ට්‍රොට්ස්කිවාදී සරත් කුමාරගේ අවමංගල්‍යයට සියගනනක් සහභාගී වෙති

[මෙය Hundreds attend funeral of Sri Lankan Trotskyist Sarath Kumara මැයෙන් 2023 ​ජනවාරි 05 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

ජනවාරි 02දා, පවුලේ සාමාජිකයන් සහ අනෙකුත් ඥාතීන් මෙන්ම මිතුරන්, අසල්වාසීන් සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයින් සහ ආධාරකරුවන් ද ඇතුලු ව 500 කට ආසන්න පිරිසක්, දීර්ඝ කාලීන සසප සාමාජිකයෙකු ව සිටි සරත් කුමාරගේ අවමංගල්‍යයට සහභාගී වූහ. අවමංගල්‍ය උත්සවය පැවැත්වුනේ කොලඹ සිට කිලෝමීටර් 170 ක් පමන දුරින්, ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ හොරගොඩ ගම්මානයේ පිහිටි ඔහුගේ නිවසේ ය.

2023 ජනවාරි 2 වැනි දින, ශ්‍රී ලංකාවේ හොරගොඩ පැවති සරත් කුමාරගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ පිරිසෙන් කොටසක්

සරත්ගේ අන්තිම කැමැත්තට අනුව සහ ඔහුගේ සහකාරිය වූ නිල්මිනීගේ ඉල්ලීම මත, අවමංගල්‍ය උත්සවය, සසප විසින් සංවිධානය කෙරුනි. ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායන්ට අනුකූලව පවත්වනු ලැබූ මෙම නිර්-ආගමික අවමංගල්‍ය උත්සවය, ඈත පිටිසර ගම්මානයේ වැසියන්ට සුවිශේෂී අත්දැකීමක් විය.

හදිසි රෝගාබාධයකින් පසු දෙසැම්බර් 21 වන දින සෞදි අරාබියේ අල් ජුබාර් කාර්මික කලාපය අසල රෝහලක දී මිය ගිය ට්‍රොට්ස්කිවාදී සටන්කරුවාට අවසන් ගෞරව දැක්වීමට දහස් ගනනක් සරත්ගේ නිවසට පැමිනි සිටියෝ ය. දෙසැම්බර් 29දා, ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් පසු දින හතරක් ඔහුගේ නිවසේ තබා තිබුනි.

සරත්, 1991 දී සසපයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට (විකොස) බැඳුනේ, කොලඹට ආසන්න ව පිහිටි රත්මලානේ, රාජ්‍ය නොවන සංවිධානයක් වන කම්කරු සෙවන කම්හලේ සේවයේ යෙදී සිටියදී ය. ඔහු වයස අවුරුදු 57 දී මිය යන තුරු ම, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය සඳහා නිර්භීත සහ ස්ථීරසාර කම්කරු පන්තික සටන්කරුවෙකු විය.

සරත්ගේ බිරිඳ සහ පුතුන් දෙදෙනා ජීවත් වන්නේ, ශ්‍රී ලංකාවේ දකුනු පලාතේ ප්‍රධාන නගරයක් වන මාතර සිට කිලෝමීටර් 17 ක් පමන දුරින්, හොරගොඩ පිහිටි භාග්‍යගම යෝජනා ක්‍රමයේ නිවසක ය. කෘෂිකාර්මික ප්‍රදේශයක් වූ හොරගොඩ පූර්වයේ දී, වී, රබර්, කුරුඳු සහ තේ වගාව මත යැපුනි.

අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩු ගොවි ජනතාව කෙරෙහි ගෙන ගිය ප්‍රතිගාමී ප්‍රතිපත්ති නිසා තරුන පරම්පරාවන්ට කෘෂිකර්මයෙන් ඈත් වීමට බලකෙරී තිබේ. අද බොහෝ පදිංචිකරුවන් පෙදරේරුවන්, වඩු කාර්මිකයන් සහ වෙනත් ශිල්පීන් ලෙස රැකියාවල නිරත වන අතර, ඇතැම් අය ගුරු සේවය ඇතුලු රජයේ රැකියා වල නිරත වෙති.

හිටපු රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ව පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භ වූ සිව්මස් මහජන නැගිටීමට, හොරගොඩ ගම්මානයේ බොහෝ කම්කරුවෝ සහ දුගීහු, දිවයින පුරා ඔවුන්ගේ සගයන් සමග එක් වූහ. හොරගොඩ සිට මාතරට දිනකට ඇත්තේ, බස් රථ වාර දෙකක් හෝ තුනක් පමනකි. ලඟම රෝහල් වන්නේ, කිලෝමීටර් 12 ක් දුරින් පිහිටි අකුරැස්ස දිසා රෝහලත්, මාතර මූලික රෝහලත් ය.

සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජිකයින්, සති අන්තයේ සහ සඳුදා අවමංගල්‍ය නිවසට පැමිනියහ. ඔවුහු අවසන් ගෞරව දැක්වීමට පැමිනි සිය ගනනක් ජනයාට ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල සරත්ගේ අවමංගල්‍ය ප්‍රකාශයේ පිටපත් බෙදා දුන්හ. බොහෝ දෙනෙක් සරත් ගැන කතා කලේ කඳුලු පිරි දෙනෙතිනි.

සුගත් කුමාර

සරත්ගේ ලඟම අසල්වැසියා වන සුගත් කුමාර පැවසුවේ ය: “ඔහු මොරටුවෙන් [කොලඹ තදාසන්නයේ] පැමින මෙහි පදිංචි වී ඉතා කෙටි කාලයකින් ගමේ කාගේත් සිත් දිනා ගත්තා. ඔහු ඉතා උසස් මානුෂීය ගුනාංගවලින් හෙබි ඉතා මිත්‍රශීලී පුද්ගලයෙක්. ඔහු ට්‍රොට්ස්කිවාදී දේශපාලනයේ යෙදී සිටි බව අපි දන්නවා. අපේ ගම, [ස්ටැලින්වාදී] කොමියුනිස්ට් පක්ෂයේ (සීපී) ආරම්භක නායකයා වන ආචාර්ය එස්. ඒ. වික්‍රමසිංහ නියෝජනය කල අකුරැස්ස පාර්ලිමේන්තු මැතිවරන කොට්ඨාශයේ කොටසක්.

“සරත්, ඔහුගේ පක්ෂය (සසප) සහ ආචාර්ය වික්‍රමසිංහගේ පක්ෂය අතර වෙනස පැහැදිලි කලා. ඔහු පැවසූ සෑම දෙයක්ම අපට තේරුනේ නැතත් එක් දෙයක් පැහැදිලියි, සසප කිසි විටෙකත් ධනේශ්වර පක්ෂවලට සහාය නොදක්වන බව ඔහු පැවසුවා. අපි මුහුන දෙන සියලුම ප්‍රශ්න 1964 දී ධනපති බන්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ හවුල් වූ කොප සහ ලංකා සමසමාජ පක්ෂය පාවාදීමේ ප්‍රතිඵල බව ඔහු අපට කීවා”.

සරත් ඉතා පරාර්ථකාමී පුද්ගලයෙකු බව තවත් අසල්වැසියෙක් පැහැදිලි කලේ ය: “කෙනෙකුට මූල්‍යමය ගැටලුවක් ඇත්නම්, උදව් කලේ සරත්. සමහර වෙලාවට ඔහු තමන්ගේ රන් මාලය උකස් කරලා මුදල් දීලා තියෙනවා. පිටරට ඉඳලා එන හැම වෙලාවෙ ම ඔහු ආවේ අසල්වැසි දරුවන්ට තෑගි බෝගත් අරගෙන. සරත් කියන්නේ අපට දැනුම ගෙන දුන් පුස්තකාලයක්. ඒ වගේම, ඔහු ඕගන් සහ තබ්ලා වාදනය ඇතුලු පූර්න සංගීත කුසලතාවකින් යුත් විනෝදකාමීයෙක්. මෙයාට මේ තරම් දැනුමක් මනුස්සකමක් තිබුනේ කොහොමද කියලා අපි කල්පනා කලා, නමුත් සරත්ගේ මරනානුස්මෘති ප්‍රකාශය කියවනකොට අපිට තේරුනා ඒ ගතිගුන, දැනුම ආවේ පක්ෂයෙන් කියලා.”

අවමංගල්‍ය උත්සවය සසප ෆේස්බුක් පිටුවේ සජීවී ව විකාශය වූ අතර (ලිපිය පලවන මෙහොත්දීත්) 1500 කට අධික පිරිසක් එම වීඩියෝව නරඹා ඇත. සසප සාමාජිකයන් ඇතුලු බොහෝ අය උත්සවය ගැන අදහස් දක්වා ඇත්තේ ශෝක පනිවිඩ සහ විප්ලවවාදී ආචාර එකතු කරමිනි.

සසප දේශපාලන සාමාජික පානි විජේසිරිවර්ධන රැස්වීමේ මුලසුන දරමින්, ට්‍රොට්ස්කිවාදී සටන්කරුවෙකු ලෙස සරත්ගේ විප්ලවවාදී ගුනාංග ගැන පැමින සිටි අයට මතක් කර දුන්නේ ය. “පක්ෂයට බැඳීමෙන් පසු ඔහු සිය මරනය දක්වා ම ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශන සඳහා නොසැලී සටන් කලා” විජේසිරිවර්ධන පැවසී ය.

