ග්ලෙනුජ් වත්තේ වැඩ වර්ජනය අවසන් කිරීමට වෘත්තීය සමිති දරන උත්සාහය ප්‍රතික්ෂේප කරනු!

(මෙය Reject Sri Lankan unions’ attempt to end strike at Glenugie Estate! මැයෙන් 2022 නොවැම්බර් 9 පල වූ ලිපියේ පරිවර්තනය යි.)

ඉහල දමන වැඩබරට හා වැටුප් කප්පාදුවලට එරෙහි ව, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අප්කොට්හි ග්ලෙනුජ් වත්තේ කම්කරුවන් ගෙන යන වැඩ වර්ජනය තීරනාත්මක අවධියකට ලඟා වී ඇත. ග්ලෙනුජ් හා ඩීසයිඩ් අංශවල කම්කරුවන් 500 ගනනක සහභාගීත්වයෙන් ඔක්තෝබර් 27දා ආරම්භ වුනු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය, දැන් එහි තුන්වැනි සතිය කරා එලඹෙමින් පවතී. වත්තේ කලමනාකාරීත්වය කම්කරුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙද්දී, ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) හා ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්) වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සාමාන්‍ය කම්කරුවන් විසින් ආරම්භ කරන ලද මෙම වැඩ වර්ජනය අවසන් කරන ලෙස, කම්කරුවන්ට පීඩනය යොදමින් සිටිති.

ඉහල වැටුප් හා පහල දෛනික වැඩ ඉලක්ක ඉල්ලීමට 2022 සැප්තැම්බර් 12දා ග්ලෙනුජ් වත්තේ කම්කරුවෝ විරෝධතා පවත්වති. (ඡායාරූපය: ලෝසවෙඅ)

ග්ලෙනුජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුවෙහි අපි, අපේ ඉල්ලීම් කිසිවක් දිනා නො ගෙන ආපසු වැඩට යාමට වෘත්තීය සමිති කරන විධානය, එකහෙලා ප්‍රතික්ෂේප කරමු. ග්ලෙනුජ් වත්තේ කම්කරුවන් සමග එක් වී, අපේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම පිනිස, මෙම අරගලය විස්තාරනය කරන ලෙස අපි අනෙකුත් සියලු වතු කම්කරුවන්ට ආයාචනා කරමු. ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර ව අනෙකුත් කම්කරුවන්ගේ සහයෝගය සඳහා ද අපි ආයාචනා කරමු.

ආහාර හා අනෙකුත් අවශ්‍යතාවන්ගේ හිඟයන් විසින් ධාවනය කරනු ලබන අහස උසට නගිමින් තිබෙන ජීවන විදයමට, අපේ සොච්චම් වැටුප් නො සෑහෙන නිසා ග්ලෙනුජ් වත්තේ කම්කරුවෝ වැඩ වර්ජන ක්‍රියා මාර්ගයට පිලිපන් හ. සියලු වතු කම්කරුවන් සහ සමස්තයක් ලෙස කම්කරු පන්තිය මුහුන දෙන පරිදි, වැඩ කොන්දේසි ද කිසිසේත් ම දරාගත නො හැක.

දෛනික ව නෙලන දලු ඉලක්කය කිලෝග්‍රෑම් 16 සිට 18 දක්වා ඉහල දමා ඇති ග්ලෙනුජ් වත්තේ කලමනාකාරීත්වය, කම්කරුවෙක් ආවරනය කල යුතු ක්ෂේත්‍රය වර්ග මීටර 75 සිට 150 දක්වා දෙගුන කර තිබේ. මෙම ඉලක්ක සම්පූර්න කිරීමට අසමත් වන කම්කරුවෝ වැටුප් කප්පාදුවලට මුහුන දෙති.

සීඩබ්ලිව්සී හා එන්යූඩබ්ලිව් මුල පටන් ම වැඩ වර්ජනයට සහයෝගය දීම ප්‍රතික්ෂේප කරමින් එය හුදකලා කලේ, කලමනාකාරීත්වය හා ආන්ඩුවේ කම්කරු දෙපාර්තමේන්තුව සමග කරන සාකච්ඡා හරහා අපේ ඉල්ලීම් දිනාගත හැකියි යන මිථ්‍යාව වගා දිගා කරමින් ආපසු වැඩට ලෙස ඉල්ලමිනි. එහෙත් ඔක්තෝබර් 31දා හැටන් කම්කරු නිලධාරීන් සමග පැවැත්වූ රැස්වීමක් අසාර්ථක වූයේ, කම්කරුවන්ගේ ඉල්ලීම් කලමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ය.

