වික‍්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව 50,000 කට අධික ශ‍්‍රී ලාංකික කම්කරුවෝ වැඩවර්ජන හා විරෝධතා පවත්වති

[මෙය Over 50,000 Sri Lankan workers strike and protest against Wickremesinghe government’s austerity measures මැයෙන් 2023 ‌පෙබරවාරි 09 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

වික‍්‍රමසිංහ ආන්ඩුව පනවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද සමාජ ප‍්‍රහාරවල නවතම වටයට එරෙහිව සටන් කිරීම සඳහා 50,000 කට අධික කම්කරුවන් ඊයේ දිවයින පුරා පැවති වැඩ වර්ජන හා විරෝධතා වලට එක්වූහ. මෙම ක්‍රියාව ප්‍රධාන වශයෙන් වැටුප් මත පැනවෙන නව බදු මත කේන්ද්‍රගත වූ අතර, විරෝධතාකරුවෝ ජීවන වියදම දරාගත නොහැකි ලෙස ඉහල දැමීම ද හෙලා දුටුවහ.

2023 පෙබරවාරි 8 වැනි දින කොලඹ කොටුවේ ඛනිජ තෙල් සංස්ථා කම්කරුවන්ගේ විරෝධතාවයක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකුවල සේවකයන් 30,000 ක් පමන සහ රජයට අයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කම්කරුවන් දහස් ගනනක්, වරුවක වැඩ වර්ජනයක් පැවැත්වීය. රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 5,000 ක් සහ රාජ්‍ය අංශයේ රෝහල්වල වෛද්‍යවරු 20,000 ක් පමන එක්දින වැඩවර්ජනයක් සඳහා වැඩ නැවැත්වූහ. පිලිකා ප්‍රතිකාර, මාතෘ වාට්ටු, හදිසි සේවා සහ ලමා වාට්ටුවල වෛද්‍යවරු වර්ජනයට සහභාගි වූයේ නැත.

වරායේ කම්කරුවන් 6,000 ක් පමන වරුවක් අකුරට-වැඩ කල අතර බිඳවැටීම් වලට සහභාගී වන්නන් හැර, ලංකා විදුලි බල මන්ඩලයේ (ලංවිම) කම්කරුවන් දහස් ගනනක් අසනීප නිවාඩු ක්‍රියාමාර්ගයකට සහභාගී වූහ.

කොලඹ, වරාය කම්කරුවන් සහ ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ සේවකයින් දහස් ගනනක් ඉහල යන උද්ධමනයට එරෙහිව කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත දිවා ආහාර පැයේදී විරෝධතාවයක් පැවැත්වූහ. ඔවුන් ආන්ඩුවෙන් ඉල්ලා සිටියේ ආදායම් බදු වැඩිකිරීම ඉවත් කරන ලෙසයි. ඒ සමගම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තීය සමිති කිහිපයක් විසින් සංවිධානය කරන ලද පැයක උද්ඝෝෂනයක් සහ ලංවිම සේවකයින් 4000 ක් පමන ලංවිම මූලස්ථානයෙන් පිටත විරෝධතාවයක් පැවැත්වූහ. එදින පස්වරුවේ කොලඹ හයිඩ් පාර්ක්හි වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ඉංජිනේරුවන් සහ අනෙකුත් වෘත්තිකයන් 4000 කට ආසන්න පිරිසක් විරෝධතාවයේ නිරත වූහ.

2023 පෙබරවාරි 8 දින ආදායම් බදු වැඩි කිරීමට එරෙහිව වරාය සේවකයින් කොලඹ කොටුවේ උද්ඝෝෂනයක් පවත්වයි

කම්කරු පන්තියට එරෙහිව රාජ්‍ය ප්‍රචන්ඩත්වය මුදා හැරීමට එහි සූදානම පෙන්නුම් කරමින්, වික්‍රමසිංහ ආන්ඩුව කොලඹ විරෝධතා ස්ථාන අසල ජල ප්‍රහාරක රථවලින් සන්නද්ධ කැරලි මර්දන පොලිස් භටයන් ඇතුලු සිය ගනනක් පොලිස් භටයින් යෙදවීය. ආන්ඩුව හමුදාව ද කොටුව ප්‍රදේශයට යැවූ අතර ඔවුන් සිටුවා තිබුනේ තරමක් ඈතින් රඳවා තිබිනි.

ඊයේ වැඩ වර්ජන සහ විරෝධතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ ආන්ඩුවට එරෙහිව පසුගිය වසරේ අගභාගයේදී ආරම්භ වූ කම්කරුවන්ගේ වැඩෙන ව්‍යාපාරයේ නවතම අදියර වේ.

