ගියේය. අධිකරනය ආන්ඩුවේ ගිවිසුමට සහය දුන් අතර වෘත්තීය සමිති විරුද්ධතාවය හකුලා ගත්තේය.

අර්බුදයට විසඳුමක් ලෙස අන්තර්වාර පාලන තන්ත‍්‍රයක් සහ පාර්ලිමේන්තු මැතිවරනයක් ඉල්ලා සිටින සජබ සහ ජවිපෙ පිටුපසට ආන්ඩුවට එරෙහි කම්කරු විරෝධය හරවා යැවීමට, පසුගිය මාස දෙකේ පැවති වැඩ වර්ජන දෙක අතරතුර ලංවිම වෘත්තීය සමිති, අනෙකුත් වෘත්තීය සමිති සමග එක්ව ක්‍රියා කලහ.

ආන්ඩුවේ අතිකාල දීමනා කප්පාදු කිරීමට එරෙහිව සෞඛ්‍ය සේවකයින් අතර කෝපය උතුරා යද්දී, ජනාධිපති රාජපක්ෂ සෞඛ්‍ය අංශයට අත්‍යාවශ්‍ය සේවා ආඥාව පැනවීය. මෙම කප්පාදුවලට එරෙහිව කම්කරුවෝ රෝහල් කිහිපයක උද්ඝෝෂන දියත් කලහ.

කප්පාදු කල දීමනා ආපසු ගෙවන බවට වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ “සහතිකය” පිලිගනිමින් වෘත්තීය සමිති මෙම විරෝධතා නවතා දමා ඇත. දැන්, මේ ක්‍ෂේත්‍රය තුල ද ඉදිරියේදී ඇතිවීමට නියමිත අරගල මර්දනය කිරීමට ආන්ඩුව කටයුතු කරමින් සිටී.

විදුලි බල හා සෞඛ්‍ය සේවකයින් මත වැඩවර්ජන ක්‍රියාමාර්ග තහනම් කරමින් රුදුරු අමසේප නියෝගය පැනවීම, සමස්තයක් ලෙස කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි.

ශ්‍රී ලංකාවේ ධනපති පන්තිය, වසංගතය මගින් අවුලුවන ලද සහ යුක්‍රේන තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් තීව්‍ර කරන ලද ගෝලීය අර්බුදයේ ගැඹුරින් එරී ඇත. මෙම අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම සඳහා ආන්ඩුව සියලු ඒකාධිපති පියවර ගනු ඇත. කම්කරු පන්තියට මෙම රුදුරු පියවර සැහැල්ලුවෙන් තැකිය නොහැක.

කම්කරු පන්තියට, ආන්ඩුව පලවා හැරීමේ දේශපාලන අරගලයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කරගත නොහැක. රාජපක්ෂ-වික‍්‍රමසිංහ තන්ත‍්‍රය නිර්දය මර්දනකාරී පියවරයන් සමග ජාමූඅ නියෝග පැනවීමට සූදානම් වෙමින් සිටී.

මෙම ධාවනයේදී ආන්ඩුව වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය මත ද විශ්වාසය තබයි. විදුලිබල මන්ඩල සහ සෞඛ්‍ය සේවකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ අනෙකුත් පංති සහෝදර සහෝදරියන්ට ආයාචනා කරමින් ඔවුන් සමග එක්සත් වීම මගිනි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) පැහැදිලි කරන පරිදි, කම්කරුවන් වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂ වලින් ස්වාධීනව මෙම අයිතීන් සඳහා අරගලයක් දියත් කිරීමට සෑම වැඩපලකම සහ කම්කරු පන්තික ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුය. කම්කරුවන්, දේවල් තමන් අතට ගත යුතුය.

ශ්‍රී ලංකාවේ කම්කරුවන්, සමාන ප්‍රහාරයන්ට හා පොදු පන්ති සතුරාට මුහුන දී සිටින ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරිය යුතුය, ඔවුන් සමග එක්සත් විය යුතුය.

කම්කරු පන්තික විකල්පය නම්, ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට දුප්පතුන්ගේ සහ පීඩිතයන්ගේ සහයෝගය රැලිකර ගැනීමයි.

Loading