ඉදිරිදර්ශන

භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම සඳහා සිරියාවට එරෙහිව එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක වහා ඉවත් කල යුතුයි

මෙය, Aid to earthquake victims requires the immediate lifting of US sanctions against Syria යන හිසින්, 2023 පෙබරවාරි 08 දා පල වූ ලිපියේ පරිවර්තනයකි.

තුර්කියේ සහ සිරියාවේ බටහිර දේශසීමා කලාපයට බලපෑ රිච්ටර් මාපක 7.8 ක විනාශකාරී භූමිකම්පාවකින් හා එහි පසු කම්පනවලින් දිනකට පසුව, මියගිය සංඛ්‍යාව 7,700 ඉක්මවා ඇත. මුදාගැනීමේ සහ යතා තත්වයට පත්කිරීමේ ප්‍රයත්නයන් දිගටම පවතින බැවින් එම සංඛ්‍යාවන් තවදුරටත් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම භූමිකම්පාව කලාපයේ මෙතෙක් වාර්තා වී ඇති ප්‍රබලතම භුමිකම්පාවන්ගෙන් එකකි. එය වසර 25 කට ආසන්න කාලයක් තුල සිදු වූ මාරාන්තිකම භූමිකම්පාවයි.

තුර්කියේ ප්‍රාන්ත 10ක් අලලා ගත් භූමිකම්පාවෙන් ගොඩනැගිලි 11,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇත. ඒවා අතර ඉතා උස් ගොඩනැඟිලි සහ රෝහල් ද වේ. සමාජ මාධ්‍යවල පලකරන ලද වීඩියෝවල දැක්වෙන්නේ මහල් නිවාස එකවරම හා සම්පුර්නයෙන් ම කඩාවැටී දුහුවිලි බවට පත්වන ආකාරයයි. වයඹදිග සිරියාවේ, කඩා වැටුනු නිවාසවල සුන්බුන් යට, එහි නිවැසිව සිටි පවුල් සියල්ලම සිරවී සිටියහ. රටවල් දෙකෙහිම දස දහස් ගනනක් තුවාල ලබා ඇති අතර නිවාස අහිමි වූ ලක්ෂ ගනනක් ශීත ඍතුවේ දී දිවි ගලවා ගැනීමේ අරගලයක යෙදී සිටිති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞස) තක්සේරුවට අනුව මිලියන 1.4ක දරුවන් ඇතුලුව මිලියන 23 ක ජනතාවක් සෘජුවම භූමිකම්පාවේ බලපෑමට ගොදුරු වී ඇත. ලෝසෞස අධ්‍යක්ෂ ජනරාල් ට්‍රෙඩ්‍රෝස් අධනෝම් ග්‍රෙබ්‍රියේයස් ප්‍රකාශයක් නිකුත් කරමින් “එය දැන් කාලයට එරෙහි තරඟයක්' බව සඳහන් කර තිබේ. 'සෑම මිනිත්තුවක්ම, ගෙවී යන සෑම පැයක්ම, දිවි ගලවා ගත් අය පනපිටින් සොයා ගැනීමේ අවස්ථාව අඩු වේ.' ලෝසෞස හි ඇස්තමේන්තුවකට අනුව, මරන සංඛ්‍යාව 30,000 දක්වා ඉහල යා හැකිය.

මෙම ව්‍යසනය නොතකා, බයිඩන් පරිපාලනය සිරියාවට එරෙහිව පනවා ඇති එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරයි. එය සහන සැපයුම්වලට දැඩි ලෙස බාධා කරයි. එයින් අදහස් කෙරෙන්නේ තවත් බොහෝ සිරියානුවන් ව්‍යසනයෙන් මිය යනු ඇති බවයි. අසාද් ආන්ඩුවට එහි යතා තත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්හි දී කවර හෝ මානුෂීය ආධාරයක් සැපයීමට වොෂින්ටනය අදහස් කරන්නේනම් එය ඉතා අඩුවෙනි. ඒ වෙනුවට, බයිඩන් පරිපාලනය මෙම ව්‍යසනය දැක ගන්නේ එහි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම යලි පන ගැන්වීමට සහ එහි කුලීකාර හමුදාවන්ට තවත් මුදල් හා ආධාර සැපයීමට අවස්ථාවක් ලෙස බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කලේ ය.

