තීරනාත්මක වැදගත් කමකින් යුත් සම්පත්, අධිරාජ්‍යවාදය හා රුසියාවට එරෙහි යුද්ධය

[මෙය, 2022 මැයි 27 දා, Critical resources, imperialism and the war against Russia යන හිසින් ද පලවිය.]

පසුගිය ශතවර්ෂ කාල තුල එක්සත් ජනපදය සිදු කල සියලු ප්‍රධාන යුද්ධ හා හමුදාමය මැදිහත්වීම් ආරම්භ කරන ලද්දේ, ඒවා උදාර සදාචාරාත්මක අරමුනු සඳහා සිදු කරන බවට වන ව්‍යාජ කියාපෑම්වලිනි.

ඉරාකයේ දී, උන්මත්තක මිනිසෙක් සමූල සර්ව විනාශක අවි වර්ධනය කරමින් සිටින බවක් ඇමරිකානු ජනයාට කියා සිටින ලදී. ඇෆ්ගනිස්ථානයේ දී එම රට නිදහස් කිරීමට හා ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමට තාලිබාන් ජිහාඩ්වාදීන් ඉවත් කල යුතු විය. ලිබියාවේ දී, 'ප්‍රජාතන්ත්‍රවාදය' හා 'මානව අයිතිවාසිකම්' සඳහා එම රටෙහි අභිලාෂයට මුවම්මර් ගඩාෆි අවහිර කලේය.

අඩු ලංසුවේ තක්සේරුවලට අනුව, එජ නායකත්වයෙන් ගැටුම් ආරම්භ වීමෙන් පසු, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, සිරියාවේ, පකිස්ථානයේ හා යේමනයේ දී, 755,000 ත් 786,000 ත් අතර පිරිසක් සටන්වලින් ඍජුවම මරනයට පත් වී ඇති අතර බොහෝ දුරට මෙසේ මරනයට පත් වී ඇත්තේ සිවිල් ජනයා ය. දසදහස් ගනනක් මිය ගිය ලිබියාවේ දී, සිවිල් යුද්ධයේ දශකයකින් එම රට වැනසී ගොස් ඇත. පසුගිය ශත වර්ෂ හතරෙන් පංගුව ආරම්භ වූ තැන් පටන් ඇමරිකාව නායකත්වය දුන් ගැටුම් හේතු කොට ගෙන වෛද්‍ය සේවය, පෝෂනය හා යටිතල පහසුකම් බිඳ වැටීමෙන් ඇති වූ ව්‍යසනකාරී බලපෑම් නිසා මියගිය මුලු සංඛ්‍යාව මීට බෙහෙවින් වැඩි ය. එය මිලියන තුනක සිට මිලියන 12 තරම් ඉහල අගයක් දක්වා වේයැයි තක්සේරු කොට ඇත.

මෙම තිගැස්සෙන සුලු විනාශය, මෙකී ආක්‍රමනකාරී යුද්ධ සදාචාරාත්මක අරමුනුවලට යන්තමින් හෝ සැසඳෙන කිසිවක් හෝ මත පදනම් වී ඇතැයි යන ව්‍යාජය මුලුමනින්ම බොරු කර දමයි.

යුද්ධයේ පදනමේ, වඩාත් මූලික ආර්ථික හා භූ දේශපාලනික හේතූන් පවතින බව රහසක් නොවේ.

සෑම දෙයක්ම මුදල් වටා කැරකෙන දේශයක් වන එක්සත් ජනපදයේ, රටේ විශාලතම අපනයනවලින් එකක් වන යුද්ධය ව්‍යතිරේකයක් විය යුත්තේ මන්ද? 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ' කේන්ද්‍රස්ථානය වන මැදපෙරදිග, අනාගත ලාභතම තෙල් හා ගෑස් සංචිතවල ගෝලීය කේන්ද්‍රස්ථානය වීම හුදෙක් අහම්බයක් ද? ගඩාෆි සහ හුසේන් එකී කවුරුත් සොයා යන වෙලඳ ද්‍රව්‍යයේ මෙතෙක් අත නොගැසූ විශාලතම සැපයුම් ප්‍රභව දෙකක් මත වාඩි වී හිඳ තිබීම හුදෙක්ම පෙන්ටගනයේ වාසනාවට උදා වූ සතුටුදායක සම්පාතයක් පමනක් ද?

එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවේ හිටපු සභාපති හා එජ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන සැලසුම්කරුවා ව සිටි ඇලන් ග්‍රීන්ස්පෑන් 2007 ඔහුගේ මතක සටහනක මෙසේ දැක්වීය: 'සියලු දෙනා දන්නා දේ පිලිගැනීම දේශපාලනික වශයෙන් අපහසු වීම ගැන මම කනගාටු වෙමි: ඉරාක යුද්ධය බොහෝ දුරටම තෙල් සම්බන්ධයෙන් ඇති වූවකි.' මෙම සරල නිරීක්ෂනය පල කිරීම නිසා පවා ග්‍රීන්ස්පෑන් කර්කශ තරවටුවලට පාත්‍ර විය.

යුද්ධ සඳහා සත්තකින්ම ආර්ථික හා දේශපාලන සම්පත්වල දැවැන්ත බලමුලු ගැන්වීමක් අවශ්‍ය වේ. පසුගිය විසිපස් වසර පුරා යුද්ධ කිරීමට එක්සත් ජනපදය ඩොලර් ප්‍රකෝටි ගනනින් වැය කර ඇත. මෙම වියදම්වලින් ඇතැමුන් භයංකර ලෙස වත්පොහොසත්කම් වර්ධනය කර ගත් අතර, ඉදින් ප්‍රතිඵලයක් නෙලා ගත හැකි නම් මිස, එම අධිකතර වියදම් සිදු නොකරනු ඇත.

අධිරාජ්‍යවාදය සහ එජ-නැටෝව රුසියාව වැටලීම පිටුපස ඇති ගාමක බලවේග

රුසියාවට එරෙහි යුද්ධය සඳහා වන වත්මන් ප්‍රයත්නය වටහා ගත යුත්තේ මෙම සන්දර්භය තුල ය. ඕනෑම ප්‍රමුඛ හමුදාමය ගැටුමක් බැරෑරුම්ව වටහා ගැනීම සඳහා මෙම ආර්ථික හා භූ දේශපාලනික බලවේග විශ්ලේෂනය කල යුතු ය. කෙසේවෙතත්, යුක්‍රේනයේ උත්සන්න වෙමින් පවත්නා යුද්ධය පිලිබඳ මාධ්‍ය ආවරනය එවැනි කවර හෝ විශ්ලේෂනයකින් වියෝ වූ එකකි.

මෙකී ප්‍රයුක්තීන් පිලිබඳව සඳහන් වන තාක් දුරට, එය සිදු කෙරෙන්නේ අතිශය බොලඳ හා ඒක-පාර්ශවීය විලාසයකිනි: රුසියාව සිය වැදගත් ස්වභාවික වායුවේ සැපයුම හරහා සිය අසල්වැසියන්ට හිරිහැර කරයි; එක්සත් ජනපදය හා යුරෝපය එය නැවැත්වීමට වීරෝදාර ලෙස මැදිහත් වීමට යත්න දරයි. කෙසේ වෙතත්, එක්සත් ජනපදයට හා එහි යුරෝපීය අනුචරයන්ට යුක්‍රේනය සම්බන්ධයෙන් හෝ, ඉදින් රුසියාව ම සම්බන්ධයෙන් හෝ, ඇත්තේ කුමන උත්සුකයන්දැයි කිසිදු ප්‍රශ්නයක් නො නැඟේ.

ඉදින් යුද්ධය පිලිබඳ කිසියම් අවංක ඉතිහාසඥයෙකු මෙම ගැටුම වටහා ගැනීමට මං සොයන්නේ නම්, තම නිගමන කවරාකාර වුවත් එය නොතකා, අවම වශයෙන් පහත දැක්වෙන ප්‍රශ්න විමසීමට ඔහුට සිදු වනු ඇත:

  • නැටෝව හා යුරෝපා සංගමය පෙරදිගට ප්‍රසාරනය කිරීම සමඟ බැඳුනු භූ දේශපාලන උත්සුකයන් කවරේ ද?
  • යුක්‍රේනය භූ දේශපාලනික වශයෙන් හා ආර්ථික වශයෙන් පාලනය කිරීමේ වැදගත්කම කුමක් ද?
  • රුසියාව හමුදා බලය නැති වඩාත් කුඩා රාජ්‍ය බවට කැබැලි කිරීම තුල එක්සත් ජනපදයට ඇත්තේ කවර උත්සුකයන් ද? ඔවුන් මෙය සාක්ෂාත් කිරීමට කටයුතු කරනු ඇත්තේ කවර ආකාරයෙන් ද?
  • යුක්‍රේනයේ වත්මන් යුද්ධය හා යුරේසියාව තුල එක්සත් ජනපදයේ භූ දේශපාලනික අභිමතාර්ථ අතර ඇති සම්බන්ධය කුමක් ද?

ඇමරිකානු පාලක පන්තිය අත මෙම ප්‍රශ්නවලට පිලිතුරු පවතී. ඔවුහු හුදෙක් එම පිලිතුරු වැඩි දුර ප්‍රසිද්ධ නොකිරීමට කැමැත්තෝ වෙති.

1997 තරම් ඉහත දී, හිටපු එජ ජාතික ආරක්ෂක උපදේශකයා ද, යුක්‍රේනයේ එජ විදෙස් පිලිවෙතේ සැලසුම්කරුවා ද වූ ස්බිග්නිෆ් බ්‍රෙසන්ස්කි, 'ලෝක ගෝලීය ආධිපත්‍යය පවත්වා ගෙන යාමට ඇමරිකාවට ඇති ධාරිතාව' රඳා පවතින්නේ 'ආධිපත්‍යක හා ප්‍රතිරෝධී යුරේසියානු බලයක් ඉස්මතු වීම' වැලැක්වීමට එජ සමත්වේද යන කාරනය මත බව සඳහන් කලේ ය.

ස්බිග්නිෆ් බ්‍රෙසන්ස්කි [Photo: Wikimedia Commons]

සෝවියට් සංගමය විසුරුවා හැරීමේ අද්දර දී ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් කථා කරන බ්‍රෙසන්ස්කි සිය සඳහන තුල සුවිශේෂීව ම සිත්හි රඳවා සිටින්නේ රුසියාව පිලිබඳව ය. රුසියාවට එරෙහිව එක්සත් ජනපදය සිය ආධිපත්‍යය ප්‍රනිශ්චය කර ගැනීමේ දී යුක්‍රේනය තීරනාත්මක වෙතැයි ඔහු තර්ක කලේය. 'යුක්‍රේනය නොමැති වූ කල, රුසියාවට යුරේසියානු අධිරාජ්‍යයක් විය නොහැකියැ'යි ඔහු ලිවී ය. සත්තකින්ම රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා පෙන්ටගනයේ බ්‍රෙසන්ස්කිගේ මිතුරෝ, 'ගෝලීය ප්‍රථමතාව පවත්වා ගෙන යාමට' එක්සත් ජනපදයට අයිතිය ඇත යන කේන්ද්‍රීය තර්කාංගය කිසිදා ප්‍රශ්න නොකල අතර, එකී අභිලාෂයේ ප්‍රතිඵලය ලෙස ගොඩ ගැසෙනු ඇති මෘත කලේබර පිලිබඳ ගනන් තැබීමක් ද නො කලෝ ය.

යුක්‍රේනයේ, රුසියාවට පක්ෂපාතී ජනාධිපති වික්ටර් යනුකොවිච් ඉවත් කිරීමට එජ හා ජර්මනිය එහි මැදිහත් වූ 2014 කුමන්ත්‍රනයෙන් අනතුරුව, දීර්ඝ කාලීන ව ඇදී යන හා වියදම් අධික යුක්‍රේන ආක්‍රමනයකට රුසියාව ඇද ගැනීමට වන ඇමරිකානු යුදමය අභිප්‍රාය බ්‍රෙසන්ස්කි විසින් සැලසුම් කරන ලදී.

