වරාය කම්කරුවෝ දහස් ගනනක් බදු පනතට විරෝධය දක්වති

ජනවාරි 23 දා, කොලඹ වරායේ සියලු ශ්‍රේනීන්වලට අයත් කම්කරුවන් 5,000 ක් පමන, ආන්ඩුවේ නව බදු පනතට එරෙහි විරෝධතා උද්ඝෝෂනයක යෙදී ගත්හ. 'රනිල් රාජපක්ෂ අශුද්ධ ආන්ඩුවේ අසාධාරන බදු පැනවීමට එරෙහි වෙමු' යන තේමාව යටතේ වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය (වවෘසඒස) සංවිධානය කල මෙම උද්ඝෝෂනය කොලඹ වරාය ඉදිරිපිට දී පැවැත්වුනු අතර, එය පාගමනක් ලෙස වර්ධනයවීම වැලැක්වීම සඳහා පොලීසිය හා හමුදාව යොදවා තිබුනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයන් මත, මේ මාසයේ සිට ක්‍රියාත්මක වන බදු පනතට අනුව, රුපියල් 100,000 ට වැඩි මාසික ආදායමක් ලබන සෑම අයෙකුගෙන්ම, ඔහුගේ හෝ ඇයගේ ආදායමට අනුව වැඩිවන පරිදි සියයට 6 සිට 36 දක්වා 'උපයනවිට ගෙවීමේ' බද්දක් අයකෙරේ.

2023 ජනවාරි 23 වැනි දින ඉහල ආදායම් බදුවලට විරෝධය පල කරමින් උද්ඝෝෂනය කරන කොලඹ වරාය සේවකයන්ට එරෙහිව පොලිසිය බලමුලු ගැන්වීම. [ඡායාරූපය: WSWS]

දැවැන්ත උද්ධමනය හමුවේ, මේ සා පරිමාන සුවිසල් බදු අය කිරීමක් හරහා එල්ල කෙරී ඇති වැටුප් කප්පාදුවට එරෙහිව, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගනකාධිකාරීවරුන් සහ බැංකු ක්ෂේත්‍රයේ විධායක නිලධාරීන් ඇතුලු වෘත්තිකයන් දසදහස් ගනනක්, මෙම බදු පිලිවෙතට එරෙහිව පසුගිය සතිය පුරා විරෝධතාවන්හි නිරත වූහ. එයට වරායේ සේවයේ නියුතු දහස් සංඛ්‍යාත සාමාන්‍ය කම්කරුවන්ගේ එක්වීම, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ආන්ඩුවට එරෙහිව වැඩෙන පංති අරගලයන්ගේ නව වර්ධනයක් පෙන්නුම් කරයි.

බහුතර වරාය කම්කරුවන් රු 100000කට වැඩි මාසික වැටුපක් උපයාගනු ලබන්නේ අතිකාල සේවයේ යෙදෙමිනි. නිවාස ඉදි කිරීම ආදී අත්‍යවශ්‍ය කටයුතු වලට ලබාගෙන ඇති නය සඳහා මාසික වාරික කපා ගැනීමෙන් පසු මාසිකව ඔවුන් අතට ලැබෙන්නේ ඉතා අඩු මුදලකි. රජය, බදු ලෙස කපාගනු ලබන්නේ ඔවුන් දුෂ්කරව උපයාගත් වැටුපෙන් ඉතිරිවන එම සොච්චමෙනි.

වරාය සේවකයන්ගේ උද්ඝෝෂනය සංවිධානය කල සමිති සන්ධානයට, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සමස්ත ලංකා වරාය කම්කරු පොදු සේවක සමිතිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වරාය සේවා සමිතිය ඇතුලු සමිති ගනනාවක් ඇතුලත් වෙයි. මෙම සියලු පක්ෂ ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලට තම පක්ෂපාතිත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශකර ඇත.

එම වැඩපිලිවෙලටම අයත් මෙම දැවැන්ත බදු ප්‍රහාරයට එරෙහිව අව්‍යාජ සටනක් ඉහත සමිති විසින් දියත් කරනු ඇතැයි කම්කරුවන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවිය යුතුය. ඔවුන් මෙම උද්ඝෝෂනය කැඳවූයේ කම්කරුවන් අතර වැඩුනු බලගතු විරෝධය ආන්ඩුව සමග කේවල් කිරීමේ වටවංගුවල සිරකොට දියකර හැරීමේ අරමුනෙනි.

