ඇලෙක්සැන්ඩර් වොරොන්ස්කි ලිපි සරනිය

කලා නිර්මානශීලීත්වය පිලිබඳ සටහන්

තෙවැනි ලිපිය (ii කොටස)

1927 දී නොවි මිර් (නව ලෝකය) සඟරාවට වොරොන්ස්කි ලියූ මේ ලිපිය ලෝකය දැකීමේ කලාව (1928) නමැති රුසියානු ග්‍රන්ථයෙහි ප්‍රතිමුද්‍රිත ය. මෙම ලිපි මාලාවේ සිව්වැනි ලිපිය දෙසැම්බර් 19දා පලකරමු.

හැඳින්වීම | 1 ලිපිය | 2 ලිපිය - i | 2 ලිපිය - ii | 3 ලිපිය - i | 3 ලිපිය - ii |

ශිල්පක්‍රමය හා සමකාලීන ප්‍රතිචාර

ලියෝ නිකොලායෙවිච් සිය විශිශ්ටතම නවකතාව රචනා කල අන්දම සහ එවක ඔහු සිය සමකාලිකයන්ගේත් විචාරකයන්ගේත් අදහස්වලට ප්‍රතික්‍රියා දැක්වූ අයුරු අරබයා උපදේශනමය හා ලගන්නා සුලු ඡේදයන් ද කුස්මින්ස්කායාගේ කෘතිය තුල යමෙකුට හමු වෙයි. ලියෝ නිකොලායෙවිච්, යුද්ධය හා සාමයෙහි[14] පරිච්ඡේද කුස්මින්ස්කායා ලවා නිබඳව අනුවාචනය (dictate) කලේ ය:

මට දැන් ඔහු මෙලෙස පෙනේ: මුහුනේ ඒකාග්‍ර බැල්මක් රඳවාගෙන, සිය කකියන බාහුව[15] එක් අතකින් අල්ලාගෙන, කාමරය තුල ඔබමොබ යමින් හෙතෙම මා අනුවාචනයෙහි යොදවයි. මා කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකර ම ඔහු උස් හඬින් මෙසේ කියයි: “නෑ, ඒක කැත යි, ඒක ගැලපෙන්නෙ නෑ.” නොඑසේනම්, ඔහු නිකම් ම මෙලෙස පවසයි: “ඒක කටුගාන්න.” එය විධානමය ස්වරයකි. ඒ හඬේ නොඉවසිලිමත් ගතියක් ගැබ්ව තිබේ. පිටපත් කිරීම හමාර වූ පසුව ද ඔහු එක ම ඡේදය දෙතුන් වර යලි සකසයි. විටෙක, ඔහු නිසොල්මන්ව, ව්‍යක්ත ලෙස සිය කාර්යයෙහි නිරත වනුයේ, හරියට, යමක් කටපාඩමින් දොඩවන සේ ය. අනතුරුව, ඔහුගේ වත බැල්ම සන්සුන් වෙයි. හෙතෙම වෙව්ලමින් හා තිගැස්සෙමින් එහි නිරත වන අවස්ථා ද විය.

80 වස් වියැති තෝල්ස්තෝයි තම අධ්‍යයන කාමරයේ, 1908 මැයි [Photo: Prokudin-Gorskii, Sergei Mikhailovich, 1863-1944, photographer]

