ජර්මනිය:'නෝර්ත් රයින්-වෙස්ට්ෆාලියා' හි හෙද වර්ජනයට සහය දෙමු! ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගමු!

[මෙය Support nurses’ strike in North Rhine-Westphalia! Build independent Action Committees! යන මැයෙන් 2022 ජූනි 11 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

හිතවත් සහෝදර සහෝදරියනි:

ප්‍රමානවත් සේවා කොන්දේසි සහ හොඳ හෙද සේවාවක් සඳහා වන අරගලය, වර්ඩි වෘත්තීය සමිතියෙන් ස්වාධීනව, අපගේම දෑතට ගනිමින්, ජාත්‍යන්තරව සෞඛ්‍ය සේවකයින් එක්සත් කිරීම සඳහා අප හෙද ක්‍රියාකාරී කමිටුව පිහිටුවා ඇත. වට්ස්ඇප් හරහා +491633378340 ඔස්සේ අප අමතන්න, සහභාගී වීමට මෙහි ලියාපදිංචි වන්න. [ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සම්බන්ධ වීමට දුරකතන: 0773562327; ඊ මේල් ලිපිනය: healthworkers-sl@wsws.org]

නෝර්ත් රයින්-වෙස්ට්ෆාලියා (එන්ආර්ඩබ්ලිව්) හි විශ්ව විද්‍යාල රෝහල්වල සති පහකට වැඩි හෙදියන්ගේ වැඩ වර්ජනය සුවිශේෂ වැදගත්කමක් දරයි. එය හෙදියන්ගේ පෙර නොවූ විරූ ජාත්‍යන්තර බලමුලු ගැන්වීමේ කොටසකි. එක්සත් ජනපදයේ සිට ස්කොට්ලන්තය, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය, පෘතුගාලය, බෝල්කන් ප්‍රදේශය, ග්‍රීසිය, තුර්කිය, රුසියාව, මොරොක්කෝව, උගන්ඩාව, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව දක්වා හෙද කාර්ය මන්ඩල මේ වන විට කාර්මික ක්‍රියාමාර්ග ගනිමින් සිටිති. අඟහරුවාදා, ප්‍රංශයේ රෝහල් කාර්ය මන්ඩලවල දීපව්‍යාප්ත වැඩවර්ජනයක් පැවැත්විනි.

මැයි 12 දා ඩසල්ඩෝෆ් හි හෙද කාර්ය මන්ඩලය, නෝර්ත් රයින්-වෙස්ට්ෆාලියා හි විශ්ව විද්‍යාල රෝහල්වල අඛන්ඩ වැඩවර්ජනය අතරතුර. විශාල පුවරුවේ “හදවත නැවතී තිබේ. මට ඉදිරියට යා නොහැක!” යනුවෙන් ලියා ඇත. [ඡායාරූපය: ලෝසවෙඅ]

සෑම තැනකම, හෙදියන් එකම ව්‍යසනකාරී තත්වයකට මුහුන දෙයි: වසර දෙකහමාරක් තිස්සේ අපි වැඩ කරමින් සිටින්නේ අපගේ අන්තිම සීමාවේ ය, මන්ද සියලුම ආයතනික පාර්ශවයන් සෞඛ්‍යයට වඩා ලාභයට ප්‍රමුඛත්වය දීමට තීරනය කර ඇති බැවිනි. ඔවුන් මෙතෙක් ක්‍රියා කර ඇත්තේ වසංගතය යම් පමනකට ලිහිල් කිරීමටත්, රෝහල් සම්පූර්නයෙන්ම කඩා වැටීම වලකා ගැනීමට අවම ක්‍රියාමාර්ග ගැනීමටත් පමනි.

නමුත් වසංගතයට පෙර පවා, රෝහල් ප්‍රතිව්‍යුහගත කිරීම සහ මහජන සෞඛ්‍ය ප්‍රතිපාදනයන් පුද්ගලීකරනයට බඳුන් කිරීමේ වර්ධනය, අපගේ සේවා කොන්දේසි දරාගත නොහැකි බවට පත් කලේය. මෙය සහ වසර ගනනාවක් අප මුහුන දුන් මූර්ත වැටුප් කප්පාදුව නිසා අපගේ වෘත්තිය කෙතරම් ආකර්ශනීය නොවනවාද යත්, කාර්ය මන්ඩලවල තත්වය දිනෙන් දින නරක අතට හැරේ.

මේ නොඉවසිය හැකි තත්වයෙන් පෞද්ගලික සහ රජයේ රෝහල් පවත්වාගෙන යන්නන් ද ප්‍රයෝජන ලබයි! අඩු කාර්ය මන්ඩලයක් සහිත සෑම වැඩ මුරයක්ම, අධික වැඩ හේතුවෙන් සගයන්ගේ සෑම මානසික හා ශාරීරික බිඳවැටීමක්ම සහ සම්පත් අඩු සෑම රෝගියෙකුම ඔවුන්ගේ මුදල් පෙට්ටගම් වඩ වඩා පුරවා දමයි!

