“කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනය” ගැන කොලඹ වරාය කම්කරුවෝ සාකච්ඡා කරති

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙන යන වැඩකටයුතු වේගවත් කෙරී ඇත. එහි ප්‍රධාන ඉලක්කයන් වන කොලඹ වරායේ කම්කරුවන් අතර, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) නියෝජිතයෝ හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයෝ පසුගිය අගෝස්තු 26 දින උද්ඝෝෂනයක් දියත් කලහ.

සර්ව-පාක්ෂික පාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කරනු! ජාමූඅ කප්පාදු එපා! කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනැගීමට සටන් කරනු!” සහ “ත්‍රස්ත-විරෝධී නීති යටතේ රඳවාගෙන සිටින සිසුන් නිදහස් කරනු!” යන සසප ප්‍රකාශනයන්හි ද, “ජවිපෙ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මිත්‍යාවන්ට යලි පන දීමට උත්සාහ කරයි” යන මැයෙන් ලෝසවෙඅ හි පල වූ ලිපියේ ද මුද්‍රිත පිටපත් කම්කරුවන් අතර බෙදා හරිමින් උද්ඝෝෂකයෝ ඔවුන් සමග සාකච්ඡාවන්හි නිරත වූහ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට (ශ්‍රීලවඅ) අයත් කොලඹ වරාය, මූලෝපායික ව වැදගත් ස්ථානයක පිහිටා ඇත. මේ වන විට එහි වැඩි කොටසක් ඉන්දියාව චීනය ඇතුලු විදේශීය හා දේශීය සමාගම් වලට පවරා දී ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මත එහි ඉතිරි කොටස් ද පුද්ගලික අංශයට පවරා දීම සඳහා ආන්ඩුව ගෙනයන වැඩකටයුතු හා එය පරාජය කිරීමට ගත යුතු ක්‍රියා මාර්ගය පිලිබඳ ව කම්කරුවෝ ලෝසවෙඅ වෙත අදහස් දැක්වූහ.

වරාය ටග් යාත්‍රා අංශයේ කම්කරුවෙක් අදහස් දක්වමින් මෙසේ පැවසී ය: “මම දශක කිහිපයක් මෙහි සේවය කරනවා. වෘත්තීය සමිති වල පාවා දීම් යටතේ දැන් වැඩි කොටසක් පුද්ගලීක අංශයට පවරා දී ඉවරයි. වරාය අධිකාරිය යටතෙ සේවය කරන සේවකයන් දැන් ඉන්නෙ 9000ක් පමනයි. පුද්ගලීකරනය කිරීමේ ප්‍රයත්නය සම්බන්ධ ව දැන් වෘත්තීය සමිති නිහඬයි.”

ඔහු තව දුරටත් කරුනු දැක්වීය: “ජාමුඅ මුදලේ වැඩපිලිවෙල වරාය තුලත් ක්‍රියාත්මක කිරීමට පාලකයන් සූදානම්. වරායේ ඉතිරි කොටසත් පුද්ගලීකරනය කිරීමට නියමිතයි. පාලකයන් දැනටමත් වසර 60න් විශ්‍රාම ගන්න සේවකයන්ගේ පුරප්පාඩු පුරවන්නේ නැහැ. මේ වසරෙ විශ්‍රාම ගතයුතු විශාල ප්‍රමානයක් ඉන්නවා. කම්කරුවන් සේවයෙන් ඉවත් කිරීමේ තවත් පියවරක් ලෙස වයස 55න් විශ්‍රාම ගැන්වීමේ නීති සම්මත කිරීමට යන බවට ආරන්චියක් පැතිරෙනවා. වරායේ වැඩ කටයුතු අඩු වියදමකින් සපයා ගැනීමට ඇතැම් විට විශ්‍රාම ගන්වන කම්කරුවන් කොන්ත්‍රාත් ක්‍රමයට යලි සේවයේ යොදවනවා.”

වෘත්තීය සමිති පිලිබඳ අප්‍රසාදය පල කරමින් ඔහු කීවේ, “පුද්ගලීකරනයට එරෙහි ව කම්කරුවන්ගේ දැවැන්ත අරගල ආන්ඩුවලට බලපෑම් දැමීමේ රඳවලා වරායේ වෘත්තීය සමිති සන්ධානය එම අරගල පාවා දුන්නා. දැන් වෘත්තීය සමිති නිහඬයි.” යනුවෙනි.

“වරාය අධිකාරිය සතු ව තිබුන වරාය අසල ම නිල නිවාස පැවති භූමියේ කම්කරුවන් ඒවායින් ඉවත් කර ශුද්ධ කරමින් පවතිනවා. ඒ භූමියත් පුද්ගලික සමාගමකට පවරන බවට කම්කරුවො සැක කරනවා. නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීමට නියමිතයි. වරාය අසල ඉඩම් අක්කර 13ක් චීනයට අයත් කොලඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට (සීඅයිසීටී) පැවරීම සඳහා යෝජිත කැබිනට් පත්‍රිකාව 2021 වරාය හා නාවික ඇමති රෝහිත අබේගුනවර්ධන විසින් අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කරා. ඒ වැඩපිලිවෙල තමයි දැන් ඉදිරියට යමින් තියෙන්නෙ.”

