ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගම වසා දමන බව නිවේදනය කරයි: දහසකට අධික කම්කරුවන්ට රැකියා අහිමිවෙයි

ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගම විසින්, කොග්ගල නිදහස් වෙලඳ කලාපයේ, බෙලිඅත්තේ සහ බෙලිඅත්ත සිටිනාමළුව කාර්මික උද්‍යානයේ පවත්වාගෙන ගිය ඇඟලුම් කම්හල් තුන, 2022 සැප්තැම්බර් මාසයේ වසා දැමුවේ, එය තාවකාලික පියවරක් බව සහ ඇනවුම් ලැබුන වහාම කම්හල් යලි විවෘත කරන බව කම්කරුවන්ට දැනුම් දෙමිනි. නමුත්, සමාගමෙහි අධ්‍යක්ෂ ජෝසන් චොකාටේ, 2022 ඔක්තෝබර් 01 දිනැති ලිපියකින් කම්කරුවන් ට දැනුම් දී ඇත්තේ, 'බලාපොරොත්තු වූ පරිදි ඇනවුම් නොලැබීම' හේතුවෙන්, සමාගම සතු කර්මාන්තශාලාවන් සහ ප්‍රධාන කාර්යාලය ඔක්තෝබර් 31 සිට ස්ථිරව වසා දමන බවයි.

අප්‍රේල් 28දා විරෝධතාවේ යෙදෙන කොග්ගල නිදහස් වෙලඳ කලාප කම්කරුවෝ (ලෝසවෙඅ මාධ්‍ය)

'තාවකාලික' පියවරක් යැයි පවසමින් සැප්තැම්බර් මාසයේ කම්හල් වසා දැමුවේ, කම්කරුවන්ගේ විරෝධය යටපත්කොට ඔවුන් විසුරුවා හැර, කම්හල් ස්ථිරව වසා දැමීමේ කූටෝපායක් ලෙසින් බව ඉතා පැහැදිලිය.

කම්හල් යලි විවෘත කරන තුරු රුපියල් 30,000 ක මූලික මාසික වැටුප ගෙවන බවට ද, ඇනවුම් ලැබුන වහාම කම්හල් යලි විවෘතකොට හිඟ වැටුප් ලබාදෙන බවට ද, චොකාටේ මෙබඳුම ලිපියකින් කම්කරුවන් ට පොරොන්දු වූ නමුත්, ඒ සියල්ල කඩකෙරී ඇත. අවසානයේදී, දහසකට අධික කම්කරුවන් ට රැකියාව ද, සැප්තැම්බර් මාසයේ වැටුප ද අහිමි කෙරුනි.

දෙසැම්බර් මාසය තුල වත්කම් විකුනා 'හිඟ වැටුප් සහ ව්‍යවස්ථාපිත සියලු ගෙවීම්' එනම් 'පාරිතෝෂිකය, අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල් ගෙවීමට කටයුතු කරන' බව ට, නවතම ලිපියෙන් චොකාටේ දැන් තවත් පොරොන්දුවක් දී ඇත. කම්කරුවන්ගේ අනුකම්පාව දිනා ගැනීමේ අරමුනෙන්, ' අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා අපගේ වාහන, නිවාස සහ වෙනත් වත්කම් හැකි ඉක්මනින් විකිනීමට කටයුතු කරන' බව ඔහු කියයි.

එලෙස 'වත්කම් විකිනීමට හැකි වුනොත්' ගෙවීමට අපේක්ෂා කරන වන්දිය මෙබඳුය: පරිවාස කාලය සම්පූර්න කල සහ පරිවාස කාලය සම්පූර්න කිරීමෙන් පසු වසරක් දක්වා සේවා කාලයක් ඇති පුද්ගලයන් ට මාස භාගයක මූලික වැටුපක්. පරිවාසයෙන් පසු වසර දෙකක් හා ඊට වැඩි සේවා කාලයක් සම්පූර්න කර ඇති පුද්ගලයන් සඳහා මාසයක මූලික වැටුප. සමාගමේ වත්කම් අනුව ගෙවිය හැකි උපරිම වන්දි මුදල එය බව චොකාටේ සඳහන් කර ඇත.

මෙම වන්දි ගෙවීම 1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත මගින් යෝජිත සොච්චම් වන්දිය ට පවා පටහැනිය. එම පනතට අනුව විනය කඩ කිරීමකින් හෝ සේවකයෙකුගේ කැමැත්තකින් තොරව සේවය අවසන් කිරීමේ දී, වසර 1-5 දක්වා සේවා කාලයක් ඇති කම්කරුවෙකුට ලබාදියයුතු උපරිම වන්දිය නිර්නය කල යුත්තේ මෙසේය: ඔහුට හෝ ඇයට වසර දොලහමාරක් (12.5) සඳහා වන්දි ගෙවිය යුතු අතර එක් වසරක වන්දිය මාස දෙකහමාරක මූලික වැටුපට සමවිය යුතුයි. ඒ අනුව වසරක වන්දිය රු 75,000 ක් (30,000 x 2.5= 75,000) වන අතර මුලු උපරිම වන්දිය රු 937,500 (75,000 x 12.5 = 937,500) ක් වෙයි.