උද්ඝෝෂනය දැනුම් දෙමින් සමිති සන්ධානය නිකුත් කල පත්‍රිකාව මෙසේ කියා සිටියි: 'අපි ගන්න ක්‍රියා මාර්ගවලින් රටට එන ඩොලර් ටිකත් නැතිවන බව අපි දන්නවා. රටට ඩොලර් උපයන අපිව විනාශ කරලා දරා ගන්න බැරි තරම් බදු ගහනකොට ජීවත්වීම සදහා අපිට කරන්න දෙයක් නැහැ. අපි රනිල්ටත් රාජපක්ෂටත් කියන්නෙ තවත් පව් නොදී රට කරන්න පුලුවන් එකෙකුට භාරදීලා උඹලා පලයල්ලා කියලා.”

මෙම 'රට කරන්න පුලුවන් එකා' කවුද? සමගි ජන බලවේගය (සජබ) හෝ ජවිපෙ ද? නැතහොත් ශ්‍රීලනිප ද? ජාමූඅ හි විධානයන් ක්‍රියාත්මක කිරීම හැර අන් විකල්පයක් නොමැති බව යලියලිත් කියා සිටින මෙම පක්ෂ අතරින් බලයට පැමිනෙන කවර හෝ ආන්ඩුවක් මගින් මෙම බදු පිලිවෙත් ආපසු හැරවිය හැකි බවට වෘත්තීය සමිති වපුරන මිත්‍යාවන්ගේ අරමුන වනුයේ, කම්කරුවන්ගේ ස්වාධීන දේශපාලන මැදිහත්වීමක් වලකාලීමයි.

ජවිපෙ සමිතියේ නායක නිරෝෂන් ගොරකාන උද්ඝෝෂකයන් අමතමින් මෙසේ කියා සිටියේ ය: “අපි ලෑස්තියි මෙම ගොන් ආන්ඩුව පලවා හැරලා ජනතාවාදී ආන්ඩුවක් බලයට පත්කර ගන්න. එයට නායකත්වය දෙන්න අපි සූදානම් කියන පනිවිඩය දෙනවා.' නිශ්චිතව ප්‍රකාශ නොකල ද, ඔවුන් විසින් බලයට ගෙන ඒමට තැත් කරන මෙම 'ජනතාවාදී ආන්ඩුව' ජවිපෙ ආන්ඩුවක් බව පැහැදිලිය.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ඔක්තෝබර් 17දා ස්වර්නවාහිනී රූපවාහීනී නාලිකාවේ වැඩසටනකට සහභාගි වෙමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) වැඩපිලිවෙලට විවෘතවම ආවැඩුවේ ය. ලංකාව විදේශ නය පැහැර හැර තිබෙන බැවින් “ජාමූඅ වෙත යෑම නොවැලැක්විය හැකි දෙයක් ව පවතින” බව දිසානායක මෙම වැඩසටහනේදී කියා සිටියේ ය. වත්මන් ආන්ඩුවේ මෙන්ම, ජවිපෙ ආන්ඩුවක පිලිවෙත් නිර්නය වනුයේ ද ජාමූඅ හි විධානයන් මත බවට මීට වඩා සහතිකයක් අවශ්‍ය නොවේ.

ගොරකාන, තම පූච්චානම් භාෂාවෙන් මෙසේ පැවසීය: 'අද සවස සකච්ඡාවේදී විසඳුමක් නැත්නම් වරාය තුනම වහනවා. ජූලි 9 මතක් කර ගන්න උඹලට කොට්ට පැදුරු අකුලගන යන්න වෙයි. අපි ජූලි 9 දා මුලු වරායම සටනට එකතුවුනා. ඒ තත්වයට අපිව ඇදලා දාන්න එපා. සාකච්ඡාවේදී සියල්ල අකුලා ගන්න ඕනෑ.....අපි ලෑස්තියි අපේ හයිය පෙන්නන්න. සහෝදරවරු තමයි අපේ හයිය.'

පසුගිය මහජන නැගිටීම තුල, වරාය කම්කරුවන් ඇතුලු කම්කරු පංතියේ තීරනාත්මක මැදිහත්වීමත් සමග ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව බලයෙන් පහ කෙරුන ද, සජබ සහ ජවිපෙ විසින් තොරොම්බල් කල ඊනියා අන්තර්වාර ආන්ඩු වැඩපිලිවෙල යටතට එම මහජන නැගිටීම හරවා යවා, වික්‍රමසිංහ ට බලයට පැමිනීමටත්, එමගින් ජාමූඅ හි ප්‍රහාර දියත් කිරීමටත් පාර කපා දුන්නේ ගොරකාන ඇතුලු සමිති නායකයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වම්මුන් විසිනි.

ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ජාමූඅ හි ප්‍රහාර හමුවේ කම්කරු-පීඩිත මහජනතාව මුහුනදෙන තත්වය, පසුගිය නොවැම්බර් රොයිටර් වාර්තාවක් පැහැදිලි කලේ මෙසේය: 'ඉහල යන උද්ධමනය, දුර්වල වන මුදල් ඒකකය සහ අඩු විදේශ විනිමය සංචිත හේතුවෙන් මිලියන 22 ක ජනතාවක් සිටින දිවයින ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීමට අරගලයක යෙදී සිටිති.'

පැනනැගී ඇති මෙම අර්බූදය පිලිබද වරාය කම්කරුවෝ අවධානය යොමු කරමින් සිටිති. වරායේ ටග්‍ යාත්‍රා අංශයේ කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දක්වමින් මෙසේ පැවසීය.'ලබන වසර වනවිට අර්බූදය තව ඉහල යනවා. බලපෑම් දාලා බදු පනත පරාජය කරන්න බැහැ. තව දුරටත් වරාය පුද්ගලීකරනයටයි ආන්ඩුවෙ සූදානම. වෘත්තීය සමිති කම්කරු සටන් පාවා දුන් තත්වයේදී කොලඹ වරායෙ විශාල කොටසක් දැනටමත් පාලනය කරන්නෙ විදේශීය හා දේශීය ආයෝජකයන්. අපේ වැටුප උද්ධමනය යටතෙ හතර ගුනයකින් පමන අඩුවෙලා. බදුත් කැපුවම ජීවත් වෙන්න කොහොමටවත් බෑ. මේක ධනපති ක්‍රමයේ අර්බූදයක් බව ඉතා පැහැදිලියි.'

ජාමූඅ හි කප්පාදු වැඩපිලිවලට ජවිපෙ පක්ෂපාත බවත්, ඒ පිලිබඳව ජවිපෙ ට සම්බන්ධ අයගෙන් විමසූ නමුත් ඔවුන්ගෙන් පිලිතුරු නොලැබුනු බවත් ඔහු පැවසීය.

ජය බහාලුම් අංශයේ කම්කරුවෙක් මෙසේ පැවසීය: 'වෘත්තීය සමිති අදත් කම්කරුවන්ගෙ විරෝධය යටපත් කරන්නයි උත්සාහ ගන්නෙ. කම්කරුවො මුහුන දෙන්නෙ ජීවිතය ගෙනියන්න බැරි අර්බූදයකට. වරායේ සේවකයන් නය වෙලා ඉන්නෙ. නය කැපුනම ජීවත් වෙන්නෙ අතිකාල සේවයේ යෙදිලා .දැන් සමහර අංශ වල අතිකාල අඩු කරලා.'

ලෝසවෙඅ ඇසුරු කරන ඔහු ජාත්‍යන්තර වර්ධනයන් ගැන අවධානය යොමු කරමින් මෙසේ පැවසිය: “යුක්‍රේනය මැදිකරගෙන ඇමරිකාව සහ නැටෝ බලයන් ගෙනයන යුද්ධය වේගයෙන් වැඩෙනවා. සියලු රටවල ආරක්ෂක වියදම් ඉහල දමලා කම්කරු අයිතීන් උදුර ගන්නවා.'

ජාමුඅ කප්පාදු වැඩපිලිවෙල ට එරෙහිව සටන් වැදීම සඳහා, එම වැඩපිලිවෙලට සහයෝගය දෙන ජවිපෙ ඇතුලු සියලු ධනේශ්වර පක්ෂවලින් හා වෘත්තීය සමිතිවලින් කම්කරුවන් තීරනාත්මකව කැඩී වෙන්වී තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගතයුතුය.

සෑම වැඩබිමකම සහ අසල්වැසි ප්‍රදේශයකම එම කමිටු ගොඩනගමින් සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමටකම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් පෙරට ගතයුතු වෙයි.

සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර ඇති කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය කම්කරුවන්ගේ ඒකාබද්ධතාවය තහවුරු කර ගම්බද ජනතාව ඒ වටා රැලිකර ගැනීමේ මූලෝපායික මධ්‍යස්ථානයක් ලෙස සේවය කරනු ඇත.

Loading