2014 දී අත්ලාන්තික් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කෙරුනු 'යුක්‍රේනය සන්නද්ධ කිරීමට බටහිර (රටවල්) කටයුතු කල යුතුය' නම් ලිපියක, යුක්‍රේනයට එල්ල වෙන රුසියානු ආක්‍රමනයක් ආසන්න වශයෙන් නිසැකවම සිදු වන්නක් ලෙස සලකා බ්‍රෙසන්ස්කි සඳහන් කරයි. ඔහු අවධාරනය කරන්නේ එජ හා නැටෝව,

ඵලදායී ලෙස නාගරික ප්‍රතිරෝධී යුද්ධයක යෙදීමට යුක්‍රේනුවන්ට ඉඩ ලබා දෙන පරිදි විශේෂයෙන් සැලසුම් කරන ලද ආයුධ ඔවුන්ට සැපයිය යුතුය. රුසියානු හමුදාවට විවෘත භූමියේ දී මුහුන දෙනු වස් යුක්‍රේනුවන් සන්නද්ධ කිරීමට තැත් කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. ... ඉදින් ඛාකිවූ වේවා, නැතහොත් කියෙව් වේවා, එවැනි ප්‍රධාන නගර ප්‍රතිරෝධය දක්වන්නේ නම් සහ වීදි සටන් අත්‍යවශ්‍ය වන්නේ නම්, එමඟින් එය දිගට ම ඇදී යනු ඇති අතර අධික වියදම් සහිත වනු ඇත. මේ පිලිබඳ සත්‍ය කරුන වන්නේ - මෙම සමස්ත අර්බුදයේ කාල නිශ්චය වැදගත් වන්නේ මෙතැනදී ය - රුසියාව තවමත් ඒ වර්ගයේ ප්‍රයත්නයක් තම කර මතට ගැනීමට සූදානම් නැත. [අවධාරනය මුල් ලිපියේ]

අවසාන වශයෙන් එක්සත් ජනපදය හා යුරෝපා සංගමය 2014 කුමන්ත්‍රනය හා 2019 අතරතුර, ඩොන්බාස්හි රුසියානු බෙදුම්වාදීන්ට එරෙහි යුක්‍රේන යුද්ධයට සහාය ලෙස ඩොලර් බිලියන 20 ක යුද හා ආර්ථික ආධාර ලබා දුන්හ. මෙම යුද්ධය දහතුන් දහසක් ජනයාගේ ජීවිත බිලි ගෙන ඇති අතර ඉන් වැඩි ම කොටස ජන වාර්ගික ව රුසියානුවන් වන සිවිල් ජනයා ය. මේ කරුන ද, වත්මන් යුද්ධය පිලිබඳ මාධ්‍ය ආවරනය තුල පහසුවෙන් අතහැර දමා ඇති එකකි. දැන් එක්සත් ජනපදය යෙදී සිටින්නේ යුක්‍රේනය උතුරා යන තරමට යුද්ධෝපකරන වලින් පිරවීමේ ක්‍රියාවලියක ය. වැඩි දියුනු කල යුද ටැංකි නාශක මිසයිල, කාලතුවක්කු හා අනෙකුත් යුද උපකරන මීට ඇතුලත් ය. එක්සත් ජනපදය මේ වසරේ පමනක් මේ වෙනුවෙන් ඩොලර් බිලියන 40 ක් වැය කිරීමේ කටයුත්තේ යෙදී සිටින අතර, ඒ, යුරෝපයේ රාජ්‍ය වලින් ලැබෙන ආයුධ වලට අමතරව ය.

වත්මන් 'දිග ඇදී යන හා අධික වියදම් සහිත', සහ ප්‍රධාන කොටම නාගරික යුද්ධය පිලිබඳ බ්‍රෙසන්ස්කිගේ කැපී පෙනෙන නිරවද්‍යතාවයකින් යුත් පූර්වාපේක්ෂනය, එලඹීමට නියමිත කුමක්දැයි යන්න පිලිබඳ එහි තාර්කික පූර්වාපේක්ෂාව තුල බහා සැලකූ කල එය, පුටින් යනු අවිචාරී, අධිරාජ්‍යවාදී අභිලාෂයන් මත යුක්‍රේනය ආක්‍රමනය කල උන්මත්තකයෙකැයි (දැන් සිදු කෙරෙමින් පවතින) පැතලි ප්‍රචාරයට පරස්පර විරෝධී වේ. යුක්‍රේනය ආක්‍රමනය කිරීමේ පුටින්ගේ තීරනය කෙතෙක් මංමුලා සහගත හා ප්‍රතිගාමී එකක් වුවත්, යුද්ධයේ මූලික හේතු සාධක පවතින්නේ සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, නැටෝව පෙරදිග කරා ආක්‍රමනික ලෙස ප්‍රසාරනය කිරීම ද ඇතුලු, යුරේසියාව සම්බන්ධයෙන් එජ අධිරාජ්‍යවාදයට ඇති මෙම වඩාත් ගැඹුරු, ගනන් බලා ඇති අභිලාෂයන් තුලය.

අධිරාජ්‍යවාදය ගැන ලෙනින්

ලෝක ධනවාදයේ වඩවඩාත් වැඩි වන තාක්ෂනික වර්ධනය - නිෂ්පාදන බලවේගවල සමාජායනය හා සංකේන්ද්‍රනය - ධනපති ක්‍රමයේ නව හා අවසාන යුගයකට, අධිරාජ්‍යවාදී යුගයට, ප්‍රවේශය ලබා දී ඇතැයි 1916 දී ලියන ලද සිය අධිරාජ්‍යවාදය: ධනපති ක්‍රමයේ ඉහලම අවධිය කෘතිය තුල ලෙනින් තර්ක කලේය. නිෂ්පාදන බලවේගවල ඇදහිය නොහැකි තරමේ වර්ධනය, හෝ සමාජායනය, ඒවායේ සමාජවාදී ස්වාමීත්වය සඳහා කැඳවුම් කලේය; ඒ අතරතුර, වඩවඩාත් හැකිලෙමින් පවත්නා මූල්‍ය කතිකයාධිපතීන් අතලොස්සකගේ තීරුවක්, දෘඩ ලෙස පාලිත කාටල හා - අද දින ප්‍රධාන බැංකු හා මූල්‍ය ආයතන වලට බන්ධන ජාලයකින් සම්බන්ධ වී සිටින අතිදැවැන්ත බහුජාතික සංගත ලෙස පෙනී සිටින - මූල්‍ය ප්‍රාග්ධනය විසින් හසුරුවනු ලබන ඒකාධිකාරයන්ගේ රූපාකාරයෙන් එකී නිෂ්පාදන බලවේග පාලනය කලෝය.

අධිරාජ්‍යවාදය යනු පිලිවෙතක් නොවන බවත්, ඒ වූ කලී, අධිරාජ්‍යවාදී යුගයේ වැඩි දියුනු ධනේශ්වර නිෂ්පාදනයේ ගැලවී යා නොහැකි ධාවකය බවත් ලෙනින් අවධාරනය කලේය. ලෙනින් මෙසේ ලිවීය: 'ආධිපත්‍යය සහ ඒ හා බැඳුනු ප්‍රචන්ඩත්වය - 'ධනේශ්වර වර්ධනයේ අවසාන අදියරේ' දී, වඩාත්ම ප්‍රකෘති සම්බන්ධතා වන්නේ එවැනි සබඳතා ය; සර්ව බලධාරී ආර්ථික ඒකාධිකාරයන්ගේ නොවැලැක්විය හැකි ප්‍රතිපලය වනු ඇත්තේත්, ඒවායේ ප්‍රතිපලය වී ඇත්තේත් මෙයයි.'

ව්ලැඩිමීර් ලෙනින්

අනෙකුත් දේ අතර, මෙම නිෂ්පාදන බලවේග මූල්‍ය ප්‍රාග්ධනය යටතේ මෙසේ වර්ධනය වීම හා සංකේන්ද්‍රනය වීම, ලෝකයේ ප්‍රමුඛතම සම්පත් පාලනය කිරීම සඳහා වූ ගිජු ලුහුබැඳ යාමකට අභිප්‍රේරනය ලබා දෙනු ඇතැයි ලෙනින් අවධාරනය කලේය. ඔහු මෙසේ ලිවීය: 'ධනේශ්වර ක්‍රමය වඩවඩාත් වර්ධනය වන තරමට, අමුද්‍රව්‍ය සඳහා අවශ්‍යතාව වඩවඩාත් පැන නඟී; තරඟය වඩවඩාත් කඨෝර වන අතර, අමුද්‍රව්‍ය සඳහා හඹා යාම උන විකාරයක් බඳු කැලඹිලිකාරීත්වයකින් වඩවඩාත් මුලු මහත් පොලෝ තලය පුරාම සිදු කෙරේ; යටත් විජිත අත්පත් කර ගැනීම සඳහා වන අරගලය වඩවඩාත් මංමුලා සහගත එකක් බවට පත් වෙයි.'

ලෙනින් විසින් 1916 දී හඳුනා ගන්නා ලද පරිවර්තනයන් හුදෙක් තීව්‍ර වී පවතිනු පමනෙකි. පසුගිය වසර 100 පුරා නිෂ්පාදන බලවේගවල ඇති වී ඇති වර්ධනය කෙතෙක් ද යත්, එය විසින්, සියවසේ ආරම්භයේ දී පැවැති ධනේශ්වර ආර්ථිකය එහි වත්මන් ප්‍රමානයේ සහ සංකීර්නත්වයේ හුදු ඡායාවක් පමනක් බවට පත් කරනු ලැබ ඇත. අමුද්‍රව්‍ය පාලනය කිරීම යනු හුදු රටක් අමුඅමුවේ තමන්ගේ ම භාවිතය සඳහා සම්පත් එක්රැස් කිරීම සම්බන්ධ කරුනක් නොවේ. ඊටත් වඩා නොවේ නම් ඊට සමානවම එය, අද ලෝකය සම්බන්ධයෙන් ගත් කල එක්සත් ජනපදය විසින් නායකත්වය දෙනු ලබන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානයක් අත ප්‍රධාන පාරිභෝගික භාන්ඩ හා වෙලඳපොලවල් රඳවා ගැනීම සහතික කර ගැනීම පිලිබඳ කරුනකි.

මෙම සන්දර්භය තුල, විරුද්ධවාදීන්ට මෙම ද්‍රව්‍ය කරා ප්‍රවිෂ්ඨවීමේ ඉඩකඩ අහුරා දැමීම (නැතහොත්, යුද්ධයක් ඇති වූ අවස්ථාවක එසේ ප්‍රවිෂ්ඨය අහුරා දැමිය හැකි ධාරිතාවයක් පැවතීම) ද, එමෙන්ම ප්‍රමුඛ අවශ්‍යතාවයකි. උදාහරනයක් ලෙස, එක්සත් ජනපදයට චීනයට එරෙහි යුද්ධයක් ජය ගත හැක්කේ කෙසේද යන්න පිලිබඳ සිය සවිස්තරාත්මක විශ්ලේෂනය තුල රෑන්ඩ් කෝපරේෂන් ආයතනය (රෑන්ඩ් කෝපරේෂන් හෙවත් පර්යේෂණ හා සංවර්ධන සමාගම යනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවලට පර්යේෂණ හා විශ්ලේෂන සේවා සම්පාදනය කරන ඇමරිකාවේ ලාභ නොලබන ගෝලීය ප්‍රතිපත්ති සම්බන්ධ බුද්ධි මන්ඩල සංවිධානයකි) මෙසේ පවසයි: 'එක්සත් ජනපදය සමඟ යුද්ධයක දී චීනය තීරනාත්මක හිඟයන්ට ගොදුරු වීමේ අවදානමක් පවතී නම්, ඒ, ..... අවශ්‍යතාවයෙන් සියයට 60 ක් පමන ආනයනය කරන හා, ප්‍රකාශිත මූලෝපායාත්මක ආරක්‍ෂිත ගබඩා කිරීම් හුදෙක් දින දහයකට පමනක් ප්‍රමානවත් වන තෙල් සැපයුම්වලදී විය හැකිය.' චීනයේ භාවිතා කරන ඛනිජ තෙල්වලින් වැඩි කොටසක් ලැබෙන්නේ එක්සත් ජනපදය ආධිපත්‍යය දරන පර්සියානු ගල්ෆ් කලාපයෙනි.

එය හුදෙක් අමුද්‍රව්‍යවල වර්තමාන නිෂ්පාදනය සම්බන්ධ ප්‍රශ්නයක් පමනක් නොවන බව ද ලෙනින් සඳහන් කල බව මෙහිදී සටහන් කර ගැනීම වැදගත් ය. මූල්‍ය ප්‍රාග්ධනය 'අමුද්‍රව්‍යවල ප්‍රභව විය හැකි දේ ගැන ද සැලකිලිමත් වෙයි. මක්නිසාද යත්, අද දවසේ තාක්ෂනික වර්ධනය අත්‍යන්ත ලෙස ශීඝ්‍ර හෙයින්, සහ අද දවසේ නිෂ්ප්‍රයෝජනවත් වන භූමිය හෙට දිනයේ සශ්‍රීක එකක් විය හැකි නිසා ය. ...'

වෙනත් වචනවලින් කිවහොත්, ප්‍රමුඛ ධනපති සමාගම්, තාක්ෂනික වර්ධනයේ අනවරත වේගයට තමා සූදානම් කර ගනු වස්, ලෝක ගෝලය සිසාරා සිය අනාගත අමුද්‍රව්‍ය අවශ්‍යතා පූර්වාපේක්ෂා කිරීමට පරිශ්‍රම දරති.

රුසියාවේ ඉමහත් ධන සම්භාරය

මෙම නිබන්ධයේ අරමුන වනුයේ, එජ හා රුසියාව අතර සන්නද්ධ ගැටුමක් ඇතිවීම පිලිබඳ උත්සන්න වෙමින් පවත්නා තර්ජනයේ ඓතිහාසික හා දේශපාලනික සම්භවයන් සම්බන්ධයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විශ්ලේෂනයට සම්ප්‍රදානයක් සිදු කිරීමයි. විශේෂයෙන්ම, යුරේසියානු භූ ස්කන්ධයේ ආධිපත්‍යය දැරීමට එජ/නැටෝ හමුදාවල පරිශ්‍රමය තුල භූ මූලෝපායික සම්පත් විසින් ඉටු කෙරෙන කාර්යභාරය පිලිබඳව ද එය පරීක්ෂා කරයි.