චොකාටේ ගේ ලිපියට අනුව එවන් වන්දියක් නොගෙවන අතර කවර වන්දියක් හෝ ගෙවනු ලබන්නේ ඔහු සඳහන් කර තිබෙන ආකාරයට දේපල විකුනා ගැනීමට 'හැකි වුනොත්' පමනි.

චොකාටේ ගේ මෙම ප්‍රකාශයන් කම්කරුවන්ගේ ඇස්වලට වැලි ගැසීමකි. බොහෝවිට ඔහු සහ ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගමේ පාලනාධිකාරය ගනන් බලමින් සිටිනවා ඇත්තේ ලාබ ඉපැයීමට වඩා හොඳ කොන්දේසි පවතිනවා යයි ඔවුන් සිතන බංග්ලාදේශය , වියට්නාමය වැනි රටකට ආයෝජන ගෙනයාමට වියහැකිය.

2021 දෙසැම්බර් 21 වැඩවර්ජනයේ දී පිකට් උද්ඝෝෂනයක යෙදෙන ජාඇල එස්කුවෙල් ඇඟලුම් කම්හලේ කම්කරුවෝ [ලෝසවෙඅ]

රැකියාව අහිමි වූ කම්කරුවන් සමාගමේ මෙම වංචාවට නොරැවටිය යුතුය. සේවාකාලය, විශ්‍රාම යා යුතු කාලය හා ජීවන වියදමේ ඉහල යාමට සරිලන වන්දියක් ඔවුන් ඉල්ලා සිටිය යුතු ය.

ට්‍රෙන්ඩ් සෙටර්ස් (සීමා සහිත) පුද්ගලික සමාගමේ වෙබ් අඩවියට අනුව එය ආරම්භ කෙරී ඇත්තේ 1986 වසරේ දී ය. ඒ අනුව පරම්පරා දෙකක කම්කරුවන් දහඩිය වගුරමින් සමාගමට කඹුරා ඇති අතර එම කාලය තුල රුපියල් බිලියන ගනනක ලාභ උපයා ගන්නනට ඇති බව නිසැකය.

සමාගම තමාට අලාභවී ඇතැයි කියන්නේ නම් 1986 සිට එහි සියලු ගනන් හිලව් පොත් විවෘත කරන ලෙස කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය.

ට්‍රෙන්ඩ් සෙටර්ස් සමාගමේ පොරොන්දු නොතකා අවුරා, එස්කුවෙල් සහ කොග්ගල, කටුනායක බියගම ඇතුළු සෙසු නිදහස් වෙලඳ කලාප (නිවෙක) කම්කරුවන් සමග එකාබද්ධ වෙමින් තම රැකියා, වැටුප් සහ යහපත් වැඩ කොන්දේසි සඳහා පොදු අරගලයක් සංවිධානය කිරීම කල් නොදැමිය යුතු අවශ්‍යතාවයක් ලෙස ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්කරුවන් ඉදිරියේ මතුකෙරී ඇත.

එවන් අරගලයක් සංවිධානය කිරීමට ධනපති හාම්පුතුන්ගේ සහ ආන්ඩුවේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති සහ ඊනියා සේවක සභා සපුරාම විරුද්ධ වෙති. වෘත්තීය සමිති සහ සේවක සභාවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් තම අයිතීන් සඳහා අරගලය කම්කරුවන් සියතට ගත යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂයේ මගපෙන්වීම යටතේ පිහිටුවාගෙන තිබෙන කොග්ගල නිවෙක ක්‍රියාකාරී කමිටුව පුළුල් කිරීමට සහ එය සෙසු කම්කරුවන් අතරට ව්‍යාප්ත කරමින් තම අයිතීන් දිනා ගැනීමේ පොදු අරගලයක් සංවිධානය කිරීම අවශ්‍ය වේ. සෙසු රටවල නිවෙක හා කාර්මික කලාප කම්කරුවන් සමග එකමුතුව තහවුරු කර ගැනීම එහි වැදගත් හා අත්‍යාවශ්‍ය පියවරකි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ අර්බුදය, කෝවිඩ් වසංගතයෙන් සහ යුක්‍රේනය විසින් රුසියාවට එරෙහිව ගෙන යන අධිරාජ්‍යවාදී යුද්ධය නිසා ගැඹුරු වී ඇති ලෝක ආර්ථික අර්බුදය තුලින් නිර්මානය කෙරී ඇති තත්වයකි.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ඇඟලුම් අපනයනය සියයට 30 කින් පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය (ශ්‍රීලංඇඅසං) මෑත දී අනතුරු ඇඟවී ය. ඇඟලුම් අපනයන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙලඳපොලවල් වන එක්සත් ජනපදය සහ යුරෝපය අවපාතයකට ඇද දමන උද්ධමනකාරී පීඩනයකට ලක්වීම, ඇනවුම් පහත වැටීමට තුඩු දී ඇතිබව සංගමයේ සභාපති ඉන්දික ලියනහේවගේ පවසා තිබුනි. “ගෝලීය බාධාකාරී තත්වයන්” ලබන වසරේ මුල් මාස හය තුල ද අපනයන කෙරෙහි අඛන්ඩව බලපානු ඇතැයි ද ඔහු පැවසීය.

ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීම ගෝලීය ප්‍රවනතාවකි. කෙසේ නමුත්, කර්මාන්ත හිමියන් සහ අපනයනකරුවන් අර්බුදයේ මුලු බර පටවන්නේ කම්කරුවන් මතට ය. පසුගිය වසරේ සහ මෙම වසරේ, ශ්‍රී ලංකා එස්කුවෙල් සමාගමේ (කලින් පොලිටෙක්ස්) කම්හල් 5, කොග්ගල අවුරා කම්හල හා ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්හල් වසා දැමුනේ ද මෙම කොන්දේසි තුල ය.

2020 ඔක්තෝබර් මාසයේදී නිකුත් කරන ලද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ජාකසං) වාර්තාවකට අනුව, කෝවිඩ් වසංගතය විසින් තීව්‍ර කෙරුන අර්බුදය නිසාවෙන් ආසියාව තුල දස දහස් ගනනක ඇඟලුම් හා රෙදිපිලි කම්කරුවන්ගේ රැකියා විනාශ විය.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ පිලීපීනයේ මැක්ටාන් අපනයන කලාපයේ සහ සේබු ලයිට් කාර්මික උද්‍යානයේ තායිවාන ස්පෝර්ට් සෙන්ටර් ඉන්ටර්නැශනල් සමාගමට අයත් මැක්ටාන් ඇපරල් ඉන්ක්, මෙට්‍රෝවියර් ඉන්ක්, ග්ලොබල්වියර් මැනුෆැක්රිංග් ඉන්ක්, ෆීඩර් ඇපරල් කොපරේෂන් සහ වර්ටෙක්ස් වන් ඇපරල් යන කම්හල් හි 18,000 ක් වූ කම්කරු බලකායෙන් 4,485 දොට්ට දැමුනි.

කම්හල් තුල වැඩ දින ගනන, අතිකාල දීමනා සහ ප්‍රසාද දීමනා කප්පාදු කෙරෙන අතර පෙර නො පැවති හා නො දැරියහැකි මට්ටම් වලට වැඩ වේගවත් කරනු ලැබ ඇත.

කොග්ගල බ්රැන්ඩික්ස් එසෙන්ෂල්හි ප්‍රසාද දීමනාව සියය ට 50 කට කප්පාදු කර තිබේ. ඊට විරුද්ධ වූ කම්හලේ කම්කරුවන් 1,500 ම දොට්ට දැමූ අතර ඔවුන් ආපසු වැඩට ගත්තේ පාලකයන් ගේ අත් ගෙඩියක් වන සේවක සභාව විසින්, කප්පාදුව පිලිගැනීමට කම්කරුවන් පොලඹවා එකඟ කර ගනීමෙන් පසුවය. යුනිචෙලා කම්හලේ ද අසීමිත ලෙස වැඩ වේගවත් කර ඇත. දෛනික වැඩ ඉලක්කයන් සැපිරීම සඳහා කම්කරුවන්ට තේ විවේකය සහ ආහාර විවේකය තුලත් වැඩකිරීමට සිදුව තිබේ.

දොට්ට දැමීම් සිදු කෙරුනේ, “අපේක්ෂා කලාට වඩා ඉහල උද්ධමනයක් සහ ගෝලීය මූල්‍ය කොන්දේසි වඩා දැඩි වන අවපාතයක අද්දරට” ලෝකය පැමින ඇති තතු තුල බව ස්පෝර්ට් සෙන්ටර් ඉන්ටර්නැශනල් සමාගම සඳහන් කර තිබේ.

“එමෙන් ම, කෝවිඩ් වසංගතය, රායි සුලි කුනාටුව, සැපයුම් දාම ගැටලු, ගෑස් මිල ඉහලයාම සහ යුද්ධය විසින් අපගේ මූල්‍ය සෞඛ්‍ය තත්වය සොලවා ඇතිවා පමනක් නොව අස්ථාවර මෙහෙයුම් නිසා අපි පෙර නොවූවිරූ තත්වයන් ට මුහුන දී සිටිමු” යයි සමාගම තවදුරටත් පවසා ඇත.

කම්කරු පන්තියට මෙම ප්‍රහාරයන් එල්ල කෙරෙනුයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානයන් මත රුදුරු කප්පාදු ක්‍රියාවට නංවන, අත්‍යාවශ්‍ය භාන්ඩ සහ සේවා ගාස්තු පිම්මේ ඉහල යන හා දැවැන්ත බදු බර පටවන කොන්දේසි තුලය. එලැඹෙන වසර තුල එම ප්‍රහාරයන් වඩාත් තීව්‍ර කෙරෙනු ඇත.

Loading