ශ්‍රී ලංකාවේ ආන්ඩුව පලාත් පාලන මැතිවරනයට එල්ල කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයට විරුද්ධ වනු!

[මෙය Oppose the Sri Lankan government’s anti-democratic attack on local elections යන මැයෙන් 2023 ‌පෙබරවාරි 18 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ආන්ඩුව මැතිවරනය සඳහා වෙන්කරන ලද මුල්‍ය ප්‍රතිපාදන ලබා නොදී ඡන්ද පත්‍රිකා මුද්‍රනය අවහිර කිරීම මගින් මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරනය අත්හිටුවීමේ ප්‍රයත්නයන් වේගවත් කර ඇත. සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම නිර්ලජ්ජිත ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවර තරයේ හෙලා දකියි.

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වමේ, 2023පෙබරවාරි 8 බදාදා, කප්පාදු ප්‍රතිපත්ති දේශනය පැවැත්වීමට පාර්ලිමේන්තුවට පැමිනෙමින්. මැද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන. [AP Photo/Eranga ] [AP Photo/Eranga Jayawardena]

අඟහරුවාදා, පලාත් පාලන මැතිවරනය සඳහා තැපැල් ඡන්දය කල් දැමීමට මැතිවරන කොමිෂන් සභාවට (මැකො) බල කෙරුනේ ආන්ඩුව විසින් අවශ්‍ය මුදල් නිදහස් කර නොතිබූ බැවිනි. එදින ඡන්ද පත්‍රිකා බෙදා හැරීමට නියමිතව තිබූ නමුත් මැකො විසින් මුලු මුද්‍රන වියදම වන රුපියල් මිලියන 410 ගෙවන තෙක් ඒවා මුද්‍රනය කිරීම රජයේ මුද්‍රනාලය ප්‍රතික්ෂේප කලේ ය. පෙර නොවූ විරූ මෙම තීරනය පැහැදිලිවම ආන්ඩුවෙන් ලැබෙන උපදෙස් මත ගනු ලැබුවකි.

මාධ්‍ය වාර්තාවලට අනුව, ජනාධිපති වික්‍රමසිංහ ඊට පෙරාතුව රජයේ මුද්‍රනාලයාධිපති ගංගානි ලියනගේ, නීතිපති සංජය රාජරත්නම් සහ භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන හමුවිය. ඡන්ද පත්‍රිකා මුද්‍රනය නතර කරන ලෙස ලියනගේට නියෝග කර ඇත. පෙබරවාරි 9දා, මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති පිලිබඳ ඇමතිවරයා ද වන වික්‍රමසිංහ, “අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා පමනක් මුල්‍ය ප්‍රතිපාදන සපයන ලෙස” භාන්ඩාගාර ලේකම්ට උපදෙස් දුන්නේය. මෙම නියෝගයෙන් මැතිවරන කොමිෂන් සභාව බැහැර කර ඇත. විදේශ විනිමය හිඟය සඳහන් කරමින්, මහ බැංකු අධිපතිවරයා ද මැතිවරන කටයුතු සඳහා ප්‍රමානවත් ඉන්ධන සහ විදුලිය ලබා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මැතිවරන කොමිසම කල ඉල්ලීම, ප්‍රතික්ෂේප කර තිබේ.

මූල්‍ය දුෂ්කරතා සඳහන් කරමින් ආන්ඩුව එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවර සාධාරනීකරනය කිරීමට උත්සාහ කරයි. එය ප්‍රෝඩාවකි. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද රජයේ 2023 අයවැය මගින් පලාත් පාලන මැතිවරනය සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කර ඇත. පලාත් පාලන මැතිවරනයෙන් පරාජයවීමක් වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව බිඳ වැටීමට ක්ෂනිකව තුඩු නොදුන්නත් එහි ප්‍රතිඵලය දේශපාලන අස්ථාවරත්වය ගැඹුරු කරනු ඇති බවටත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමුඅ) ඩොලර් බිලියන 2.9 ක හදිසි ඇපදීමේ නය සඳහා එහි සාකච්ඡා අඩපන කරනු ඇති බවටත් එය බිය වෙයි.

පලාත් පාලන මැතිවරනය අත්හිටුවීමේ නවතම දේශපාලන උපාමාරුව අසාර්ථක උත්සාහයන් කිහිපයකින් එකකි. 2022 පෙබරවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු රජය විසින් කල් දමන ලදී.