කලාකරුවෙකු වසයෙන් ලියෝ නිකොලායෙවිච් තමාට තදින් සිටි බවත් බල කර ගත් බවත් අපි දනිමු: යුද්ධය හා සාමය කීප වර ප්‍රතිකරනිත (reworked)ය, ප්‍රතිරචිත ය. මෙවක බොහෝ දෙනා මේ කරුන අමතක කරති. අත් පිටපත් දෙස හුදෙක් මතුපිටින් බැලුව ද, කතුවරයාගේ අසීමිත කඩිමුඩිය හා කුරුටු ගෑ ලකුනු දැකිය හැක. විටෙක, ලේඛකයෝ දල කෙටුම්පත්වලට කිට්ටු නිර්මාන [අනුමැතිය සඳහා] ඉදිරිපත් කරති. සුපුරුදු කන්නලව් –යස්නයා පොලියානා බඳු කුලීන වතුයායන් අපට නැත –සමර්ථනය කෙරුන ද ඒත්තු නොයයි. ඒවා හුදු “බැගෑපත් වීම්” පමනි. පොතක් කියවීමට පිලිපන් පාඨකයා එම නවකතාවේ, පැටිනවකතාවේ, කෙටිකතාවේ නැතිනම් කාව්‍යයේ කතුවරයාට සිප්කුටියක් වී ද, හෙතෙම සාගින්නෙන් පෙලුනි ද, සිය කෘතිය නිම කිරීමට ප්‍රමානවත් කාලයක් නොවී ද යනාදිය නොතකයි. ඔහුට අවැසි වනුයේ ඉහල මට්ටමේ කලාමය ගුනයකි. ඔහු මෙසේ කියනු ඇත: “ලේඛකයාට උපකාරී වීමටත් සිය විශයය උදෙසා ප්‍රතිලාභ අත්පත් කර ගැනුමට හා නීතිමය තත්ත්වය හිමි කර ගැනුමට ඔහු ගෙනයන සටනට සම්මාදම් වීමටත් මා සූදානම් ය. එහෙත්, ඔහු මා වෙත තම කෘතිය විනිශ්චය සඳහා ඉදිරිපත් කරන කල්හි හැම වදනක් ම කිරා බැලිය යුතු ය, සත්‍යාපනය විය යුතු ය.”

පසුකාලීනව, එනම්, ඔහුගේ ජීවිතයේ පරිහානි කාල පරිච්ඡේදයෙහි දී, ලියෝ නිකොලායෙවිච් තම කලාකෘති පිලිබඳව ලියැවුනු ඇගැයුම් වැදගැම්මක් නැති දෑ හැටියට සැලකුවේ ය. එහෙත්, යුද්ධය හා සාමය රචනා කෙරුනු අවධියෙහි ඔහු සාහිත්‍ය විචාරය කෙරෙහි දැරුවේ හාත්පසින් වෙනස් ආකල්පයකි. කුස්මින්ස්කායා මෙසේ සිහිපත් කරන්නී ය:

මගේ සොහොයුරා මා සමඟ කී පරිදි, එක්තරා විචාරයක් –කවරෙකුගේ දැයි මට මතක නැත – පල වීමට නියමිතව තිබුනු රුස්ක් වෙස්ට්නික් පත්‍රයේ පෙබරවාරි කලාපය නිකුත් වූ දින හිමිදිරියෙහි, තවමත් ඇඳෙන් බැස නොසිටි ලියෝ නිකොලායෙවිච් විසින් ඔහු පත්තර කඩය වෙත පිටත් කර හරින ලදී. හෙතෙම කුතුහලයෙන් යුතුව එය අපේක්ශාවෙන් සිටියේ මා සොයුරා මඳක් සුනංගු වෙමින් යන බව දැක තෙමේ ම කඩිනමින් ඔහු වෙත ගොස් මෙසේ පවසනු ලැබී ය: “යුද හමුදාවේ ජනරාල්වරයෙකු වෙන්ට නුඹට වුවමනාවක් නැද්ද? නෑ? හොඳයි! ඒත්, සාහිත්‍ය කලාවේ ජනරාල්වරයෙකු වෙන්ට මට වුවමනා යි. පල! දුවලා ගිහින් මට පත්තරේ අරන් වර!”

එසමයෙහි තොල්ස්තෝයි සිය බිරිඳට මෙසේ ලිවී ය: “ඔවුන් ප්‍රශංසාවක් පිරිනමන්නේ නැති විට, නැතහොත්, මුසාවක් ගොතන විට එය [විචාරය] භයානක ය. එහෙත්, ප්‍රබල ධාරනාවක් ජනනය කරන්ට කලාකෘතිය සමත් වී ඇතැයි ඔබට හැඟී යන විට එය වැඩදායක ය.”[16]

