ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වලට එරෙහිව නැගෙන මහජන විරෝධතා මධ්‍යයේ, ලංකාවේ අත්තනෝමතික ජනාධිපති පලාත් පාලන මැතිවරනය අවලංගු කරයි

[මෙය Amid mounting mass protests against IMF austerity, Sri Lanka’s autocratic president cancels local elections යන මැයෙන් 2023 පෙබරවාරි 24 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

මහජන ඡන්දයකින් තේරී පත් නොවූවෙක් වන ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින්, මාර්තු 9 දා දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරනය අවලංගු කලේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ම්ලේච්ඡ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටින වික්‍රමසිංහගේ ආන්ඩුව සති ගනනාවක් තිස්සේ මැතිවරනය කඩාකප්පල් කිරීමට වැඩ කරමින් සිටියේ ඉන් තමන්ට දැවැන්ත, නින්දිත පරාජයක් අත්වනු ඇතැයි යන භීතිය නිසා ය.

පසුගිය සතියේ මැතිවරන කොමිසම ශ්‍රේෂ්ඨාධිකරනයට ප්‍රකාශ කලේ, ඡන්ද පත්‍රිකා මුද්‍රනය කිරීමට ආන්ඩුව මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති නිසා සැලසුම් කර තිබූ පරිදි මාර්තු 9 වැනිදා ඡන්දය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි. මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ දී භාන්ඩාගාරය, උපුටා දක්වා ඇත්තේ 'ආන්ඩුවේ අත්‍යවශ්‍ය වියදම්' සඳහා පමනක් අරමුදල් සපයන ලෙස දැනුම් දුන් ජනාධිපති නියෝගයකි.

ඊයේ පාර්ලිමේන්තුව හමුවේ කතා කරමින් වික්‍රමසිංහ ගර්වයෙන් ප්‍රකාශ කලේ, මැතිවරනයක් නොපවත්වන බවත්, මැතිවරනයක් පැවැත්වීමට උත්සාහ කරන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව තමා පොලිසිය යොදවන බවත් ය.

2023 පෙබරවාරි 8 වන දින, කොලඹ කොටුවේ පැවති විරෝධතාවක් අසලට ශ්‍රී ලංකා හමුදා භට කන්ඩායමක් බලමුලු:ගන්වා තිබූ අයුරු [ඡායාරූපය: ෆේස්බුක් මලයිනාඩු] [Photo: Facebook Malainadu]

ඒකාධිපතියෙකුගේ ලීලාවෙන් ඔහු නරුම ප්‍රකාශයක් කලේ, “මැතිවරනය කල් දැමුවේ නැහැ. කල් දැමීමට මැතිවරනයක් තිබුනේ කොහේද?” යයි ප්‍රශ්න කරමිනි. පලාත් සභා මැතිවරනය කැඳවීමට මැතිවරන කොමිෂන් සභාවට නිසි ගනපූරනයක් නොතිබූනේ යයි මින් පෙර කිසිදා මතු නොකල අභූත ප්‍රකාශයක් ඉරිරිපත් කරමින් ඔහු තම කතාව සාධාරනීකරනය කලේය. ඇත්ත වශයෙන්ම නම්, කොමිසම, දැනටමත් වසරක් ප්‍රමාද වී තිබූ මැතිවරනය සංවිධානය කිරීමට කටයුතු නොකලේ නම්—සියලුම ශ්‍රී ලාංකික ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ද ඇතුලුව —නීතිය උල්ලංඝනය වීමට ඉඩ තිබුනි. මීට පෙර, නාමයෝජනා කැඳවීම සහ මැතිවරන දිනය යන දෙකම රජයේ නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් ආන්ඩුව විසින් ම මැතිවරනය කැඳවීම පිලිගෙන තිබුනි.

භාන්ඩාගාර ලේකම්වරයා මැතිවරන කොමිසමට මුදල් ලබා දෙන්නේ නම්, “මට සිදුවන්නේ, ලේකම්වරයා ඉවත් කර ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට නියෝග කිරීමට යි. [ඡන්ද පත්‍රිකා මුද්‍රනය කිරීමේ වගකීම දරන] රජයේ මුද්‍රනාලයාධිපතිට ද එය ම සිදුවනු ඇත. ඔවුන් සියල්ලන්ට ම තම රක්ෂා අහිමි වනු ඇත,” වික්‍රමසිංහ තව දුරටත් පැවසීය.

