ශිෂ්‍යයනි, අවිශිබම කැඳවුම්කරුට එරෙහි රාජ්‍ය දඩයම සහ සිසු මර්දනය පරාජය කිරීමට කම්කරු පංතිය දෙසට හැරෙනු!

රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ, දෙසැම්බර් 13 දා කොලඹ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරනු ලද අතර, ලබන වසරේ ජනවාරි 17 වැනි දින දක්වා ඔහුගේ රැඳවුම දීර්ඝ කෙරුනි. අගෝස්තු 18 වැනි දා අත් අඩංගුවට ගැනු ලැබ ත්‍රස්තවාදය වැලැක් වීමේ පනත (පීටීඒ) යටතේ මාස තුනක් රඳවා තබනු ලැබූ ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ පසුගිය මාසයේ දී ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

මුදලිගේ සමග අත් අඩංගුවට ගැනුනු අනෙක් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගෙන් කෙනෙකු වන, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම භික්ෂුව පීටීඒ යටතේ තුන් මසක උපරිම කාලය රඳවා ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිය දී නොවැම්බර් 23 වැනි දින නිදහස් කෙරුනි. අත් අඩංගුවට ගත් අනෙක් ශිෂ්‍යයා වන හෂාන් ජීවන්ත, දින 50 ක් රඳවා ගැනීමෙන් පසු නිදහස් කෙරුනේ, ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට චෝදනා නොමැති බව පොලීසිය අධිකරනය ඉදිරියේ පිලිගැනීමෙන් අනතුරුවය.

දෙසැම්බර් 12 වැනි දා, මුදලිගේ අධිකරනයට ඉදිරිපත් කල අවස්ථාවේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (නිසොජ) දිලීප පීරිස් ඔහුට ඇප ලබා දීමට එරෙහි විය. මෙතෙක් විමර්ශනය කර ඇත්තේ නඩුවෙන් සියයට 60 ක් පමනක් බවත්, ඉතිරි කොටස විමර්ශනය කිරීමට තවත් මාස කීපයක් ගත විය හැකි බවත් සඳහන් කල ඔහු, මුදලිගේ එතෙක් බන්ධනාගාරගත කර තබන ලෙස අධිකරනයෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප විය.

දෙසැම්බර් 13 දා නඩුව යලි කැඳවූ අවස්ථාවේ, මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කලේ, පසුගිය නොවැම්බර් 17 වැනි දින ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරනයට ඉදිරිපත් කල බී වාර්තාවේ, පීටීඒ යටතට ගැනෙන කිසිදු වරදක් සම්බන්ධයෙන් කරුනු දක්වා නොමැති බවයි. ඔහුට එල්ල කෙරී ඇති චෝදනා වනුයේ, විවිධ ස්ථානවල විරෝධතා සංවිධානය කිරීම සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීම ආදිය බව පීරිස් පෙන්වා දුන්නේ ය.

එයට පිලිතුරු දෙමින් නිසොජ කියා සිටියේ, පසුගිය 'අරගල සමයේ සිදු වූ විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවන් පිටුපස ත්‍රස්තවාදීමය ස්වභාවයක් තිබේ දැයි සොයා බැලීමට' මෙම පරීක්ෂනය පැවැත්වෙන බව යි.

මුල දී ඉතා සාමකාමී ව පැවති 'අරගලයට' පසු ව පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ අවිශිබම එක් වී ප්‍රචන්ඩත්වය මුදා හලේ යැයි, ගෝල්ෆේස් විරෝධතා භූමියේ ක්‍රියාධරයෙකුව සිටි 'මෝටිවේෂන් අප්පච්චි' නම් තැනැත්තෙකු පොලීසියට ලබා දුන් ප්‍රකාශයක දී සඳහන්කොට ඇති බව නිසොජ තවදුරටත් කියා සිටියේය.

විදේශීය ත්‍රස්ත සංවිධානයකින් ඔහුට මුදල් ලැබුනු බව මුදලිගේ තමාට පැවසුවේයැයි සඳහන් ප්‍රකාශයක්, ගැමුනු විජේරත්න නමැත්තෙකු විසින් පොලිසියට ලබා දී ඇති බව ද ඔහු කීවේය. “බරපතල කරුනු” වන මේවා සම්බන්ධයෙන් “විමර්ශන කල යුතු බව” ඔහු අධිකරනයට දන්වා සිටියේ ය.