දෙසැම්බර් මස මුලදී, ශ්‍රී ලංකා ටෙලිකොම්, රක්ෂන සහ බැංකු සේවකයින් පුද්ගලීකරනය සහ අනෙකුත් කප්පාදු ප්‍රහාර වලට එරෙහිව කොලඹදී විරෝධතා පැවැත්වීය. ජනවාරි 9 දා රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවකයින් දහස් ගනනක් වැටුප් වැඩිකිරීම් ඉල්ලමින් සහ කප්පාදු පිලිවෙත්වලට විරුද්ධ වෙමින් එක්දින වැඩවර්ජනයක් පැවැත්වීය. ජනවාරි මැද භාගයේදී ඛනිජ තෙල් සංස්ථාවේ කම්කරුවන්, බැංකු සේවකයන් මෙන්ම වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් දස දහස් ගනනක් විරෝධතා සතියක් පැවැත්වීය. මෙය සමගම ජනවාරි 25 දා, 5,000 ක් වරාය කම්කරුවන්, රුපියල් 100,000 ක මාසික වැටුපෙන් ආරම්භ වන සියයට 6 ත් 36 ත් අතර ප්‍රමානයක් අඩු කරන ආන්ඩුවේ උපයන විට ගෙවීමේ බද්දට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදී.

ජාමූඅ විසින් නියම කරන ලද වික‍්‍රමසිංහ ආන්ඩුවේ පියවරයන්ට, රැකියාවලින් දොට්ට දැමීම සහ වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීම සඳහා රාජ්‍ය අංශයේ ව්‍යවසායන් පුද්ගලීකරනය සහ ප‍්‍රතිව්‍යුහගත කිරීම; සහනාධාර ඇතුලු රජයේ වියදම් තියුනු ලෙස අඩු කිරීම; සහ විදුලිය, ජල ගාස්තු සහ අනෙකුත් උපයෝගිතා තවදුරටත් වැඩි වීම ද ඇතුලත් ය.

ආන්ඩුවේ සමාජ ප්‍රහාරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කම්කරුවන් බලගතු ලෙස තම උනන්දුව පෙන්නුම් කර ඇති මුත් වෘත්තීය සමිති කම්කරුවන් හුදෙකලා කරමින් රටපුරා කාර්මික හා දේශපාලන අරගලයක් වැලැක්වීමේ අපේක්ෂාවෙන්, විරෝධතා ආදායම් බද්දට එරෙහිව පමනක් සීමා කර ඇත.

උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම සඳහා පොලිසිය කොටුව දුම්රිය ස්ථානයට පැමිනි විට, කෝපයට පත් විරෝධතාකරුවන් ඔවුන් හෙලා දුටුවහ. එක් කම්කරුවෙක් කෑගැසුවේ “ඔබ අපට ජල ප්‍රහාරවලින් පහර දුන්නොත් අපි වරායේ වැඩ නවත්වනවා” යනුවෙනි. තවත් සේවකයෙක් පැවසුවේ “ඔබ පහර දුන්නොත්, ඊලඟට කුමක් සිදුවේදැයි අපි බලමු.” ඔවුන් ක්ෂනික කාර්මික පසුබෑමක් ඇවිස්සීමට ඉඩ ඇති බවට කනස්සල්ලට පත් වූ පොලිසිය ඉදිරියට ගියේ නැත.

වෘත්තීය සමිති පාලනයෙන් පිටත කම්කරුවන්ගේ විරෝධය වර්ධනය විය හැකි බවට බියෙන්, සමස්ත ලංකා පොදු වරාය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන කෝපයට පත් කම්කරුවන් සන්සුන් කිරීමට මැදිහත් විය. මෙම සංගමය ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිතය.

“මෙම ක්‍රියාකාරකම් තවමත් සිදුවෙමින් පවතිනවා. ඔබේ කෝපය පිට කිරීමට අපි ඔබට අවස්ථාවක් ලබා දෙන්නවා. කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වෙන්න එපා,” ගොරකාන කනස්සල්ලෙන් කම්කරුවන්ට කීවේය.

පෙබරවාරි 17 වැනිදා වන විට වික්‍රමසිංහ නව බදු ප්‍රතිපත්තිය අහෝසි නොකලහොත් “අපි සියලු දෙනා එකතු වී සම්පූර්න වැඩවර්ජනයකට යනවා. අපි හැමෝම එක තැනකට ගෙනල්ලා අරගලයක් කරනවා,” ගොරකාන ප්‍රකාශ කලේය. එය වික‍්‍රමසිංහට කරන ආයාචනයක් වූයේ, ඔහුගේ ගමන් මග වෙනස් නොකලහොත් ශ‍්‍රී ලාංකික කම්කරුවන්ගේ වර්ධනය වන මෙම ව්‍යාපාරය පාලනය කිරීමට වෘත්තීය සමිතිවලට නොහැකි විය හැකි බැවිනි.

