මහනුවර රෝහලේ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව සාර්ථක රැස්වීමක් පවත්වයි

මහනුවර ජාතික රෝහලේ සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව (මරෝසෞක්‍රික), ජූනි 16 වැනි දා, රෝහලේ කේඑස්එම් ශාලාව තුල, 'ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රහාර පරාජය කරන්නේ කෙසේද?' යන මැයෙන් රැස්වීමක් පැවැත්වීය. එයට, රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන්, සෞඛ්‍ය කාර්ය සහායකවරුන් සහ විකිරන ශිල්පීන් වැනි විවිධ ශ්‍රේනි වල සෞඛ්‍ය කම්කරුවෝ සහභාගී වී සිටියහ.

රැස්වීම පැවැත්වුනේ, අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි සහ පිසින ගෑස් ඇතුලු ඉන්ධන වල දැවැන්ත හිඟය සහ ඒවායේ ඉසිලිය නොහැකි මිල ද, දෛනිකව සිදුවන විදුලි කප්පාදු හේතුවෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දිවයින පුරා කම්කරුවන්, ගොවීන් සහ තරුනයන් මාස දෙකකට අධික කාලයක් ගෙනයන විරෝධතා උද්ඝෝෂන මධ්‍යයේ ය.

ගාලු මුවදොර පිටියේ විරෝධතාකරුවන්ට මැර ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව මහනුවර සෞඛ්‍ය සේවකයින් සිය ගනනක් විරෝධතා පාගමනක් පවත්වයි.

සෞක්‍රික සාමාජිකයෝ දින කිහිපයක් මුලුල්ලේ රෝහලේ විවිධ වාට්ටු, සායන, විකිරනවේදී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ භෞත චිකිත්සක අංශවල සේවය කරන කම්කරුවන් අතර කල උද්ඝෝෂනයට කම්කරුවන්ගේ පුලුල් අවධානයක් ලැබින. ලංකාවේ සෞඛ්‍ය කම්කරුවන් මුහුන දී ඇති අධික වැඩ බර, වැටුප් කප්පාදුව සහ දරාගත නොහැකි බඩු මිල වැනි ප්‍රශ්න වලට අන් රටවල සෞඛ්‍ය කම්කරුවන් මුහුන දී ඇති අයුරුත්, ඊට එරෙහිව ලොවපුරා සෞඛ්‍යය කම්කරුවන් අරගලවලට පැමින ඇති බවත් උද්ඝෝෂනය තුල දී සාකච්ඡා කෙරුනි.

ලොව පුරා එවැනි තත්ත්වයක් ඇතිවීමට බල පා ඇති සැබෑ හේතු දැනගැනීමට බොහෝ කම්කරුවෝ උනන්දු වූහ. ජර්මනියේ නෝර්ත්-රයින් වෙස්ට්ෆාලියා විශ්වවිද්‍යාල රෝහල තුල හෙදියන්, තුර්කියේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කම්කරුවන් සහ ඇමරිකාවේ හෙදියන් ඇතුලු ලොව පුරා සෞඛ්‍ය කම්කරුවන් එකම ආකාරයක දුෂ්කර කොන්දේසි වලට මුහුන දී ඇති අයුරු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පලවූ ලිපි ඇසුරෙන් කමිටු සාමාජිකයෝ ඔවුනට පෙන්වා දුන්හ.

මැයි 12 දා ඩසල්ඩෝෆ් හි හෙද කාර්ය මන්ඩලය, නෝර්ත් රයින්-වෙස්ට්ෆාලියා හි විශ්ව විද්‍යාල රෝහල්වල අඛන්ඩ වැඩවර්ජනය අතරතුර. විශාල පුවරුවේ “හදවත නැවතී තිබේ. මට ඉදිරියට යා නොහැක!” යනුවෙන් ලියා ඇත. [ඡායාරූපය: ලෝසවෙඅ]

වසංගතයෙන් සහ යුක්‍රේනය මැදි කරගෙන එක්සත් ජනපදය හා නේටෝව රුසියාවට එරෙහිව කරන යුද්ධය හේතුවෙන් ගැඹුරු කෙරුනු ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලොව පුරා ධනපති ආන්ඩු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු කරන බලගතු කප්පාදු මෙම තත්වයට හේතු වී ඇතිබව කමිටු සාමාජිකයෝ කම්කරුවන්ට පැහැදිලි කලහ. ඉහත යුද්ධයට මිලියන ගනන් මුදල් යෙදවීම තුල සෞඛ්‍යයට එල්ල කර ඇති කප්පාදු ප්‍රහාරය උග්‍ර කෙරී ඇති බව ද මෙහිදී සාකච්ඡා කෙරුනි.