මැතිවරනයක් පවත්වන්නේ නම්, ඒ කවදාද යන්න ගැන වික්‍රමසිංහ කිසිදු පොරොන්දුවක් දුන්නේ නැත. එවැනි පොරොන්දුවක් දුන්නත් එය තඹ දොයිතුවක් නොවටී.

මෑත දිනවල වෙනත් අවස්ථාවල දී ඔහු පවසා ඇත්තේ “ආර්ථික ප්‍රකෘතියක්” ඇති වන තුරු මැතිවරනයක් නොපවත්වන බවයි. “ආර්ථික ප්‍රකෘතිය”—එනම්, ජාත්‍යන්තර ප්‍රාග්ධනයට නය ගෙවීම නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දිලිඳු කම්කරුවන් සහ දහදිය වගුරන අනෙකුත් දුගීන්ගෙන් ඇතිතරම් ආදායම් අතිරික්තයක් මිරිකා ගැනීම සඳහා 'මහජන සාමය' ආරක්ෂා කිරීම මත රඳා පවතින බව ඔහු එහිදී කිවේය.

සත්‍යය නම්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවාහරින ලද, එමෙන් ම ඊට පෙර ඔහුගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකලා වූ, පසුගිය වසරේ අප්‍රේල් සිට ජූලි දක්වා මුලු දිවයින ම කැලඹු මහජන නැගිටීම් පුනරජීවනය වේයැයි වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වරය භීතියෙන් වෙවුලමින් සිටිති.

පසුගිය සතියේ සිය කතාවේදී, වික්‍රමසිංහ, “රට අරාජිකත්වයේ [මාවතට] යාමට ඉඩ නොදෙන” බව දිවුරා කීවේය. මෙයින් ඔහු අදහස් කලේ, සමාජ වියදම් ම්ලේච්ඡ අයුරින් කප්පාදු කරමින්, පුද්ගලීකරනය කරමින්, විදුලිය සහ අනෙකුත් ගාස්තු ඉහල දමමින් සියල්ල අතුගා දමන පාලක පන්තියේ “ආර්ථික ප්‍රතිසාධන වැඩපිලිවෙල” කෙරෙහි මතු වී නැගෙන මහජන අභියෝගය මර්දනය කිරීම සඳහා, අති මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තලා දමමින් ධනේශ්වර රාජ්‍යයේ සම්පූර්න බලය යෙදීමට ඔහු අධිෂ්ඨාන කර ගෙන සිටින බවයි. දැනටමත්, මෙම කප්පාදු වැඩපිලිවෙල මහජන දරිද්‍රතාවයකට තුඩු දී ඇත. ජනගහනයෙන් සියයට 35 කට දිනකට තමන් ගන්නා ආහාර ප්‍රමානය අඩු කිරීමට බල කෙරීතිබේ.

සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර 2023 පෙබරවාරි 23 දින කොලඹ දී පැවති මාධ්‍ය හමුව අමතමින් [ඡායාරූපය: ලෝසවෙඅ]

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), ආන්ඩුව පලාත් පාලන මැතිවරනය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට දැඩි ලෙස විරුද්ධ වන ලෙස වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටියි. 'සමාජවාදී සමානතා පක්ෂයේ අපි, පලාත් පාලන මැතිවරනය වැලැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ගෙන යන පියවරයන් තරයේ හෙලා දකිනවා' යනුවෙන් සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 'එය වැඩ කරන ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන රුදුරු ප්‍රහාරයක්.'