රුසියාව යනු ලෝකයේ විශාලතම රට ය. එහි ආර්ථිකය අධිරාජ්‍යවාදී බලවතුන් හා සංසන්දනය කරන විට සාපේක්ෂව අල්ප වන අතරතුර, එහි භූ ස්කන්ධය මහාද්වීප දෙකක් හරහා පැතිර යන, වර්ග සැතපුම් මිලියන 6.6 ක පූර්න වපසරියක් අත්පත් කොට ගනී. ඊට පසුව එන කැනඩාව (ව.සැ. මිලියන 3.8), චීනය (ව.සැ.මි. 3.7) හා එජ (ව.සැ.මි. 3.6) භූමි ප්‍රමානයෙන් ඊට සැලකිය යුතු ලෙස පසුපසින් සිටිති. රුසියාව පමනක් සැදුම් ගෙන ඇති භූමි ප්‍රමානය, සමස්ත ලෝක භූ ස්කන්ධයෙන් සියයට 11 ක් වේ.

1949 සිට නැටෝවේ පෙරදිග දිශාභිමුඛ ප්‍රසාරනය දැක්වෙන සිතියම [ඡායාරූප අනුග්‍රහය: Patrickneil / CC BY-NC-SA 4.0] [Photo by Patrickneil / CC BY-NC-SA 4.0]

මෙම අතිදැවැන්ත භූ ස්කන්ධය තුල වැදගත් ඛනිජ හා සම්පත් රැසක් පවතී.

රුසියාව යුරෝපා සංගමයේ ස්වභාවික වායු අවශ්‍යතාවයෙන් දල වශයෙන් සියයට 40ක් නිපදවන අතර, ලෝකයේ ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් සියයට 12 ක් පමන ම පාහේ නිපදවන්නේ ද රුසියාව යි. එමෙන්ම ලෝකයේ ගල් අඟුරු සංචිතවල දෙවන විශාලතම හිමිකරුවා වන්නේ ද ගල් අඟුරු ටොන් බිලියන 175 ක සංචිත ඇති රුසියාව ය. මෙම සම්පත් දැන් දිග හැරෙමින් පවත්නා ගැටුමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. ලෝක ගෝලීය බලශක්ති සැපයුම් සීමා වෙමින් පටි තද වෙමින් තිබීම මධ්‍යයේ (රුසියාව සතු) මෙකී සම්පත් ලෝක ගෝලීය වශයෙන්ම එජ අධිරාජ්‍යවාදයට අවහිරයක් වෙයි. විශේෂයෙන්ම චීනයේ නැඟීම සමඟ සටන් වැදීමට එජ අධිරාජ්‍යවාදය දරන ප්‍රයත්නය තුල එය වැඩි දුරටත් එසේ වෙයි. මෙම කරුන අනාගත ලිපියකට විෂය වනු ඇත.

හයිඩ්‍රෝකාබනවලට අමතරව රුසියාව තුල මූලික ලෝහ වර්ග ද විශාල ප්‍රමානවලින් පවතී. යකඩ ටොන් බිලියන 25 ක සංචිත සමඟ රුසියාව ලෝකයේ තුන්වැනි විශාලතම යකඩ සංචිතයට හිමිකම් කියයි. එමෙන්ම එය ලෝකයේ දෙවන විශාලතම රත්රන් සංචිත (ටොන් 6,800) හිමිකරුවා වන අතර, රිදී සංචිතවල පස්වන ස්ථානය සම කිරීමට සමීප තත්ත්වයක් උසුලයි. එමෙන්ම එම රට ලෝකයේ විශාලතම දියමන්ති නිෂ්පාදකයා ය. මෑත වර්ෂවලදී එහි නිෂ්පාදනයේ සාමාන්‍යය ලෝකයේ දියමන්ති නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමන විය.

එක්සත් ජනපදයේ හා එහි අනුචරයන්ගේ භූ මූලෝපායාත්මක අභිලාෂයන් වටහා ගැනීමෙහි ලා මෙම සම්පත් සෑම එකක්ම අවධානය ලැබීමට යෝග්‍ය ඒවා වන අතර ම, ලෝක ගෝලීය සම්පත් පිලිබඳ දේශපාලනයේ වැඩි දෙනා නොදත් අංශයක් වන තීරනාත්මක වැදගත්කමකින් යුතු ඛනිජ පිලිබඳව මෙම ලිපිය මඟින් විමසා බැලේ. තීරනාත්මක ඛනිජ යනු ගෝලීය නිෂ්පාදනයට වඩ වඩාත් වැදගත් වෙමින් පවතින ලෝහ සහ ඛනිජ ද්‍රව්‍ය සමූහයක් වන අතර, ඒවා සඳහා වන ඉල්ලුම ඉදිරි දශක දෙක තුල පුපුරන සුලු වේගයකින් ප්‍රසාරනය වෙතැයි අපේක්ෂා කෙරේ. විසි එක්වන සියවසේ ලෝක ගෝලීය ආර්ථික හා දේශපාලන බලය සඳහා තීරක වැදගත්කමකින් යුතු වෙතැයි එක්සත් ජනපදය විශ්වාස කරන විවිධ තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය රැසක සැලකිය යුතු ප්‍රභව මත රුසියාව වාඩි ගෙන සිටී.

තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය හා නිෂ්පාදන බලවේගවල වර්ධනය

එක්සත් ජනපදය හා එහි අධිරාජ්‍යවාදී අනුචරයෝ තීරනාත්මකයැයි කියනු ලබන ඛනිජ හා ලෝහ සඳහා බලු පොරයක යෙදී සිටිති. තමන් තීරනාත්මකයැයි සලකන ඛනිජ වර්ග පනහක ලැයිස්තුවක් වර්තමානයේ එජ අත ඇත. ඉන් ඇලුමිනියම් හෝ ප්ලැටිනම් වැනි ඇතැම් ඒවා චිරප්‍රකට ය. විරල පාංශු වර්ගයක් වන නියෝඩිමියම්, හෝ ප්ලැටිනම් ලෝහ කාන්ඩයේ සාමාජිකයෙකු වන රෝඩියම් වැනි අනෙක් ඒවා ලෝක ගෝලීය ආර්ථිකයට වඩවඩාත් වැඩි වන වැදගත්කමකින් යුතු නමුදු ඒවා ගැන දන්නෝ විරලයහ.

මෙකී ඛනිජවල වැදගත්කම වර්ධනය වීමේ ගාමක බලය සපයන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍ෂේත්‍රයේ වැඩි දියුනුව සහ, බොහෝ අනෙකුත් නිෂ්පාදන ක්‍රියාවලීන් හා නිමි නිපැයුම් තුලට එම දියුනුව සමෝධානය වීමයි.

එක් කලෙක ඉලෙක්ට්‍රොනික් විද්‍යාවෙන් වෙන් ව පිලිසිඳ ගත් කර්මාන්තවල, දැන් සියලු ආකාරයේ වැඩිදියුනු ඩිජිටල් හා ඉහල කාර්ය සාධක උපකරන සඳහා වූ නව ඉල්ලුමක් ජනනය වී ඇත. උදාහරනයක් ලෙස, DHL ප්‍රසම්පාදන සමාගමේ වාර්තාවකට අනුව, මෝටර් රථවල 'වර්තමානයේ පරිගනකවලට වඩා වැඩි තාක්ෂනයක් තිබේ.' මෝටර් රථවලට යොදා ගැනෙන අර්ධ සන්නායක 2021 දී පැවැති ඩොලර් බිලියන 50 මට්ටමේ සිට 2030 වන විට ඩොලර් බිලියන 150 දක්වා ප්‍රමානයෙන් තෙගුන වෙමින්, ඒ අනුව, අර්ධ සන්නායක කර්මාන්තය ඩොලර් බිලියන 590 සිට ඩොලර් ට්‍රිලියනයක් කරා වර්ධනය වෙතැයි ලෝක ගෝලීය උපදේශක සමාගමක් වන මැකින්සී විසින් අනාවැකි පල කරනු ලැබ ඇත.

ඉහල තාක්ෂන මෙවලම්වල ඉල්ලුමේ මෙම හදිසි පිපිරීම සඳහා තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය අත්‍යවශ්‍යය. අර්ධ සන්නායක කර්මාන්ත සංගමය මේ පිලිබඳව මෙසේ ලියා ඇත: 'බොහෝ අවස්ථාවන්හි දී අපේ ක්‍රියාකාරීත්වය පිලිබඳ අවශ්‍යතා තෘප්ත කිරීමට මෙම ද්‍රව්‍ය හැර වෙනත් දන්නා විකල්ප කිසිවක් නැත. එබැවින්, තීරනාත්මක ද්‍රව්‍යවල අඛන්ඩ සැපයුම අප කර්මාන්තය සඳහා තීරනාත්මක වැදගත්කමකින් යුතුය.' අර්ධ සන්නායක කර්මාන්තය සඳහා පමනක් සෑම වර්ෂයකම ඩොලර් බිලියන 40.4 ක් වටිනා ඛනිජ භාවිත කෙරේ.

මෙකී සම්පත් පාලනය කිරීම සඳහා පවතින කඩිමුඩිය පසුපස ඇති තවත් ප්‍රධාන බලයක් වන්නේ පුනර්ජනනීය බලශක්ති කරා සිදු කෙරෙමින් පවතින සංක්‍රාන්තියයි. දේශගුනික විපර්යාසවලට විසඳුම් දීමට අවශ්‍ය කෙරෙන හදිසි හා බලගතු වෙනස්කම් සඳහා මේවා අප්‍රමානවත් වන අතර ම, පුනර්ජනනීය තාක්ෂනයන් සඳහා ඉල්ලුමේ සැලකිය යුතු වැඩිවීමක් ඇතිවීමට පටන් ගෙන ඇත. විදුලි මෝටර් රථ හා බැටරි සංචායක (battery storage) වෙලඳ පොලවල් 2021 දී පවතින ඩොලර් බිලියන 185 මට්ටමේ සිට 2028 වන විට ඩොලර් බිලියන 980 ක් දක්වා පිපිරීමක් සේ ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගැනීමට සූදානම් වී ඇත.

ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (OECD) යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බලශක්ති කාර්යාංශය (IEA) 2021 දී, 'පිරිසිදු බලශක්තිය කරා මාරු වීමේ දී තීරනාත්මක ඛනිජවල කාර්ය භාරය' නම් වාර්තාවක් නිකුත් කලේය. එමඟින් ඛනිජ වර්ග ගනනාවකින් සමන්විත සරනියක් සඳහා අනාගත ඉල්ලුමේ වර්ධනය පිලිබඳ ප්‍රවේශම්කාරී තක්සේරුවක් සිදු කර ඇත. එහි දී, සුනිත්‍ය බලශක්ති වර්ධනය පිලිබඳ අඩු අභිලාෂවත් පරිදර්ශනය තුල පවා, ලිතියම් සඳහා වන ලෝක ගෝලීය ඉල්ලුම 2020 හා 2040 අතර 42 ගුනයකින් වැඩි වනු ඇති බව IEAය සඳහන් කරයි. මේ කාල පරිච්ඡේදය තුල ම, ග්‍රැෆයිට් සඳහා වන ගෝලීය ඉල්ලුම 25 ගුනයකින් ද, නිකල් සඳහා 19 ගුනයකින් ද, විරල පාංශු ලෝහ සඳහා ඉල්ලුම සත් ගුනයකින් ද ඉහල යතැයි කාර්යාංශය අනාවැකි පල කරයි.

මෙම විශ්මයජනක තක්සේරු කිරීම් OCED සංවිධානයේ හා එය විසින් නියෝජනය කරනු ලබන එජ නායකත්වයෙන් යුත් භූ දේශපාලනික පර්යායේ සැලකිල්ලට හේතු වී ඇත. IEA හි අධ්‍යක්ෂ ෆාටි බිරෝල් පසුගිය වසරේ පැවසූ පරිදි, 'මෙම දත්ත මඟින්, ලෝකයේ වඩාත් ශක්තිමත් වී ඇති කාලගුන අභිලාෂයන් හා, එකී අභිලාෂයන් සාක්ෂාත් කිරීමට අත්‍යවශ්‍ය වන තීරනාත්මක ඛනිජ ලබා ගැනීමට ඇති හැකියාව අතර ඇති නොගැලපීම තර්ජනාත්මකව මතු වෙමින් එන අයුරු පෙන්නුම් කෙරෙයි.' ආර්ථිකයන් වියවුලේ ගිල්වා දැමීමේ ද, වඩාත් වැදගත් ලෙස සැලකිය යුතු, එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී අභිලාෂයන් පරිසීමා කිරීමේ හා ඒවා පීඩනයට පත් කිරීමේ ද විභවය මෙකී 'නොගැලපීම' සතු ය.

එක්සත් ජනපදය, චීනය හා තීරනාත්මක ඛනිජ

එජ ආන්ඩුව උපුටා දක්වා ඇති තීරනාත්මක ඛනිජ වර්ග පනහ අතර, ඉන් කවරක් හෝ එක්සත් ජනපදය තුල මූලික වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ අල්ප වශයෙන් වීම කැපී පෙනෙන කරුනකි. භූ විද්‍යාත්මක හා ආර්ථිකමය හේතූන්ගේ සම්මිශ්‍රණයක හේතුවෙන්, මෙම ලැයිස්තුවේ අඩංගු ඛනිජ වර්ග පනහෙන්, සැපයුමේ වැඩි කොටස එජ තුල නිපදවනු ලබන ඛනිජ වර්ග ඇත්තේ පහක් පමනෙකි. එකී ඛනිජ වර්ග පනහෙන් විසි නවයක් ම සියයට සියයක් ආනයනික ඒවා ය; සියයට 75 ක් හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයක් ආනයනය කෙරෙන ඛනිජ වර්ග ගනන හතලිහකි. එක්සත් ජනපදය මෙසේ තීරනාත්මක ඛනිජවල විදේශ සැපයුම මත රඳා පැවතීම; විශේෂයෙන්ම එය චීනය සමඟ හමුදාමය සම්මුඛනයකට සූදානම් වෙමින් පවත්නා තතු තුල එසේ රඳා පවතින්නට සිදුවීම; ඇමරිකානු පාලක පන්තියේ වඩවඩාත් ගැඹුරු වෙමින් පවත්නා තැවුලක මූලාශ්‍රය බවට පත්ව ඇත.

