කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනිති

(මෙහි පලවන්නේ Koggala free trade zone workers in Sri Lanka establish action committee මැයෙන් 2022 අගෝස්තු 29 පල වූ ලිපියේ පරිවර්තනය යි.)

ඊයේ, කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ (කොනිවෙක) එස්කුවෙල් සහ අවුරා ඇඟලුම් කම්හල්වල කම්කරුවන් පිරිසක් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගත්හ. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් සමග සාකච්ඡා කිහිපයකින් පසුව ගත් මෙම තීරනය, නිදහස් වෙලඳ කලාපයේ මේ වසරේ වැඩෙන රැකියා කප්පාදු රැල්ලට ප්‍රතිචාරයක් විය.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

රැකියා 1,600ක් පමන විනාශ කරමින් එස්කුවෙල් කම්හල් දෙකක් (කලින් පොලිටෙක්ස් ලෙස හැඳින්වූ) මාර්තු මාසයේදී වසා දැමීම ද එම නෙරපා හැරීම්වලට ඇතුලත් ය; අවුරා කම්හල සතියක් වසා දැමෙන බව මුලින් නිවේදනය කල ද නැවත විවෘත කිරීමේ දිනයක් ප්‍රකාශයට පත් නොකරම සැප්තැම්බර් දක්වා එය දීර්ඝ කර ඇති අතර, නිෂ්පාදන පේලි දෙකක් වසා දැමීමෙන් පසුව, ෆැෂන් ගාර්මන්ට්ස්හි හි රැකියා 108 ක් මෑතකදී කපා හැර ඇත.

හොංකොං පදනම් කරගත් බහුජාතික සමාගමක් වන එස්කුවෙල්, නයිකි, මාර්ක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, රැල්ෆ් ලෝරෙන්, ටොමී හෙල්ෆිගර්, හියුගෝ බොස් හා ගැප් වැනි ප්‍රධාන එක්සත් ජනපද සහ යුරෝපීය සිල්ලර වෙලඳ සමාගම් සඳහා ඇඟලුම් නිෂ්පාදනය කරයි. මෑත වසරවලදී එය මැලේසියාවේ සහ වියට්නාමයේ කම්හල් වසා දමනු ලැබීය. 2020 මැයි මාසයේදී සමාගම විසින් යක්කල පිහිටි සිය එවර් බෙස්ට් කම්හල වසා දැමුවේ කෝවිඩ්-19 වසංගතය මගින් ගැඹුරු වූ ගෝලීය අර්බුදය උලුප්පා දක්වමිනි. එස්කුවෙල් සතුව දැනට තවත් කම්හල් දෙකක් ඇත - එකක් ඒකල සහ අනෙක කෑගල්ලේ ය. කම්කරුවන් 2,000 ක් මේවායේ වැඩ කරන අතර, ඔවුන්ගේ රැකියා තර්ජනයට ලක්ව ඇත.

පසුගිය දෙසැම්බරයේ, එස්කුවෙල් කලමනාකාරිත්වය වෙලඳ කලාපයේ පිහිටි 2,000ක පමන පිරිසක් සේවය කරන කර්මාන්තශාලා දෙකක් වසා දැමීමට සැලසුම් කරන බව නිවේදනය කලේ ය. ප්‍රධාන වශයෙන් කාන්තාවන් වන කම්කරුවන්ට ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් (වීආර්එස්) සඳහා ඉල්ලුම් කල හැකි බවත් අනාගත රැකියා පොරොන්දුවක් සමඟ යම් වන්දි මුදලක් ලබා ගත හැකි බවත් දන්වා ඇත.

තම රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා එස්කුවෙල් කම්කරුවන් බලමුලු ගැන්වීමට විරුද්ධව, නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ (FTZGSEU) නායක ඇන්ටන් මාකස්, කලමනාකාරීත්වය සමඟ මාස 18ක් තිස්සේ රැකියා විනාශ කිරීමේ පැකේජය පිලිබඳව රහස් සාකච්ඡාවලට සම්බන්ධ වී ඇති බව හෙලි කෙරෙන නිවේදනයක් නිකුත් කලේය.

