ආන්ඩුවේ මුර්ග කප්පාදු ප්‍රහාරවලට එරෙහි වර්ජනයට සහාය ගොනු කරමු! ජනාධිපතිගේ කුරිරු අත්‍යවශ්‍ය සේවා නියෝග ඉවත් කරනු! සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකීමට සමාජවාදී වැඩපිලිවෙලට සටන් වදිමු!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝග යටතේ ක්‍රියාවට දමන රුදුරු කප්පාදු වැඩපිලිවෙලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව අද දින වර්ජනයට එලැඹෙන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සමග සමාජවාදී සමානතා පක්ෂය (සසප) එකට සිටගනී.

අද වර්ජනයට වරාය, තෙල්, විදුලිය, ජල සැපයුම්, සෞඛ්‍ය හා බැංකු ඇතුලු ක්ෂේත්‍රවල මිලියන භාගයකට ආසන්න කම්කරුවෝ සහභාගී වෙති. ඊට අමතරව ගුරුවරුන් හා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් ලක්ෂ ගනනක් දිවා විවේකයේ පිකට් කිරීම හා කලු පටි බැඳීම ඇතුලු විරෝධතාවල යෙදෙති.

සියයට පනහට අධිකව නැගෙන උද්ධමනය, අහස උසට බදු ඉහල දැමීම්, ගෙවිය නොහැකි මට්ටමට විදුලි බිල්පත් නැංවීම, සෞඛ්‍ය සේවය බිඳවැටීම ආදී ප්‍රහාර මධ්‍යයේ කම්කරුවන් ද දුගීන් ද පීඩා විඳින සහ ලක්ෂ ගනන් ජනයා හාමතට, අඩ හාමතට හා මන්ද පෝෂනයට ඇද වැටෙන තතුතුල කම්කරුවන් අතර කැකෑරෙන කෝපය මධ්‍යයේ වෘත්තීය සමිතිවලට මෙම සීමිත ක්‍රියාවන් කැඳවීමට බලකෙරී ඇත. අද ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අතරට බදු බර අඩු කිරීම, උද්ධමනයට වන්දිය ලෙස රුපියල් 20,000ක මාසික දීමනාවක් ලබාදීම, නය පොලි ඉවත් කිරීම ආදිය ඇතුලත් වෙයි.

අද දින වර්ජනය නිවේදනය වත් ම ජනාධිපති වික්‍රමසිංහ රුදුරු ලෙස කඩා පැන ඇත. සඳුදා රාත්‍රියේ ඔහු වරාය, මහා මාර්ග, දුම්රිය හා ගුවන් ගමන් ඇතුලු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ නියෝගවලට යටත් කලේ ය. දැනටමත් ඔහු පසුගිය අවුරුද්දේ සිට මාස් පතා දික්කරන අත්‍යවශ්‍ය සේවා ලෙස සෞඛ්‍ය, තෙල්, විදුලිය ආදිය නම් කර තිබේ. මෙම නියෝග යටතේ වැඩ වර්ජන සාපරාධිකරනය කොට කම්කරුවන් දන්ඩනයන්ට යටත් කෙරෙයි.

වරද්දා ගන්ට එපා! වික්‍රමසිංහ අරඹා ඇත්තේ පන්ති යුද්ධයකි. සති කිහිපයක් තිස්සේ පලාත් පාලන ආයතන සඳහා ඡන්දය වැලක්වීමට උපාමාරු දැමූ වික්‍රමසිංහ ගිය සතියේ එය පැවැත්වීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කොට මහජනයා සතු ඡන්ද අයිතිය උදුරා ගත්තේය. පසුගිය කම්කරු විරෝධතා වලට එරහිව සන්නද්ධ පොලීසිය යෙදූ ආන්ඩුව ඉරිදා ජනතා විමුක්ති පෙරමුන සංවිධානය කල විරෝධතාවට පහර දී එක් අයෙක් මරනයට පත් කලේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන නැගිටීම් මධ්‍යයේ රටින් පලාගොස් ඉල්ලා අස්වූ විට, පාලක පන්තියේ කුමන්ත්‍රනයකින් පාර්ලිමේන්තු උපාමාරු මගින් ජනාධිපති පුටුවේ වාඩි කල වික්‍රමසිංහ ව්‍යවස්ථාව ද කඩකරමින් සිය අත්තනෝමතික විධායක බලතල සාහසික ලෙස යොදාගෙන කම්කරු පන්තියේ හා දුගින්ගේ අයිතීන් උදුරා ගනිමින් සිටියි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විරෝධතා කරුවන්ට එරෙහිව උසිගන්වා ඇති ඔහු දැන් කුරිරු හදිසි නිතිය දැමීම ගැන ගනන් බලමින් සිටිනු නොඅනුමාන ය. සෑම අරගලයක්ම මැඩීමට වික්‍රමසිංහ දැන් සන්නද්ධ පොලිසිය හා මිලිටරිය යොදවමින් පහර දීමට ද පටන් ගෙන ඇත.