කෙසේ නමුත්, ඊට පසුදින මාධ්‍ය හමුවක් පවත්වමින් 'මෝටිවේෂන් අප්පච්චි' හෙවත් සංජු සමරසිංහ කියා සිටියේ එවන් ප්‍රකාශයක් තමා කිසිවිටෙකත් පොලීසියට ලබා දී නොමැති බවයි. පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නේයැයි කියන අනෙක් තැනැත්තා වන ගැමුනු විජේරත්න, ජනාධිපති වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරන වලට පවා තරඟකොට ඇති වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන බස්රථ හිමියෙකි.

ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට කවර හෝ චෝදනාවක් නොමැතිව, හුදෙක් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපති වික්‍රමසිංහ දෙන ලද නියෝගයක් මත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දින 90 ක් රඳවා තබා, ඉන් අනතුරුව අධිකරන නියෝගයක් මත තවදුරටත් රඳවා සිටින මුදලිගේ ට එරෙහිව ගෙනයන අධිකරන ක්‍රියාදාමය මුලුමනින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ය.

එමෙන්ම, අරගල සමයේ සිදු වූ විවිධ 'ප්‍රචන්ඩ ක්‍රියාවන්', ත්‍රස්තවාදය ලෙස ගුනාංගීකරනය කරමින්, මුදලිගේ එයට කොටුකොට දීර්ඝ කාලීනව සිරගත කිරීම මෙම ක්‍රියාදාමයේ අරමුන බව පැහැදිලි ය.

මුදලිගේ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු වන නුවන් බෝපගේ දෙසැම්බර් 13 දා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, විවිධ ගිනි තැබීම් සිදු කෙරුනු ස්ථානවලට මුදලිගේ ගෙන යන අවස්ථාවක දී පොලිසිය 'රෝහන විජේවීරට සිදු කල දෙය' (ඔහු මරා දැමීම) සඳහන් කරමින්, 'දැන් රටේ පවතින දේශපාලන තත්ත්වය උඩ මරා දැමිය නොහැකි නිසා අඩු ම තරමේ වසර දෙකක්වත් සිර භාරයේ තැබීමට' කටයුතු සිදු කරන බවට අනතුරු ඇඟවූ බවයි.

මෙය පුලුල් පරිමානයෙන් දේශපාලන විරුද්ධවාදීන් මර්දනයකට අර ඇදීමකි. දෙසැම්බර් 13 දා පාර්ලිමේන්තුවේ දී, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඇති වූ ගැටුමකට පෙසප සහ ජනතා විමුක්ති පෙරමුන සම්බන්ධ කරමින් ත්‍රස්තවාදය පිලිබඳ මෙම චෝදනාව ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නැවතත් අලුත් කෙරුනි.

කෙසේ නමුත්, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කවර හෝ ප්‍රහාරයක් අවසාන වසයෙන් එල්ලවනු ඇත්තේ කම්කරු පංතියට එරෙහිවයි. එය පැහැදිලි කරමින් ලියොන් ට්‍රොට්ස්කි 1938 දී මෙසේ ලිවීය: 'ධනේශ්වර සමාජය තුල ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඕනෑම සීමා කිරීමක් අවසානයේ නිර්ධන පංතියට එරෙහිව යොමු කෙරෙන බවට, න්‍යාය මෙන්ම ඓතිහාසික අත්දැකීම් ද සාක්ෂි දරයි.'

කෝවිඩ්-19 වසංගතයෙන් සහ යුක්‍රේන යුද්ධයෙන් තීව්‍ර කෙරුනු ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලංකාවේ ආන්ඩුව ඇතුලු ලොවපුරා ආන්ඩු, තමා මුහුන දී සිටින අර්බුදයේ සමස්ත බර, දැවැන්ත කප්පාදු හරහා කම්කරු පංතියේ උරමත පටවමින් සිටින අතර, එයට එරෙහිව ජාත්‍යන්තර පරිමානව වැඩෙන පංති අරගල රැල්ල රුදුරුම ආකාරයෙන්ම තලා දැමීමට පියවර ගනිමින් සිටිති.

මෙම ගෝලීය ප්‍රහාරයේ කොටසක් ලෙස, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති රුදුරු කප්පාදු විධානයන්, වික්‍රමසිංහ ආන්ඩුව විසින් වේගයෙන් ක්‍රියාවට දැමෙමින් පවතී. රාජ්‍ය ආයතන පුද්ගලීකරනයට එරෙහිව ටෙලිකොම්, ඛනිජතෙල් සහ තැපැල් කම්කරුවෝ පසුගිය දෙසතියේ විරෝධතා සහ වැඩ වර්ජන වලින් නැගී සිටියහ.