“පසුගිය වසර එකහමාරක කාලය තුල, කම්කරුවන් දුක් විඳිද්දී දිගටම ලාභ ලබන එස්කුවෙල් සහ එහි ගැනුම්කරුවන් සමඟ සාධාරන වන්දි සහ නැවත රැකියා සැලැස්මක් සහතික කිරීම සඳහා ගිවිසුමක් අපි සද්භාවයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කලෙමු” යැයි මාකස් පැවසීය. මාකස්, සූම් රැස්වීම් ගනනාවකදීම සමාගම වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වල යෙදී සිටි ආකාරය ඊයේ රැස්වීම අමතමින් එක් සේවකයෙක් පැහැදිලි කලේ ය.

“අපිට වීආර්එස් අත්සන් කරන්න බල කලා. මාස තුනකින් සමාගම වෙනත් නමකින් කර්මාන්ත ශාලාවක් අරඹා අපට රැකියා ලබා දෙන බව මාකස් පැවසුවා” වෘත්තීය සමිති නායකයාගේ පොරොන්දුව බොරු බව පෙන්වා දෙමින් ඔහු කීවේ ය.

කම්කරුවන් 1,000 ක් පමන වීආර්එස් ලබා ගැනීමට මුලින් තෝරා ගෙන තිබුනි. කෙසේ වෙතත් සති කිහිපයකට පසු, 28 දෙනෙකු හැර සෙසු ශ්‍රමිකයන් වීආර්එස් සඳහා තෝරා ගත්තේ ය. ඒ හැමෝටම ලැබුනේ සොච්චම් වන්දියකි. වසර 15 ක් එහි සේවය කල එක් අයෙකුට ගෙවනු ලැබුවේ රුපියල් මිලියනයක් (ඩොලර් 2,850ක් පමන) පමනි. කම්කරුවන් කිසිවකු නැවත සේවයේ යොදවා නැත.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

ඉරිදා පැවැත්වූ රැස්වීමේදී තවත් සේවකයෙක් මෙසේ පැවසුවේය: “මම එක් දරුවෙකුගේ මවක්, වසර 16ක් එස්කුවෙල්හි සේවය කරල තියෙනව. මට රැකියාව අහිමි වූ දා සිට රුපියලක්වත් උපයා ගන්න බැරි වුනා. නමුත් මාසිකව රුපියල් 22,000 ක පමන නය මුදලක් බැංකුවට ගෙවන්න වෙලා තියෙනව මාකස් අපව රවටල නැවත විවෘත කරන වෙනත් කර්මාන්ත ශාලාවක අපව සේවයට ගන්නා බව පවසා වීආර්එස් ගිවිසුම අත්සන් කිරීමට සලැස්සුවා. දැන් අපිට එයාට දුරකථන ඇමතුමක් ගන්නවත් බැහැ.” ඇය “සමෘද්ධි” සුබසාධන ඉල්ලා ලිපියක් ලියා ඇතත් රජයේ නිලධාරීන් ඇයට මෙම සොච්චම් දීමනාව පවා ලබාදීම මේ දක්වා ප්‍රමාද කර ඇත. ආන්ඩුව සහ පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ හෙලා දකිමින් ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “අපේ ඡන්දය පමනක් ගසාකෑමේ යෙදෙන සෑම දේශපාලන පක්ෂයක්ම අපව රවටා ඇති බව මට තේරෙනව.”

අවුරා සේවකයෙක් ඊයේ රැස්වීමට මෙසේ පැවසීය: “කලමනාකාරිත්වය අපට සතියක නිවාඩුවක් ගැනීමට බල කරමින් ජුනි මාසය සඳහා වැටුපෙන් අඩක් අපට ලබා දුන්න. සැප්තැම්බර් මාසය දක්වා අර්ධ මාසික වැටුප් ලබා දෙන බවට පොරොන්දු වූ නමුත් අපට කිසිවක් ලබා දී නෑ. දැන් කියනවා ඔක්තෝබර් මාසයේදී කර්මාන්ත ශාලාව විවෘත කරනවා කියලා, නමුත් එහෙම වෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ.”