වෛෂයිකව මතුවී තිබෙන්නේ කම්කරු පන්තියේ අරගල විවෘතවම රාජ්‍ය බලය සමග ගැටෙන කොන්දේසීන් ය. කම්කරු පන්තිය දුගීන්ගේ සහාය ද ලබාගනිමින් ඊට ප්‍රතිවිරුද්ධව තමන්ගේ අරගල සංවිධානය කිරීමේ අවශ්‍යතාවය පැන නැගී තිබේ.

දරුනු ඒකාධිපති බලතල කම්කරුවන්ට හා දුගීන්ට එරෙහිව ප්‍රහාර සඳහා යොදා ගන්නා විධායක ජනාධිපති ධුරය වහා ම අහෝසි කල යුතු යයි සසප ඉල්ලා සිටී.

එමෙන්ම රාජ්‍ය අංශ කම්කරුවන්ගේ වැඩ වර්ජන සාපරාධීකරනයට යොදා ගනු ලැබ ඇති අත්‍යවශ්‍ය මහජන සේවා පනත හකුලා ගත යුතු යයි සසප කියා සිටී. ආරක්ෂක හමුදාවන්ට පොලිස් රාජ්‍ය බලතල ලබා දෙන මහජන ආරක්ෂක පනත හා කුප්‍රකට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ද හකුලා ගත යුතු යයි අපි ඉල්ලා සිටිමු.

වික්‍රමසිංහ ආන්ඩුව ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම හා මහජනයාට හෙලන බර නොපෙනෙන අනාගතයක අඩුකරන බවට කරන ප්‍රකාශ පට්ටපල් බේගල් ය. දැවැන්ත බදු, අත්‍යවශ්‍ය දේවල මිල අහස උසට දැමීම, විදුලි ගාස්තු ඉහල දැමීම, පුද්ගලීකරනය, නිදහස් සෞඛ්‍ය සේවයේ හා අධ්‍යාපනයේ ඉතිරිය කප්පාදුව, රාජ්‍ය අංශයේ රැකියා අඩකින් කපා හෙලීම ආදී මුර්ග කොන්දේසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට අයත් ය.

ගිය අවුරුද්දේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් වූ රාජ්‍ය වියදම් හිඟය කපා දමා ලබන අවුරුද්දේ අයවැයේ අතිරික්තයක් පෙන්වීමට ආන්ඩුව බැඳී සිටියි. ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකාධිපතිත්වයයි. දැනටම මුල්‍ය අරමුදලේ නියෝග 15 ක්‍රියාවට දමා ඇතැයි වික්‍රමසිංහ ගිය සතියේ කීවේය.

කම්කරු-දුගී ජනයා මෙසේ ඇටපොත්තට ම සූරා ගන්නේ විදේශ නය දුන් මිනී මෝරුන්ට ගෙවීමට ය. ගිය සතියේ රැස්වූ කැබිනට් මන්ඩලය මෙසේ සූරා ගත් මුදල්, මේ අවුරුද්දේ ආපසු ගෙවීමට ඇති ඩොලර් බිලියන 2.6ක්වූ නය වාරික හා පොලි ගෙවීමට යොදා ගන්නා ලෙස නියම කලේය.

ලංකාවේ ආර්ථික අර්බුදය, ගෝලීය අර්බුදයේ කොටසකි. කොවිඩ්-19 වසංගතයෙන් හා එක්සත් ජනපදය හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලයන් රුසියාවට එරෙහිව ගෙන යන යුද්ධයෙන් සෑම රටකම මෙන් ම ලංකාවේ අර්බුදය ඔඩුදුවා ඇත.

කම්කරු පන්තිය මෙම විසකුරු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව තමන්ගේ සටන් ක්‍රියාමාර්ගය පන්නරය ගන්වා ගැනීම අවශ්‍ය ය. අද දින වර්ජනය කැඳවා ඇති වෘත්තීය සමිති මෙන්ම ඉදිරියේ වර්ජන කැඳවීමට දිවුරුම් දෙන සමිති කම්කරුවන්ගේ අරගල සීමාකර බෙදා නොමග යැවීමේ යෙදී සිටිති.

ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් නායකත්වය දෙන වෘත්තීය සමිති සම්බන්ධීකරන මධ්‍යස්ථානය (ටීයූසීසී) වර්ජනයට සහභාගි වේ. ජවිපෙට අයත් අන්තර් සමාගම් සේවක සංගමය සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමය ඇතුලු සමිති ගනනාවක් ටීයූසීසී යට ඇතුලත් ය. මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල හකුලා ගත යුතු යැයි පැවසූ ටීයූසීසීයට නායකත්වය දෙන අන්තර් සමාගම් සේවක සංගමයේ නායක හා ජවිපෙ මූලික නායකයෙකු වන වසන්ත සමරසිංහ, නැතහොත් අඛන්ඩ මහා වර්ජනයකට යන බව කීවේ ය. මේ තර්ජනය එල්ල කලේ බලපෑම් දමා ආන්ඩුව නම්මා ගත හැකිය යන මිථ්‍යාවේ කම්කරුවන් හිර කිරීමට ය.

මේ සමිති දැන් මුල්‍ය අරමුදලේ කප්පාදු වලට විරුද්ධ බවක් අඟවන්නේ කම්කරුවන් අතර ඊට එරෙහිව නැගී ඇති විරුද්ධත්වය නිසා ය. ජනතා විමුක්ති පෙරමුන, ජාතික ජන බලවේගය පෙරට දමාගෙන මහා මැතිවරනයක් සඳහා උද්ඝෝෂනය කරන්නේ තමන්ගේ ආන්ඩුවකට 'ජනවරමක්' ලබාගෙන කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීම සඳහා ය.

ආන්ඩුවේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඇතුලු සමිති 40කින් යුත් වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකතුව අද වැඩ වර්ජනයට සම්බන්ධ වේ. ඔවුන්ගේ ඉල්ලීම් අධික අදායම් බදු බර අඩුකිරීම පමනකි. ගිය සතියේ මේ සමිති නායකයන් ජනාධිපති හමුවී සහනයක් සඳහා කන්නලවු කලේය. ජනාධිපති කිසිදු සහනයක් දිය නොහැකියි ඔවුන් ආපසු හරවා එවීය. මෙම සමිති ආර්ථික අර්බුදය විසඳීමට මුල්‍ය අරමුදලේ 'ආධාර' ආන්ඩුව ලබාගත යුතු බව පිලිගත් ඒවා ය.

සමරසිංහ අද දින විරෝධතාව කැඳවීමේ ප්‍රකාශය නිකුත් කරමින් ගිය අවුරුද්දේ මහජන නැගිටීම මධ්‍යයේ සිදුකල දැවැන්ත වර්ජන ගැන සඳහන් කලේ හුදෙක් වික්‍රමසිංහට වඳ අනතුරු ඇඟවීමක් කිරීම සඳහාය. සත්‍යය නම්, මෙම සමිති විසින් මිලියන ගනන් සහභාගිවූ එම වර්ජන ධනපති සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඉදිරිපත්කල අන්තර්කාලීන ධනපති ආන්ඩු සඳහා ඉල්ලීම් වලට සහයෝගය පිනිස අපසරනය කොට පාවාදුන් බවයි. ව්‍යජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය ඇතුලු කන්ඩායම් ඊට මුලුමනින්ම සහයෝගය දුන්හ. වික්‍රමසිංහට බලයට ඒමට ඉඩ ලැබුනේ මූලිකවම මේ පාවාදීම නිසාය.

ධනපති ක්‍රමයට, එහි පක්ෂවලට හා රාජ්‍යයට ගැටගැසී ඇති මෙම වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම සංවිධාන ධනපති ආන්ඩුවේ හා හාම්පුතුන්ගේ ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට සතුරු ය.

කම්කරුවන් මෙම වෘත්තීය සමිතිවලින් ස්වාධීනව සිය සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් සඳහා වූ අරගලය සියතට ගත යුතු ය. සසප අපි ඉල්ලා සිටින්නේ, ඒ සඳහා ඔවුන් සෑම වැඩපොලකම, කම්හලකම, වතුකරයේ සහ සිය නිවහන් ප්‍රදේශවල සියලු ධනපති පක්ෂවලින් සහ වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේ ම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගන්නා ලෙසයි. එමෙන් ම ගම්බද දුගීන් ද එවන් ක්‍රියකාරී කමිටු ගොඩනගා ගැනීමට පියවර ගත යුතු ය.