විදුලිය සහ ඛනිජතෙල් මත පැවති රාජ්‍ය සහනාධාර ඉවත්කොට ඒවායේ මිල දැවැන්ත පරිමානව ඉහල නැංවීම, ඉසිලිය නොහැකි බදුබර, අත්‍යවශ්‍ය භාන්ඩ හිඟය සහ නිමක් නැති උද්ධමනය ආදියෙන් පීඩා විඳින කම්කරුවන් සහ පීිඩිතයන් වඩවඩාත් කැරලිකාරී වෙමින් පවතී. ආන්ඩුවට ඇති එකම විසඳුම වනුයේ රාජ්‍ය මර්දනය වඩවඩාත් ගැඹුරු කෙරීම පමනකි. ඕනෑ ම ආකාරයක විරුද්ධත්වයක්, හමුදාව යොදවා මර්දනය කරන බවට ජනාධිපති වික්‍රමසිංහ අයවැය විවාදය අතරතුර දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ ය.

මුදලිගේ ඇතුලු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහි මර්දනය මෙම සමස්ත රාජ්‍ය මර්දනයේ කොටසකි. මෙම මර්දනය පරාජය කල හැකි, නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කල හැකි බලගතුම සමාජ බලවේගය වන කම්කරු පංතිය, මුදලිගේ ට එරෙහි රාජ්‍ය දඩයම පරාජය කිරීම සඳහා වහා පෙරට පැමිනීම අත්‍යවශ්‍ය ය.

මුදලිගේ කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස සහ ඔහුට එරෙහි චෝදනා සියල්ල ඉවත්කර ගන්නා ලෙස බල කෙරෙන, විරෝධතා, වැඩ වර්ජන සහ උද්ඝෝෂන හරහා නැගී සිටින ලෙස සසප සහ සසජාතශි සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම තම ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂාකර දියහැකි සමාජ බලවේගය වන කම්කරු පංතිය වෙතට හැරෙන ලෙස සියලු ශිෂ්‍යයන්ට සහ තරුනයන්ට අපි කැඳවුම් කරමු.

සසප සහ සසජාතශි මෙම ආස්ථානය ගනු ලබන්නේ, අවිශිබම සහ එයට නායකත්වය දෙන පෙසප හි ධනපතිගැති දේශපාලනයට තම අශමනීය විරුද්ධත්වය තිබියදීම ය.

අවිශිබම සහ පෙසප, අන් සියලු රාජ්‍ය ප්‍රහාරයකදී මෙන්ම, මුදලිගේ ට එරෙහි රාජ්‍ය දඩයමේදී ද හැරෙනුයේ එම ප්‍රහාරය එල්ල කරනු ලබන ධනපති පංතියේ ම කොටස් වෙත මිස කම්කරු පංතිය දෙසට නොවේ. පොදුජන පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡාවන් වලට නොයන බවට රැඩිකල් වෙස්පෑමක යෙදෙන අවිශිබම, සාකච්ඡාවන්ට ආරාධනය කොට ඇත්තේ, බලයට පැමිනියහොත් මේ හා සමාන හෝ ඊට වඩා රුදුරු ප්‍රහාරයක් දියත් කිරීමට සැදීපැහැදී සිටින, සමගි ජනබලවේගය (සජබ) සහ ජවිපෙ ඇතුලු අනෙකුත් ධනපති පක්ෂවලටයි. එමගින් ධනපති පක්ෂ අත යටට ශිෂ්‍යයන් ගාල් කිරීමේ පුරුදු ව්‍යායාමයේම ඔවුහු යෙදී සිටිති.

අප්‍රේල්-ජූනි මහජන නැගිටීමේදී ද, ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට සහ සමස්තයක් ලෙස ධනපති දේශපාලන සංස්ථාපිතයටම එරෙහිව වැඩුනු විරෝධය, සජබ හි සහ ජවිපෙ හි ඊනියා අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට ගාල්කල පෙසප, අවිශිබම සහ වෘත්තීය සමිති එම මහජන නැගිටීම පාවාදුනි. රනිල් වික්‍රමසිංහ බලයට පැමිනියේ එය ගසා කමිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට මෙන්ම, සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාර පරාජය කලහැක්කේ, ධනපති ආන්ඩු වලට සහ ධනපති ක්‍රමයට එරෙහිව සටන් වදින කම්කරු පංතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක නායකත්වය යටතේ පමනි. තරුනයන් සහ ශිෂ්‍යයන් කම්කරුවන් වෙත හැරී එම ව්‍යාපාරය ගොඩනැගීමට සටන් වැදිය යුතු ය. එම ව්‍යාපාරය ගොඩනැගීමටත්, එය වටා ගම්බද දුගීන් රැලිකර ගනිමින්, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමටත් සසප සහ සසජාතශි සටන් වදී.

Loading