2020 සැප්තැම්බරයේ දී ට්‍රම්ප් පාලනය, සිය තීරනාත්මක ඛනිජ අවශ්‍යතාව සුරක්ෂිත කර ගැනීමේ දී එජ මුහුන දී සිටින ජාතික හදිසි අවස්ථාවක් නිවේදනය කෙරෙන විධායක නියෝග 13953 නීතියට අත්සන් තැබීය. නියෝගය සඳහන් කලේ, 'මෙම ඛනිජ අපේ රටට අත්‍යාවශ්‍යක බව' ය. එහෙත්, 'මේවා සැකසුම් කල ආකාරයෙන්, අපට අවශ්‍ය ප්‍රමානවලින් නිෂ්පාදනය කර ගැනීමේ ධාරිතාව වර්තමානයේ අප සතුව නො පවතී. ... තීරනාත්මක ඛනිජ වර්ග 35 න් 31 ක් සම්බන්ධයෙන් ම ගත් විට, එම ඛනිජ එක්සත් ජනපදය සිය වාර්ෂික පරිභෝජනයෙන් අඩකට වඩා ආනයනය කරයි. තීරනාත්මක ඛනිජ වර්ග 14 ක් සඳහා එක්සත් ජනපදයේ දේශීය නිෂ්පාදනයක් සිදු නො කෙරෙන අතර, ඒවායේ ඉල්ලුම සපුරා ලීම සඳහා එය සම්පූර්නයෙන්ම ආනයනයන් මත රැඳී සිටී.'

ඉන් අඩ වසකටම පාහේ ඉක්බිති 2021 පෙබරවාරියේ බයිඩන් පාලනය, 'ඇමරිකාවේ සැපයුම් දාමයන්හි ප්‍රත්‍යස්ථිතිය ශක්තිමත් කිරීම' සඳහා විධායක නියෝග (EO) 14017 ට අත්සන් තැබීය. මෙම නියෝගය ට්‍රම්ප්ගේ EO 13953 ට අලුතින් එක් වූයේ, සැපයුම් දාම සම්බන්ධ අවදානම් පිලිබඳව විමර්ශනය කිරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට බලශක්ති දෙපාර්තමේන්තුව බල ගන්වමිනි.

වොෂින්ටනයේ ධවල මන්දිර සංකීර්නයේ අයිසන්හවර් විධායක කාර්යාල ගොඩනැඟිල්ලේ දක්ෂින අංගන ශ්‍රවනාගාරයේ පැවැති උත්සවයක දී ජනාධිපති ජෝ බයිඩන් සවන් දෙමින් සිටී, 2022 පෙබරවාරි 22 අඟහරුවාදා. (AP Photo/ ඇලෙක්ස් බ්‍රැන්ඩන්)

මෙම නියෝගයේ ප්‍රථම වසරේ ප්‍රතිඵල 2022 පෙබරවාරි 24 වන දින, එනම්, යුක්‍රේනයට රුසියානු ආක්‍රමනය එල්ල වූ දිනයේ ම, 'ඇමරිකානු නිෂ්පාදනයට පුනර්ජීවනය දීම හා තීරනාත්මක සැපයුම් දාම සුරක්ෂිත කිරීම සඳහා සැලසුම' තුල නිකුත් කෙරුනි. ඉන් දින දෙකකට පෙර, තීරනාත්මක ඛනිජවලට අදාල වන එකී පියවර ප්‍රවර්ධනය කිරීමේ රැස්වීමක් පැවැත්වුනි. ඛනිජ තෙල් කම්කරුවන්ගේ ජාතික වැඩ වර්ජනයක් ඇති වීම වැලැක්වීම හා යුද්ධ පරිශ්‍රමයට සහාය ලබා ගැනීම තහවුරු කර ගැනීම සඳහා බයිඩන් මෙහි දී පෞද්ගලිකව හමු වී කථාබහ කල වානේ කම්කරුවන්ගේ යුනයිටඩ් ස්ටීල්වර්කර්ස් වෘත්තීය සමිතියේ ප්‍රධානී ටොම් කොන්වේ ද එහි එක් සහභාගීකරුවෙකු විය. මෙම රැස්වීමේ දී බයිඩන් සඳහන් කලේ, සිය පාලනය, 'ඇමරිකානු නිෂ්පාදන විශාල සංඛ්‍යාවක් සඳහා අතිශයින්ම අවශ්‍ය වන, ලිතියම්, ග්‍රැෆයිට්, විරල පාංශු ද්‍රව්‍ය ... වැනි තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය' වෙනුවෙන් ඩොලර් බිලියන ගනනින් නව ආයෝජනයන් සිදු කිරීමට පහසුකම් සැපයීම සඳහා ආධාර කර ඇති බවයි.

2022 මාර්තු 31 වන දින බයිඩන් මෙකී ඛනිජවල 'විශ්වාසය රැඳවිය හැකි' සැපයුම් සුරක්ෂිත කර ගැනීම සඳහා ආරක්ෂක නිෂ්පාදන පනතේ (Defense Production Act) පිලිසරන පැතීය. මෙම පනත කොරියානු යුද්ධය සමයේ ගෙන එනු ලැබූ, ජාතික ආරක්ෂාවේ නාමයෙන් පෞද්ගලික ආයෝජන පාලනය කිරීමට හා මෙහෙයවීමට ආන්ඩුවට ඉඩ ලබා දෙන, යුද්ධකාලීන ආඥා පත්‍රයකි.

ඇමරිකානු රජයේ කනස්සල්ලට හේතු වී ඇත්තේ හුදෙක් එය මෙම අත්‍යවශ්‍ය සම්පත් නොනිපදවන හා පාලනය නොකරන නිසා පමනක් නොව, ඊට ද වඩා, සිය භූ දේශපාලනික අභිලාෂයන්ගේ ප්‍රධාන ඉලක්කය වන චීනය එසේ කරන නිසා ය.

තීරනාත්මක ඛනිජ පිරිසැකසුම්කරනයෙහි ලා චීනය ආධිපත්‍යය දරයි. එමෙන්ම එය බොහෝ ඛනිජ වර්ග නිස්සාරනයෙහි (කැනීම්වල) ද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. ඊට පටහැනි ලෙස එක්සත් ජනපදය, මෙම ප්‍රමුඛ ඛනිජවලින් කිසිවක් නිස්සාරනයේ හෝ පිරිසැකසුම් කිරීමෙහි නොයෙදෙයි. මේ පිලිබඳ බලගතුම උදාහරනය විරල පාංශු වේ. ගෝලීය ඉලෙක්ට්‍රොනික හා ආරක්ෂක කර්මාන්තවලට දැන් අත්‍යවශ්‍ය වන, ඛනිජ වර්ග 17 කින් සමන්විත මෙම කාන්ඩය බොහෝ දුරට තනිකරම පාහේ පිරිසැකසුම් කෙරෙන්නේ චීනයේ ය. ලෝකයේ විරල පාංශු නිෂ්පාදනයෙන් සියයට 10ට වඩා එක්සත් ජනපදය සතු නමුදු, චීනයේ නිෂ්පාදනය සමඟ සංසන්දනය කරන විට එය අඟුටුමිටි තත්ත්වයෙහි ලා ගිනිය හැකිය.

එක් කාලයක එක්සත් ජනපදය මෙම පිරිසැකසුම් කිරීම්වල ද, ඊට තරමක් අඩු පමනින් මෙකී ඛනිජ වර්ග කැනීම්වල ද ආධිපත්‍යය ගැනීමට චීනයට ඉඩ හැර සිටීමෙන් සෑහීමකට පත් වී සිටියේය. ලෝහ වර්ග නිස්සාරනය හා පිරිසැකසුම් කිරීම යනු ලෝක ගෝලීය කර්මාන්ත අතුරින් වඩාත්ම පරිසරයට අන්තරායකර ඒවා වේ. එය ඉතා අඩු වියදමින් සිදු කිරීම යන්නෙහි අර්ථය වන්නේ පරිසන දූෂනය හා ප්‍රමුඛ පෙලේ මානව සෞඛ්‍ය ගැටලු හා අත්වැල් බැඳගත් විෂ අපද්‍රව්‍ය ජනනය වීමයි. චීනය ධනේශ්වර ආර්ථිකයේ ශ්‍රම වෙලඳපොල ලෙස දශක ගනනාවක් සේවය කර ඇත. අධිරාජ්‍යවාදී ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන ද ඇතුලු නිෂ්පාදක ක්‍රියාකාරීත්වයන් චීනයේ දැවැන්ත කර්මාන්ත පුරයන්හි සංකේන්ද්‍රනය වී ඇති තතු තුල ලෝක ගෝලීය ආර්ථික ඛනිජ පිරිසැකසුම් කිරීම්, ඒවායේ අපද්‍රව්‍ය ද සැලැකිල්ලට ගනිමින්, එහි සංකේන්ද්‍රනය කිරීම වටහා ගත හැක්කක් විය.

කෙසේවෙතත්, පසුගිය පසලොස් වසර තුල එක්සත් ජනපදය විසින් චීනය සිය ගෝලීය ආධිපත්‍යයට එල්ල වූ අනුභූතික තර්ජනයක් ලෙස වඩවඩාත් වැඩියෙන් දකිනු ලැබෙන අතර, එහි ගෝලීය යුදමය මූලෝපාය චීනය 'සීමා කිරීම'; එනම්, පරිසීමාකාරී ආකාරයෙන් එය වට කිරීම හා පාලනයට පත් කිරීම සඳහා යලි පෙලගස්වනු ලැබ ඇත. තරඟකාරී සැපයුම් දාම නිර්මානය කිරීම මෙම ප්‍රයත්නයේ ප්‍රධාන කොටසකි.

චීනය වට කිරීමටත්, ආසියා පැසිෆික් කලාපය තුල ඇමරිකාවේ දේශපාලන හා ආර්ථික බලය තහවුරු කිරීමටත් අරමුනු කර ගනිමින් එජ සන්නද්ධ හමුදාවල දැවැන්ත ප්‍රති-විවර්තන කිරීමක් ඔබාමා පාලනය යටතේ සිදු කෙරින. 2016 දී 'නැඟී එන චීනය'ක් දුටු එවකට පාබල හමුදාවේ කාර්ය මන්ඩල ප්‍රධානී ජනරාල් මාක් ඒ. මිලේ නිවේදනය කලේ, එලඹෙන දශකවල දී එක්සත් ජනපදය හා එහි ප්‍රධාන විරුද්ධකරුවෙකු අතර යුද්ධයක් ඇති වීම 'බොහෝ දුරට සහතික' බවයි. 2021 මාර්තුවේ දී එජ ඉන්දු-පැසිෆික් බල සේනාවන්හි ප්‍රධානියාව සිටි අද්මිරාල් ෆිල් ඩේවිඩ්සන් සේවයෙන් සමු ගන්නා අවස්ථාවේ දී, සය වසරක් ඇතුලත චීනය සමඟ යුද්ධය ඇවිලීමේ විභවය පිලිබඳව අනතුරු හැඟවීය. ඉන් මාස කිහිපයක ඇවෑමෙන් නොවැම්බරයේ, ඒ වන විට ඒකාබද්ධ කාර්ය මන්ඩල ප්‍රධානීන්ගේ සභාපතිත්වයට පත් ව සිටි ජනරාල් මිලේ සඳහන් කලේ ඊලඟ දෙවසර තුල පවා යුද්ධයක් ඇති විය හැකි බවයි.

ඍජු ලෙසම ලෝකයේ ආර්ථිකයේ සියයට 40 ක් හා බිලියන දෙකකට බොහෝ සෙයින් ආසන්න ජනකායයක් අඩංගු කර ගන්නා යුද්ධයක් අතිශය ව්‍යසනකාරී පරිමානයේ තුන්වැනි ලෝක යුද්ධයක් බවට වහා දිග හැරෙනු ඇත්තේ කෙසේදැයි සලකා බැලීමට වැඩිමනත් පරිකල්පනයක් අවශ්‍ය නොවේ.

මෙම ගැටුම සඳහා සූදානම් වෙමින් එජ හමුදා ඩොලර් ට්‍රිලියන ගනනින් වැය කරන අතරතුර, පොදු ආර්ථිකය සඳහා මෙන්ම අතිනවීන යුද්ධායුධ සඳහා ද අත්‍යවශ්‍ය වන විරල පාංශු හා අනෙකුත් තීරනාත්මක ඛනිජවල ගැටලුව කෙරේ එහි සැලකිල්ල යොමු වී ඇත. චීනයේ නැඟීම නැවැත්වීමටත්, එහි දැවැන්ත දේශීය වෙලඳපොල ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයට යටත් කර ගැනීමටත් වන එජ අධිරාජ්‍යවාදයේ ප්‍රධාන මූලෝපායය, මෙකී තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සඳහා වඩාත් විශාල හා වඩාත් ආරක්‍ෂිත සැපයුම් දාම නිර්මානය කර ගැනීමෙන් තොරව සාර්ථක කර ගත නොහැකි වනු ඇතැයි පෙන්ටගනය සිතයි. චීනයේ ඛනිජ තෙල් ආනයන පිලිබඳව සලකන විට එක්සත් ජනපදයට එම රට මත ප්‍රධාන උපායමය වාසියක් ඇති නමුදු, තීරනාත්මක ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් විට චීනයට එක්සත් ජනපදය මත උපායමය වාසියක් පවතියි.