අප පහත යෝජනා කරන, කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා ගම්බද දුගීන්ගේ මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට ආමන්ත්‍රනය කරන, මූලික ඉල්ලීම් වටා එම ක්‍රියාකාරී කමිටු හරහා, ගම්බද ජනයා ද රැලි කරගන්නා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කල යුතු යයි ද අපි ඉල්ලා සිටිමු.

* ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල එපා!

* පුද්ගලීකරනය නතර කරනු !

* රැකියා සහ වැටුප් කප්පාදුව එපා !

* කම්කරුවන් සහ වෘත්තිකයන් මත පනවන ඉහල ආදායම් බදු හකුලා ගනු !

* විදුලි, ජල සහ සෙසු සේවාවන්හි ගාස්තු ඉහල දැමීම් හකුලා ගනු !

* පොහොර සහනාධාරය යලි ස්ථාපිත කරනු!

* සියලු දෙනාට ජීවත් වීමට සරිලන වැටුප් සහිත රැකියා, ජීවන වියදමට අනුව ඉහල නගින වැටුපක් !

* ජන ජීවිතයට අත්‍යවශ්‍ය භාන්ඩ නිපදවීම හා බෙදා හැරීම සහ අනෙකුත් සේවා සැපයීම කම්කරුවන්ගේ ජ්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගනු!

* විශාල කර්මාන්ත, වතු, බැංකු ඇතුලු මූල්‍ය ආයතන සහ ආර්ථිකයේ සෙසු මර්මස්ථාන කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරනු!

* බිලියනපතියන් සහ මහා සංගත ගොඩගසා ගෙන සිටින ධන සම්පත් පවරා ගනු!

* විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරනු ! ඒවාට ගෙවීමට ඇති මුදල් ජන ජීවිතයට අත්‍යවශ්‍ය ඉන්ධන, ‌ ඖෂධ සහ සෙසු වෛද්‍ය උපකරන සහ ආහාර පාන සැපයීම සඳහා වෙනු කරනු!

* අධ්‍යාපනය සහ සෙෘඛ්‍ය ඇතුලු සේවා සඳහා අවශ්‍යතාවන්ට සරිලන පරිදි මුදල් වෙන් කරනු!

* විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!

* අත්‍යවශ්‍ය සේවා පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, මහජන ආරක්ෂක පනත සහ හදිසි නීති වැනි සියලු මර්දන නීති අහෝසි කරනු!

පසුගිය වසරේ ආන්ඩු විරෝධී මහජන නැගිටීම මධ්‍යයේ සසප දියත් කල කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනැගීමේ උද්ඝෝෂනයේ හදිසි තීරනාත්මක භාවය, දැන් වැඩෙන පන්ති අරගලය සහ වික්‍රමසිංහ ආන්ඩුවේ පන්ති යුද සූදානම හමුවේ බලගතු ලෙස මතුව තිබේ. රට පුරා පිහිටුවිය යුතු කම්කරුවන්ගේ සහ ගම්බද ජනයාගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත් කරගනු ලබන නියෝජිතයන්ගෙන් මෙම සම්මේලනය ගොඩනැගිය යුතු ය.

එම සම්මේලනය, සමාජවාදී වැඩපිලිවෙලට කැපවූ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා පදනම දමනු ඇත. එය දකුනු ආසියාවේ සහ ගෝලීය පරිමානව කම්කරුවන් සමග ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ එකමුතුව ගොඩනගා ගනිමින් ගෙන යා යුතු සමාජවාදය සඳහා පුලුල් ජාත්‍යන්තර අරගලයක කොටසකි. එක්සත් ජනපදය, යුරෝපය සහ දකුනු ආසියාව ඇතුලුව ලොව පුරා කම්කරුවන් ආන්ඩුවල හා හාම්පුතුන්ගේ ප්‍රහාරවලට විරුද්ධව වැඩෙන අරගලයන්ට අවතීර්න වී ඇති තතු යටතේ එවන් එකමුතුවක් සඳහා අවශ්‍ය වෛෂයික කොන්දේසි ද නිර්මානය වී තිබේ.

සසප සමග මෙම අරගලයට එක් වන ලෙසත්, අපගේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස, ලබන මාර්තු 5 වන ඉරිදා සවස 4ට අප අන්තර්ජාලය හරහා පවත්වන ප්‍රසිද්ධ රැලියට සහභාගි වන ලෙසත් කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන්. ගම්බද දුගීන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් අපි ඉල්ලා සිිටිමු. රැස්වීම සඳහා මෙම සබැඳියෙන් ලියාපදිංචි වන්න.

Loading