“අසල්වැසියන් අතර ඔහු ජනප්‍රිය හා බුද්ධිමත් කම්කරුවෙක් වගේ ම කරුනාවන්ත සහායකයෙක් වුනා. ඔහුට මේ මානුෂීය ගුනාංග ලැබුනේ කොහෙන්ද? ඒ ඔහු කුඩා කල සිටම විකොස/සසප සාමාජිකයෙකු වූ අතර ඔහුගේ සේවා ස්ථානයේ සහ අනෙකුත් කලාපවල කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට සටන් කල නිසායි. ඔහු කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් සටන් කරන ව්‍යාපාරයේ සාමාජිකයෙක්,” විජේසිරිවර්ධන පැවසී ය.

සමන් ගුනදාස

සසප සහකාර ලේකම් සමන් ගුනදාස පැවසුවේ,—“ක්‍රමය වෙනස් කිරීම” ගැන කතා කරන නමුත් එහි ප්‍රතිසංස්කරනය කිරීම ප්‍රවර්ධනය කරන අයට පටහැනිව—සරත් ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීමේ අරගලයට සිය ජීවිතය කැප කල බව ය. කම්කරු සෙවන කම්හලේ සහ ඉලාස්ටෝමෙරික් ටූල්ස් ඇන්ඩ් ඩයිස් සමාගමේ සේවය කරන අතරතුර ප්‍රධානීන්ට සහ වෘත්තීය සමිති නිලධරයන්ට එරෙහිව, තම මිතුරා සහ විකොස/සසප සාමාජික ක්‍රිෂාන්ත ජයසිංහ සමග එක්ව, තම සහෝදර කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කල ආකාරය කථිකයා සබයට මතක් කලේ ය.

ධනවාදය පෙරලා දැමීමට කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා සටන් කිරීමට අද ලෝකයට තවත් බොහෝ සරත්ලා ඇවැසි බව ගුනදාස කීවේ ය: “සරත් අප හැර ගොස් ඇති මුත්, අපි ඔහුගේ ජීවිතයේ දේශපාලන පාඩම් තුලින් ඔහුගේ සටන දිගට ම කරගෙන යන්නෙමු.”

සසප සාමාජික ක්‍රිෂාන්ත ජයසිංහ 1987 දී කම්කරු සෙවනේ දී සරත් තමන්ට මුලින්ම මුනගැසුනු අවස්ථාව සිහිපත් කරමින් උත්සව සභාව ඇමතී ය. “ඔහු සමඟ සමීප ව වැඩ කරන අතරතුර, කම්කරු පන්තියේ විමුක්තිය සඳහා සටන් කිරීමට ඔහු තුල පවතින අධිෂ්ඨානය ඔහුගේ ආත්මයේ ගැඹුරින් ම පවතින්නක් බව මම දුටුවා. ඒක අපිව තවත් ලං කලා” ජයසිංහ පැවසීය.

ක්‍රිෂාන්ත ජයසිංහ

විකොස සාමාජිකයන් ලෙස ඔවුන්ගේ දේශපාලන කටයුතු නිසා කම්කරු සෙවන පරිපාලනය ඔවුන්ට එරෙහි ව දියත් කරන ලද දේශපාලන දඩයම ගැන සඳහන් කරමින් ජයසිංහ මෙසේ කීවේ ය: “ඔහු [සරත්] එම ප්‍රහාරයන්ට එරෙහි ව යෝධයෙකු වගේ සටන් කලා. ඔහු කිසි විටෙකත් තම ස්ථාවරය වෙනස් කලේ නැහැ.”

සසජාතශි වෙනුවෙන් කතා කරමින් සකුන්ත හිරිමුතුගොඩ අදහස් දැක්වූ​යේ ය. “බොහෝ අය කම්කරුවන්ට දේශපාලනයේ තීරනාත්මක කාර්යභාරයක් ඉටු කල නොහැකි බව පවසන නමුත් සරත් කුමාර සහෝදරයාගේ ජීවිතය පෙන්නුම් කලේ, ඔවුන් විප්ලවවාදී දේශපාලනය වෙනුවෙන් සටන් කරන විට කම්කරු පන්තියට ඉහල මට්ටම් කරා නැඟී සිටීමට ඇති හැකියාවයි.”