ඔහු කලින් ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ ව සිටි නමුත්, ඔවුනගේ ධනපති ගැති සහ කම්කරු-විරෝධී පිලිවෙත් හේතුවෙන් දැන් එය පිලිකුල් කරන බව ඔහු පැවසී ය. “ඔවුන් සාකච්ඡා කරන්නෙ, ලොවපුරා ම්ලේච්ඡ යුද්ධ ගෙනයන, ජාමූඅ ප්‍රහාර පිටුපසින් සිටින ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගෙ තානාපතිනි එක්ක.” ජවිපෙ ට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය (සලවපොසේස) සහ වරාය වෘත්තීය සමිති සන්ධානය, කම්කරුවන්ගෙ විරෝධය මැද, නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පවරා දීමට වැඩකටයුතු කල බව ඔහු තවදුරටත් පැවසී ය.

පුද්ගලීකරනය ඇතුලු ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ ප්‍රහාර වලට එරෙහි ව, කම්කරු පංතියේ නායකත්වයෙන් යුත් දේශපාලන ප්‍රතිප්‍රහාරයක් සූදානම් කිරිම සඳහා සසප විසින් කැඳවනු ලබන කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සම්මේලනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කීවේ, “වෘත්තීය සමිතිවල ධනපතිගැති වැඩපිලිවෙලවල් වලට එරෙහි ව සමාජවාදී වැඩපිලිවලකින් කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ වැදගත් යෝජනාවක් ලෙස” එය දකින බවයි.

කම්කරුවන් ඉතා උනන්දුවෙන් සාකච්ඡාවලට සම්බන්ධ වූ අතර තව දුරටත් සාකච්ඡා කිරීම සඳහා දුරකථන අංක දුසිමකට වැඩි සංඛ්‍යාවක් ලබා දුන්හ. ඉහල යන ජීවන වියදම සම්බන්ධයෙන් විරුද්ධත්වය පල කල එක් කම්කරුවෙක් සඳහන් කලේ ඊයේ දිනයේ දී තමන්ට භාන්ඩ මිල දී ගැනීමට රුපියල් විසි එක්දහසක් වැය වූ බවයි. නමුත් අතිකාල දීමනා සමග සමග ඔහුගේ වැටුප හැටදහසක් පමන වන සොච්චමක් බව ඔහු සඳහන් කලේ ය.

කාර්මික කම්කරුවෙකු ලෙස සේවය කරන නිශාන්ත සඳහන් කලේ “ජනවාරි මාසයේ සිට අද වන විට ජීවන වියදම තුන් ගුනයකින් පමන වැඩි වී ඇති නමුත් වැටුප් එක ම මට්ටම් වල පවතින” බවයි.

'අපිට විසඳුමක් අවශ්‍යයි. එක්කෝ බඩු මිල අඩු කරන්න. බඩු මිල අඩු කරන්න බැරිනම් ඒකට ගැලපෙන වැටුපක් දෙන්න. අඩු ම තරමෙ එක ප්‍රශ්නයක් හරි විසඳන්න. හැම තැන ම කම්කරුවො එක ම ප්‍රශ්න වලටයි මුහුන දෙන්නේ.”

කම්කරු පන්තියේ එකමුතුවෙන් ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය සසප සාමාජිකයෝ ඔහු සමග සාකච්ඡා කලහ. “වෘත්තීය සමිති ඒ වගේ එකමුතුවක් ගොඩනගා තියෙනවා නේද? වරාය පෞද්ගලීකරනයට දක්වපු විරෝධතා වලදි ටෙලිකොම් ඛනිජ තෙල් වෘත්තීය සමිති වල නායකයො ආවා නේද?” යනුවෙන් ඔහු විමසා සිටියේ ය.

එම සන්ධානය ආන්ඩුවලට බලපෑම් දැමීමේ වැඩ කටයුතුවල කම්කරුවන් රඳවා අරගලය පාවාදුන් බව පැහැදිලි කල විට නිශාන්ත මෙසේ සඳහන් කලේය. “ඔවු ඔවුන් ඒ කම්කරුවන් බලමුලු ගන්වන්න වැඩ කලේ නෑ. අනෙක් අතට වරාය පුද්ගලීකරනයත් නැවතිලා නෑ. මට පැහැදිලියි වෘත්තීය සමිති වල ක්‍රියා කලාපය කම්කරුවොන්ට හතුරුවයි තියෙන්නෙ කියලා. ඔවුන් පාලකයින් එක්ක සාකච්ඡා කරනවා ඔවුන් ම තීන්දු ගන්නවා. ඊට පස්සෙ අපේ පිට පටවනවා. සාමාන්‍ය සාමාජිකත්වයෙන් කිසිම දෙයක් අහන්නෙ නෑ” යැයි නිශාන්ත පැවසුවේ ය.