වත්ත පාලනය කරන මස්කෙලිය වතු සමාගම කොලඹ දී නොවැම්බර් 8දා සාකච්ඡාවක් සංවිධානය කරන බවට, නොවැම්බර් 6දා සීඩබ්ලිව්සී මහ ලේකම් ජිවන් තොන්ඩමන් කම්කරුවන්ට දැනුම් දුන්නේ ය. රැස්වීමට සහභාගි වීමට කම්කරුවන් කන්ඩායමක් සූදානම් වී සිටිය ද නොවැම්බර් 7දා හැටන්හි සීඩබ්ලිව්සී ප්‍රාදේශීය නායක පිච්චමුත්තු කම්කරුවන්ට දැනුම් දුන්නේ රැස්වීම අවලංගු කරන ලද බව යි. මෙම සිද්ධිය කම්කරුවන් රවටා අපේ අරගලය කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයක් විය.

පිච්චමුත්තු, ග්ලෙනුජ් කොටසේ සීඩබ්ලිව්සී ශාඛා නායක ජයප්‍රකාශ් සහ එන්යූඩබ්ලිව් ශාඛා නායක ඥානප්‍රකාශම් යන සියල්ලෝ, කම්කරුවන් වැඩ වර්ජනය අවසන් කල යුතු බව එක දිගට ම අවධාරනය කරති. කම්කරුවන් අප හා සමාන ප්‍රශ්නවලට මුහුන දෙන අනෙකුත් වතු කරා ද ග්ලෙනුයිජ් වැඩ වර්ජනය පැතිරී යනු ඇතැයි වෘත්තීය සමිති බිය වෙති.

කම්කරුවන් හුදකලා කිරීමට වෘත්තීය සමිති දරන ප්‍රයත්න, දඬුවම් පියවරයන් පනවමින් සිටින කලමනාකාරීත්වයෙහි හස්තය ශක්තිමත් කර ඇත. වැඩ වර්ජනය පිලිබඳ ව වාර්තා කිරීම නිසා, වත්තේ බෙදාහැරීමේ කම්කරුවෙක් හා නිදහස් මාධ්‍යෙව්දියෙක් වන ඥානරාජ්ගේ වැඩ තහනම් කරන ලදී.

කම්කරුවන්ට අනතුරු අඟවනු ලැබිය යුතු ය: වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ, අපේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවට වතු සමාගම්වල ලාභ තරකර දීමට බව ඒවායේ වාර්තාව පෙන්වා දෙයි. ග්ලෙනුජ්, ඕල්ටන්, තලවාකැලේ, කටුකැලේ, හැටන් වැලිඔය හා අනෙකුත් වතු තුල මෑත දී ඉස්මතු වූ වැඩබර ඉහල දැමීමට,වැටුප් කප්පාදුවලට හා අනෙකුත් ප්‍රහාරවලට එරෙහි අරගල සියල්ල, සීඩබ්ලිව්සී, එන්යූඩබ්ලිව්, කඳුරට ජනතා පෙරමුන හා ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුලු වෘත්තීය සමිති විසින් පාවාදෙනු ලැබ තිබේ.

නෙලිය යුතු දෛනික දලු ප්‍රමානය කිලෝග්‍රෑම් 16 සිට 20 දක්වා ඉහල දැමීම පිනිස කලමනාකාරීත්වය ගත් තීරනයට එරෙහි ව, පසුගිය වසරේ සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 6දා දක්වා ඇදී ගිය ග්ලෙනුජ් හා ඩීසයිඩ් කොටස්වල කම්කරුවන් 500කගේ වැඩ වර්ජනය, සීඩබ්ලිව්සී හා එන්යූඩබ්ලිව් විසින් පාවාදෙනු ලැබී ය. එම වැඩ වර්ජනයට ග්ලෙනුජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව ක්‍රියාකාරී ව මැදිහත් වූයේ, වෘත්තීය සමිතිවල කඩාකප්පල් කිරීමට එරෙහි ව කම්කරුවන් එකමුතු කිරීමට සටන් වැදෙමිනි.

කම්කරුවන් දුසිම් ගනනකගේ වැඩ ව්‍යාජ චෝදනා මත තහනම් කිරීම ඇතුලු, කම්කරුවන්ට එරෙහි ව ඕල්ටන්, කටුකැලේ හා වැලිඔය වතු තුල දියත් කෙරෙන දඩයම්වල දී ද වෘත්තීය සමිති කලමනාකාරීත්වය සමග ඒකාබද්ධ වී ඇත. වසර එකහමාරකට ද අධික කාලයකට පසුව, මෙම බොරු නඩු දිගට ම ඇදෙමින් පවතී.