තීරනාත්මක ඛනිජ සැපයුම සුරක්ෂිත කර ගැනීමට ආරක්ෂක නිෂ්පාදන පනත භාවිතා කරන බව නිවේදනය කරමින් මැයි 31 වන දින පැවැති ධවල මන්දිර සමුලුවේ දී පල කෙරුනු පරිදි, 'පිරිසිදු බලශක්තිය කරා සංක්‍රමනය වීමේ දී අත්‍යවශ්‍ය වන, විශාල ධාරිතාවයක් ඇති බැටරිවලට භාවිත කෙරෙන ලිතියම්, නිකල්, කොබෝල්ට් හා මැංගනීස් වැනි මූලෝපායික හා තීරනාත්මක ද්‍රව්‍යවලින් බොහොමයක් සඳහා එක්සත් ජනපදය විශ්වාසයෙන් රැඳී සිටිය නොහැකි විදේශීය ප්‍රභව මත රඳා පවතියි. ... අපට ඒවායින් සැලකිය යුතු කොටසක් - සියයට සියයක ආනයනවලට සමීප කොටසක් - අන් රටවල්වලින් - විශේෂයෙන්ම චීනයෙන් - ආනයනය කිරීමට සිදු වී තිබින.'

යුරෝපයේ මාධ්‍යවල ද ඊට සමාන මත පල වී තිබින. ඒ අතර ටෙලිග්‍රාෆ් පුවත්පතේ ලිපියක මෙසේ ප්‍රකාශ කර ඇත: 'තීරනාත්මක ඛනිජ සම්බන්ධයෙන් චීනය දරන ආධිපත්‍යය රුසියාවේ බලශක්ති ආයුධය තරමටම යුරෝපයට අන්තරායකර විය හැකිය. ... තීරනාත්මක ඛනිජ සඳහා වන ගෝලීය පොරය සම්බන්ධයෙන් යුරෝපයට ඇස් ඇරී ඇත්තේ බෙහෙවින් ප්‍රමාද වී ය.'

රුසියාවේ තීරනාත්මක ඛනිජ

තීරනාත්මක ඛනිජවල වර්තමාන හා අනාගත ප්‍රභවවල ආධිපත්‍යය දැරීමට ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයට ඇති ගැඹුරු අවශ්‍යතාව මෙන්ම චීනය ඒවා මත පවත්වා ගෙන යන විසමානුපාතික පාලනය ද විසින් රුසියාවට එරෙහි යුද්ධය සඳහා වන එලවුමේ පසුතලයෙහි වැදගත් කොටසක් හැඩ ගස්වනු ලබයි.

රුසියාව කිසිදු ප්‍රධාන තීරනාත්මක ඛනිජයක විශේෂිත සම්පාදකයා නොවන අතරම, එය ලෝක ගෝලීය සංචිතවල වැදගත් කොටසක් සිය'තෙහි දරා හිඳිමින් ප්‍රධාන ඛනිජ වර්ග රැසක් නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යයේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන්නේ කෙසේද යන්න පහත විශ්ලේෂනය විසින් විස්තරාත්මකව දැක්වේ. යුරේසියාව මත ආධිපත්‍යය දැරීමට හා රුසියාව යටත් කිරීමට එක්සත් ජනපදයේ වඩාත් පුලුල් පරිශ්‍රමය වටහා ගැනීමේ දී, මෙකී ප්‍රධාන සම්පත්වල භූමිකාව නොතකා හැරිය නොහැකිය.

නිකල්

රුසියාව ලෝකයේ නිකල් වැඩියෙන්ම නිස්සාරනය කරන රටවලින් එකකි. ඉන්දුනීසියාව හා පිලිපීනයට පසුපසින් ද, දකුනු අප්‍රිකාව හා සමවීමට ආසන්න තත්ත්වයක ද වශයෙන් එය නිකල් නිස්සාරකයන් අතර තුන්වැනි හෝ හතරවැනි ස්ථානයේ පසුවෙයි.

ලෝකය සෑම වර්ෂයකම නිකල් ටොන් මිලියන 2.5ක් ම පාහේ නිස්සාරනය කෙරෙයි. මෙම තීරනාත්මක ලෝහය වැඩියෙන්ම භාවිතා කෙරෙන්නේ වානේ සඳහා ය. මල නොබැඳෙන වානේ නිෂ්පාදනයේ දී, මිශ්‍ර ලෝහයක් නිර්මානය කර ගැනීමට වානේවලට අනෙකුත් මූලද්‍රව්‍ය ආවිලනය කිරීමට (කා වැද්දීමට) අවශ්‍ය වේ. නිකල්වල පිරිසිදුම ආකාරය වන ප්‍රථම පන්තියේ නිකල් ලෙස හඳුන්වා දෙනු ලබන දෙය, විශේෂයෙන්ම අඩු උෂ්නත්වයන්හි දී, වානේ වඩාත් ශක්තිමත් සහ දෘඩ බවට පත් කරයි. එමෙන්ම එය තාපයට හා මල කෑමට ප්‍රතිරෝධය දක්වයි.

නිකල් නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක්ම භාවිතා කෙරෙන්නේ මල නොබැඳෙන වානේ සඳහා ය. එය අනෙක් අතට ඉදිකිරීම්, නැව්, ඇතැම් මෝටර් රථ වර්ග, වෛද්‍ය විද්‍යාවට අදාල කර්මාන්ත (කර්මාන්ත ගනනාවක් සඳහා), බලශක්තිය හා කර්මාන්තවල (විශේෂයෙන්ම අඩු බර, මල කෑමට ප්‍රතිරෝධී ගබඩා කිරීම් අවශ්‍ය අවස්ථාවල දී), මෙන්ම ඉවුම් පිහුම් උපකරන සඳහා ද භාවිත කෙරේ. එමෙන්ම නිකල්, තලබමන (ටර්බයින) පෙති නිෂ්පාදනය (ජෙට් එන්ජින්, නාවුක කර්මාන්තයේ හා විදුලි බලාගාරවල) සඳහා ද, ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ (ලැප්ටොප් පරිගනක, දුරකථන, ඩිජිටල් කැමරා) සඳහා ද, ඉහල නිරවද්‍යතාවයකින් යුත් මිනුම් උපකරන සඳහා ද යොදා ගැනේ.

සුනිත්‍ය සංවර්ධන පරිදර්ශනය (SDS) සපුරා ලීමට නම් ලෝක ගෝලීය නිකල් නිෂ්පාදනය ඉදිරි 18 වසර තුල 19 ගුනයකින් වැඩි කිරීමට අවශ්‍ය වෙතැයි IEA ය අනාවැකි පලකරයි. මෙය වත්මන් නිෂ්පාදනයේ තිගැස්සෙන සුලු වැඩි කිරීමකි. නිකල් සල්ෆේට් කුඩු යනු, ලිතියම් අයන බැටරිවල ප්‍රධාන සංරචකයකි. බැටරියේ කැතෝඩයේ ප්‍රධාන කොටස තැනෙන්නේ එයිනි.

යුද්ධය පැතිර යාමෙන් ඉක්බිති නිකල් ලෝහයේ මිල අහස උසට නැඟීම මඟින් ලෝක ගෝලීය නිකල් නිෂ්පාදනය තුල රුසියාවේ කාර්ය භාරය පිලිබිඹු වෙයි. 2021 වර්ෂයේ දී නිකල් විකිනෙමින් තිබුනේ ටොන් එකකට ඩොලර් 20,000 කට වඩා අඩුවෙනි. දැන් එහි මිල ටොන් එකකට ඩොලර් 30,000 ට යන්තම් අඩු අගයකි. යුද්ධයේ මුල් සතිවලදී කෙටි කලකට මිල සියයට 100 කින් ඉහල ගියේය. නිකල් සංචිත ටොන් මිලියන 6.9 ක්, නැතහොත් ලෝකයේ මුලුමහත් නිකල් සංචිතවලින් සියයට හතක්, රුසියාව සතුය. රුසියාව යනු ලෝකයේ විශාලතම නිකල් සංචිත අත දරන්නන් අතර තුන්වැන්නා ය.

රුසියාවේ නිකල් නිෂ්පාදනය මුලුමනින්ම පාහේ සිදු වන්නේ රුසියාවේ විශාලතම ලෝහ සමාගම (යකඩ හා වානේ හැර) වන නෝර්නිකල් සමාගම යටතේ, නොරිල්ස්ක් ආක්ටික් කවය ප්‍රදේශයේ ය. ලෝකයේ ප්‍රධානතම නිකල් නිෂ්පාදන සමාගම් දෙකෙන් එකක් ලෙස නෝර්නිකල් නිරතුරුව ශ්‍රේනිගත කරනු ලැබෙයි. නෝර්නිකල් සමාගමේ කෝලා අංශය පිහිටා තිබෙන්නේ ආක්ටික් කවය තුල ෆින්ලන්ත මායිම ආසන්නයේ ය. නැටෝවට බැඳීමට ෆින්ලන්තය ඉදිරිපත් කර ඇති ඉල්ලීමෙන් අනතුරුව මෙම මායිම ශීඝ්‍රයෙන් මිලිටරීකරනය විය හැකිය. මෙම කලාපය සැලකිය යුතු තරමේ තඹ හා පැලඩියම් නිෂ්පාදනයක් සිදු කෙරෙන ස්ථානයක් ද වෙයි.

රුසියානු නිකල්වල ගුනය ද සැලකිල්ලට ගත යුතු කරුනකි. රුසියාව ලෝකයේ නිකල්වලින් සියයට 10 ක් පමනක් නිපදවන නමුත්, රුසියාව තුල හමු වී ඇති නිධිවල වඩාත් ඉහල තත්ත්වය නිසා එය, ඉහල තත්ත්වයේ වානේ හා මිශ්‍ර ලෝහ නිෂ්පාදනයේ දී උපයෝගී කර ගන්නා වූ, වඩාත් වටිනා පිරිපහදු කල ආකාරයේ නිකල් වන ප්‍රථම පන්තියේ නිකල්වලින් සියයට 20 ක් නිපදවයි.

ප්ලැටිනම් කාන්ඩයේ ලෝහ (PGM වර්ග)

රුසියාව යනු ලෝකයේ ප්‍රධාන පෙලේ ප්ලැටිනම් කාන්ඩයේ ලෝහ (PGM වර්ග) නිෂ්පාදක රටවල් අතරින් එකක් වෙයි. සමාකාර රසායනික හා භෞතික ලක්ෂන සහිත සහ එමෙන්ම නිරතුරුව ඛනිජ නිධි තුල එකට හමුවන ලෝහ වර්ග හයක් PGM වර්ගවලට ඇතුලත් වේ. නිකල්වලට වඩා වෙනස් වුව ද, PGM වර්ග එකම ලෝපස්වලින් හමුවන අතර, ඇතැම්විට ඒවා එකවරම නිස්සාරනය කරනු ලැබේ. මේවා අතරින් වඩාත්ම වැදගත් තුන වන්නේ පැලඩියම්, ප්ලැටිනම් හා රෝඩියම් ය. සෙසු වර්ග නම්, ඔස්මියම්, ඉරිඩියම් හා රුතේනියම් වේ. අගිබූ නම් වෙලඳ භාන්ඩ උපදේශක සමාගමට අනුව, සියලු නිෂ්පාදීත භාන්ඩවලින් කැපී පෙනෙන සියයට 25 ක ප්‍රතිශතයක එක්කෝ PGM අඩංගු ය; නො එසේනම් ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලිය තුල දී PGM අවශ්‍ය වේ.

රෝඩියම් (අනුග්‍රහය: විකිමීඩියා) [Photo by www.pse-mendelejew.de/Alchemist-hp / CC BY-ND 3.0]

රුසියාව ලෝකයේ ප්‍රමුඛතම පැලඩියම් නිෂ්පාදකයා ලෙස දකුනු අප්‍රිකාව සමඟ දල වශයෙන් සම තත්ත්වයක පසුවෙයි. කෙසේවෙතත් තීරනාත්මක ඛනිජ පිලිබඳව කොලොම්බියා සරසවියේ වාර්තාවක සඳහන් වන්නේ, දකුනු අප්‍රිකාවේ පැලඩියම් සැපයුම 'පසුගිය දශකය පුරා වැඩ වර්ජනවලින් වැනසී', එය වඩාත් අඩුවෙන් විශ්වාසය තැබිය හැක්කක් බවට පත්ව ඇති බවයි. එජ භූ විද්‍යාත්මක සමීක්ෂනයට අනුව ලෝකය 2019 දී දල වශයෙන් පැලඩියම් කිලෝ ග්‍රෑම් 210,000 ක් නිපදවූ අතර, රුසියාව එයින් සියයට 40 ක් නිෂ්පාදනය කලේය.