සවුත් ඒෂියා ගේට්වේ පර්යන්තයේ සේවයේ නියුතු අනියම් කම්කරුවෙක් මෙසේ කියා සිටියේ ය. “අපි අනියම් සේවකයන් ලෙසයි වැඩ කරන්නෙ. දැන් මම වසර දෙකක් වෙනවා ස්ථීර කරන්නේ නැහැ. ලබෙන වැටුපෙන් ජීවත් වෙන්න අමාරුයි. අපි මානව අයිතීන් කර්යාලයට දැනුම් දුන්නා වැටුප් වැඩි කරන ලෙස රජයට අයත් කම්කරුවො නම් උද්ඝෝශනය කරනවා. අපිට වෘත්තීය සමිති නෑ.'

අතිකාල දීමනා සමග ඔහුගේ සමස්ත වැටුප රු 70000කට ආසන්න වන බවත්, පසුගිය මාස කීපය තුල බඩු මිල තුන් ගුනයකින් ඉහල ගොස් ඇති තතු තුල තුන් දෙනෙකුගෙන් සමන්විත තම දරු පවුල රැකීමට එය කිසිසේත් ප්‍රමානවත් නොවන බව ඔහු පැවසී ය.

එස්.අරුල් නමැති කම්කරුවෙක් මෙසේ කීවේ ය: “මම වරායට සම්බන්ධ නියෝජිත ආයතනයක ලිපිකරුවෙක්. ආනයන සීමා කර ඇති නිසා අපේ ආයතනයට වැඩ අඩුයි. මට දැන් ලැබෙන්නෙ කලින් පඩියෙන් භාගයයි. නමුත් ජීවන වියදම තුන් ගුනයකට වඩා වැඩි වෙලා. මීට පෙරදිත් මම මගේ පවුලෙ වියදම් කලමනාකරනය කර ගත්තෙ විවිධ දුෂ්කරතා මැද. දැන් එය කොහොමටවත් කරන්න බෑ.'

පසුගිය දා ඇති වූ මහජන නැගිටීම ගැන අදහස් පල කරමින් ඔහු මෙසේ කීවේ ය: “මිනිසුන් වෙනසක් සඳහා අරගල කලා. ඒත් ඔවුන් පුද්ගලයා පමනයි වෙනස් කලේ. මීට මාස කිහිපයකට ඉස්සෙල්ල ගෝල්‌ෆේස් සටන්කරුවො ඇතුලු සෑම කෙනෙක් ම කතා කලේ අන්තර්වාර ආන්ඩුව ගැනයි. දැන් හැම පක්ෂයක්ම ආන්ඩුවට විරුද්ධව මහජනයා ඉදිරියේ කතා කරන ගමන්, සර්ව පාක්ෂික ආන්ඩුවක් ගැන ජනාධිපති වික්‍රමසිංහ එක්ක සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උදව් ලබා ගැනීමට මේ සෑම කොටසක් ම එකඟයි. ඔබ කියන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කලොත් මහජනතාව තව තවත් පීඩාවට පත් වෙනවා. ඔබේ පක්ෂය ඉදිරිපත් කර ඇති විසඳුම කම්කරුවන් ස්වාධීන ව එක ම වැඩපිලිවෙලක් යටතේ ලොව පුරා ඒකරාශී කිරීමට මම එකඟයි.”

වරාය අසල සුලු ව්‍යාපාරික කටයුතුවල යෙදෙන 42 හැවිරිදි ෂන්මුගරාජා මෙසේ කීවේ ය. “රට තුල විරෝධතා ආරම්භ වූ දා සිට මම ඔබේ පක්ෂයේ තුන්වන පත්‍රිකාවයි කියවන්නෙ. අනෙක් ඒවාට වඩා සම්පූර්න වෙනසක් මට මේ පත්‍රිකා වලින් පේනවා. මම ඉන්දියාවෙන් යම් දේවල් ගෙනැවිත් විකුනා මගේ පවුල පවත්වාගෙන යාමට යමක් උපයා ගන්නවා. විනිමය අනුපාතිකය වැඩි වූ පසු සහ ගුවන් ටිකට්පත් වර්තමාන මිල ගනන් මගේ රැකියාව හිඟන තත්වයකට පත් කලා.”

ඔහු තව දුරටත් මෙසේ පැවසී ය. “මම කීප වතාවක් ම එක එක පක්ෂ වලට ඡන්දය දීලා තියෙනවා. කවුරු බලයට ආවත් අපේ ජීවිත වඩ වඩාත් පහලට වැටෙනවා. ගෝල්ෆේස් විරෝධතාවයේදී සෑම කෙනෙකු ම සිස්ටම් වෙනස් කිරීම ගැන කතා කලේ. ඒත් එය කුමක් ද සහ කෙසේ ද යන්න පැහැදිලි කලේ නෑ.”

“නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත සහ ලාභය මත පදනම් වූ සිස්ටම් එක තමයි වෙනස් කරන්න ඕන. එය සමාජවාදය යටතේ සිදුවිය යුතු බව දැන් මට වැටහෙනවා. සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට දරන උත්සාහය ගැන මම ඔබ සැමට ස්තූතිවන්ත විය යුතුයි. මම ඔබේ යෝජනා සමඟ එකඟ වෙනවා.”

Loading