මෙම ඉරිදා සසප/සසජාතශි (ශ්‍රී ලංකාව) ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම: ජනාධිපති විසින් පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට විරුද්ධ වනු! ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තිය බලමුලු ගන්වමු!

[මෙය SEP/IYSSE (Sri Lanka) online public meeting this Sunday: Oppose the president’s scuttling of local elections! Mobilise the working class to defend democratic and social rights! යන මැයෙන් 2023 ‌පෙබරවාරි 28 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය මෙම එලඹෙන ඉරිදා, “ශ්‍රී ලංකා ජනාධිපති විසින් පලාත් පාලන මැතිවරනය අවලංගු කිරීමට එරෙහි වනු!” යන මැයෙන් ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි.

රැස්වීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ඇත්තේ, පසුගිය සතියේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පලාත් පාලන මැතිවරනය අවලංගු කල ජනාධිපති වික්‍රමසිංහ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කරන පෙර නොවූ විරූ ප්‍රහාරය ගැන ය.

වික්‍රමසිංහගේ අත්තනෝමතික ක්‍රියා, මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ඔහුගේ ආන්ඩුවේ පුලුල් ප්‍රහාරවල කොටසක් වන අතර ආඥාදායක පාලන ආකාර කරා යන ගමනේ තවත් පියවරකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියෝග කරන ලද ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ට එරෙහිව, කම්කරු පන්ති අරගලවල නැගී එන රැල්ලට ආන්ඩුව බිය වේ.

විපක්ෂයේ සමගි ජන බලවේගය (සජබ) මෙන්ම ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි ජාතික ජන බලවේගය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරන්නන් ලෙස වංචනික ලෙස පෙනී සිටියි. පක්ෂ දෙකටම සහ ඒ වටා සිටින අනෙකුත් කන්ඩායම්වලට ඇත්තේ වික‍්‍රමසිංහ තන්ත‍්‍රය සමග උපායික වෙනසක් පමනි, ඒවා සියල්ලම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන්ට සහයෝගය දක්වයි. සජබ නායකයින් මෑතක් වන තුරුම වික්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරවලට පිටුබලය දීමේ දීර්ඝ වාර්තාවක් ජවිපෙ සතුව ඇත.

පසුගිය වසරේ අප්‍රේල්-ජූලි මාසවල මහජන විරෝධතා පුපුරා යාමෙන් ඉක්බිතිව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා යාමට බල කෙරුනු පසු, වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කිරීමේ පාලක පන්ති කුමන්ත්‍රනයට විරුද්ධ පක්ෂ, වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම කන්ඩායම් හවුල් විය.

සසප සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය, සියලු ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සමාජවාදී වැඩසටහනක් මත කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ගෙනයාමට ක්‍රියාකාරී කමිටු පිහිටුවීම හරහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට කැඳවුම් කරයි. මෙම අරගලය සඳහා ග්‍රාමීය දුගීන් පෙලගැස්වීමට ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස ද අපි ඉල්ලා සිටිමු.

මෙම අරගලයේදී කම්කරු පන්තිය හා වෙහෙස වී වැඩ කරන ගම්බද ජනයා එක්සත් කිරීම සඳහා මෙම ක්‍රියාකාරී කමිටු මගින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.

වික්‍රමසිංහගේ මර්දනකාරී පියවර පරාජය කිරීම සඳහා කම්කරුවන්, තරුනයින් සහ දුගීන් මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කල යුතුය. කම්කරු පන්ති ක්‍රියාමාර්ගයන්ගේ නැඟී එන නැගිටීමකට, ගැඹුරු වන ආර්ථික අර්බුදයකට සහ රුසියාව සහ යුක්‍රේනය අතර සිදුවෙමින් පවතින ව්‍යසනකාරී යුද්ධයට පාලක ප්‍රභූවේ ජාත්‍යන්තර ප්‍රතිචාරය නම්, ආඥාදායක හා ෆැසිස්ට්වාදී විධික්‍රම වෙත හැරීමයි.

මෙම අනතුරට මුහුන දීමට අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී මූලෝපාය පිලිබඳව අපගේ රැස්වීම සාකච්ඡා කරනු ඇත. මෙම ඔන්ලයින් රැස්වීමට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ට, සිසුන්ට, තරුනයින්ට සහ පීඩිත ජනතාවට ආරාධනා කරමු.

ඒ සඳහා මෙතැනින් ලියාපදිංචි වන්න.

Loading