නිකල් නිෂ්පාදනයේ දී සේම රුසියාව විසින් මෙම තීරනාත්මක ඛනිජය නිස්සාරනය කිරීම ද කේන්ද්‍රගතව පවතින්නේ නෝර්නිකල් සමාගම මත ය. එය ලෝකයේ විශාලතම පෞද්ගලික අංශ පැලඩියම් නිෂ්පාදකයා ය. නිෂ්පාදනයේ විශාලතම කොටස සිදු කෙරෙන්නේ එම සමාගම මඟින් පවත්වා ගෙන යන නිශ්චිත පතල් දෙකකය; එනම්, ඔක්ට්යාබ්‍රස්කි හා තයිම්යිර්ස්කි පතල්වල ය. මේ පතල් දෙකම පිහිටා ඇත්තේ සයිබීරියාවේ උතුරු කෙලවරේ ආක්ටික් කවයෙහි ය. මෙම පතල් දෙක කෙතෙක් වැදගත් ද යත්, පසුගිය වසරේ ඒවාට බලපෑ ගංවතුරක් නිසා, ලෝකයේ පැලඩියම් සැපයුමෙන් පහෙන් පංගුවක් ඇන සිටියේය. මේ පතල් දෙකම එකම පොදු නිස්සාරන ක්‍රියාවලියක කොටසක් ලෙස රෝඩියම් හා ප්ලැටිනම් නිෂ්පාදනය කරයි.

පැලඩියම්වල මිල මෑත වසරවල දී ඉහල ගොස් ඇත. 2019 ට පූර්වයේ දී එම මිල අඩුවැඩි වශයෙන් කිලෝග්‍රෑමයට ඩොලර් 30,000 පමන වූ අතර, පසුගිය දෙවසර තුල එය දල වශයෙන් කිලෝග්‍රෑමයට ඩොලර් 75,000 ක පමන සාමාන්‍ය අගයක් දක්වා වර්ධනය වී ඇත. යුද්ධය ආරම්භයේ දී භාන්ඩ වෙලඳුන් රුසියාවේ යුක්‍රේන ආක්‍රමනයට ප්‍රතික්‍රියා දැක්වීමත් සමඟ කෙටි කලකට එය කිලෝග්‍රෑමයට ඩොලර් 100,000 ඉක්මවා ගියේය.

පැලඩියම් ප්‍රධාන වශයෙන් භාවිතා කෙරෙන්නේ උත්ප්‍රේරකයක් ලෙස ය. ලෝකයේ පැලඩියම් හා ප්ලැටිනම් සැපයුමෙන් අඩක් භාවිතා වන්නේ උත්ප්‍රේරක පරිවර්තකයන් (Catalytic Converters) සඳහා ය. උත්ප්‍රේරක පරිවර්තක මඟින් මෝටර් රථ හා අනෙකුත් රථ වාහනවලින් පිට කෙරෙන විෂ සහිත දහන වායු (කාබන් මොනොක්සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ්) කාබන් ඩයොක්සයිඩ් හා ජලය බවට පරිවර්තනය කෙරේ. ඒවා සෑම නවීන වාහනයකම පාහේ ඇති අතර, වායු දූෂනය අඩු කිරීම සඳහා එය අත්‍යවශ්‍යය. පැලඩියම් හැරුනු කොට අනෙකුත් ප්‍රධාන PGM වර්ග වන ප්ලැටිනම් හා රෝඩියම් ද මෙම අරමුන සඳහා යොදා ගැනේ. දහන වායු පිට කිරීමේ වඩාත් දැඩි රෙගුලාසි සඳහා මෙකී PGM වර්ග වඩාත් විශාල ප්‍රමානයන්ගෙන් අවශ්‍ය කෙරේ.

පසුගිය වසර කිහිපයේ දී අත්දුටුවේ රෝඩියම් මිල ඊට ද වඩා වැඩියෙන් ඉහල යාමකි. 2019 ආරම්භයේ දී පැවැති අවුන්සයකට ඩොලර් 2,500 සිට එය 2021 වන විට (රුසියාවේ ඔක්ට්යාබ්‍රස්කි හා තයිම්යිර්ස්කිහි ගංවතුර භීතියෙන් පසුව) අවුන්සයකට ඩොලර් 23,890 දක්වා ඉහල ගියේය. දැන් එය වසර කිහිපයකට ඉහත පැවැති මිල මෙන් හත් ගුනයක් පමන වන අවුන්සයකට ඩොලර් 17,000 ක මිලක පවතී.

රෝඩියම් හා පැලඩියම්වල මිල ඉහල යාම කෙතෙක් බලවත් ද යත්, එය උත්ප්‍රේරක පරිවර්තක සොරකම් කිරීම්වල අති දැවැන්ත ඉහල යාමකට මඟ පාදා ඇත. එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයෙන් වාර්තා වන අන්දමට එම ප්‍රාන්තය තුල උත්ප්‍රේරක පරිවර්තක සොරකම් 2019 හා 2021 අතරතුර සියයට 5,000 කට වැඩි ප්‍රතිශතයකින් ඉහල ගොස් ඇත. රුසියාව ලෝකයේ රෝඩියම් හා ප්ලැටිනම් නිෂ්පාදකයන් අතර දෙවන විශාලතමයා ය. කෙසේවෙතත්, පැලඩියම් සම්බන්ධයෙන් පවතින තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස් ලෙස මෙහි දී දකුනු අප්‍රිකාව, ඔවුන් සතු වඩාත් විශාල සංචිත හේතුවෙන්, රුසියාවට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටී.

උත්ප්‍රේරක පරිවර්තක හැරුනු කොට PGM වර්ග සියලුම ඉලෙක්ට්‍රොනික උපකරනවලට පාහේ යොදා ගැනෙන අතර, වෙනත් උපකරන හා කර්මාන්තවල පුලුල් හා විවිධ පරාසයක ද ඒවා භාවිත වේ. ඒවා කුඩා ප්‍රමානවලින් භාවිතා කෙරෙන අතර ඉලෙක්ට්‍රොනික උපකරන තුල ඒවා භාවිතයේ සාර්වත්‍රතාව බලගතු ඉල්ලුමකට මඟ පාදයි. PGM වර්ගවලින් හතරක් ආලේපිත ඉලෙක්ට්‍රෝඩ (coat electrodes) සඳහා භාවිතා කෙරෙන අතර, ඒ අනුව ඒවා ඉලෙක්ට්‍රොනික කර්මාන්තවලට අත්‍යවශ්‍ය වේ. තවමත් ගෝලීය විද්‍යුත් දත්ත ගබඩාවල වැඩි කොටස සමන්විත වී ඇති දෘඩ තැටිවල චුම්බක සංරචකය සඳහා ප්ලැටිනම් හා රුතේනියම් අත්‍යවශ්‍ය ය.

ප්‍රකාශ තන්තු රැහැන්වල හා ගුවන්යානා තලබමනවල (බමන තල මල බැඳීමෙන් ආරක්ෂා කරන ආලේප ස්ථරයක් ලෙස) ද ප්ලැටිනම් භාවිතා වේ. වෛද්‍ය විද්‍යා කර්මාන්තවලට PGM වර්ග අවශ්‍ය ය. උදාහරනයක් ලෙස දන්ත කිරීටය සඳහා පැලඩියම් භාවිතා කෙරෙන අතර PGM වර්ග පිලිකා රෝගීන් සඳහා භාවිත කෙරෙන රසායනික චිකිත්සා ඖෂධවලට ද විකිරන චිකිත්සාව සඳහා ද භාවිතා වේ. PGM වර්ගවල සෙසු භාවිතාවන් අතර, පෙට්‍රෝලියම්වල හයිඩ්‍රෝ ඡේදනය (පෙට්‍රොලියම්වල හයිඩ්‍රෝකාබන් අංශු වඩාත් සරල අංශුවලට කැඩීම) සංවේදක, ජල පිරිපහදු ප්‍රතිකාර, හෘද ගතිකර (pace makers-පේස් මේකර්) සහ විත්‍රාසහරන (defibrillators-ඩිෆිබ්‍රිලේටර්) යන්ත්‍ර, ආභරන, LCD තිර, ඉන්ධන කෝෂ (fuel cells) සහ ලෝහ කර්මාන්තයේ දී භාවිතා වන ඉහල වටිනාකම්වලින් යුත් කාර්මික කෝවයන් ද ඇතුලත් වේ.

විරල පාංශුමය ඛනිජ

වර්තමානයේ විරල පාංශුමය ඛනිජවල ලෝක ගෝලීය නිෂ්පාදනයේ හා සැකසුම් කිරීමේ ආධිපත්‍යය දරන්නේ චීනයයි. විරල පාංශුමය ඛනිජ (REE වර්ග) යනු උසස් තාක්ෂනය යොදා ගැනෙන ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සඳහා වඩවඩාත් වැදගත් වෙමින් පවත්නා ඛනිජ වර්ග 17 ක සමූහයකි. ඒවා ඒකාන්ත ලෙස ම දුර්ලභ නොවන නමුදු, ලාභදායී ලෙස නිස්සාරනය කිරීමට තරම් ප්‍රමානවත් සාන්ද්‍රනයෙන් ඒවා සොයා ගත හැකි ස්ථාන විරල ය.

සාමාන්‍යයෙන් බර හා සැහැල්ලු REE වර්ග අතර බෙදී ඇති මෙම ඛනිජ හමුවන්නේ ඒවා එකිනෙක සමඟ සංයෝජනය වී ඇති ආකාරයෙනි. චීනය මෙකී විරල පාංශුවලින් සියයට 60 ක් නිස්සාරනය කරන අතර, සියයට 90 ට ආසන්න ප්‍රමානයක් පැසුරුම් කරයි. විරල පාංශු වටිනාකම් දාමය මත චීනයේ ස්වාමීත්වය පිලිබඳව අනතුරු හැඟවීමේ සීනු හැඬවීමට ඇමරිකානු පාලක පන්තිය පොලඹවනු ලැබ ඇත්තේ, හමුදාමය දෘඩාංග ද ඇතුලුව උසස් ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ඒවායේ පොදු යෙදවුම් විසිනි. දේශීය REE නිෂ්පාදනයේ හා පැසුරුම් කිරීමේ ක්ෂේත්‍රය තුල ඩොලර් බිලියන ගනනක ආයෝජන සඳහා පෙලඹවීමේ ප්‍රධාන ප්‍රාරම්භකත්වයක් පිලිබඳව බයිඩන් පාලනය 2022 වසරේ දී නිවේදනය කර ඇත.

REE පැසුරුම් කිරීමේ හෝ නිෂ්පාදන දාමයේ සැලකිය යුතු පංගුවක් තවමත් රුසියාව සතු නොවේ. කෙසේවෙතත්, ඉදින් ඒවාට අත ගසන්නේ නම් ලෝක ගෝලීය REE නිෂ්පාදනයට දායකත්වයක් ලබා දිය හැකි ප්‍රධාන සංචිත ඔවුන් සතුව ඇත. ලෝක REE සංචිතවලින් දල වශයෙන් සියයට දහයක් රුසියාව සතු අතර, ඒ අනුව එය චීනය, වියට්නාමය හා බ්‍රසීලයට පසු සිව්වැන්නා ලෙස ශ්‍රේනිගත කිරීම්වලට ඇතුලත් වේ. විදුලි මෝටර් රථවල එන්ජින්, පහසුවෙන් ගෙන යා හැකි ඉලෙක්ට්‍රොනික් උපකරන, (ඉලෙක්ට්‍රොනික යෙදවුම් සඳහා නිතර අවශ්‍ය වන) චුම්බක, සුලං තලබමනවල විදුලි ජනක යන්ත්‍ර, සහ මිලිටරි දෘඩාංග සඳහා REE වර්ග භාවිතා වේ. උදාහරනයක් ලෙස, වර්ජිනියා-පන්තියේ න්‍යෂ්ටික සබ්මැරීනයක් නිපදවීමට විරල පාංශු ටොන් 4.2 ක් අවශ්‍ය වේ යැයි සිතනු ලබන අතර, F-35 ප්‍රහාරක ජෙට් යානයක් සඳහා ඉන් කි.ග්‍රෑ. 427 ක් අවශ්‍ය වේ.

විරල පාංශු ඛනිජ නිධි හා ආනයනයන් දැක්වෙන සිතියම (එජ කොංග්‍රසයේ පර්යේෂන සේවය, 2013) [Photo: US Congressional Research Service, 2013]

රුසියාවේ REE නිධි පවතින ප්‍රදේශයන්හි ආන්තික දේශගුන තත්ත්වය, REE පැසුරුම් කිරීමට අවශ්‍ය තාක්ෂනය හා REE ව්‍යාපෘතිවලට ඉතා ඉහලතර තීව්‍රතාවයකින් ප්‍රාග්ධනය පොම්ප කිරීමට අවශ්‍යවීම යන තතු තුල රුසියාවේ REE වර්ධනයට මෙතෙක් තහංචි වැටී ඇත. ඩෙලොයිට්හි ප්‍රමුඛ පර්යේෂන උපදේශකයෙකු වන දිමිත්‍රි කසට්කින් මූල්‍ය තොරතුරු හා විශ්ලේෂන ලබා දෙන ඇමරිකානු සමාගමක් වන S&P ග්ලෝබල් මාර්කට් ඉන්ටෙලිජන්ස් ආයතනයට 2019 දී ප්‍රකාශ කලේ, සිය REE විභවයන් වර්ධනය කිරීම සඳහා, 'රුසියාවට කාලය ද, භූ දේශපාලනික හා ආර්ථික අවදානම් අඩුවීම වැනි වාසිදායක පරිබාහිර කොන්දේසි ද අවශ්‍ය' වනු ඇති බවයි. කෙසේවෙතත්, ඇමරිකාව හා අනෙකුත් අධිරාජ්‍යවාදී ජාතීන් විසින් සමීපව ආර්ථිකය පාලනය කරනු ලබන වඩාත් කුඩා රාජ්‍යවලට රුසියාව බිඳීම මඟින්, එකී REE ව්‍යාපෘති වර්ධනය කිරීමට අවශ්‍ය ආයෝජනය හා 'අඩු භූ දේශපාලනික හා ආර්ථික අවදානම' සම්පාදනය කෙරෙනු විය හැකිය.