සාකච්ඡාවන්ට උද්‍යෝගයෙන් සහභාගි වූ හිතන මතන කම්කරුවන්, මෙම ප්‍රහාර පරාජය කිරීම සඳහා කල යුත්තේ කුමක්දැ යි විමසූහ. ලොව පුරා කම්කරුවන් ඒකාබද්ධ වී ධනපති පාලකයන්ට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ප්‍රතිප්‍රහාරයක් එල්ල කලයුතු බව ද එය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත පාදක වියයුතු බව ද කම්ටු සාමාජිකයෝ පෙන්වා දුන්හ.

සමාජවාදී සමානතා පක්ෂය සසප සහ ලෝසවෙඅ පෙන්වා දී ඇති පරිදි, ධනපති ක්‍රමයේ ආරක්ෂකයන් වන වෘත්තීය සමිතිවලින් වෙන්වී ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින් සහ ඒවා අතර ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනගා ගනිමින් මෙම සටන ඉදිරියට ගෙනයාහැකි බව සාකච්ඡාවට භාජනය විය.

සමිති කෙරෙහි තම වෛරය පල කරමින් එක් හෙදියක් පැවසුවේ, 'අපට වෘත්තිය සමිති කිසිවක් දිනා දෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි, තියෙන දේවල් ද කප්පාදු කරනවට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් අර ගන්නෑ. අපි වෘත්තීය සමිති වලට ගෙවන සාමාජික මුදල නවතා දමන්න ඕන' බවයි. වෘත්තිය සමිති ගැන කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු බව ඇය කීවාය.

උද්ඝෝෂනය තුලදී කම්කරුවන් 50 දෙනෙක් පමන ඔවුන්ගේ වට්ස් අප් අංක ලබාදෙමින් කමිටුවේ වට්ස් අප් කන්ඩායමට එකතු වූහ. එම දින කිහිපය තුල, වට්ස් අප් කන්ඩායම 85 සිට 137 දක්වා ඉහල ගොස් ඇත. සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් ප්‍රමානයකට ස්මාර්ට් දුරකථන නොමැති නිසා ඔවුන්ට කන්ඩායමට එක් වීමට නොහැකි විය. ඔවුන් පැවසුවේ, තම ස්මාට් දුරකථන, අන්තර්ජාල අධ්‍යාපන වැඩකටයුතු සඳහා දරුවන්ට ලබා දී ඇති බව සහ අලුත් දුරකථනයක් ගැනීමට ආර්ථිකය ශක්තිමත් නැති බවයි.

තවත් හෙදියක් මෙසේ කීවාය: 'ඔය කියන දේවල් අපට ඉතා වැදගත්. ඒත් අධික වැඩ නිසා මට ඔය රැස්වීමටට සහභාගි වෙන්නවත් නිදහසක් නෑ, අපිට මේ වැඩ අධික බව නිසා අපේ ප්‍රශ්න කතා කරන්නත් වෙලාව නැති කරලා තියෙන්නේ'

