අවිශිබම කැඳවුම්කරු සම්බන්ධ නඩුවේ මහේස්ත්‍රාත්වරිය ඉවත්කිරීම: රාජ්‍යයේ අධිකාරිත්වය තහවුරු කරගැනීමේ පියවරක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ (අවිශිබ) කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධ නඩුව විභාග කරමින් සිටින අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත පසුගිය සතියේ නීතිපතිගේ මැදිහත්වීමෙන් එම නඩුකටයුතුවලින් ඉවත් කෙරුනි.

නොවැම්බර් 17 වනදා නඩුවාරයේදී, මුදලිගේ සහ ඒ වනවිට ඔහු සමඟ අත්අඩංගුවේ පසුවූ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමන්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම, මහේස්ත්‍රාත්වරියගේ නිල කාමරයට කැඳවනු ලදුව ඇය විසින් රෝගාතුරව සිටි සිරිධම්මගේ පරිභෝජනය සඳහා පෝෂන අතිරේකයක් සහ ඖෂධ සඳහා රුපියල් දසදහසක මුදලක් ලබා දීමේ සිද්ධියක් මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් හතර දෙනෙකු විසින් මෙම සිද්ධිය වූ බවට පොලිස්පති වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරනයට දැන්වූයේ ඇය තවදුරටත් එම නඩුව විභාග කිරීම නුසුදුසු බවයි.

නීතිපතිගේ තීන්දුවට විරෝධය පලකරමින් නීතීඥ සංගමයේ සාමාජිකයෝ 18 වනදා අලුත්කඩේ උසාවි සංකීර්නය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වූහ. ඔවුහු, “රනිල්-රාජපක්ෂ අධිකරනයට අතනොතබනු! දේශපාලන අරමුනු සඳහා ඇප කොන්දේසි යොදානොගනු! නීතිපති අධිකරනයට කරන තර්ජන හෙලාදකිනු!” ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කලහ.

විරෝධතාවයේ යෙදුනු නීතීඥයින්ට එරෙහිව චෝදනා ගොනුකිරීම සඳහා, පොලිස්පති විසින්, බස්නාහිර පලාත භාර ජ්‍යේෂ්ඨ සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි නමුත්, නීතිඥයන් මැරෙන තුරු උපවාසයක යෙදෙන බව ප්‍රකාශ කිරීමත් මහජනවිරෝධයක් නැගීමේ අවදානමත් හමුවේ පසුව එම වාර්තාව මත ක්‍රියා කිරීම අත්හැරදමා ඇත.

රනිල් වික්‍රමසිංහ ආන්ඩුව, නීතිපති සහ පොලිස්පතිහරහා, මහේස්ත්‍රාත්වරියට එරෙහිව දියත් කරන්නට යන දඩයම ධනපති රාජ්‍යයේ ස්වභාවය හෙලිදරව් කරන සංසිද්ධියකි.

පසුගිය අප්‍රේල්-ජූනි මහජන නැගිටීමේදී සිසුන් සංවිධානය කිරීම හේතුවෙන් මුදලිගේ කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 160කට ආසන්න කාලයක් ‍රඳවාගනු ලැ බ තිබේ. එම චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුනු ක්‍රියාකාරිකයන් අතර සිටි සිරිධම්ම, නොවැම්බර් 23 වන දා ලක්ෂපහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලදී.

මහජන නැගිටීමට කවර හෝ සහයක් දක්වන පාර්ශවයක් වෙතොත් එයට එරෙහි දැඩි මර්දනයක් දියත්කිරීමට වික්‍රමසිංහ ආන්ඩුව තීන්දුකරඇත. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරනයට කරුනු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර්ජනරාල්වරයාගේ ප්‍රකාශය ඉලක්ක කෙරී තිබුනේද මහේස්ත්‍රාත්වරිය මහජන අරගලයට සහය දක්වා ඇතැයි යන කරුන කෙරෙහි ය. “මෙම සැකකරුවන් ඔබතුමියගේ නිලමැදිරියට ඉදිරිපත්කල අවස්ථාවේ‘ඔයා ලා අරගල කලේ අපි හැමෝම වෙනුවෙන්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කරල තිබෙන නිසා අපට ඇප ලබාදීමේ හැකියාවක් නැහැ., පනතෙන් අපේ අත් බැඳලා තියෙන්නේ’යනුවෙන් පවසා තිබෙනවා”යැයි ඔහු පැවැසීය.