ජනවාරි 6 වැනි දින, වික්‍රමසිංහ මැතිවරන කොමිසමේ සාමාජිකයන් හමුවී, මැතිවරනය කල් දැමීම සඳහා ඔවුන් පෙලඹවීමට උත්සාහ කලේ ය. ජනවාරි 9 වැනිදා කැබිනට් මන්ඩලය රැස්වූ අතර පසුදින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බන්ඩාර හපුහින්න විසින් මැතිවරනයට තරග කරන පක්ෂ හා ස්වාධීන කන්ඩායම්වල ඇප මුදල් භාර නොගන්නා ලෙසට නියෝග කරමින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛයක් යැවීය. දිස්ත්‍රික් ලේකම්වරු මැතිවරනවල දී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරති. ඒ කෙරෙහි මතු වූ මහජන විරෝධයට ප්‍රතිචාර වශයෙන් පසුව නියෝගය ඉවත් කර ගන්නා ලදී.

මැතිවරන කොමිසමේ විවිධ නිලධාරීන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඔවුන්ට දේශපාලන බලපෑම් ද එල්ල විය. එක් කාන්තා නිලධාරිනියක් ඉවත් වූ අතර මැකො සාමාජිකයින් දෙදෙනෙකු - එස්.බී. දිවාරත්න සහ එම්. එම්. මොහොමඩ්- නාඳුනන පුද්ගලයන් විසින් තමන්ට දුරකථන ඇමතුම් දෙමින් කොමිසමෙන් අස් නොවුනහොත් ඝාතනය කරන බවට තර්ජනය කල බව පොලිසියට පැවසූහ.

පලාත් පාලන මැතිවරනය පැවැත්වීමට මැතිවරන කොමිෂන් සභාව ගත් තීරනයට එරෙහිව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරනයට රිට් පෙත්සමක් ගොනු කල විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර අඟහරුවාදා යලි මෝසමක් ඉදිරිපත් කරමින් මැතිවරනය නතර කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.

මැතිවරනය සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස කොමිසම මුදල් අමාත්‍යංශයේ හා භාන්ඩාගාරයේ ලේකම්වරුන් ට ලිඛිතව දැනුම් දී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව දේශපාලන පක්ෂ නියෝජිතයින් සමඟ අඟහරුවාදා පැවති රැස්වීමක් අමතමින් මැතිවරන කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.

පලාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වන කිසිදු අධිකරන නඩුවකදී නීතිපතිවරයා කොමිසමට සහය නොදෙන බවත්, ඒ සඳහා පෞද්ගලික නීතිඥයින් යොදා ගැනීමට කොමිසමට සිදුවී ඇති බවත් ඔහු එම රැස්වීමේදී සඳහන් කලේ ය.

සමගි ජන බලවේග‌ය (සජබ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ, ව්‍යාජ වාම සංවිධානයන් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ආදී විවිධ විරුද්ධ පක්ෂවල නියෝජිතයෝ මැතිවරනය පැවැත්වීමට රජය පොලඹවා ගැනීමට උත්සාහ කිරීමේ සහ රජයට බලපෑම් කිරීමේ විවිධ යෝජනා ඉදිරිපත් කලහ.

සජබ, ජවිපෙ සහ පෙසප අධිකරන ක්‍රියාමාර්ග යෝජනා කල අතර එසප තරඟ කරන සියලුම පක්ෂවලින් ඒකාබද්ධ ලිපියක් ආන්ඩුවට ඉදිරිපත් කිරීමට සහ ආන්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විරෝධතාවක් යෝජනා කලේ ය. මෙම යෝජනාවල අරමුන වන්නේ ශ්‍රීලපොපෙ-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරනු ලබන ප්‍රහාරවලට එරෙහිව නැගෙන මහජන විරෝධය ධනේශ්වර පාර්ලිමේන්තු රාමුව තුල සිරකර තබා ගැනීමයි. ඔවුන් සැබවින් ම බිය වන්නේ පාලක සංස්ථාපිතයට හා ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් පැන නැගීම ගැන ය.

මැතිවරනය කල්දැමීමට ආන්ඩුව දරන අඛන්ඩ උත්සාහය, එහි රුදුරු කප්පාදු පියවරයන්ට එරෙහිව අරගලයට එලැඹෙමින් සිටින වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන පුලුල් ප්‍රහාරයේ කොටසකි.