සසප පලාත් පාලන මැතිවරනයට මැදිහත් වී සිටින්නේ, මුලු දිවයිනම තලාගෙන යන සමාජ ආර්ථික අර්බුදයට සිය සමාජවාදී විසඳුම ඉදිරිපත් කරමින් ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ අරගලය තීව්‍ර කිරීම සඳහා ය—එම වැඩපිලිවෙල ප්‍රමුඛතාව දෙන්නේ මහජනයාගේ අවශ්‍යතා වලට මිස, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව බංකොලොත් ධනවාදයට මහජනයාට දිය හැක්කේ කුමක් ද යන්නට නොවේ.

සති ගනනාවක් තිස්සේ ප්‍රාදේශීය සභා තුනකට—උතුරේ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර්, මධ්‍යම වතුකර දිස්ත්‍රික්කයේ මස්කෙලිය සහ කොලඹ අසල කොලොන්නාව—සසප ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් 53 දෙනා, එක්සත් ජනපදය සහ නැටෝව රුසියාවට එරෙහිව උසිගන්වන ලද යුද්ධයට හා ජාමූඅ කප්පාදුවට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකට සහයෝගය ලබා ගැනීමට සටන් කරමින් සිටිති.

'වික්‍රමසිංහගේ ක්‍රියාව මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව ඔහුගේ ආන්ඩුව එල්ල කරන පුලුල් ප්‍රහාරවල කොටසක්,' යයි ජයසේකර පැවසීය. “එම ප්‍රහාරය එල්ල කරන්නේ, ජාමූඅ විසින් නියම කරන ලද, ආන්ඩුවේ දරුනු කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන අරගල මැඩලීමේ සූදානමක් හැටියට යි.”

පලාත් පාලන මැතිවරනය තුල තමන්ට අන්ත පරාජයක් අත්වීම තුලින් දේශපාලන සංස්ථාපිතය තුල ගැටුම තීව්‍ර කෙරෙනු ඇතැයි ආන්ඩුවට මතුවී ඇති භීතිය පිලිබඳව සසප ප්‍රධාන ලේකම් පැහැදිලි කලේ ය. මෑත කාලීන මත විමසුමකින් ආන්ඩුවට සහාය පලකරන්නේ ජනගහනයෙන් සියයට 10 ක් පමනක් බව හෙලිවී ඇතැයි ඔහු කිවේය. එහෙත් ඔවුන්ගේ ලොකුම කනස්සල්ල වන්නේ, එවැනි පරාජයකින් ආන්ඩුවට කිසිදු නීත්‍යනුකුලත්වයක් නැතිබව තව දුරටත් හෙලිදරව් කෙරෙන තතු යටතේ ඊට එරහිව මහජන විරෝධය පුපුරා හැලෙන්ට තුඩු දෙනු ඇතයි යන්නයි.

මහා ව්‍යාපාරිකයන්ගේ කුප්‍රකට නියෝජිතයෙකු සහ එක්සත් ජනපද ගැත්තෙකු වන වික්‍රමසිංහ, රාජපක්ෂගේ ශ්‍රීලංපොපෙ විසින් මෙහෙයවන ලද පාලක පන්ති කුමන්ත්‍රනයක් හරහා පසුගිය ජූලි මාසයේ දී ජනාධිපති ධූරයට ඔසවා තැබුනි. වෘත්තීය සමිතිවල පිටුබලය ලත් විරුද්ධ පක්ෂවල දුස්සහාය එම කුමන්ත්‍රනයට ලැබුනි. වික්‍රමසිංහ පත්කර ගන්නා විට පාර්ලිමේන්තුවේ තම පක්ෂයට සිටි එකම නියෝජිතයා වූයේ ඔහු ය.

අරගලයේ මීලඟ අදියර සඳහා කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව සූදානම් කිරීමේ ආස්ථානයෙන්, ජයසේකර පසුගිය වසරේ ගිගුරුම්දුන් නැගිටීම්වල පාඩම් සමාලෝචනය කලේය. මහජන නැගිටීම කම්කරු පන්තියේ යෝධ සමාජ බලය සහ ධනේශ්වරය විසින් උසිගන්වන ලද වාර්ගික බෙදීම් ජය ගැනීමට ඇති හැකියාව පෙන්නුම් කර තිබුනි. එහෙත්, එය පසුපස ගම්බද ජනතාව රැලි කර ගනිමින්, කම්කරු පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් බවට පන්නරගැන්වීමේ හදිසි අවශ්‍යතාවය ද මතුකර තිබුනි. .