සැකකාර සිරිධම්ම බෞද්ධ භික්ෂූවක්ලෙස සලකා මානුෂීය චේතනාවකින් තමා මෙම ක්‍රියාව සිදුකල බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියාය. ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරීන් ඉදිරිපිටදී තමා එය පැවසූ බවත්, තමන් සඳහන් නොකල දේවල්පවා තමාට විරුද්ධව චෝදනා ගොනුකිරීමේදී සඳහන් කෙරෙන බවත් මහවත්ත අධිකරනයට ප්‍රකාශ කලාය. මහවත්තගේ මෙම සඳහනින් ඇඟවෙන්නේ මහජන අරගලයට සහයෝගය ප්‍රකාශ කල බවට නැගෙන චෝදනාවලින් දුරස්ථ වූ බවයි.

ජනවාරි 19 වනදා පාර්ලිමේන්තුවේදී කතා කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ (ශ්‍රීලපොජපෙ) මන්ත්‍රීවරුන් වන ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ සහ සමන්ප්‍රිය හේරත් අධිකරන ඇමති විජයදාස රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ, “මහේස්ත්‍රාත්වරියගේ ක්‍රියාව අධිකරන පද්ධතියේ ස්වාධීනත්වය කෙලෙසමින් ඊට කලු පැල්ලමක් එක් කල නිසා ඊට එරෙහිව දැඩි පියවරක් ගතයුතු” බවයි. ඊට ප්‍රතිචාර වශයෙන්‍ රාජපක්ෂ පැවසුවේ, මන්ත්‍රීවරුන් ඉදිරිපත්කරන කරුනු තමන් වෙත ලබාදෙන ලෙසත් ඉන් පසුව ඒවා අධිකරන සේවා කොමිෂන් සභාව වෙත යොමුකර අවශ්‍ය පියවර ගන්නා බවත්‍ ය.

පොදු පෙරමුනේ මන්ත්‍රී 'අධිකරනයේ ස්වාධීනත්වය' ගැන කරන මැත දෙඩවීම් පොලීසියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ දඩයක්කාරී මැදිහත්වීමට පලිප්පු දැමීමකි.

අධිකරනය ධනේශ්වර රාජ්‍යයේ එක් ප්‍රමුඛ අවයවයකි. කාර්ල්මාක්ස් පෙන්වාදුන් පරිදි, රාජ්‍යය යනු 'එක් පංතියක් විසින් තවත් පංතියක් පීඩනයට පත්කිරීම පිනිස යොදාගනු ලබන අවයවයකි.' ඒ අර්ථයෙන් ගත්කල ධනේශ්වර රාජ්‍යය යනු, ධනපති පංතිය විසින් කම්කරු පංතිය හා දුගීන් පීඩනයට පත්කිරීම පිනිස යොදාගනු ලබන උපකරනයයි. පොලීසිය, හමුදාව, අධිකරනය, සිරගෙවල් ආදිය එහි අවයවයන්‍ ය. එම තතු තුල ධනේශ්වර 'අධිකරන පද්ධතියේ ස්වාධීනත්වය' යනු යතාර්ථයේ කිසිවිට නොපවත්නා අභූතයකි.

පෙර නොවූවිරූ ආර්ථික අර්බුදයකට මුහුනදී සිටින වික්‍රමසිංහ ආන්ඩුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙල නිර්දය අයුරින් ක්‍රියාවට නංවමින් අර්බුදයේ සියලු බර මහජනතාව මත පටවමින් සිටී. තම ජීවන කොන්දේසි මුලුමනින්ම විනාශ කෙරෙන එම ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත කන්ඩායම් අතරින් මතුවීමට නියමිත අරගල සම්බන්ධයෙන් පාලක පන්තියට පවතින්නේ ඉමහත් භීතියකි. එවැනි අරගලයක් සම්බන්ධයෙන්‍ යම් පක්ෂපාතිත්වයක් හෝ ප්‍රකාශයට පත්වීමක් හෝ සම්බන්ධයෙන් ඔවුන් එකහෙලාම සතුරු ආකල්පයක් දරන්නේ එබැවිනි.

වැඩෙන පන්ති අරගලයට එරෙහිව ජනාධිපති වික්‍රමසිංහ පන්තියුද්ධයේ පිලිවෙත් වේගවත් කරමින් ආඥාදායකත්වයක් දෙසට ගමන්කරමින් සිටියි. එමෙන්ම, පන්ති ගැටුම් උග්‍රවන තත්වයක රාජ්‍ය යන්ත්‍රයේ සියලු මර්දනකාරි බලවේග ආඥාදායක පාලනයක පෙර ගමන්කරුවන්නේ එය ධනපති පාලක පන්තියේ ආරක්ෂකයා ලෙස සිටින බැවිනි.

රාජ්‍ය මර්දනය දිගේලි කිරීමේදී ප්‍රජාතන්ත්‍ර-විරෝධී රුදුරු අනපනත් ‍යහමින් යොදාගන්නා ආන්ඩුව නව අනපනත් ද ස්ථාපිත කරමින් සිටී. මහජන නැගිටීම තුල ප්‍රධාන ක්‍රියාකාරිකයකුවූ මුදලිගේ දීර්ඝ කාලයක් තිස්සේ අත්අඩංගුවේ තබාගැනීම සඳහා යොදාගෙන ඇති 'ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත' එයින් ප්‍රමුඛතම එකකි.