සතියක් පුරා කල උද්ඝෝෂනයෙන් පසු 16 වැනි දා දහවල් කෑම විවේකයේ දී ප්‍රසිද්ධ රැස්වීමේ වැඩකටයුතු ආරම්භ කෙරුනි. රැස්වීම මෙහෙයවූ කමිටු සාමාජික පී.ගමගේ, ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු යනු මොනවාද යන්න පැහැදිලි කලේය. 'කම්කරු ක්‍රියාකාරී කම්ටු කියන්නෙ, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තෝරාපත්කර ගැනෙන, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන් තුලින් තීන්දු තීරන ගැනෙන සහ සාමූහිකව එම තීරන ක්‍රියාවට නගන සංවිධාන රූපයක්' බව ඔහු පෙන්වා දුන්නේ ය. වෘත්තීය සමිතිවල තීන්දු තීරන ගැනෙන්නේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවන්ගෙන් නොවන බව, කැඳවා තිබූ වර්ජන අත්හිටුවීමට නිලධරය ගත් මෑතම තීන්දු ඇසුරෙන් පැහැදිලි කලේය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහ වෛද්‍ය තාක්ෂනවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් ජාමූඅ ප්‍රහාර කම්කරුවන් මත පැටවීමට සහාය දෙන ආකාරය ගමගේ අනතුරුව විස්තර කලේය. 'රාජ්‍ය රැකියා කප්පාදුවේ සහ සහ මහජන සෞඛ්‍ය සේවය කඩා බිඳ විසුරුවා හැරීමේ සැලසුමේ කොටසක් ලෙස යෝජනා කෙරී ඇති, රාජ්‍ය සේවකයන් විදේශ රැකියා වලට තල්ලු කිරීමේ වැඩපිලිවෙලට සහයෝගීව රත්නප්‍රිය එලිපිටම උද්ඝෝෂනය කරනවා. අර්බුදයට ගොස් ඇති ධනපති පාලනය රැක ගැනීමට පිටරට රැකියා වලින් ඩොලර් උපයාගතයුතු බව රත්නප්‍රිය කියනවා. කුමුදේශ් මෑතකදි ලෝසවෙඅ සමග කල සාකච්ඡාවකදී ජාමූඅ වැඩපිලිවෙලට තම එකඟතාව පලකලා.'

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමිති පමනක් නොව අන්‍ය ක්ෂේත්‍රයන්හි සහ ලොවපුරා වෘත්තීය සමිති කම්කරු පංතියට එරෙහිව ධනපති අවශ්‍යතා සපුරන උපකරන බවට පත්ව බොහෝකල් ගතව ඇති බවත්, කම්කරුවන් මෙම සමිති වලින් බිඳී තමාගේම සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතු බවත් පැවසූ ගමගේ, මරෝසෞක්‍රික මෙතෙක් බැඳී නැති අය එයට බැඳී මෙම සටනට උරදෙන ලෙස ඉල්ලා සිටියේ ය.

රැස්වීම ඇමතූ කමිටු සාමාජික කැලුම් ධම්මික, සමිති විසින් කම්කරුවන් අතර ශ්‍රේනිභේදය අවුලුවන නමුත්, මහනුවර රෝහලේ පිහිටුවා ඇති සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව රෝහලේ කම්කරුවන් සියලු දෙනා ශ්‍රේනි භේදයකින් තොරව එකතු කර ඇති බව පැවසීය. 'එය ලෝකය පුරා සමස්ත කම්කරුවන් ඒකාබද්ධ කරන ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටු සන්ධානය පිහිටුවීමේ කොටසක්' බව ද ඔහු කීවේය.

'සෞඛ්‍ය කම්කරු අරගල ගෝලීයව පුපුරා ඒමෙන් පැහැදිලි වන්නේ මෙම ධනපති ප්‍රහාරයන් ගෝලීය ප්‍රපංචයක් බවත් ඊට විරුද්ධව සටන් කිරීම සඳහා කම්කරුවන් ගෝලීයව එකමුතු කල හැකි බවයි. අප ගොඩනගන ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරී කමිටු සන්ධානය හරහා ධනපති පන්තිය විසින් තම ලාභය උදෙසා සිදුකරන නිෂ්පාදනය හා ඒවාහි බෙදාහැරීම කම්කරු පන්තිය අතට ගෙන, ලාභය සඳහා නොව මානව අවශ්‍යතාවය සඳහා ඒවා යොදාගත යුතු' බව කැලුම් පැහැදිලි කරන ලදී.

අනතුරුව එලැඹි ප්‍රශ්න වාරයේ දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නායකයෙකු වන සුරේශ් ප්‍රශ්න දෙකක් මතු කලේය. මුල් ප්‍රශ්නය වූයේ කම්කරුවන් බලය ලබා ගන්නේ කෙසේද? යන්නයි. 'කම්කරු පන්තිය පලමු කොටම තම බලය ලබා ගැනීමේ සටනට හතුරුව සිටින සංවිධාන සහ ඔවුන් විසින් වගාදිගා කරන දෘෂ්ටිවාදයන් හඳුනාගතයුතු වෙනවා. ලෝසවෙඅ මෙම සංවිධාන ගැන කරන විශ්ලේෂන කම්කරුවන් විසින් අධ්‍යනය කලයුතු වෙනවා' යැයි එයට පිලිතුරු දෙමින් ගමගේ පැවසීය.