මහජනතාවගේ සටන්කාමීත්වය සහ මහජන ව්‍යාපාරය විසල්ව පැවතියේ වුව ද, රාජපක්ෂගේ පලායාම තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට පාලක පන්තියට ඉඩ ලැබුනු අතර, ආන්ඩුව ප්‍රතිසංවිධානය කරගෙන යලි ආරම්භකත්වයක් ගැනීම සඳහා අන්තර්වාර ආන්ඩුවක් ඉල්ලීමට විපක්ෂය සහාය දැක්වූයේය.

මහජන නැගිටීම ආරම්භයේ සිටම, ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව ප්‍රතිරෝධය සංවිධානය කිරීමේ මාධ්‍යයක් ලෙස කම්කරුවන්ගේ බලය වෙනුවෙන් අරගලයක් වර්ධනය කිරීම සඳහා, ධනේශ්වර ගැති වෘත්තීය සමිතිවලින් සහ ධනේශ්වරයේ සියලුම දේශපාලන නියෝජිතයන්ගෙන් මුලුමනින්ම ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප සටන් කර තිබුනි.

“දැවෙන සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුවලට ධනේශ්වර රාමුව තුල විසඳුමක් නැතැයි අපි කීවා,” ජයසේකර තවදුරටත් පැවසීය. පසුව, රාජපක්ෂගේ අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජමිතුරන් විසින් පිහිටුවන ලද ධනේශ්වර අන්තර්වාර ආන්ඩුවට එරෙහිව 'ස්වාධීන කම්කරුවන්ගේ බලයේ සහ විප්ලවවාදී දේශපාලනයේ විකල්ප සංවිධානයක් ලෙස මෙම ක්‍රියාකාරී කමිටු විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් ගෙන් සැදුම් ලත්, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා අපි උද්ඝෝෂනයක් ආරම්භ කලා.'

ඊයේ පැවති මාධ්‍ය හමුවට සිරස ටීවී, එම්ටීවී, ටීඑන්එල්, ඒබීසී කැපිටල් සහ ප්‍රධාන දෙමල භාෂා පුවත්පත වන වීරකේරසරි ඇතුලු ප්‍රධාන මාධ්‍ය ආයතන හයක මාධ්‍යවේදීන් සහභාගී විය.

ආන්ඩුව මැතිවරනය අවලංගු කිරීමට විරුද්ධ වීමේදී, සසප විවිධ විරුද්ධ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නේ දැයි එක් මාධ්‍යවේදියෙකු විමසූ විට, ජයසේකර මෙසේ කරුනු පැහැදිලි කලේය: නිල විපක්ෂය වන සජබ සහ ජවිපෙ වැනි එම පක්ෂ වලට, විෂඝෝර දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිස්සීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාර සමග සහයෝගීව සිටීමේ දිගු ඉතිහාසයක් පවති. එපමනක් නොව, එම පක්ෂ ආන්ඩුව විසින් ක්‍රියාවට නංවන ප්‍රජාතන්ත්‍ර විරෝධී ජාමූඅ කප්පාදු පියවරයන්ට ද සහාය දක්වති.

ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ඩහදිය හෙලන දුගීන්ගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අවශ්‍යතා හා අභිලාෂයන්ට සතුරු විරුද්ධ පක්ෂ, වික්‍රමසිංහ විසින් මැතිවරන අවලංගු කිරීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන්ට පිහිට වන ලෙස බටහිර අධිරාජ්‍යවාදී බලවතුන්ට කන්නලවු කිරීමෙනි.