මෙහි දී, අපේ වර්තමාන ආකල්ප යලියලිත් සිහියට නැඟේ. “අපේක්ශා තැබිය හැකි” කලාකරුවෙකු හට ප්‍රශංසා කිරීම හානිකර යයි සිතීමට අප දැන් පෙලඹෙනුයේ ඇයි? සත්තකින් ම, අප නිතර ම ප්‍රශංසාවට වඩා ප්‍රශස්ති ලියන අතර මෙකී ප්‍රශස්ති ගැයෙනුයේ අව්‍යාජ කුසලතාව පදනම් කොටගෙන නොව මුදල් මත හෝ කලා කවයන්හි වුවමනාවන් අනුව ය. මෙය සැබවින් ම හානිකර ය. එහෙත්, කලාකරුට උපකාර වීමත් ඔහුට දිරි දීමත් විවේචන එල්ල කරනවාට වඩා යහපත් මෙන් ම වැඩදායක ද වන්නේ ය. කලාකරු කෙරෙහි සාවධාන වීමටත් ඔහුගේ කෘතියෙහි ධනාත්මක හා වටිනා දෑ හඳුනා ගැනුමටත් උගන්වන බැවින් මෙය පාඨකයා හට ද යහපත් ය. කෙසේවෙතත්, අපේ සාහිත්‍ය කෙතෙහි නරක පුරුදු වැඩෙමින් තිබේ: මුසාව, විකෘතය, ශාප කිරීම, උධෘත පාඨයක් නොබිඳිය යුතු තැනෙකින් බිඳීම හෝ උඨෘත පාඨයක් තුලට යමෙකු තමන්ගේ වදන් රිංගවීම සාමාන්‍ය දෙයකැයි මතු නොව එය අගනා ක්‍රියාවක් හැටියට පවා සැලකීම යනාදී වසයෙනි. අනෙක් අතින්, කොමියුනිස්ට් මුද්‍රනාලයෙහි වත්මන් ඒකාධිකාරී තත්ත්වය හමුවේ වෙසෙසා ප්‍රවේසම් වීමට, වෙසෙසා වගකීම්සහගත වීමට අපට බල කෙරෙන අතර තොල්ස්තෝයිගේ වදන් තවදුරටත් සිහි කිරීමට අප පොලඹවනු ලබයි: “ඔවුන් ප්‍රශංසාවක් පිරිනොනමන විට එය භයානක ය.”

යුද්ධය හා සාමය කෘතියෙහි මුල් කාන්ඩ පිලිබඳව සමකාලීන ලේඛකයන්ගේ ප්‍රතිචාර අරුම පුදුම ය. කුස්මින්ස්කායාගේ පියානන් වෙත තුර්ගිනිව් පිලිතුරු ලියා තිබුනේ “අදිමදි කරමිනි”:

ඔව්, එය විනිශ්චය කිරීම තව ම දුශ්කර ය. විස්තර කෙරී තිබෙනුයේ ස්වල්පයකි. ඔහුගේ ජනරාල්වරුන්, [මිහායිල්] කුතුශොව් හා [ප්යෝතර්] බැග්‍රේශන් යන සැබෑ ජනරාල්වරුන් හට දක්වනුයේ මඳ සාදෘශ්‍යයකි. හොඳහොඳ මුසාවාද තව ඉදිරියට අපට බලා ගත හැකි ය. එහෙත්, ඔහුගේ විස්තරකථන හා රූපක කලාත්මක ය... මේ අතින් ඔහු වෙසරදෙකි.

සල්ටිකොව් [ශෙඩි්‍රන්]ගේ ප්‍රතිචාරය අගතිගාමී විය:

“මෙකී යුධ ජවනිකා තනිකර ගජබින්න හා නිශ්ඵල දෑ ය... බැග්‍රේශන් හා කුතුශොව් බොහෝ සෙයින් රූකඩයන්ට සමාන වෙත්. පොදුවේ එහි අඹුන්ගේ කතා බහුල ය. තොල්ස්තෝයි ද්වේශපරවශව අපේ ඊනියා ඉහල සමාජය කීතුකීතු කරයි.”

