පලාත් පාලන මැතිවරනය වලක්වන ආන්ඩුවේ ක්‍රියාවන්ට විරුද්ධ වනු! ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

[මෙය Oppose the Sri Lankan government’s moves to block local elections! Mobilise the working class to defend democratic rights! යන මැයෙන් 2023 ‌පෙබරවාරි 21 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව මාර්තු 9 වෙනිදා පැවැත්වීමට නියමිත පලාත් පාලන (පපා) මැතිවරනය අවහිර කිරීමට හිතාමතා පියවර ගෙන ඇත. මෙය වැඩකරන ජනතාවගේ ඡන්ද අයිතිය ක්‍රියාත්මක කිරීමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන බරපතල ප්‍රහාරයකි.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) වික්‍රමසිංහ පාලන තන්ත්‍රයේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් හෙලා දකී. ආන්ඩුවේ මෙම ක්‍රියාවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් විධානය කරනු ලැබ ඇති ආන්ඩුවේ ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීම සඳහා සූදානම් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන පුලුල් ප්‍රහාරවල කොටසකි.

2023 පෙබරවාරි 20, සඳුදා, ශ්‍රී ලංකාවේ, කොළඹ, ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට විරෝධය දැක්වීම සඳහා පොලිසිය ඔවුන්ගේ පා ​​ගමන නැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ ආධාරකරුවෝ සටන් පාඨ කියති. [AP Photo/Eranga Jayawardena] [AP Photo/Eranga Jayawardena]

සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් ස්වාධීනව වැඩබිම්වල සහ අසල්වැසි ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනඟමින් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට තම බලමුලු තරකර ගන්නා ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ආන්ඩුවේ නවතම පියවර මෙම කර්තව්‍යයේ හදිසි අවශ්‍යතාවය පෙන්නුම් කරයි.

සෙනසුරාදා කොලඹදී රොටරි සමාජයේ දිස්ත්‍රික් සමුලුවක් අමතමින්, ජනාධිපති වික්‍රමසිංහ තම ඒකාධිපති අරමුනු නග්නවම කියාපෑවේය. “මේ වසරේ, මගේ පලමු ප්‍රමුඛතාවය ආර්ථික ප්‍රකෘතිය ඇතිකිරීමයි... මහජන සාමය නොමැතිව ආර්ථික ප්‍රකෘතියක් ඇති කරන්න බැහැ,” ඔහු ප්‍රකාශ කලේය.

“රට අරාජිකත්වයේ මාවතේ යාමට ඉඩ නොදෙන” බවට ජනාධිපතිවරයා සෘජුව අනතුරු ඇඟවීය. ලබන වසරේ රටට සිය අනාගතය තීරනය කිරීමට ඡන්දය භාවිතා කල හැකි බව කී ඔහු නමුත් එසේ කල හැක්කේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමකින් පසුව පමනක් බව පැවසුවේය.

පනිවිඩය පැහැදිලිය: වික්‍රමසිංහ පාලනය යටතේ “ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදයක්” නොතිබෙනු ඇත. ඔහු දැන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නොතකා ක්‍රියා කරන බැවින්, ලබන වසරේ මැතිවරනයකට ඉඩ දෙන බවට ඔහු කරන ප්‍රකාශ වංචාවකි. ඔහුට අවශ්‍ය යැයි හැඟේ නම් අනාගතයේදී ද නැවත මැතිවරනයකට ඉඩ නොදෙනු ඇත.

වික්‍රමසිංහගේ උපදෙස් පරිදි, පලාත් පාලන මැතිවරනය පැවැත්වීම සඳහා මැතිවරන කොමිසමට අවශ්‍ය මුදල් නිකුත් කිරීම රාජ්‍ය භාන්ඩාගාරය විසින් ප්‍රතික්ෂේප කලේය. “අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා පමනක් ප්‍රතිපාදන සපයන ලෙස” ඔහු පෙබරවාරි 8 දා භාන්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට නියෝග කලේය. පලාත් පාලන මැතිවරනය අත්‍යවශ්‍ය වියදම් ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.

මුදල් නොමැතිකම හේතුවෙන් නියමිත දිනට මැතිවරනය පැවැත්වීමට නොහැකි බව මැතිවරන කොමිසම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරනයට දැනුම් දුනි. මේ වන විටත් පලාත් පාලන මැතිවරනය නතර කරන ලෙස ඉල්ලා ආන්ඩුවට හිතවත් හමුදා කර්නල්වරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනු කර ඇති නඩුවක් විභාගවෙමින් තිබේ.

වික්‍රමසිංහ සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ප්‍රමුඛ සන්ධානය ඕනෑම මැතිවරනයකදී පාහේ නියත පරාජයකට මුහුන දෙනු ඇත. ශ්‍රී ලාංකික චින්තන පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් විසින් කරන ලද සමීක්ෂනයකට අනුව, ආන්ඩුව අනුමත කිරීමේ රේට්ටුව සියයට 10 දක්වා පහත වැටී ඇත.