මුල සිට අග දක්වා ගත්කල එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රන්සයෙන් ආදී මෙම රටවල් සියල්ලටම, වසර 50 කට පෙර චිලී රටේ පිනෝචේ සහ ඉරානයේ ෂාගේ සිට, අද ඊජිප්තුවේ අල්-සිසී දක්වා වූ ම්ලේච්ඡ කම්කරු පන්ති විරෝධී ආඥාදායකත්වයන් පවත්වා ගෙන යාමට සහා දීම ද ඇතුලුව අධිරාජ්‍යවාදී කොල්ලකෑම් සහ කුමන්ත්‍රන පිලිබඳ දීර්ඝ ලේ වැකි ඉතිහාසයක් ඇත. දෙමල සුලුතරයට එරෙහි දශක තුනක ලේවැකි සිවිල් යුද්ධයේදී මෙම රටවල් ශ්‍රී ලංකා රාජ්‍යයට සහාය දුන්හ.

කොල්ලකෑම් සහ යටත් කර ගැනීම් මගින් තම අර්බුදය පියවා ගැනීම් මංමුලා සහගත උත්සාහයක යෙදී සි,ටින මෙම බලයන් වොෂින්ටනයේ නායකත්වයෙන් රුසියාවට එරෙහිව උසිගැන්වූ යුද්ධය දැන් නාටකාකාර ලෙස තීව්‍ර කරමින් ලෝකය න්‍යෂ්ටික වහ්නි ජාලාවක් අද්දරට වඩවඩා ලං කරමින් තිබේ.

එපමනක් නොව, වොෂින්ටනය සහ එහි සගයා වන ඉන්දියාව, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට දිවයින තව තවත් සමීප කොට මුලුමනින්ම යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිර්දය ලෙස ගසාකමින් සිටිති. පසුගිය සතියේ පමනක්, ආන්ඩුව සමඟ රහසිගත සාකච්ඡා සඳහා පෙන්ටගනයේ නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිනියහ.

ඇත්ත වශයෙන්ම, සියලුම බටහිර බලවතුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට මුලුමනින් ම පක්ෂව සිටිති.

පලාත් පාලන මැතිවරනය කල්දැමීමට ආන්ඩුව දරන “ව්‍යවස්ථා විරෝධී උත්සාහයන්” සම්බන්ධයෙන් සජබ කොලඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිනිලි කර ඇත.

බදාදා පාර්ලිමේන්තුවේදී කතා කරමින්, ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මිනීකන ගිජුලිහිනියන් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් ලෙස හුවා දැක්විමට උත්සාහ කලේ මෙසේය: “ශ්‍රී ලංකා ආන්ඩුවට ආධාර ලබා ගැනීමට නම් ජන වරමක් තිබිය යුතු බව ජාමූඅ පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා'. එමෙන්ම, හේරත් පැවසුවේ තම පක්ෂය විරෝධතා පවත්වනු ඇති බවත්, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, 'යුරෝපීය සංගමයේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මානව හිමිකම් සංවිධානවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ට කරුනු පැහැදිලි කරන' බවත් ය.

පසුගිය වසරේ හිටපු ජනාධිපති රාජපක්ෂගේ පක්ෂයෙන් කැඩී ගිය කන්ඩායමක් පිහිටුවා ගෙන තිබෙන නිදහස් මහජන කොංග්‍රසය, 'ජනතාවගේ ඡන්ද බලය සම්බන්ධයෙන් මතුව ඇති වත්මන් තත්වය පිලිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කරමින්' විදේශ දූත මන්ඩල වෙත ලිපියක් යවා තිබේ.

ලොව පුරා කම්කරුවන් ශ්‍රී ලංකාවේ වර්ධනයන් තමන් වෙත පූර්ව දැනුම්දීමක් සහ අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය යුතු ය. සෑම තැනකම ධනේශ්වරයෝ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් බිඳහෙලමින්, කම්කරු පන්ති අරගල සාපරාධීකරනය කිරීමට උත්සාහ කරමින්, ෆැසිස්ට් ප්‍රතිගාමිත්වය වමාරමින් සිටිති. අධිරාජ්‍යවාදී යුද්ධයට හා ධනේශ්වර කප්පාදුවට එරෙහි සටන මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නම් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම, දේශසීමා හා මහාද්වීප හරහා එහි අරගල ඒකාබද්ධ කිරීම සහ කම්කරුවන්ගේ බලය සඳහා අරගලය කිරීම අත්‍යාවශ්‍ය වේ.

Loading