“දොලොස් වසරක් තුල එහි ජනතාව ම්ලේච්ඡත්වයට පත් කල ආන්ඩුවක් වෙත ලඟා වීමට අපට දැන් හැකිවීම ප්‍රතිවිරෝධී නොවේ නම් බෙහෙවින් උත්ප්‍රාසාත්මකය. මෙම ඛේදජනක භූමිකම්පා වලින් පසුව උපකාර ලබා දිය හැකි මානුෂීය පාර්ශවකරුවන් අපට එහි සිටී' යැයි, ප්‍රයිස්, සඳුදා දිනයේ වාර්තාකරුවන්ට පැවසීය. තම ක්‍රියාවන් තවතවත් දුක් වේදනාවන්ට හා මරනයන්ට හේතු වන බව දැනදැනත් බයිඩන් පරිපාලනය සිරියානු ආන්ඩුවට ආධාර සැපයීම නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීම, 1996 දී රාජ්‍ය ලේකම් මැඩ්ලීන් ඕල්බ්‍රයිට්ගේ ප්‍රකාශය සිහිපත් කරයි. බැග්ඩෑඩයට එරෙහි එක්සත් ජනපද ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරාක ලමුන් 500,000 ක් මියයාම, පාලන තන්ත්‍රය වෙනස් කිරීම ඉදිරියට ගෙන යාමේදී 'වැදගත්' බව ඇය එහි දී සඳහන් කලා ය.

මේ අතර, ජනාධිපති ජෝ බයිඩන් ඔහුගේ සඳුදා ප්‍රකාශයේදී තුර්කියට “ඕනෑම සහ අවශ්‍ය සියලු ආධාර” ලබා දෙන බවට පොරොන්දු විය. කෙසේ වෙතත්, බයිඩන් පරිපාලනය එහි භු-දේශපාලන උත්සුකතාවයන් වෙනුවෙන්, විශේෂයෙන් රුසියාවට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අන්කාරාව ට (තුර්කි ආන්ඩුවට) පීඩනය යෙදීම සඳහා ව්‍යසනය ගසාකෑමට උත්සාහ කරනු ඇත.

1952 සිට තුර්කිය සාමාජිකයෙකු වන නෙටෝ මිලිටරි සන්ධානයට ෆින්ලන්තය සහ ස්වීඩනය කඩිනමින් ඇතුල්කර ගැනීම සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිසිප් තයිප් එර්ඩුවන් ගේ ආන්ඩුව බාධාවක් වී ඇත. තුර්කිය, රුසියාව සමග ශක්තිමත් ආර්ථික සහ මිලිටරි සම්බන්ධකම් පවත්වාගෙන යයි. එක්සත් ජනපදය හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන්, ව්‍යසනකාරී න්‍යෂ්ටික යුද්ධයකට තර්ජනය කෙරෙන යුද උත්සන්නියක් සහිතව ඉදිරියට යද්දී පවා, යුක්‍රේනයේ ගැටුමට මැදිහත්කරුවෙකු වීමට එර්ඩුවන් උත්සාහ කර ඇත. වොෂින්ටනය තුල සැලසුම් කෙරුනු බවට සියලු මුද්‍රාවන් සහිත හමුදා කුමන්ත්‍රනයකින් 2016 දී, අර්ඩුවන් දිවි ගලවා ගත් අතර, තුර්කිය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස සලකන සිරියාවේ සහ ඉරාකයේ කුර්දි ජාතිකවාදී බලවේග සමඟ එක්සත් ජනපදය මිලිටරි සන්ධානයක් පවත්වාගෙන යයි.

එර්ඩුවන් සහ ඔහුගේ පූර්වගාමීන් මෙම වෙනස්කම් නොතකා, සිරියාව ඇතුලු මැද පෙරදිග අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වල දී ප්‍රධාන භූමිකාවක් ඉටු කලේ ය. එය සිවිල් යුද්ධයේදී අසාද් විරෝධී ඉස්ලාමීය කන්ඩායම්වලට ද සහාය දුන් අතර “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ' මුවාවෙන් කුර්දි හමුදාවන්ට එරෙහිව හමුදාව යෙද වී ය.