විරෝධතාවයේ නිරත ලංවිම සේවකයන් ඇමතූ ජවිපෙට අනුබද්ධ, විදුලි සේවක සංගමයේ නායක රන්ජන් ජයලාල් මෙසේ පැවසීය: “අපි ආන්ඩුව දනගස්වා අපේ ඉල්ලීම් දිනාගන්නවා. විදුලිබල මන්ඩලය විකුනන්න දෙන්නේ නැහැ. මේ අධික විදුලි මිල නිසා ජනතාවට පටවන බරට අපි විරුද්ධයි.”

ජයලාල්ගේ සහ ගොරකානගේ වාචාල ප්‍රකාශ ඔවුන්ගේ සාමාජිකයන් රැවටීමේ උත්සාහයකි. ඔවුන්ගේ වෘත්තීය සමිති පෙලගැසී සිටින ජවිපෙට ජාමූඅ නියෝග සමග මූලික වෙනස්කම් නොමැත. එය නරුම ලෙස ඉදිරි මහ මැතිවරනයේදී බලය දිනා ගැනීම සඳහා නැගෙන මහජන කෝපය ගසාකෑමට උත්සාහ කරයි. එය සාර්ථක වුවහොත් ඔවුන් ද එම පියවරයන්ම ක්‍රියාත්මක කරනු ඇත.

ශ්‍රී ලංකා හමුදාවේ සෙබල කන්ඩායමක් 2023 පෙබරවාරි 8 වන දින කොලඹ කොටුව විරෝධතා අසල බලමුලු ගැන්වා තිබූ අයුරු [Photo: Facebook Malainadu ]

වෘත්තීය සමිති ප්‍රකාශයන්ට පටහැනිව, වික්‍රමසිංහගේ කප්පාදු වැඩපිලිවෙල මහජන පීඩනය හරහා පසුපසට තල්ලු නොවනු ඇත. නව බදු ක්‍රමය වෙනස් නොකරන බව ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ විරෝධතා අතරතුර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. ජාමූඅහි ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරන බව හඟවමින් ඔහු මෙසේ පැවසීය: “මතක තබා ගන්න, මම මෙහි පැමිනියේ ජනප්‍රිය වීමට නොවේ... ජාතිය වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරන ගැනීමට මම සූදානම්.'

සමාජවාදී සමානතා පක්ෂය (සසප) “කම්කරුවනි, ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි අරගලය කල හැක්කේ කෙසේද?” යන මැයෙන් ප්‍රකාශයක් බෙදාහරිමින් ඊයේ විරෝධතාවලට මැදිහත් විය. සසප උද්ඝෝෂකයින් ඔවුන්ගේ ක්‍රියාවෙහි වැදගත්කම සහ එය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වැඩපිලිවෙල කම්කරුවන් සමග සාකච්ඡා කලහ.

කප්පාදු පියවරයන්ට එරෙහිව සටන් කිරීමට පෙරට එන කම්කරුවන් සමග සසප සහයෝගීතාවයෙන් සිටින බව ප්‍රකාශය පෙන්වා දුන්නේ, මෙය “ලෝකය පුරා ධනේශ්වර ආන්ඩුවල ප්‍රහාරවලට එරෙහිව නැඟී එන ජාත්‍යන්තර පන්ති අරගලවල කොටසක්” බව පෙන්වා දෙමිනි. ව්‍යාජ බලාපොරොත්තු ඇති කරමින්, කම්කරුවන්ට ආන්ඩුවට බලපෑම් කල හැකි බවටත්, මේ ආකාරයෙන් “කම්කරුවන් අතර වැඩෙන කෝපය අපසරනය කර දියාරු කිරීමටත්” වෘත්තීය සමිති ඊයේ ක්‍රියාමාර්ග කැඳවා ඇති බව එය සටහන් කලේ ය.

ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහි අරගලය තමන්ගේ අතට ගැනීම පිනිස, සියලුම පාර්ලිමේන්තු පක්ෂ හා වෘත්තීය සමිති වලින් ස්වාධීනව, වැඩපලවල, කම්හල්වල සහ අසල්වැසි ප්‍රදේශවල තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙස එම ප්‍රකාශය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. එය, මෙම ක්‍රියාකාරී කමිටු හරහා ග්‍රාමීය දුගීන් පෙලගස්වා ගන්නා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක අවශ්‍යතාවය පැහැදිලි කරමින්, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් කැඳවීම දෙසට යොමු විය. එවන් සම්මේලනයක් ජාත්‍යන්තර සමාජවාදයේ පිලිවෙත්වලට කැපවී සිටින කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කරනු ඇත.

