සමාජවාදී සමානතා පක්ෂය කොලොන්නාවේ සහ මස්කෙලියේ මැතිවරන රැස්වීම් පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 9 දාට නියමිත පලාත් පාලන මැතිවරනයට එහි මැදිහත්වීමේ කොටසක් ලෙස විවෘත මහජන රැස්වීම් දෙකක් පවත්වනු ඇත. පලමුවැන්න, පෙබරවාරි 24 සිකුරාදා කොලඹ නගරයට ආසන්න කොලොන්නාවේදී පැවැත්වේ. අනෙක, පෙබරවාරි 26 ඉරිදා මධ්‍යම වැවිලි දිස්ත්‍රික්කයේ මස්කෙලියේදී පැවැත්වේ.

කොලඹ කොලොන්නාව නගර සභාව, මධ්‍යම වතුකරයේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාව සහ යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාව යන පලාත් පාලන ආයතන තුනට සසප අපේක්ෂකයින් 53 දෙනෙකු ඉදිරිපත් කරයි.

මැතිවරනය පැවැත්වෙන්නේ, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මිලියන ගනනක් කම්කරුවන් හා දුගීන් සම්බන්ධ වූ අප්‍රේල්-ජූලි මාසවල බලවත් මහජන නැගිටීම සහ ඔහුගේ ආන්ඩුව, සමාජ කොන්දේසි සහ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කල ප්‍රහාරවලින් මාස අටකට පසුවය. රාජපක්ෂ රටින් පලා ගිය අතර ඔහුගේ ආන්ඩුව බිඳ වැටුනි. ව්‍යාජ වාම කන්ඩායම්වල පිටුබලය ලද වෘත්තීය සමිති විසින් මෙම ව්‍යාපාරය පාවා දීම නිසා, පුලුල් ලෙස අපකීර්තියට පත් රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට හැකි විය.

වික‍්‍රමසිංහගේ ආන්ඩුව, අවශ්‍ය අරමුදල් නිදහස් නොකිරීම මගින් පලාත් පාලන මැතිවරනය නැවැත්වීමට දරන උත්සාහයන් ද ඇතුලුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කරන ලද කප්පාදු පියවරයන් මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එරෙහි ප‍්‍රහාර නිර්දය ලෙස තීව්‍ර කරමින් සිටී.

කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට කැඳවුම් කරමින් මහා වැඩ වර්ජන හා විරෝධතා වලදී ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම සඳහා සසප සටන් කලේය. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට මග පෑදීම සඳහා, මෙම ක්‍රියාකාරී කමිටු නියෝජිතයන් මත පදනම් වූ කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමට ද අපි කැඳවුම් කලෙමු.

නරක අතට හැරෙන සමාජ ව්‍යසනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්දනය කිරීමට ධනවාදයේ රාමුව තුල විසඳුමක් නැත. අපේ පක්‍ෂයේ අරගලය ප්‍රබල ලෙස සනාථ වී තිබේ. සැබෑ සමාජවාදී වැඩපිලිවෙලක් සහ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා සහයෝගය රැස්කර ගැනීම හදිසි කර්තව්‍යයකි.

සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමේ සටන මෙම වැඩපිලිවෙලට අත්‍යවශ්‍ය වේ. එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් යුක්‍රේනය තුල රුසියාවට එරෙහි ඔවුන්ගේ යුද්ධය තීව්‍ර කරමින් සිටින අතර, එය ගෝලීය වහ්නි ජාලාවක් දක්වා වර්ධනය වන සහ මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන න්‍යෂ්ටික සන්නද්ධ ජාතීන් අතර ගැටුමක අනතුර මතු කරයි.

විපක්ෂයේ ප්‍රධාන පාර්ලිමේන්තු පක්ෂ—සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන නායකත්වය දෙන ජාතික ජන බලවේගය—වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව නැගෙන මහජන කෝපය ගසාකෑමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, මෙම පක්ෂවලට ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සමග මූලික වෙනස්කම් නොමැති අතර ඔවුන් බලයට පත් වුවහොත් එයට නොඅඩු ලෙස ජාමූඅ ඉල්ලීම් අනුකම්පා විරහිතව ක්‍රියාත්මක කරනු ඇත.

අපගේ රැස්වීම්වලට සහභාගි වන ලෙසත් අපගේ වැඩපිලිවෙල පිලිබඳ සාකච්ඡාවට සහභාගි වන ලෙසත් අපි කම්කරුවන්ට, තරුනයින්ට සහ සියලුම නිවැසියන්ට ආරාධනා කරමු.

කොලොන්නාවමහජනරැස්වීම

කොලොන්නාව හන්දිය, ඔරලෝසු කනුව ඉදිරිපිට

පෙබරවාරි 24 සිකුරාදා ප.ව. 3 ට

මස්කෙලියමහජනරැස්වීම

මස්කෙලිය බස් නැවතුම්පල

පෙබරවාරි 26 ඉරිදා ප.ව. 2 ට

වැඩිදුර කියවන්න

Loading