නිත්‍ය සේවකයන් පමනක් නො ව, වැඩිහිටියන් හා දරුවන් ඇතුලු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ව ද සූරාකෑමට සමාගම්වලට ඉඩ ලබා දෙන, ඵලදායිතාව මත පදනම් වන ආදායම් බෙදාගැනීමේ ක්‍රමය (ආර්එස්එම්) හඳුන්වාදීමට ද කම්කරුවන්ගේ පලල් විරෝධය නො තකා වෘත්තීය සමිති සහයෝගය දුන් හ. ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මාධ්‍ය වෙත කියා ඇත්තේ, තේ දලු ප්‍රතිදානයෙන් සියයට 30කට පමන ප්‍රතිපදානය කරන ආර්එස්එම් ක්‍රමයට ස්තුති වන්නට, වතු ඒවායේ ඵලදායිතාව වැඩි කරගෙන ඇති බව යි. සේවක අර්ථසාධක අරමුදල ඇතුලු කම්කරුවන්ගේ විශ්‍රාම ප්‍රතිලාභ ද අහෝසි කරනු ලැබ තිබේ.

වතු කම්කරුවන් සූරාකෑම තීව්‍ර කිරීම, කෝවිඩ්-19 වසංගතයෙන් හා යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයෙන් අනතුරු ව වේගවත් කර ඇති ජාත්‍යන්තර ව කම්කරු පන්තියට එල්ල කරන පලල් ප්‍රහාරයෙහි කොටසකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කරනු ලබන ම්ලේච්ඡ කප්පාදු පියවරයන් රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව විසින් ක්‍රියාවට දමමින් සිටින්නේ, ධනවාදයෙහි ගෝලීය අර්බුදයේ සමස්ත බර වැඩකරන ජනයා මතට පැටවීමේ ඉලක්කය සහිත ව ය.

වතු කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ආරම්භකත්වය ගෙන ඇති සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් විස්තර කල පරිදි, හාම්පුතුන් හා ධනපති රාජ්‍යය වෙනුවෙන් කාර්මික පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති හරහා, කම්කරුවන්ට ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කරගත නො හැක.

එම නිසා, ඒකාබද්ධ අරගලයක් සඳහා පදනම ලෙස, වෘත්තීය සමිතිවලින් ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගන ලෙස, ග්ලෙනුජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව ග්ලෙනුජ් වත්තේ හා අනෙකුත් වතුවල සියලු කම්කරුවන්ට ආයාචනා කරයි. මෙම කමිටු, කෙන්යාව, ඉන්දියාව, බංග්ලාදේශය හා චීනය වැනි රටවල වතු කම්කරුවන් ඇතුලු ලංකාවේ හා ජාත්‍යන්තර අනෙකුත් කම්කරුවන් සමග සබඳතා හැඩගස්වනු ඇත.

මෙම අරගලයේ දී ග්ලෙනුජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටුව පහත දැක්වෙන ඉල්ලීම් ඉදිරිපත් කරයි:

* ආදායම් බෙදාගැනීමේ ක්‍රමය එපා

* සියලු කම්කරුවන්ට රුපියල් 75,000ක මාසික වැටුපක්, ජීවන වියදමට අනුව ස්වයංක්‍රීය ව වැටුප් ඉහල දැමීම, පූර්න විශ්‍රාම වැටුප් හිමිකම් සහ පූර්න ගෙවීම් සහිත ලෙඩ නිවාඩු

* සියලු කම්කරුවන්ට වෛද්‍ය ප්‍රතිලාභ සහ සෑම වත්තකට ම ඉහල ගුනාත්මක වෛද්‍ය පහසුකම්

* සියලු දෙනාට ශිෂ්ට සම්පන්න හා ජීවත් විය හැකි නිවාස

* ඕල්ටන්, කටුකැලේ හා වැලිඔය වතුවල වැඩ තහනම් කරන ලද සියලු කම්කරුවන් කොන්දේසි විරහිත ව යලි සේවයේ පිහිටුවීම සහ ඔවුන්ට එරෙහි ව ගොතන ලද චෝදනා ඉවත් කරගැනීම

සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන අරගලයෙන් මෙම ඉල්ලීම් වෙන්කල නො හැකි බවට සසප සමග ග්ලෙනුජ් වත්තේ කම්කරු ක්‍රියාකාරී කමිටු එකඟ වෙයි. විශාල වතු, ප්‍රධාන සංගත හා බැංකු, කම්කරු පන්තියෙහි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කිරීම මේවාට ඇතුලත් වෙයි. සියලු විදේශ නය සහ ජාමූඅ කප්පාදු විධානයන් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ය.

ශ්‍රී ලංකාවේ, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා සටනෙහි කොටසක් ලෙස, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අවශ්‍යතාවන්ට ප්‍රකාශනයක් අත්කර දෙන, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප ගෙන යන උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස අපි සියලු කම්කරුවන්ට කැඳවුම් කරමු.

Loading