බොහෝ කම්කරුවන් උද්‍යෝගයෙන් සසප පත්‍රිකාව අතට ගත් අතර, වරාය කම්කරු විරෝධතාවයේ වෘත්තීය සමිති නායකයෝ සසප උද්ඝෝෂකයන්ට ශාරීරික ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කලහ. කෙසේ වෙතත්, කම්කරුවන් කිහිප දෙනෙක් සසප සාමාජිකයින්ගේ උද්ඝෝෂනයට ඇති අයිතිය ආරක්ෂා කිරීමට මැදිහත් වූහ. සසප ප්‍රකාශය බෙදා හැරීම නැවැත්වීමට වෘත්තීය සමිති නායකයින් දැරූ උත්සාහය අසාර්ථක විය.

කම්කරුවන් කිහිප දෙනෙක් සසප උද්ඝෝෂකයන් සමග ආන්ඩුවේ සමාජ ප්‍රහාර සහ වෘත්තීය සමිති විසින් ඉටු කරනු ලබන භූමිකාව පිලිබඳව කතා කලහ.

කොලඹ නැව් තටාකාංගනයේ සේවකයෙක් මෙසේ පැවසීය: “අපි වසර තුනකට පෙර උපයා ගත් වැටුපට ආන්ඩුව ආදායම් බදු පනවනවා. මේ රස්සාව ඇරෙන්න මට වෙන කිසිම ආදායමක් නෑ, හැබැයි හැම බඩුවකම මිල වැඩිවෙලා.

“මේ තත්ත්වය ගැන අපිට කතා කරන්න කවුරුත් නැහැ. ඔවුන් [වෘත්තීය සමිති නායකයින්] බිහිරි යි. අලුත් ආන්ඩුවකට හරියට පාලනය කරන්න පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? මෙතෙක් මේ ආන්ඩුව අපට කල දෙයක් නැහැ, දැන් කාටවත් ප්‍රශ්න විසඳන්න බැහැ.”

නැව් තටාකාංගන සේවකයා ජවිපෙහි යම් මිත්‍යාවන් ප්‍රකාශ කලේය. “ඔවුන් [ජවිපෙ] බලයට පත් කල යුතු අතර, ඔවුන්ට හොඳින් පාලනය කල හැකිදැයි බලමු. මේ මොහොතේ අපට ඇහෙන්නේ ජනතා විමුක්ති පෙරමුනේ හඬ පමනයි,” ඔහු පැවසීය.

අනාගත ජවිපෙ ආන්ඩුවක් ධනේශ්වර පන්තියේ ලාභ අවශ්‍යතා ආරක්ෂා කරනු ඇතැයි සසප උද්ඝෝෂකයෝ පැහැදිලි කලහ. කම්කරුවා ප්‍රතිචාර දැක්වූයේ, සසප සහ එහි, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් යටතේ සියලු විදේශ නය ප්‍රතික්ෂේප කිරීම සඳහා වන එහි කැඳවීම ගැන දැන ගැනීමට අවශ්‍ය බව පවසමිනි.

විරෝධතාවයේ සිටි තරුන ලංවිම සේවකයෙක් පැවසුවේ, කම්කරුවන්ට ආන්ඩුවට බලපෑම් කල හැකි බවට වෘත්තීය සමිති ප්‍රකාශ කිරීම “අසාර්ථක වී ඇති” බවයි. ලංවිම පෞද්ගලීකරනය කලහොත්, “ගෙවිය නොහැකි දුප්පත් මිනිසුන්ගේ විදුලිය කපා දමනු ඇත,” ඔහු පැවසීය.

සසප සාමාජිකයින් මහනුවරට නුදුරින් පේරාදෙනිය රෝහලේ ද උද්ඝෝෂනයක නිරත වූ අතර, විරෝධතාවයේ නිරත වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් අතර පක්ෂ ප්‍රකාශයේ පිටපත් බෙදා හරින ලදී. සාමාන්‍ය ජනතාව මුහුන දෙන දුෂ්කරතා විසඳනු ඇතැයි අපේක්ෂාවෙන් ජවිපෙට ඡන්දය ලබාදීමට සලකා බැලූ බව හෙද හෙදියන් පිරිසක් ප්‍රකාශ කලහ.

ජවිපෙ ජාමූඅ වැඩපිලිවෙලට කැපවී සිටින බව සසප සාමාජිකයින් පැහැදිලි කල අතර, “ජනතාව සමග ගැටුම් ඇතිකරවන” අහිතකර තීරන ගැනීමට සිදුවන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැවසීමේ වීඩියෝ පටයක් පෙන්වීය. මීට පෙර මෙය අසා නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුන ද කප්පාදු පියවර ක්‍රියාත්මක කරන බව ඉන් හෙලි වන බවත් හෙද හෙදියන් පවසා සිටියහ.

Loading