කලාකරුවෙකු හට නෛපුන්‍යය උගත හැකි වනුයේ තවත් කලාකරුවෙකුගෙන් පමනකැයි මක්සිම් ගොර්කි ලීවේ වැඩි ඈතක නොවේ. මෙය නිවැරදි ය. නමුත්, ඔවුන්ගේ ප්‍රතිචාර හා ඇගයුම් පිලිබඳව යමෙකු වෙසෙසා පරීක්ශාකාරී හා විමසිලිමත් විය යුතු ය: ඒවා සාමාන්‍යයෙන් ආත්මීය සහ ඒකපාර්ශ්වීය වන බැවිනි. කුස්මින්ස්කායා විසින් අප වෙත සපයන ලද තුර්ගිනිව්ගේ හා සල්ටිකොව්ගේ ප්‍රතිචාරද්වය මේ සඳහා කදිම නිදසුන් ය. ඒ ඒ ලේඛකයා සතුව තමාගේ ම රුචිකත්ව, තමාගේ ම මූල තේමා සහ තමාගේ ම ජීවන සංජානන තිබෙන අතර ඔවුන් හැම දෙයක් ම මනිනුයේ තමාගේ ම ඇසින් හා තමාගේ ම කෝදුවෙනි යන කාරනාව මගින් මෙකී ඒකපාර්ශ්වීයත්වය පැහැදිලි කෙරේ. එහෙයින්, ඔවුන්ගේ තක්සේරු නිතර ම පාහේ යුද්ධය හා සාමය පිලිබඳව තුර්ගිනිව්ගේ හා සල්ටිකොව්ගේ ඇගැයුම්වල සාදෘශ්‍යයෝ වෙත්...

දේශපාලනය හා කලාත්මක සත්‍යය

...අපේ ජනතාව නිතර ම කලාකරුවෙකු සලකා ගනුයේ, හරියට දේශපාලනඥයෙකු මෙන්, සිය කෘතිය හෝ නාට්‍යය සාමාජීය හා දේශපාලනික ආලෝක ධාරාවක් යටතේ කෙසේ අර්ථ විවරනය වනු ඇති දැයි පමනක් තකන තැනැත්තෙකු වසයෙනි. සාමාජීය හා දේශපාලනික තක්සේරුව, වෙසෙසින් ම අපේ යුගයෙහි දී, තීරනාත්මක හා මූලභූත වන බව සත්‍ය කරුනකි. නමුත්, එය සිදු කල යුත්තේ අත්‍යන්තයෙන් වැදගත් කාරනාවක් කිසි විටෙක අමතක නොකරමිනි: නිර්ව්‍යාජ කලාකරු ප්‍රාථමිකව කලාත්මක නිරූපනයේ සත්‍යය සෙවීමක නිරතව සිටින අතර ඒ වනාහි කලාවේ ස්වචාරයන්ගෙන් එකකි. ඉබ්සන්ගේ නාට්‍යයෙහි[17] රඟන නලු කැල එහිලා තමන්ගේ රංගනය සාමාජීය වසයෙන් මනා දැයි තුමූගෙන් නෑසූහ. මන්ද යත්, ඔවුන් මූලික ව ම කල්පනා කරමින් හා කනස්සලු වෙමින් සිටියේ නෝර්වීජියානු සාහිත්‍යධරයාගේ නාටකයෙහි කලාත්මකව සත්‍යවාදී ප්‍රයුංජනයක් පිලිබඳව ය. “ප්‍රවනතාමය අභිනන්දනය” ඔවුනට අනපේක්ශිත දෙයක් වූයේ මෙකී හේතුව මත ය. කෙටියෙන් කියතොත්, දෙන ලද කලාකෘතියක් සමාජ විද්‍යාමය වසයෙන් අර්ඝනයට ලක් කිරීමෙහි දී අප මෙසේ ප්‍රශ්න කල යුතු ය: කලාත්මක සත්‍යතාවෙන් හා හෘදයංගම බවින් යුතුව යථාර්ථය කොපමන දුරට ආලේඛගතව තිබේද? සාමාජීය හා දේශපාලනික පර්යාලෝකයේ කෝනයෙන්, දෙන ලද ප්‍රයුංජනය තුල මෙකී සත්‍යය නිරවද්‍යව ප්‍රකාශ කෙරේ ද? කෙසේවෙතත්, එවැනි තක්සේරුවක් නිතර ම අභිචෝදනාමය ගවේශනයක් මගින් විස්ථාපනය වනු පෙනේ. නිදසුනක් ලෙස, ඔවුන්ගේ අර්ඝනයක ආරම්භක ලක්ශය හැටියට යොදා ගැනෙනුයේ කතුවරයා සුලු ධනේශ්වරයට අයත් වන බව යයි අපි කියමු; නොඑසේ නම්, ඔවුහු කෘතියෙහි ගැබ් වන කලාත්මක සත්‍යතාව පිලිබඳ ප්‍රශ්නය පසෙක ලා කලාකරුගේ ව්‍යාකූල හා සාවද්‍ය ප්‍රකාශවලින් වැඩ පටන් ගනිති. කලාව යනු පරිකල්පනරූප ඇසුරින් කෙරෙන ජීවන ඥානනයක් වන අතර මෙකී ඥානන ක්‍රියාවලිය තුල ප්‍රතිභානය ප්‍රගාඪ වැදගත්කමක් උසුලයි.