නියෝබියම්

ආවර්තිතා වගුවේ පරමානුක අංක 41 යටතේ ඇති නියෝබියම් ද රුසියාව සතු තවත් තීරනාත්මක ඛනිජයකි. මෙම රසායන ද්‍රව්‍යයේ ප්‍රධානතම භාවිතය වන්නේ වැදගත් ව්‍යුහයන් සවිවර කිරීමට යෙදවෙන මිශ්‍ර ලෝහයක් තැනීම සඳහා ය. මෙයින් කුඩා ප්‍රමානයක් - අවසාන නිෂ්පාදිතයෙන් සියයට දශම එකක ප්‍රමානයක් - වානේවල ශක්තිය වැඩි කිරීම සඳහා එක් කල හැකිය. ගෑස් නල හා අනෙකුත් ඉහල අවදානමකින් යුත් යටිතල ව්‍යුහ ව්‍යාපෘති සඳහා මෙම විශේෂ වානේ යොදා ගත හැකිය. සුපිරි මිශ්‍ර ලෝහ ලෙස හඳුන්වනු ලබන, රොකට් එන්ජින් සඳහා භාවිතා කිරීමට නිර්මානය කෙරෙන, හොඳම වානේ ඉක්මවා යන අතිශයින්ම ඉහල කාර්ය සාධනයකින් යුත් මිශ්‍ර ලෝහ සඳහා නියෝබියම් යොදා ගැනේ. (වානේ සඳහා භාවිතා කෙරෙන) ෆෙරෝ-නියෝබියම් ආකාරයෙන් එහි වෙලඳපොල අගය 2015 හා 2025 අතරතුර දෙගුනවීමට නියමිතය.

නියෝබියම් නිෂ්පාදනයේ ආධිපත්‍යය, දල වශයෙන් ටොන් 75,000 ක් වන වාර්ෂික නිෂ්පාදනයෙන් ටොන් 66,000 ක් ම නිපදවන බ්‍රසීලය සතු ය. කෙසේවෙතත් පසුගිය වසරේ, රුසියාවේ විශාලතම රත්රන් හා රිදී නිෂ්පාදකයා වන පොලිමෙටල් සමාගම නිවේදනය කලේ, රුසියාවේ ඈත පෙරදිග ඇති ටොම්ටෝ පතල් ව්‍යාපෘතිය විසින් නියෝබියම් ඔක්සයිඩ් ටොන් 700,000 ක් ලෝක ගෝලීය සංචිතවලට එක් කෙරෙනු ඇති බවයි. බ්‍රසීලය සතු ටොන් මිලියන 16 ක ප්‍රත්‍යක්ෂ සංචිත සමඟ සැසඳීමේ දී බෙහෙවින් පසුපසින් සිටින නමුදු, මෙය එක්සත් ජනපදය සතු සංචිත ප්‍රමානය මෙන් සිව් ගුනයක් පමන වේ.

කෘෂිකර්මයේ දී භාවිතා කෙරෙන ප්‍රධාන පොහොර වර්ග තුනෙන් එකක් වන පොස්පේට්‌වල දැවැන්ත සංචිතයක් පැවතීම නිසා ටොම්ටෝ දැනටමත් චිර ප්‍රකටය. එමෙන්ම ටොම්ටෝ පතල රුසියාවේ වඩාත්ම සැලකිය යුතු REE සංචිතය පිහිටි ස්ථානයයි. බටහිර ඔස්ට්‍රෙලියාවේ වෙල්ඩ් කන්ද හා මෙතෙක් භාවිතයට නොගත්, මෙම දශකය තුල ප්‍රධාන REE නිස්සාරන වැඩ බිමක් බවට වර්ධනය වෙතැයි අපේක්ෂිත ග්‍රීන්ලන්තයේ කවනෆියෙල්ඩ් පතල්වලට පසුපසින් ටොම්ටෝ පතල, විරල පාංශු ඛනිජවල ලෝකයේ තුන්වැනි විශාලතම ඒකල නිධියයැයි පොලිමෙටල් කියා සිටී.

කෝබෝල්ට්

ලෝක ගෝලීය කෝබෝල්ට් නිෂ්පාදනයේ ආධිපත්‍යය උසුලන්නේ ඉන් සියයට 70 ක් නිෂ්පාදනය කරන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC- සාමාන්‍ය ව්‍යවහාරයේ දී සයිරේ රාජ්‍යය) යි. වහල් ලමා ශ්‍රමය මත රඳා පැවතීම සම්බන්ධයෙන් DRCහි කෝබෝල්ට් නිෂ්පාදනය කුප්‍රකට ය. දෙවසරකට මඳක් වැඩි කාලයකට ඉහත දී International Rights Advocates (IRA) කන්ඩායම, කොංගෝලියානු ලමා පතල්කරුවන් 14 දෙනෙකුගේ මරනවලට අපරාධ සහායකයන් ලෙස ක්‍රියා කර ඇතැයි චෝදනා කරමින් ඇපල්, ඇල්ෆබට්, ඩෙල්, මයික්‍රොසොෆ්ට් හා ටෙස්ලා සමාගම්වලට එරෙහිව නඩු පැවරීය. මෙම සිදුවීම වූ කලී, මේ ද්‍රව්‍යය නිෂ්පාදනය කිරීම සඳහා සිදු කෙරෙන කෲරකම් නමැති පාවෙන අයිස් පර්වතයේ දෘශ්‍යමාන මුදුනත පමනෙකි. REE වර්ග මෙන්ම කෝබෝල්ට් ද බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරන සඳහා කුඩා ප්‍රමානයන්ගෙන් අවශ්‍ය ය. පුනර්ජනනීය බලශක්ති කරා සංක්‍රමනයේ දී කෝබෝල්ට් විශේෂයෙන්ම වැදගත් වේ. IEA යෝජනා කරන්නේ කෝබෝල්ට් නිෂ්පාදනයේ සුනිත්‍ය වර්ධනයේ පරිදර්ශනය (Sustainable Development Scenario) තුල එය සියයට 21 ක ප්‍රතිශතයකින් ඉහල නැංවිය යුතු බවයි.

දෙවන විශාලතම කෝබෝල්ට් නිෂ්පාදක රට වන්නේ රුසියාවයි. රුසියාව 2019 දී දල වශයෙන් ටොන් 6,100 පමන නිපදවූ අතර, එය ලෝක ගෝලීය නිෂ්පාදනයෙන් සියයට හතරක පංගුවක් විය. රුසියාව මෙම නිෂ්පාදනය තුල DRC රාජ්‍යය ඉටු කරන දැවැන්ත කාර්යභාරයට වඩා බොහෝ සේ පසුපසින් සිටින අතර ම, මේ වසරේ දී ගෝලීය නිෂ්පාදනයේ තම පංගුව සියයට අටක් දක්වා ඉහල නංවමින්, වසරකට තවත් ටොන් 2,000 කින් වැඩි කිරීමේ සැලසුම් පවතින බව ඉහත දී ප්‍රකාශ කර ඇත. මෙයින් ඇතැම් සංචිත පිහිටා තිබෙන්නේ ජපානයට උතුරින් රුසියාවේ පැසිෆික් සාගර තීරයේ මුහුදු පත්ලේ ය.

ග්‍රැෆයිට් (මිනිරන්)

රුසියාව ලෝකයේ විශාලතම ග්‍රැෆයිට් නිෂ්පාදකයන් අතර සය වැන්නාය. පුනර්ජනනීය බලශක්ති කරා සංක්‍රමනයේ දී ලිතියම්වලින් පසුව නිෂ්පාදනයේ වැඩිම වැඩිවීම අපේක්ෂා කෙරෙන්නේ ග්‍රැෆයිට්වල ය.

කර්මාන්ත ගනනාවක් සඳහා ග්‍රැෆයිට් භාවිතා කෙරේ. එහි ඉහල සන්නායකතාව නිසා සූර්ය පැනල, ඉලෙක්ට්‍රෝඩ හා බැටරි සඳහා එය නිරතුරුව යොදා ගැනේ. ග්‍රැෆයිට් ඉහත දැක්වූ අනෙකුත් ඛනිජ හා රසායන ද්‍රව්‍ය තරම් විරල හෝ මිල අධික හෝ නොවේ. එහි නිෂ්පාදනය ද භූගෝලීය වශයෙන් වඩාත් විසිරී පවතී. පැන්සල් සඳහා පොදුවේ යොදා ගැනෙන, කාබන්වල ස්ඵටිකීකෘත ආකාරයක් වන මෙම ද්‍රව්‍යය ලෝක ගෝලය පුරා සාපේක්ෂව යහමින් පවතින්නකි.

කෙසේවෙතත්, ප්‍රධාන වශයෙන්ම මිනිරන් කනිනු ලබන්නේ චීනයේ (ටොන් 650,000) ය. එය ඇමරිකානු පාලක පන්තියේ ගැඹුරු තැවුලකට හේතුභූත වී ඇත. ඊලඟට විශාලතම නිෂ්පාදකයන් වන්නේ මොසැම්බික් (ටොන් 120,000), බ්‍රසීලය (ටොන් 95,000), මැඩගස්කරය (47,000), ඉන්දියාව (34,000), රුසියාව (24,000) හා යුක්‍රේනය (19,000) යි.

කෙසේවෙතත් රුසියාව සිය නිෂ්පාදනය විශාල වශයෙන් ඉහල නැංවීමට උත්සාහ ගනිමින් සිටී. ග්‍රැෆයිට් විශාල වශයෙන් භාවිතා කරන විදුලි මෝටර් රථ බැටරි සඳහා ඉල්ලුම ඉහල යාමත් සමඟ රුසියාවේ ඩල්ග්‍රැෆයිට් හා යූරල්ග්‍රැෆයිට් නම් ප්‍රධාන සමාගම් දෙකම සිය නිෂ්පාදනය වැඩි කිරීමට ප්‍රයත්න දරමින් සිටිති.

ලිතියම්

රුසියාව සැලකිය යුතු ලිතියම් නිෂ්පාදකයෙකු නොවන අතර ම, යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රමුඛ වශයෙන් රුසියානුන් වෙසෙන ප්‍රදේශයේ සැලකිය යුතු සංචිත පවතී. විදුලි මෝටර් රථ, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගනක හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරන සඳහා භාවිතා කෙරෙන ලිතියම් අයන බැටරිවල අඩංගු ප්‍රධාන ද්‍රව්‍යය වන්නේ ලිතියම් ය. බෝලිං පන්දු ක්‍රීඩාවේ යොදා ගන්නා පන්දුවක බරට සම වෙන ලිතියම් ප්‍රමානයක් ටෙස්ලා මෝටර් රථයක ඇත.

යුක්‍රේන ජාතික විද්‍යා ඇකඩමිය මඟින් 2022 ප්‍රකාශයට පත් කරන ලද පත්‍රිකාවකට අනුව ලාභදායී ලෙස කැනීමට හැකි ලිතියම් ටොන් 500,000 ක් පමන යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ පමනක් පවතී. සංචිත යනු නිෂ්පාදනය ආරම්භ වූ කල නිරතුරුවම යලි තක්සේරු කෙරෙන හුදු තක්සේරු කිරීම් වන අතරම, චිලිය, ඔස්ට්‍රෙලියාව, ආජෙන්ටිනාව හා චීනයෙන් පසුව ලෝකයේ විශාලතම ලිතියම් සංචිත හිමියන් අතර පස්වන තැනට යුක්‍රේනය ගෙන ඒමට මෙම සංචිතය සමත්වීමට ඉඩ ඇත.

ලිතියම් (විකිමීඩියා) [Photo by W. Oelen / CC BY-SA 3.0]

යුක්‍රේනයේ විශාලතම ලිතියම් නිධිවලින් දෙකක ගවේෂන කටයුතු කිරීමටත්, විභවාත්මකව නිස්සාරනය කිරීමටත් අවසර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබූ පෙට්‍රො කන්සල්ටිං නමැති යුක්‍රේනියානු තෙල් සමාගම මිල දී ගැනීමට තමන් එකඟ වී සිටි බව 2021 නොවැම්බරයේ දී ඔස්ට්‍රෙලියානු අයිතියෙන් යුතු යුරෝපියන් ලිතියම් නම් සමාගමක් නිවේදනය කලේය. මෙම නිධිවලින් බොහෝ ඒවා යුක්‍රේන ආන්ඩුව රුසියානු බෙදුම්වාදීන්ට එරෙහිව යුද්ධයක් අරඹා ඇති ආරාවුල් සහිත නැගෙනහිර යුක්‍රේනයේ පිහිටා ඇති හෙයින්, මෙකී සංචිත වර්ධනය කෙරෙන්නේ කෙසේද යන්න දැනට පවතින යුද්ධයේ ඉරනම සමඟ බැඳී පවතී. කෙසේවෙතත්, ඉහත සමාගමේ නිවේදනයේ දැක්වෙන්නේ උක්ත සංචිත තවමත් 'සංකල්පිත' ස්වභාවයේ ඒවා ලෙස සැලකෙන අතර, ඒවායේ විභවය තක්සේරු කිරීමට වැඩිදුර ගවේෂනය කිරීම අවශ්‍ය වන බවයි.