'කම්කරු පංතියට බලය ලබා ගැනීමේදී වෘත්තීය සමිති තමයි ප්‍රධානතම බාධකය. ඒවා පන්ති අරගලය ගෙනයාමේ උපකරනයන් ලෙස ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒවා පන්ති අරගලය මැඩලීම සඳහා හාම්පුතුන්ගේ සහ දේශපාලකයින්ගේ උපාංග බවට පත්වෙලා තියෙන්නෙ. මේ සමිති වලින් ද, ධනපති ආන්ඩු වලට බලපෑම් යෙදීමෙන් අයිතීන් තහවුරු කරගත හැකි වෙතැයි යන මිත්‍යාව තොරොම්බල් කරමින් කම්කරු පංතිය අතට බලය ලබාගැනීම ඈත අනාගතයට කල් දමන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ-වාම සංවිධාන වලින් ද බිඳී ගනිමින් කම්කරුවන් තමාගේම සටන් සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත යුතුයි.'

රටක් රටක් පාසා ගොඩනගා ගන්නා එම කමිටු සන්ධානගත කර ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන් කම්කරු පංතියට බලය ලබාගතහැකි බවත්, ගමගේ පෙන්වා දුන්නේය. 'මෙහිදී කම්කරු පංතියේ පංති ස්වාධීනත්වය සහ ජාත්‍යන්තරවාදය සඳහා සටන් වැදීම අත්‍යවශ්‍ය යි. '

දෙවැනි ප්‍රශ්නය වූයේ, 'මේ වෙලාවේ ලංකාව තුල ඉන්දියාව විසින් කරන මැදිහත්වීමට විරුද්ධව ඔබ සංවිධානය වෙනත් කම්කරු සංවිධාන සමග සම්බන්ධව හෝ මේ වන විට ක්‍රියාමාර්ග ගෙන තිබේද? ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමේ බලාපොරොත්තුවක් තිබේනම් ඒ සැලසුම් මොනවාද?'

එයට පිලිතුරු දෙමින්, ගමගේ කියා සිටියේ, ඉන්දියාවේ ධනපති පාලක පංතිය තම භූ-දේශපාලනික සහ ආර්ථික අවශ්‍යතාවයන් සඳහා ලංකාව තුල කරන මැදිහත්වීමට එරෙහිව සටන් කිරීමේදී, ජනතා විමුක්ති පෙරමුන, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෘත්තීය සමිති ඇතුලු ජාතිකවාදී සංවිධාන ගෙනයන 'ඉන්දියානු විරෝධී' ප්‍රතිගාමී උද්ඝෝෂනය කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතු බවයි.

'එවන් උද්ඝෝෂනයක්, ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ධනපති පාලකයන්ට එරෙහිව සටන් කිරීමේදී අත්‍යවශ්‍යම වන ඉන්දියාවේ සහ ලංකාවේ කම්කරුවන් අතර ජාත්‍යන්තරවාදී එකමුතුවට වල කපන බව අපි වටහාගත යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත කම්කරු පංතියට එල්ල කරන ප්‍රහාර පරාජය කිරීමේ අපේ සටන යොමුව ඇත්තේ, ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ඉන්දු උපමහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීම දෙසටයි. එහිදී ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය මූලික ක්‍රියාකලාපයක් ඉටු කරනවා ඇති.'

රැස්වීම අවසාන භාගයේ දී මහනුවර රෝහලේ ක්‍රියාකාරී කමිටුව ප්‍රවර්ධනය කිරීම හා ලංකාව පුරා සෞඛ්‍ය ආයතන තුල ක්‍රියාකාරී කමිටු පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කෙරුනි. ඒ සඳහා රැස්වීමට සහභාගි වූ කම්කරුවන්ගෙන් සාධනීය යෝජනා ඉදිරිපත් වූ අතර සෑම දෙනාම ක්‍රියාකාරී කමිටු වර්ධනය සඳහා ක්‍රියා කරන බවට ප්‍රතිඥා දෙමින් සමාජවාදී සමානතා පක්ෂයේ මගපෙන්වීම යටතේ එහිදී ඉදිරිපත් කල වැඩ පිලිවෙලට ඒකමතිකව සහාය පල කලහ.

Loading