රැස්වීමට සහභාගී වූ සසප සාමාජිකයෝ, වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය ගැන සහ කම්හල් වැසීමට එරෙහිව කම්කරුවන් සටන් කලයුත්තේ මන්දැයි දීර්ඝ ලෙස කතා කලහ. ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලා වැසීම සහ දරාගත නොහැකි සමාජ කොන්දේසි, කෝවිඩ් 19 වසංගතය සහ යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය මගින් තීව්ර වූ ගෝලීය ආර්ථික අර්බුදයක කොටසක් බව ඔවුහු පැහැදිලි කලහ. මෙම කොන්දේසි සෑම රටකම තම රැකියා, වැටුප් සහ අනෙකුත් සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ අරගලයට කම්කරුවන් තල්ලු කෙරෙමින් පවතින බව ඔවුහු පැවසූහ.

සසප සාමාජිකයන් පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නය ඇපකරයක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මෙයට රජයේ රැකියා විනාශ කිරීම, රජය සතු සංස්ථා පුද්ගලීකරනය, බදු වැඩි කිරීම සහ සහනාධාරයන්හි මෙන්ම, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවන්හි දැඩි කප්පාදු පියවරයන් ද ඇතුලත් වනු ඇතැයි ඔවුහු පැවසූහ.

සාකච්ඡාවේදී තම පක්ෂයේ සමාජවාදී වැඩපිලිවෙල ගෙනහැර දැක්වූ සසප සාමාජිකයෝ, ජීවිතය සඳහා අත්‍යවශය දෑ නිෂ්පාදන කිරීම හා බෙදා හැරීම ධනේශ්වර පන්තිය සහ ආන්ඩුව අතේ පවතිද්දී කම්කරුවන්ට සහ දුගීන්ට තම අයිතීන් ආරක්ෂා කර ගත නොහැකි බව පෙන්වා දුන්හ.

“බැංකු, ප්‍රධාන සමාගම්, වතු සහ අනෙකුත් මහා ව්‍යාපාර කම්කරුවන්ගේ පාලනය යටතට පත් විය යුතුය, විදේශ නය හා පොලී ගෙවීම ප්‍රතික්ෂේප කල යුතුය, සියලු දුගී ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ නය අවලංගු කල යුතුය. සියලු දෙනාටම රැකියා සහතික කල යුතු අතර ජීවන වියදමේ ඉහල යාම අනුව වැටුප් වැඩි කල යුතුය.” මෙම වැඩසටහන අධ්‍යයනය කර සහාය දෙන ලෙස එස්කුවෙල් සහ අවුරා සේවකයින්ගෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

වෘත්තීය සමිති, එස්කුවෙල් හි පමනක් නොව අනෙකුත් පුද්ගලික සමාගම්වල සහ රාජ්‍ය අංශයේ කම්කරුවන් පාවා දෙන බව සසප සාමාජිකයින් පෙන්වා දුන්හ. “ශ්‍රී ලංකාව පුරා සහ එස්කුවෙල් සහ අවුරා හි කම්කරුවන්ගෙන් වෘත්තීය සමිති හා ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, සිය රැකියා සහ මූලික අයිතීන් සඳහා අරගලය සියතට ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස සසප ඉල්ලා සිටින්නේ එබැවින්” යැයි සසප සාමාජිකයෙක් පැවසී ය.

තමන්ගේම ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට ත්, කොනිවෙක හි අනෙකුත් කම්හල්වල මෙන්ම ඉන් පිටත පිහිටි කම්හල්වල සේවකයන්ගේ සහයෝගය සඳහා සටන් කිරීමට පැමින සිටි කම්කරුවෝ එකඟ වූහ. සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස, ශ්‍රී ලංකාව පුරා ක්‍රියාකාරී කමිටු නියෝජිතයින්ගෙන් සමන්විත “කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් ” සඳහා සසප කැඳවීම කියවා සාකච්ඡා කිරීමට ද ඔවුහු එකඟ වූහ.

Loading