මෑතදී ම ඒඅතරට එක්වූයේ, පසුගිය 18වන දා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද පුනරුත්ථාපන කාර්යාංශ පනතයි. ඊනියා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පවත්වාගෙනයාම සඳහා මිලිටරියට බලය ලබාදෙන මෙම පනත මගින්, කම්කරුවන්, තරුනයන් සහ අනෙකුත් දේශපාලන විරුද්ධවාදීන්, මිලිටරිය විසින් පාලනය කරන රැඳවුම් කඳවුරුවල සිරකර තැබීමේ හැකියාව ලබාදෙනු ඇත.

පංති අරගල මඩිනුවස්‍ රටපුරා හමුදාව සීරුවෙන් තබාඇති ජනාධිපති වික්‍රමසිංහ, වර්ජන ඇතුලු කාර්මික ක්‍රියා තහනම් කිරීම සඳහා අත්‍යාවශ්‍ය සේවා පනත යලියලිත්‍ යොා දාගනී.

කෙසේවෙතත්, ආන්ඩුවේ කප්පාදු දැරිය නොහැකි මට්ටමක් කරා එලඹ ඇති තතුයටතේ, වැඩ වර්ජන හා විරෝධතා මගින් කම්කරු පන්තිය මෙම මර්දනකාරී පියවරයන්ට අභියෝග කර ඇත. පෞද්ගලීකරනයට එරෙහිව ටෙලිකොම් සහ රක්ෂන සේවකයන්ගේ එක්දින වැඩවර්ජනයක් සහ දෙසැම්බර් මාසයේ අතිකාල දීමනා කපාහැරීමට එරෙහිව ජාතික තැපැල් සේවක වර්ජනයක් ද මේවාට ඇතුලත් විය. ජනවාරි මස මුලදී, සෞඛ්‍යසේවකයින්, වැටුප් වැඩිවීම් සහ පුද්ගලික නය සඳහා ඉහල පොලී අනුපාත කපාහැරීමට ඉල්ලා වැඩ වර්ජනයක නිරත විය. ගෙවුනු දින කිහිපය තුල, තම වැටුපෙන් දැවැන්ත ලෙස බදු අයකර ගැනීමට එරෙහිව දහස් සංඛ්‍යාත වෘත්තිකයෝ සහ වරාය කම්කරුවෝ අරගලයට පිවිසියහ.

කම්කරු පන්තියේ සටන්කාමීත්වය තිබියදී වුවත් අභියෝගය ලෙස පවතින්නේ ඒ හෝ මේ ධනපති මෙන්ම ව්‍යාජ-වාම පක්ෂ විසින් ප්‍රධාන වශයෙන්ම මෙහෙයවනු ලබන වෘත්තීය සමිති නායකත්වය කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් වලක්වාගෙන සිටීමයි. දැන් ප්‍රකාශයට පත්කෙරී ඇති පලාත්පාලන මැතිවරනය තුල තරඟකරන ජනතා විමුක්ති පෙරමුන ද ඇතුලත් එම ධනපති පක්ෂ මෙන් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ-වමේ පක්ෂ අතර උපායික මතභේද හැරුනුවිට ගැඹුරුවන ආර්ථික අර්බුදයේ සම්පූර්න බර මහජනතාව මත පැටවීම සම්බන්ධයෙන් ඔවුන් මුලුමනින්ම එකඟ ය.

එබැවින් වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ තන්ත්‍රය මෙන්ම, මෙම සියලු පක්ෂ ද බලයට පැමිනිය හොත් සියලු මහජන විරෝධතා නිර්දය ලෙස මර්දනය කරනු ඇත.

කම්කරු පන්තියට සහ දුප්පතුන්ට තම සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ, ධනපති ආන්ඩුවට, අනෙකුත් සියලු ධනපති පක්ෂවලට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන අරගලයක් මගින් පමනක් බව අවධාරනය කරන සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීම සඳහා ග්‍රාමීය දුගීන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන්වදී.

එම ව්‍යාපාරය සියලු ධනේශ්වර පක්ෂ වලින් හා ඔවුන්ගේ වෘත්තීය සමිතිවලින් සහ ව්‍යාජවාම නියෝජිතයන්ගෙන් ස්වාධීනව සෑම වැඩපොලකම, කම්හලකම, වතුකරයකම, අසල්වැසි ප්‍රදේශයකම සහ ග්‍රාමීය ප්‍රදේශයකම ගොඩනගා ගතයුතු කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු මත පදනම් වේ.

Loading