මෙම ව්‍යසනයට පිලියමක් ලෙස, අපගේ රැකියා නැවත දරාගත හැකි තත්වයට පත් කිරීමට සහ රෝගීන්ට ප්‍රමානවත් සැලකිල්ලක් දැක්වීම සඳහා, ඊනියා 'සහන සඳහා තැරැව් කිරීමේ සාමූහික ගිවිසුම' (ටීවී-ඊ) මගින් සපයනු ලබන බාහිර වෙනස්කම් කිහිපයක් ඒහි ආසන්නයටවත් පැමින නොමැත. අවශ්‍ය වන්නේ බිලියන ගනන් වටිනා ආයෝජන වැඩසටහනක් සහ සෞඛ්‍ය සේවකයින්ගේ ද රෝගීන්ගේ ද අවශ්‍යතාවලට අනුකූලව රෝහල් ප්‍රතිව්‍යුහගත කිරීමයි. සාක්ෂාත් කරගත යුතු අවම ඉල්ලීම් පහත සඳහන් වේ:

  • සේවක හිඟය සහිත සෑම වැඩ මුරයක් සඳහාම, සේවකයින්ට අහිමි වූ සේවකයාගේ වැටුප සහ සියයට 50 ක ආතති ප්‍රසාද දීමනාවක්, වන්දි ලෙස ගෙවිය යුතුය! දෙදෙනෙකුගේ වැඩ කරන අයට දෙදෙනෙකුගේ වැටුප ද ගෙවිය යුතුය! අපගේ සෞඛ්‍යයට හානි කරමින් නියමිත ප්‍රමානයට වඩා අඩු කාර්ය මන්ඩලය සූරාකෑමෙන් සෞඛ්‍ය ව්‍යවසායන් පොහොසත් වන ද්‍රෝහී ක්‍රමය අවසන් කල හැක්කේ එවැනි ආකාරයකින් පමනි!
  • කාර්ය මන්ඩලය වහා දෙගුන කරනු! ප්‍රමානවත් සැලකිල්ලක් දැක්විය හැක්කේ කාර්ය මන්ඩලවල දැවැන්ත වැඩිවීමකින් සහ සියලු කාර්ය මන්ඩල කප්පාදුව ආපසු හැරවීමකින් පමනක් බව අපි සෑම කෙනෙකුම දනිමු!
  • මෙය කල හැක්කේ අවසානයේදී, හෙදියන්ට ප්‍රමානවත් වැටුප් ගෙවන්නේ නම් පමනි. ආහාර සඳහා උද්ධමනය සියයට 20 සිට 50 දක්වා ඉහල යාමත් සමඟ, වත්මන් වැටුප් කැටි කිරීම (වැටුප් කැටි කිරීම යනු, යම් කාල සීමාවක් සඳහා සේවකයින්ගේ සමහර හෝ සියලුම කාන්ඩ සඳහා වත්මන් වැටුප් මට්ටම් එලෙසම පවත්වාගෙන යාමේ සමාගමක ප්‍රතිපත්තියයි - පරිවර්තක) යනු මූර්ත වැටුප් වලට පිලිගත නොහැකි පාඩුවකි. මෙයට සහ මීට පෙර මූර්ත වැටුප් කප්පාදුවලට වන්දි ගෙවීම සඳහා අවම වශයෙන් සියයට 30 කින් වැටුප් වැඩි කල යුතු අතර, එය උද්ධමනයට සමගාමීව වැඩි විය යුතුය!
  • ආයුධ සඳහා වෙනුවට සෞඛ්‍යය සඳහා යුරෝ බිලියන 100 ක්! මුදල් නැතිය යන තර්කය මත, අවුරුදු ගනනාවක් තිස්සේ රෝහල් ඇටපොත්තටම කප්පාදු කර තිබේ. දැන්, යුරෝපයේ විශාලතම මිලිටරි බලය බවට ජර්මනිය නැවත සන්නද්ධ කිරීම සඳහා බිහිසුනු ලෙස සම්පත් භාවිතා කරනු ලැබේ. ඒ වෙනුවට, වසංගතයට එරෙහි සටනට සහ සෞඛ්‍ය සේවා පද්ධතියේ දැවැන්ත ව්‍යාප්තියක් සඳහා මුදල් ආයෝජනය කල යුතුය!

අප මෙම ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන විට, අපට ආන්ඩුව හා සමාගම් සමග පමනක් නොව, වෘත්තීය සමිති සමග ද ගැටීමට සිදුවේ. වර්ඩි දශක ගනනාවක් තිස්සේ අපගේ නරක සේවා කොන්දේසි සංවිධානය කිරීමට උදව් කර ඇත. එක් පරිහානියක් පසුපස තවත් එකක් ගමන් කලේය. වැටුප් කැටි කිරීම සහ දෙසැම්බර් මාසයේ ආරම්භ වන සියයට 2.8 ක වැටුප් “වැඩිවීම” සමඟින් ඉතා මෑතක දී වර්ඩි අපට සැලකිය යුතු මූර්ත වැටුප් කප්පාදුවක් කිරීමට බල කලේය. වසංගතය අතරතුර අප කල දැවැන්ත කැපකිරීම් සඳහා අපට ලැබෙන ස්තූතිය එයයි.