හෙන්රික් ඉබ්සන් [Photo: Portrait by Henrik Olrik, 1879]

අපේ නූතන කලාකරුවෝ බොහෝ දෙනෙක් ස්ටැනිස්ලාව්ස්කිගේ කථාන්තරය ගැන සාවධානව සිතා බැලිය යුත්තාහ. ඉබ්සන්ගේ නාට්‍යයෙහි රඟපෑ පාත්‍ර වර්ගයා හට “ප්‍රවනතාමය අභිනන්දනය” පුදුම එලවන දෙයක් වූයේ ඔවුන් නාට්‍යයෙහි කලාත්මක සත්‍යතාව කෙරෙහි නාභිගතව සිටි බැවිනි; දේශපාලනය විශයයෙහි මුලුමනින් උපේක්ශාසහගතව සිටි බැවිනි. ඔවුන්ගේ මනස් යොමු වී තිබුනේ ස්වකීය ප්‍රතිභාව කෙරෙහි ය. එබඳු සාමාජීය හා දේශපාලනික අන්ධභාවයක් කලාකරුවෙකුට කිසිසේත් රුචිකර හෝ අනිවාර්ය නැත. නොඑසේ නම්, ඔහු නිරතුරුව ම ස්ටැනිස්ලාව්ස්කි පවසන ආකාරයේ “විස්මයන්” කරා ඇදී යනු ඇත. විටෙක මෙබඳු “විස්මයන්” අත්‍යන්තයෙන් අප්‍රසන්න වන අතර කලාකරුට මාරාන්තික පවා විය හැක. වෘත්තීය දේශපාලනඥයෙකු බවට පත් වන්නැයි කලාකරුගෙන් ඉල්ලා සිටීමට අපට නුපුලුවන. එසේතුදු වුව, සෑම පුරවැසියෙකු සේ ම ඔහු ද සිය කාර්යයෙහි නිමග්නව සිටින අතරතුර දේවල්හි සාමාජීය හා දේශපාලනික පාර්ශ්වය මනසේ රඳවා ගත යුතු ම ය.

කොන්ස්තන්තීන් ස්ටැනිස්ලාව්ස්කි

කේ. එස්. ස්ටැනිස්ලාව්ස්කිගේ ආප්ත වැකි ද කලාත්මක සත්‍යය පිලිබඳ ප්‍රශ්නයට සෘජුව නෑකම් කියයි: “ඔබ දුශ්ට චරිතයක් රඟන කල්හි ඔහුගේ සාධුතර පාර්ශ්වය වෙත ද එබී බලන්න”...“කාලවර්නය සත්‍ය වසයෙන් ම කලු බවට පත් වනුයේ, ඊට ප්‍රතිකූලව, යටත්පිරිසෙයින් සුදු පැහැය ලේශමාත්‍රයක් හෝ මුසුව පවතින විට ය.” අපේ යුගයෙහි දී, කලාව විශයයෙහි මෙකී රීතිය මිනිස්සු නිතර ම අමතක කරති: බොහෝ අවස්ථාවන්හි දී එක ම වර්නයක් ආධිපත්‍යය දරයි. චරිතයක් වේවා සිද්ධියක් වේවා මේ අයුරින් ආලේඛගත වීමෙහි විධික්‍රමය රඳා පවතිනුයේ, අවසන් විග්‍රහයේ දී, පන්ති අරගලය පිලිබඳව ද, පන්ති ප්‍රපංචයක් හැටියට කලාව පිලිබඳව ද
ව්‍යාජ මාක්ස්වාදී, ව්‍යාජ ලෙනින්වාදී ග්‍රාම්‍ය අවබෝධයක් මත ය...