සසජාතශි කථික සකුන්ත හිරිමුතුගොඩ

සරත්ගේ විප්ලවවාදී ජීවිතය, තරුනයින්ට ඔවුන්ගේ අයිතීන් සඳහා සටන් කරන්නේ කෙසේ ද යන්න පිලිබඳ අත්‍යවශ්‍ය පාඩම් සපයන බව පැවසූ හිරිමුතුගොඩ, ඔහුගේ ජීවිත කාලය පුරාවට ම පැවති අරගලය අධ්‍යයනය කර සසප/සසජාතශියට බැඳෙන ලෙස සභාවේ සිටි අයගෙන් ඉල්ලා සිටියේ ය.

අවසාන කථිකයා වූ සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර පැවසුවේ, සරත්ගේ බිරිඳට සහ පුතුන් දෙදෙනාට ආදරනීය සැමියෙකු සහ ආදරනීය පියෙකු අහිමි වී ඇති අතර, “අපට, සසපට, කැප වූ විප්ලවවාදී සටන්කරුවෙකු අහිමි වී ඇති” බවයි.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර

එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට සහ දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් රේඛා හරහා කම්කරුවන් එක්සත් කිරීමේ අරගලයක යෙදී සිටියදී සරත් පක්ෂයට සම්බන්ධ වූ බව ජයසේකර පැහැදිලි කලේය. දකුනේ ග්‍රාමීය තරුනයින් වෙත ආන්ඩුව දියත් කල ලේ වැකි රාජ්‍ය මර්දනයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට ද විකොස සටන් වැදුනු බව ඔහු පැවසී ය.

“අපේ ව්‍යාපාරයේ මූලධර්මාත්මක සටන නිසා සරත් සහෝදරයා විකොස වෙත ආකර්ෂනය වුනා,” ජයසේකර පැවසී ය. “හාම්පුතුන් විසින් මුදා හරින ලද දඩයමට එරෙහි ව ඔහු සටන් කරන විට, ශ්‍රී ලංකාවේ පමනක් නොව, පන්තියක් ලෙස ලොව පුරා සිටින කම්කරුවන්ගේ ශක්තිය ඔහු විශ්වාස කලා.

“දැන් අප ඇතුල් වී ඇති කාලපරිච්ඡේදය, සරත් සටන් කල විප්ලවවාදී සමාජවාදී මූලධර්ම බලවත් ලෙස සනාථ කරනවා,” ජයසේකර පැවසීය. ඔහු පැමින සිටි අයගෙන් ඉල්ලා සිටියේ, සසප වැඩපිලිවෙල හා ඉදිරිදර්ශනය අධ්‍යයනය කරමින්, සරත්ට දක්වන හොඳ ම උපහාරය ලෙස පක්ෂයට බැඳෙන ලෙසයි.

විශ්‍රාමික ලංගම සේවකයෙකු සහ විකොස කම්කරු මාවත පුවත්පතේ පාඨකයෙක් වූ එම්. ජයසේකර

එම්. ජයසේකර සරත්ගේ ඥාතීන් වෙනුවෙන් රැස්ව සිටි පිරිස ඇමතීය. රැස්වීම, “වෙනස් සංස්කෘතියක්” ඉදිරිපත් කල බව ඔහු පැවසී ය. සරත්ගේ දේශපාලන පක්ෂයේ සම්ප්‍රදායන්ට අනුව ආගමික චාරිත්‍රවලින් තොරව අවමංගල්‍ය උත්සවයක් ප්‍රදේශවාසීන් දුටු පලමු අවස්ථාව එය විය. ඔහුගේ සම සටන්කරුවන් විසින් සරත්ට කරන ලද උපහාරය ගම්වැසියන්ට වැදගත් දේශපාලන පාඩම් ලබා දුන් බව ඔහු කීවේ ය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සම්ප්‍රදායට අනුව අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට සහාය වූ සරත්ගේ වැන්දඹු බිරිඳ වන නිල්මිනිට, ඇගේ පුතුන් දෙදෙනාට සහ අනෙකුත් සියලුම ඥාතීන්ට සහ ගම්වාසීන්ට ස්තුතිය පුද කරමින්, මුලසුන දැරූ විජේසිරිවර්ධන රැස්වීම අවසන් කලේය.

රැස්වීමෙන් පසු, පසුබිමෙහි ජාත්‍යන්තර ගීතය විකාශය වෙද්දී, සසප සාමාජිකයෝ සරත්ගේ දේහය ඔහුගේ ගෙමිදුලේ තනා තිබූ සොහොන වෙත ගෙන ගොස් ඥාතීන්ගේ සහ ගම්වාසීන්ගේ සහාය ඇති ව භූමදාන කරන ලදහ.

Loading