වැදගත් වන අනෙකුත් තීරනාත්මක ඛනිජ වර්ග

ඇතැම්විට විරල පාංශුවල කොටසක් ලෙස ද වර්ගීකරනය කරනු ලබන ස්කැන්ඩියම්වල තුන්වැනි විශාලතම නිෂ්පාදකයා රුසියාවයි. ඉහල කාර්ය සාධනයකින් යුත් ලෝහමය භාන්ඩ සඳහා අවශ්‍ය සුපිරි-අඩු බර මිශ්‍රලෝහ නිෂ්පාදනයේ දී ස්කැන්ඩියම් ප්‍රධාන වශයෙන් භාවිතා වේ.

කොලොම්බියා සරසවියේ වාර්තාවකට අනුව ස්කැන්ඩියම්, විශේෂයෙන්ම එහි ඇලුමිනියම්-ස්කැන්ඩියම් මිශ්‍රලෝහයක ආකාරයෙන්, 'ගුවන් යානා හා ආරක්ෂක අංශ සඳහා විස්තීර්න ලෙස යොදා ගැනේ.' ඉහල කාර්ය සාධනයකින් යුත් ක්‍රීඩා උපකරන සඳහා ද මෙම මිශ්‍රලෝහය යොදා ගැනේ. මෙකී මිශ්‍රලෝහවල ස්කැන්ඩියම් ඇත්තේ ප්‍රතිශතයක් ලෙස දැක්විය නොහැකි තරම් සුලු ප්‍රමානයක් නමුදු, ද්‍රව්‍යය සැලකිය යුතු ලෙස සවිමත් කිරීමට එය ප්‍රමානවත් ය. උදාහරනයක් ලෙස, සෑම වසරකම එහි නිෂ්පාදනය ගෝලීය වශයෙන් ටොන් 15 සිට 20 දක්වා වන ප්‍රමානයක් පමනෙකි.

එජ භූ විද්‍යාත්මක සමීක්ෂනයට අනුව රුසියාව, යූරල් කඳුවැටිවල ඇලුමිනා (ඇලුමිනියම් ඔක්සයිඩ්) පිරිපහදු කිරීමේ අතුරු ඵලයක් ලෙස ස්කැන්ඩියම් ඵලදායී ලෙස නිෂ්පාදනය කල හැකිදැයි ගනන් බැලීමේ ක්‍රියාවලියේ නියුක්තව සිටී. මෙමඟින් එහි නිෂ්පාදනය සැලකිය යුතු ලෙස වැඩි කල හැක.

රුසියාව ටයිටේනියම් ස්පොන්ජ නිෂ්පාදනයේ තුන්වැනි විශාලතමයා වෙයි. ටයිටේනියම් ආකාර දෙකකින් නිෂ්පාදනය කෙරේ; එනම්, එහි ලෝහ විද්‍යාත්මක භාවිතයන් සඳහා ස්පොන්ජයක ආකාරයෙන්, හෝ වර්නකයක් වශයෙනි. භූගෝලීය වශයෙන් විසිරී ඇති ටයිටේනියම්වල වර්නක නිෂ්පාදනයෙහි ලා රුසියාව ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු නොකරන අතර, වඩාත් වටිනාකමින් වැඩි ස්පොන්ජ් නිෂ්පාදනයේ දී එය ප්‍රමුඛ කාර්ය කොටසක් ඉටු කරයි. රුසියාව යුක්‍රේනය ආක්‍රමනය කිරීමෙන් පසුව, තම ගුවන් යානා සඳහා රුසියානු ටයිටේනියම් මිල දී ගැනීම තමන් නවත්වන බව බෝයිං සමාගම නිවේදනය කලේය.

රුසියාව ලෝකයේ ඇලුමිනියම්වලින් සියයට 6 ක් පමන නිෂ්පාදනය කරයි. ප්‍රධාන වශයෙන් රුස්ඇල් (RusAl) සංගතය විසින් නිපදවනු ලබන මෙකී ඇලුමිනියම්වල ප්‍රධාන පාරිභෝගිකයෙක් ව සිටින්නේ ටෙස්ලා සමාගමයි. රුස්ඇල්හි ක්‍රියාකාරීත්වයෙන් වැඩි කොටස පදනම් වී ඇත්තේ, ඔස්ට්‍රෙලියාවේ දී කණිනු ලබන බොක්සයිට් හා ඇලුමිනා ආනයනය කිරීම මත ය. පිරිපහදු ක්‍රියාවලිය, අනෙකුත් ඛනිජවල දී සේ ම අතිශයින් විෂ සහිත වන අතර, ඩොලර් මිලියන හෝ බිලියන ගනනින් වැයවන කම්හල් ඒ සඳහා අවශ්‍ය වේ.

රුසියාව පොලිසිලිකෝන් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකි. පොලිසිලිකෝන් යනු ප්‍රකාශ වෝල්ටීය කෝෂ හෝ සූර්ය පැනල සඳහා භාවිතා කෙරෙන, එහි වඩාත්ම ප්‍රසාදිත ආකාරයෙන් පවතින සිලිකෝන් ය. පොලිසිලිකෝන් යනු බොහෝදුරට සිලිකෝන් ලෝපස් පිරිසැකසුම් කිරීමේ ප්‍රතිඵලයක් වන අතර, එබැවින් එය විශේෂයෙන්ම දුර්ලභ නොවේ. පොලිසිලිකෝන් සැපයුම්වලින් සියයට 80 කට වඩා ආධිපත්‍යය දරන්නේ චීනයයි. කෙසේවෙතත් ඉහත දී, 2009 තරම් මෑත කාලයේ එහි ප්‍රමුඛත්වය දැරුවේ රුසියාවයි. මිල චංචලතාව හා අප්‍රමානවත් ප්‍රාග්ධනය හේතු කොට ගෙන රුසියාවේ නිටොල් සෝලාර් සමාගමේ ව්‍යාපෘතියක් ද ඇතුලුව ව්‍යාපෘති ගනනාවක් අසාර්ථක වී ඇත. එහෙත් ආයෝජන සම්පාදනය මඟින් රුසියාවට නිෂ්පාදනය ඉහල නැංවිය හැකිය. සූර්ය බලශක්තිය භාවිතයේ උත්පාතය සමඟ 2019 සිට මිල ගනන් තෙගුන වී ඇත.

නිගමන

සියවස් කාලක යුද්ධයක්: ලෝක ගෝලීය ආධිපත්‍යය සඳහා එජයේ පරිශ්‍රමය, 1990-2016 යන කෘතියට ලියූ සංඥාපනය තුල, ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ලිවීය:

සෝවියට් සංගමය පැවතීම හා චීනයේ ධනේශ්වර-විරෝධී තන්ත්‍රයක් තිබීම විසින්, ලෝක ගෝලයේ විශාල කොටසකට - විශේෂයෙන්ම යුරේසියානු භූ ස්කන්ධයට - නිර්බාධිතව ප්‍රවිෂ්ඨවීමේ සහ, ඒවායේ මානව ශ්‍රමය, අමුද්‍රව්‍ය හා විභව වෙලඳපොලවල් සූරාකෑමේ ඉඩකඩ එක්සත් ජනපදයට අහිමි කරන ලදී. යුරෝපයේ හා ආසියාවේ සිය ප්‍රමුඛ අනුචරයන් සමඟ මෙන්ම එජ-සෝවියට් ශීතල යුද්ධය විසින් සම්පාදිත උපායාත්මක අවස්ථාවන් තම වාසියට යොදා ගත් කුඩා රටවල් සමඟ ද, ආර්ථික හා මූලෝපායය කරුනු සම්බන්ධව ගනුදෙනු කිරීමේ දී තමන් අභිමත පමනට වඩා වැඩි ප්‍රමානයකට සහනශීලී සම්මුතිවලට යාමට එම තතු විසින් එක්සත් ජනපදයට බල කෙරින.

1991 දෙසැම්බරයේ දී සෝවියට් සංගමය විසුරුවා හැරීම ද, ඒ හා සංයුක්ත වූ, 1989 ජූනියේ තියැනන්මෙන් චතුරස්‍රයේ සංහාරයෙන් පසුව චීනය තුල ධනපති ක්‍රමය පුනස්ථාපනය කිරීම ද, ඇමරිකානු පාලක පන්තිය විසින් දක්නා ලද්දේ, පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ සමයේ සමථය ප්‍රතික්ෂේප කිරීමටත්, එක්සත් ජනපදයේ ආධිපත්‍යය ගොඩ නැඟීමේ අරමුනින් ගෝලීය භූ දේශපාලනයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමටත් ලද අවස්ථාවක් ලෙස ය.

නැටෝව සහ රුසියාව අතර උත්සන්න වෙමින් පවත්නා යුද්ධය යනු මෙම ක්‍රියාවලියේ ව්‍යසනකාරී ප්‍රතිඵලයයි. අද දිනයේ මිලිටරි හා ප්‍රතිපත්ති මූලෝපායඥයන් ඇස ගසා සිටින්නේ එකම ප්‍රතිඵලයක් අපේක්ෂාවෙනි: එනම්, රුසියාව සම්පූර්නයෙන්ම කැබැලිවලට කැඩීමයි.

එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අරමුදල් සම්පාදිත යුරෝපීය ප්‍රතිපත්ති විශ්ලේෂන කේන්ද්‍රයේ අධි සාමාජිකයෙකු ද, කියෙව්හි පදිංචිකරුවෙකු ද වන ඇන්ඩර්ස් ඔස්ට්ලන්ඩ් මෙසේ ලියයි: යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය කෙලවර වනු ඇත්තේ රුසියානු සමූහාන්ඩුවේ බිඳී යාමෙනි. කුඩා, මිලිටරි මුක්ත, මධ්‍යස්ථභාවය සිය ව්‍යවස්ථාවලම ලියා ඇති, බෙලහීන ජනරජයන්ගෙන් එය විස්ථාපනය වනු ඇත.' කැබැලිවලට කැඩී විසිර ගිය, 'බෙලහීන' රාජ්‍ය මාලාවක් පිලිබඳ ඔස්ට්ලන්ඩ්ගේ දැක්ම, රුසියාව කෙරේ එක්සත් ජනපදයේ හා එහි යුරෝපීය අනුචරයන්ගේ පොදු අභිලාෂයන් දැක ගත හැකි කවුලුවකි.

උසස් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ හා පුනර්ජනනීය බලශක්ති තාක්ෂනයන්හි ඇදහිය නොහෙන වර්ධනය මධ්‍යයේ, එලඹෙන දශකවල තීරනාත්මක ඛනිජවල භාවිතයේ උත්පාතයක් අපේක්ෂිතය. රුසියාව මෙකී ඛනිජවල ප්‍රධාන ප්‍රභව ස්ථානයකි. ප්‍රමානවත් ආයෝජන ලැබුනු කල එයට අනාගතයේ ඊට ද වඩා වැඩි කාර්ය භාරයක් ඉටු කල හැකිය.

රුසියාව බිඳ විසුරුවා ලීම හා එහි ආධිපත්‍යය ඇමරිකානු ප්‍රාග්ධනය සතුවීම යනු, චීනය හා යුරේසියාව සිය අරමුනු සඳහා වඩාත් පුලුල් ලෙස යටත් කර ගැනීම හරහා 'නව ඇමරිකානු සියවස'ක් ආරෝපනය කිරීමට ඇමරිකානු පාලක පන්තිය දරන ප්‍රයත්නයේ මූලෝපායාත්මක ආධාරක පියවර වනු ඇත. ස්වභාවික සම්පත් මෙහි දී කාර්ය භාරයක් ඉටු කරයි. ඛනිජ තෙල් හා ස්වභාවික වායූන් සඳහා වන චිරස්ථායී අවශ්‍යතාවය මෙන්ම, තීරනාත්මක ඛනිජ සඳහා වන ශීඝ්‍රයෙන් වර්ධනය වන අවශ්‍යතාවය ද මධ්‍යයේ, රුසියාව දකිනු ලබන්නේ දැවැන්ත සම්පත් සම්භාරයක් සහිත අතිශයින් වැදගත් භූ ස්කන්ධයක් ලෙසින් ය.

සමාජවාදීන්ගේ කර්තව්‍යය වන්නේ මෙම ප්‍රතිගාමී ක්‍රියාවන්ට එරෙහිවීමයි. ආධිපත්‍යය හා සම්පත් සඳහා එක්සත් ජනපදය විසින් දැරෙන පරිශ්‍රමය, දශක ගනනාවක ආර්ථික පරිහානිය ආපස්සට හැරවීමට එය දරන ප්‍රයත්නය, ජාත්‍යන්තර කම්කරු පන්තියට ව්‍යසනයක තර්ජනය ගෙන එයි.

එහෙත් සිය 2022 මැයි දින සැමරුමේ දී ලෝසවෙඅ පැහැදිලි කල පරිදි, 'ලෝක යුද්ධයක තර්ජනය ගෙන එන එම ප්‍රතිවිරෝධයෝ ම, ලෝක සමාජවාදී විප්ලවය සඳහා ද කොන්දේසි නිර්මානය කරති. කම්කරු පන්තිය මුහුන දී සිටින අභියෝගය වන්නේ මෙයයි: එනම්, ලෝක යුද්ධය කරා මඟ පාදන වෛෂයික ප්‍රවනතාවල අඩිතාලම බිඳිමින් ඒවා දුබල කරන අතරම, විප්ලවය කරා මඟ පෙන්වන ප්‍රවනතා වැර ගන්වා ඒවා වේගවත් කිරීමයි.' ලෝකය පුරා සමාජවාදී සමානතා පක්ෂවල කර්තව්‍යයන් වන්නේ මේවා ය.

Loading