දැන් අපගේ වැටුප් හා කොන්දේසිවල සෑම පිරිහීමකටම එකඟ වූ වර්ඩි, ටීවී-ඊ 'සහන කොන්ත්‍රාත්තුව' සඳහා අඬබෙර ගසයි. නමුත් මෙයට අපගේ අවශ්‍යතා සමඟ සම්බන්ධයක් ඇත්තේ යන්තමිනි; මෙම කොන්ත්‍රාත්තුව, අඩු කාර්ය මන්ඩලය අවසන් කරනවා වෙනුවට, එය ක්‍රියාත්මක කරනු ඇත. අපට මෙය බර්ලිනයේ දැකිය හැකිය, එහිදී ටීවී-ඊ විසින් සේවකයෙකුගේ අඩු කාර්ය මන්ඩල වැඩ මුරයක් සඳහා එක් ලකුනක් එකතු කරන ලකුනු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. න්‍යායාත්මකව, ලකුනු පහක් සඳහා ඔහුට හෝ ඇයට නිවාඩු දිනක් ලැබේ—නමුත් ප්‍රමානවත් කාර්ය මන්ඩලයක් නොමැති නිසා පසුව එය ද ලබා ගත නොහැක. මේ අනුව, ලකුනු, සම්පූර්නයෙන් පිලිගත නොහැකි අඩු කාර්ය මන්ඩලය නීත්‍යානුකූල කිරීම සඳහා පමනක් සේවය කරයි. අනෙක් අතට, අපගේ හෙද සගයන්ගේ තත්වය යන්තමින්වත් දියුනු වී නැත.

අපට සැබෑ වැඩිදියුනු කිරීම් සඳහා වන අපගේ සටන ජය ගත හැක්කේ වර්ඩි කතිකා කර ගන්නා නියෝග වලින් ඉවත් වී, අංශ සහ ජාතික සීමා කපාගෙන අරගල ඒකාබද්ධ කරන, ක්‍රියාකාරී කමිටු තුල ස්වාධීනව සංවිධානය වීමෙන් පමනි. එක්සත් ජනපදයේ හෙදියන් දැනටමත් සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටු පිහිටුවා ඇත. ජර්මනියේ අරගලය, ඔවුන් සමග සහ ලොව පුරා සිටින සෞඛ්‍ය සේවකයින් සමග එක්ව ගෙන යා යුතුය.

එන්ආර්ඩබ්ලිව් තුලම, වැඩි වැටුප් සඳහා සහ සැලසුම්ගත මහා පරිමාන දොට්ට දැමීම් වලට එරෙහිව නොයෙකුත් වැඩ වර්ජන සහ විරෝධතා දැනට සිදුවෙමින් පවතී. විශ්වවිද්‍යාල රෝහල්වල වැඩවර්ජනයට ද විශාල සහයෝගයක් ලැබෙන්නේ මේ නිසාය. සෞඛ්‍ය ක්ෂේත්‍රය විනාශ කරන විට සහ කම්කරුවන්ට හිරිහැර කරන විට, එය තම අවශ්‍යතාවන්ට අදාල වන බව කම්කරුවන් තේරුම් ගනී.

කම්කරු අරගල හුදකලා කිරීමට සහ යටපත් කිරීමට වෘත්තීය සමිති දරන උත්සාහයට එරෙහිව, ප්‍රමානවත් සෞඛ්‍ය රැකවරනය සහ කම්කරුවන්ගේ අයිතීන් සඳහා පුලුල් බලමුලු ගැන්වීමක ආරම්භක ලක්ෂ්‍යය මෙය බවට පත් කල යුතුය. එසේ කිරීමේදී අපට ඉතා මූලික ප්‍රශ්නවලට මුහුන දීමට සිදුවේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැඩිදියුනු කරනවා වෙනුවට, සෞඛ්‍යයට ඉහලින් ලාභය තබමින්, සමාජ සම්පත් යුද්ධෝපකරන සඳහා කැප කිරීමට අපේක්ෂා කරන බව ආන්ඩුව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.

නමුත් අප ජාත්‍යන්තරව එකමුතු වී එක්ව සටන් කරන විට ආන්ඩු, සමාගම්, වෘත්තීය සමිතිවලට වඩා අප ශක්තිමත් ය. කම්කරු අරගල පසුගිය කාලයේ ජයග්‍රාහී වූ අතර ස්වාධීනව සංවිධානය වුවහොත් දැන් ද එය එසේම වනු ඇත.

එබැවින්, වට්ස්ඇප්: +491633378340 මගින් අදම අප අමතන්න. [ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව හා සම්බන්ධ වීමට දුරකතන: 0773562327; ඊ මේල් ලිපිනය: healthworkers-sl@wsws.org]

ඔබගේ රෝහලේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ලියාපදිංචි වන්න, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (ක්‍රික-ජාකස) ගොඩනැගීමට සම්බන්ධ වන්න.

Loading