“ඔවුන් න්‍යෂ්ටික බෝම්බ පාවිච්චි කලහොත් කිසිවක් ඉතිරි නොවේවි,” ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් සසජාතශි උද්ඝෝෂකයන්ට පවසයි

[මෙය“If they use the nuclear bombs nothing will be left,” Sri Lankan student tells IYSSE campaignersයනමැයෙන් 2022 ‌දෙසැම්බර් 09 පලකෙරුනුලිපියේපරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරයේ සාමාජිකයින් කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් සඳහා කැඳවුම් කරමින් සසජාතශි සංවිධානය විසින් දෙසැම්බර් 10 දින පවත්වනු ලබන වෙබිනාර් රැස්වීම සඳහා සහයෝගය ගොඩනැගීමට උද්ඝෝෂනය කරමින් සිටී. මෙම උද්ඝෝෂනයට විශ්ව විද්‍යාල වල, වතුකරයේ සහ කොලඹ වරායේ කම්කරුවන් අතර ප්‍රබල සහයෝගයක් ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්, කථිකාචාර්යවරුන් සහ සේවකයින් උද්ඝෝෂන කන්ඩායම සමඟ සාකච්ඡාවලට උද්‍යෝගයෙන් සහභාගී වූ අතර යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කලහ.

සසප සාමාජිකයින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයෙකු වන එම්. කුනසිංහම් සමඟ කතා කරමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

උද්ඝෝෂනය අතරතුර, “ලොව පුරා තරුනයින්ට කැඳවුමක්: යුක්‍රේන යුද්ධය නැවැත්වීමට මහජන ව්‍යාපාරයක් ගොඩනඟනු!” යන මැයෙන් වූ සසජාතශි ප්‍රකාශයේ පිටපත් 100 කට වඩා අලෙවි කෙරුනු අතර බොහෝ සිසුන් කියා සිටියේ තමන් යුද විරෝධී ඔන්ලයින් රැස්වීමට සම්බන්ධ වන බවයි.

කලා පීඨයේ ශිෂ්‍යයෙකු වන එම්. කුනසිංහම් පැවසුවේ, “මේ යුද්ධය මිනිසුන්ට ඉතා භයානක නිසා වහාම නතර කල යුතුයි. න්‍යෂ්ටික බෝම්බ පාවිච්චි කලොත් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීම සඳහා ඔබේ ව්‍යාපාරය මම අනුමත කරනවා. මම සමානාත්මතාවය ගෙන එන සමාජවාදී ප්‍රතිපත්තිවල ආධාරකරුවෙක්.'

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන එස්. දිනෝජන් යුක්‍රේන යුද්ධය පිලිබඳ සසජාතශි ප්‍රකාශය කියවමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

එම විශ්ව විද්‍යාලයේම ශිෂ්‍යයෙකු වන එස්. දිනෝජන්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෙන ගිය යුද්ධය ගැන සඳහන් කලේය. 'මගේ උපන් නගරය කිලිනොච්චිය [උතුරු පලාතේ]; යුද්ධයේ ම්ලේච්ඡත්වය මම සෘජුව ම අත්වින්දා.'

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “දැන් පවතින යුක්‍රේන-රුසියානු යුද්ධය නැවැත්විය යුතුයි. මේ යුද්ධය විතරක් නෙවෙයි මම හැම විටම ඕනෑම යුද්ධයකට විරුද්ධයි. ප්‍රතිවිපාක කඩා වැටෙන්නේ ප්‍රධාන වශයෙන් දුප්පත් මිනිසුන් මතට, නමුත් ආන්ඩු සහ දේශපාලන පක්ෂ යුද්ධයට සහාය දක්වනවා.' ඔහු යුද්ධයේ මූලයන් පැහැදිලි කිරීම ගැන උද්ඝෝෂකයන්ට ස්තුතිය පුදකරමින් මෙසේ පැවසීය: “මේ වන තුරු [යුද්ධයට විරුද්ධ වීමට] තරුනයින්ට කරන කිසිදු කැඳවීමක් මම දැක නැහැ. මම මේ රැස්වීමට උද්‍යෝගයෙන් සහයෝගය දෙනවා.”

ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ඒ. නිත්තියානන්දම් මෙසේ පැවසීය: “යුද්ධ නිසා මිනිසුන් දහස් ගනනක් මිය යන අතර මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කරමින් ලොව පුරා සරනාගතයින් බිහි කරනවා. ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ ජනතාව වසර 30 ක වාර්ගික යුද්ධයකට මුහුන දුන්නා. මිනිසුන් දහස් ගනනකට ඔවුන්ගේ ජීවිත හා දේපල අහිමි වෙලා, දස දහස් ගනනක් අතුරුදහන් වී හෝ ආබාධිත වී තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ඒ. නිත්‍යානන්දම් [ඡායාරූපය: ලෝසවෙඅ]

උද්ඝෝෂකයින් සමඟ වහාම එකඟ වූ ටී. අභිනාෂා නමැති ශිෂ්‍යයාවක්, 'තුන්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් ලෝකය විනාශ වී යාවි' යනුවෙන් පැවසීය. “දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ සිදු වූ දේ අපි දන්නවා. එම බලපෑම තවමත් හිරෝෂිමා සහ නාගසාකිවලට තියෙනවා.” ඇය සසප සමාජවාදී වැඩපිලිවෙලට සිය සහයෝගිතාව ප්‍රකාශ කලාය.

යුක්‍රේනය තුල පවතින්නේ අධිරාජ්‍යවාදී යුද්ධයක් බවට තවත් ශිෂ්‍යයෙක් එකඟ විය. ඔහු මෙසේ ප්‍රකාශ කලේය: “එක්සත් ජනපදය හා නැටෝ හමුදා රුසියාවට එරෙහිව සටන් කිරීමට යුක්‍රේනය භාවිතා කරන බව පැහැදිලියි. දැන් බොහෝ රටවල න්‍යෂ්ටික අවි තියෙනවා. තුන්වන ලෝක යුද්ධයක් ඇති වුවහොත් බොහෝ රටවල් අතුගෑවී යනු ඇති.'

ඔහු යුද්ධයේ ආර්ථික බලපෑම ගැන සාකච්ඡා කරමින් මෙසේ පැවසීය: “රුසියාව ඉන්ධන සහ ගෑස් ඇතුළු සම්පත් අපනයනය කරන ප්‍රධාන රටක්. රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක, කම්කරු පන්තියට, දෛනික කම්කරුවන්ට සහ දුප්පතුන්ට බලපානවා.”

යාපනය විශ්ව විද්‍යාලයේ සේවකයෙකු වන එස්. මතී පැවසුවේ තමන් ලෝසවෙඅ පිලිබඳ සසජාතශි ප්‍රකාශය කියවූ අතර න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය පිලිබඳ පුලුල් නිශ්ශබ්දතාවය පිලිබඳ තම කනස්සල්ල පලකරන බවයි. 'ඔබේ යුද විරෝධී ව්‍යාපාරය ගැන මම මගේ මිතුරන්ට පවසන අතර ඔවුන් ද එයට සහාය දක්වනවා,' ඔහු පැවසීය.

දකුනු කොලඹ තදාසන්න ප්‍රදේශයක් වන මොරටුව විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවිකාවක් මෙසේ පැවසීය: 'මට මෙම යුද්ධය පිලිබඳ නිවැරදි විශ්ලේෂනය ඉගෙන ගැනීමට අවශ්‍යයි, එබැවින් මට යුද විරෝධී වෙබ්නාර් රැස්වීමට සහභාගී වීමට අවශ්‍යයි.'

රුසියානු ජනාධිපති පුටින් යුක්‍රේන යුද්ධයේ තනි වගකීම දරන යක්ෂයා ලෙස පින්තාරු කිරීමට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කටයුතු කරන ආකාරය ඇය තවදුරටත් පැහැදිලි කලාය. “යුද්ධයේ මූලයන් ගැන මාධ්‍ය සාකච්ඡා කරන්නේ නැහැ. ඔවුන් එක්සත් ජනපදයේ වරදකාරිත්වය ගැන කතා කරන්නේ නැහැ. මම වගේ අය එක්ක කතා කලත් පේනවා මේ යුද්ධය ගැන කිසිම අදහසක් නැහැ කියලා.

“මාධ්‍යවල ම්ලේච්ඡත්වය ඉදිරිපත් කරන ආකාරය ගැන මට පිලිකුලක් ඇති වී ප්‍රවෘත්ති නැරඹීම නැවැත්තුවා. මම හිතන්නේ ඔවුන්ට අවශ්‍ය වුනේ යුද්ධයෙන් මහජනතාවගේ අවධානය ඈත් කරන්නයි.” රුසියාවට එරෙහිව පමනක් නොව චීනයට එරෙහිව ද එක්සත් ජනපදයේ යුදකාමී භූමිකාව ගැන තමන් ඉගෙන ගත්තේ සසප සාමාජිකයින් සමග කතා කිරීමෙන් බව ඇය පැවසුවාය.

සසජාතශි ප්‍රකාශය කියවන යාපනය විශ්ව විද්‍යාල සිසුන් [ඡායාරූපය: ලෝසවෙඅ]

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා ශිෂ්‍යයෙකු වන පසිඳු උද්ඝෝෂකයින් සමඟ කල සාකච්ඡාවෙන් අනතුරුව පැවසුවේ: “යුක්‍රේනයේ යුද්ධය ලෝක යුද්ධයක් බවට පත්වීමේ අනතුර මට වැටහුනා. අපි වගේ තරුන තරුනියන්ගේ අනාගත බලාපොරොත්තුවලට මේක බලපානවා. අපි එකතු වෙලා මේ යුද්ධය නවත්වන්න ඕන කියන එකට මම එකඟයි.” ඔහු යුද විරෝධී වෙබිනාර් රැස්වීම සඳහා සහභාගී වන බවත් සසජාතශි ප්‍රකාශය ඔහුගේ මිතුරන් සමඟ සාකච්ඡා කරන බවත් පැවසීය.

සසප/සසජාතශි මධ්‍යම පලාතේ වතුකර දිස්ත්‍රික්කයේ තේ වතු කම්කරුවන් අතර ද උද්ඝෝෂනයක නිරත විය.

මස්කෙලියේ ගාඩ්මෝර් වතුයායේ කම්කරුවෙකු වන එස්. පුස්පරාජ් (41) මෙසේ පැවසීය: “ප්‍රධාන වශයෙන් දුප්පත් ජනතාව එයින් පීඩා විඳින බැවින් යුක්‍රේනයේ යුද්ධය වහාම නැවැත්විය යුතුයි. එය රුසියාවෙන් පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් ආනයනයට බලපා තියෙනවා. ජීවන වියදම අපට දරාගත නොහැකි තත්ත්වයකට පත් කරමින් අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල යමිනුයි තියෙන්නේ. මම මගේ ජීවිතයේ කවදාවත් මේ වගේ තත්වයක් අත්විඳලා නැහැ.”

කොලඹ වරායේ සේවකයෙක් මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ දේශපාලන පක්ෂ යුද්ධය පිලිබඳ තොරතුරු මුලුමනින්ම යටපත් කරනවා. එබැවින්, දෙසැම්බර් 10 දා සසජාතශි විසින් සංවිධානය කරන යුද විරෝධී රැස්වීමට රට පුරා සිටින කම්කරුවන් තම උපරිම සහයෝගය ලබා දිය යුතුය.'

'ලෝසවෙඅ පැහැදිලි කර ඇති පරිදි, රුසියාව පමනක් නොව චීනය ද එක්සත් ජනපද යුදකාමීන් විසින් මිලිටරිමය වශයෙන් ඉලක්ක කරලයි තියෙන්නේ' යනුවෙන් ඔහු පෙන්වා දුන්නේය. දකුනු ආසියාව යුද සූදානම සමඟ සමීපව සම්බන්ධ වී ඇති බවත්, ඉන්දියාව මෙම කලාපයේ එක්සත් ජනපදයේ උපායමාර්ගික හවුල්කරු ලෙස කටයුතු කරන බවත් ඔහු පැවසීය.

Loading