කේ. එස්. ස්ටැනිස්ලාව්ස්කිගේ කලාව තුල මගේ ජීවිතය (1924)නමැති කෘතියේ මුල් ඉංග්‍රීසි ප්‍රවාචයෙහි කම්බය

අවසන් වසයෙන්, තවත් කරුනක් වෙත අපගේ අවධානය යොමු කල යුතු ය. [ස්ටැනිස්ලාව්ස්කිගේ] කලාව තුල මගේ ජීවිතය පුරා දිවෙන පොදු හුයපටක් ඇත. එනම්, ස්වකීය මස්තකප්‍රාප්ති ගැන කලාකරු තුල පවතින අසන්තෘප්තිය යි. ඔහුට ඉසිඹුවක් නැත, හේ සෙවිල්ල අත් නොහරී, සන්සුන් නොවෙයි, ඔහු ඉතා මුරන්ඩු ලෙස කලාවේ “රහස්‍යයන්හි රහස” විනිවිදීමේ ව්‍යායාමයක ගැලී සිටී. මේ වනාහි හුදු කම්මාරයෙකුගේ (craftsman) නොව නිර්ව්‍යාජ කලාකරුවෙකුගේ මාවත යි. කලාවේ පතාක යෝධයන් ගත් මඟ යි.

කොන්ස්තන්තීන් ස්ටැනිස්ලාව්ස්කි, සැබවින් ම, එවන් යෝධයෙකි.

පරිවර්තනය : දර්ශන මේදිස්

(අක්ශර වින්‍යාසය පරිවර්තකයාගේ අභිමතය පරිදි ය)

වැඩිදුර කියවන්න


[14]

මුල දී මෙය නම් කෙරුනේ 1805 යනුවෙනි (ටී. ඒ. කුස්මින්ස්කායා, පෙර කී Tolstoy As I Knew Him)– ද. මේ.

[15]

වරෙක (1864 සැප්තැම්බර්) සිය අසු පිටින් ඇද වැටුනු තොල්ස්තෝයිගේ එක් අතක අස්ථි බිඳුනි. අංගවිකල ලෙස එකලස් වූ බැවින් එය යලි කඩා නිසි ලෙස සුව වීමට සලස්වන ලදී. මේ සැඳැහුම එම බාහුවගැනය– ද. මේ.

[16]

කොකේසස්හි සිටියදී, ලදරු විය කෘතියෙහි අඥාත කර්තෘ පිලිබඳව ප්‍රශංසනීය වචන ස්වල්පයක් අඩංගු විචාර ලිපියක් නෙත ගැටී සිය පපුව ආඩම්බරයෙන් පිම්බී ගිය සැටිත් කතුවරයා තමා බැව් කිසිවෙකු නොදැන සිටි බවත් තොල්ස්තෝයි විස්තර කල අයුරු ඔහුගේ භාර්යාව සිහිපත් කරන්නී ය (S. A. Tolstoya, 'Data for a Biography of Lev Tolstoi': Reminiscences of Lev Tolstoy by his Contemporaries, tr. M. Wettlin, Foreign Languages Pub. House, Moscow, පි. 40)– ද. මේ.

[17]

වොරොන්ස්කි විස්තර කරමින් සිටිනුයේ, එස්. කේ. ස්ටැනිස්ලාව්ස්කි විසින් රුසියානු බසින් ප්‍රයුංජිත හෙන්රික් ඉබ්සන්ගේ දොස්තර ස්ටොක්මාන් නාට්‍යයට ප්‍රේක්ශාගාරයෙන් ලද දේශපාලනමයප්‍රශංසාවක් පිලිබඳව පූර්වයෙන් සඳහන් කෙරුනු ස්ටැනිස්ලාව්ස්කිගේ කෘතියෙහි එන අනුස්මෘතියක් පිලිබඳව ය – ද. මේ.

Loading