  ප්‍රාදේශීය සභා මැතිවරනය මහ ආන්ඩුව වෙනස් නොකරනු ඇතත්, මැතිවරන පරාජයකින් තවදුරටත් දේශපාලන අස්ථාවරත්වය තියුනුවී, තරයේම අපකීර්තිමත් ආර්ථික වැඩපිලිවෙලට වලකපන තතු නිර්මානය වීමෙන් ඩොලර් බිලියන 2.9ක නය සඳහා ජාමූඅ සමග කෙරෙන සාකච්ඡා අනතුරේ වැටෙනු ඇතැයි වික්‍රමසිංහ තන්ත්‍රය කනස්සලු වී සිටී.  

වික්‍රමසිංහ “ආර්ථික ප්‍රකෘතිය” කරා යන මාවත ගැන කතා කරන විට ඉන් ඔහු අදහස් කරන්නේ කුරිරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම ගැන ය: එනම්, රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරනය කිරීම, බදු වැඩි කිරීම, රාජ්‍ය අංශයේ රැකියා දහස් ගනනක් විනාශ කිරීම සහ වැටුප් හා සමාජ සහනාධාර කප්පාදු කිරීම මගින් රාජ්‍ය වියදම් දැවැන්ත කපාහෙලීමක් ක්‍රියාවට දැමීමයි.

පසුගිය වසරේ සියයට 75 කින් වැඩි වූ විදුලි ගාස්තු පසුගිය සිකුරාදා ආන්ඩුව සියයට 66 කින් නැවතත් වැඩි කලේය. මෙම පියවරෙන් සිදු වන්නේ ගම්බද සහ නාගරික ප්‍රදේශවල පවුල් ලක්ෂ ගනනකට විදුලිය ලබා ගැනීමට නොහැකි වීමයි.

ඕනෑම විරෝධය පෑමකට ආන්ඩුවේ ප්‍රතිචාරය වන්නේ මර්දනයයි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) විසින් පලාත් පාලන මැතිවරනය පවත්වන ලෙස ඉල්ලා කොලඹදී කැඳවා තිබූ විරෝධතාවකට ජල ප්‍රහාර එල්ල කොට, කඳුලු ගෑස් ගසා විසුරුවා හැරීමට ආන්ඩුව ඊයේ පොලිසිය සහ සොල්දාදුවන් මෙහෙය වුයේය. විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි ජාතික ජන බලවේගය (ජාජබ) කුරුනෑගලදී පැවැත්වූ එවැනිම විරෝධතාවයකට ද පොලිසිය පහර දුන්නේය.

සසප මෙම පොලිස් ප්‍රහාරයන් තරයේම හෙලා දකී. කෙසේ වෙතත්, තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ධනේශ්වර පක්ෂ මත විශ්වාසය නොතබන ලෙස අපි කම්කරුවන්ට සහ දුප්පතුන්ට අනතුරු අඟවමු. ජාමූඅ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සජබ හෝ ජවිපෙට වික්‍රමසිංහ ආන්ඩුව සමග කිසිදු මූලික මතභේදයක් නොමැත. ඔවුන්ගේ එකම කනස්සල්ල වන්නේ අපකීර්තිමත් පාලනයට එරෙහිව වැඩකරන ජනතාවගෙන් නැගෙන විරෝධය පාලනය කිරීමට ආන්ඩුවට නොහැකි වනු ඇතැයි යන්න ගැනය. ඔවුහු එම කප්පාදු න්‍යාය පත්‍රය ම ක්‍රියාත්මක කිරීමේ විකල්පයන් ලෙස පාලක පන්තිය ඉදිරියේ පෙනී සිටිති.

කම්කරුවන් අතර වැඩෙන කෝපය මධ්‍යයේ, තියුනු බදු ඉහල දැමීමට එරෙහිව බදාදා යලිත් විරෝධතාවක් කැඳවීමට වෘත්තීය සමිතිවලට බල කෙරී ඇත. ඒ සති දෙකක් තුල පවත්වන දෙවන විරෝධතාවයි. එයට කොලඹ වරාය, ඛනිජ තෙල්, විදුලිබල, බැංකු හා ජල සම්පාදන ක්ෂේත්‍රවල සේවක සේවිකාවන් මෙන්ම වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් දස දහස් ගනනක් සහභාගි වනු ඇත.

ඔවුන්ගේ ජීවන කොන්දේසි සීඝ්‍රයෙන් පිරිහීම කෙරෙහි වැඩකරන ජනතාව අතර මතුව ඇති දැවැන්ත විරෝධය ඉදිරියේ, ආන්ඩුව තම ඉල්ලීම්වලට අවනත නොවන්නේ නම්, මාර්තු 1 දා සිට මහා වැඩ වර්ජනයක් කැඳවන බව වෘත්තීය සමිති ප්‍රකාශ කර ඇත.