අවසාන වශයෙන්, භූමිකම්පා ව්‍යසනය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කුහකකම හෙලිදරව් කරන අතර 'මානව හිමිකම්' ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය ලොව පුරා මැදිහත් වන බවට වූ ප්‍රබන්ධය පුපුරවා හැරේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය අද ලෝකයේ සිටින දැවැන්තම සමූහ මිනීමරුවා වන අතර, එය කොතැනක පා තැබුවත් මානව හිමිකම් සහ මිනිස් ජීවිතය පාගා දැමීමට සිය දැවැන්ත මිලිටරි බලය යොදා ගනී.

එය 1990 ගනන්වල සිට ඉරාකය සහ බෝල්කන් ප්‍රදේශයේ සිට ඇෆ්ගනිස්ථානය, ලිබියාව, යේමනය, සිරියාව සහ සෝමාලියාව දක්වා දියත් කර ඇති යුද්ධ, මිලියන ගනනක් මරා දමා, මිලියන දස ගනනක් අවතැන් කර ඇති අතර, ස්වභාවික විපත් වල ආපදාවන් ට එරෙහිව සමස්ත සමාජයම අනාරක්ෂිතව තබා ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ඉරානයට එරෙහිව සහ කලාපය පුරා යුද්ධයට සූදානම් වෙමින් මැද පෙරදිග එහි මිනීමරු මැදිහත්වීම් තව දුරටත් තීව්‍ර කරද්දී මෙම යුද්ධ රුසියාවට එරෙහි විවෘත යුද්ධයක් බවට පරිවර්තනය වී ඇත.

ඔබාමා පරිපාලනය යටතේ ආරම්භ කෙරී 2011 සිට, එක්සත් ජනපදය ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලන තන්ත්‍රය පෙරලා දැමීමේ අරමුනින් සිරියාවේ සිවිල් යුද්ධයක් අවුලුවා ඇත. ඉස්ලාමීය මිලීෂියාවන් සන්නද්ධ කිරීමෙන්, ඔවුනට අරමුදල් සම්පාදනය කිරීමෙන් සහ ආර්ථික සම්බාධක හරහා දඬුවම් පැමිනවීමෙන්, වොෂින්ටනය සිරියානු සමාජය සුනුවිසුනු කර ඇති අතර, සියලු නගර සුන්බුන් බවට පත්කර තිබේ.

සරනාගතයින් මිලියන 6.7 ක් ඇතුලුව සිරියානුවන් මිලියන 13 ක් අවතැන් කර ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් භූමිකම්පාවට ලක් වූ කලාපයේ දේශසීමා දෙපස ප්‍රාථමික මට්ටමේ කඳවුරුවල සහ ප්‍රමානවත් නොවන නිවාසවල වාසය කරති. දශකයකට වැඩි කාලයක් පුරා පවතින යුද්ධයෙන් මිලියන භාගයකට වැඩි සිරියානුවන් මරා දමා ඇත.

මාධ්‍ය විසින් මෙම තත්වය මුලුමනින්ම පාහේ වහංගුකොට ඇති තතු යටතේ, 900 ක් පමන වූ එක්සත් ජනපද හමුදා භට පිරිසක්, දකුනු සිරියාවේ අල් ටාන්ෆ් හමුදා කඳවුර සහ රටේ නැගෙනහිර තෙල් බිම් දෙකඩ කරමින් වාඩි ලා සිටිති. යුද්ධයෙන් හා දැන් භූමිකම්පාවෙන් විනාශ වූ යටිතල පහසුකම් යලි ගොඩනැංවීම සඳහා අවශ්‍ය තීරනාත්මක සම්පත් වලට ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ එමගින් අවුරා ඇත.

සිරියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක වහාම ඉවත් කල යුතු අතර, එහි වාඩිලාගැනීම සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුම් අවසන් කල යුතුය. භූමිකම්පාවලින් ජනගහනය ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් මත හදිසි සහන සැලසීමට සහ යටිතල පහසුකම් යලි ගොඩනැගීම සඳහා සමාජ සම්පත් බලමුලු ගැන්වීම සමඟ මෙය ඒකාබද්ධ කල යුතුය. මෙම ප්‍රයත්නය සඳහා ගෙවිය යුත්තේ යුද්ධය සඳහා වියදම් කරන සහ ධනවතුන්ගේ බැංකු ගිනුම්වලට ගලා යන අතිවිශාල මුදල්වලිනි. එවන් ප්‍රගතිශීලී වැඩපිලිවෙලක් සඳහා යුද්ධයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි කම්කරු පන්ති ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

Loading