පෙබරවාරි 9දා, 50,000කට අධික කම්කරුවෝ ජාමූඅ විසින් විධානය කරන ලද ආන්ඩුවේ පිලිවෙත්වලට එරෙහිව විරෝධතා දැක්වූහ. ඊට පෙරාතුව දෙසැම්බර් සහ ජනවාරි මාසවල රාජ්‍ය අංශයේ කම්කරුවෝ වැටුප් වැඩිකිරීම් ඉල්ලා සහ පුද්ගලීකරනයට එරෙහිව වර්ජන හා විරෝධතාවල නිරත වූහ. මෙම කාර්මික ක්‍රියාවන් සංඥා කරන්නේ පසුගිය වසරේ අප්‍රේල් සහ ජූලි මාසවල රාජපක්ෂ ආන්ඩුව නෙරපා හරින ලද මහජන විරෝධතා වලින් පසුව කම්කරු පන්ති අරගලයේ පුනර්ජීවනයකි.

කෝවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය විසින් තීව්‍ර කර ඇති දැවැන්ත ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුව, ජාමුඅ විධානයන් ක්‍රියාවට දැමීම හරහා එහි සම්පූර්න බර කම්කරු පන්තිය සහ ගම්බද දුගී ජනතාව මත පැටවීමට අධිෂ්ඨාන කරගෙන සිටී.

ආන්ඩුව පලාත් පාලන මැතිවරනය කල් දැමීමට දරන උත්සාහයට සජබ සහ ජවිපෙ විරුද්ධ වන අතර ම, ඔවුන් බලාපොරොත්තු වන්නේ රජයට එරෙහිව නැගෙන මහජන කෝපය ගසාකමින් ඉක්මනින් මහ මැතිවරනයක් ඉල්ලා නව ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීමටය. මෙම පක්ෂවලට වික්‍රමසිංහ-ශ්‍රීලපොපෙ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සමග මූලික වෙනස්කම් නොමැති අතර ඔවුන් බලයට පත්වුවහොත් ජාමූඅ කප්පාදු පිලිවෙත් නොපමාව කම්කරු-පීඩිත ජනයා මත පටවනු ඇත.

කම්කරු පන්තියට සහ ගම්බද දුගීන් ට තම සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කර ගත හැක්කේ ශ්‍රීලපොපෙ-වික්‍රමසිංහ පාලනයට සහ දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් සියලුම පක්ෂවලට එරෙහි දේශපාලන අරගලයක් හරහා පමනි. ධනවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ කම්කරුවන් හා දුගීන් මුහුන දෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා වන අරගලය සමාජවාදී ප්‍රතිපත්ති සඳහා අරගලයක් සමග බැඳී ඇත.

සසප පලාත් පාලන මැතිවරනයට තරඟ කරන්නේ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර සහ තුන්වන අධිරාජ්‍යවාදී යුද්ධයක තීව්‍ර වන අන්තරායට එරෙහිව සටන් කිරීමට ය. අවශ්‍ය වන්නේ සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ වෘත්තීය සමිතිවලින් සහ ව්‍යාජ වාම නියෝජිතයන්ගෙන් ස්වාධීනව, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනය කරන්නේ එම නිසාය. සෑම වැඩපලකම, කම්හලකම, වත්තකම සහ අසල්වැසි ප්‍රදේශයකම සහ ගම්බද ප්‍රදේශවල එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුය. මෙම සම්මේලනය කම්කරු පන්තියේ අරගලයට නායකත්වය දෙන අතර ගම්බද දුගීන් බලමුලු ගන්වනු ඇත. සමාජවාදී ප්‍රතිපත්ති වලට කැපවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් මගින් ධනේශ්වර පාලනය ප්‍රතිස්ථාපනය කල යුතුය.

සසප පලාත් පාලන ආයතන තුනක් සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරයි: කොලඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාව, මධ්‍යම වතුකරයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාව සහ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාව. අපගේ මැතිවරන ව්‍යාපාරයට සහයෝගය දෙන ලෙසත්, සියල්ලටත් වඩා, සසපට බැඳෙමින් එය මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස ගොඩනගන ලෙසත් අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.

Loading