වෘත්තීය සමිති මෙම විරෝධතා හා වැඩවර්ජන කැඳවන්නේ ආන්ඩුවට එරෙහි අරගලයක් කිරීමට නොව, ධනේශ්වර පාලනයට අභියෝග කරන කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ස්වාධීන ව්‍යාපාරයක් පැන නැගීම වැලැක්වීමට බව සසප කම්කරු පන්තියට අනතුරු අඟවයි. ඔවුහු, සහන ලබා දෙන ලෙස රජයට බලපෑම් කල හැකිය යන මිත්‍යාව තොරොම්බල් කරන්නේ කිසිදු සහනයක් නොදෙන බවට වික්‍රමසිංහ රොටරි සමාජයේදී දැඩි ලෙස ප්‍රකාශ කර තිබියදීය.

මෙම වෘත්තීය සමිති සියල්ල පාලනය වන්නේ ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට කැපවී සිටින, පාලක ශ්‍රීලංපොපෙ, විපක්ෂයේ සජබ සහ ජවිපෙ වැනි ධනේශ්වර පක්ෂ විසිනි. ඔවුහු මිලියන ගනන් සහභාගී වූ වැඩ වර්ජන හිතාමතාම සීමා කිරීම හා නතර කිරීම මගින්

පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවල මහජන නැගිටීම පාවා දුන්හ. ඔවුන්ගේ එම ක්‍රියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා යාමෙන් පසුව වික්‍රමසිංහ ජනාධිපති තනතුරෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පිහිටුවීමට දොර විවෘත කලේය.

ධනේශ්වර ක්‍රමය තුල කම්කරු පන්තියට විසඳුමක් නැත. ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ ආර්ථික කැලඹීම, කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ යුද්ධය විසින් වේගවත් කරන ලද ගැඹුරු වන ගෝලීය අර්බුදයේ ප්‍රතිඵලයකි. ලොව පුරා පාලක පන්තීන්ගේ ප්‍රතිචාරය වන්නේ වැඩකරන ජනතාව මත බර පැටවීම සහ විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයන් වෙත යොමු වීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය ලාභ පද්ධතිය පෙරලා දැමීමේ හා සමාජවාදී පියවරයන් ක්‍රියාවට නැංවීමේ අරගලය සමග බැඳී පවතින බව සසප අවධාරනය කර සිටී. පහත සඳහන් ඉල්ලීම්වලට සටන් කිරීම සඳහා වෘත්තීය සමිති හා ධනේශ්වර දේශපාලන පක්ෂවලින් ස්වාධීනව කම්කරුවන්ගේ හා ග්‍රාමීය දුගීන්ගේ ක්‍රියාකාරී කමිටු නොවලහා ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු:

* සියලු විදේශ නය ආපසු ගෙවීම ප්‍රතික්ෂේප කරනු! ජාත්‍යන්තර බැංකුකරුවන් සහ මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු ඉල්ලීම් එපා!

* බිලියනපතියන්ගේ සහ සංගතවල දැවැන්ත ධනය අත්පත් කර ගනු!

* වැඩකරන ජනතාවගේ ජීවිත සඳහා තීරනාත්මක සියලුම අත්‍යාවශ්‍ය භාන්ඩ සහ අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදා හැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට නතු කරනු! බැංකු, මහා සංගත, වතු සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන ජනසතු කරනු!

* යහපත් ආරක්ෂිත සේවා කොන්දේසි සමග සැමට හොඳ වැටුප් සහිත රැකියා! ජීවන වියදමට සරිලන වැටුප්!

* කුඩා ගොවීන්ගේ නය අවලංගු කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සහනාධාර සහ සහතික මිලක් ලබා දෙමින් ඔවුන්ට ආධාර කරනු!

වැඩකරන ජනතාවගේ දැවෙන අවශ්‍යතා සඳහා සටන් කිරීමට අවශ්‍ය දේශපාලන මූලෝපායක් සාකච්ඡා කර සකස් කිරීම සඳහා, දිවයින පුරා ගොඩනගන ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින්ගෙන් සැදුම් ලත් කම්කරුවන්ගේ හා ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගන ලෙස සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී.

කම්කරු පන්තියට හා ග්‍රාමීය දුප්පතුන්ට ආඥාදායකත්වයේ තර්ජනය පරාජය කර වර්තමාන සමාජ ව්‍යසනය අවසන් කල හැක්කේ බංකොලොත් ලාභ පද්ධතියට තිත තැබීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා තමන්ගේම කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවීමට සටන් කිරීමෙන් පමනි. ලංකාවේ කම්කරුවන්ගේ මිතුරන් වන්නේ සමාජවාදය සඳහා ඒකාබද්ධ සටනක නියැලී සිටින දකුනු ආසියානු සහ ජාත්‍යන්තර තම පන්ති සහෝදර සහෝදරියන් ය.

මෙම දේශපාලන අරගලයට නායකත්වය දීමට අවශ්‍ය මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනගන ලෙස කම්කරුවන්, තරුනයින් සහ ගම්බද දුගීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading